17-3 උත්තරා සිරිමාවට කළ සත්කාරය

අක්කොධෙන ජිනෙ කොධං අසාධුං සාධුනා ජිනෙ

ජිනෙ කදරියං දානෙන සච්චෙන අලිකවාදිනං.

ක්‍රෝධි පුද්ගලයා ක්‍රෝධ නො කිරීමෙන් දිනන්නේ ය. අසාධු පුද්ගලයා සාධු ගුණයෙන් දිනන්නේ ය. තද මසුරා තමා සතු දෑ දීමෙන් දිනන්නේ ය. බොරු කියන්නහු සැබෑ කීමෙන් දිනන්නේ ය.

පුණ්ණ නම් දිළිඳු පුරුෂ තෙමේ රජගහනුවර සුමන සිටානන්ට බැළමෙහෙ කොට ජීවත් වන්නේ ය. ඔහුගේ ඇඹේනිය හා උත්තරා නම් දුවනිය හැර උන් නිසා ජීවත් වන කෙනෙක් නැත. එක් කලෙක “රජගහ නුවර කවුරුත් නැකැත් කෙළි කෙළිය යුතු ය”යි රාජනියමයෙන් අණබෙර ගැසී ය. සුමන සිටු මේ අසා උදෑසනම එහි පැමිණි පුණ්ණ අමතා “දරුව, අපගේ කම්කරුවෝ නැකැත් කෙළි කෙළිනු කැමැත්තාහ, කිම, තෝත් නැකැත් කෙළි කෙළින්නෙහි ද? නැත, බැළමෙහෙ කරහි දැ?”යි ඇසී ය. එවිට පුණ්ණ තෙමේ “සිටුතුමනි! කෙළිනළු, මුදල් හදල් ඇති පොහොසත් මිනිසුන් විසින් කරණු ලබන්නේ ය, එසේ කෙළි නළු කරන්නට අපට පොහොසත් කමෙක් නැත, ඒ තබා මාගේ ගෙයි හෙටට කැඳැත්තක් සාදා ගන්නටවත් සහලෙක් නැත, එබඳු වූ දිළිඳු තැන සිටු නා මට කිනම් කෙළිනළු ද, ගොනුන් ලැබෙතොත් සාන්නට යන්නෙමි”යි කී ය. “එසේ නම් ගොනුන් ගෙණ යව”යි අවසර දුන් කල්හි පුණ්ණ තෙමේ හයිබල ඇති ගොන්බානක් හා නගුල් විය දඬු ද ගෙණ ගෙට ගොස් ඇඹේනිය අමතා “සොඳුර! නුවරවැස්සෝ අද දවස පුරා කෙළිනළු කරන්නාහ, අපි දුගියම්හ එහෙයින් මම අදත් බැළමෙහෙ කරන්නට යන්නෙමි, ඒ නිසා මෙයට කලින් දවස්හි ගෙණ ආ බත්මාලුවලට වැඩියෙන් බත්මාලු ටිකක් උයාපිහා ගෙණ මා සානා තැනට ගෙණ එව”යි කියා සාන්නට කුඹුරට ගියේ ය.

