පණ්ඩුපලාසො’ව දානි’සි යමපුරිසා’පි ච තං උපට්ඨිතා.
උය්‍යොගමුඛෙ ච තිට්ඨසි පාථෙය්‍යම්පි ච තෙ න විජ්ජති.
දැන් (සිඳි බිමැ හුනු) පඬු පැහැ පරණලා පතක් මෙන් විහි. යමදූතයෝ ද තට එළැඹ සිටියහ. (හෙවත් මරණය තට එළැඹ සිටියේ ය). පරිහානිමුඛයෙහි ද සිටියෙහි ය. පරලොව යන තට කුසල් නැමැති මාර්ගෝපකරණයෙකුදු නැත්තේ ය.
සො කරොහි දීපමත්තනො ඛිප්පං වායම පණ්ඩිතො භව
නිද්ධන්තමලො අනඞ්ගණො දිබ්බං අරියභූමිමෙහිසි.
ඒ තෝ තමහට (නැව බුන් කල්හි පිහිට වන) දිවයිනක් (මෙන් කුසල් නමැති පිහිටක්) කරව. (කරන්නෙහි දු) වහා වෑයම් කරව. (එහි ලා) නුවණැති වව. (සන්තානයෙන්) පහ කළ රාගාදි මල ඇත්තෙහි, එහෙයින් ම රාගාදී අඞ්ගණ නැත්තෙක් වූයෙහි, දිව්‍යානුභාව ඇති (නොහොත් ශෝභාවත්) ආර්‍ය්‍යභූමියට (හෙවත් ශුද්ධාවාසයට) පැමිණෙන්නෙහි ය.
උපනීතවයො ච දානි’සි සම්පයාතො’සි යමස්ස සන්තිකෙ
වාසො’පි ච තෙ නත්‍ථි අන්තරා පාථෙය්‍යම්පි ච තෙ න විජ්ජති.
දැන් තෝ ගියා වූ වයස් ඇත්තෙහි ද වෙහි. (තුන් වයස් ම ඉක් මැ) මරුමුවෙහි සිටියෙහි. යමයා සමීපයට (මරුමුවට) යන්නට සැරැසී සිටියෙහි. තට අතුරෙහි වාසයකුදු නැත. පරලොව යන තට අතරමඟ ලැග්මෙකුදු නැත. තට මාර්ගෝපකරණයෙකුදු නැත.
සො කරොහි දීපමත්තනො ඛිප්පං වායම පණ්ඩිතො භව
නිද්ධන්තමලො අනඞ්ගණො න පුනං ජාතිජරං උපෙහිසි.
හේ තෝ තමහට පිහිටක් කරව. වහා වීර්‍ය්‍ය කරව. කුසල් කිරීමෙහි නුවණැති වව. දුර ලූ රාගාදි මල අත්තෙහි, එ හෙයින් ම (රාගාදි) අඞ්ගණ නැත්තෙහි, නැවත ජන්මජරාව්‍යාධිමරණයනට නො පැමිණෙන්නෙහි ය.
සැවැත් නුවර වැසි එක් ගෙරින් මරන්නෙක් ගෙරින් මරා හොඳ හොඳ මස් ගෙණ පිසවා අඹුදරුවන් සමග එක්ව හිඳ කමින් වැඩි මස් මිලට විකුණන්නේ ය. මෙතෙමේ පණස් පස් අවුරුද්දක් මෙසේ ගෙරින් මරා කමින් දවස් යවන්නේ ද ගෙය අසල වෙහෙර වැඩ හුන් බුදුරජානන් වහන්සේට වත් එක් දවසකුදු බත්හැන්දක් කැඳහැන්දක් පමණකුත් නො දුන්නේ ය. හෙතෙමේ මසක් නැතුව නම් කවදාවත් නො කන්නේ ය. දවසක් දාවල මස් විකොට තමන් පිණිස මස් කෑල්ලක් ගෙණවුත් පිස තබන්නට අඹුට දීලා තෙමේ නාන්නට ගියේ ය.
