1-1 ශුෂ්කවිදර්‍ශකක්‍ෂීණාශ්‍රව චක්ඛුපාල ස්ථවිරයන් වහන්සේ

මනොපුබ්බඞ්ගමා ධම්මා මනොසෙට්ඨා මනොමයා

මනසා චෙ පදුට්ඨෙන භාසති වා කරොති වා

තතො නං දුක්ඛමන්වෙති, චක්කං’ව වහතො පදං.

(වේදනාදි) චෛතසිකධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් කිලිටි සිතින් (මුසාවාදාදී චතුර්විධ වාග්දුශ්චරිතය) කියන්නේ නම් හෝ (ප්‍රාණඝාතාදී ත්‍රිවිධ කාය දුශ්චරිතය) කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් දුක ඔහු ලුහු බඳියි. ගොනු අනුව යන ගැල් සක මෙනි.

දඹදිව බුදු පසේබුදු මහරහතුන්ට, සක්විත්තන්ට, මහදනු මැතිනියන්ට, මහදනැතියන්ට වාසස්ථාන බැවින්, අන් දිවයිනට වඩා ඉතා උතුම් ය. මහාමේරු පර්‍වතයට උතුරු දිගද, චක්‍රාවාට පර්‍වතයට දකුණු දිග ද පිහිටියේ ය. ගැලක සටහන් ඇත්තේ, තුණැස් වූයේ, දිගින් හා පළලින් දස දහසක් යොදුන් පමණින් ගණින ලද්දේය. කොදෙව් පන්සියයකින් විසිතුරු වූයේ ය. දඹදිව ඒ මේ යොදුන් දස දහසින් සාර දහසක් පමණ තැන, මුහුදට යටව ගියේ ය. තුන් දහසක් පමණ තැන ය, මිනිසුන්ට වාසස්ථාන වූයේ.

නො කියැකි නො දතැකි දිගු කලක සිට, කපක් සිටුනා මහදඹ ගසක් නිසා, ප්‍රසිද්ධියට ගිය මෙම දිවයිනෙහි අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, චෙති, වංස, කුරු, පංචාල, මච්ඡ, සූරසේන, අස්සක, අවන්තී, ගන්ධාර, කාම්බෝජ යන මොවුහු අපගේ බුදුරජුන් දවස දියුණුව අතින් ඉතා උසස් තැන්හි තුබූ සොළොස් මහාජනපදයෝ ය.

පිරූ පැරුම්බලයෙන් මරුරුපුන් ඔබා ජය ගෙණ බුදුබව ලත් අප තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ, ලොවට වැඩ වඩමින් රජදනව්හි සැරි සරනුවෝ, ඒ ඒ ජනපදයනට අයත් චම්පා, කජංගලා, උග්ග, අස්ස, අංගුත්තරාප, ආපන, භද්දිය, රාජගහ, නාලන්දා, අම්බසණ්ඩා, කල්ලවාල, අන්ධකවින්ද, මහාතිත්ථ, හාලක, පාටලී, එකනාලා, භාණුමත, බාරාණසී, සාවත්ථී‍, සාකේත, ආලවී, වේසාලී, බේලුව, කොටි, කපිලවාස්තු, කුසීනාරා, පාවා, අනුපිය, කෝසම්බී, සංකස්ස, වේරඤ්ජා, යනාදී වූ ගම්, නියම්ගම්, මහ නගරයන්හි රාජරාජමහාමාත්‍යාදීන් විසින් සැදැයෙන් කරවන ලද මහා විහාරයන්හි චතුර්විධබ්‍රහ්මවිහරණයෙන් යෙදී වැඩ වාසය කළ සේක.