ශාරීපුත්‍ර මහාස්ථවිරයන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැද සිට සත් දවස ගෙවා එයින් නැගී සිටුනා මෙ දවස “කවරක්හට අද මා විසින් සඞ්ග්‍රහ කළ යුතු දැ”යි බලා වදාරණ සේක් පුණ්ණයා දුටු සේක. එකල්හි උන්වහන්සේ “මෙතෙමේ සැදැහැ ඇත්තේ ද, දෙන්නට කැමැත්තේ ද, දෙන්නට දෙයක් ඇත්තේ ද, තිබෙනා දෙයක් දීමෙන් මොහුට සැපතක් ලැබේදැ”යි නුවණ මෙහෙයවා බැලූහ. දෙන දැයින් මහත් සැපතක් ලැබෙන බව දුටු උන්වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි එ දවස, පාසිවුරු ගෙණ පුණ්ණ සාන තැනට වැඩ වළතෙරක නැවතී සිට වනපඳුරක් දෙස බලමින් වැඩ සිටි සේක. එසේ නිහඬව වන පඳුර දෙස බලමින් වැඩ සිටි සැරියුත් මහාතෙරුන් දුටු පුණ්ණ, සෑම නවතා දමා පසඟ පිහිටුවා වැඳ දැහැටියෙන් ප්‍රයෝජන වන්නේ ය යි සිතා දැහැට්ටක් කැප කොට පිළිගැන් වී ය. එකල්හි මහාතෙරුන් වහන්සේ ඔහුට පාත්‍රය හා පෙරහන ද දුන් සේක. පුණ්ණ පැනින් ප්‍රයෝජන ය යි සලකා පැන් පෙරා පිළිගැන් වී ය. “මෙතෙමේ අනුන් වසන ගෙයක පිටිපස්සෙහි ගෙයක වසන්නේ ය, මොහුගේ ගෙදරට ගියෙම් නම් ඔහුගේ ඇඹේනියට මා දකින්නට නො ලැබෙන්නේය, එහෙයින් මැය බතුත් ගෙණ මගට බස්නාතුරු මෙහි ම රැඳී සිටිය යුතු ය”යි උන්වහන්සේ එහි රැඳී සිට ගත්හ. මෙසේ මද වේලාවක් එහි රැඳී සිට ඇය මගට බටබව දැන ඇතුළු නුවරට අභිමුඛව වැඩි සේක. එසේ වඩනා උන්වහන්සේ අතර මගදි දුටු ඕ තොමෝ “පුදන්නට දැයක් ඇති දවසෙක මුන්වහන්සේ දකින්නට නො ලැබෙත්, පුදන්නට දෙයක් දැයක් නැති දවසෙක දකින්නට ලැබෙත්, අද නම් පුදන්නට දෙයක් මා අත ඇත්තේ ය, හාමුදරුවන් වහන්සේ දක්නට ලැබුනාහ. මුන්වහන්සේ මා පිළිගන්වන්නක් පිළිගෙණ මට අනුග්‍රහ කරණ සේක් දැ”යි බත්බඳුන බිම තබා තෙරුන් පසඟ පිහිටුවා වැඳ “ස්වාමීනි! මේ බතෙහි රළු නොරළුකම් මිහිරි අමිහිරිකම් නො සලකා ඔබවහන්සේගේ දාසයාහට සඞ්ග්‍රහ කරණු මැනැවැ”යි කිවු ය. එකල්හි උන්වහන්සේ පාත්‍රය එළ වූහ. ඇය එක් අතකින් බඳුන අල්ලා‍ ගෙණ එක් අතකින් එයින් බත් ගෙණ පාත්‍රයට බතින් අඩක් බෙදත් ම “දැන් පමණැ”යි අතින් පාත්‍රය වැසූහ. එකල්හි ඕ තොමෝ “ස්වාමීනි! එක් ම කොටස දෙකොටසක් කරන්නට නො හැකි ය, ස්වාමීනි! ඔබවහන්සේගේ දාසයාට මෙලොවින් සඞ්ග්‍රහ කිරීමෙක් වුවමනා නැත, මෙලොවින් සඞ්ග්‍රහ නොකොට ඔහුට පරලොවින් සඞ්ග්‍රහ කරණු මැනැවැ”යි කියා ගෙණ ආ බත්මාළු සියල්ල ම ඉතිරි නො කොට දෙනු කැමැති ව සියල්ල ම උන්වහන්සේගේ පාත්‍රය‍‍ට බෙදා ඔබවහන්සේ විසින් අවබෝධ කළ ධර්‍මයට මම ද හිමිකාරියක් වෙම්වා”යි පැතූ ය.

ශාරීපුත්‍ර මහාස්ථවිරයන් වහන්සේ බත්මාළු පිළිගෙණ “‍එසේ වේවා”යි වදාරා අනුමෙවෙනි කොට පැන් පහසු තැනකට වැඩ බත්කිස කළ සේක. ඕතොමෝ ද ආපසු හැරී ගොස් සහල් ටිකක් සෙයා‍ ගෙණ බත් පිසූ ය. පුණ්ණ ද අටකිරියක් පමණ තැන සාපියා බඩගිනි දරා ගන්නට නො හැකි ව ගොන් ලිහා හැර එක් රුක්සෙවනකට වී මග බලමින් හුන්නේ ය. ඒ අතර බිරිය බත් ගෙණ යන්නී එසේ හුන් සිය හිමිය දැක “මෙතෙමේ බඩසයින් පෙළුනේ මා එනු බලමින් හුන්නේ වගතුග නො දැන මට ‘බොල කෙල්ල! බොහෝ කල් ඉක්ම වී ය’යි තර්‍ජනය කොට කැවිටිදඬුයෙන් පහර දෙන්නේ නම් මා කළ කම්හි ප්‍රයෝජනයෙක් නො වන්නේ ය, එහෙයින් පළමු කොට මා කළ ක්‍රියාව දන්වන්නෙමි”යි සිතා “මා හිමියෙනි! අද මේ දවසෙහි සිත පහදා ගණු මැනැව, මා කළ ක්‍රියාව නිරර්‍ත්‍ථක නො කරණු මැනැව, මම අද උදෑසනින් බත්මාළු පිස ගෙණ එන්නී අතර මගදී දම්සෙනෙවි සැරියුත් මහාතෙරුන් දැක ඔබවහන්සේට ගෙණ ආ ඒ බත්මාළු සියල්ල උන්වහන්සේට පිළිගන්වා නැවැත ගෙට ගොස් මේ බත උයා පිළියෙල කොට ගෙණ ආමි, එහෙයින් සිත පහදා ගණු මැනැවැ”යි කිවු ය. පුණ්ණ “සොඳුර! කියන්නී කිමැ”යි අසා, ඇය නැවැතත් එය කියා සිටි කල්හි “සොඳුර! තී කළ සැටි ඉතා කදිම ය, මාගේ බත දම්සෙනෙවි සැරියුත් මහාතෙරුන්ට පිදීමෙන් තී කළ පින්කම ඉතා අගනේ ය, අද උදෑසන මා විසින් ද උන්වහන්සේට දැහැටිදඬුත් මුවදෝවනාදියත් දෙන ලද්දේ ය”යි පහන් සිත් ඇති ව ඇයගේ බස් සතුටින් පිළිගෙණ කල් ගෙවා ලත් බත් බිඳීමෙන් හට ගත් වෙහෙස ඇත්තේ ඇයගේ ඔඩොක්කුවෙහි හිස තබා නිදන්නට වන්නේ ය.