ඒ අතර ඔහුගේ යහළුවෙක් එහි පැමිණ ඔහුගේ අඹුට කතා කොට “අපගේ ගෙට අමුත්තෙක් ඇවිත් සිටියි, විකුණන්නට තුබූ මස් වත් තිබේ නම් එයින් ටිකක් දෙන්නැ”යි ඉල්ලා සිටියේ ය. “විකුණන්නට තුබූ මස් නැත, ඔබගේ යහළු, මස් විකුණා අවුත් දැන් නාන්නට ගියේ වනැ”යි කී විට, නැවැතත් ඔහු “එහෙම කියන්නට කරන්නට එපා, ටිකක් වුවත් ඇත, තිබේ නම් එයින් ටිකක් වත් දෙන්නැ”යි ඉල්ලී ය. “අපගේ ගෙයි එක්කෙනාට උයා තබන්නට දීලා ගිය මස් ටික හැර අන් මසෙක් නම් නැතැ”යි කී කල්හි මස් ඉල්ලා ආයේ “හරි, මා යහළු දීලා ගිය මස් හැර අන් මසෙක් නැත, ඔහු මස් නැතිව බත් නොකන බවත් දනිමි, කමෙක් නෑ, මෑ මෙය නො දෙන හැඩැ යි පෙණෙන්නේ”යි තෙමේ ම ගෙට ඇතුල් ව සඟවා තුබූ මස් ටික පැහැර ගෙණ ගියේ ය.
ගෙරින් මරන්නා නාලා ආයේ බිරිය පලාකොළ තැම්බුමකුත් සමග බත් බෙදා තුබූ කල්හි “මා උයන්නට දීලා ගිය මස් කොහි දැ”යි ඇසී ය. “ඔහේගේ යහළුවෙක් මෙහි අවුත් ඔහුගේ ගෙදරට අමුත්තෙක් අවුත් සිටී ය කියා මාගෙන් මස් ටිකක් තිබේ නම් දෙන්නැ යි ඉල්ලී ය, මම මස් නැතැ යි කීමි, එසේ කියත් ම ඔහු නැවැත නැවැතත් මස් ඉල්ලා කරදර කෙළේ ය, එවිට මම ඔයාට රෑ බතට උයා තබන්නට දීලා ගිය මස් ටිකක් නම් තිබෙනවා, එය නම් මොනලෙසකටවත් දෙන්නට නො හැකි ය, අපගේ ගෙයි එක්කෙනා මස් නැතිව බත්කන්නේ නැතැයි කීපවිටක්ම කීවා, එහෙත් ඔහු ඒ කිසිත් නො සලකා ගෙට ඇතුල් ව මස්ටික බලාත්කාරයෙන් ම ගෙණ ගියේ ය”යි අඹු කී කල්හි “මට මස් නැතිව බත් කන්නට නො හැකි යි, මස් ගෙණ එව” යි ඔහු ගුගුළේ ය. “හිමි! දැන් මම කුමක් කරම් ද, තරහ නො ගෙණ මේ බත්ටික කන්නැ”යි අඹු කන්නලව් කළා ය. “මට ඔය බතින් වැඩක් නෑ, බත් ගෙණ යව, මම බත් නො කමි”යි බත් ආ පසු යවා ගෙයි තැබූ පිහියක් ගෙණ ගෙය පිටිපස බැඳ සිටි ගොනා ලඟට ගොස් උගේ කට අරවා කටේ අත දමා දිව එළියට ඇද එය මුලින්ම කපා ගෙණ අවුත් අඟුරෙහි දමා කර කරලා බත් ගෙන්වා ගෙණ බත් උඩ එය තබා ගෙණ හිඳ බත් කටක් කටට ගෙණ කර කරලා ගත් මස් කැබැල්ලෙන් කෑල්ලක් කඩා කටට ගත්තේ ය. එකෙණෙහි ම උගේ දිව මුලින් ම ගැලවී බත් උඩට වැටුනේ ය. මෙසේ ඒ වේලෙහි ම ඔහු කළ ඒ පව්කමට සරිලන විපාක ද ලැබුනේ ය. ඔහු ඒ ගොන් මෙන් ලේදහර කටින් වගුරුවමින් ගෙයතුළ දණ ගාමින් එහා මෙහා හැසිරෙන්නට වන. කතාබහක් නැත්තේ ය. කෑමෙක් බීමෙක් නො