න අන්තලික්ඛෙ න සමුද්දමජ්ඣෙ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජතී සො ජගතිප්පදෙසො
යත්‍ථඪිතො මුච්චෙය්‍ය පාපකම්මා.
යම් තැනෙක සිටි සත්ත්‍ව තෙම තමා විසින් කරණ ලද පාපකර්‍මයෙන් (විපාක දුක් අනුභව නොකොට) මිදී යේ ද, (කෙසගක් පමණ වූ ද එසේ වූ භුමිප්‍රදේශයෙක් නැත.) ආකාශයෙහි දු (පාපකර්‍මයෙන් මිදෙන්නට හැකි ප්‍රදේශයෙක්) නැත. සමුද්‍රමධ්‍යයෙහි දු (පාපකර්‍මයෙන් මිදෙන්නට හැකි ප්‍රදේශයෙක්) නැත. පර්‍වතයන්ගේ විවරයට වැද ද පාපකර්‍මයෙන් මිදෙන්නට හැකි ප්‍රදේශයෙක් නැත.
ස්වාමිදරු වූ බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන දවසෙක, උන්වහන්සේ දක්නට, මහත් ගණනක් භික්‍ෂූන් වහන්සේලා මග බැස දෙව්රම බලා ආහ. අතර මගදී, උන්වහන්සේලා උදෑසන ගමක පිඬු සිඟා හැසුරුනාහ. එගම් වැස්සෝ උන්වහන්සේලා දැක, වැඩමවා ගෙණවුත්, අසුන් පනවා වඩා හිඳුවා කැඳ අවුළුපත් පිළිගන්වා, පිඬු සිඟා යන වේලාව ලං වනතුරු බණ අසමින් හුන්හ. මේ වේලෙහි ගෙදරක එක් ගැහැණියක් බත් උයා බා තබා, මාලුව්‍යඤ්ජන පිස, ඒවා තෙම්පරාදු කරමින් හුන්නී ය. එකෙණෙහි ඇතිලියට ගිනි ඇවිළ ගත්තේ ය. ඉන් නැගි ගින්න පියස්ස ද ඇවිළ ගත්තේ ය. ගින්නේ බුරබුරා ඉහල නැංගේ ය. ඒ හා තණහුලක් ද පවනින් අහස නැග ගියේ, අහස පියාඹා ගිය කපුටකු ඇඟ දැවටී ගත්තේ ය. කපුටු එයින් දැවී ඒ තැන ම ඇද වැටුනේ ය. එහි වැඩහුන් භික්‍ෂූන් වහන්සේලා ඒ දැක, “අය්යෝ! මේ බලවු, කාක්කාට වූ විපත, පවක හැටි, පොළොව ඇවිළ තුබූ ගින්නෙන්, අහස ඉතා දුර පියාඹා ගිය කපුටු දැවුනු සැටි, මෙය පවක්, අපි යමු බුදුරජුන් වෙත මෙය විචාරන්නටැ” යි එ තැනින් නැගී ගියහ.
දිනෙක, තවත් බොහෝ ගණනක් භික්‍ෂූන් වහන්සේලා බුදුරජුන් දක්නට නැව් නැග ආහ. ඒ නැව මූද මැද දී ගල් ගැසුනා සේ, නිසල ව සිට ගත. නාවිකයෝ කලබල වුහ. සොයා බැලූහ. නැව නිසලව සිට ගැණීමෙහි හේතු වූ කිසිවක් නො දුටහ. ඒ අතර එකෙක් “මෙහි අප අතර කාලකණ්ණියකු විය යුතුය, නො වේ නම්, මෙසේ නො විය හැකි ය, නැව මොන අතකට වත් පදවනු බැරි ය, කාලකණ්ණියකු සිටිය යුතුම ය” යි කී ය. නාවිකයෝ එක් ව කාලකණ්ණියා සොයා බලන්නට යුහුසුලු වූහ. ඒ පිණිස හැම එකකු අතට සීට්ටු දුන්හ. ඒ වේලහි කාලකණ්ණි සීට්ටුව ප්‍රධාන නාවිකයාගේ බිරිය අතට ගියේ ය. තෙවත වරකුත් එසේ කළහ, ඒ වරත් එසේ ම වි ය. මේ ගෑණිය තරුණ ය. දැකුම් කලුය. දුටුවන් සිත් ගන්නී ය.
ඒ වේලෙහි සෙසු නාවිකයෝ, “මහත්මයාණෙනි! මේ ගැණ දැන් අපි කුමක් කරමු දැ” යි ප්‍රධාන නාවිකයාගේ මුණ බැලුහ. එවිට ඔහු “මට එකියක නිසා මේ මහාජනයා විපතෙහි හෙළනු බැරි ය, ඒ නිසා තමුසේලාට ඕනෑ එකක් කළාට මගෙන් වරදෙක් නැතැ” යි කී ය. එකෙණහි නාවිකයෝ, ඇය ඔසොවා ගත්හ. ඕ මරණ භයින් බියපත් ව මරහඬ නගන්නට වූ ය. එහඩ ඇසු නාවික තෙමේ “ඔය ඇඳුම් ආයිත්තම් මුදට දමනු නො සුදුසු ය, ඒවා ගෙණ රෙදිමාල්ලක් අන්දවා මූදට දමවු, කිසිවක් ඇඟ නැති ව මූදට දැමු කල්හි වරින් වර මෑ මතු වන්නී ය, එය මට ඉවසනු බැරි ය, මට මෑ නො පෙනෙන ලෙසට, මූද දැමු සැටියේ යට කිඳා බසින ලෙසට, වැලිකළයක් බෙල්ලෙහි එල්ලා මූදට දමවු” යි නියම කළේ ය. ඔවුහු එසේ කළහ. ඕ එ තැන දී ම මස් කැසුබ් ආදීනට බත් වූ ය. මේ පුවත ඇසූ භික්‍ෂූන් වහන්සේලා ද “මේ ගැහැණිය කළ අකුශලකර්‍මය කිමැ” යි බුදුරජුන් විචාරමු’ යි නැවෙන් බැස යන්නන් හා එක්ව ගියහ.
