18-12 සුභද්‍ර පරිව්‍රාජක

ආකාසෙ පදං නත්‍ථි සමණො නත්‍ථි බාහිරෙ

පපඤ්චාභිරතා පජා නිප්පපඤ්චා තථාගතා.

අහසෙහි පිය සටහනෙක් නැත. බාහිර ශාසනයෙක මාර්‍ගස්ථඵලස්ථ මහණෙක් නැත. නිත්‍ය ව පවත්නා සංස්කාර කෙනෙක් නැත (සත්ත්‍වලෝක සංඛ්‍යාත) ප්‍රජාව (තෘෂ්ණා මාන දෘෂ්ටි සංඛ්‍යාත) ප්‍රපංචයෙහි ඇලුනේ ය. තථාගතවරු ප්‍රපංච රහිතයෝ ය.

ආකාසෙ පදං නත්‍ථි සමණො නත්‍ථි බාහිරෙ

සඞ්ඛාරා සස්සතා නත්‍ථි නත්‍ථි බුද්ධාන ඉඤ්ජිතං.

අහසෙහි පිය සටහනෙක් නැත. සස්නෙන් බැහැර මහණෙක් නැත. නිත්‍ය ව පවත්නා සංස්කාර කෙනෙක් නැත. බුදුවරුන්ගේ (තෘෂ්ණා මාන දෘෂ්ටි ප්‍රපංචයන් අතුරෙහි යම් ඉංජිතයක් නිසා සංස්කාරයෝ ශාශ්වත හ යි ගණිද්ද එසේ වූ) එක ද ඉංජිතයෙක් නැත.

සුභද්‍ර පරිව්‍රාජක තෙමේ පෙර තමන්ගේ කනිටු බෑයා, එක් ගොයම් වාරයක දී නව වරක් අගස් දන් දෙනු දැක ද, තෙමේ දන් නො දෙනු කැමැති ව මග හැර හැර පසු බැස සිට පසු ව එක් දනක් දුන්නේ ය. එහෙයින් බුද්ධත්වයෙන් ප්‍රථම අවස්ථායෙහි හා මධ්‍යම අවස්ථායෙහි බුදුරජුන් දක්නට මොහුට වාසනාවක් නො පෑදුනි ය. අවසානයෙහි බුදුරජුන් පිරිනිවන් පාන්නට වැදහොත් කල්හි “කරුණු තුනක් පිළිබඳ ව මා සිත් තුළ උපන් සැක ය මහලු පිරිවැජියන් විචාලළම් ද, මහණ ගොයුම් දහරෑ යි සිතා උන් අතින් නො විචාළෙමි, දැන් ඔහු පිරිනිවන් ඇ‍‍ඳේ වැතිර හෝනේ ය, මේ කරුණු තුන ඔහු අතින් නො විචාළොත් මට විපිළිසරක් විය හැකි ය, එබඳු විපිළිසරෙක් නූපදීවා”යි සුභද්‍ර, බුදුරජුන් වතෙ ගියේ ය. ගොස් සිටි කල්හි අනඳ තෙරුන් විසින් බුදුරජුන් වෙත එළැඹීම වළකන ලද්දේ ය. එකල්හි “ආනන්ද! සුභද්‍ර නො වළකන්න, ඔහුට මා වෙතට එන්නට ඉඩ දෙන්න, ඔහු ඇවිත් සිටිනුයේ මාගෙන් ප්‍රශ්නයක් අසනු සඳහා ය”යි බදුරජුන් වදාළ කල්හි ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ඔහුට බුදුරජුන් වෙත යන්නට ඉඩ දුන්හ. එකල්හි ඔහු එහි තිරය ඇතුළට වැද ඇඳ යටට වී හිඳ “පින්වත් මහණ! කිම, අහස පිය සටහන් ඇත්තෙක් ද? මෙයින් පිටත මහණහු වෙත් ද? සදාකාලික වූ සංස්කාරයෝ ඇද්දැ”යි මේ ප්‍රශ්න තුන ඇසී ය. බුදුරජානන් වහන්සේ අහසෙහි පියසටහන් නැති බවත් මින් පිටත මහණුන් නැති බවත් නො නස්නා වූ සංස්කාරයක් නැති බවත් වදාරණ සේක් මෙ ගාථාවන්ගෙන් ධර්‍මදෙශණා කළ සේක.

ආකාසෙව පදං නත්‍ථි සමණො නත්‍ථි බාහිරෙ,

පපඤ්චාභිරතා පජා නිපප්පඤ්චා තථාගතා.

ආකාසෙච පදං නත්‍ථි සමණො නත්‍ථි බාහිරෙ,

සඞ්කාරා සස්සතා නත්‍ථි නත්‍ථි බුද්ධානමිඤ්ජින්ති.

අහසෙහි පියසටහනෙක් නැත. බැහරි සසුන්හි මහණෙක් නැත. සත්ත්‍වප්‍රජාව ප්‍රපඤ්චයෙහි ඇලුනී ය. තථාගතයන් වහන්සේ ප්‍රපඤ්චව රහිතයහ.

අහසෙහි පියසටහනෙක් නැත. බැහරි සසුන්හි මහණෙක් නැත. නිත්‍ය වූ සංස්කාරයෝ නැත. බුදුවරුන්ට කම්පනයෙක් නැත.

ආකාසෙ එව පදං නත්‍ථි = අහසෙහි පාසටහනෙක් නැත.