දෙවිබඹුන් සහිතලෝකයාට හිත වැඩ පිණිස බුදුරජුන් වැඩ වාසය කළ මහවෙහෙර අතුරෙහි, සැවැත්නුවර අනාථපිණ්ඩික මහසිටානන් විසින් සිව්පණස් කෙළක් ධන වියදම් කොට ජෙතවනඋයන්හි කරවා පිළිගැන්නූ දෙව්රම් මහවෙහෙර දසනව වසක් ද, විසාඛාවන් විසින් සත්විසි කෙළක් ධන වියදම් කොට, පූර්‍වාරාමයෙහි සවසක් ද, යි සැවැත්නුවර පස් විසි වසක් වැඩ වාසය කළහ. අනාථපිණ්ඩික, විසාඛා දෙදෙනාගේ ගුණමහත්වය මෙයට කරුණු විය. ඒ දෙදෙනා දවසට දෙවරක් විහාරයට යති. යන්නෝ ද, “ලදරු හෙරණෝ අප අත ගෙණ බලන්නෝ ය” යි සිස් අතින් නොයති. පෙරවරුයෙහි නම් කෑ යුතු දෙයක් ගෙන්වා ගෙණ යති. ඔවුන්ගේ ගෙවල ද දිනපතා දෙදහස භික්‍ෂූන් වහන්සේ දන් වළඳති. යමෙක් යමක් කැමති වේ නම්, එය ඔහු කැමති සේ එහි සැපයෙන්නේ ය.

මේ කාලයෙහි සැවැත්නුවර සත්කෙළක් පමණ මනුෂ්‍යයෝ ආර්‍ය්‍ය ශ්‍රාවකයෝ ය. දෙ කෙළක් පමණ මනුෂ්‍යයෝ පෘත්ග්ජනයෝ ය. ආර්‍ය්‍යශ්‍රාවකයෝ උදෑසන කාලයෙහි දන් දී සවස් කාලයෙහි බණ අසනු පිණිස සුවඳ මල් ගත් අත් ඇති ව ආහාර පාන වස්ත්‍රාභරණාදිය ද ගෙන්වා ගෙණ ජෙතවනමහාවිහාරයට යන්නාහ.

ධනවතුන්ට හා කුලවතුන්ට වාසස්ථාන වූ එසේ ම හැම එකෙකින් පිරී ගත් මේ මහානගරයෙහි වත් පොහොසත් කම්වලින් කිසිත් අඩුවක් පාඩුවක් නැති මහාස්වර්‍ණ නම් ධනපතියෙක් වාසය කළේ ය. ඔහු විසින් ධාර්මික ව උපයනලද ධනය ද පරිභෝගයට සුදුසු වූ වස්තුව ද ටික නොවී ය. තමන් දැහැමින් සපයන ලද වස්තුව තමන්ගේ ඇවෑමෙන් පරිපාලනය කිරීමට පුතකු වත් දුවක වත් නො ලැබීම මොහුගේ තැවිල්ලට එක් ම හේතු ව විය.

දිනක්, මේ මහාස්වර්‍ණ තෙමේ දිය නෑමට ගංතොටුපලට ගොස් නාලා ගෙදර එන්නේ, අතරමග දී ලොකු කුඩා අතුවලින් වැඩීගිය වන දෙටු රුකක් දුටුයේ, “මේ ශෝභාවත් වූ මහාගස මහේශාක්‍ය වූ දේවතාවක විසින් අයත් කොට ගන්නා ලද්දේ වනැ” යි සිතා, ඒ ගස හාත්පස භූමිය ශුද්ධ කරවා පවුරකින් වට කරවා සුදුවැලි අතුරවා ධජපතාකා නංවා මොනවට අලංකාර කොට “මට පුතකු හෝ දුවක ලබා දුන්නොත්, මේ ගස අරක් ගත් දෙවියන් වහන්සේ මෙයට අධික වූ මහාසත්කාරයෙන් පුදන්නෙමි” යි කියා ප්‍රාර්‍ත්‍ථනා කොට ගියේ ය.