අනික් සත් නමක් භික්‍ෂූන් වහන්සේ ලා බුදුරජුන් දක්නට වඩින්නෝ, අතර මගදී ම රෑ වූ බැවින්, එක් වෙහෙරකට ගොස් නිදා ගන්නට තැනක් ඉල්ලූහ. ඒ විහාරයෙහි ගල්ලෙනක් වි ය. ගල් ලෙන තුළ ආසන සතක් පිළියෙල කොට ආරාමිකයෝ ඔවුනට ඒ ලෙන භාර කළහ. ඔවුහු එහි නිදි ගත්හ. මහරෑ කුළුගෙයක් පමණ වූ මහගලක් පෙරැළී අවුත්, ලෙන්දොර වසා සිටියේ ය. පාන් වූ කල්හි එහි පැමිණි නේවාසික භික්‍ෂූහු, ඒ දැක, වටපිට සිටි මිනිසුන් බොහෝ ගණනක් ගෙන්වා ගෙණ, ලෙන්දොර වසා සිටි ගල ඉවත් කරන්නට වෙර දැරූහ. එහෙත් ගල තුබූ තැනින් අඟලකුත් එහා මෙහා කරන්නට ඔවුහු අපොහොසත් වූහ. ලෙන තුළ සිටි භික්‍ෂූන් වහන්සේලා ද ගල පෙරළන්නට මහන්සි ගත්හ. ඔවුනට ද ඒ කරණු නො හැකි වි ය. සත් දවසක් ම මෙසේ ගෙවී ගියේ ය. ආගන්තුක භික්ෂූහු ද, බඩ සයින් පෙළෙමින් සත් දවසක් එහි මහත් දුක් විඳිමින් දිවි ගෙවූහ. සත්වන දින ඒ ගල, තෙමේ ම ලෙන්දොරින් ඉවත් වී ය. එහි සිටි භික්‍ෂූන් වහන්සේලා පණ අදිමින් එලි බැස්සාහ. උන්වහන්සේලාගේ පණ යන්තමකට රැඳී තුබුනේ ය. ඒ භික්‍ෂූන් වහන්සේලා ද “අප ගේ මේ පව කිමැ, යි බුදුරජුන් වෙතින් අසා දැන ගණිමු” යි කියා එ තැනින් නික්මුනාහ. ඔවුහු එතැනින් නික් ම ටික දුරක් මග යන්නෝ, අනික් දෙපිරිස හා එක් වූහ. තුන් පිරිස ම බුදුරජුන් වෙත ගොස් වැඳ පසෙක හිඳ, තමතමන් දුටු කරුණු, තම තමන් ඉදිරියෙහි සිදු වූ දේ, පිළිවෙළින් දන්වා, මෙසේ වන්නට මොවුන් කළේ කුමක් දැ? යි ඇසූහ.
ඉක්බිති බුදුරජානන් වහන්සේ; මහණෙනි! යටගිය දවස, බරණැස් නුවර ගොවියෙක් විසී ය. ඔහු තම වැඩට ගොනකු හික්ම වන්නේ, හික්මවා ගත නො හැකි වි ය, ඌ ටික දුරක් ගොස් බිම වැතිර ගණියි, තළා පෙළා නැගිටුවනු ලබන්නේ ද නැවැතත් ටික දුරක් ගොස් බිම ලගියි, ගොවියාට තමන් කැමැති සේ ඌ හසුරුවා ගත නොහැක්කේ ය, ඒ තැන දී මොහු කෝපයෙන් මැඩුනේ, ගොනා පිදුරුවලින් වෙළා පිදුරු මිටියක් සේ කොට ගිනි දැල් වී ය, ගොනා මුළුමනින් දා හළු වී ගියේ ය, අද මේ කපුටු එදා ඒ ගොවිය, එදා ඒ කළ පාපකර්‍මයෙහි විපාකය අද මේ කපුටු වින්දේ ය, මහණෙනි! මේ ම, එහි දරුණු විපාක නො වේ, මූ මේ දරුණු පවින් දිගුකලක් මුළුල්ලෙහි නිරයෙහි පැසී, නොයෙක් කටුක දුක් වින්දේ ය. මෙසේ විඳ ඉතිරි වූ ස්වල්පකර්‍මයාගේ විපාක වශයෙන් සිවුවරක් ම කපුටු ව මේ ලෙසින් අහසෙහිදී ම දැවී මළේ ය, මහණෙනි! මේ පස්වන වරය.