අහසෙහි දක්වාලිය හැකි වර්‍ණයෙක් සටහනෙක් නැත්තේ ය. අහස, පැහැසටහනෙකුත් දැක්විය හැකි තැනෙක් නො වේ. සිස් තැනක් බැවිනි. [1] එසේ නම් පාසටහනක් දැක්විය නො හැකිය යනු කිය යුතු නො වේ.

පද ශබ්දය ස්ථාන - එක්‍ෂා - නිර්‍වාණ - හේතු - ශබ්ද - වස්තු - කොට්ඨාස - පාද - පාදලාඤ්චන යන අරුත්හි වැටේ. මෙහි ආයේ පාදලාඤ්චනයෙහි ය. ඒ පාසලකුණ ය. අහසෙහි පාසලකුණු දැක්විය නො හැකි ය.

සමණො නත්‍ථි බාහිරෙ = බැහැරි සසුන්හි මහණෙක් නැත.

සමණ නම්: රාගාද්වේෂාදී වූ කෙලෙස් සන්සිඳ වූයේ ය. [2] බාහිර නම්: දුරක්ඛාතසාසනයෝ ය. යම් ශාසනයෙක් ආර්‍ය්‍යාෂ්ටාඞ්ගික මාර්‍ගයෙන් තොර වූයේ නම් ඒ ශාසනය දුරක්ඛාත ය. එබඳු දුරක්ඛාතසාසනයෙක මාර්‍ගස්ථ-ඵලස්ථ විසින් අටවැදෑරුම් වූ ශ්‍රම‍ණයෝ නො ලැබෙත්. ඒ තබා කල්‍යාණ පෘථග්ජනයකුගේ උපතෙකුදු එහි නො වන්නේ ය.

පපඤ්චාභිරතා පජා = සත්ත්‍වප්‍රජාව ප්‍රපඤ්චයෙහි ඇලුනී ය.

තෘෂ්ණා-දෘෂ්ටි-මානයෝ ප්‍රපඤ්ච නම්‍ වෙත්. තෘෂ්ණ-ප්‍රපඤ්චය එක්සිය අට වැදෑරුම් ය. දෘෂ්ටිප්‍රපඤ්චය දෙ සැට වැදෑරුම් ය. මානප්‍රපඤ්චය නවවැදෑරුම් ය. [3] පජා නම්: සතත්‍ව ලෝකය යි.

නිප්පපඤ්චා තථාගතා = තථාගතයන් වහන්සේ ප්‍රපඤ්ච රහිතය හ.

තථාගතයන් වහන්සේ බෝ මැඩදී ම සියලු ප්‍රපඤ්චයන් මුලසුන් කළ සේක. තථාගත නම්, සම්මා සම්බුදුරජානන් වහන්සේ ය. උන්වහන්සේ අට කරුණෙකින් තථාගත සේක. මේ ඒ අට කරුණ:

තථා ආගතොති = තථා‍ගතො = යම් අභිනීභාරයකින් පසු දාන - සීල - නෙක්ඛම්ම - පඤ්ඤා - විරිය - ඛන්ති - සච්ච - අධිට්ඨාන - මෙත්තා - උපෙක්ඛා යන පාරමීධර්‍ම, පාරමී - උපපාරමී - පරමත්‍ථ පාරමීන් විසින් සම තිසක් කොට පුරා අඞ්ග - අත්ත - ධන - දාර - රජ්ජ යන මහාපරිත්‍යාග කොට විදර්ශී ආදී වූ සම්බුදුවරයෝ යම් සේ ආවාහු ද අපගේ සම්බුදුරජානන් වහන්සේත් එසේ ආ සේක් තථාගත නම් වූහ, යනු විතර හැර කොටිනි.

“යථෙව ලොකමහි විපස්සි ආදයො

සබ්බඤ්ඤුභාවං මුනයො ඉධාගතා,

තථා අයං සක්‍යමුනීපි ආගතො

තථාගතො වුච්චති තෙන චක්ඛුමාති”

යනු මෙහිලා සාධක.

තථා ගතොති = තථාගතො = මනුලොව එළිය දුටු ඇසිල්ලෙහි විදර්ශි ආදී වූ සම්බුදුවරයෝ සමපයින් පොළොව පිහිටා ගෙණ උතුරු දිගට මූණ ලා යම් සේ සත් පියවරක් තබා ඉදිරියට ගියාහු ද, අපගේ සම්බුදුරජාණන් වහන්සේත් එසේ වැඩි සේක් තථාගත නම් වූහ, යනු විතර හැර කොටින්.

“මුහුත්තජාතොව ගවම්පතී යථා

සමෙහි පාදෙහි ඵුසී වසුන්‍ධරං,

සො වික්කමී සත්තපදාහි ගොතමො

සෙතඤ්ච ඡත්තං අනුධාරයුං මරූ,

.

ගනත්‍වාන සො සත්තපදානි ගොතමො

දිසා විලොකෙසි සමා සමන්තතො,

අට්ඨඞ්ගුපෙතං ගිරම්බභුදීරයී

සීහො යථා පබ්බතමුද්ධනිට්ඨිතොති”

යනු මෙහිලා සාධක.

තථලක්ඛණ = ආගතොති = තථාගතො = සියලු රූපාරූප ධර්‍මයන්ගේ සත්‍ය වූ නිබොරු වූ ස්වලක්‍ෂණ - සාමාන්‍ය ලක්‍ෂණ, ඥානගතියෙන් අවබෝධ කළ සේක්, ස්වලක්‍ෂණ - සාමාන්‍ය ලක්‍ෂණයන් අවිරුද්ධ කොට දත් සේක් තථාගත නම් වූහ, යනු විතර හැර කොටින්.