පසුදා උදෑසන සෑතැන කුඩු වූ පස පටන් සියලු තැන රන් වන් ව කිණිහිරිමල් රැසක් සේ බබළමින් තුබුනේ ය. නින්දෙන් නැගී සිටි පුණ්ණ සෑ තැන බලා “සොඳුර! අද උදෑසන පටන් මා සෑ තැන රන්වන් ව පෙණෙයි, කිම, ඉතා දවල් වී බත් කෑ බැවින් මාගේ ඇස බමා දැ”යි කී ය. එවිට බිරිය ද “හිමියෙනි! එතැන මට පෙණෙන්නේ ද එසේ ය”යි කිවු ය. අනතුරුව පුණ්ණ තෙමේ සෑ තැනට ගොස් එක් පස්පිඩක් ගෙණ නඟුලිසහි ගසා රන්බව දැන “අය්යෝ පුදුමයි, ආර්‍ය්‍ය වූ ධර්‍මසෙනාපති ශාරීපුත්‍ර මහාස්ථවිරයන් වහන්සේට දුන් දනෙහි විපාකය අද ම දක්නා ලද්දේ ය, මෙතෙක් මහත් ධනයක් පරිහරණය කරන්නට අප දෙදෙනාට නො හැකි ය, එහෙයින් රජුට දන්වමු”යි බිරිය හා කතා කොට රජගෙට ගොස් “මා සෑ තැන රනින් බරව සිටියේ ය, ඒ සියලු රන් ගෙන්වා ගණු මැනැවැ”යි රජුට දැන් වී ය. රජතෙමේ “තෝ කවරහි”යි ඇසූ කල්හි “මම පුණ්ණ නමැ”යි කී ය. “අද තාවිසින් කළේ කුමක් දැ”යි ඇසූ විට “අද උදෑසන මා විසින් දම්සෙනෙවි මහාතෙරුන්හට දැහැටි දඬුත් මුවදෝනට දියත් දෙනලදී, මා බිරිය මට ගෙණ ආ බත්මාළු ටික අතර මගදී උන්වහන්සේට පුදන ලදැ”යි කී ය. රජතෙමේ ඒ අසා සතුටු ව “පින්වත! දම්සෙනෙවි සැරියුත් මහාතෙරුන්ට තා විසින් දුන් දන්හි විපාකය අද ම දක්වන ලදැ”යි කියා “පුණ්ණ මෙහිලා කුමක් කළ යුතු දැ”යි කී ය. “දේවයන් වහන්ස! ගැල් දහසක් එහි යවා ඒ සියලු රන් මෙහි ගෙන්වාලනු මැනැවැ”යි කී ය. රජතෙමේ ගැල් යැවී ය. රාජපුරුෂයන් ඒ රන් රජු අයත්ය යි කියා ගන්නා කල්හි ගත් ගත් රන් මැටි ම වන්නේ ය. එවිට රාජපුරුෂයන් ගොස් එය රජුට දැන්වූ කල්හි රජතෙමේ “තොප කුමක් කියමින් ඒ රන් ගත් දැ”යි ඇසී ය. “දේවයන් වහන්ස! මේ රන් රජු අයත් ය යි කියමින් ගත්තෙමු”යි කී කල්හි “එසේ නො කියා, මේ රන් පුණ්ණයා අයත් ය යි කියමින් ගණිවු”යි නියම කොට නැවැත ඔවුන් එහි යැවී ය. ඔවුහු ගොස් එසේ කියමින් ගත්හ. ගත් ගත් හැම, රන් ම වී ය. මෙසේ ඒ සියලු රන් ගෙණවුත් ඔවුහු රජමාලිගා මිදුලෙහි ගොඩ ගැසූහ. ඒ රන්ගොඩ උසින් අසූරියනක් වී ය. එකල්හි රජතෙමේ නුවරුන් ගෙන්වා “මෙනුවර අන් කාහට මෙතෙක් රන් තිබේ දැ?”