වී ය. එවේලෙහි ඔහුගේ පුත්, පියා දෙස බලමින් ඔහු ලඟ ම සිටියේ ය. එසේ සිටි පුතු දැක ඔහුගේ මවු “පුත! බලන්න, විපාකයේ මහත, ගොන් මෙන් ගේ මැද දණ ගා හැසිරෙමින් තාගේ පියා මොර දෙන සැටි බලන්න, මේ දුක ඔබ මතුයෙහි ද වැටෙන්නට බැරි නැත, ඒ නිසා මා ගැණ නො බලා මෙයින් මිදී යන්නට ගෙයින් පිටව යන්නැ”යි පුතුට කිවු ය. පුතු ද මවුගේ බස් පිළිගෙණ මරණබියෙන් තැති ගෙණ මවට වැඳ ගෙය හැර දමා තක්සලාවට ගියේ ය. ගොඝාතක එදා ම මැරී ගොස් අවීචිමහානරකයෙහි උපන. ගොන් ද මළේ ය. පුතු තක්සලාවට ගොස් රන්කරු ගෙදරක නවාතැන් ගෙණ රන්කරුකම් උගත්තේ ය.
එක් දවසක් ඔහුගේ ගුරුවරයා කම්මලේ වැඩ කොට ගමට යන්නට සැරසී ඔහුට සැලැස්මක් දී “මේ සැලැස්මෙහි පෙණෙන ලෙසට ආභරණයක් කරව”යි නියම කොට ගමට ගියේ ය. ඔහු ද ගුරුවරයා දුන් සැලැස්මට අනුව ඒ ආභරණය සාදා තැබී ය. ගම සිට පෙරළා පැමිණි ගුරු, ආභරණය බලා සතුටු ව “මූට කොතැන ගියත් කරදරයක් නැතිව බත්පත සපයා ගෙණ ජීවත් විය හැකි ය”යි වැඩිවියට පැමිණ සිට තම දුව බිරිය කොට ඔහුට පාවා දුන්නේ ය. කල් යත් මොහු දූ පුතුන්ගෙන් වැඩී ගියේ ය. පුත්තු පියා වෙතම රැඳී ශිල්ප උගත්තාහු තරුණ වයසට පැමිණියෝ ටික කලක් තක්සලාවෙහි රැඳී හිඳ පසුව රජගහ නුවරට ගොස් එහි ගේදොර ගොඩ නගා ගෙණ වසන්නාහු සැදැහැතියෝ වූහ. තක්සලාවෙහිම රැඳී හුන් ඔවුන්ගේ පියා කිසිත් පින්දහමක් නොකොට හුන්නේ මහලුවයසට පැමිණියේ ය. එහෙයින් දූ පුත්තු “අපගේ පියා නිකම් ම මහලුව ගියේ ය”යි තමන් වෙතට ගෙන්වා ගෙණ උවටැන් කරන්නෝ පියාට පින් ලබා දෙන්නට බුදුපාමොක් මහසඟනට දන් පිණිස ආරාධනා කළහ. පසුදා එහි වැඩම කළ බුදුපාමොක් මහසඟන ගෙයි වඩා හිඳුවා මැනැවින් වළඳවා, අවසන්හි “ස්වාමීනි! මේ දානය ජීවත් ව ඉන්නාවූ අපගේ මේ පියානන්දැ නමින් පියානන්දෑට පින් පිණිස පිදීම්හ, එහෙයින් අපගේ පියානන්දෑට පින් අනුමෝදන් කරවන සේක්වා”යි ඔවුහු බුදුරජානන් වහන්සේට සැළකළහ. උන්වහන්සේ ඔහු අමතා “උපාසක! තමුසේ දැන් මහලු ය, දිරා ගිය සිරුරු ඇතියහු ය, මෝරා ඉදී ගිය පඬුවන් කොළයක් වැනියහු ය, එහෙත් තමුසේට පරලොව ගෙණ යෑමට සෑහෙන පින් නැමැති මගවියදම් ද නැත, එහෙයින් ඒ පිණිස පින් පිහිට කොට ගණුව, නුවණැත්තෙක් වෙව, අඥානයෙක් නො වෙව”යි අනුමෝදනා කරණ සේක් මේ ධර්‍මදේශනාව කළ සේක.