“සබ්බෙසං පන ධම්මානං සකසාමඤ්ඤලක්ඛණං,

තථමෙවාගතො යස්මා තස්මා නාථො තථාගතොති”

යනු මෙහිලා සාධක.

තථධම්මෙ යථාවතො අභිසම්බුද්ධොති තථාගතො = තථධර්‍ම සඞ්ඛ්‍යාත දුඃඛ - සමුදය - නිරෝධ - මාර්‍ගසත්‍යයන් මැනැවින් අවබෝධ කළ සේක් තථාගත නම් වූහ, යනු විතර හැර කොටින්.

“චත්තාරිමානි භික්ඛවෙ! තථා නි අවිතථානි අනඤ්ඤථානි කකතමානි චත්තාරි? ඉදං දුක්ඛං අරිසච්චනන්ති භික්ඛවෙ! තථමෙතං අවිතථමෙතං අනඤ්ඤතමෙතන්ති විත්‍ථාරො, තානි ච භගවා අභිසම්බුද්ධො, තස්මාපි තථානං අභිසම්බුද්ධත්තා = තථාගතො” යනාදිය ද මෙහිලා සාධක.

තථදස්සිතාය = තථාගතො = දෙවියන් සහිත ලෝකයෙහි අපරිමිත ලෝකධාතූන්හි අපරිමිතසත්ත්‍වයන්ගේ චක්ඛු - සෝත - ඝාණ - ජීව්හා - කාය - මන යන ද්වාරයන්ට ගොදුරු වූ හමු වූ රූප - සද්ද - ගන්‍ධ - රස - ඵොට්ඨබ්බ - ධම්ම යන අරමුණු අවබෝධ කළ සේක් තථාගත නම් වූහ, යනු විතර හැර කොටින්.

“යං සදෙවක ලොකෙ - පෙ- සදෙවමනුස්සාය අපරිමාණාසු ලොකධාතුසු අපරිමාණානං සත්තානං චක්ඛුද්වාරෙ ආපාථං ආගච්ඡන්තං රූපාරම්මණං නාම අත්‍ථි, තං භගවා සබ්බාකාරතො ජානාති පස්සති” යනාදිය ද මෙහිලා සාධක.

තථාවාදිතාය = තථාගතො = සම්මා සම්බුදු රජානන් වහන්සේ යම් රැයක නිරුත්තර වූ සම්බොධිය සමධිගමය කොට යම් රැයක අනුපාදිශෙෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවි සේක් ද, මේ අතර පන් සාළිස් වසක් මුළුල්ලෙහි සත්‍ය වූ අන් පරිදි නො වූ සූත්‍රගෙය්‍යාදි ධර්‍ම සමූහය දෙසූ සේක් රාගමදාදි මද නිම්මදනය කළ සේක තථාගත නම් වූහ, යනු විතර හැර කොටින්.

“යඤ්ච චුන්‍ද! රත්තිං තථාගතො අනුත්තරං සම්මා සම්බොධිං අභිසම්බුජ්ඣති, යඤ්ච රත්තිං අනුපදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, යඤ්ච එතස්මිං අන්තරෙ භාසති ලපති නිද්දිසති, සබ්බං තං තථමෙව හොති න අනඤ්ඤථා, තස්මා තථාගතොති වුච්චති” යනු ද මෙහිලා සාධක.

තථා කාරිතාය = තථාගතො = සම්මා සම්බුදු රජාණන් වහන්සේ උඩින් භවාග්‍රය, යටින් අවීචිය කෙළවර කොට සරස අපරිමිත ලෝක ධාතූන්හි අපරිමිත සත්ත්‍වයන් ශිලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් විමුක්තියෙන් විමුක්තිඥාන දර්‍ශනයෙන් අභිභවනය කළ සේක් සියලු සත්ත්‍වයන් එකී ගුණයන්ගෙන් යටපත් කොට සිටි සේක් ඔවුනතුර අතුල්‍ය සේක් අප්‍රමෙය සේක් නිරුත්තර සේක් දෙවියන්ට ‍අතිදෙව සේක් ශක්‍රයනට අතිශක්‍ර සේක් බ්‍රහ්මයනට අතිබ්‍රහ්ම සේක් සර්‍ව සත්ත්‍වොත්තම සේක් තථාගත නම් වූහ, යනු විතර හැර කොටින්.

“සදෙවකෙ ලොකෙ - පෙ- සදෙවමනුස්සාය තථාගතො අභිභූ අනභිභූතො අඤ්ඤදත්‍ථු දසො වසවත්ති, තස්මා තථාගතොති වුච්චති” යනු ද මෙහිලා සාධක.

මෙ කියූ කරුණු අට ඉතා සැකෙවින් මෙසේ දන්නහු විසින් තථාගතභාවයෙහි ලා මෙ ද දත යුතු ය:- “ලොකො භික්ඛවෙ! තථාගතෙන අභිසම්බුද්ධො, ලොකස්මා තථාගතො විසංයුත්තො, ලොකසමුදයො භික්ඛවෙ! තථාගතෙන අභිසම්බුද්ධො, ලොකසමුදයො තථාගතස්ස පහීණො, ලොක නිරොධො භික්ඛවෙ! තථාගතෙන අභිසම්බුද්ධො, ලොකනිරොධො තථාගතස්ස සච්ඡිකතො, ලොකනිරොධගාමිනි ප‍ටිපදා භික්ඛවෙ! තථාගතෙන අභිසම්බුද්ධා, ලොකනිරොධගාමිනි පටිපදා තථාගතස්ස භාවිතා, යං භික්ඛවෙ! සදෙවකස්ස ලොකස්ස ස්මාරකස්ස සස්සමණභබ්‍රාහ්මණියා පජාය සදෙව මනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පරියෙසිතං අනුවිචරිතං මනසා, සබ්බං තං තථාගතෙන අභිසම්බුද්ධං, තස්මා තථාගතොති වුච්චති” යනු.

