13-7 පෙහෙරකෙල්ලගේ මරණය

අන්‍ධභූතො අයං ලොකො තනුකෙත්‍ථ විපස්සති.

සකුන්තො ජාලමුත්තො’ව අප්පො සග්ගාය ගච්ඡති.

මේ ලොවී මහ ජන තෙම නුවණැස් නැතියෙන් අන්‍ධ ය. මේ මහජනයා අතුරෙහි ස්වල්ප සත්ත්‍වයෙක් ම අනිත්‍යාදි වශයෙන් ස්කන්‍ධපංචකය දක්නේ ය. (ලිහිණිවැද්දකු දැමූ) දැලට හසු වැ එයින් මිදී පලා යන වටුවකු මෙන් (මාරජලයෙන් වැසුනු සත්ත්‍වයන් අතුරෙන්) ස්වල්ප වූ කිසි සත්ත්‍වයෙක් ම (සුෂටු අග්‍ර හෙයින් සග්ග යැ යි කියන ලද) සුගතියට ද නිවනට ද යන්නේ ය.

බුදුරජානන් වහන්සේ අලව් නුවරට වැඩි ගමනෙක එහි වැස්සෝ උන්වහන්සේට ආරාධනා කොට දන් පිළිගැන්නූහ. උන්වහන්සේ වළඳා අවසානයෙහි “ජීවිත ය අස්ථිර ය, මරණය ඒකාන්ත ය, මම මැරෙන්නෙමි, මාගේ ජීවිතය මරණය කෙළවර කොට සිටියේ ය, ජීවිතය අනියත ය, මරණය නියත ය, මේ සැටියෙන් මරණය ගැන නිතර සිහිකළ යුතු ය, යම්කෙනකුන් මරණසතිය මෙසේ නො වඩන ලද නම්, ඔවුහු පසු කල්හි නයකු දැක බියට පත් පුරුෂයකු සේ සන්තාපයට පැමිණෙන්නාහ. මරහඬ නගමින් කලුරිය කරන්නාහ, යම් කෙනෙකුන් මරණසතිය වඩන ලද නම්, ඔවුහු දුරදීම නයකු දැක කෝටුවෙන් ගෙණ වීසි කොට සිටි පුරුෂයකු සේ තැති නො ගන්නෝ ය, බියපත් නො වන්නෝ ය, ඒ නිසා හැම කෙනකුන් මරණසතිය වැඩිය යුතු ය” යි ධර්‍මදේශනා කළ සේක. එහෙත් ඒ දේශනාව ඇසූ හැම දෙනෙක් පෙර සේ ගෙදර දොරේ කටයුතු වලම යෙදී හුන්හ. ඒ දේශනාව අනුව යෙදෙන බවෙක් නො වී ය. එහි එක් සොළොසැවිරිදි පෙහෙර කෙල්ලක්, “බුදුරජානන් වහන්සේගේ දේශනාව කොතරම් අගී ද, උන්වහන්සේ වදාළෝ අපට වැඩ වන්නක් ය, අවැඩට වැටෙන්නක් කවදාවත් නො වදාරණ සේක, එහෙයින් මා මරණසතිය වැඩිය යුතුය” යි දිවා රෑ දෙක්හි ම මරණසතිය වැඩූ ය. බුදුරජානන් වහන්සේ ද දෙව්රම් බලා පෙරළා වැඩි සේක. ඒ තරුණිය ද මරණසතිය වඩමින් තුන් අවුරුද්දක් ම කල් ගෙවූ ය.

මේ කාලයෙහි දවසෙක බුදුරජානන් වහන්සේ අලුයම් වේලෙහි ලොව බලා වදාරණ සේක් මැය දැක “මැයට කුමක් වන්නේදැ” යි විමසා බැලූහ. එහිදී “ඇය බණ අසා සෝවාන් වන බවත්, ඇය නිසා එහිදී කරණ ධර්‍මදේශනාව මහාජනයාට වැඩ සහිත වන බවත් දැක භික්‍ෂුගණයාත් ගෙණ ජේතවනයෙන් නික්ම අග්ගාලව විහාරයට වැඩි සේක. අලව් නුවර වැස්සෝ ඒ දැන බුදුරජුන් දකිනු රිසියෙන් එහි ගියහ. ගොස් දානමානාදියෙන් උන්වහන්සේට සඞ්ග්‍රහ කළහ. පෙහෙර තරුණිය ද බුදුරජුන් වැඩි බව අසා තුටු සිත් ඇති ව “මා මෙයින් තෙවසකට උඩ දී රන්වන් වූ බුදුරජානන් වහන්සේ දක්නා ලදහ, දැන් උන්වහන්සේගේ සවර්‍ණවර්‍ණ වූ ශ්‍රීදේහය දකින්නට මිහිරි වූ උතුම් දහම් අසන්නට ලබන්නෙමි” යි සිතූ ය.

