17-1 රෝහිණියගේ අසුන්හල් පූජාව

කොධං ජහෙ විප්පජහෙය්‍ය මානං

සඤ්ඤොජනං සබ්බමතික්කමෙය්‍යෙ

තං නාමරූපස්මිං අසජ්ජමානං

අකිඤ්චනං නානුපතන්ති දුක්ඛා.

ක්‍රෝධය දුරු කරන්නේ ය. මානය පහ කරන්නේ ය. (කාමරාගාදි) සියලු සංයෝජන ඉක්මෙන්නේ ය. නාමරූප දෙක්හි (මගේ රූපය මගේ වේදනාව යන ආදීන්) ඇලුම් නොකරන්නාවූ, (කෙලෙසුන් නැති හෙයින්) අකිංචන වූ ඒ පුද්ගලයා (කායික චෛතසික දුඃඛයෝ) අනුව නො පවත්නාහු ය.

එක් කලෙක ආයුෂ්මත් අනුරුද්ධ මහාස්ථවිරයන් වහන්සේ පන්සියයක් භික්ෂූන් සමග කිඹුල්වත් පුරයට වැඩි සේක. “තෙරුන් වැඩියේ ය”යි ඇසූ උන්වහන්සේගේ නෑයෝ උන්වහන්සේ දක්නට විහාරයට ගියහ. එහෙත් උන්වහන්සේගේ බුහු නැනී වූ ‍ රෝහිණී තොමෝ එහි නොගියා ය. ස්ථවිරයන් වහන්සේ රෝහිණිය නො දැක “රෝහිණී කොහි දැ”යි නෑයන් අතින් විචාළ සේක. “ස්වාමීනී! ඕ‍ තොමෝ ගෙයි රැඳුනීය”යි ඔවුහු කීහ. “කුමක් නිසා මෙහි නො ආ දැ”යි ඇසූ විට “ස්වාමීනී! ඇයගේ සිරුරෙහි කුෂ්ඨරෝගයෙක් හට ගෙණ තිබේ, එයින් ලජ්ජිත ව නො ආවා”යි කීහ. “එසේ නම් අය කැඳවා ගෙණ එවු”යි කැඳවාලා කළාල් කඩින් කළ සැට්ටයක් ඇඟ ලා ගෙණ සිටි රෝහිණියට “රෝහිණිය! කුමක් නිසා මෙහි මා දක්නට නො ආවා දැ?”යි ඇසූ විට “ස්වාමීනී! දොරට පිළට බසින්නට නො හැකි තරමේ කුෂ්ඨරෝගයෙක් හට ගෙණ මාගේ සිරුරෙහි සැම තැන පැතිර තිබේ, රෙද්දක් හැට්ටයක් අ‍ඳින්නට ද නො හැකිය, ඒ ලජ්ජාවෙන් මෙහි නො ආමි”යි කිවුය. ඉනික්බිති අන් කිසිවක් නො විචාරා “හා!‍ හොඳයි; වේවා; කමක් නෑ; දැන් තිට පිණක් දහමක් කරන්නට නො වටනේ දැ”යි ඇසූහ. “ස්වාමීනී! මම කිනම් පිණක් කරම් ද, මා විසින් කළයුතු පිණ කුමක් දැ?”යි ඇසූ ය. භික්‍ෂූන් වහන්සේට ඉන්නට නිදන්නට අසුන්හලක් කරව”යි‍ තෙරුන් කී කල්හි “කුමක් දීලා මම එය කරවම් දැ”යි ඇසූවිට “ඇයි! එසේ කියනු? තිට පළඳනා බඩු නැද්දැ”යි විචාළාහු ය. “ස්වාමීනී! මට පළඳනා බඩු තිබේ, එයින් කුමක් කරම් දැ”යි කී කල්හි ස්ථවිරයන් වහන්සේ ඒ පළඳනා බඩු කොතරම් වටී දැ?”යි ඇසූහ. ‘දස දහසක් වටීය යි සිතිය හැකිය, දස දහසකට මිල කළ හැකි වේය ය් ද සිතේය”යි කිවු ය. එවිට “එසේ නම් ඒ පළඳනා බඩු විකොට ලැබෙන මුදල් වියදම් කොට අසුන්හල කරවාලව”යි දැන්වූහ. “ස්වාමීනී! මට ඒ පිණිස මුදල් දිය හැකි ය, මම ලාබාල ගෑණියක්මි, එහි මට වැඩි වැටහීමෙක් නැත, එහෙයින් එය කරවන්නෝ කවුරුහු දැ”යි ඇසූ කල්හි ස්ථවිරයන් වහන්සේ අසල සිටි නෑයන් දෙස බලා රෝහිණිය දෙන මුදලින් අසුන්හල කරවීම ත‍මුසේලාට භාරැ”යි නෑයන්ට භාර කළහ. නෑයෝ “මේ කටයුත්තෙහිලා ඔබවහන්සේ ගන්නා තැන අපට කියන්නැ”යි ඉල්ලා සිටියහ. “මමත් මෙහිලා තමුසේලා කරණ වැඩට උපකාරකව සිටින්නෙමි”යි තෙරුන් කී කල්හි ඔවුහු “මැනවැ”යි පිළිගෙණ එයට වුවමනා දැවදඩු ගෙණ ආහ. අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ අසුන්හල කරණ සැටි විධාන කරණ සේක් “දෙමහල් අසුන්හල කරවා එහි යට මාලෙහි පෝරු ලා පියසි වැසූ තැන සිට යට මාල හැම ද අසුන් ගෙන්වා පණවා තැබිය යුතුය, නො සිස් වූ පැන් කළ නිතර එළවා තැබිය යුතුය, පහන් දැල්විය යුතුය, යනාදීන් එහි කළයුතු හැම වැඩක් ම සොයා බලා අඩුපාඩුකම් නො තබා කළ යුතුය”යි රෝහිණියට නියම කළහ.