ඒ මේ දේවතාරාධනාවෙන් ටික දවසකට පසු, ඔහුගේ භාර්‍ය්‍යා තොමෝ හටගත් ගැබ් ඇත්තී ඒ බව සිය සැමියාට දන්වා සිටියා ය. එයින් අධිකසන්තෝෂයට පත් මහාස්වර්‍ණ කෙළෙඹි තෙමේ ගැබිනියනට කළයුතු වූ ගැබ් රැකුම් එකකුත් නො හැර සිදු කළේ ය. ඕ තොමෝ ද ලැබූ උපස්ථාන ඇත්තී නිදුක් වූවා, දස මසක් ගිය තැන මහපිණැති එක් පුතකු ප්‍රසූත කළා ය. මහාස්වර්‍ණයෝ අතිශයින් ඔද වැඩුනෝ “තමන් විසින් පාලනය කළ වන දෙටු රුකෙහි අරක් ගත් දෙවියන්ගේ අනුහසින් ලදැ” යි සිතා ලැබූ පුතුට “පාල” යි නම් කළෝ ය. ඉන් ටික කලකට පසුත් කෙළෙඹි භාර්‍ය්‍යා තොමෝ තවත් පුතකු වැදූ ය. ඔහුට “චුල්ලපාල” යි නම් තබා වැඩිමහල්ලාට “මහාපාල” යි නම කළේ ය.

ධනයෙන් කිසිත් අඩුවක් නැත්තා සේ, දැන් දරුවන්ගෙන් ද අඩුවක් නැත ව ජීවත් වන මේ අඹු සැමි දෙ දෙනා තම දරු දෙදෙන නිසා, මහත් සතුටක් ලැබූහ. දරු දෙ දෙනා ද, මවුපියන්ගේ අවවාද අනුශාසනා නොයික්මවා, කීකරු ව එක එකා කෙරෙහි බලවත් සහෝදර ප්‍රේමයෙන් යුක්ත ව වැඩෙමින්, කරකාරබන්ධනයට සුදුසු අවස්ථාවට පත් වූවෝ, මවුපියන් විසින් තම කුලයට සුදුසු කුලයන්ගෙන් අඹුවන් ගෙණවුත් පාවා දී ගෘහජීවිතයට ද ඇතුළත් කරණ ලදහ. මෙසේ ගිහිජීවිතයට පත් වූ ඔවුහු, මවුපියන්ගෙන් තමන්ට අයත් වූ වතු පිටි ගේදොර මිලමුදල් ගව මීගොන් ආදී සියලු වස්තූන් මැනවින් රකිමින්, නිරවද්‍ය වූ ධාර්මික ගෘහස්ථ ජීවිතයක් ගත කළෝ ය. මේ කාලයෙහි දිනෙක සුවඳ මල් ආදිය ගත් අත් ඇති ව ආහාරපාන වස්ත්‍රාභරණාදිය ගෙන්වා ගෙණ, බණ අසනු පිණිස විහාරයට යන ආර්‍ය්‍යශ්‍රාවකසමූහයක් දුටු මහාපාල තෙමේ “මේ ජනයා සුවඳ මල් ආදිය රැගෙණ කො තැනක යෙද්දැ” යි විචාරා දැන, “මමත් බණ අසනු පිණිස විහාරයට යමි” යි ඔවුන් හා එකතුව ගොස් බුදුන් වැඳ ධර්‍මශාලායෙහි එක් කෙළවරක වාඩි ගත්තේ ය. අපගේ ස්වාමිදරු වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ ධර්‍මදේශනා කරන සේක්, ධර්‍මශ්‍රවණය පිණිස එහි පැමිණ සිටින මහාජනයාගේ අදහස් බලා වදාරා, බණ අසන්නන්ගේ අදහසට ගැළපෙන ලෙසින් ධර්‍මදේශනා කරණ සේක. මහාපාලයා බණ අසනු පිණිස පැමිණ සිටි දිනයෙහි ද, උන්වහන්සේ මහාපාලයාගේ හේතු සම්පත් බලා වදාරා, ධර්‍මදේශනා කරණ සේක්, දානකථා, ශීලකථා, ස්වර්‍ගකථා, කාමයන්ගේ දොෂ, කාමයන්ගේ ඇති ලාමකකම, කෙලෙසීම, පැවිද්දෙහි අනුසස්, ගැබ් කොට ගත් ආනුපුබ්බීකථාව දේශනා කළ සේක.