මහණෙනි! යටගිය දවස, බරණැස් නුවර ගැහැවියෙක් වි ය, ඔහුගේ අඹුව දැකුම් කලු ය, ඕ ගේදොර දිය ඇදුම් වීකෙටුම් බත් පිසුම් ඈ හැම කටයුත්තක් ම සියතින් කරමින් සැමියාගේ සිත් ගෙණ විසූ ය, එහි ගෙදර වැඩූ බල්ලෙක් වි ය. ඌ දින පතාම ගේ දොර වැඩපල කරණ ඒ ගැහැණිය දෙසට මුණ ලා බිම ලැග හිඳියි, කුඹුරට බත් ගෙණ යන විට, දරපලා පිණිස කැලයට යන විට ඈ හා එක් ව යයි, පෙරළා එන විටත් එසේ ම එයි, ඒ දුටු ගම්වැසි තරුණයෝ “බලුවැදි ගෙන් නික්මුනේ ය, අද මසුත්, සමග හොඳ හැටි කෑ හැකි ය” යි කවටකම් කරත්, ඕ එයින් ලජ්ජාවට පැමිණ, ගල් කැට ලී කැබලි ආදියෙන් ගසා බල්ලා පලවා හරියි, ඌ එයින් ටිකක් නැවතී සිට නැවතත් ඇය. ලුහුබැඳ යයි, මහණෙනි! මේ බලු අනෙකෙක් නො වේ, මෙයට තෙවන අත්බවෙහි මේ ස්ත්‍රියගේ හිමි ය, එදා හටගත් ස්නේහය. සිඳ හරින්නට නො හැකි ව මෙසේ ජාතියෙන් ජාතියට ලුහුබැඳ යයි, මහණෙනි! මේ සසර ඇවිදින ගැහැණු පිරිමි අතර අඹු සැමියන් සේ කල් නො යැවූ එක ද ගැහැණි යක් නැත, එක ද පිරිමියෙක් නැත, එක් ම ගැහැණිය, ඇති තාක් පුරුෂයන්ට අඹු වූ ය, එසේ ම එක් ම පුරුෂයා, ඇති තාක් සත්‍රීන්ට ස්වාමිපුත්‍ර වි ය, මත්තෙහි ද එසේ ය, එහෙයින් අග මුලක් නැති මේ සසරෙහි හැම සත්‍රී පුරුෂයෝ ම අඹුසැමියන් සේ කල් යැවූහ, ඉදිරියෙහි ද කල් දවස් යවන්නාහ, වඩා නො දුරෙහි වූ අත්බැව්හි නෑයන් කෙරෙහි ස්නේහය බලවත් ව පවතී, එහෙයින් මෙයට තෙවන අත්බවේ දී තමාගේ අඹු ව සිටි ඇය කෙරෙහි බල්ලාගේ ස්නේහය අධික වි ය, බල්ලා ඒ ස්නේහය හැර දැමීමෙහි අපොහොසත් වි ය. දිනෙක, ඕ තම හිමියාට කැඳ අවුළුපත් ගෙණ කුඹුරට යන්නී, බල්ලා කෙරෙහි නැගි කෝපයෙන් රැහැනකුත් ඉණ සහවා ගෙණ ගියා ය, බලු ඇය පස්සෙහි ගියේ ය. අනතුරුව ඕ හිමියාට කැඳ අවුළුපත් දී හිස් කළයක් ගෙන ලිඳක් ලඟට ගොස් කළය වැල්ලෙන් පුරවා බල්ලාට අඩ ගෑ ය, බලු ඉතා ආදරයෙන් වලිගය සොලවමින් ඈ වෙතට ගියේ ය, එ කෙණෙහි රැහණ කොණකින්, බලාගේ බෙල්ල තද කොට බැඳ, අනික් කොණේ කළය බැඳ, කළය ලිඳ තුළට බෑවා ය, බලු කළයත් සමග ඇදී ගොස් ලිඳට වැටී මළේ ය, මෝ, ඒ පාපකර්‍මයාගේ විපාක වශයෙන් දිගුකලක් අපායයෙහි පැසී, විපාකාවශේෂ වශයෙන් අත්බව් සියයෙක ම වැලිකළ බෙල්ලෙහි බැඳ, දියෙහි දමන ලදි, කලුරිය කළා ය, මහණෙනි! මේ ඇය විසින් ඒ විපාකය විඳි සියක්වන අත්බව ය,
මහණෙනි! තමුසේලා විසින් ද මේ විඳින ලද්දේ පෙර, කළ පවෙක විපාකයෙකි, මම ඒ ද තමුසේලාට කියමි, යටගිය දවස, බරණැස ම වාසභූමි කොට සිටි ගොපලු දරුවෝ සත් දෙනෙක් වූහ. ඔවුහු ගෙරිසරක් ගෙණ තණ කවමින් සතියෙන් සතිය කැලෑ පෙදෙසට යති, දවසෙක ගෙරිසරක් තණ කවා ගෙණ එන්නෝ, අතර මගදී මහතලගොයකු දැක ඌ පස්සෙහි ලුහුබැඳ දිවූහ, තලගොයා පලා ගොස් තුඹසක් තුළට වන, ගොයා වැදුනු තුඹසෙහි, සත් තැනෙක සිදුරු තිබෙනු දැක “දැන් මොකකුත් කරනු බැරිය, කරදර වීමෙන් වැඩෙක් නො වේ හෙට අවුත් මූ අල්ලා ගණිමු” යි සත් දෙන ම එක් සිත් ව එකෙකා එක් එක් කොළකැටිය බැගින් ගෙණවුත්, ඒ සිදුරු හත වසා ගියහ. පසුදා එය ඔවුනට අමතක වි ය, එහෙයින් ඔවුහු වෙනතක ගොස්, එහි සතියක් හරක් තණ කවමින් ගත කළහ, සතිය ගෙවා. එ මගින් ම එන ඔවුහු තුඹස දැක, සිහිපත් වී “තලගොයාට වූයේ කිමැ, යි බලමු” යි තුඹස වෙත ගොස් තම තමන් සිදුරුවල ගැසූ කොළකැටි ඉවත් කළහ, ඇට සම් පමණක් ඉතිරි ව සිටි ගොයා ද, වෙව්ලමින් ගැහි ගැහී තුඹසින් එලියට ආයේ ය, ඔවුහු ගොයා දැක, හටගත් කරුණා ඇති ව “මූ මැරීම නො සුදුසු ය. වැඩෙක් ද නැත, තිබෙන්නේ ඇට හා සම ය, මස් ටිකකුත් නැත, සත් දවසක් ම කෑම නැති කමින් මූ වෑරී ගොස් ය, බඩ ගා යනුත් බැරි ය, මූ මරා කුමට පව් ගණිමු දැ” යි කතා කොට යන්නට අත්හැර දැමූහ, මෙසේ ඔවුහු, ගොයා නො මැරූ නිසා නිරයෙන් නිදහස් වූහ. එහෙත් පාපකර්‍මය ලුහුබැඳ ආයේ ය, සති දෙකක් එකතු ව, තුදුස් අත්බවක සත් දවස, සත් දවස, කෑමට කිසිවක් නො ලැබූහ, බීමට පැනක් නො ලැබූහ, මහණෙනි! මා දැන් කී ඒ කර්‍මය කළෝ තමුසේලා ය, එදා තමුසේලා ගොපලු කොල්ලෝ ය, අද මාගේ සසුන්හි පැවිදි ව සිටියෝ ද, එදා කළ ඒ කර්‍මයෙහි දරුණු විපාකය තමුසේලාට මෙසේ විඳින්නට සිදු වී ය, යි ඔවුන් ඇසු ප්‍රශ්න මෙසේ පහදා දුන් සේක.