රෝහිණී තොමෝ ද “මැනවැ”යි තෙරුන් කී බස පිළිගෙණ තම පළඳනා බඩු විකොට ලත් මුදල් වියදම්‍ කොට නෑයන්ගේ සොයා බැලීම් ඇතිව දෙමහල් අසුන්හල කරවා ඒ මත පෝරු ඇතුරූ තැන් පටන් තෙරුන් කියූ ලෙසින් යටමාලෙහි හැමදීම් ඈ හැමවැඩක් නිතර මැනැවින් කළා ය. භික්‍ෂූන් වහන්සේ ද නිතර එහි අවුත් පණවා ඇති අසුන් හි වැඩ හිදිත්. මෙසේ දින පතා නිතර නිතර අසුන්හල පිස දමත් පිස දමත් රෝහිණියගේ ඇඟ පැතිර හට ගෙණ තුබූ කුෂ්ඨරෝගය මැලවී ගියේ ය.

ඕතොමෝ අසුන්හලෙහි වැඩ නිමිකල්හි බුදුරජුන් ප්‍රධාන කොට ඇති මහාසඞ්ගයාවහන්සේ එහි වැඩමවා වඩා හිඳුවා පිණී වූ කෑයුතු බිදියයුතු අහරපැන් පිළියෙල කොට පිළිගැන්නූ ය. දන් වළඳා අවසන් කළ බුදුර‍ජානන් වහන්සේ “මේ දානය කා විසින් පිළියෙල කරණ ලද දැ?”යි අනුරුද්ධස්ථවිරයන් වහන්සේගෙන් විචාළ සේක. “ස්වාමීනී! මාගේ බුහුනැනී වූ රෝහිණිය විසින් පිළියෙල කරණ ලදැ”යි සැලකළවිට “ඈ කොහි දැ?”යි විචාරා “ඈ මෙහි නැත, ගෙදරැ”යි කී කල්හි “වහා කැඳවාලව”යි වදාළ සේක. බුදුරජුන්ගේ මේ නියමය ඈට දන්වන ලද ද, ඈ එහි යන්නට නො කැමැති වූ ය. බුදුරජානන් වහන්සේ ඇය තමන් වෙත එන්නට නො කැමති වූවා ද ගෙන්වාලූ සේක. ඇය එහි අවුත් බුදුරජුන් වැඳ සිටිකල්හි “රෝහිණි! කුමක් නිසා මෙහි නො ආවා?”යි විචාළ විට “ස්වාමීනී! මම මෙහි නොපැමිණියෙම් අනෙකක් නිසා නොවේ, මාගේ සිරුරෙහි හට ගෙණ තුබූ කුෂ්ඨරෝගය මදක් සන්සිඳුනේ ද, සිරුරුසම තවම බලන්නට අප්‍රිය ය, පිළිකුල් ය, ඒ ලජ්ජාව නිසා මෙහි නො පැමිණියා වෙමි”යි කීවා ය. ‍“රෝහිණි! තීගේ සිරුරෙහි මේ කුෂ්ඨරෝගය කුමක් නිසා හට ගැණුනේ දැ යි තී දනිහි දැ”යි විචාරා “ස්වාමීනී! නො දනිමි”යි කී කල්හි “තීගේ ක්‍රෝධය නිසා මේ උපනැ”යි වදාළ සේක. එවිට රෝහිණී “ස්වාමීනී! මෙබදු මහත් රෝගයක් හට ගැණීමට මා කළ ක්‍රෝධය කිමැ”යි ඇසූ ය. “එසේ නම් අසව”යි බුදුරජානන් වහන්සේ ඇයගේ මේ ඉකුත් පුවත මෙසේ පළකළ සේක.

පෙර බරණැස් රජුගේ අගබිසෝ වූ තී රජගෙයි විසූ නළඟනක කෙරෙහි ක්‍රෝධ උපදවා මෑට දුක් දෙන්නෙමි, යි කසඹිලියාගෙඩි ගෙන්වා වියලා කුඩු කොට ඒ නළඟන තමන් වෙතට කැඳවා ඇයට නො දැනෙන ලෙසින් කසඹිලියා කුඩු ඇය වැද‍ හෝනා ඇ‍‍‍‍ඳෙහි ඇඳ අතිරිල්ලෙහි උතුරු සළුවෙහි කොඳු පලසෙහි සැම තැන අතර නො තබා කෙළිකවටකමින් ඇයගේ ඇඟපතෙහි ද ඉස්සා ය. එ‍ කෙණෙහි ම ඇයගේ සිරුර ඉල්පී සැමතැන කුදු මහත් ගඩු හට ගැණුනේ ය. ඈ ඇඟ කසමින් වේදනා ඉවසනු නො හැකිව ගොස් ඇඳ වැතිර ගත්තී එහිදී ද කසඹිලියා කුඩු ඇඟ තැවරී හටගෙණ තුබූ වේදනාව තවතවත් රළුපරළු වීමෙන් මහත් වූ දුඃඛවේදනායෙන් පෙළෙන්නට වූ ය. මේ රෝහිණී එදා බරණැස් රජුගේ අගමෙහෙසිය”යි ශාස්තෲන් වහන්සේ මේ ඉකුත් පුවත වාදාරා “රෝහිණී! මේ කර්‍මය තී විසින් ම කරණ ලද ය, ස්වල්පමාත්‍ර වූත් ක්‍රෝධයක් හෝ ඊර්‍ෂ්‍යාවක් හෝ කා කෙරෙහිදු කරන්නට නො වටනේ ය”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.

කොධං ජහෙ විප්පජහෙය්‍ය මානං

සඤ්ඤොජනං සබ්බමතික්කමෙය්‍ය,

තං නාමරූපස්මිං අසජ්ජමානං

අකිඤ්චනං නානුපතන්ති දුක්ඛාති.

ක්‍රෝධය දුරු කරන්නේ ය, මානය වෙසෙසින් පහ කරන්නේ ය. සියලු සංයෝජන ඉක්ම වන්නේ ය. නාම - රූප දෙක්හි නො ඇලෙන කිඤ්චන නැති ඒ පුද්ගලයා කෙරෙහි දුඃඛයෝ කඩා නො වැටෙත්.

කොධං ජහෙ = ක්‍රෝධය දුරු කරන්නේ ය.