බුදුරජුන් දෙසූ මේ ධර්‍මකථාව ඇසූ මහාපාල තෙමේ “පර ලොව යන්නහු කැටු ව තමන් විසින් උපයා තැන්පත් කළ වස්තුවෙන් කිසිවක් නො යන්නේ ය, ආදරයෙන් හා ප්‍රේමයෙන් වැඩූ අඹු දරුවෝ ද, පරලොව යන්නහු සමග නො යන්නෝ ය, වැඩියක් කුමට යැ, යටත් පිරිසයින් කවා පොවා නාවා තැනූ තමන්ගේ ශරීරය වත් තමන් කැටුව නො යන්නේ ය, අනේ සසරහැටි! කරුණු මෙසේ බැවින් ගිහිගෙයි විසීමෙන් ඇති ප්‍රයෝජනය කිම? අද ම මහණ වෙමි” යි සිතා ධර්‍මදේශනාව අවසන් වූ විට, වහා බුදුරජුන් කරා ගොස්, වැඳ, මහණකම ඉල්ලා සිටියේ ය. එවිට බුදුරජානන් වහන්සේ “පැවිද්ද පිළිබද ව තා විසින් විචාළ යුතු වූ කිසි නෑයෙක් තට නැත්තේ දැ” යි විචාල සේක. “ස්වාමීන් වහන්ස! බාලසහෝදරයෙක් මට ඇත්තේ ය” යි මහාපාල තෙමේ ඉතා යටහත් ව දන්වා සිටියේ ය. “එසේ නම් ඔහුගෙන් අසා දැන එව” යි වදාළහ. මහාපාල තෙමේ “මැනැවැ” යි ඒ පිළිගෙන බුදුරජුන් වැඳ, ගෙදර ගොස්, මලනුවන් කැඳවා, “මලනුවෙනි! අපේ මේ කුලයෙහි සවිඤ්ඤාණක අවිඤ්ඤාණක වූ යම්කිසි ධනයෙක් ඇත්තේ නම්, ඒ සියල්ල නුඹට භාර ය, ඒ සියලු ධනය පිළිගෙණ, මැනැවින් දිවි පවත්වා ගණුව” යි කී ය.

එවිට මලනු තෙමේ “සහෝදරය! නුබවහන්සේ කුමක් බලාපොරොත්තු වන්නහු දැ” යි ඇසී ය. “මම බුදුරජුන් ලග පැවිදි වන්නෙමි” යි හේ කී ය. “කුමක් කියන්නහු සහෝදරය! නුඹවහන්සේ ම පමණක් මාගේ මවු මළකල්හි මව මෙන් ද, පියා මළ කල්හි පියා මෙන් ද ලබන ලද්දහු ය, නුඹවහන්සේට අයත් වූ මේ ගෙයි මහත් සම්පත්තියක් ඇත්තී ය, පැවිදි නො වූවාට පින් කරණු හැකි ය, එබැවින් මෙසේ නො කළ මැනැවැ” යි මලනු තෙමේ බැගෑපත් ව ඉල්ලා සිටියේ ය. “මලනුවෙනි! මා විසින් අසන ලද්දේ යහපත් ධර්‍මයෙකි, ඒ ඉතා සියුම් ය, ගිහි ගෙයි වසන්නවුන්ට ඒ ධර්‍මය පිරිය නො හැකිය, මලනුවෙනි! එ බැවින් පැවිදි වන්නෙමි” යි කීයේ ය. එවිට ඔහු “සහෝදරය! නුඹවහන්සේ තවම තරුණ ය, මහලු වූ කළ පැවිදි විය හැක්කේ ය, එ හෙයින් පැවිදි නො වෙනු මැනැවැ” යි නැවැතත් කියා සිටියේ ය. ඒ කතාවට මහාපාල තෙමේ “මලනුවෙනි! මහලු වූ කල තමන්ගේ අත් පා තම කැමැත්තට අනු ව හැසිර විය නො හැකි ය, තමන්ගේ වශයෙහි නො පවත්නේ ය, මහල්ලාගේ වචන අන්හු නො පිළිගණිත් ය” යි කිය යුතු කරුණක් වේ ද? “කරුණු මෙසේ බැවින් මම තාගේ වචනය නො පිළිගණිමි, ශ්‍රමණ ප්‍රතිපත්තිය පුරන්නෙමි, මම පැවිදි වන්නෙමි” යි කියා මලනුවන් හඬද්දී ම බුදුරජුන් වෙත ගොස් පැවිදි ව උපසපන් බව ලැබී ය.