එදා පෙහෙරහලට යන ඇයගේ පියා, “දුව! අනුන්ගේ, රෙද්දක් වියනට ගතිමි, එහි තව වියතක් පමණ වියන්නට ඉතිරිව ඇත, අද ඒ ටික වියා අවසන් කළ යුතු ය, ඒ නිසා පිළීවියන සරදඬුවෙහි නූල් ඕතා ගෙණ වහා එව” යි කියා ගියේ ය. එකල්හි ඕ තොමෝ “මම බණ අසන්නට යන්නට සිතා ගෙණ සිටියෙමි, තාත්තා පිළීවියන සරස්දඬුව පිළියෙල කොට ගෙණ එන්නැයි කියයි, දැන් මෙයට කුමක් කෙරෙම් ද, බණ අසන්නට යම් ද, නැත, සරස්දඬුව ගෙණ යම් ද, සරස්දඬුව ගෙණ නො ගියොත්, තාත්තා මට තළන්නේ ය, හොඳයි, තසරය වඩා ගෙණ ගොස් දී පස්සේ බණ අසන්නට යමි” යි සිතා මිටි පුටුවක හිඳ තසරයෙහි නූල් එතුවා ය. අලව් වැස්සෝ බුදු රජුන් වළඳවාලා අවසන් කොට පාත්‍රය ගෙණ අනුමෙවෙනි බණ අසන්නට සූදානම් ව සිටියහ. එකල්හි බුදුරජානන් වහන්සේ “මම මෙ තෙක් දුර තිස් යොදුන් මඟ ගෙවා යම් කුල දැරියක නිසා ආයෙම් නම්, ඈට මෙහි එන්නට තවම ඉඩ නැත්තේ ය, එහෙයින් ඈ මෙහි ආ විටෙක අනුමෙවෙනි බණ වදාරන්නෙමි” යි කිසිත් නො බැණ වැඩ හුන් සේක.

බුදුරජානන් වහන්සේ කිසිත් නො බැණ වැඩහුන් සේක් ද, ඒ ගැන කිසිත් කියන්නට ශක්තියක් දෙවියන් සහිත ලෝකයෙහි කිසිවකුටත් නැත්තේ ය. පෙහෙරදැරිය, තසරයෙහි නූල් වඩා අවසන් කොට එය පසෙක ලා ගෙණ පෙහෙරහලට යන්නී බුදු රජුන් වැඩ හිඳුනා තැනින් බුදුරජුන් දෙස බල බලා ගියා ය. උන්වහන්සේ ද කර ඔසොවා ඈ දෙස බැලූහ. ඕ තොමෝ බුදුරජුන් බැලු බැල්මෙන් “තමන් දෙස බලා ය” යි දැන පුදුමයි, මෙතරම් මහත් පිරිසක් මැද වැඩ හිඳ මා දෙස බැලීම, එකතින් බුදුරජානන් වහන්සේ තමන්වහන්සේ වෙතට මා පැමිණෙනු බලාපොරොත්තු වන සේකැ, යි තසරය බහා තුබූ පැස පසෙක තබා බුදුරජුන් වෙත ගියා ය. “මෝ තොමෝ මා වෙත නො පැමිණ ගියොත් අනියත ගති ඇතිව පුහුදුන්ව කලුරිය කරන්නී ය, මා වෙත පැමිණ මාගෙන් බණ අසා ගියොත් සෝවන්ව නියතගති ඇතිව කලුරිය කොට තුසිතදෙව්විමන්හි උපදින්නීය” යි දැන බුදුරජානන් වහන්සේ ඈ දෙස බැලූ සේක. එදා ඈ මැරෙණු ඒකාන්ත ය. ඇයට එදා මරණය පැමිණෙනු වළකාලනු නො හැකි ය.

