සාහු දස්සනමරියානං සන්නිවාසො සදා සුඛො
අදස්සනෙන බාලානං නිච්චමෙව සුඛී සියා.
බුද්ධාදි ආර්‍ය්‍යයන් (මසැසින් ද නුවණැසින් ද) දැක්ම යහපති. (හුදෙක් දැක්ම පමණක් නොව) ඔවුන් හා එක් තැන විසීම ද (ඔවුන් වැඳ පුදා ගැන්ම ද වතාවත් කැරුම ද) හැම කල්හිම සුව ය. (දෙලෝ වැඩ නොදන්නා) අනුවණයන් නොදැක්මෙන් සතතයෙන් ම සත්ත්‍ව තෙම සුඛිත වන්නේ ය.
බාලසඞ්ගතචාරීහි දීඝමද්ධාන සොචති
දුක්ඛො බාලෙහි සංවාසො අමිත්තෙනෙව සබ්බදා
ධීරො ච සුඛසංවාසො ඤාතීනං’ව සමාගමො.
එසේ ම ය. බාලයන් හා එක් ව හැවිදිනා සුලු වූයේ දික් කලක් ශෝක කෙරෙයි. (බාලයන් හා යහළු වූයේ නොකටයුත්තෙහි යෙදුනේ වරද කොට මෙ ලොවැ දඬුවමට ද පර ලොව නිරා දුක් ආදියට ද පැමිණ) බොහෝ කලක් සොස්නේ ය. බාලයන් හා එක් වැ විසීම කඩු ගත් අත් ඇති පසමිතුරෙකු හා සමග වාසයක් මෙන් හැම කල්හි ම දුක්ය. නුවණැත්තේ වනාහි ප්‍රිය නෑයන්ගේ සමාගමයක් මෙන් සුව වූ සහවාසය ඇත්තේ ය.
තස්මාහි,
ධීරඤ්ච පඤ්ඤඤ්ච බහුස්සුතඤ්ච
ධොරය්හසීලං වතවන්තමරියං
තං තාදිසං සප්පුරිසං සුමෙධං
භජෙථ නක්ඛත්තපථ’ව චන්‍දිමා.
එහෙයින්, ධෘතිසම්පන්නයා ද, ලොවී ලොවුතුරා ප්‍රඥායෙන් යුක්ත නුවණැත්තා ද, ආගමාධිගමසම්පන්න බහුශ්‍රැතයා ද, (රහත්පලයට පමුණුවන ප්‍රතිපත්තිධුරය උසුලන බැවින්) ධුරවහන ශීලයා ද (ශීලව්‍රත ධුතාංගව්‍රත වලින් යුත්) ව්‍රතසම්පන්නයා ද, කෙලෙසුන් කෙරෙන් දුරු වූ ආර්‍ය්‍යයා ද යන සුන්‍දර ප්‍රඥා ඇති එබඳු වූ ඒ සත්පුරුෂයා නිර්‍මල ආකාශපථය සෙවුනා සඳුහු මෙන් සෙවුනේ ය.
ආයුසංස්කාරය හැර සිටි තථාගතයන් වහන්සේට ලෝහිත පක්ඛන්දිකා නම් වූ රක්තාතීසාර රෝගය හට ගත්තේ ය. සක් දෙවිඳු එබව දැන “මා බුදුරජානන් වහන්සේ වෙත ගොස් උන්වහන්සේ ට ගිලන් උවැටන් කළ යුතුය” යි සිතා තුන් ගවු පමණ වූ අත්බව හැරපියා බුදුරජුන් වෙත එළැඹැ සියතින් උන්වහන්සේගේ සිරිපා පිරිමදින්නට වන. එකල්හි බුදුරජානන් වහන්සේ “මාගේ පා පිරිමදින්නේ කවරෙක් දැ?” යි අසා වදාළ සේක. “ස්වාමීනි! මම සක්දෙවිඳු” යි පිළිතුරු දුන්නේ ය. “ආයේ කිමැ?” යි විචාළ විට “ගිලන් වූ බුදුරජානන් වහන්සේට උවැටන් කිරීමටැ” යි කීය. “දෙව්රජතුමනි! දෙවියන්ට මිනිසුන්ගේ ගඳ යොදුන් සියයක පටන් ගෙල බැඳි කුණපයක් සේ දැනෙන්නේ ය, එහෙයින් ඔබ යන්න, මට උවැටනට භික්ෂූහු වෙති” යි වදාළ කල්හි “ස්වාමීනි! මම මෙතැනින් යොදුන් අසූසාරදහසකින් ඈත සිටියෙම් බුදුරජානන් වහන්සේගේ සිල්සුවඳ අසා ආයෙම් මම ම උවැටන් කරමි” යි බුදුරජුන් මලමූ වදාරණ බඳුන අනෙකක්හට අත තබන්නට ද නො දී සිත් ගත් සුවඳ පිරූ බඳුනක් හිස තබා ගත්තා සේ හිස තබා ගෙණ බැහැර ලන්නේ මුව හැකිලීම් පමණකුත් නො කෙළේ ය.
මෙසේ සක්දෙවිඳු බුදුරජුන්ට උවැටන් කරණුයේ රෝගය සන්සිඳී ගිය පසු පෙරළා දෙව්ලොවට ගියේ ය. “අහෝ! පුදුමයි සක්දෙවිඳු බුදුරජුන් කෙරෙහි දැක් වූ ලෙන්ගතුකම, ඔහු මහත් දිවසැපත් හැරදමා මූණ හැකිලීම් පමණකුත් නො කොට සුවඳ බඳුනක් ගෙන යන්නකු සේ බුදුරජුන් මලමූ පහ කළ බඳුන හිස උඩ තබා ගෙණ බැහැරලමින් උවැටන් කෙරේය” යි භික්‍ෂූන් වහන්සේලා කතා කරන්නට වූහ. එකල්හි බුදුරජානන් වහන්සේ එය අසා “මහණෙනි! සක්දෙවිඳු මා කෙරෙහි යම් ලෙන්ගතු කමක් දක්වා ද, එය පුදුම විය යුත්තෙක් නො වේ, මේ සක්දෙවි මා නිසා මහලුබව හැරපියා සෝතාපන්න ව සසරදුක් ද කෙළවර කොට තරුණබවට පැමිණ දිගා ඇත්තෙක් වී ය, මහණෙනි! මරණ බියෙන් බිය පත් ව වෙව්ල වෙව්ලා පඤචසිඛ නම් ගාන්‍ධර්‍ව පුත්‍රයා පෙරටු කොට බොහෝ දෙවියන් පිරිවරා ගෙණ ඉන්‍ද්‍රශාලා ගුහාවට පැමිණිවිට මොහුට මම දෙව්පිරිස් මැද,
“සක්දෙව්! තා සිතින් - පැණක් යම්කිසි මාගෙන්
පුළුවුස්නට කැමැත්තෙහි - පුළුවුස එයට කල් දැන්.