යි ඇසී ය. “දේවයන් වහන්ස! අන් කාහටත් මෙපමණ රන් රැසෙක් නැතැ”යි කී විට “ඔහුට අප විසින් කුමක් දිය යුතු දැ”යි ඇසී ය. “දේවයන් වහන්ස! ඔහුට දිය යුත්තේ සිටුසේසතැ”යි කීහ. රජ ‍තෙමේ පුණ්ණ “මහදනසිටැ”යි නම් කොට බොහෝ සම්පත් දී සිටුසේසත ද ඔහුට දුන්නේ ය. ඉක්බිති පුණ්ණ තෙමේ “දේවයන් වහන්ස! අපි මෙතෙක් කල් අන්සතු ගෙයක විසුම්හ, අපට වසන්නට තැනක් දුන මැනැවැ”යි ඉල්ලී ය. “එසේ නම් අර පෙණෙන වල්ලැහැබ වල් කප්පා හැර පිරිසිදු කොට ගෙයක් කර ගණුව”යි පෙර සිටුවරයකු විසූ තැනක් පෙන්වී ය. ඔහු එතැන පිරිසිදු කරවා කිහිප දවසකින් ම ගෙයක් කරවා බුදුරදුන් ප්‍රධාන භික්‍ෂුසඞ්ඝයා එහි වැඩමවා සත් දවසක් මහාදන් දී එක් ම දවසෙහි ගෙවැදීමේ මඞ්ගලයත් සේසත් නැගීමේ මඞ්ගලයත් සිදු කෙළේ ය. එහි දී බුදුරජානන් වහන්සේ අනුමෙවෙණි බණ වදාරණ සේක් අනුපිළිවෙළ කතාව වදාළ සේක. ඒ අවසන්හි පුණ්ණසිටු හා සිටු බිරිය ද ඔවුන්ගේ උත්තරා නම් දුවනිය ද යන තිදෙන සෝවන් පලයට පැමිණියහ. මෙසේ සිටුනා කල්හි රජගහනුවර සිටු තෙමේ තම පුතුට පුණ්ණසිටුහුගේ දූ වූ උත්තරාව ආවාහ කර දෙන්නට සිතා කරුණු විචාළේ ය. පුණ්ණසිටු තෙමේ රජගහනුවර සිටුගේ ඒ ඉල්ලීම ප්‍රති‍ක්‍ෂෙප කෙළේ ය. එවිට රජගහනුවර සිටු “එසේ නො කර ව, මෙතෙක් කල් අප ඇසුරු කොට වසන්නා වූ ඔබ විසින් මේ මහත් සැපත ලද්දී ය, ඒ නිසා ඔබගේ දුව මා පුතුට සරණ කොට දෙව”යි නැවැත ද දන්වා යැවී ය. පුණ්ණ සිටු එ වර “ඔබගේ පුත් මිසදිටු ගත්තේ ය, මාගේ දුවනිය බුදුරුවන් ඈ තුනුරුවන් හැර ජීවත් වන්නට අපොහොසත් ය, එ බැවින් මාගේ දුවනිය ඔබගේ පුතුට සරණ කොට දෙන්නට නො හැකි ය”යි දන්වා යැවී ය. එකල්හි බොහෝ සෙට්ඨිගණකාදී වූ කුලපුත්‍රයෝ පුණ්ණසිටු වෙතට ගොස් නොයෙක් ලෙසින් කරුණු කියා පැරැත්ත කොට රජගහ සිටු සමග ඇති විශ්වාසය නො බිඳ ඔහු පුතුට දුවනිය සරණ කොට දෙන්නැ”යි ඉල්ලා සිටියහ. එකල්හි පුණ්ණසිටු බොහෝ දුරට සිතා බලා ඔහු හා පටහැනිවීම නො සුදුසු ය’යි සෙට්ඨිගණකාදීන්ගේ ඉල්ලීම පිළිගෙණ ඇසළ පුණුපොහෝ දවසෙහි සිය දුවනිය රජගහ සිටුපුත් හට පාවා දුන්නේ ය.