ක්‍රෝධ නම්: සිතෙහි උපදනා රළුපරළු ගතිය යි. “කුජ්ඣනං= කොධො” යනු විවෘතියි. ඇස් කන් නාස් ඈ දොරටුවලට සිත් ගන්නා රූපාදී වූ අරමුණු හමු වූ කල්හි සිත ඒ අරමුණු හා ගැටීම නිසා සිතෙහි මේ උපදනේ ය. [1] “කොධස්ස අබිමත්තපරිත්තතා වෙදිතබ්බා” යනු ආගම බැවින් ක්‍රෝධයෙහි අඩුවැඩි බව මෙසේ දන්නේය:- පිළිවෙළින්, ආදියෙහි ක්‍රෝධය සිත කළඹනුයේ ය. නැවත සිත හකුළවනුයේ ය. නැවැත හනු සොලවනුයේ ය. නැවැත පරොස් බස් කියවනුයේ ය. නැවැත වටපිට බලවනුයේ ය. නැවැත දඬුසැත් ගන්වනුයේ ය. නැවැත දඩුසැත් නංවාලනුයේ ය. නැවැත දඬුසැත් දමාගස්වනුයේ ය. නැවැත මෙරමා සිරුර සිදුරු කරවනුයේය. නැවැත සිරුර සුණුවිසුණු කරවනුයේ ය. නැවැත අඟපසඟ ඇද කඩවනුයේ ය. නැවැත දිවි තොර කරවනුයේ ය. නැවැත අවසානයෙහි මෙරමා දිවි නස්වා තමාත් නස්වාලනුයේ ය. මෙසේ ක්‍රෝධය ක්‍රමයෙන් ‍සිතෙහි නැගී ආයේ යම් කලෙක මෙරමා නස්වා තමාත් නසා ගැනීමෙහි තැනට මෝරා ගියේ නම් එකල ක්‍රෝධය බලවත්බවට ගියේ මහත් බවට ගියේ ය”යි දතයුතු ය. ක්‍රෝධය පිලිබඳ මේ අවසාන අවස්ථාව අටුවායෙහි කීයේ මෙසේ ය:- “යදා අඤ්ඤං ජීවිතං වොරොපෙත්‍වා අත්තානං ජීවිතා වොරො පනත්‍ථාය ඨිතො, තදා සබ්බචාගපරිච්චාගී නාම හොති”යි.

ක්‍රෝධයෙන් රත් ව ක්‍රෝධයෙන් පෙළෙන ක්‍රෝධයෙන් සුසුම් ලන මිනිසා කෙතරම් කෑයේ බීයේ ඇන්දේ පැලන්දේ ද දුර්‍වර්‍ණණ වේ. එසේ ම ගේ දොර තනා ගෙණ මනා යානවාහන නගිමින් සැපපහසු ඇති ඇඳ පුටුවල හිඳිමින් නිදමින් කල් ගෙවන්නේ ද අස්වැසුම් නැතිව දුකසේ ම හොවින්නේ ය. හිඳින්නේ ය. අර්‍ත්‍ථය බල බලා අනර්‍ත්‍ථයට වැටෙන්නේ ය.

ක්‍රෝධයෙන් මැඩුනු මිනිසා කය - වචන - සිත යන තිදොරින් පරපණ නසා ධනවිනාශයට පැමිණෙන්නේ ය.

ක්‍රෝධ මදයෙන් මත් වූයේ අයසට පැමිණෙන්නේ ය. නෑදෑ හිතමිතුරු සුහදයෝ ක්‍රෝධ කරන්නහු බැහැර කරන්නෝ ය.

ක්‍රෝධය අවැඩ සිදුකරන්නේ ය. ක්‍රෝධය සිත තදින් කුපිත කරන්නේ ය. සිත තුළ උපදනා ක්‍රෝධය භයට කරුණුය යි කුපිත වූ මිනිසා නො දන්නේ ය.

කිපියේ ලෞකික-ලොකොත්තරාර්‍ත්‍ථය නො දනී. එයට හේතු වූ ශමථ - විදර්‍ශනා ධර්‍ම ද නො දකියි. සිත තුළ නැගී සිටි ක්‍රෝධය කිපියහු මැඩලන්නේ ය. ක්‍රෝධය ඔහුට ගනඳුරෙක් වේ.

කිපියේ නො පහසු වැඩ පහසු වැඩ මෙන් සලකන්නේ ය. කෝපය නිවී ගිය කල්හි ඔහු ගින්නෙන් දැවුනකු මෙන් තැවෙන්නේය.

ඔහු කෝපය උපන් කල්හි දුම් නගිනා ගින්න මෙන් නොපැහැති මුහුණ පෙන්වන්නේ ය. මිනිස්සු මොනයම් හේතුවකින් හෝ කිපෙත් ද, ඔවුනට විළිබිය නැත්තේ ය. කියන බසෙහි ද වැදගත් බවෙක් නැත්තේ ය. කෝපයෙන් මැඩුනහුට කිසි පිහිටෙක් නැත්තේ ය.

කිපියේ මවුපියන් රහතුන් පුහුදුන් යන හැම කෙනෙකුන් නසන්නේ ය.

යම් මවක විසින් හදා වඩා එලිබස්වන ලද්දේ මෙලොව එලිය දක්වනලද ද හදා වඩා පණ රැක දුන් ඒ මව ද නසන්නේ ය.

සියලු සත්වයෝ තමා වැනියහ. තමා තමාට අතිශය ප්‍රිය ය. කිපියේ නොයෙක් තැන මුසපත් වූයේ නො යෙක් කරුණු ඉදිරියට ගෙණ තමා ද නසා ගන්නේ ය.

කඩුවෙන් තමා නසා ගණියි. මුළා වූවෝ විෂ කත්. ගෙල වැල ලා ගෙණ මැරෙත්. කඳු වලින් පැණ කඳුරැලිවල වැටී මැරෙත්.

නැසුනු වැඩීම් ඇති තමන් මරණයට පමුණුවන වැඩ කොට නැසෙත්. “කිපියේ පිරිහෙන්නේය” යනු නො සිතත්. මේ පාලි:-

“කොධනො දුබ්‍බණ්ණො හොති අථො දුක්ඛම්පි සෙති සො,

අථො අත්‍ථං ගහෙත්‍වාන අනත්‍ථං අධිගච්ඡති.

.

තතො කායෙන වාචාය වධං කත්‍වාන කොධනො,

කොධාභිභූතො පුරිසො ධනජානිං නිගච්ඡති.

.

කොධසම්මදසම්මත්තො ආයසත්‍යං නිගච්ඡති,

ඤාතිමිත්තා සුහජ්ජා ච පරිවජ්ජෙන්ති කොධනං.