.
ඒ ඒ හැම පැණක් - නො තබා කිසිත් අඩුවක්,
යතරුත ලෙසින් මම තට - විසඳමි කරමි කෙළවර”
යි මෙසේ කියා ඔහුගේ දුක් දුරු කරමින් දහම් දෙසීමි, දම් දෙසුම් අවසන්හි තුදුස් කෙළක් සත්ත්‍වයන්ට ධර්‍මාවබෝධ වී ය, සක්දෙව් ද හුන් පරිදිම හුන්නේ සෝවන්පලයට පැමිණීයේ තරුණ ද වී ය, මෙසේ මම ඔහුට බොහෝ උපකාර ඇත්තෙම් වීමි, එහෙයින් මා කෙරෙහි මොහු දක්වන ලෙන්ගතුකම පුදුම වීමට කරුණක් නො වේ, මහණෙනි! බුද්ධාදි ආර්‍ය්‍යයන්ගේ දැකීම් පමණකුත් සැපයට කරුණු ය, ඔවුන් හා එක් තැන්හි විසීම ද සැප ය, කිසිත් දහමක් නො දත් පින් පව් නො හඳුනන අසත්පුරුෂයන් හා එක්ව විසීම දුක්ය” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
සාහු දස්සනමරියානං සන්නිවාසො සදා සුඛො
අදස්සනෙන බාලානං නිච්චමෙව සුඛී සියා.
.
බාලසඞ්ගතචාරීහි දීඝමද්ධාන සොචති
දුක්ඛො බාලෙහි සංවාසො අමිත්තෙනෙව සබ්බදා
ධීරො ච සුඛසංවාසො ඤාතීනංව සමාගමො.
.
තස්මාහි, ධීරඤ්ච පඤ්ඤඤ්ච බහුස්සුතඤ්ච
ධොරය්හසීලං වතවන්තමරියං
තං තාදිසං සප්පුරිසං සුමෙධං
භජෙථ නක්ඛත්තපථව චන්‍දිමාති.
ආර්‍ය්‍යයන්ගේ දැක්ම මැනැවි. ඔවුන් හා එක්ව විසීම හැම කල්හි සැප ය. අඥානයන්ගේ නො දැක්ම හේතුකොට සත්තයෙන් ම සුව ඇත්තේ වන්නේ ය.
ඒ එසේ ම ය. බාලයන් හා එක්ව හැසිරෙණසුලු වූයේ දීර්‍ඝ කාලයක් ශෝක කරයි. බාලයන් හා එක්ව විසීම සතුරකු හා එක්ව විසීම මෙන් හැම කල්හි දුක් වේ. නුවණැත්තේ වනාහි, නෑයන්ගේ එක්වීමක් මෙන් සැප වූ සහවාසය ඇත්තේ ය.
එහෙයින් ධෘතිසම්පන්න වූ ද ප්‍රඥාවත් වූ ද බහුශ්‍රැත වූ ද ප්‍රතිපත්තිධුරය උසුලන සුලු වූ ද ව්‍රත ඇත්තා වූ ද ශ්‍රේෂඨ වූ ද සුන්දරප්‍රඥා ඇති එබඳු වූ ඒ සත්පුරුෂයා අහස සෙවුනා වූ චන්‍ද්‍රයා මෙන් සේවනය කරන්නේ ය.
සාහු දස්සනං අරියානං = ආර්‍ය්‍යයන්ගේ දැක්ම මනා ය. යහපත් ය.
සාධු යන මෙහි ධ කාරයට හ කාරයවීමෙන් සාහු යනු සිද්ධ ය. නාම-නිපාත විසින් දෙ පරිදි ය. නාම විසින් ගැණෙනුයේ වාච්‍යලිඞ්ගික ය. සුන්දර - දළහීකර්‍ම - යාචන - සම්පටිච්ඡන - සජ්ජන - සංපහංසා යන අරුත්හි එයි. නිපාත විසින් ගැණෙනුයේ පිළිගැන්මෙහි ය. එය සාධු-සාහු යි දෙපරිදි ව භාෂායෙහි යෙදී සිටියේ ය. මෙහි යෙදුනේ ලිඞ්ග විසින් නපුංසක වූ විභක්ති විසින් ප්‍රථමා වූ වචන විසින් එකවචන වූ සාධු රූපය යි. ආර්‍ය්‍යයන්ගේ දැක්ම මනා ය, යහපත් ය, සුන්දරය යි කියනුයේ එහෙයිනි.