එ වේලෙහි එහි සිටි මහණෙක් දණ බිම ඔබා හිඳ, “ස්වාමිනි කිම, පව් කොට අහස ඉගිලුනත්, මූද වැටුනත්, කඳු ගුහාවන්ට වැදුනත්, කළ පව්කමින් නිදහසෙක් නෑ නො වේ දැ” යි බුදුරජුන් විචාළේ ය. “මහණ, එසේ ය, නිදහසෙක් නො ලැබේ, අහස් ආදී කො තැනක සිටියත් පවින් ගැලවීමෙක් නැත, කළ පව් කමින් නිදහස් වීමට මෙලොව කො තැනකත් නැත, කො තැන සිටියත් පව්කමට ඉඩ ඇත්තේ ය, පාපකර්‍මයෙන් නිදහසක් නැතැ” යි වදාරා අනුසන්‍ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක:
න අන්තලික්ඛෙ න සමුද්දමජ්ඣෙ
න පබ්බතානං විවරං පවිස්ස,
න විජ්ජති සො ජගතිප්පදෙසො
යත්‍ථට්ඨිතො මුච්චෙය්‍ය පාපකම්මාති.
යම් තැනෙක සිටි සත්ත්‍ව තෙමේ පව්කමින් මිදෙන්නේ නම්, එබඳු බිම් පෙදෙසෙක් (මෙලොව කොතැනකත්) නැත. අහසෙහි ද නැත. මුහුද මැද ද නැත. කඳුවිවරයන්ට වැදද නො මිදෙන්නේ ය.
න අන්තලික්ඛෙ = අහසෙහි නැත.
අහසට නමෙකි අන්තලික්ඛ යනු. යමක් කරණ කොට ලෝකය වස්තුනානාත්‍වය දකී ද, ඒ ය අන්තලික්ඛ. ‘තෙසං තෙසං වත්‍ථුනං අන්තරං නානත්තං ඉක්ඛතෙ ලොකො එතෙනාති = අන්තලික්ඛං’ යනු වාක්‍යයි. සංස්කෘතයෙහි ‘අන්තරික්‍ෂ - අන්තරීක්‍ෂ’ යි ශබ්ද දෙකක් දන්නා ලැබේ. යමක්හුගේ මැද තාරකාවෝ වෙත් නම්, තාරකාවන්ගේ ඒ ආධාරස්ථානය, අන්තරික්‍ෂ-අන්තරීක්‍ෂ නමින් හඳුන්වනු ලැබේ. ‘අන්තර් මද්ධ්‍යෙ ඍක්‍ෂාණි නක්‍ෂත්‍රාණි යස්‍ය තත් = අන්තරීක්‍ෂම්’ යනු වාක්‍යයි. භූලෝක ස්වර්ලෝක දෙක මැද දක්නා ලබන්න ආකාශය යි. ‘ද්‍යාවා පෘථිව්‍යො මද්ධ්‍යෙ ඊක්‍ෂ්‍යමාණං ව්‍යොම’ යනු දන්නේ ය. පක්‍ෂීන්ගේ හා වලාකූටයන්ගේ සංචරණස්ථානය යි.
න සමුද්දමජ්ඣෙ = මුහුද මැද නැත.
ජලසමූහයස්ථානය, සමුද්ද නම්. සඳ උදාවීමෙහි දී ඒ ජලස්කන්‍ධය තදින් සීත වන බැවින් එසේ කියනු ලැබේ. ‘සම්මා ක්ලීදන්ති චන්‍දොදයෙ අස්මා ආපානීති = සමුද්දො’ යනු ඒ දක්වන්නට කීහ. ජලය පමණට ලුණු මෙහි වේ, නු යි ද සමුද්ද, යි කියත්. ‘සමං උදකෙන ලොණං එත්‍ථාති වා = සමුද්දො’
මිලිඳු රජු විසින් අසනු ලැබු නාගසේන ස්ථවිරයන් වහන්සේ විසින් “මහරජ! ජලසමූහස්ථානයෙක යම් පමණ දිය වේ නම්, එ පමණ ම එහි ලුණු වන්නේ ද, යම් පමණ ලුණු වේ නම්, එ පමණම එහි දිය වන්නේ ද, ඒ මේ ජලසමුහය, සමුද්ද නම් වේය” යි වදාළ වවනය මෙය සාර්‍ත්‍ථක කරන්නේ ය.