.

අනත්‍ථජනනො කොධො කොධො චිත්තප්පකොපනො,

භයමන්තරතො ජාතං තං ජනො නාවබුජ්ඣති.

.

කුද්ධො අත්‍ථං න ජානාති කුද්ධො ධම්මං න පස්සති,

අන්‍ධං තමං තදා හොති යං කොධො සහතෙ නරං.

.

යං කුද්ධො උපරොධෙති සුකරං විය දුක්කරං,

පච්ඡා සො විගතෙ කොධෙ අග්ගිදඩ්ඪොව තප්පති.

.

දුම්මඞ්කුයං ස දස්සෙතා ධූමග්ගි විය පාවකො,

යතො පතායති කොධො යෙන කුජ්ඣන්ති මාණවා.

.

නාස්ස හිරි හොති න ඔත්තප්පං න වාචො හොති ගාරවො,

කොධෙන අභිභූතස්ස න දීපං හොති කිඤ්චනං.

.

කුද්ධො හි පිතරං හන්ති කුද්ධො හන්ති සමාතරං,

කුද්ධො හි බ්‍රාහ්මණං හන්ති හන්ති කුද්ධො පුථුජ්ජනං.

.

යාය මාතුභතො පොසො ඉමං ලොකං අවෙක්ඛති,

තම්පි පාණම්පි හන්ති සො හන්ති කුද්ධො පුථුජ්ජනෙ.

.

අත්තූපමාහි තෙ සත්තා අත්තා හි පරමං පියො,

හන්ති කුද්ධො පුථුත්තානං නානාරූපෙසු මුච්ඡිතො.

.

අසිනා හන්ති අත්තානං විසං ඛාදන්ති මුච්ඡිතා,

රජ්ජුයා බජ්ඣ මීයන්ති පබ්බතාමපි කන්‍දරෙ.

.

භූනහච්චානි කම්මානි අත්තමාරණියානි ච,

කරොන්තා නාවබුජ්ඣන්ති කොධජාතො පරාභවො”යි.

කරුණු මෙසේ බැවින් අටුවායෙහි දී “කොධො නාම උප්පජ්ජමානො සුභාසිතදුබහාසිතං අත්ථානත්‍ථං හිතාහිතං ජානිතුං න දෙති. තස්මා න හි සාධු කොධො” යනු කීහ. ක්‍රෝධය ඉපැදෙනුයේ සුභාෂිත දුර්‍භාෂිතයෙන් අර්‍ත්‍ථානර්‍ත්‍ථයන් හිතාහිතයන් දන්නට නො දේ ද, එහෙයින් ක්‍රෝධය සත්ත්‍වයනට හිත පිණිස නො වැටේ ය, යනු එහි අරුත්.

තවද මෙහි ලා මෙ ද දන්නේ ය:- “දුට්ඨො ඛො බ්‍රාහ්මණ! දොසෙන අභිභූතො පරියාදින්නවිත් අත්තබ්‍යාධායපි චෙතෙති, පරබ්‍යාධායපි චෙතෙති, උභයබ්‍යාධායපි චෙතෙති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති” යනු හා “දුට්ඨො ඛො බ්‍රාහ්මණ! දොසෙන අභිභූතත්තා අත්තත්‍ථම්පි යථාභූතං න ජානාති, පරත්‍ථම්පි යථාභූතං න ජානාති, උභයත්‍ථම්පි යථාභූතං න ජානාති” යනුත්.

බමුණ! ද්වේෂයෙන් දූෂිත වූයේ ද්වේෂයෙන් මැඩුනේ තමාට අවැඩ පිණිස පරහට අවැඩ පිණිස තමාට පරහට අවැඩ පිණිස සිතන්නේ ය. ඒ හේතුවෙන් දිවා රෑ දෙකේහි සිත තළමින් පෙළමින් උපදනා දුක් දොම්නස් විඳින්නේ ය. බමුණ! ද්වේෂයෙන් දූෂිත වූයේ ද්වේෂයෙන් මැඩුනේ ආත්මාර්‍ත්‍ථය හා පරාර්‍ත්‍ථය හා අත්මාර්‍ත්‍ථපරාර්‍ත්‍ථ හා තතුලෙසින් නො දන්නේ ය, යනු එහි ඉතා කෙටි අරුත්.

පහත් හැසිරීම් ඇති සොරු, දෙපස සවි කළ අත් දඬු ඇති කියතක් ගෙණ එයින් යමහක්හුගේ අඟපසඟ කපා ඉරා දමත් ද, එහෙයින් ඒ කැපුම් ඉරුම් ලබන්නේ ඒ සොරුන් කෙරෙහි ස්වල්ප මාත්‍ර වූත් ක්‍රෝධචින්තාවක් උපද වන්නේ නම් හෙතෙම ශාස්තෘ ශාසනය කරනනෙක් ශාසනික ප්‍රතිපත්ති පුරන්නෙක් නො වන්නේ ය,යි බුදුරජානන් වහන්සේ වදාළ සේක. මේ ඒ වදාළ සැටි:- “උභතො දණ්ඩකෙනපි චෙ භික්ඛවෙ! කකචෙන චොරා ඔචරකා අඞ්ගමඞ්ගානි ඔක්කන්තෙය්‍යුං, තත්‍රාපි යො මනො පදූසෙය්‍ය, න‍ මෙ සො තෙන සාසනකරො”යි.

මෙහි මෙසේ වත් ක්‍රෝධයෙන් මැඩුනේ කයින් පව්කම් කොට වචනයෙන් පව්කම් කොට සිතින් පව්කම් කොට නිරයෙහි උපදනේ ය. මේ එහි ආපත්ය:- කොධනායං භික්ඛවෙ! පුරිස පුග්ගලො කොධාභිභූතො කොධපරෙතො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති, සො කායෙන දුච්චරිතං චරිත්‍වා වාචාය දුච්චරිතං චරිත්‍වා මනසා දුච්චරිතං චරිත්‍වා කායස්ස හෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති” යනු.