පෙහෙරදැරිය බුදුරජුන් බැලූ බැල්මෙන් ම බුදුරජුන් වෙත ඇදී ගියා සවණක් රැස් අතරට වැද එයින් සැරහී දොහොත් මුදුනේ තබා වැඳ පසෙකට වී හුන්නී ය. ඒ සා මහත් පිරිසක් මැද එතෙක් වේලා කිසිත් නො බැණ වැඩ හුන් බුදුරජානන් වහන්සේ ඇය වැඳ සිටි කල්හි මෙසේ අසා වදාළ සේක.

බුදුරජානන් වහන්සේ

:-

ලමයා කොහි සිට ආයෙහි ද?

දැරිය

:-

සවාමීනි! මම කොහි සිට ආයෙම් දැයි නො දනිමි.

බුදුරජානන් වහන්සේ

:-

හා හොඳයි, දැන් මේ කොතැනක යෙහි?

දැරිය

:-

එය ද නො දනිමි ස්වාමීනි!

බුදුරජානන් වහන්සේ

:-

නො දනිහි?

දැරිය

:-

දනිමි, ස්වාමිනි!

බුදුරජානන් වහන්සේ

:-

දනිහි?

දැරිය

:-

නො දනිමි, ස්වාමීනි!

එහි මෙය අසා සිටි මිනිස්සු කෝපයෙන් ඉල්පී ගියෝ “බලා පියවු, ඇරෑගේ හැටි, මේ පෙහෙරකෙල්ල බුදුරජුන් ඉදිරියෙහි කටට ආ ආවක් කියා, මොක ද, මැගේ මේ ඔළමොළ කම්, කොහි සිට ආයෙහි දැ යි ඇසූ කල්හි කියන්නට තුබුනේ පෙහෙරගෙදර සිට ආ බව නේ ද කොතැනක යෙහි දැ? යි ඇසූ වේලේ කිය යුතුව තිබුණේ රෙදි වියන තැනට යන බව නේ ද, එසේ නො කියා මෑ කටට ආ ආ බස්ම කීවා ය” යි කෑකෝ ගසන්නට වූහ.

බුදුරජානන් වහන්සේ මහජනයා නිශ්ශබ්ද කොට නැවැත “ලමයා, කොහි සිට ආයෙහි දැ” යි මා ඇසූ විට, නො දනිමි, යි කීයෙහි කුමක් නිසා දැ?” යි ඇසූහ. “ස්වාමීනි! තිලෝගුරු හිමියෙනි! ම පියානෙනි! පියානන් වහන්සේ මා පෙහෙරගෙදර සිට ආ බව දන්නා සේක් ය, එසේ දැන, කොහි සිට ආයෙහි දැ, යි විචාළ සේක්, කොතැනින් චුත ව මෙහි උපන්නී දැ, යි මා ලවා කියවනු සඳහාය, යි මට සිතුනේ ය, මම කොතැනින් චුත ව අවුත් මෙහි උපන්මි යි මා නො දන්නා බැවින්, නො දනිමි, යි කීයෙමි” යි ඕ තොමෝ කිවු ය. “බොහොම හරි ලමයා, මා ඇසු ප්‍රශ්නයට පිළිතුරු දුන් සැටි, මාගේ ප්‍රශ්නයට ලමයාගේ පිළිතුර නියම පිළිතුරු” යි බුදුරජානන් වහන්සේ සාධුකාර දුන්හ.

නැවැත “ආ’ ලමයා! කොතැනක යෙහි, යි මා ඇසූ ප්‍රශ්නයට, නො දනිමි, යි කීයෙහි කුමක් නිසාදැ?” යි ඇසූ කල්හි “ම පියානන් වහන්ස! පියානන් වහන්සේ මා තසරය පැසෙක බහා ගෙණ පෙහෙරහලට යන බව දැන දැන මෙසේ අසා වදාළ සේක් මෙතැන මැරී ගොස් කොතැනක උපදින්නිහි දැ යි, මා ලවා කියවා ගන්නට ය, උත්පත්තිවශයෙන් මෙතැනින් කො තැනකට යනු දැ යි මා නො දන්නා බැවින් නො දනිමි යි. කීයෙමි” යි පෙහෙරිය කිවූ ය. බුදුරජානන් වහන්සේ එවරද ඇයට පෙරසේ වදාරා සාධුකාර දුන්හ.