පණ්ඩුපලාසොවදානිසි යමපුරිසාපි ච තමුපට්ඨිතා,
උය්‍යොගමුඛෙ ච තිට්ඨසි පාථෙය්‍යම්පි ච තෙ න විජ්ජති.
.
සො කරොහි දීපමත්තනො ඛිප්පං වායාම පණ්ඩිතො භව,
නිද්ධන්තමලො අනඞ්ගණො දිබ්බං අරියභුමිමෙහිසීති.
දැන් (සිඳී බිම වැටුනු) පඬුපැහැති පරණලාපතක් මෙන් විහි. යමදූතයෝ ද තා වෙතට එළැඹැ සිටියහ. පරිහානිමුඛයෙහි ද සිටිහි. මගවියදම් ද තට නැත.
ඒ තෝ තමහට පිහිටක් කරව. වහා වෑයම් කරව. නුවණැත්තෙක් වෙව. නසනලද රාගාදිමල ඇත්තෙහි රාගාදිඅඞ්ගණ නැත්තෙහි දිව්‍යානුභාව ඇති නොහොත් ශොභාවත් වූ ආර්‍ය්‍යභූමියට පැමිණෙන්නෙහි ය.
පණ්ඩුපලාසො ඉව ඉදානි අසි = දැන් (තෝ) පඬු පැහැති පරණලාපතක් මෙන් වෙහි ය.
“උපාසක! දැන් තෝ සිඳී බිම වැටුනු පඬුපැහැති පරණලාපතක් වැනි වෙහි”යි මේ වදාළ සැටියි. දලුවේ පටන් ක්‍රමයෙන් මෝරා ගිය කොළය ඉදී පඬුපැහැතිවනු එකාන්ත ය. එසේ පඬු පැහැ ගත් කොළය නටුවෙන් ගිලිහී වැටෙනු ද එකාන්ත ය. එමෙන් සත්ත්‍වයා ද මවුකුස පිළිසිඳ ගත් තැන් පටන් ක්‍රමයෙන් මෝරා ගොස් දිරාපත් වනු ද එකාන්ත ය. ඉදී පඬුපැහැ ගත් කොළය නටුවෙන් ගිලහී වැටෙන්නාසේ දිරාපත් වූ සත්ත්‍වයා ද ජීවිතයෙන් ගිලිහී වැටෙනු ද එකාන්ත ය.
යමපුරිසා අපි ච තං උපට්ඨිතා = යමදූතයෝ ද තා වෙතට එළැඹැ සිටියාහ.
යමපුරිස නම්: යමදූතයෝ ය. මරණය මෙහි යමදූත නම් මරණය ද තට ඉතා ලංව සිටියේ ය. තා මැරෙන්නට ලඟ ය. යන අරුත්.
උය්‍යොගමුඛෙ ච තිට්ඨසි = පරිහානාමුඛයෙහි ද සිටිහි.
තෝ දැන් ආයුෂයෙන් ඇසින් කණින් නැහැයෙන් දිවෙන් සිරුරෙන් යන පිසිඳුරන්ගෙන් පිරිහුනෙහි පිණෙන් ද පිරිහී සිටිහි.