ක්‍රෝධයට යටත්ව ක්‍රෝධයෙන් මැඩුනේ මෙසේ මරණින් මතු අපායයෙහි ඉපිද එහි ඉතා දිගුකලක් කටුක දුක් විඳ එයින් මිදී සසර කළ යම් පිණක් කරණ කොට මේ මිනිස්ලොව උපන්නේ පෙර උනුන් කෙරෙහි ඉපද වූ ඒ ක්‍රෝධයෙහි සලකුණු විසින් ලැබූ මිනිසත්බවෙහිලා විරූප වූයේ අප්‍රිය වූ දැකුම් ඇතියේ වේ. නිතර පෙළෙන දරුණු රෝගපීඩා ඇතියේ වේ. කුදුබැව් කොරබැව් ඇතියේ වේ. දිවි තොර කිරීමෙහි බලාපොරොත්තු ඇති සතුරන්ගෙන් දව රෑ වට ව සිටියේ වේ. මෙසේ ක්‍රෝධයෙන් මැඩුනේ අපායයෙහි ඉපද දරුණු දුක් විදියේ මිනිස්ලොව මෙසේ නන් වැදෑරුම් දරුණු දුක්වලින් පෙළෙන්නේ වන්නේ ය යි දත යුතුය.

මෙසේ ක්‍රෝධය සත්ත්‍වයා සසර ඇවිදුනා තෙක් හැම තැන දුක් දෙන පාපචින්තාවක් බැවින් කිසි සංස්කාරයක් කෙරෙහි කිසි සත්ත්‍වයකු කෙරෙහි මොන ම කරුණක් නිසා වත් කිසිදාකත් අඩුව හෝ වැඩිව ස්ථානික ව හෝ අස්ථානික ව ක්‍රෝධචින්තා නම් සිතෙහි නො ඉපද විය යුතු ය යි ද, ක්‍රෝධ කරන්නේ ම පරහට බණින්නේ ම දොඩන්නේ ම දොස් නගන්නේ ම සසර උපනුපන් දැයෙහි දුක් විදින්නේ ය යි ද, ක්‍රෝධ නො කරන්නේ ම පරහට නො බණින්නේ ම නො දොඩන්නේ ම දොස් නො නගන්නේ ම සසර උපනුපන් දැයෙහි සැමදා සැප විදින්නේ ය යි ද, වදාළ සේක.

බුදුරජානන් වහන්සේ රජගහ නුවර වෙළුවනාරාමයෙහි වැඩ වසනා දවසෙහි රජගහනුවර භාරද්වාජ නම් බමුණෙක් විසී ය. ඔහුට ධනඤ්ජානී නම් බිරියක් වූ ය. ඕ තොමෝ තුනුරුවන් කෙරෙහි පහන් ව සිටියා ය. ධනඤ්ජානිය භාරද්වාජ බමුණාහට කෑම්බීම් ලං කොට දෙන්නී “සම්මා සම්බුදුරජුන්හට නමස්කාර වේවා”යි තෙවරක් නො පැකිළ උදන් අනන්නී ය. භාරද්වාජ දවසක් මෙයින් කිපියේ “මේ සැඩොලිය හැම වේලෙහි හැම තැන මේ මුඩුමහණහුගේ ගුණ කියන්නීය, සැඩොලිය! දැන් මම තීගේ ඒ ශාස්තෘහට වාද නගන්නෙමි”යි ගුගුලා කීයේ ය. එසේ ක්‍රෝධයෙන් ගුගුලා කී කල්හි “හොඳයි යන්න, ගොස් මාගේ ශාස්තෲන් වහන්සේගේ තරම දැන ගණිවු”යි ඕතොමෝ යටත් පහත් ව දන්වා සිටියා ය. බමුණු කිපියේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුව කතාබස් කොට පසෙකට වී හිඳ භාග්‍යවතුන් වහන්සේගෙන්

“කිංසු ඣත්‍වා සුඛං සෙති” කුමක් නිසා සුවසේ හොවී ද?

“කිංසු ඣත්‍වා න සොචති” කුමක් නිසා ශෝක නො කෙරේ ද?

“කිස්සස්ස එකධම්මස්ස වධං රොචෙසි ගොතම!” ගෞතමයෙනි! කිනම් එක් දහමක්හුගේ නැසීම රුස්නෙහි දැ?ය මෙසේ ඇසී ය.

එකල්හි බුදුරජානන් වහන්සේ බමුණා ඇසූ ප්‍රශ්නයන්ට මෙසේ පිළිතුරු දී වදාළ සේක.

“කොධං ඣත්‍වා සුඛං සෙති” ක්‍රෝධය නසා සුවසේ හොවියි.

“කොධං ඣත්‍වා න සොචති” ක්‍රෝධය නසා ශෝක නො කෙරෙයි.

“කොධස්ස විසමූලස්ල මධුරග්ගස්ස බ්‍රාහ්මණ!” බමුණ! විෂ සංඛ්‍යාත දුඃඛ විපාකයට මුල් වූ මිහිරි අග ඇති ක්‍රෝධය,

“වධං අරියා පසංසන්ති” නැසීම ආර්‍ය්‍යයෝ පසසත්.

“තං හි ඣත්‍වා න සොවති” ඒ ක්‍රෝධය නසා (සිටියේ) ශෝක නො කෙරේම ය, යි.

මේ ප්‍රශ්න ව්‍යාකරණයෙන් සතුටට පැමිණි භාරද්වාජ තෙමේ බුදුරජුන් වෙත පැවිද්ද හා උපසපන් බව ලබා එකලා ව ගණයා කෙරෙන් වෙන් ව කෙලෙස් තවන වැර ඇතියේ කල් නො යවා ම රහත් බවට පැමිණියේ ය.