නැවැත, “ආ’ ලමයා! මා තෙවන වර නො දනිහි දැයි ඇසූ වචනයට, දනිමි යි කීයෙහි කුමක් සලකා දැ?” යි බුදුරජානන් වහන්සේ ඇසූහ. “ම පියානන් වහන්ස! මා මැරෙණ බව දන්නා බැවින් දනිමි, යි කීයෙමි” යි ඇය කිවූ ය. එවරද බුදුරජානන් වහන්සේ සාධු කාර දුන්හ.

නැවැත “ආ’ ලමයා! මා සිවුවන වරට ඇසූ දන්නෙහි දැයි යන්නට නො දනිමි යි කීයෙහි, ඒ කුමක් නිසා දැ” යි අසා වදාළ කල්හි “ම පියානන් වහන්ස! මා මැරෙණ බව මුත්, කොයි දවසෙක, කොයි වේලෙක, කොයි පැයෙක මැරෙන්නෙම් දැයි නො දන්නා බැවින් නො දනිමි, යි කීමි” යි පෙහෙර දැරිය කීවා ය. එවරද බුදුරජානන් වහන්සේ ඇයට සාධුකාර දී රැස්ව සිටි පිරිස අමතා “තෙපි මෙතෙක් දෙනා අනුනට දොඩන්නට ගරහන්නට දන්නා පමණ මුත්, මේ දැරිය කීවා ගැණ කිසිත් නො දන්නහු ය, යමකුට යමක් තේරුම් ගැණිමට නුවණැස නැත්තේ නම්, මසැස තුබුනේ ද ඔහු දෑස් නැති අන්‍ධයෙක් ම ය, යමකුට පැණැස තිබේ නම් ඔහු ම ය ඇස් ඇත්තේ” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.

අන්‍ධභූතො අයං ලොකො තනුකෙත්‍ථ විපස්සති,

සකුන්තො ජාලමුත්තොව අපොස්සග්ගාය ගච්ඡතීති.

මේ ලෝකීය මහාජන තෙමේ අන්‍ධ ය. මුන් අතුරෙහි ටික දෙනෙක් ම වෙසෙසා දකිත්. දැලින් මිදුනු වටුවකු සේ ටික දෙනෙක් ම දෙව් ලොවට යත්.

අයං ලොකො අන්‍ධභූතො = මේ ලෝවැසිතෙමේ දෑස් නැත්තේ ය.

මසැස තුබුනේ ද, පැණැස නැත්තේ නම් හේ අන්‍ධයෙකි. ලෝකීයමහාජන තෙමේ එසේ ය. සත්ත්‍වලෝකය “සස්සතො ලොකො අන්තවා ලොකො” යි ගත්තේ එහෙයිනි. නුවණැස නැත්තේ නම්, මසැසින් වැඩෙක් නො වන්නේ ය. සත්ත්‍වලෝකය ශාස්වත ය, කෙළවර ඇත්තේය යි ගත්තේ මසැස ඇති මේ ලෝකයයි. ආර්‍ය්‍යයන් වහන්සේ මේ මහාජන පක්‍ෂයෙහි නො වෙත්. මේ කීම උන්වහන්සේ පිළිබඳ නො වේ. උන්වහන්සේ පැණැස් ඇත්තෝය. අන්‍ධකථාව පෘථග්ජනලෝකය පිළිබඳ ය. මේ දන්නේය.

“යථා හි නාම ජච්චන්‍ධො නරො අපරිණායකො,

එකදා යාති මග්ගෙන කුම්මග්ගෙනාපි එකදා”

උපතින්ම දෑස් නැත්තේ, එහා මෙහා ගෙන යන්නකු නැති කල්හි සමහර වේලක නියම මගිනුත් සමහර වේලක නො මගිනුත් යන්නේ ය.

“සංසාරෙ සංසරං බාලො තථා අපරිණායකො,

කරොති එකදා පුඤ්ඤං අපුඤ්ඤම්පි ච එකදා”

එසේ නුවණැස් නැති අඥජන තෙමේ අර්‍හනමාර්‍ගයට පමුණු වන්නකු නැති විට සසර එහා මෙහා ඇවිදිනුයේ, සමහර කලෙක පින් කරන්නේ ය. සමහර කලෙක පව් කරන්නේ ය.