පාථෙය්‍යං අපි ච තෙ න විජ්ජති = මගවියදම් ද තට නැත.
දුර බැහැර යන්නහුට මගවියදම් පිණිස මිලමුදල් ඈ යම් කිසිවක් අතමිට තිබිය යුතු ය. එසේ අතමිටෙහි යමක් නැතිව මගට පිළිපන්නහුට නිදුකින් බැහැර යා නො හැකිය. මගතොට දී කෑම් බීම් ඉඳුම් හිටුම් ඈ හැම එකෙකින් ඔහු වෙහෙසට පත් වන්නේ ය. තා විසින් යා යුතු මග ඉතා දිග ය. එතරම් දිග මගෙක් තවත් නැත්තේ ය. එය කොතැනින් කවදා අවසන් වේ දැ යි තෝ නො දන්නෙහි ය. තා විසින් යායුතු මග නිදුකින් අවසන් කිරීමට බතින් බුලතින් මිලමුදලින් කළ නො හැකි ය. ඒ පිණිස දාන-ශීල-භාවනා වශයෙන් රැස් කර ගත් පින් නැමැති මගවියදම් වුවමනා ය. පින්නැත්තේ නම් ගමන් මග බිහිසුණු ය. එහෙත් තට පින්නැමැති මගවියදම් නැත. මගට හිත වූයේ පාථෙය්‍ය නම් වේ.
සො කරොහි දීපං අත්තනො = ඒ තෝ තමාට පිහිටක් කර ගණු ව.
එසේ වූ තෝ මුහුදෙහි නැවු නට කල්හි දිවයින් සොයන්නා සේ තමාට කුසල් නැමැති පිහිටක් කර ගණුව. මේ අටුවා:- “සො ත්‍වං සමුද්දෙ නාවාය භින්තාය දීපසඞ්ඛාතං පතිට්ඨා විය අත්තනො කුසලපතිට්ඨං කරොහි” යනු. දීපැ යි මෙහි කීයේ පිහිට ය. එනම් කුසල් ය. [1]
ඛිප්පං වායාම - වහා වෑයම් කරව.
හිස ගිනි ගත්තෙක් ඒ හිස ඇවිළ ගත් ගින්න නිවාලන්නට යම් සේ වෑයම් කෙරේ ද, එමෙන් රාගද්වේෂාදී වූ කෙලෙස් ගිනි වලින් දවරෑහි මොහොතකුත් නො හැර දැවෙන මේ පස්කඳ හැරපියා නිවන් ලබන්නට පින් කිරීමෙහි උත්සාහවත් විය යුතුය යනු මේ වදාළ සැටියි.
පණ්ඩිතො හව = නුවණැත්තෙක් වෙව.
මැරී යෑමට පෙරාතුව හයිබල ඇති කල්හි කුසල් කරණුයේ එහිලා වෑයම් කරණුයේ පණ්ඩිත නම්. මේ මෙහි සාධක:- “යො හි මරණමුඛං අප්පත්‍වා කාතුං සමත්‍ථකාලෙයෙව කුසලං කරොති වායමති එස පණ්ඩිතො නාම” යනු. [2]
නිද්ධන්තමලො = නැසූ රාගාදිකෙලෙස්මල ඇතියෙහි.
සො ත්‍වං යනු බලා සිටියේ ය. සත්ත්‍වයන්ගේ සිත් තුළ හට ගන්නා කෙලෙස්, මල නම් වේ. “මලති සඞ්කිලිස්සති එතෙනාති මලං” යනු විවෘති යි. මෙය අටුවායෙහි “කිලිස්සනත්‍ථෙන මලං” යි කීහ. යමකින් සත්ත්‍වසන්තානය කිලිටි වේ නම් ඒ මල. ඒ මේ රාගාදී වූ කෙලෙස් මල යමකු විසින් නසන ලද්දේ නම් ඒ නිද්ධන්තමල. “රාගාදීනං මලානං නීහටතාය නිද්ධන්තමලො” යි අටුවායෙහි ආයේ ය.