මෙසේ පැවිදි උපසපන් බවට පැමිණ සිය ආචාර්‍ය්‍ය උපාධ්‍යායයන් ගේ සමීපයෙහි පස් අවුරුද්දක් වාසය කොට පස්වන වස පවරා, බුදුරජුන් කරා එළැඹැ “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මේ ශාසනයෙහි පැවිද්දෙකු විසින් වැඩිය යුතු ශාසනික ධූරයෝ කෙතෙක් වෙත් දැ” යි බුදුරජුන් අතින් විචාළේ ය. “මහණෙනි! මාගේ ශාසනයෙහි පැවිද්දන් විසින් වැඩිය යුතු වූ ග්‍රන්ථධූරය, විදර්‍ශනාධූරය කියා ධූර දෙකක් තිබේ ය” යි උන්වහන්සේ ඕහට වදාළ සේක. ඉක්බිත්තෙහි මහාපාල ස්ථවිර තෙමේ “ස්වාමීනි! එසේ වේවා. එහි ග්‍රන්ථධූරය කුමක් ද? විදර්‍ශනා ධූරය කුමක් ද? ඒ කෙසේ දැ” යි විචාලේ ය. “තමන්ගේ නුවණට සුදුසු පරිද්දෙන් එක නිකායක් හෝ නිකාය දෙකක් හෝ සියලු තෙවළා බුදුවදන් හෝ මොනවට ඉගෙණ ඒ දැරීම, කීම, කියවීම, යන යමෙක් වේ ද මේ ය ග්‍රන්ථධූරය, සැහැල්ලු පැවතුම් ඇති ප්‍රාන්ත සෙනසුන් හි ඇලුනහුගේ ආත්මභාවයෙහි ඛයවය එළවා සත්තක්‍රියාවශයෙන් විදර්‍ශනා වඩා අර්‍හත්වය ගැනීමය විදර්‍ශනාධූර නම්” යි වදාළ සේක.

ඉන් පසු මහාපාල ස්ථවිර තෙමේ “ස්වාමීනි! මහලු කල්හි පැවිදි උපසපන් වූ මට ග්‍රන්ථධූරය පුරන්නට නො හැකිය, විදර්‍ශනාධූරය පුරන්නෙමි, එ හෙයින් ඒ පිළිබඳ කර්‍මස්ථාන මට වදාළ මැනැවැ” යි කී ය. බුදුරජානන් වහන්සේ ඕහට අර්‍හත්වය දක්වා කර්‍මස්ථාන වදාළ සේක. ස්ථවිර තෙමේ බුදුරජුන් වැඳ ගොස්, තමන් හා එකතු ව භාවනාවට යෑමට භික්‍ෂූන් සැට නමක් කැමැති කරවා ගෙණ, ඒ සැට දෙනා සමග වෙහෙරින් නික්ම එක්සිය විසි යොදුන් පමණ වූ දික් මහාමගට බැස පාගමනින් ගොස්, එක් පිටිසර ගමකට පැමිණ, එහි තම පිරිවර සහිත ව පිඬු පිණිස සිඟා ගියේ ය. එහි වැසි මිනිස්සු සන්හුන් වූ වත් පිළිවෙතින් සරු මේ භික්‍ෂූන් දැක, අතිශයින් පැහැදුනෝ, අසුන් පණවා වඩා හිඳුවා, ප්‍රණීත ව පිළියෙල කළ ආහාරයෙන් වළඳවා “ස්වාමීනි! ආර්‍ය්‍යයන් වහන්සේලා කොහි වඩිද්දැ” යි ඇසූහ. “උපාසකවරුනි! මහණ පිළිවෙත් පිරීමට පහසු ඇති තැනක් සොයා යමු” යි කී කල්හි, දැන උගත් ඒ මනුෂ්‍යයෝ “මුන් වහන්සේලා වස් විසීමට සෙනසුනක් සොයති” යි දැන, “ස්වාමීනි! පින්වතුන් වහන්සේලා මේ තෙමස අප ගමැ වසන්නාහු නම් අපි සරණසීලයෙහි පිහිටා සිල් සමාදන්වමු” යි කීහ.