දැක්ම දස්සන නම්. “තම්පනෙතං චක්ඛුදස්සනං ඤාණදස්සන්ති දූවිධං” යි කියූ බැවින් ඒ වනාහි චක්ඛුදස්සන - ඥාණදස්සන යි දෙ පරිදි ය. පහන් වූ ඇසින් ආර්‍ය්‍යයන්ගේ දැක්ම චක්ඛුදස්සන නම. මගපල ලබා සිටි පුද්ගලයාගේ ආර්‍ය්‍යභාවය සිද්ධ කරණ ධර්‍මයන් දැක්ම, විදර්‍ශනා මාර්‍ගඵලයන් කරණ කොට ආර්‍ය්‍යභාවයාගේ ලැබීම, ආර්‍ය්‍යභාවයට පැමිණි පුද්ගලයන් පිළිබඳ ආර්‍ය්‍යභාවය දැක්ම ඤාණදස්සන නමැ යි දතයුතු ය. මෙය ආර්‍ය්‍යයන් පිළිබඳ ය. “යෙ තෙ භික්ඛවෙ, භික්ඛූ සීලසම්පන්නා සමාධිසම්පන්නා පඤ්ඤාසම්පන්නා විමුත්තිසම්පන්නා විමුත්තිඤාණදස්සනසම්පන්නා දස්සනම්පහං භික්ඛවෙ, තෙසං භික්ඛූනං බහුකාරං වදාමි. තං කිස්ස හෙතු? තථාරූපානං භික්ඛවෙ, භික්ඛූනං දස්සනතො අපරිපූරො සීලක්ඛන්‍ධො භාවනා පාරිපූරිං ගචඡති. අපරිපූරොපි සමාධික්ඛන්‍ධො -පෙ- අපරිපූරොපි පඤ්ඤාඛන්‍ධො -පෙ- අපරිපූරොපි විමුත්තික්ඛන්‍ධො -පෙ- අපරිපූරොපි විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධො භාවනා පාරිපුරිං ගච්ඡති” යි වදාළ මේ දේශනායෙන් ආර්‍ය්‍යයන්ගේ දැක්මෙහි අනුසස් මැනවින් පැහැදිලි වන්නේ ය. ශීල - සමාධි - ප්‍රඥා - විමුක්ති - විමුක්තිඥාන දර්‍ශනයන්ගෙන් පිරිපුන් භික්‍ෂූන් දැකීමෙන්, දක්නහුගේ පිරිපුන් නො වූ ශීලසමාධ්‍යාදිගුණයෝ වැඩීමෙන් පිරිපුන් බවට යන්නාහ, යනු මෙහි ඉතා කෙටි අරුත ය. කොටින් කිය යුත්තේ ශීලසමාධ්‍යාදී ගුණයන්ගෙන් හෙබි භික්‍ෂූන්ගේ දර්‍ශන මාත්‍රය ම දක්නහුට සසර දුක් ගෙවා නිවන් ලැබීමට කරුණු වන බව ය.
ලෞකික විසින් පිය ඇසින් දැකීම බැලීම මුල් කොට සිටි පිණෙන් නොයෙක් සිය දහස් ගණන් ජාතීන්හි ඇසෙහි රෝගයෙක් හෝ දෝෂයෙක් හෝ වණයෙක් හෝ පිළිකාවක් හෝ නො හටගන්නේ ය. දෙ ඇස වෙසෙසින් පහන් වූයේ පස්වණක් පැහැයෙන් පැහැපත් වූයේ රුවන්විමනෙක විවෘත කොට තැබූ මිණිකවුළු වැනි වන්නේ ය. එසේ ම කප් සිය දහසක් පමණ දෙව් මිනිස් සැප විඳින්නේ ය. මේ මෙසේ දැක් වූහ: “එවං දස්සනමූලකෙනාපි හි පුඤ්ඤෙන අනෙකජාතිසහස්සානි චක්ඛුම්හි රොගො වා දොසො වා උස්සදා වා පිළිකා වා න හොන්ති. විප්පසනතානි පංචවණ්ණසස්සිරීකානි හොන්ති චක්ඛුනි රතනවිමානෙ උග්ඝාටිතමණිකවාටසදිසානි, සතසහස්සකප්පමත්තං දෙවෙසු ච මනුස්සෙසු ච සබ්බසම්පතතීනං ලාභි හොති” යි. ආර්‍ය්‍යදර්‍ශනයෙහි ඵලලාභය මෙසේ බැවින් ආර්‍ය්‍යයන්ගේ දැක්ම මනාය යි වදාළ සේක. [1]
සනතිවාසො සදා සුඛො = එක් ව විසිම හැම කල්හි සැප වේ.
දර්‍ශනමාත්‍රයට ද වඩා මහත් ඵලයක් ආර්‍ය්‍යයන් හා එක්ව විසීමෙන් ලැබෙන බැවින් හැම කල්හි ආර්‍ය්‍යයන් හා එක්ව විසීම සැපය යි වදාළ සේක. දර්‍ශනමාත්‍රයෙන් ශීලසමාධ්‍යාදියෙන් වැඩෙන්නේ නම් නිතර එක්ව විසීමෙන් එකී ගුණයන්ගෙන් වැඩෙන්නේ ය යනු කියයුතු නො වේ. එයට වඩා හැම අතකින් වැඩෙන්නේ ය. එ ලොව මෙ ලොව දෙක්හි නිතර සුව එළවන්නේය. දර්‍ශනයෙහිලා කියූ කතා මෙහි ද ගත යුත්තී ය. මෙසේ ම ආර්‍ය්‍යයන්ගේ සේවන භජන පයිරුපාසනයෝ ද සත්ත්‍වයනට හිත සුව එලවන්නෝ ය.
අදස්සනෙන බාලානං නිච්චං එව සුඛී සියා = ආඥානයන් ගේ නො දැක්ම හේතුකොට සත්්්තයෙන් ම සුව ඇත්තේ වන්නේ ය.
මෙතැන අඥානයන්ගේ අදර්‍ශනය පමණක් වදාළ නමුදු ඔවුන්ගේ අසේවන අභජන අපයිරුපාසන ද ගන්නේ ය. [2]
දෙලෝ වැඩ නො දත් දවරැ දෙක්හි පව්කම්හි යෙදී ගත්තා වූ පන්සිල් පමණකුත් නැති හළ වැර ඇති මිනිසුන්ගේ නො දැක්ම නො සෙවුම හේතු කොට මිනිස් තෙමේ සියලු කල්හි සුව ඇත්තේ වන්නේ ය. ආර්‍ය්‍යයන්ගේ දර්‍ශනය, ආර්‍ය්‍යයන් හා එක්ව විසීම, අඥානයගේ අදර්‍ශනය යන මෙතුන ලෞකික - ලෝකෝතර සුඛ ලාභයට මහත් ප්‍රතිෂ්ඨා යි මෙයින් වදාළ සේක. හලිද්දිරාග - මහිලාමුඛ - ගිරිදත්ත - සුතසෝම - අකිත්තිපතිපණ්ඩිත ජාතක හා සමුද්දවාණිජවත්‍ථු - දේවදත්තවත්‍ථු - විබ්භන්තකභික්ඛුවත්‍ථු ආදිය බැලිය යුතු ය.
බාලසඞ්ගතචාරීහි දීඝං අද්ධානං සොචති = බාලයන් හා එක්ව හැසිරෙණසුලු පුද්ගල තෙමේ දීර්‍ඝ කාලයක් ශෝක කරන්නේ ය.