මෙසේ සරණ ගියදා සිට ඇයට මහණකු වෙත මෙහෙණක වෙත යන්නට, දනක් දෙන්නට, බණක් අසන්නට ඉඩෙක් නො ලැබුනේ ය. මෙසේ දෙ මස් දෙපෝයක් පමණ ඉක්ම ගිය කල්හි අසල සිටි සේවක - සේවිකාවන් අතින් “ඇතුල් වස ගෙවී යෑමට තව කොපමණ දවස් තිබේ දැ”යි ඇසූ ය. “ආර්‍ය්‍යාවෙනි! එයට තව ඇත්තේ අඩමසෙකැ”යි ඔවුන් කී කල්හි ඕතොමෝ සියපියානන්හට මෙසේ ලියා යැවූ ය.

රජගහනුවර සිටුගෙදරදීය.

දෙපා වැඳ ඉතා යටහත්ව ලියමි.

පියානන් වහන්ස!

-

කුමක් නිසා මා මෙබඳු සිරගෙයක සිර කොට තුබුවහු ද? මාගේ සිරුරෙහි ලකුණු තබා අන්හට දාසියක කොට ගන්නට ඉඩ හැර ගන්නෙක් ගණීවා යි පළට කළෝ නම් මෙයට වඩා මට මහත් සැපතක් වන්නට තුබුනේ ය. මෙබඳු මිසදිටු ගත් ගෙදරකට මා සරණ කොට දීම නො වටනේ ය. මෙහි ආදා පටන් හාමුදුරු නමක් දකින්නට නො ලැබුනේ ය. මෙහෙණක නො දුටු වෙමි. දන් ටිකක් දෙන්නට, බණපදයක් අසන්නට පන්සලකට පය තබන්නට ඉඩ නො ලැබින. එහෙයින් මේ සිර ගෙයින් මා මුදාගණු මැනැව.

-

මෙයට, යටත්, කීකරු, දයාබර

උත්තරා

උත්තරා යැවූ මේ ලියුම බැලූ පුණ්ණ සිටු “මාගේ දුවනිය දුකට වැටුනීය”යි කම්පිත ව තමාගේ ශෝකය ද දන්වා කහවණු පසළොස් දහසක් යවමින් “මෙනුවර සිරිමා නම් වෙසඟනක් වෙසෙයි, ඈ ගෙන්වා සිටුපුත්හට පාදපරිචාරිකා කොට ගන්නැ යි දක්වා දෙන්න, සිරිමාව ඒ පිණිස දවසකට දහසක් ගන්නීය, මේ මුදල ඒ පිණිස යොදා දුව පින්දහම් කරන්නැ”යි දන්වා යැවූයේ ය. උත්තරා ද පියා දන්වා එවා ඇති පරිදි සිරිමාව ගෙන්වා “යෙහෙළි! මේ කහවණු පසළොස් දහස ගෙණ මේ අඩ මස අපගේ සිටුපුත්හට පාදපරිචාරිකා වන්නැ”යි කිවු ය. ඕ තොමෝ සිරිමාවන් රැගෙන සිටුපුත් වෙතට ගියාය. එවිට ඔහු සිරිමාව දැක “මෝ කවරැ” ඇසී ය. “හිමියෙනි! මේ අඩමස ‍මාගේ මේ යෙහෙළිය ඔබට මෙහෙ කරණු ඇත, එහෙයින් මැය මෙහි රඳවා ගෙණ මෙහෙ කරවා ගන්න, මට මේ අඩමස දනක් පිණක් කර ගන්නට ඉඩ පහසු ඕනෑ ය”යි උත්තරා තොමෝ කියා සිටියා ය. සිටුපුත් රූසපුයෙන් පිරිපුන් සිත්කලු ඒ ගැහැණිය දැක උපන් සෙනහ ඇතියේ “හා! හොඳයි, උත්තරා දන්පින් කර ගන්නැ”යි සිරිමාව රඳවා ගත්තේ ය.