‘අට්ඨහි අච්ඡරියබ්භූතධම්මෙහි සමන්නාගතත්තා සමුද්දති අත්තසන්නිස්සිතානං මච්ඡමකරාදීනං පීතිසොමනස්සං පසවති ජනෙතීති = සමුද්දො’ අරුම පුදුම කරුණු අටකින් යුක්ත බැවින්, තමන් ඇසුරු කරණ මත්ස්‍යමකරාදි සත්ත්‍වයනට තුටු පහටු බව උපදවන්නේ සමුද්ද නම්, යනු එහි අරුති.
මුහුද, වටින් වක්‍රවාට පර්‍වතය පැහැර සිටියේ ය. වෙරල පටන් අඟුල, දැඟුල, වියත, දෙ වියත, රියන, දෙ රියන, යට, දෙ යට, ඉස්බ, දෙ ඉස්බ, ගව්ව, දෙ ගව්ව, යොදුන, දෙ යොදුන, දස යොදුන, සිය යොදුන, දහස් යොදුන යන ඈ ලෙසින් ගැඹුරු ව ගොස් මහමෙර සමීපයෙහි සූවාසූ දහසක් යොදුන් ගැඹුරැති ව සිටියේ ය. ‘මහාසමුද්දො භික්ඛවෙ, අනුපුබ්බනින්නො අනුපුබ්බපොණො අනුපුබ්බපබ්භාරො’ යන බුද්ධ චවනය එයට සාධක වේ.
මෙහි පත්ලෙහි සිට යොදුන් සතළිස් දහසක් පමණට නැගී සිටි ජලය, යොදුන් දෙ සිය, තුන් සිය, පන් සිය, දස දහස පමණ දිගැති තිමි - තිමිඞ්ගල - තිමිරපිඞ්ගල - ආනන්‍ද - තිමින්‍ද - අන්‍ධාරෝහ - මහාතිමි යනාදී වූ මහමසුන් නිසා සැලෙන්නේ ය. මූද හරි මැද සාර දහසක් යොදුන් පමණ උස් වූ දිය කඳ නො සැලී සිටියේ ය. ඉන් මතු කොටසෙහි යොදුන් සතළිස් දහසක් පමණ වූ දියකඳ රළගැටිමෙන් සැලෙන්නේ ය.
මහාසමුද්‍රයෙහි ම ඒ ඒ තැන, ඛුරමාලීසමුද්ද - අග්ගිමාලීසමුද්ද - දධිමාලීසමුද්ද - කුසුමාලීසමුද්ද - නළමාලීසමුද්ද - පවාළනාළීසමුද්ද යි නම් සයක් යොදා හඳුන්වනු ලැබේ.
මුහුදෙහි, යම් තැනෙක, දිය, විදුරුවැල්ලෙන් ආලෝකවත් වී ද, මිනිස් පමණ ඛුරනාසා ඇති මත්ස්‍යයෝ, ඔප් නැගු කර සමුහයක් සේ දිය ඉපිල ගිලෙත් ද, ඒ සමුද්‍රඛණ්ඩය, ඛුරමාලි නම්. පත්ලෙහි වූ රත්වැල්ලෙන් විහිද ගිය රන්රැස් නිසා ජලතලාව මැදි දවල් හිරු සේ බබලා ද, ඒ සමුද්‍රඛණ්ඩය, අග්ගිමාලී නම්. යම් මුහුදු පෙදෙසක් දිය දධිපටලයක් සේ වේ ද, ඒ දධිමාලි නම්. යම් තැනෙක දිය, ඉඳුනිල්මිණි වැල්ලෙන් විසිර ගිය නිල්පැහැයෙන් යුක්ත ද, නිල්කුසතණ සේ බබලා ද, ඒ කුසුමාලී නම්. යම් තැනෙක දිය වංශරාගමාණික්‍යයන්ගේ බහුලභාවය නිසා තරුණ හුණවනයක් සේ පෙන්නේ ද, ඒ නළමාලී නම්. යම් තැනක දිය රිවිමඬලක් සේ රත්පැහැ වේ ද, ඒ පවාළනාළි නම්.
මහාසමුද්‍රය, ක්‍ෂීරසමුද්‍ර - නීලසමුද්‍ර - ප්‍රවාලසමුද්‍ර - ස්වර්‍ණසමුද්‍ර යි කොටස් සතරකට බෙදාත් ව්‍යවහාර කෙරෙත්. මහාමේරු පර්‍වතයෙහි පෙර දිග සුදු පැහැයෙන් යුක්ත බැවින්, ඒ කොටස ක්‍ෂීර සමුද්‍රය, යි ගණිත්. ඒ ලෙසින් දකුණු දිග කොටස නීලසමුද්‍ර, යි ද, පැසුළු දිග කොටස, ප්‍රවාලසමුද්‍ර, යි ද, උතුරු දිග කොටස, ස්වර්‍ණසමුද්‍ර, යි ද ගණිත්..
මහමෙරට හා යුගන්‍ධරයට අතර සුවාසූ දහසක් යොදුන් පුළුලැති මුහුදු කොටස, සීදන්තසමුද්‍ර, යි. කියත්. එහි දිය ඉතා සියුම් ය. මොනර පිලක් බැහූයේ ද, ඒ එහි ගැලෙන්නේ ය. එහෙයිනි සීදන්ත නම්. මෙසේ කූලපර්‍වතයන්ගේ අතර ගෙණ සීදන්තසමුද්‍ර, සතෙකැ, යි ආචාර්‍ය්‍යවරයෝ කියත්.