මේ පුවත ඇසූ අක්කොසකභාරද්වාජ නම් බමුණු බුදුරජුන් වෙත ගොස් බුදරජානන් වහන්සේ ට අසභ්‍ය වූ පරුෂ වචනයෙන් ‍ආක්‍රෝශ පරිභව කරන්නට වන. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “බමුණ! තාගේ නිවසට ආගන්තුක වූ මිත්‍රාමාත්‍යයෝ සහලේ නෑයෝ එත් දැ?”යි ඇසූහ. “ඔව්! මාගේ ගෙට ඇතැම් දවස්වල මාගේ ආගන්තුක වූ මිත්‍රාමාත්‍යයෝ සහලේ නෑයෝ පැමිණෙති”යි බමුණු කී ය. “හොඳයි! ඔවුන් ආ විට ඔවුන්ට කෑම් බීම් දෙන්නෙහි දැ?”යි ඇසූහ. “ඔව්, ඇතැම් දිනෙක දෙන්නෙමි” යි කී ය. “හොඳයි! කෑම් බීම් දෙනු සැබෑ ය, ඔවුහු එය නො පිළිගණිත් නම් ය කාට වේ දැ?”යි ඇසූ විට “ගෞතම! ඔවුහු නො පිළිගණිත් නම් එය අපට ම වේ ය”යි කීයේ ය. බුදුරජානන් වහන්සේ “බමුණ! එපරිද්දෙන් ආක්‍රෝශ නො කරණ අපට තෝ අක්‍රෝශ කෙරෙහි ද?, නො කිපෙන අපට කිපෙහි ද?, ඩබර නො කරණ අපට ඩබර නගහි ද? තාගේ ඒ අක්‍රෝශාදිය අපි නො පිළිගණමු, බමුණ! ඒ ආක්‍රොශාදිය තට ම වෙයි, බමුණ! යමෙක් ආක්‍රෝශ කරන්නහුට පෙරළා ආක්‍රෝශ කෙරේ ද, කිපෙන්නහුට පෙරළා කි‍පේ ද, ඩබර නගන්නහුට පෙරළා ඩබර නගා ද, බමුණ! මෙ තෙමේ උන් හා එකතුව අනුභව කෙරෙයි. උනුනට සමචලා කෙරෙයි. ඒ අපි තා සමග එකතුව නො වළඳමු, උනුනට සමචලා නො කරමු, බමුණ! එය තම ම වේ ය” යි වදාළ සේක. එකල්හි බමුණු “රජු සහිත පිරිස මහණ ගොයුම්හු රහත්හ, යි දනියි, එහෙත් භවත් ගොයුම්හු කිපෙති”යි සිතී ය.

ඉක්බිති බුදුරජානන් වහන්සේ මෙසේ වදාළ සේක.

“අක්කොධස්ස කුතො කොධෙ දන්තස්ස සමජීවිනො,

සම්මදඤ්ඤා විමුත්තස්ස උපසන්තස්ස තාදිනො.

.

තස්සෙව තෙන පාපියො යො කුද්ධං පටිකුජ්ඣති,

කුද්ධං අපටිකුජ්ඣන්තො සඞ්ගාමං ජෙති දුජ්ජයං.

.

උභින්නමත්‍ථං චරති අත්තනො ච පරස්ස ච,

පරං සඞ්කුපිතං ඤත්වා යො සතො උපසම්මති.

.

උභින්නං තිකිච්ඡන්තං අත්තනො ච පරස්ස ච,

ජනා මඤ්ඤන්ති බාලොති යෙ ධම්මස්ස අකොවිදා”යි.

දැමුනු සම දිවි වැටුම් ඇති මැනැවින් දැන මිදුනු සන්හුන් වූ තාදි ගුණ ඇති නො කිපෙන්නහුට ක්‍රෝධයෙන් කොයින් වේ ද. යමෙක් කිපුනහුට පෙරළා කිපේ ද, එයින් ඔහුට ම පවෙක් වේ. කිපියහුට පෙරළා නො කිපෙන්නේ පෙරළ‍ා කි‍ෙෙරේ ද, කිපෙන්නහුට ‍ෙෙක්‍රොශ නො කරණ අපට තෝ පරිභව වේ‍රෙ දිනීමට නො පහසු වූ ක්‍රෝධ සඞ්ග්‍රාමය දිනන්නේ ය.

යමෙක් අන්හු කිපියහු දැන සිහි ඇති ව ඉවසා ද, හෙතෙමේ තමාට ද අන්හට ද යන දෙදෙනාට ම වැඩ සිදු කරන්නේ ය.

තමාට හා අන්හට හා යන දෙදෙනාහටම පිළියම් කරන්නහු බාල ය යි ධර්‍මයෙහි අදක්‍ෂ වූ ජනයෝ හඟිත්, යනු අරුත් ය.

මේ දේශනායෙන් පහන් ව අක්කොසභාරද්වාජ තෙමේ ද සසුන් හි පැවිදි උපසපන් බව ලබා එකලා ව ගණයා කෙරෙන් වෙන් ව අප්‍රමත්ත වූයේ කෙලෙස් තවන වැර ඇතියේ රහත් බවට පැමිණියේ ය.

අසුරින්‍දකභාරද්වාජ බමුණු බුදුරජානන් වහන්සේට අසභ්‍ය වූ පරුෂ වචනයෙන් බැණ වැදුනු කල්හි උන්වහන්සේ ඔහුට

“ජයං වෙ මඤ්ඤති බාලො වාචාය ඵරුසං භණං,

ජයං වෙචස්ස තං හොති යං තිතික්ඛා විජානතො.

.

තස්සෙව තෙන පාපියො යො කුද්ධං පටිකුජ්ඣති,

කුද්ධං අප්පටිකුජ්ඣන්තො සඞ්ගාමං ජෙති දුජ්ජයං.

.

උභින්නමත්‍ථං චරති අත්තනො ච පරස්ස ච,

පරං සඞ්කුපිතං ඤත්‍වා යො සතො උපසම්මති.

.

උභින්නං තිකිච්ඡන්තං අත්තනො ච පරස්ස ච,

ජනා මඤ්ඤන්ති බාලොති යෙ ධම්මස්ස අකොවිදා”

යි මේ ධර්‍මදේශනාව වදාළ සේක.

අඥාන පුරුෂ තෙමේ නො සැබි බස් කියමින් පරොස් බස් කියමින් එය එකාන්තයෙන් තමාට ජයෙකැ යි සිතන්නේ ය. ඉවසීමෙහි ගුණ දන්නහුගේ යම් ඉවසීමෙක් වේ ද, ඒ ඔහුට ජයෙක් ම වේ; යනු අරුති. ඉතිරි ගාථා තුනෙහි අරුත් කියූ සේ ය.