“මහණෙනි! ලෝකය - ලෝකසමුදය - ලෝකනිරෝධය - ලෝකනිරෝධගාමිනී ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරණ ලදහ, මහණෙනි! තථාගතයන් වහන්සේ විසින් ‍ලෝකය හා නො ගැටුනු සේක, තථාගතයන් වහන්සේ විසින් ලෝක සමුදය ප්‍රහීණ කරණ ලදුයේ ය, ලෝක නිරෝධය පසක් කරණ ලදුයේ ය, ලෝකනිරෝධගාමිනී ප්‍රතිපදාව වඩනා ලද ය, මහණෙනි! දෙවියන් මරුන් බඹුන් සහිත වූ ලෝකයා විසින් මහණ බමුණන් හා සෙසු දෙවිමිනිසුන් සහිත වූ සත්ත්‍වප්‍රජාව විසින් යම් රූප - ශබ්ද - ගන්‍ධ - රස - සප්‍රෂ්ව්‍ය ධර්‍මාලම්බනයෙක් ලබන ලද ද, සොයන ලද ද ලුහු බ ඳින ලද ද එ හැම තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරණ ලද ය. එහෙයින් තථාගත” යි කියනු ලැබේ, යනු එහා ඉතා කෙටි අරුත්.

බුදුරජාණන් වහන්සේ ලෝකය සත්‍ය වූ තීරණපරිඥායෙන් ලෝකසමුදය සත්‍ය වූ ප්‍රහාණපරිඥායෙන්, ලෝකනිරෝධය සත්‍ය වූ සාක්‍ෂාත්කරණයෙන්, ලෝකනිරෝධගාමිනී ප්‍රතිපදාව සත්‍ය වූ භාවනායෙන් අවබෝධ කළ සේකැ යි කොටින් දත යුතු ය. මේ හැර මෙහි කියන මේ කරුණු අට ද තථාගතභාවය පිණිස වන්නේ ය. එහෙයින් එ ද සැකෙවින් දන්නේ ය.

තථාය ආගතොති = තථාගතො = දිවකුරු බුදුරජු පටන් කසුප් බුදුරජු තෙක් ලොව පහළ වූ අටවිසි බුදුරජුන් වෙතින් ‍බුදුබව පිණිස ලත් විවරණ ඇති අපගේ බුදුරජාණන් වහන්සේ කළ අභිනීභාර ඇති බෝසතුන් විසින් ලැබිය යුතු යම් අනුසස් කෙනෙක් වූහු නම්, ඒ හැම අනුසස් ලබා කරණ ලද සත්‍ය වූ අවිතථ වූ ඒ මහාප්‍රතිඥායෙන් අභිසම්බොධියට පැමිණි සේක් ‘තථාගත’ නම්හ.

තථාය ‍ගතොති = තථාගතො = අපගේ බුදුරජානන් වහන්සේ බුදුරජුන් පිළිබඳ යම් මේ මහා කරුණායෙක් වේ ද, ඒ මහා කරුණයෙන් ම දුකට වැටුනු සත්ත්‍වයන් දැක “මොවුනට මා හැර අන් පිහිටෙක් නැත, මම පළමු ව සසරින් මිදී මේ සත්ත්‍වයන් ද සසරින් මුදා හරින්නෙමි”යි උත්සාහ ඇති ව ප්‍රාර්‍ත්‍ථනා තුබූ සේක. ඒ ප්‍රාර්‍ත්‍ථනා පරිදි ලොවට හිත සලසනු පිණිස අන්හට ඇසීම් පමණිනුදු බිය දන වන දුෂ්කරක්‍රියා කරමින් මහාසතුන් පිළිබඳ ප්‍රතිපත්තිය, හානභාගිය - සංකිලෙසභාගිය - ඨිතිභාගිය නො වේ ද, විසෙසභාගිය ම වේ ද, එසේ පිළිපදිමින් සියලු බොධිසම්භාරයන් එක් කොට අභිසම්බොධියට පැමිණි සේක. පැමිණ ඒ මහාකරුණායෙන් ම මෙහෙයුනු සිත් ඇති ව විවේක රතිය ත් උතුම් වූ ශාන්තවිමෝක්ෂසුඛය ත් හැරපියා අඥානජනයන්ගෙන් පිරී ගත් ලෝකයෙහි ඔවුන් කළ සම්මාන - අවමාන ගැණ නො තකා හික්මවිය හැකි හැම දෙනා හික්මවමින් සියලු බුදුකිස නිමවාලූ සේක. මෙසේ මේ අවස්ථා තුනෙහි ම වෙනස් නො වූ අඩු වැඩි නො වූ සමකිස ඇති මහාකරුණායෙන් ම සියලු ලොවට හිත පිණස පිළිපන් සේක් ‘තථාගත’ නම්හ.

තථානි ආගතොති = තථාගතො = චතුර්විධ මාර්‍ගඥාන - ත්‍රිවිධ අප්‍රතිහතඥාන - චතුර්විධ ප්‍රතිසංවිද්ඥාන - චතුර්විධ වෛශාරද්‍යඥාන - පංචවිධ ගත් පරිච්ඡෙදඥාන - ෂට්විධ අසාධාරණඥාන - සප්තවිධ බොද්ධ්‍යඞ්ගඥාන - අෂ්ටවිධමාර්‍ගාඞ්ගවිභාවඥාන - නවවිධ ආනුපූර්‍වඥාන - දශබලඥාන යන ඥානරාශිය අධිගත සේක් අපගේ බුදු රජානන් වහන්සේ ‘තථාගත’ නම්හ.