උත්තරා ද බුද්ධප්‍රමුඛභික්‍ෂුසඞ්ගයා පවරා “ස්වාමීනි! මේ අඩමස අන් තැනක ඇරයුම් නො ඉවසා මෙහි ම මාගේ භික්‍ෂාව පිළිගණු මැනවැ”යි ඇයද බුදුරජානන් වහන්සේ එහිලා ගිවිස්වා ගෙණ “මෙතැන් සිට මහාපවාරණය තෙක් මට බුදුරජුන්ට උපස්ථාන කරන්නට බණ අසන්නට ලැබෙන්නේ ය”යි තුටු සිත් ඇතිව “මෙසේ කැඳ පිසවු, බත් පිසවු, එළුවලු පිළියෙල කරවු, කැවුම් පිසවු”යි මුළුතැන් ගෙයි කටයුතු සංවිධාන කරමින් මුළුතැන් ගෙයි සිසාරා හැසිරෙන්නී ය. දවසක් ඇයගේ හිමි වූ සිටුපුත් “හෙට පවාරණය වන්නේ ය”යි මුළුතැන්ගේ දිසාවට මූණ දී වාකවුළුව ලඟ සිට “මේ මෝඩ ගැහැණි කුමක් කරන්නී දැ”යි බලනුයේ ඩහදියෙන් තෙත් වූ හලුයෙන් ගැවසුනු සිරුරු ඇති ව අඟුරුදැලියෙන් වැකුණු පිළී හැඳ විරූප ව එසේ පිසමන් නියම කොට හැසිරෙන්නිය දැක “අනේ; මේ මෝඩ ගැහැණි පින් මඳ බැවින් මෙවැනි තැනක ඇති යසිසුරු සැපසම්පත් විඳ දරා ගත නො හැකි ව මුඩුමහණුන්ට කන්නට බොන්නට දීමත් මහාකාරියකැ යි සිතා තුටුසිත් ඇති ව සැලිසැලී ඇවිදිනීය”යි සිනහ සී එතැනින් ඉවත් ව ගියේ ය. ඔහු එතැනින් බැහැර ගිය කල්හි ඒ අසල සිටි සිරිමා “කුමක් නිසා කුමක් දැක මෙතෙමේ සිනා සේ දැ”යි ඒ වාකවුළුයෙන් ම බලන්නී මුළුතැන්ගෙයි සිටි උත්තරාව දැක, සිනාසුනේ මෑ දැකලා ය, ඒකාන්තයෙන් මෑ හා මොහුගේ කාමසන්ථවයක් විය යුතු ම ය”යි සිතූ ය.

සිරිමා තොමෝ ඒ ගෙට අඩමසකට පැමිණි බැහැරි ඉතිරියක් ව ඒ ගෙයි ඇති හැම සැපසම්පත් අනුභව කරන්නී ද තමා බැහැ‍රින් ආ ගැහැණියක බව නො සලකා “මම මේ ගෙයි ස්වාමි ය”යි සිතා ගෙණ උත්තරාව කෙරෙහි ක්‍රෝධ කළා ය. මෙසේ නිකරුණේ උත්තරාව කෙරෙහි උපදවා ගත් ක්‍රෝධ ඇති සිරිමා “උත්තරාවට හොඳ කාරියක් කරන්නෙමි”යි සිතා පහයෙන් බැස මුළුතැන් ගෙට ඇතුල්ව කැවුම් පිසන ඇතිලියක කැකෑරෙමින් තුබූ ගිතෙල් සැන්දකට ගෙණ උත්තරාවන් සිටි තැනට ගියා ය. උත්තරා ද එන්නා වූ ඇය දැක “මාගේ යෙහෙළිය මට මහත් උපකාරයෙක් කරණ ලද ය, එය අතින් පයින් ගත හැකි දැයෙක් වී නම් බහා තබන්නට සරසින් සක්වලගබ ප්‍රමාණවත් නො වන්නේ ය, උසින් බඹලොව දක්වා මේ අතර ඉතා මිටි ය, මාගේ යෙහෙළියගේ ගුණය ම මහත් ය, මම මෑ නිසා දන් දෙන්නට බණ අසන්නට ඉඩ ලබා ගතිමි, ඉදින් මෑ කෙරෙහි මාගේ සිත්හි ක්‍රෝධයෙක් වේ නම්, මේ කැකෑරෙණ ගිතෙල් මා දවාවා, ඉදින් ක්‍රෝධයෙක් නො වේ නම්, මා නො දවාවා”යි සිරිමාවන් කෙරෙහි මෙත් පැතිර වූ ය. සිරිමා තොමෝ උත්තරාවන්ගේ හිසෙහි ඒ කකාළ තෙල් වක්කළා ය එහෙත් ඒ තෙල සිහිල් දියක් මෙන් වී ය. හිස වක් කළ තෙල සිහිල් දැන ‘නැවැත ගොස් සැන්ද පුරවා කකාළ තෙල් ගෙණ එන සිරිමාව දුටු උත්තරාවගේ මෙහෙකරු දැස්සෝ “නො හික්මුණු ජඩ කෙල්ල! අහක පල, තී අපගේ උත්තමාවගේ හිස කකාළ තෙල් වක් කරණු තබා ලඟට එන්නට වත් තරම් දැ”යි අසා අතින් පයින් දඬු මුගුරෙන් තළා පෙළා ඇණ බැණ ඇද බිම හෙලූහ. උත්තරා තොමෝ එය වළකන්නට අසමත් වූ ය. එහෙත් උත්තරා තොමෝ දැස්සන් ලඟට විත් දැස්සන් ඈත් කොට “ඇයි; සිරිමාවෙනි! මෙබඳු බර සැහැසිකමක් කෙළෙහි? වේසාකම් කරමින් අතැන මෙතැන ඇවිදුනා තිට පසළොස් දවසකට වුවත් මෙබඳු මහත් සැපතක් ලබා දුන් මට මෙබන්දක් කෙළෙහි”යි සිරිමාවට අවවාද කොට උණුදිය ගෙන්වා එයින් නාවා සිය වරක් පිසූ බෙහෙත් තෙල් ගා ඇඟ මැඩු ය. ඉක්බිති සිරිමා තොමෝ තමා බැහැරි ගැහැණියක බව සලකා “මැයගේ හිමියා සිනාසෙනු දැකීමෙන් මැයගේ හිස මත කකාළ තෙල් වක් කිරීමෙන් මා කළ ක්‍රියාව ඉතා බැරෑරුම් ය, හිසමත තෙල් වක් කළ මා අල්ලා ගන්නට ද සිය දැස්සන්ට මෝ කිසිත් නියමයක් නොකළා ය, දැස්සන් මා තළා පෙළද්දිත් එවුන් වළකා මට කළයුතු සියලු සාත්තු සප්පායම් කළා ය, ඉදින් මා කළ වරදට මැයගෙන් මම ක්‍ෂමාව නො ගත්තෙම් නම්, මෑ ක්‍ෂමා නො කැරවීම් නම් මාගේ හිස සත් කඩකට පැළී යන්නේ ය”යි ඇයගේ පා මුල වැද හෙව “ආර්‍ය්‍යාවෙනි! මට කමන්නැ”යි කියා සිටියා ය.

