න තෙන අරියො හොති යෙන පාණානි හිංසති
අහිංසා සබ්බපාණානං අරියො’ති පවුච්චති.
යම් කරුණෙකින් ප්‍රාණීන් නසා ද (ප්‍රාණීනට හිංසා කෙරේ ද), එ කරුණින් හේ ආර්‍ය නම් නො වෙයි. සියල් සත්නට (පණිප්‍රහාරාදියෙන්) හිංසා නොකිරීම හේතු කොට ගෙණ (මෛත්‍රීභාවනාදියෙහි පිහිටි බැවින්, හිංසායෙන් දුරු වැ සිටි බැවින්) ආර්‍ය යැ යි කියනු ලැබේ.
එක් දවසක් බුදුරජානන් වහන්සේ එක්තරා බිලීවැද්දකුට සෝවන් මග ලැබීමට තුබූ හේතුවාසනාගුණය දැක සැවැත් නුවර උතුරුවාසල් දොර සමීපයෙහි ගමෙහි පිඬු සිඟා හැසිර බික්සඟුන් පිරිවරා ගෙණ බිලීවැද්දා බිලී බාන තැනින් වැඩම කළ සේක. එ වේලෙහි බිලී බාමින් සිටි ඒ වැදි, බුදුපාමොක් මහසඟුන් දැක බිලී පිත්ත පසෙක දමා නැඟී සිටියේ ය. බුදුරජානන් වහන්සේ ඔහුට නො දුරෙහි නැවතී සිට “තමුසේ කවරහු? තමුසේ කවර නම් ඇතියහු?”යි ඈ ලෙසින් උන් උන් විචාළ සේක. උන්වහන්සේලා ද “මම සැරියුත්, මම මුගලන්” යන ඈ ලෙසින් වෙන වෙන ම තම තමන්ගේ නම් කියා පෑහ. එ වේලෙහි බිලී වැද්දා “බුදුරජානන් වහන්සේ මෙහි සිටුනා හැම කෙනකුන්ගේ නම් විචාරණ සේක්, දැන් උන්වහන්සේමාගේ නමත් විචාරණු ඇතැ”යි සිතී ය. බිලීවැද්දාගේ මේ සිතුවිල්ල දත් බුදුරජානන් වහන්සේ “උපාසක! ඔබ කිනම් ඇතියහ?”යි විචාළ විට “ස්වාමීනි! මම ආර්‍ය්‍ය නම් වෙමි”යි කී ය. “උපාසක! තා වැනි සතුන් මරා කන්නෝ ආර්‍ය්‍ය නම් නො වෙති, ආර්‍ය්‍යයෝ නම් මහාජනයාට හිංසා පීඩා නො කරන්නෝ ය, ඔවුහු රෑ දෙවෙහි අවිහිංසායෙන් ම කල් ගෙවන්නාහ”යි වදාරා මේ ධර්‍ම දේශනාව කළ සේක.
න තෙන අරියො හොති යෙන පාණානි හිංසති,
අහිංසා සබ්බපාණානං අරියොති පවුච්චතීති.
යම් කරුණෙකින් ප්‍රාණීන් නසා ද, ඒ කරුණෙන් හේ ආර්‍ය්‍ය නම් නො වේ. සියලු ප්‍රාණීන්ට හිංසා නො කිරීම හේතු කොට ගෙණ ආර්‍ය්‍ය යි කියනු ලැබේ.
න තෙන අරියො හොති යෙන පාණානි හිංසති = යම් කරුණෙකින් ප්‍රාණීන් නසා ද, ප්‍රාණීන්ට හිංසා කෙරේ ද, ඒ කරුණෙන් ආර්‍ය්‍ය නම් නො වේ.
සත්ත්‍වයන් නසන්නේ සත්ත්‍වයන්ට හිංසා කරන්නේ ආර්‍ය්‍ය නම් නො වේ යනු කෙටි අදහස ය. ආර්‍ය්‍ය නම්: නියම විසින් මාර්‍ගඵලාවබෝධය කොට සිටියේ ය. [1]
පාණ නම්: දිවි දරන්නේ ය. ජීව වායු බලයෙන් රැඳෙන්නේය. “අණ්ති පස්සසතිති = පාණො” යනු බැවින් අස්සාස - පස්සාස දෙකින් රැඳෙන්නේය. එහි විනයක්‍රම විසින් ඇතුළත නැගි සුසුම් ලෑම අස්සාස. පිටත නැගි සුසුම් ලෑම පස්සාස. සූත්‍ර ක්‍රම විසින් පිටත නැග ඇතුළත සුසුම් ලෑම අස්සාස. ඇතුළත නැග පිටත සුසුම් ලෑම පස්සාස. අස්සාස නම් පිටත නික්මෙන වාතය, පස්සාස නම් ඇතුළත පිවිසෙන වාතය,යි විනයාර්‍ත්‍ථකථායෙහි ඇයේ ය. මවු කුසින් බිහි වන වේලෙහි පළමු කොට ඇතුළත රැඳී සිටි වාතය පිටතට නික්මෙන්නේ ය. ඉන් පසු ව පිටත සිටි වාතය සියුම් රජස් ගෙණ ඇතුළට පිවිසෙනුයේ තල්ල හැපී නිවී යන්නේ ය. [2]
හිංසති යන ක්‍රියායෙන් ගැණෙන හිංසා කිරීම නම් හිංසාවට යටත් වන්නහු මස් ලේ නැත්තකු කොට දුකට පැමිණවීම ය. අහිංසා නම්: මෙහි හිංසා නොකිරීම ය. [3]
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බිලී වැද්දා සෝවන් පලයෙහි පිහිටියේ ය. ධර්‍මදේශනා තොමෝ පැමිණ සිටි පිරිසට ද වැඩ සහිත වූය.
බාලිසිකවස්තුව නිමි.