තථා ගතොති = තථාගතො = බුදුරජාණන් වහන්සේ යම් අභිජාතියක් යම් අභිසම්බොධියක් යම් ධර්‍මවිනය පැණවීමක් යම් අනුපාදිශෙෂනිර්‍වාණ ධාතුවක් යම් ප්‍රයෝජනයක් පිණිස පැතූ සේක් නම් පැවැත්වූ සේක් නම් ඒ අභිජාත්‍යාදිය එකාන්ත විසින් සිද්ධියට ගිය බැවින් ඒ පැතීම් එසේ ම වූයේ ය. නො වෙනස් වූයේ ය. අන් පරිද්දෙකින් නො වූයේ ය. මෙසේ බුදුරජානන් වහන්සේ ඒ අභිජාත්‍යාදියට පැමිණි සේක් ‘තථාගත’ නම්හ.

තථාවිධොති = තථාගතො = පිරිනිවී ගිය භාග්‍යවතුන් වහන්සේලා මාර්‍ගශීලයෙන්, ඵලශීලයෙන්, මාර්‍ගඵලශීලයෙන්, මාර්‍ගසමාධියෙන්, ඵලසමාධියෙන්, සියලු ලෞකික ලෝකෝත්තර සමාධියෙන්, මාර්‍ගප්‍රඥායෙන්, ඵලප්‍රඥායෙන්, සියලු ලෞකික ලෝකෝත්තර ප්‍රඥායෙන් දිනපතා වැළඳිය යුතු වූ සූවිසි කෙළලක්‍ෂයක් සමාපත්තිවිහරණයෙන්, අනන්තාපරිමාණ භේද ඇති නො සිතිය හැකි අනුභාවවත් වූ සියලු සර්‍වඥ ගුණයන්ගෙන් යම්බඳු වූවාහු ද අපගේ බුදුරජානන් වහන්සේ ද එබඳු වූ සේක. ආයුවෙමත්තතා-සරීරවෙමත්තතාදිය හැර අන් සියලු ශීලවිශුද්ධි ආදී විශුද්ධීන්හි සමථ විදර්‍ශනා ප්‍රතිපත්තීණ්හි තමන් වහන්සේ විසින් පිළිපැදි ගුණයන්හි අතීත භාග්‍යවතුන් හා කිසිත් වෙනසෙක් නැත්තේ ය. එහෙයින් අපගේ බුදුරජානන් වහන්සේ ඒ සියලු ගුණයන්ගෙන් අතීත භාග්‍යවතුන් හා සම ව සිටි සේක් ‘තථාගත’ නම්හ.

තථා පවත්තිකොති = තථාගතො = අනන්‍යසාධාරණ ඍද්ධ්‍යනුභාවයෙන් යුක්ත බැවින් හා අතර්‍ත්‍ථප්‍රතිසංවිද් ආදීන්ගේ උසස් කෙළවරට පැමිණීමෙන් අනාවරණඥානප්‍රතිලාභයෙන් ද භාග්‍යවතුන් පිළිබඳ කායවචීචිත්තප්‍රවෘත්තීන්ගේ නැසීමක් නො මැති බැවින් නො නැසුනු කායවචීචිත්තප්‍රවෘත්ති ඇති සේක් ‘තථාගත’ නම්හ.

තථෙහි ආගතොති = තථාගතො = බොධිසම්භාරධර්‍මයන් රැස් කිරීමෙහි දී එයට නො පටහැනි වූ පැවැත්ම ආදීනවානිශංසප්‍රත්‍යවේක්ෂා කිරීම් ආදී වශයෙන් පැවැති නුවණින් දත් සේක් ද, පස් වැදෑරුම් වූ ගතිවිෂයයෙහි පැවැති ස්කන්ධයන්ගේ ගමන මෝහට ඇත්තේ ‘අගත’ නම්. ඒ මේ අගතභාවය සොපාදිශෙෂ - අනුපාදිශෙෂ නිර්‍වාණයට පැමිණීමෙන් පරිපූර්‍ණ වූ ආර්‍ය්‍යමාර්‍ගඥානයෙන් දත් සේක් ද එහෙයින් බුදුරජානන් වහන්සේ ‘තථාගත’ නම්හ.

තථාගතභාවෙන = තථාගතො = සද්ධර්‍මය ආර්‍ය්‍යමාර්‍ගය ඵලධර්‍මය නිර්‍වාණය ආර්‍ය්‍යසඞ්ගය යන මේ හැම තථාගත නම්. මේ කියූ තථාගතභාවය ඇති සේක් බුදුරජානන් වහන්සේ ‘තථාගත’ නම්හ.

මෙහි මෙසේ කියන ලද්දේ තථාගත වූ බුදුරජානන් වහන්සේගේ තථාගතභාවය යන්තමකින් කියූ පොතපතෙහි ආ ධර්‍මවිවරණයෙන් ද අංශුමාත්‍රයෙක් ම වේ. පොතපත ද කියන්නේ තථාගතභාවයෙන් මුඛමාත්‍රයක් ම කියූ බව ය. මෙහි දී පොත පතින් ඉතා ටිකක් ම ගෙණ ලියූ මේ තථාගතභාවය පිළිබඳ කථාවද මොන ලෙසකිනුත් එයට ලංව නො සිටුනී ය. තථාගතයන් වහන්සේ ම තථාගත භාවය දැක්වීමෙහි සමර්‍ත්‍ථ සේක. ලොව අන් හැමකෙනෙක් ම එහ අසමර්‍ත්‍ථයහ. තථාගත පදය මහදර්‍ත්‍ථ ඇතියේ ය. මහාගති ඇතියේ ය. මහාවිෂය ඇතියේ ය. අප්පමාද පදය සේ සියලු ත්‍රිපිටක බුද්ධවචන ගැබ්කොට සිටියේ ය.