“එකධම්මං භික්ඛවෙ! පජහථ, අහං වො පාටිභොගො අනාගාමිතාය, කතමං එකධම්මං? කොධං භික්ඛවෙ! එකධම්මං පජහථ, අහං වො පාටිභොගො අනාගාමිතායාති,

යෙන කොධෙන කුද්ධා සෙ සත්තා ගච්ඡන්ති දුග්ගතිං,

තං කොධං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනො,

පහාය න පුනායන්ති ඉමං ලොකං කුදාචනන්ති”

මහණෙනි! එක් ධර්‍මයක් පහ කරවු. මම තමුසේලාට අනාගාමී භාවය ලබාදෙන්නට ඇප වෙමි. මහණෙනි! ක්‍රෝධය පහ කරවු. මම තමුසේලාට අනාගාමීභාවය ලබා දෙන්නට ඇප වෙමි.

යම් ක්‍රෝධයකින් කිපියා වූ සත්ත්‍වයෝ දුගතියට යෙද්ද, ඔවුහු විදසුන් නුවණින් බලන්නාහු ඒ ක්‍රෝධය මනා නුවණින් දැක සහමුලින් පහ කෙරෙත්. ක්‍රෝධය පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකය‍ට පෙරළා නො පැමිණෙත්.

මෙසේ වදාළ බැවින් ක්‍රෝධයෙහි ආදීනවය හා ක්‍රෝධය දුරු කිරීමෙහි ආනිසංසය දැන තම තමන් සිත් තුළ මොන යම් කරුණක් නිසා හෝ උපදනා ක්‍රෝධය සන්සිඳුවා ගත යුතු ය.

යම් කිසිවකු නිසා යමක් හට ක්‍රෝධයෙක් උපන්නේ නම් එහිදී පළමු කොට ඔහු කෙරෙහි මෙත් සිත පැතිර විය යුතුය. කුළුණු සිත වැඩිය යුතු ය. මැදහත් සිත ලං කොට බැලිය යුතු ය. ක්‍රෝධයට කරුණු වූයේ තම සිතට අරමුණු විසින් නො නගී ද බිත්ති පවුරු ඈ යමකින් මුවා කරණ ලද්දකු සේ නො පෙණී යේ ද, එසේ ඔහු අමතක කළ යුතු ය. සිහි නො කළ යුතු ය. “මෙතෙමේ කර්‍මය දායාද කොට ඇත්තේ ය” යනාදීන් ඔහු පිළිබඳ කර්‍මස්වකතාවය ඉටිය යුතු ය. තදඞ්ගප්‍රහාණාදීන්ගේ වශයෙන් ක්‍රෝධය ඔබා ගත යුතු ය. අපරභාගයෙහි විදසුන් කුළු ගන්වා අනාගාමී මාර්‍ගඥානයෙන් ක්‍රෝධය මුළුමනින් නසා දුරු කිරීමෙන් අනාගාමී වන්නේ ය. නැවැත උත්පත්ති විසින් මේ ලෝකයට නො එන්නේ ය. ව්‍යාපාද නාමයෙන් ඔරම්භාගීය සංයෝජනයන්හි ඇතුළත් ක්‍රෝධය ඔවුන්ගේ ප්‍රහාණයෙහි දී අනාගාමීමාර්‍ගඥාන‍ යෙන් ප්‍රහීණ වන්නේ ය. අනාගාමී තෙමේ කාමලෝකයෙහි නැවැත නූපදනේ ය. [2]

විප්පජහෙය්‍ය මානං - මානය වෙසෙසින් පහ කරන්නේ ය.

ජාත්‍යාදිය වස්තු කොට නැගි සිතෙහි අහඞ්කාරය මානය යි. ‍එහි නොයෙක් අවස්ථා ඇත්තේ ය. යට කියනලදි.

බුදුරජානන් වහන්සේ “මහණෙනි! සියලු සත්ත්‍වයෝ මානයෙන් යුක්ත වූවෝ මානයෙන් ගෙතුනෝ භවයෙහි ඇලුනාහු ය, මානය ත්‍රිවිධ පරිඥාවන්ගෙන් පිරිසිඳ නො දන්නාහු පුන පුනා උත්පත්තියට පැමිණෙත්, යම් කෙනෙක් මානය මුළුමනින් ප්‍රහාණය කොට අර්‍හත් ඵලයෙහි පිහිටා මානය සමග පවත්නා සියලු කෙලෙසුන් කෙරෙන් මිදුනාහු වෙද් ද, යටපත් කළ මානග්‍රන්‍ථ ඇති ඒ රහත්හු සියලු දුක් ඉක්මවා ගියහ”යි. මේ එහි පාලිය:-

“මානුපෙතා අයං පජා මානගන්‍ථා භවෙ රතා,

මානං අපරිජානන්තා ආගන්තාරො පුනබ්භවං.

.

යෙ ච මානං පහත්‍වාන විමුත්තා මානසඞ්ඛයෙ,

තෙ මානගන්‍ථාහිභුනො සබ්බදුක්ඛමුපච්චගුං” යනු.

“මහණෙනි! මානය විශිෂ්ටඥානයෙන් නො දැන ගන්නේ මුළුමනින් ඉතිරි නො කොට නො දැන ගන්නේ සිත ඇලුම් නො හරින්නේ කෙලෙස් නො දුර ලන්නේ දුක් කෙ‍ළවර කිරීමට පොහොසත් නො වේ”යි මෙහිලා වදාල බව ද දන්නේ ය. මේ ඒ වදාළ පාලිය:- “මානං භික්ඛවෙ! අනභිජානං අපරිජානං තත්‍ථ චිත්තං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය” යනු

එසේ ම මෙහි ලා මෙ ද දන්නේ ය:-

“යෙන මානෙන මත්තා සෙ සත්තා ගච්ඡන්ති දුග්ගතිං,

තං මානං සම්මඤ්ඤාය පජහන්ති විපස්සිනො,

පහාය න පුනායන්ති ඉමං ලොකං කුදාචනං” යනු.

යම් මානයෙකින් මත් වූ සත්ත්‍වයෝ දුගතියට යෙද් ද, ඒ මානය විදසුන් නුවණින් බලන්නාහු මැනැවින් නුවණින් දැන මුළුමනින් පහ කෙරෙත්. මානය පහ කළාහු කිසි කලෙකත් මේ ලෝකයට උත්පත්ති විසින් පෙරළා නොඑත්, යනු අරුත්.