එකල්හි උත්තරා තොමෝ “මම තී සේ නො වෙමි, පියෙක් සිටියි, මම පියකු ඇති දුවක් මි, එහෙයින් පළමු කොට මාගේ පියානන් කමා කරන්නැ”යි කිවු ය. “වේවා; හොඳයි, මම තීගේ පිය වූ පුණ්ණ සිටු කමා කරන්නෙමි”යි කී කල්හි “පුණ්ණ සිටු තෙ‍මේ මට සසර ඉපැදුම් දුන් මාගේ පියා ය, ඔහු කමා කැරවීමෙන් එතරම් වැඩෙක් නැත, එහෙත් එ ද මනා ය. කමා කරවිය යුත්තෝ නිවනෙහි ඉපැදුම් දුන් පියානෝ ය, ඒ මපියානන් කමා කරවා නම් කමා කරමි”යි උත්තරා තොමෝ කිවු ය. “තිට නිවනෙහි උපත දුන් ඒ පියානෝ කවුරු දැ”යි ඇසූ විට “තිලෝගුරු සම්මා සම්බුදු රජානන් වහන්සේ ය”යි කියූ. “ඔහු හා මාගේ විශ්වාසයෙක් නැතැ”යි කී විට “හොඳයි! මම තී හඳුන්වා දෙන්නෙමි, හෙට උන්වහන්සේ භික්‍ෂු ගණයාත් ගෙණ මෙහි වඩිනා සේක, එහෙයින් තී හැකි පමණින් යම් කිසි පිදිවිල්ලක් පිළියෙළ කොට ගෙණ මෙහි අවුත් උන්වහන්සේ කමා කරගන්නැ”යි දැන් වූ ය. සිරිමා ද “මැනැවි ආර්‍ය්‍යාවෙනි!”යි කියා එතැනින් නැගිට ගෙට ගොස් පන් සියයක් පමණ වූ තම මෙහෙකාර ගෑණුන්ට දන්වා නන්වැදෑරුම් කෑම් බීම් පිළියෙල කොට ගෙණ පසුදා ඒ සියල්ලත් රැගෙන උත්තරාවගේ ගෙට ගොස් ඒ ගෙණ ගිය දැය බුදුන් ප්‍රධාන භික්‍ෂූන් වහන්සේට බෙදා දෙනු නො හැකි ව පසෙකට වී නිහඬව සිටියා ය. උත්තරා තොමෝ ඒ සියල්ල තමතට ගෙණ බුදු පාමොක් මහ සඟනට වැළ ඳ වූ ය. සිරිමා, බුදු පාමොක් මහසඟන වළඳා අවසන් කළ කල්හි පිරිවර සමග බුදුරජානන් වහන්සේගේ පා මුල්හි වැඳ වැටුනී ය. එකල්හි බුදුරජානන් වහන්සේ තී කළ අපරාධය කිමැ?”යි පිළිවිසි සේක. “ස්වාමීනි, මම ඊයේ මාගේ මේ යෙහෙළියගේ හිස මත කකාළ තෙල් හැන්දක් වක් කෙළෙමි, ඒ වේලෙහි මේ ආර්‍ය්‍යාවන්ගේ දැස්සෝ මා අල්ලා මට අතින් පයින් පහර දුන්හ. ඒ දුටු මෝ තොමෝ වහා පැමිණ ඔවුන් බැහැර කොට මට සාත්තු සප්පායම් කළා ය, ඒ මම මැයගේ ගුණයෙහි ම පැහැද මෑ කමා කරමි, එහෙත් ඔබ වහන්සේ කමා කරවා ගණිහි නම්, කමා කරමි යි කියා”යි කිවු ය. “උත්තරා! මෑ කියනු හැබෑ දැ?”යි අසා වදාළ සේක. “මපියානන් වහන්ස! එසේ ය, මාගේ මේ යෙහෙළිය මාගේ හිසෙහි කකාළ තෙල් හැන්දක් වක් කළා”යි කී විට බුදුරජානන් වහන්සේ “උත්තරා! ඒ තෙල් වක් කළ වේලෙහි තී කුමක් සිතූ දැ”යි ඇසූහ. “ස්වාමීනි! මාගේ මේ යෙහෙළියගේ ගුණය ම මහත් ය, සක්වළ ගබ ඉඩ කඩ රහිත ය, බඹලොව මිටි ය, මෑ නිසා මට පසළොස් දවසක් දන් දෙන්නට බණ අසන්නට ඉඩ පහසු ලැබුනේ ය, ඉදින් මේ නිසා මැය කෙරෙහි ක්‍රෝධයක් නො ද උපන්නේ නම්, මා නො ද දවාවා, යි මැය කෙරෙහි මෙත් සිත පැතිර වීමි”යි කී විට “මැනැවි, මැනැවි, උත්තරා! ක්‍රෝධය පැරද විය යුත්තේ මෙසේ ය, ක්‍රෝධය මෛත්‍රියෙන් දිනිය යුතු ය, ඇණුම් බැණුම් ගැරහුම් කරන්නේ ඇණුම් බැණුම් ගැරහුම් නො කරන්නහු විසින් දිනිය යුතු ය, තද මසුරු බැව් ඇත්තේ තමන් සතු දැය දීමෙන් බොරු කියන්නේ සත්‍ය වචනයෙන් දිනිය යුතු ය”යි වදාරා මේ ධර්‍ම දේශනාව කළ සේක.