පව්කම් කරණ ආඥානයා හා සමග එක්ව හැසිරෙන උන්ගේ බස් පිළිගෙණ වැඩ කරණ තැනැත්තේ “එව, අප හා එක් ව සතුන් මරමු, හොරකම් කරමු, මත්පැන් බොමු, දූ කෙළිමු, ගම් ගෙවල් පැහැර ගණිමු, හොඳට කන බොන අඳිනවුන්ට පහර දෙමු, පරඹුවන් ගණිමු, උගතුන්ට ගරහමු, ගුණවතුන්ට නිගාකරමු, එසේ කළ කල්හි අපට තැනක් ලැබෙන්නේ ය, අපට ගෙවලට වී හොඳින් කා බී ජීවත් විය හැකිය” යි කියනු ලබන්නේ උන් හා එක් සිත්ව නන්වැදෑරුම් පව්කම් කරණුයේ මෙලොව ම අත් සිඳීම් හිරගෙවල වැටීම් ගෙල වැල ලෑම් ආදියට පැමිණ දරුණු දුක් විඳිනුයේ මරණින් මතු අපාදුකට ද වැටී අතිදීර්‍ඝකාලයක් දුකින් කල් ගෙවනුයේ ශෝක කරන්නේ ය. “යො බාලසහායො යෙන ‘එහි සන්ධිච්ඡේදා දීනි කරොමා’ති වුච්චමානො තෙන සද්ධිං එකච්ඡන්දො හුත්‍වා තානි කරොන්තා හත්‍ථච්ඡෙදාදීනි පත්‍වා දීඝමද්ධානං සොචති” යනු අටුවා.
දුක්ඛො බාලෙහි සංවාසො අමිත්තෙන ඉව සබ්බදා = බාලයන් හා එක්ව විසීම සතුරකු හා එක් ව විසීම මෙන් සියලු කල්හි දුක් වේ.
කඩු ගත් අත් ඇති සතුරකු සමග විසීම මෙන් ද ඝෝර වූ දරුණු විෂ ඇති සර්‍පයන් සමග විසීම මෙන් ද දවරෑ සියලු කල්හි පව්කම් කරණ අඥානයන් හා එක්ව විසීම දුක් වන්නේ ය. “යථා අසිහත්‍ථෙන වා අමිත්තෙන ආසිවිසාදීහි වා සද්ධිං එකතො වාසො නාම නිච්චදුක්ඛො, තථෙව බාලෙහි සද්ධින්ති” යනු අටුවා.
ධීරො ච සුඛසංවාසො ඤාතීනං ඉව සමාගමො = නුවණැත්තේ වනාහි නෑයන්ගේ එක්වීමක් මෙන් සැප වූ සහවාස ඇත්තේ ය.
යුතු අයුතුකම්හි පින්පව්හි වරදනිවරදෙහි ඈ සැම තැන්හි මනාදැනුම් ඇති නුවණැත්තන් හා එක් තැන්හි විසීම ප්‍රියඥාතීන් හා එක් ව විසීම මෙන් සැප වන්නේ ය. නුවණැත්තන් හා එක්ව විසීම සැප ය. “යථාපි ඤාතීනං සමාගමො සුඛො, එවං පණ්ඩිතෙන වාසො සුඛො” යනු අටුවා.
තස්මා හි = එහෙයින්.
බාලයන් හා එක්ව විසීම දුක් එළවන බැවින් හා නුවණැතියන් හා එක්ව විසීම සුව එළවන බැවින් හා. “යස්මා බාලෙන සද්ධිං සංවාසො දුක්ඛො, පණ්ඩිතෙන සද්ධිං සුඛො තස්මා” යනු අටුවා.
ධීරං ච = අධීතධර්‍මශාස්ත්‍රඥාන ඇත්තා වූ ද. [3]
පඤ්ඤං ච = ලෞකික-ලෝකෝත්තර ප්‍රඥා ඇත්තා වූ ද. [4]
බහුස්සුතං ච = බහුශ්‍රැත වූ ද. බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තාවූ ද.
බහුස්සුත නම්: බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ ය. “බහුං සුතං අස්සාති බහුස්සුතො” යි එය විදැහී ය. මෙතෙමේ පළමු කොට අනගාරියබහුස්සුත, අගාරියබහුස්සුත යි දෙපරිදි වේ. එහි අනගාරියබහුස්සුත, මුල මැද අග යහපත් වූ සිවු සීවටන් ඈ ඉතා ගැඹුරු දහම් පිළිබඳ අරුත් කියා ලන්නා වූ දශවිධ ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත වූ සියල්ලෙන් පිරිපුන් කො තැනකත් අඩුබවක් නැති මුළුමනින් පිරිසිදු වූ බඹසර පවසන්නා වූ නවාඞ්ග ශාස්තෘ ශාසනය, පාලි අනුසන්‍ධි පූර්‍වාපර විසින් ඇසූයේ ය. උගත්තේ ය. ඒ අසන ලද්ද උගන්නා ලද්ද දරා සිටියේ ය. අසන ලද්ද උගන්නා ලද්ද දස-විසි අවුරුද්දක් නො හදාළ නමුදු ගලෙහි කෙටූ ඉරක් සේ රන් බඳුනෙක ලූ සිංහ තෙලක් සේ හෘදයමඤ්ජුසායෙහි රැස් කොට තැබූයේ ය. ඒ මේ ශාස්තෘශාසනය, සූත්‍රදශක - වර්‍ගදශක - පණ්ණාසදශක විසින් වචනයෙන් පුරුදු කොට සිටියේ ය. සිතින් විමසා සිටියේ ය. අරුත් විසින් කරුණු විසින් මනා කොට දැන සිටියේ ය. නවාඞ්ග ශාස්තෘශාසනය, සුත නම් වූයේ සසර දුකින් මිදෙනු කැමැත්තන් විසින් ඇසිය යුතු බැවිනි.
පරියත්තිබහුස්සුත - පටිවේධබහුස්සුතැ යි බෙදෙන තන්හි පරියත්තිබහුස්සුතැ යි පෙණි සිටියේ මේ අනගාරියබහුස්සුත තෙමේ ය. “අනගාරියොව තිසු පිටකෙසු අත්‍ථතො නිච්චලො පරියත්තිබහුස්සුතො” යනු අටුවා.