එකල උන් වහන්සේලා ද “අපි මේ සැදැහැවත් කුලයන් නිසා සසරින් මිදෙන්නෙමු” යි සිතා, ඒ නුවණැති මිනිසුන්ගේ ආරාධනාව සතුටින් පිළිගත්හ. ඔවුහු උන්වහන්සේලා ආරාධනාව පිළිගත් බව දැන විහාරයක් පිළියෙල කොට, එහි රාත්‍රීස්ථාන දිවාස්ථාන ද ගොඩනගා ඔවුන්ට භාර කළහ. උන්වහන්සේලා මෙසේ පිළියෙල කොට දුන් විහාරයෙහි වැඩ වසමින් එ ගමට ම පිඬු පිණිස වඩින්නාහ. මේ අතර එගම් වැසි වෙද මහතෙක්, උන්වහන්සේලා කරා පැමිණ “ස්වාමීනි! බොහෝ දෙනා වාසය කරණ ස්ථානයන්හි නොයෙක් ලෙඩ රෝගාදිය ඇතිවීම ස්වාභාවික ය, එ හෙයින් ඔබ වහන්සේලා අතර එබඳු ලෙඩරෝග ඈ යමක් ඇති වූ විට, මට දන්වනු මැනැව, මම ඊට පිළියම් කිරීමට කැපකරුවකු වශයෙන් බැඳෙමි” යි පවරා ගියේ ය.

මේ භික්‍ෂූන් වහන්සේලා අතර ප්‍රධාන තැන්පත් මහාපාල ස්ථවිර තෙමේ වස්වසන දිනයෙහි, ඒ භික්‍ෂූන් කැඳවා “ඇවැත්නි! තමුන්නාන්සේලා මේ තෙමස මෙහි කෙතෙක් ඉරියව්වලින් කල් යවන්නහු දැ” යි ඇසී ය. ඔවුහු “ස්වාමීනි! අපි ඉරියව් සතරින් ම කල් යවමු” යි කීහ. “ඇවැත්නි! ඒ කීම සුදුසුද? අප්‍රමත්ත විය යුතු නොවේ ද, අපි වනාහි ජීවමාන බුදුරජුන්ගේ සමීපයෙහි කමටහන් ගෙණ ආවෝ නො වෙමු ද, බුදුවරයෝ වනාහි ‍කෛරාටික කමින් සතුටුකරන්නට නො හැක්කෝ ය, උන්වහන්සේලා හොඳ අදහසින් ම සතුටුකළ යුත්තෝ ය, ඇවැත්නි! ප්‍රමත්ත වූ තැනැත්තාහට බිහිසුණු සතර අපායෝ සියගෙය වැනි ය, එ හෙයින් අප්‍රමත්ත වූව” යි ස්ථවිර තෙමේ කීයේ ය. එවිට ඒ ස්ථවිරන් වහන්සේලා “ස්වාමීනි! නුඹ වහන්සේ මේ තෙමස කෙතෙක් ඉරියවුවලින් ගත කරන්නට සිතහු දැ” යි ඇසූහ, “මම වනාහි ඉරියවු තුණකින් කල් යවන්නෙමි, පිට නම් දිග නො හරින්නෙමි, නො නිදන්නෙමි” යි හේ කීයේ ය.