මානය විශිෂ්ටඥානයෙන් දැන ගන්නේ මුළුමනින් ඉතිරි නො කොට දැන ගන්නේ එහි සිත නො අලවන්නේ කෙලෙස් දුර ලන්නේ දුක් කෙළවර කිරීමට පොහොසත් වන්නේ ය. එහෙයින් බුදුරජානන් වහන්සේ “මානං භික්ඛවෙ! එකධම්මං පජහථ” මහණෙනි! ‘මාන නම් වූ එක්ම ධර්‍මය පහ කරවු’යි වදාළ සේක. මෙහි “විප්පජහෙය්‍ය මානං” යන මෙ ද වදාළෝ මානය දුරු කොට හැරීම මුළුමනින්ම දුක් ගෙවී යෑමට කරුණු වන බැවිනි. [3]

සංයොජනං සබ්බං අතික්කමෙය්‍ය = සියලු සංයෝජන ඉක්ම වන්නේ ය. [4]

නාමරූපස්මිං = නාමයෙහි හා රූපයෙහි. [5]

අසජ්ජමානං = නො ඇලෙන.

මාගේ රූප ය, මාගේ වේදනා ය, මාගේ සංඥා ය, මාගේ සංස්කාර ය, මාගේ විඥාන ය යි නාමරූප දෙක්හි කිසිවිටෙකත් තෘෂ්ණාදෘෂ්ටීන්ගේ වශයෙන් නො ඇලෙන. තං යනු බලා සිටියේ ය.

අකිඤ්චනං = කිඤ්චන නැති. [6]

රාගාදික්ලේශධර්‍මයෝ කිඤ්චන නම්. පළිබෝධ බැවිනි. තව ද නාමරූපාදියෙහි ඇලෙන්නහුට ලෞකික-ලෝකෝත්තර ගුණයන් ලැබීමට ඉඩ නො දෙන බැවිනුදු රාගාදික්ලේශ කිඤ්චන නම්. අකිඤ්චනං යනු ද තං යනු බලා සිටියේ ය.

තං = ඒ පුද්ගලයා

ඒ පුද්ගලයා යි කීයේ නාමරූප දෙක්හි නො ඇලෙන රාගාදි කිඤ්ඤන නැතියේ ය.

න අනුපතන්ති දුක්ඛා = කායික චෛතසික දුඃඛයෝ අනුව නො පවත්නාහු ය. අනුපතිත නො වන්නා හ. කඩා නො වැටෙන්නා හ. [7]

ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහු ය. රෝහිණී ද සෝවන් පලයෙහි පිහිටියා ය. එකෙණෙහිම ඇ‍යගේ සිරුර රන්වන් වී ය. කලක් ගෙවා මිය ගිය ඕ තොමෝ දෙව්පුත් සිවු දෙනකුන්ගේ විමන් සීමා තුළ උපන්නී දුටුවන් සිත් ගන්නා රූපයෙන් අග තැන් පත් වූවා ය. ඒ දෙව් පුත් සිවු දෙන ඇය දැක උපන් සෙනහ ඇත්තාහු “මෝ මාගේ විමන් සීමාව තුළ උපන, මෝ මාගේ විමන් සීමාව තුළ උපනැ”යි විවාද කරන්නාහු සක්දෙව් රජු වෙත ගොස් “දේවයන් වහන්ස! මෑ නිසා අප අතර කලහයෙක් උපන, මෙහි යුක්තිය විචාරා කලහය සන්සිඳවාලසු මැනැවැ”යි දන්වා සිටිය හ. සක්දෙව් රජ තෙමේ ද ඇය දෙස බලා උපන් සෙනහ ඇතිව මැය දුටු වේලේ පටන් මැය ගැණ තොපට කෙසේ අදහස් උපන්නේ දැ”යි ඇසී ය. “මැය දුටු වේලේ මට උපන් සිත යුදබෙරක් මෙන් සන්සිඳවා ගන්නට නො හැකි වී ය”යි එකෙක් කී ය. දෙවැන්නා “මෑ දුටු තැන් පටන් මාගේ සිත කන්දෙකින් ගලා බස්නා ගඟදියක් සේ වහ වහා පවතින්නෙක් වී ය”යි කී ය. “මෑ දුටු වේලේ පටන් මාගේ ඇස් කකුළුවකුගේ ඇස් සේ පිටතට නෙරා සිටියේ ය”යි තෙවැන්නා දැන් වී ය. සිවු වැන්නා “මාගේ සිත සෑයක් සමීපයෙහි එස වූ ධ්වජයක් සේ නිසල ව සිටින්නට නො හැකි වී ය”යි කියා සිටියේ ය. සක්දෙවිඳු ඒ දෙව්පුතුන්ගේ මේ කතාව අසා “දරුවෙනි! තොපගේ සිත් තොපට තව ම මැඩ ගත හැකි සැහැ වි ඇතියේ ය, මම නම් මෑ ලැබුයෙම් ම ජීවත් වෙමි, නො ලැබුයෙම් මාගේ මරණය වන්නේ ය”යි ඔවුනට කී ය. එකල්හි ඔවුහු “මහරජ! ඔබවහන්සේගේ මරණයෙන් වැඩෙක් නැතැ”යි ඒ දෙව්දුව සක්දෙවිඳුට පාවා දී ගිය හ. ඕ තොමෝ සක්දෙවිඳුට ප්‍රිය වූ ය. මන වඩන්නී වූ ය. “මම අසවල් කෙළියට යමි”යි ඇය කී කල්හි ඇයගේ වචනය ප්‍රතික්‍ෂෙප කිරීමට සක්දෙව්රජ තෙමේ අපොහොසත්ව සිටියේය.

රෝහිණී වස්තුව නිමි.

  1. 1-3 ‘චෙරං තෙසං න සම්මනි’ / ‘න හි වෙරෙන’ යනු බලනු.

  2. 1-3 ‘චෙරං තෙසං න සම්මනි’ /‘න හි වෙරෙන’ - යනු බලනු.

  3. 1-7 ‘අනික්කසාවො’ යනු බලනු.

  4. 2-8 ‘සංයොජනං’ යනු බලනු.

  5. 1-1 ‘මනොපුබ්බඞගමාධම්මා’ යනු බලනු.

  6. 15-2 ‘කිඤ්චනං’ යනු බලනු.

  7. 14-6 ‘දුක්ඛං’ යනු බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.