පරියත්තිබහුස්සුත තෙමේ වනාහි, නිස්සයමුච්චනක - පරිසූපට්ඨාපක - භික්ඛුනොවාදක - සබ්බත්‍ථකබහුස්සුතැ යි භේද විසින් සිවු වැදෑරුම් වේ.
එහි නිස්සයමුච්චනක නම්: උපසපන් වූ තැන් පටන් නිස සමාදන් ව මනා පැවැත්මෙන් ගුරුන් සිත් ගෙණ සිට එයින් මුක්ත ව ආචාර්‍යයෝපාධ්‍යයන්ගෙන් වෙන් ව විසීමෙහි සමර්‍ත්‍ථ වුයේ ය. නවක භික්‍ෂූන් වහන්සේ උපසමපත්තියෙහි පටන් පස් වසක් ගෙවී යනතුරු ගුරුන් ඇසුරෙහි විසිය යුතු ය. ඒ කාලයෙහි ඔහු විසින් යටත් පිරිසෙයින් උභය මාතෘකාවන් වාචෝද්ගත කොට සතර බණවර උගත යුතු ය. වෙත පැමිණියවුනට දම් දෙසනු පිණිස අන්‍ධකවින්‍ධ - මහා රාහුලෝවාද - අම්බට්ඨ සූත්‍රාදිය වැනි වූ එක් කථාමාර්‍ගයෙක් ද සඟබත්හි හා මඟුල් අවමඟුල්හි අනුමෝදනා පිණිස ත්‍රිවිධ අනුමෝදනා ද පොහෝ පවුරුණු දැනීම පිණිස පරිවාරයෙහි එන කර්‍මාකර්‍මවිනිශ්චය ද මහණදම් කරණු පිණිස ශමථ විසින් හෝ විදර්‍ශනා විසින් හෝ රහත්මග දක්වා එක් කර්‍මස්ථානයෙක් දැ යි මෙතෙක් බණදහම් උගත යුතුය. මෙතෙකින් මෙතෙමේ නිස්සයමුච්චනකබහුසුතැ යි කියනු ලැබේ.
පරිසූපට්ඨාපක නම්: සිය පිරිස් ලවා උවැටන් කරවා ගන්නේ ය. පරිසූපට්ඨාපක බහුස්සුතයකු වීම පිණිස මහණහු උපසම්පත්තියෙන් දස වස් පිරී සිටියකු විය යුතුය. සිය පිරිස් විනයයෙහිලා හික්ම වන්නට ඔහු විසින් උභය විභඞ්ගය වාචෝද්ගත කොට කර්‍මාකර්‍මවිනිශ්චය හා කඳුවත් ද උගත යුත්තේ ය. ඔහු මජ්ඣිමභාණක නම් මුලපණ්ණාසකය, දීඝභාණක නම් මහාවර්‍ගය, සංයුත්තභාණක නම් සගාථක - නිදාන - ඛන්‍ධක වර්‍ග හෝ එහි මහාවර්‍ගය, අඞ්ගුත්තරභාණක නම් අඞ්ගුත්තරයෙහි අඩක් හෝ එකක - දුකනිපාත දෙක, ජාතකහාණක නම් අර්‍ත්‍ථකථාසහිත ජාතකපාලිය උගත යුතු ය. යමක්හු විසින් අර්‍ත්‍ථකථා සහිත වූ විනයපිටකය හා අභිධර්‍මපිටකය ප්‍රගුණ කරණ ලදුයේ ද සූත්‍ර පිටකයෙහි කියූ කොටස් ප්‍රගුණ නො කරණ ලද්දේ නම්, ඔහු පරිසූපට්ඨාපකයකු වීමට නො සුදුසු ය. සුත්‍රපිටක - විනයපිටක දෙකින් උගත යුතුය යි මෙහි දැක් වු දහම් කොටස් උගෙණ සිටියේ ම පරිසූපට්ඨාපකබහුස්සුත නම් වේ.
භික්ඛූනොවාදක නම්: උපසම්පත්තියෙන් විසිවයස් ඉක්මවා සිටි අටුවා සහිත තුන් පිටකය උගත්තේ ය. භික්ඛුනොවාදකයකු වීමට යටත් පිරිසෙයින් අටුවා සහිත එක් නිකායයක් හෝ උගත යුතු ය. එක් නිකායයක් පමණකුත් මැනැවින් උගත් කල්හි ඉතිරි නිකායයන්හි ද එන ප්‍රශ්න විසදාලීමෙහි පොහොසත් වන්නේ ය. අභිධර්‍මපිටකයෙහි සප්තප්‍රකරණ අතුරෙහි ප්‍රකරණ සතරක් අර්‍ත්‍ථකථා සහිත ව උගත්තේ ඒ නයයෙහි පිහිටි සෙසු ප්‍රකරණයන්හි එන ප්‍රශ්න ද විසඳන්නට සමර්‍ත්‍ථ වන්නේ ය. විනයපිටකය නොයෙක් අරුත් ඇත්තේ නොයෙක් කරුණු ඇත්තේ ය. එහෙයින් මොහු විනයපිටකය අර්‍ත්‍ථකථා සහිතව ප්‍රගුණ කළ යුතුය. මෙපමණකින් මෙතෙමේ භික්ඛුනොවාදකබහුස්සුත වේ.