යථෙව ලොකෙ පුරිමා මහෙසිනො

සබ්බඤ්ඤුභාවං මුනයො ඉධාගතා,

තථා අයං සක්‍යමුනීපි ආගතො

තථාගතො වුච්චති තෙන චක්ඛුමා.

.

පහාය කමාදිමලෙ අසෙසතො

සමාධිඤාණෙහි යථාගතා ජිනා,

පුරාතනා සක්‍යමුනි ජුතින්‍ධරො

තථාගතො තෙන තථාගතො මතො.

.

තථඤ්ච ධාත්‍වායතනාදිලක්ඛණං

සභාවසාමඤ්ඤවිභාගභෙදතො,

සයමභඤාණෙන ජිනොයමාගතො

තථාගතො වුච්චති සක්‍යපුඞ්ගවො.

.

තථානි සච්චානි සමන්තචක්ඛුනා

තථාඉදපච්චයතා ච සබ්බසො,

අනඤ්ඤනෙය්‍යෙන යතො විභාවිතා

තථාගතො තෙන ජිනෙ තථාගතො.

.

අනෙකභෙදොසුපි ලොකධාතුසු

ජිනස්ස රූපායතනාදිගොචරෙ,

විචිත්තභෙදෙ තථමෙව දස්සනං

තථාගතො තෙන සමන්තලොචනො.

.

යතො ච ධම්මං තථමෙව භාසති

කරොති වාචායනුරූපමත්තනො,

ගුණෙහි ලොකං අභිභුයයීරීයති,

තථාගතො තෙනපි ලොකනායකො.

.

තථා පරිඤ්ඤාය තථාය සබ්බසො

අවෙදි ලොකං පභවං අතික්කමී,

ගතො ච පච්චක්ඛක්‍රියාය නිබ්බුතිං

සදාරියමග්ගඤ්ච ගතො තථාගතො.

.

තථා පටිඤ්ඤාය තථාය සබ්බසො

හිතාය ලොකස්ස යතොයමාගතො,

තථාය නාථො කරුණාය සබ්බදා

ගතො ච තෙනාපි ජිනො තථාගතො.

.

තථානි ඤාණානි යතොයමාගතො

යථාසභාවං විසයාවබොධතො,

තථාභිජාතිප්පභුතිං තථාගතො

තදත්‍ථසම්පාදනතො තථාගතො.

.

යථාවිධාසුං පුරිමා මහෙසිනො

තථාවිධොයම්පි තථා යථාරුචි,

පවත්තවාචාතනුචිත්තභාවතො

තථාගතො වුච්චති අග්ගපුග්ගලො.

.

සම්බොධිසම්හාරවිපක්‍ඛතො පුරෙ

ගතං න සංසාරගතම්පි තස්ස,

න චත්‍ථි නාථස්ස භවන්තදස්සිනො

තථෙහි තස්මා අගතො තථාගතො.

.

තථාගතො ධම්මවරො මහසිනා

යථා පහාතබ්බමලං පහීයති,

තථාගතො අරියගණො විනායකො

තථාගතො තෙන සමඞ්ගිභාවතො.

යන මෙහිද අරුත් ගුරුන් විචාරා දතයුතු ය.

“යථා ගතාස්තෙ මුනයඃ ශිවාං ගතිං

තථා ගතිං සොපි ගතස්ථාගතඃ”

යි සර්‍වදර්‍ශනසඞ්ග්‍රහයෙහි එන මෙහි යට දැක් වූ හැම අරුතෙක් ඇතුළත් ව සිටියේ ය. යම් ලෙසකින් ‍යම් ප්‍රතිපදායෙකින් පූර්‍ව මුනීහු නිර්‍භය වූ මෝක්ෂයට පැමිණියාහු ද, අපගේ බුද්ධමුනි තෙමේ ද එසේ ඒ ප්‍රතිපත්ති මාර්‍ගයෙන් නිර්‍භය වූ මෝක්ෂයට පැමිණියේ ය. එහෙයින් තථාගත නම් වේ යනු අරුත්.

ආකාසෙ එව පදං නත්‍ථි = අහසෙහි පියසටහනෙක් නැත.

සමණො නත්‍ථි බාහිරෙ = බැහැරි සසුන්හි මහණෙක් නැත.

සඞ්කාරා සස්සතා නත්‍ථි = නිත්‍ය වූ සංස්කාරයෝ නැත.