“භුත්‍වාතිඝොරම්පි සුදීඝරත්තං

අනන්තදුක්ඛං භවවාරකෙසු,

න තත්‍ථ උක්කණ්ට්ඨති බාලසත්තො

ලද්ධා සඛී තෙනහි තණ්හවිජ්ජා”

අඥ තෙමේ සසර නැමැති සිරගෙයි ඉතා දිගුකලක් ඉතා දරුණු වූ කෙළවරක් නැති දුක් විඳ ද එහි නො කළකිරෙන්නේය. මෝඩයාට සසර කළකිරීමෙක් නැත. තෘෂ්ණා අවිද්‍යාවනට යටව සිටුනා බැවිනි.

“යෙනානුභූතං අමිතං ච යත්‍ථ

පතිට්ඨිතං දුක්ඛමනාදි කාලෙ

තමෙව පත්‍ථති පුනප්පුනම්පි

අඤ්ඤාණජාලස්ස යමානුභාවො”

කොණක් මිම්මක් නැති කාලයෙහි සිට කොණක් මිම්මක් නැති දරුණු දුක් වින්දේ ද, නැවැත නැවැතත් එයම පතන්නේ ය. බලාපොරොත්තු වන්නේ ය. මේ වනාහි අන්‍ධ භාවයේ අනුභාවය යි.

අන්‍ධ යනු මෙහි නැගී සිටියේ අඥයා උඩ ය. ලෝක ව්‍යවහාරයෙහි ආයේ දෑස් නැත්තා කෙරෙහි ය. “ සුඤ්ඤො අන්‍ධො ද්වයෙනථ” යනු කෝෂාගතය.

පියවි ඇසට වඩා මිනිසාට පැණැසම ශ්‍රේෂ්ඨ වේ. මිනිසා විසින් ලැබිය යුත්තේ ඒමය. හොඳ - නො හොඳ - මග - නො මග - යුතු - අයුතු - නිත්‍ය - අනිත්‍ය - ශුභ - අශූභ - සුඛ - දුක්ඛ - ස්ථිර - අස්ථිර - කළයුතු - නො කළයුතු - වරද - නිවරද - කුසල් - අකුසල් ඈ විසින් මෙලොව හිතයෙහි හා පරලොව හිතයෙහි හා වැටෙන නො වැටෙන හැම දෙයක් පෙන්නුම් කරන්නහු පැණැස බැවිනි. පියවි ඇසින් තොර වූයේ මෙලොව කටයුත්තෙහි ම නො නගින්නේ ය. නො යෙදෙන්නේ ය. පැණසින් තොර වූයේ එලොව මෙලොව දෙක්හි ම නො නගින්නේ ය. නො යෙදෙන්නේ ය. එහෙයින් දෙයකින්ම නො නගින්නහු අන්‍ධ යි හැඳින්වීම යුක්තිතර ය. අන්‍ධවුයේ අන්‍ධභූත නමි. ‘භූත’ යන්නෙහි විශේෂාර්‍ත්‍ථයක් නැත.

ලොක යනු මෙහි සත්ත්‍වලෝකයෙහි වැටේ. ඉන්‍ද්‍රියබද්ධ රූපාරූපධර්‍මසමූහය සත්ත්‍වලෝක නම්. රූපශබ්දාදියෙහි ඇලෙන ගැලෙන මුසපත් වන බැවින් සත්ත්‍වලෝකයි කියනු ලැබේ. එහි සත්ත්‍ව ගණයෙහි කුසල් අකුසල් හා කුසල් අකුසල් විපාක හා දක්නා ලැබේ නුයි ලෝක නම්. “ලොකීයති එත්‍ථ කුසලාකුසලං තබ්බිපාකො චා ති = ලොකො” යනු හා “ ලොකීයන්ති එත්‍ථ පුඤ්ඤපාපඵලානි ලුජ්ජනට්ඨෙනෙව වා = ලොකො” යනු හා නිරුක්ති. මෙසේ බැවින් ඉන්‍ද්‍රියබද්ධ රූපධර්‍ම අරූපධර්‍ම රූපාරූප ධර්‍මයන්ගේ සන්තාන වශයෙන් පවත්නාවුන්ගේ සමූහය සත්ත්‍වලෝක නමැ යි ගතයුතු ය. කාමභව, රූපභව, අරූප භව, එකවෝකාර භව, චතුවෝකාර භව, පංචවෝකාර භව, සඤ්ඤී භව, අසඤ්ඤී භව, නෙවසඤ්ඤීනාසඤ්ඤී භව යන නවවැදෑරුම් භවයන්හි වූ සත්ත්‍වගණයය සත්ත්‍වලෝක.