සබ්බතථකබහුස්සුත නම්: ආනන්ද ස්ථවිරයන් වහන්සේ වැනි ත්‍රිපිටකධර තෙමේ ය. ආනන්ද ස්ථවිරයන් වහන්සේ වනාහි, තමන් වහන්සේගේ හැම ධර්‍මයෙක පැතිර ගත් සර්‍වසම්පූර්‍ණ වූ බහුශ්‍රැතභාවය කරණ කොට මේ ශාසනයෙහි බහුශ්‍රැත භික්‍ෂූන් වහන්සේ අතුරෙහි අග්‍රස්ථානය ලැබූ සේක. භාග්‍යවතුන් වහන්සේ දවසෙක භික්‍ෂූන් අමතා “මහණෙනි! ආනන්ද තෙමේ බහුශ්‍රැත ය, පණ්ඩිත ය, ව්‍යක්ත ය, විශාරද ය, ස්ථානෝචිත ප්‍රඥා ඇතියේ ය, ස්කන්‍ධ ධාතු ආයතනාදියෙහි දක්‍ෂ ය, තථාගතයන් දැක්ම පිණිස මහණුන්ට මෙහෙණන්ට උවසුවන්ට උවැසියන්ට රජුන්ට ඇමැතියන්ට බමුණන්ට ගැහැවියන්ට තොටුවන්ට තොටුසව්වන්ට එළැඹීමට මේ කලැ යි දන්නේ ය” යන ඈ ලෙසින් ස්තුතිමුඛයෙන් දක්වා වදාළ සේක. මේ ශාසනයෙහි බහුශ්‍රැත භික්‍ෂුහු වූවාහු නමුත් ඒ කිසි කෙනෙක් ආනන්ද ස්ථවිරයන් වහන්සේට බහුශ්‍රැත භාවයෙන් ලං නො වූහ. ශාරීපුත්‍ර මහාස්ථවිරයන් වහන්සේ “ආනන්ද ස්ථවිර තෙමේ නවාඞ්ගශාස්තෘශාසනය දරන්නේ ය, ඇසූ පරිදි අන්හට කියන්නේ ය, කියවන්නේ ය, හදාරන්නේ ය, විතකන්නේ ය, ත්‍රිපිටකධරභික්‍ෂූන් වෙත නිතර එළැඹැ විචාරන්නේ ය, අර්‍ත්‍ථයෙහි පාළියෙහි නිරුක්තියෙහි ව්‍යඤ්ජනයෙහි අර්‍ත්‍ථපූර්‍වාපරයෙහි ධර්‍මපූර්‍වාපරයෙහි පදපූර්‍වාපරයෙහි අක්‍ෂර පූර්‍වාපරයෙහි අනුසන්‍ධි පූර්‍වාපරයෙහි දක්‍ෂ ය, විචක්‍ෂණ ය” යි ආනන්ද ස්ථවිරයන් වහන්සේ ගේ බහුශ්‍රැතභාවය කියා පෑහ. මෙසේ ආනන්ද ස්ථවිරයන් වහන්සේන්ගේ බහුශ්‍රැතභාවය වැනි බහුශ්‍රැත භාවය ඇත්තේ සබ්බත්‍ථකබහුස්සුතැ යි දත යුතු ය.
පටිවෙධබහුස්සුත නම්: චතුසත්‍යාවබෝධය කොට සිටියේ ය. හේ චතුර්විධ මාර්‍ගඥානප්‍රතිලාභ විසින් සිවු වැදෑරුම් ය. චතුර්විධමාර්‍ගඥානය හා මාර්‍ගඥාන විසින් සත්‍යවබෝධය ලබන සැටි පෙර කියන ලද්දේ ය. ඒ එනයින් දත යුතුය. මෙතෙමේ මාර්‍ගඵලවිද්‍යාඅභිඥාවන්ගේ ප්‍රතිවේධ විසින් ද ව්‍යවස්ථා කරණ ලද්දේ ය. “සො මග්ගඵලවිජජා භිඤ්ඤාණානං පටිවේධත්තා ච පටිවේධබහුස්සුතොති වවත්‍ථිතො” යනු ටීකා ය.
මෙහි මෙතෙක් ඉතා සැකෙවින් කියූ නිස්සයමුච්චනකාදී වූ බහුශ්‍රැතයෝ අනගාරිය පක්‍ෂයෙහි වැටෙති. එහිදු ප්‍රධාන වනුයේ අර්‍හන්මාර්‍ගඥානයෙන් චතුස්සත්‍යාවබෝධය කොට කෘතකෘත්‍ය ව සිටි මහාක්‍ෂීණාශ්‍රව තෙමේ ය. මේ ගාථායෙහි දක්වන ලද්දේ ද මෙතෙමේ ය.
අගාරියබහුස්සුත නම්: නිරවද්‍ය ධර්‍මශාසත්‍ර උගත්තේ ය. එහි කෙළ පැමිණියේ ය. සේනකපණ්ඩිතාදීන් වැන්නේ ය. චතුසත්‍යවබෝධයට හිත වූ ධර්‍ම ශාස්ත්‍ර දතුයේ ය. සත්‍යාවබෝධයට කරුණු නො වූ එයට ප්‍රතිපක්‍ෂ ව සිටි ධමර්‍ශාස්ත්‍රයන්ගේ බහුශ්‍රැතභාවයෙන් බහුශ්‍රැත වූවහු තමාට හා අන්හට අවැඩ පිණිසම සිටුනා බැවින් මෙහිලා බහුශ්‍රැත නො වේ. මේ මෙහි නො නගියි.
ධොරය්හසීලං = ප්‍රතිපත්තිධූරය උසුලන සුලු.
සරණ සීලසමාදානයෙන් උපාසකභාවයට පැමිණියහු විසින් එතැන් සිට, නැත, සරණ සීලයෙහි පටන් ගෝත්‍රභූඥාන ප්‍රතිලාභය තෙක් සම්පූර්‍ණ කළ යුතු වූ වැඩිය යුතු වූ පිළිපැදිය යුතු වූ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගයෙහි ලා සඞ්ගෘහිත වූ ශීල සමාධි ප්‍රඥා යි කියූ පිළිවෙත් සමුහය මෙහි ධුරැ යි වදාරණ ලද්දේ ය. ශමථ - විදර්‍ශනා විසින් ද මේ එන්නේ ය. ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ග විසින් හෝ ශීල සමාධි ප්‍රඥා විසින් හෝ ශමථ - විදර්‍ශනා විසින් හෝ ගැණෙන මේ පිළිවෙත් සමූහය නවලෝකෝත්තරධර්‍මයට අනුව වැටෙන බැවින් ධම්මානුධම්මපටිපදා යි ද, සුදුසු ව වැටෙන බැවින් සාමීචිපටිපදා යි ද, පෙරාතුව පිළිපැදිය යුතු බැවින් පුබ්බභාගපටිපදා යි ද, නො කඩ කොට මැනැවින් පිළිපැදිය යුතු බැවින් සම්මාපටිපදා යි ද, ශාසනයෙහි දක්වන ලද්දේ ය. “ධම්මානුධම්මපටිපදා නාම නවවිධස්ස ලොකුත්තරධම්මස්ස අනුධම්මභූතා පුබ්බභාගපටිපදා, සා අත්‍ථතො සීලආචාර පඤ්ඤාත්තිධුතඞ්සමාදානෙන යාව ගොත්‍රභූනො සම්මාපටිපදා ව සා යෙව අනුච්ඡවිකත්තා සාමිචීති වුච්චති” යනු අටුවා. [5]
මෙහි ධොරය්හසීල නම් වූයේ මෙ කියූ ප්‍රතිපත්තිධුරය උසුලන සැහැවි ඇත්තේ ය. එ මතු ද, මෙ තෙමේ ම ය ධම්මානුධම්මපටිපන්න. සාමීපටිපන්න. සම්මාපටිපන්න. අනුධම්මචාරී. “තං යො පටිපජ්ජති චරති පූජෙති යො ධම්මානුධම්මපටිපන්නො සාමීචිපටිපන්නො සම්මාපටිපන්නො අනුධම්මචාරීති වුච්චති” යනු අටුවා.