අනඞ්ගණො = රාගාදිඅඞ්ගණ නැත්තෙහි.
සො ත්‍වං යනු බලා සිටියේ ය. මෙහි අඞ්ගණ නම් රාගාදි කෙලෙස් ය. [3]
දිබ්බං අරියභූමිං එහිසි = දිව්‍යානුභාව ඇති නොහොත් ශොභාවත් වූ ආර්‍ය්‍යභූමියට පැමිණෙන්නෙහි ය.
අවිහ - අතප්ප - සුදස්ස = සුදස්සී - අකනිට්ඨ යන ශුද්ධාවාස භූමි පස දිව්‍යානුභාව ඇති ආර්‍ය්‍යභූමීහු ය. රහතුන්ට හා අනාගතගාමීන්ට ම වාසස්ථාන බැවින් මේ භූමි පස ශුද්ධාවාසැ යි කියනු ලැබේ.
“උපාසක! තමුසෙ දැන් ගැලවී වැටෙන්නට ලංව සිටි පරණලාපතක් වැනියහු ය, තට මරණය ලංව සිටි, පරිහානි මුඛයෙහි සිටිනහු ය, පරලොවට සෑහෙන පින්කම් නො කළ බැවින් පින් නැමැති මගවියදම් තට නැත, දැන් වත් පිහිටක් කර ගණිවු, පින් කර ගැණීමට වහා ම උත්සාවත් වියයුතුය, නුවණැත්තෙකු ව කෙලෙස්මල නසා කෙලෙස් නැත්තකු ව ශුද්ධාවාසභූමියට පැමිණීමට වග බලා ගත යුතු ය” යනු ආශය යි.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි උපාසක තෙමේ සෝවන් පලයෙහි පිහිටියේ ය. පැමිණ සිටි පිරිසට ද ධර්‍මදේශනාව වැඩ සහිත වූය.
ඔවුහු පසුදාටත් දානය පිණිස බුදුරජානන් වහන්සේට ආරාධනා කොට ගෙට වැඩමවා ගෙණ දන් වළඳවා, වළඳා අවසන්හි “ස්වාමීනි! මේ දානයත් අපගේ ජීවත් ව ඉන්නා පියනන්දෑට ම පින් පිණිස දෙන ලද්දේ ය, එහෙයින් ඔහුට අදත් අනුමෙවෙනි බණක් වදාරණු මැනැවැ”යි බුදුරජුන්ට ආරාධනා කළහ. උන්වහන්සේ අනුමෙවෙනි බණ වදාරණ සේක් මේ ධර්‍මදේශනාව කළ සේක.
උපනීතවයො ච දානිසි සම්පයාතොසි සයස්ස සන්තිකං,
වායොපි ච තෙ නත්‍ථි අන්තරා පාථෙය්‍යම්පි ච තෙ න විජ්ජති.
.
සො කරොහි දීපමත්තනො ඛිප්පං වායාම පණ්ඩිතො භව,
නිද්ධන්තමලො අනඞ්ගණො න පුන ජාතිජරං උපෙහිසීති.
ගෙවී ගිය වයස් ඇත්තෙහි ද විහි. යමයාගේ සමීපයට පැමිණියෙහි වෙහි. තට අතුරෙහි වාසයෙකුදු නැත. තට මගවියදම් ද නැත. ඒ තෝ තමාට පිහිටක් කර ගණුව. වහා වෑයම් කරව. නුවණැත්තෙක් වෙව. නසා ලූ මල ඇත්තෙහි අඞ්ගණ නැත්තෙහි නැවැත ජාති-ජරාවනට නො පැමිණෙන්නෙහි ය.
උපනීතවයො ච ඉදානි අසි = දැන් ඉක්ම ගිය වයස් ඇත්තෙහි ද වෙහි ය.