සඞ්කාර නම්: හේතුප්‍රත්‍යයන් විසින් උපදවනු ලබන්නේ ය. “පච්චයෙහි අභිසඞ්ඛරීයන්තීති = සඞ්ඛාරා” යනු නිරුක්ති. ප්‍රත්‍යය නම්: කර්‍ම - චිත්ත - ඍතු - ආහාරයෝ ය. ප්‍රත්‍යයන් විසින් උපදවනු ලබන සංස්කාරයෝ උපාදින්නස්කන්‍ධ - අනුපාදින්නස්කන්‍ධ යි දෙකොසකට බෙදෙත්. එහි තෘෂ්ණාදි උපාදානයන් විසින් ‘මමය, මාගේය, යන ඈ ලෙසින් ගණු ලබන්නේ උපාදින්නස්කන්‍ධ ය. ඒ නම්: සත්ත්‍ව තෙමේ ය. එහි නාම - රූප දෙකොටස ම එක්ව සිටියේ ය. මේ උපාදින්නස්කන්‍ධය යටින් අවීචිය පටන් උඩින් භවාග්‍රය කෙළවර කොට මේ දෑතුරෙහි සිටි සිත් පිත් අත්තේ ය. මෙහි මෙසේ විශේෂයක් නො තබා කියන ලද ද භවයෙහි මේ දෙකොටස ම එක්ව නො යෙදෙන තැන්ද ඇත්තේ ය. සමහර තැනක රූපය පමණක් සමහර තැනක නාමය පමණක් යෙදෙනාතර සමහර තැනක නාම-රූප දෙක ම යෙදෙන්නේ ය. එහෙයින් එයට අනුව එකවොකාරභව - චතුවොකාරභව - පංචවොකාරභවය යි භවයෝ වෙන් කොට දක්වන ලදහ. සවිඤ්ඤාණ සඞ්ඛාර ය කියනු ලබන්නේ ද මේ උපදින්නස්කන්‍ධ යි.

අනුපාදින්නස්කන්‍ධ නම්: වෘක්‍ෂ - ලතා - භූමි - පර්‍වත - නදී - තටාක - සමුද්‍ර - උද්‍යාන - විමානාදී වූ සිත් පිත් නැති පඨවි ආදී මහාභූතයන්ගේ එක්වීමෙන් නැගුනු ඉතා සියුම් පරමාණු ද ඇතුළත් කොට සිටි වස්තුජාතය යි. මේ හැමතැන සිටියේ රූපස්කන්‍ධය ප‍මණෙක් ය. මෙය අවිඤ්ඤාණසඞ්ඛාරැයි ද හඳුන්වනු ලැබේ.

අවිද්‍යා ශබ්දයෙන් ආ සඞ්ඛාර, සංස්කාර ශබ්දයෙන් ආ සඞ්ඛාර යි සඞ්ඛාර දෙපරිදි වේ. ඔවුනතුරෙහි පුඤ්ඤාභිසඞ්ඛාර - අපුඤ්ඤාභිසඞ්ඛාර - ආනෙඤ්ජාභිසඞ්කාර - කායසඞ්ඛාර - වචීසඞ්ඛාර - චිත්තසඞ්ඛාර යන මොවුහු අවිද්‍යා ප්‍රතයයෙන් වූ සඞ්ඛාරයෝ ය. මේ සියල්ල ලෞකිකකුශලාකුශලචේතනා ය.

එහි දාන-ශීලාදීන්ගේ වශයෙන් පවත්නා අටවැදෑරුම් කුශල චේතනා ද භාවනා වශයෙන් පවත්නා පස්වැදෑරුම් රූපාවචර කුශල චේතනා ද යන කෙළෙස් කුශලචේතනා පුඤ්ඤාභිසඞ්ඛාර නම්. ප්‍රාණඝාතාදීන්ගේ වශයෙන් පවත්නා දොළොස් අකුශල චේතනා අපුඤ්ඤාභිසඞ්ඛාර නම්. ආකාසානඤ්චායතනාදීන්ගේ වශයෙන් පවත්නා සිවු වැදෑරුම් අරූපාවචර චේතනා අනෙඤජාභිසඞ්ඛාර නම්.

කායද්වාරයෙන් හට ගන්නා වූ කාමාවචර කුසල් සිත් අටෙහි යෙදෙන චෙනා අට හා, දොළොස් අකුසල් සිත්හි යෙදෙන චේතනා දොළොස කායසඞ්ඛාර නම්. මේ චෙනා විස්ද වාග් ද්වාරයෙහි හට ගන්නේ නම් වචීසඞ්කාර නම්. කාය-වාග්විඥප්ති දෙක නො උපදවා මනෝද්වාරයෙහි යෙදෙන කාමාවචර කුසල චේතනා අට, අකුසල චේතනා දොළොස, රූපාවතර කුසල චේතනා පස, අරූපාවචර කුසල චේතනා සතර යන එකුන්තිස් චේතනා, චිත්තසඞ්ඛාර නම්. මෙ කී චේතනාවෝ සංස්කාරයන් කෙරෙහි ප්‍රධාන ව සිටින්නෝ ය. චේතනාවෝ ම ඒ ඒ සිත්වල යෙදෙන අන්‍ය වූ ස්පර්‍ශාදිසංස්කාරයෙක් උනුන් පිළිබඳ කෘත්‍යයන්හි යොදාලමින් තුමූ ද තමකාර්‍ය්‍යයෙහි යෙදෙත්. චේතනා ම කර්‍මැ යි වදාළෝ ද එහෙයිනි. [4]