වතවන්තං = ව්‍රත ඇත්තා වූ.
සීලසමාදානයෙන් හා ධුතඞ්ගසමාදානයෙන් යුක්ත වූයේ ‘වතවන්තු’ නමි. එහි දෙවන විබතෙහි එක බසෙහි ‘වතවන්තං’ යි සිදධ ය. “සීලවතෙන ච ධුතඞ්ගවතෙන ච වතවන්තං” යනු අටුවා. [6]
පුරාණ ග්‍රන්‍ථකාරයෝ “පින් උපදනා උපවාසාදිය ව්‍රතැ” යි කිහ. “පුණ්‍යජනකොපවාසාදි ව්‍රතම්” යනු විසින් නියම - පුණ්‍යක - නියාම - සංයම යනාදිය එහි පර්‍ය්‍යාය නාම ලෙස ද දැක්වූහ.
තව ද “උදැසන ආහාර නො ගෙණ දිය නා එකඟ වූ සිත් ඇති ව සූර්‍ය්‍යාදි දෙවියන් යැද ව්‍රතයෙක හැසිරිය යුතුය,
ඒ ව්‍රත සමාචරණයෙහි බඹසර - පිරිසිදුකම - සත්‍යවචනය ආහාර වර්‍ජනය යන මේ සතර ඉතා උතුම් ක්‍රියා වෙති,
යමෙක් යමක් පිණිස ව්‍රත සමාචරණය කරනුයේ එය නිමා කරන්නට පෙර මිය ගියේ නම් ඔහු එහි පුණ්‍යඵලය පරලොවට පැමිණ විඳින්නේය” යි මෙහිලා ඔවුහු මෙසේ අතිදීර්‍ඝ විස්තරයක් කළහ. ඒ දන්නට කැමැත්තන් විසින් මත්ස්‍ය පුරාණ, ගරුඬපුරාණාදිය කියවා බැලිය යුතුය.
“අභුකුත්‍වාප්‍රාතරාහාරං සනාත්‍වා චෛව සමාහිතඃ,
සූර්‍ය්‍යාදිදෙවතාභ්‍යශ්ව නිවෙද්‍ය ව්‍රතමාචරෙත්.
.
බ්‍රහ්මචර්‍ය්‍යං තථා ශෞචං සත්‍යමාමිෂවර්‍ජනම්,
ව්‍රතෙෂ්වෙතානිවත්‍වාරි වරිෂ්ඨානීති නිශ්වයඃ.
.
යො යදර්‍ත්‍ථ චරෙද්ධර්‍මං න සමාප්‍ය මෘතො භවෙත්,
ස ත තපුණ්‍යඵලං ප්‍රෙත්‍ය ප්‍රාපනුයානමනුරබ්‍රවීත්”
යනු එහි ආයේ ය.
ආරියං = උතුම් වූ.
“අරියො එව = ආරියො, තං අරියං” අරිය ම ආරිය නම්. ඒ ආරිය වූ උතුම් වූ යන අරුත් ය. [7]
තං තාදිසං = ඒ එබඳු වූ.
ත යන ප්‍රකෘතිය ‘ තං’ යි දෙවන විබත් එකබස ගෙන සිටියේ ඉදිරියෙහි සිටි ‘සප්පුරිසං’ යන්න වෙසෙසන්නට ය. ඒ ‘ත’ යනු ගැණ යට කියූ කතා දන්නේ ය.
තාදිස යනු කෙනෙක් කම්-කතු දෙයරුත්හි ද කෙනෙක් කමරුත්හි ද කෙනෙක් කතු අරුත්හි ද සිද්ධ කෙරෙත්. එහෙත් කමරුතෙහි ම සිද්ධයයි ගතයුතු සේ පෙනේ. විමසා ගන්නේ ය. “සො විය සො දිස්සති, තමිව නං පස්සති” යනු කම්-කතු අරුත්ය.
සප්පුරිසං = සත්පුරුෂයා. හැම ගුණයෙන් පිරී සිටියහු. [8]
සුමෙධං = මනානුවණැති. [9]
මේ ගාථායෙහි එන ධීරං, පඤ්ඤං, බහුස්සුතං, ධොරය්හසිලං, වතවන්නං, ආරියං, තං, තාදිසං, සුමෙධං යන මේ පද සමුහය ‘සප්පුරිසං’ යනු වෙසෙසා සිටියහ. මේ හැම පදයකින් කියන ගුණ ‘සප්පුරිසං’ යන්නෙන් කියන ශ්‍රේෂ්ඨපුරුෂයා කෙරෙහි කැවී ඇත්තේ ය.
භජෙථ = සේවනය කරන්නේ ය.
නක්ඛත්තරං ඉව චන්දිමා = අහස සෙවුනු සඳ මෙන්.