මෙකල ශාන්තිකර සමුද්‍ර - අත්ලන්තික සමුද්‍ර - දක්‍ෂිණ සමුද්‍ර - ඉන්දීය සමුද්‍ර - උත්තර සමුද්‍ර, යි සමුද්‍රය පසකට බෙදත්.
මොවුනතුරෙහි ශාන්තිකරසමුද්‍රය, අන්‍ය සමුද්‍රයනට වඩා, විශාල වේ. එහි දිය, දියපාර, රැල ආදිය අඩු බැවින් නිසල ව පවති. අත්ලන්තිකසමුද්‍රය, ඉතා කුඩා ය. එහෙත් බියකරු ය. ඉන්දීය සමුද්‍රය, කන්‍යාකුමාරියෙන් දකුණෙහි වූයේ ය. දක්‍ෂිණ සමුද්‍රයෙහි දිය, ශෛත්‍යයෙන් කැටි වූයේ, ගල් සේ පවතී. උත්තර සමුද්‍රයෙහි දිය ඉතා සීතල ය. ඒ වටා පිහිටි දිවයින්හි මිනිසුන්ට වසනු නො හැකි ය.
මහාසමුද්‍රයෙහි මහාමේරු පර්‍වතයට සමීපයෙහි දිය, වැඩී මතු වන්නේ ය. වැඩුනු ඒ දිය, හාත්පසින් උඩ නැගී ගොස් බිහිසුණු හඬ නගමින් නැවැත මුහුදට ඇද හැලෙන්නේ ය. ඒ දියකඳ වැටුනු තැන දිය දෙ කඩ ව ගොස් යොදුන් ගණන් දිග පළලැති ගැඹුරු වළෙක් සැදී සිටි යි. එතැන, වඩබාමුව, යි කියත්. දියකඳ උඩට නැගී නැවැත වැටීමේ දී එහි උපදින ශබ්දය වඩාමුව හඬැ, යි ගණු ලැබේ.
වෙළඹක ස්වරූපයෙන් මුහුදු පත්ලෙහි හැසිරෙන ප්‍රලය වහනිය, වඩබාමුවැ, යි වෛදිකයෝ කියත්.
මුහුදුපත්ලෙහි වූ ගිනිකඳු පිපිරී යෑමෙන් හටගන්නා විවරයන්ට ඇද ගන්නා දියපාර, වඩබාමුවැ, යි ඇතැම් සාමුද්‍රික ශාසත්‍රඥයෝ කියත්.
ලෝකය, හටගැණීමේ දී සඳහිරු පහළ වීමෙන් පසු සිනෙරු - චක්කවාළ - හිමවන්තාදිපර්‍වතයෝත්, ද්වීපසමුද්‍රාදීහුත් පහළ වෙති. එහි දී පොළොවෙහි උස්ව සිටි තැන් පර්‍වත, යි ද වළතැන් සමුද්‍ර, යි ද, සම වූ තැන් ද්වීප, යි ද, ගත්හ. පර්‍වතාදී මේ වස්තුන්ගේ හටගැණීම ස්වභාවික ය. මේ වස්තූහු, බ්‍රහ්මවිෂ්ණුමශ්වෙරකර්‍තෘක නො වෙත්.
මුහුදුදිය, කලෙක පිරිහෙන්නේ ය. කලෙක වැඩෙන්නේ ය. මේ දෙකට කරුණු වනුයේ, චන්‍ද්‍රයාගේ පිරීහීම හා වැඩීම ය. චන්‍ද්‍රයාගේ පිරිහීම කෘෂ්ණපක්‍ෂයෙහි වන්නේ ය. වැඩීම ශුක්ල පක්‍ෂයෙහි වන්නේ ය. චන්‍ද්‍රයාගේ මේ ක්‍ෂය වෘද්ධිය අනුව සමුද්‍ර ජලයාගේ ක්‍ෂයවෘද්ධිය වේ. සමුද්‍රජලය පිළිබඳ මේ ක්‍ෂයවෘද්ධිය ලෝකයා විසින් වඩදිය, බාදිය, යි හඳුන්වනු ලැබේ.
නූතනයෝ, වඩදියට හා බාදියට කාරණය, චන්‍ද්‍රසූර්‍ය්‍යයන් ගේ ආකර්‍ෂණ බලය, යි කියත්. චන්‍ද්‍රසූර්‍ය්‍යයන් කෙරෙහි වූ ඒ ඒ වස්තුන් ඇද ගැණීමේ බලය හේතු කොට අමාවක - පසළොස්වක යන දෙ දිනයෙහි වන්නා වූ වඩදිය, බාදිය දෙක මහවඩදිය මහබාදිය, යි ද, අමාවක්හි චන්‍ද්‍ර - සූර්‍ය්‍ය - පාථිවී යන මේ ග්‍රහයන් සම කෝණාකාර ව පිහිටන බැවින්, චන්‍ද්‍ර- සූර්‍ය්‍යයන් කරා ඇදී යන ජල ප්‍රමාණය, අමාවක - පසළොස්වක දෙ දිනයෙහි ඇදී යන ජලය සේ, මහත් නො වන බැවින්, සුලුවඩදිය - සුලුබාදිය යි ද කියත්. අමාවක් දිනයෙහි සූර්‍ය්‍යයා පොළොවට ඉතා ඈත්හි පිහිටයි. චන්‍ද්‍රයා ලංව පිහිට යි. ඔවුන්ගේ ආකර්‍ෂණ - බලය හේතු කොට, පොළොවෙහි ඇති ජලය - වාතය - පස් යන මේ ආදිය ඇදී යයි. පොළොව පෙරළෙන වස්තුවක් වුව ද එක් පසකට දිය ඈ ඇදී ගිය කල්හි පොළොවෙහි සමබර නැති වීමෙන් එය පරිවර්‍තනය නො වන්නේ ය. එහෙයින් එ පමණ ම දිය කොටසක් විරුද්ධ පාර්‍ශවයට තල්ලු වී යයි. ඒ ඇදී ගිය කොටස මහවඩදිය නමින් හඳුන්වත්. පසළොස්වක්හි ද මෙසේ ය.