එත්‍ථ තනුකො විපස්සති = මෙහි ස්වල්ප වූ සත්ත්‍වයෙක් වෙසෙසා දකියි.

නව වැදෑරුම් සත්ත්‍වාවාසයන්හි වූ සත්ත්‍වගණය මෙතෙක් මහත ය, මෙතෙක් විශාල ය, ගණනින් මෙපමණ ය, යනාදීන් කොණක් කෙළවරක් කිසිලෙසකින් පිරිසිඳුනු නො හැකි ය. සත්ත්‍වවිෂය අචින්ත්‍යයි වදාළෝ එබැවිනි. “මහා ඛො පනායං ලොකසන්නිවාසො” යනු සාධකය.

ඒ මේ ලෝකසන්නිවාසයෙහි ටික දෙනෙක්ම පංචස්කන්‍ධය දකිත්. පංචස්කන්‍ධයෙහි වෙසෙසා දැක්ම නම් අනිත්‍ය වශයෙන් එහි තතු දැක්මය. කාම, රූප, අරූප භූමීන් පිළිබඳ නාම රූප ධර්‍මයන්ගේ දිරීම, බිඳීම, පෙරළීම, ඔවුන්ගේ ම නිති පෙළීම, වෙහෙසීම, ඔවුන්ගේ ම නො පවත්නා බව දැක්ම ය. මෙසේ පංචස්කන්‍ධය අනිච්චානුපස්සනාවන්ගේ වශයෙන් බලන්නෝ, මේ මිනිසුන් අතර ඉතා ටික දෙනෙක් ම වෙත්. ඒත් එදා ය. අද නම් නැත්තාහු මැයි කියයුතු සේ පෙණෙත්.

ජාලමුත්තො සකුන්තො ඉව = දැලින් මිදුනු වටුවකු සේ. දැලට හසු නො වී පැන ගිය වටුවකු මෙන්.

දක්‍ෂ වූ ළිහිණිවැද්දකු විසින් දැල් දමා දැලට හසු කොට ගන්නා වටුවන් අතර කිසිවෙක් ම දැලින් මිදී පලා යන්නේ ය. සකුන්ත ශබ්දය අවිශේෂයෙන් පක්‍ෂිවාචක ය. එහෙත් ඇතැම් කෝෂකාරකයෝ ඝොෂ්ටකුක්කුට පක්‍ෂියා ‘සකුන්ත’ යි කියත්. භාෂාවෙහි අවිශේෂයෙන් පක්‍ෂීන් කෙරෙහි වැටුනු තැන් කොතෙකුත් දක්නා ලැබේ. එහෙයින් ‘සකුන්ත’ ශබ්දයෙන් වටුවා ද කිය හැකි ය. අටුවාවේ ආවේ ද එහෙයින් ය. “සක්කොති උදධං ගන්තුන්ති = සකුන්තො” යන නිරුක්ති විසින් ගත්කල සකුන්ත ශබ්දය පක්‍ෂීන් කෙරෙහි යෙදීම වරදෙක් නො වේ. ජාලමුත්ත නම්, දැලෙන් මිදුනේ ය. වේගයෙන් පලා යන මෘගාදීන් හසු කොට ගන්නේ ජාල නම්. “ ජෙ සීඝගතෙ ධාවන්තෙ මිගාදයො ලාති ගණ්හාති ති - ජාලං” යනු නිරුක්ති යි.

අප්පො සග්ගාය ගච්ඡති = ස්වල්ප වූ සත්ත්‍වයෙක් ස්වර්‍ගයට යයි.