සඞ්ඛතසඞ්ඛාර - අභිසඞ්ඛතසඞ්ඛාර - අභිසඞ්ඛරණසඞ්ඛාර - පයොගාභිසඞ්ඛාර යන මේ සතර, සඞ්ඛාර ශබ්දයෙන් ආ සඞ්ඛාරයෝ ය. “අනිච්චා වත සඞ්ඛාරා” = ‘සියලු සංස්කාරයෝ එකාන්තයෙන් අනිත්‍යයහ’ යනාදීන් කියූ උත්පාදාදිලක්‍ෂණ යුක්ත වූ සියලු ධර්‍ම, තමන් අයත් ප්‍රත්‍යය හේතුවෙන් වන බැවින් සඞ්ඛත සඞ්ඛාර නම්. කුශලා කුශලකර්‍ම වේගයෙන් උපන් ත්‍රෛභූමක ධර්‍ම අභිසඞ්ඛතසඞ්ඛාර නම්. “අනිච්චා වත සඞ්ඛාරා” යනාදීන්හි කියූ සංස්කාරයන්හිම ඒ වැදී සිටියි. “අවිජ්ජාගතොයං භික්ඛවෙ! පුරිසපුග්ගලො පුඤ්ඤං චෙ සඞ්ඛාරං අභිසඞ්ඛරොති” = “අවිද්‍යාවෙන් ඇවුරුණු නුවණ වැඩී ගිය පුරුෂ තෙමේ ‍පුණ්‍යාභි සංස්කාර ද රැස් කෙරෙයි, යනාදී තන්හි වැදී සිටි ත්‍රෛභූමක කුශලාකුශලචේතනා අභිසඞ්ඛරණ සඞ්ඛාර නම්. “යාවතිකා භික්ඛවෙ! අභිසඞ්ඛාරස්ස ගති, තාවතිකං ගනත්‍වා අක්ඛාතං මඤ්ඤෙ අට්ඨාසි” = කාය ප්‍රයෝග වේගයෙහි ගමන යම් පමණ වේ ද, එ පමණ ගොස් අකුරෙහි හැනී සිටියා සේ සිටියේ ය, යනාදී තන්හි ආයේ පයෝගාහිසඞ්ඛාර නම්. ඒ නම් කායික - චෛතසික වීර්‍ය්‍යය යි.

සඞ්ඛාර විසින් ගැණෙන්නෝ මෙ පමණක් ම නො වෙති. මෙයි අන්‍ය වූවෝ ද වෙත්. “සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජන්තස්ස ඛො ආවුසො විසාඛ! භික්ඛුනො වචීසඞ්ඛාරො පඨමං නිරුජ්ඣති තතො කායසඞ්ඛාරො තතො චිත්තසඞ්ඛාරො” = සංඥා-වේදනා දෙදෙනාගේ නිරෝධයෙන් නිරෝධ සමාපත්තියට සමවදින්නහුගේ වාක්සංස්කාර (විතක්ක - විචාර) පළමු ව නිරුද්ධ වේ. අනතුරුව කායසංස්කාර (ආශ්වාස - ප්‍රශ්වාස) නිරුද්ධ වේ. අනතුරුව චිත්තසංස්කාර (සංඥා - වේදනා) නිරුද්ධ වේ; යන මේ ආදී තන්හි සඞ්ඛාර ශබ්දයෙන් ගැණෙන සංස්කාර නන් වැදෑරුම් ය. වාග්භේද කොට ශබ්දය පිළියෙල කරණ බැවින් විතර්‍ක - විචාර, වාක්සංස්කාර නම්. කරජකය විසින් සකස් කරණ බැවින් ආශ්වාස-ප්‍රශ්වාස, කාය සංස්කාර නම්. විතක්ක - විචාර හැර සෙසු සම පණස් චෛතසික චිත්තසංස්කාර ‍නම්.

හැම කල්හි නො නැසී පවත්නේ නම් සස්සත නම්. නො නැසෙන දැය, නිත්‍ය වූ දැය, නො වෙනස් වන තත්ත්‍වය ‘සස්සත’ යි කියනු ලැබේ. “සස්සතීති = සස්සතො, සදා සරනති ගච්ඡන්තීති = සස්සතො” යනු අරුත් හෙලි කිරීම ය. නිරන්තර භාවයෙහි වූ “සස්ස + සාතච්චෙ” යන ධාතුවෙන් ප්‍රත්‍යය වීමෙන් හෝ සදා යනු පෙරටු කරගත් “සර + ගතියං” යන ධාතුවෙන් ත ප්‍රත්‍යය වීමෙන් සිද්ධ වූයේ ය. එහි සදා යන්නට ස ආදෙශ ද වී ය. හැම කල්හි නො නැසී පවත්නා නිත්‍ය වූ සංස්කාරයො නැත්තාහ, යි දතයුතු ය.

නත්‍ථි බුද්ධානං ඉඤ්ජිතං = බුදුවරුන්ට සැලීමෙක් නැත.

ඒ ඒ අරමුණු වල ඒ ඒ අරමුණු විෂයයෙහි සත්ත්‍වයන්ගේ සැලීමට කරුණු වන්නෝ තෘෂ්ණා - මානා දී වූ ක්ලේශයෝ ය. යමක්හට එබඳු කෙලෙස් නැත්තේ නම් හේ කිසි තැනක නො සැලෙන්නේ ය. බුදුරජානන් වහන්සේ සංස්කාරයන් සස්සත යි ගැණීමට කරුණු වූ තෘෂ්ණා මානාදී වූ සියලු කෙලෙස් නසාලූ බැවින්, උන්වහන්සේට ඉඤ්ජනයෙක් ‍සැලීමෙක් පෙරළීමෙක් නැත්තේ ය.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි සුභද්‍ර තෙමේ අනාගාමී ඵලයෙහි පිහිටා ගත්තේ ය. ධර්‍මදේශනා තොමෝ පැමිණ සිටි පිරිසට ද වැඩ සහිත වූ ය.

සුභද්‍රපරිව්‍රාජක වස්තුව නිමි.

  1. 7-4 ‘ආකාසෙව’ යනු බලනු.

  2. 14-4 ‘ස‍මණෙ’ යනු බලනු.

  3. 14-9 ‘පපඤ්චසමතික්කන්තො’ යනු බලනු.

  4. 1-1 ‘මනොපුබ්බඞ්ගමා ධම්මා’ යනු බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.