න පබ්බතානං විවරං පවිස්ස = පර්‍වතවිවරයට වැද (මිදුමක්) නැත. කඳුගුහාවලට වැද.
‘පබ්බතොති සෙලො, සෙලො හි සන්‍ධිසඞ්ඛාතෙහි පබ්බෙහි සඞ්ගහිතත්තා පබ්බතොති වුච්චති’ පර්‍වත නම් ශෛලය යි, එය සන්‍ධි නම් වූ පුරුක්වලින් බැඳී සිටි බැවින් පබ්බත, යි කියනු ලැබේ. ‘පබ්බං අස්ස අත්‍ථිති වා = පබ්බතො’ සන්‍ධිපුරුක් මොහුට ඇත්තේ, නු යි හෝ පබ්බත නම්, ‘සන්‍ධි සඞ්ඛාතෙහි පබ්බෙහි චිතත්තා පබ්බතො’= සන්‍ධි නම් පුරුක් වලින් වැඩුනු බැවින් පබ්බත නම්. ‘පර්‍වති පුරයතීති = පර්‍වතඃ, පර්‍වාණි භාගාඃ සන්ත්‍යත්‍රෙති = පර්‍වතඃ’ යනු පරකීය වාක්‍යයි.
ශිලාපර්‍වත පාංශුපර්‍වත, යි පර්‍වතයෝ දෙපරිදි වෙත්. මහමෙර, ලෝකයෙහි විශාලතම පර්‍වතය, යි කියත්. එය මූද මැද ත්‍රිකූට නම් පර්‍වත තුනක් මතු පිට පිහිටියේ ය. එක්ලක්‍ෂ අට සැට දහසක් උස ය. සටහන් විසින් බෙරයක් සේ ය. අට පැහැයකින් බබලයි. යොදුන් සුවාසූ දහසක් මූදුදියෙහි ගැලී සිටි යි. දියෙන් මතු පිට ද එ පමණ ම වේ. අයමින් සුවාසූ දහසක් යොදුන. විතරින් සුවාසූ දහසක් යොදුන.
මහමෙර වටා සුවාසූ දහසක් යොදුන් උස ඇති යුගන්‍ධර පර්‍වතය පිහිටියේ ය. එහි දෙසාළිස් දහසක් යොදුන් දියෙහි ගැලී ගියේ ය. දියෙන් මතු පිට සිටියේ ද එ පමණ ය. එය වටා පිහිටියේ ඊශධර පර්‍වතය යි. එය යොදුන් දෙ සාළිස් දහසක් උස ය. දිය යට එක්විසි දහසෙකි. දිය මතු පිට ද එ පමණ ය. ඒ වටා කරවීක පර්‍වතය පිහිටියේ ය. එහි පමණ යොදුන් එක් විසි දහසෙකි. අඩක් දියෙහි ගැලී සිටියේ ය. දිය මතුපිට ද එ පමණ ය. කරවීක පර්‍වතය වටා සුදර්‍ශන පර්‍වතය වේ. එය දස දහස් පන් සියයක් යොදුන් උස ය. අඩක් දිය යට ය. අඩක් දිය මතු පිට ය. සුදර්‍ශන පර්‍වතය වටා යොදුන් පන් දහස් දෙ සිය පනසක් උස් වූ නෙමින්‍ධර පර්‍වතය වේ. අඩක් දිය යට ය. අඩක් මතු පිට ය. නෙමින්‍ධර පර්‍වතය වටා විනතක පර්‍වතය වේ. එය යොදුන් දෙ දහස් ස සිය පස් විස්සක් උස් වේ. අඩ, අඩ දිය යට හා මතුපිට ය. විනතක පර්‍වතය වටා අස්වකර්‍ණ පර්‍වතය වේ. යොදුන් එක් දහස් තුන් සිය දොළොසක් උස් වේ. අඩ, අඩ දිය යට හා මතුපිට ය
චක්‍රවාටයන්ගේ ගණනක් නො දැක්විය හැකි ය. ඔවුහු අනන්තයහ. එහි එසේ ම චක්‍රවාටපර්‍වතයෝ ද වෙති. සක්වළක් පාසා චක්‍රවාට පර්‍වතයෙක් වේ. චක්‍රවාටයෙක් චක්‍රවාට පර්‍වතයකින් වටකරණ ලද්දේ වේ. ‘ලොකධාතු නෙමිමණ්ඩලසදිසෙන චක්කවාළපබ්බතෙන සමන්තතො පරික්ඛිත්තත්තා චක්කවාළන්ති වුච්චති’ යනු ආචාර්‍ය්‍යවචනයි. මහා සමුද්‍රය වටා ඒ ඒ තැන මහාද්වීප සතරෙක් වේ. ජම්බුද්වීප - අපරගොයාන - උත්තර කුරු - පූර්‍වවිදේහ යි. මෙයින් මහත්තම වන්නේ ජම්බුද්වීපය යි. එහි දිග පළල යොදුන් දස දහසෙකි. එහි හිමාලය පර්‍වතය පිහිටියේ ය. එය තුන් දහසක් යොදුන් පැතිර සිටියේ ය. හිමයට ස්ථාන බැවින්, හිමාලය