මාරජාලයෙහි බැඳුනු මාරයාගේ පස්කම් ගුණ නැමැති දැලින් වැසුනු දැලට අසු වූ සත්ත්‍වයන් අතර බොහෝ දෙනෙක් ම අපාය යට යෙත්. ඉතා ටික දෙනෙක් ම සවර්‍ගයට යෙත්. නිවන් ලබන්නෝ ඊටත් වඩා ටික දෙනෙක් වෙත්. මෙහිලා මිනිස් ලොවින් චුත ව නැවැත මිනිස්ලොව ම උපදින්නෝ ටික දෙනෙක් වෙත්. එහෙත් මිනිස් ලොවින් චුත ව නිරයෙහි උපදින්නෝ, තිරිසයෝනියෙහි උපදින්නෝ, ප්‍රේත ලෝකයෙහි උපදින්නෝ ඉතා බොහෝ වෙත්. එසේ ම මිනිස්ලොවින් චුත ව දෙව්ලොව උපදින්නෝ ටික දෙනෙක් වෙත්. එහෙත් මිනිස් ලොවින් චුත ව නිරයෙහි, තිරිසන් යෝනියෙහි, ප්‍රේත ලෝකයෙහි උපදින්නෝ ඉතා බොහෝ වෙත්. එසේම දෙව්ලොවින් චුත ව නැවැත දෙව්ලොව උපදින්නෝ ටික දෙනෙක් වෙත්. එහෙත් දෙව්ලොවින් චුත ව නිරයෙහි, තිරිසන් යෝනියෙහි, ප්‍රේතලෝකයෙහි උපදින්නෝ ඉතා බොහෝ වෙත්. එසේ ම දෙව්ලොවින් චුත ව මිනිස්ලොව උපදින්නෝ ටික දෙනෙක් වෙත්. එහෙත් දෙව්ලොවින් ගිලිහී නිරයෙහි, තිරිසන්යෝනියෙහි, ප්‍රේතලෝක යෙහි උපදින්නෝ ඉතා බොහෝ වෙත්, යි යනාදීන් වදාළ දේශනාව සිත්හි දැරිය යුතු ය. අඞ්ගුත්තරනිකායයෙහි එකක නිපාතයෙහි සිවුවන වගෙහි මේ එන්නේ ය. විස්තර විසින් එයින් දන්නේ ය.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි පෙහෙරිය සෝවන් වූ ය. දේශනාව මහාජනයාටත් වැඩ සහිත වූවා ය. යලි ඕතොමෝ පැසත් ගෙණ පියා වෙත ගියා ය. එවේලෙහි ඔහු හිඳගෙණ ම නින්දට වැටී සිටියේ ය. පෙහෙරිය ද එගැණ නො සලකා පැස එළවන ගමනේ පැස්වෙම කෙළවර හැපී හඬ නගා වැටුනී ය. නින්දෙන් පිබිදුනු පෙහෙර තෙමේ ගති නිමිත්තෙන් ම පළමු ලෙසින් දුරදිග නො බලා සිරදඩුව ඇද්දේ ය. වෙම් කෙළවර ගොස් තරුණියගේ උරෙහි ඇණුනේ ය. එයින් ඕ එතැන ම මැරී වැටුනා ය. පෙහෙර තෙමේ ලේ පෙරා මැරී වැටුනු ඇය දැක හඬමින් වැලපෙමින් “මාගේ මේ ශෝකය සන්සිඳවනට ඉන්නෝ බුදුරජානන් වහන්සේ පමණැ” යි බුදුරජුන් වෙත ගොස් “ස්වාමීනි! මා දුව මළා, ශෝකය නම් නො ඉවසිය හැකි ය” යි හඬ හඬා කියා සිටියේ ය. බුදුරජානන් වහන්සේ ඔහු අස්වසා “මේ අක් මුල් නැති සසර තා දූලාගේ මරණ ගැණ ම වැගිර වූ කඳුළු සිවු සයුරෙහි දියකඳට වැඩිය” යි අනමතග්ගකථාව වදාළ සේක. ඔහු එයින් තුනී වූ ශෝක ඇති ව බුදුරජුන් වෙතින් ලැබූ මහණ උපසපන් බැව් ඇත්තේ නොබෝ දිනකින් රහත් මගට පැමිණියේ ය.

පේසකාරදුහිතෘ වස්තුව නිමි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.