තමුසේ දැන් ප්‍රථම - මද්ධ්‍යම - පශ්චිම යන තුන් වයස ම ඉක්මවා මරණ මුඛයෙහි සිටිනහු ය.
සම්පයාතො අසි යමස්ස සන්තිකං = යමයාගේ සමීපයට පැමිණියෙහි වෙහි ය.
තමුසේ දැන් මරණමුඛයට යන්නට සූදානම් ව සිටිනහු ය. තට දැන් මරණ මුඛයට නො පැමිණ දිගට මෙහි සිටිනු නො හැකි ය.
වාසො අපි ච තෙ නත්‍ථි අන්තරා = තට අතුරෙහි වාසයෙක් ද නැත්තේ ය.
මගට බට මිනිස්සු තමන්ගේ ඒ ඒ කටයුතු කරමින් අතර මග ද නවාතැන් ගණිත්. පරලොව යන්නහුට එසේ නො කොට හැකි ය. “මා දන් දෙන තුරු බණ අසනතුරු කිහිපදවසක් ඉවසා බලවු”යි කියා නො මැරී ඉන්නට කිසිවකුටත් නො හැකි ය. එහි අතර නැවැත්මෙක් නැත. සතත්‍ව තෙමේ යම් මොහොතක මෙලොවින් ච්‍යුත ව ගියේ නම් ඒ මොහොතෙහි කොතැනකත් රැඳීමෙක් නැතිව පරලොවට ම යන්නේ ය. ච්‍යුතියට අනතුරු ව ප්‍රතිසන්‍ධිය ලැබීම එකාන්තනියමයෙක් වේ ද එහෙයිනි.
පාථෙය්‍යං අපි ච තෙ නත්‍ථි = තට මගවියදම් ද නැත.
සො කරොහි දීපං අත්තනො = ඒ තෝ තමාට පිහිටක් කරගණුව.
බිප්පං වායාම = වහා වෑයම් කරව.
පණ්ඩිතො භව = නුවණැත්තෙක් වෙව.
නිද්ධන්තමලො = නසාලූ රාගාදි කෙලෙස්මල ඇත්තෙහි.
අනඞ්ගණො = රාගාදි අඞ්ගණ නැත්තෙහි
න පුන ජාතිජරං උපෙහිසි = නැවත ජාති-ජරාවනට නො පැමිණෙන්නෙහි ය.
මෙහි ජාති - ජරා මුඛයෙන්, ව්‍යාධි - මරණ ද දක්වන ලද ය. එහෙයින් නුවණැතිව නසා හළ රාගාදී වූ කෙලෙස් ඇතියේ රාගාදී වූ අඞ්ගණ නැතියේ නැවැත කවදාත් ජාති-ජරා-ව්‍යාධි-මරණයනට නො පැමිණෙන්නේ ය. ඒ එකාන්ත ය.
බුදුරජාණන් වහන්සේ යට කියූ ගථා දෙකින් අනැගැමිමග ද මේ ගාථා දෙකින් රහත්මග ද දක්වා වදාළ සේක. යම් සේ රජු තමාගේ මුව පමණට බත් පිඩ වඩා එය පුතුට ලං කළ කල්හි ඔහු තමාගේ මුව පමණින් ම ගණී ද එමෙන් බුදුරජානන් වහන්සේ විසින් මතු දෙමගට පැමිණෙනු පිණිස උපාසකයාට දහම් දෙසන ලදුයේ ද, උපාසක තමාගේ උපනිශ්ශ්‍රය බලයෙන් යට ගාථා දෙක අසා සෝවන් පලයට පැමිණ මේ අනුමෝදනා අවසානයෙහි අනැගැමිමගට ද පැමිණියේ ය.
ධර්‍මදේශනා තොමෝ එහි පැමිණ සිටි පිරිසට ද වැඩ සහිත වූ ය.
ගෝඝාතකපුත්‍ර වස්තුව නිමි.