නම් වී. යොදුන් පන් සියයක් පමණ උස ය. සුවාසූ දහසක් රන්රිදී මැණික් පර්‍වතවලින් හොබනේ ය. එහි වූ අනවතප්ත විල වටා සුදර්‍ශනකුට - චිත්‍රකූට - කාලකූට - ගන්‍ධමාදනකූට - කෛලාසකූට, යි පර්‍වත පසෙක් පිහිටියේ ය. සුදර්‍ශනකූටය, උසින් යොදුන් දෙ සියයෙකි. අනික් පර්‍වත සතර ද උසින් එ පමණ ම වේ. පළලින් පනස් යොදුනෙකි. දිගින් දෙ සිය යොදුනකි. ෂඩ්දන්තවිල වටා චුල්ලකාල - මහාකාල - උදකපාර්ශ්ව - චන්‍ද්‍රපාර්ශ්ව - සූර්‍ය්‍යපාර්ශ්ව - මණිපාර්ශ්ව - ස්වර්‍ණපාර්ශ්ව, යි. පර්‍වත සතෙක් ඇත්තේ ය. ඔවුනතුරෙහි ස්වර්‍ණ පාර්ශ්ව පර්‍වතය, සත් යොන්නක් උස් වේ. මණිපාර්ශ්ව පර්‍වතය ස යොන්නක් උස ය. සූර්‍ය්‍යයපාර්ශ්ව පර්‍වතය, පස් යොන්නකි. චන්‍ද්‍රපාර්ශ්ව පර්‍වතය, සිවු යොන්නකි. උදකපාර්ශ්ව පර්‍වතය, තුන් යොක්කකි. මහාකාල පර්‍වතය, දෙ යොන්නකි. චුල්ලකාලපර්‍වතය එක් යොන්නකි.
ලෝකයෙහි වූ පර්‍වත අතුරෙහි හිමාලය - හේමකූට - නිෂධ - නීල - ශ්වේත - භෘඞ්ගවත් - මේරු - මාල්‍යවත් - ගන්‍ධමාදන - මහේන්‍ද්‍ර - මලය - සභ්‍ය - ශුක්තිමත් - ඍක්‍ෂවත් - වින්‍ධ්‍ය - පාරිපාත්‍ර - කෛලාසමන්‍දර - ලෝකාලෝක - මහත් යන පර්‍වත ශ්‍රේෂඨපර්‍වත, යි පුරාණයෝ කියත්.
ලෝකයෙහි මෙයින් අන්‍යවූත් පර්‍වත විය යුතු ය. එසේ ම උස්මිටිකම්වලින් ද වෙනස් විය යුතුය. ඒ හැම පර්‍වත කෙනෙක් ම ගාථාවෙහි එන ‘පබ්බතානං’ යන පදයට ඇතුළත් කළ හැකිය.
විවර ශබ්දය, ඡිද්‍ර - දූෂණ - අපරාධ යනාදී අරුත්හි එයි. මෙහි ඡිද්‍රය කියවේ. ඡිද්‍ර නම් සිදුරු ය.
න විජ්ජති සො ජගතිප්පදෙසො = එබඳු බිම් පෙදෙසක් නැත.
‘ගච්ඡන්ති යස්සං සා ජගති’ යම් තැනෙක යෙත් නම් ඒ ජගති නම්. භූමිය හා ගෙමිදුල කිය වේ. මහියං ජගති වුත්තා ‘මන්‍දිරාලින්‍දවත්‍ථුනි’ යනු කෝෂ යි. මෙහි ආයේ භූමියෙහි ය. එහෙයින් වාක්‍යයෙහි ‘ යස්සං’ යි කීහ. ‘ පදෙස’ නම්, කොටස ය. බිම් පෙදෙසැ, යි කීයේ එහෙයිනි. පදෙස යනු, කොයි දෙයක වුවත් කොටසක් ගැණීමේ දී යෙදිය හැකි ය. ‘පදිස්සතීති = පදෙසො’ යනු නිරුක්ති යි.
මහාපටඇඟිල්ල හා ඩබරැඟිල්ල විදහා ගත් කල ඒ දෙක අතර, පදෙස, යි ද කියනු ලැබේ. ‘තජ්ජනීයයුත්තෙ අංගුට්ඨෙ තතෙ පදෙසො’ යනු කොෂයි.
යත්‍ථට්ඨිතො මුඤ්චෙය්‍ය පාපකම්මා = යම් තැනෙක සිටි සත්ත්‍ව තෙමේ පව්කමින් මිදෙන්නේ නම්.
ඉදින් යමෙක් “මේ උපායයෙන් තමන් කළ පව්කමින් මිදෙන්නෙමි” යි අහස සිටියේ ද, අසූසාර දහසක් ගැඹුරැති මුහුද මැද සිටියේ ද, පර්‍වතවිවරයෙක සැඟවී ගත්තේ ද, පව්කමින් නො මිදෙන්නේ ය. පූර්‍ව පශ්චිමාදී වූ කිසිත් බිම්පෙදෙසක පව් කමින් මිදිය හැකි කෙසගක් පමණ වූත් අවකාශයෙක් නැත්තේ ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ භික්ෂූහු සෝවාන් ඵලාදියට පැමිණියෝ ය. ධර්‍මදේශනාව මහාජනයාට වැඩ සහිත වූ ය.
භික්‍ෂූන් තෙනමකගේ කථාවස්තුව නිමි.