ජයං වෙරං පසවති දුක්ඛං සෙති පරාජිතො
උපසන්තො සුඛං සෙති හිත්වා ජයපරාජයං.
මෙරමා දනන්නේ (හෙවත් දූකෙළීම් ආදියෙන් අනුන් පරදවන්නේ), වෛර උපදවයි. (වෛරීන් ඇති කෙරෙයි). අනුන් විසින් දිනන ලදුයේ දුක සේ වසයි. කෙලෙස් සංහිඳුණු ක්‍ෂීණාස්‍රව තෙම දිනුම් පැරදුම් දුරලා සුව සේ වසයි.
කොසොල් රජ, කසීරට ගමක් නිසා බුහුනන පුත් අජාසත් රජු හා යුද වැදුනේ තෙවරක් ම පැරද ගියේය. තෙවන වර “මම මෙතෙක් යුද කොටත් කට කිරිගඳ හමන මේ කොලු පරදවා ලන්නට අසමර්‍ත්‍ථ වීමි, එහෙයින් මාගේ මේ දිවිවැටුමෙන් ප්‍රයෝජනයෙක් නැතැ” යි නො කා නො බී හොත්තේ ය. රජුගේ මේ කෑම් පීම් හැර දමා වැතිර හොවීම රට පුරා පැතිර ගියේ ය. එරට වෙහෙර වැසි භික්‍ෂූන් වහන්සේලා මෙපුවත අසා “ස්වාමීනි! කොසොල් රජ කසීරට ගමක් නිසා අජාසත් රජු හා තෙවරක් යුද කොට පැරද තෙවනවර ගෙට වී කට කිරිගඳ හමන මේ කොලු යට කොට ගනට මම අපොහොසත් වීමි, මට ජීවිතයෙන් වැඩෙක් නැතැයි කියා ගෙණ කෑම් පීම් හැරදමා හෝනේය” යි බුදුරජානන් වහන්සේට සැලකළහ. බුදුරජානන් වහන්සේ එය අසා “මහණෙනි! දිනන්නේත් අකුසල් රැස් කෙරෙයි, පරා විසින් පරදවන ලදුයේත් දුක සේ හොවීය” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
ජයං වෙරං පසවති දුක්ඛං සෙති පරාජිතො,
උපසන්තො සුඛං සෙති හිත්වා ජයපරාජයන්ති.
අනුන් දිනන්නේ වෛර උපදවයි. පරා විසින් පරදවන ලදුයේ දුක සේ හොවියි. දිනුම් පැරදුම් හැර සන්සිඳුනේ සුවසේ හොවියි.
ජයං වෙරං පසවති = යුද වැද ජය ගන්නේ, දිනන්නේ, වෛර උපදවයි.
දුක්ඛං සෙති පරාජිතො = පරා විසින් පරදවන ලදුයේ දුකසේ හොවියි.
උපසන්තො සුඛං සෙති හිත්වා ජයපරාජයං = දිනුම් පැරදුම් හැර සන්සිඳුනේ සුවසේ හොවියි
කෙලෙස් සතුරන් පරදවා ලබන ජය හැර යුද්ධකෝලාහලාදියෙන් ලබන ජය, ජයෙක් නො වේ. යුද්ධකෝලාහලාදියෙන් ජය ලබනට කරණ හැම ප්‍රයෝගයෙක් පව් ය. නපුරු ය. එයින් පව් රැස් වන්නේ ය. සතුරෝ ද වන්නාහ. එහි දී පැරද ගියේ ධන හානියෙන් භෝගහානියෙන් රාෂ්ට්‍රහානියෙන් පිරිහුනේ සතුරාට කිනම් නපුරක් කරම් දැ යි සිතමින් නොකා නොබී සිවු ඉරියව්වෙහි ම දුකසේ වසන්නේ ය. යමෙක් සිවුමග නුවණින් කෙලෙස් නසා සිටියේ නම් හෙතෙමේ අනුන් පරදවාලන්නට කරණ නපුරු කම් නො කරණ බැවින් තමන් පරදවා ලන කෙලෙසුන් නැසූ බැවින් මුළුමනින් සන්සිඳුනේ දිනුම් පැරදුම් හැර සුවසේ වසන්නේය යනු අදහසි.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝදෙන සෝවන් ඵලාදියට පැමිණියාහු ය.
කෝසල රාජ වස්තුව නිමි.