අහස ‘නක්ඛත්තපථ’ යි හඳුන්වනු ලබනුයේ නක්‍ෂත්‍රයන්ගේ ගමන් මග බැවිනි, නක්ඛත්ත නම්, තාරකාය. ඒ අන් නමෙකි. පොරැණැදුරෝ “තමන්ගේ ගමන් මග මදකුත් නො හැර සමහර කලෙක ලැසි ව සමහර කලෙක නො ලැසි ව අතනින් මෙතනින් නො ගොස් සමපමණ ගමනින් තමන් අයත් විථියෙහිම ගමන් කරමින් තමන් අයත් ගමන් රකිමින් මඩුලු ලෙසින් මහමෙර වටා කරකැවෙන බැවින් තාරකාවෝ නක්ඛත්ත නම්හ” යි කීහ. “අත්තනො ගමනට්ඨානං න ඛරති න විනාසෙතීති වා නක්ඛත්තං, අත්තනො ගමනට්ඨානං ඊසකම්පි න විජහන්ති කිඤ්චි සීඝං කිඤ්චි දන්‍ධං කදාචි සීඝං කදාචි දන්‍ධං එතාතො ඉතො චාති එවං විසමගතියා අගන්ත්‍වා යන්තචක්කෙ පටිපාටියා යොජිතානි විය සමප්පමාණගතියා අත්තනො විථියාව ගච්ඡනතානි මණ්ඩලාකාරන සිනෙරුං පරිවත්තෙන්ති” යි ඒ කියූ සැටියි.
ප්‍රධාන විසින් නක්‍ෂත්‍ර සත් විස්සෙකි. ඒ මෙසේ දත යුතුය:- අස්සයුජ=අස්විද, භරණී=බෙරණ, කත්තිකා=කැති, රොහණී=රෙහෙණ, මිගසිර=මුවසිරිස, අද්දා=අද, පුනබ්බසු=පුනාවස, ඵුස්ස=පුස, අසිලෙස=අස්ලිස, මාඝ=මා, පුබ්බඵග්ගුණී=පුවපල්, උත්තරඵග්ගුණී=උතුරුපල්, හත්‍ථ=හත, චිත්තා=සිත, සාති=සා, විශාඛා=විසා, අනුරාධා=අනුර, ජෙට්ඨා=දෙට, මූල=මුල, පුබ්බාසාළ්හ=පුවසල, උත්තරාසාළ්හ=උතුරුසල, සවණ=සුවණ, ධනිට්ඨා=දෙනට සතහිසජ=සියාවස, පුබ්බහද්දපද=පුවපුටුප, උත්තරහද්දපද=උතුරුපුටුප, රෙවතී=රේවතී යි.
මේ කියූ නක්‍ෂත්‍රයනට අධිපති දේවතාවෝ ද සත් විස්සක් වෙත්. ඔවුහු නම් පමණින් මෙසේ ය. අශ්වි - යම - දහන - කමලජ - ශශි - ශිව - අදිති - ජීව - වණී - පිතෘ - යොන්‍ය - අර්‍ය්‍ය - අර්‍ක - නිෂ්ටා - පවන - අජපද - භද්‍ර - පුෂන් යි. මෙසේ ප්‍රධාන විසින් නක්‍ෂත්‍ර සත් විස්සක් වුව ද නක්‍ෂත්‍රයන්ගේ ගණන දැක්විය නො හැකි ය. ඔවුහු සඞ්ඛ්‍යාරහිත ය. ප්‍රයෝජන ඇතියන් විසින් ජ්‍යොතිශ්ශාස්ත්‍රීය ග්‍රන්‍ථ බලා දත යුතු ය.
ස්වභාව විසින් නිපැයුනු අහසෙහි පැණෙන ශීත ස්පර්‍ශවත් වායුගෝලයෙක් චන්‍ද්‍ර නම් වී යයි වර්‍තමාන විද්‍යාධරයෝ කියත්. එයට අරක්ගත් දෙවි චන්‍දිමන්තු. ලොව නැසී හටගන්නා කාලයෙහි මිනිසුන්ගේ අදහස් ලෙසින් කැමැත්ත පරිදි ස්වභාව විසින් සඳවිමන පහළ වන්නේ ය. ඇතුළත මිණිමුවාය. විමන රිදියෙන් පිරිකෙව් කරණ ලද්දේ ඇතුළත පිටත ශීතස්පර්‍ශ ඇත්තේ ය. අයම් විතරින් උසින් එකුන් පණස් යොදුන් ඇත්තේ වටින් එක්සිය සත්සාළිස් යොදුන් ඇත්තේ ය. මිනිසුන්ගේ කැමැත්ත දැක පහළ වූ බැවින් චන්‍ද නම් වීය යි ද, සඳවිමන් වැසි දේව පුත්‍ර චන්‍දිමන්තු යි ද බෞද්ධාචාර්‍ය්‍යවරයෝ කියත්. සාරසඞ්ග්‍රහයෙහි ලෝකසංස්ථිති කථාව බලනු.
හරිවංශයෙහි චන්‍ද්‍ර, අත්‍රිමුනිහුගේ පුත්‍රැයි කියන ලද්දේ ය. එහෙයින් මොහු අත්‍රිජ - අත්‍රිජාත යි හඳුන්වනු ලබන බවද එහි ම කියත්. අත්‍රිමුනිහුගේ දෙනෙතින් චන්‍ද්‍රඋපන්නේල. “චන්‍ද්‍රොහි ප්‍රජාසර්‍ගාර්‍ත්‍ථං තපස්‍යතො, ත්‍රෙර්‍නෙත්‍රාත් ජාතඃ” යනු එහි දක්නා ලැබේ. මෙය ද ලෝකය දෙවියකු විසින් මවන ලදැ යි කියූ කතාව වැනි ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහු ය.
ශක්‍රදේවරාජ වස්තුව නිමි.
2-1 ‘අරියානං ගොචරෙරතා’ යනු බලනු. ↑
5-1 ‘දීඝො බාලානං සංසාරො’ යනු බලනු. ↑
2-1 ‘ඵුසන්තිධීරා නිබ්බ්නං’ යනු බලනු. ↑
2-5 ‘පඤ්ඤ්පාසාදමාරුය්හ’ යනු බලනු. ↑
1-14 ‘අනුධම්මචාරී’/ 5-5 ‘න සො ධම්මං විජානාති’ - යන පරිකථා බලනු. ↑
7-6 ‘සුබ්බතා’ යනු බලනු. ↑
2-1 ‘අරියානං ගොචරෙ රතා’ යනු බලනු. ↑
6-8 ‘සප්පුරිසං’ යනු බලනු. ↑
2-3 ‘මෙධාවි’/2-4 ‘දුම්මෙයිනො’ යනු බලනු. ↑