අක්කොධෙන ජිනෙ කොධං අසාධුං සාධුනා ජිනෙ,

ජිනෙ කදරියං දානෙන සච්චෙන අලිකවාදිනන්ති.

ක්‍රෝධ කරන්නහු ක්‍රෝධ නො කිරීමෙන් දිනන්නේ ය. ගුණ නැත්තහු ගුණයෙන් දිනන්නේ ය. තද මසුරහු දීමෙන් දිනන්නේ ය. බොරු කියන සුල්ලහු සත්‍ය වචනයෙන් දිනන්නේ ය.

අක්කොධෙන ජිනෙ කොධං = ක්‍රෝධ නො කිරීමෙන් ක්‍රෝධ කරන්නහු දිනන්නේ ය.

අක්කොධ නම්: ක්‍රෝධ නො කිරීම ය. තමන් කෙරෙහි නගනා ඇණුම් බැණුම් ගැරහුම් වලට තමන්ට කරණ වැරදි වලට තමන්ට කරණ නපුරු කම්වලට නො කිපීම ය. එසේ කරන්නවුන් කෙරෙහි නො සැඬ වීම ය. මෙත් වැඩීම ය. [1]

අසාධුං සාධුනා ජිනෙ මනාගුණ නැතියහු මනාගුණයෙන් දිනන්නේ ය.

අසාධු නම්: අන්හට ඇණුම් බැණුම් ගැරහුම් ඈ කරණ නපුරු ගති ඇත්තේ ය. බුද්ධා දී වූ සත් පුරුෂයන්ගේ සිත් ගත් ගුණ නැත්තේ ය.

සාධුනා = බුද්ධාදී වූ උතුමන්ගේ සිත් ගත් ගුණයෙන් යන අරුත්.

ජිනෙ කදරියං දානෙන = තදමසුරු ඇත්තහු දීමෙන් දිනන්නේ ය. [2]

සච්චෙන අලික වාදිනං = බොරු කියන සුල්ලහු සත්‍ය වචනයෙන් දිනනේ ය. [3]

ධර්‍මදේශනාවගේ අවසානයෙහි සිරිමා ගෑණුන් පන්සිය දෙනාත් සමග සෝවන් පලයෙහි පිහිටා ගතු.

උත්තරා උපාසිකා වස්තුව නිමි.

  1. 1-3 ‘චෙරං තෙසං න සම්මති’/1-4 ‘අවෙරෙන ච සමන්ති’ - යනු බලනු.

  2. 13-10 ‘න වෙකදරියා, දෙව ලොකං වජන්ති’ යනු බලනු.

  3. 1-10 ‘අපෙතො දමසච්චෙන’ යනු බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.