මෙසේ කියා නො නිදන්නට තරයේ ඉටා, නො නිදා ම භාවනානුයෝගී ව එකලා ව කල් යවන මහාපාල ස්ථවිරයන් වහන්සේට, වස් තෙමසින් පළමු මස ඉක්ම ගිය තැන, බලවත් ඇස් ලෙඩක් හටගත්තේ ය. ඒ කරණ කොට, සිදුරු කළයෙන් දියදහරා වැගිරෙන්නා සේ, ඇස්වලින් කඳුළුදහරා වැගිරෙන්නට වූ ය. එහෙත් උන්වහන්සේ මුළු රැය භාවනා කොට, අරුණ නඟින විට තමන් වසන කාමරයට ඇතුල් ව උන්හ. සෙසු භික්‍ෂූන් වහන්සේලා පිඬු පිණිස හැසිරෙන වේලෙහි තෙරුන් ලඟට ගොස් “ස්වාමිනි! දැන් පිඬු පිණිස හැසිරෙන වේලාවැ” යි කීවාහු ය. “ඇවැත්නි! එසේ නම් පාසිවුරු ගණිවු” කියා තමන් වහන්සේ පාසිවුරු ගෙන්වා ගෙන පිඬු පිණිස ගමට වැඩියහ. ගමෙහි පිඬු සිඟද්දී සමග වැඩිය භික්‍ෂූන් වහන්සේලා කඳුළු වැගිරෙන සක්පල් තෙරුන්ගේ ඇස් දැක “ස්වාමීනි! මේ කිමැ” යි ඇසූහ. එවිට “ඇවැත්නි! මාගේ ඇස්වල බලගතු ලෙඩක් හට ගෙණ තිබේ, එහෙයින් නිතර කඳුළු වැගිරේ” යි කීයේ ය. “ඇයි ස්වාමීනි! අපි වෙදෙකු විසින් පවරණ ලද්දමෝ නො වෙමු ද, එ බැවින් ඒ වෙදමහතාහට මේ බව කියමු” යි භික්‍ෂූහු කීහ. උන්වහන්සේ ද “ඒ මැනැවැ” යි පිළිගත් විට ඔහුහු වෙදමහතාට මේ බව දැන් වූහ. වෙද තෙමේ ද, වහා තෙලක් සිඳ නස්‍යය කරණු පිණිස තෙල් පන්සලට යැවූයේ ය.

ස්ථවිර තෙමේ ඒ පිළිගෙණ නො නිදා ඉඳ නස්‍යය කොට අනික් තෙරුන් සමග ගමට පිඬු පිණිස වැඩියේ ය. වෙද තෙමේ පිඬු පිණිස හැසිරෙන උන්වහන්සේ දැක “ලෙඩේ කෙසේ යැ, තවමත් ඇස් රිදේද?” යි ඇසී ය. එවිට උන්වහන්සේ “එසේ යැ, රිදේ ය” යි කීහ. ඉක්බිති වෙදමහතා “ස්වාමිනි! මා විසින් එවූ තෙල නස්‍යය කෙළේ දැ” යි ඇසුයේ ය. ඊට ද “එසේ යැ” යි පිළිතුරු දුන්හ. “දැන් කෙසේ දැ” යි ඇසූවිට “උපාසකය! තව ම රිදේ ය” යි කීහ. “ඇයි, එසේ වනු, මාගේ මේ නස්‍යයතෙල නස්‍ය කළ එකවරින් ම ලෙඩ සංසිඳවීමෙහි පොහොසත් වූ මහානුභාවසම්පන්න වූ තෙලකි, කුමක් හෙයින් මුන්වහන්සේගේ මේ ඇස්ලෙඩේ මෙතෙක් නො සංසිඳුනේ දැ යි සිතා “ස්වාමීනි! ඔබවහන්සේ විසින් තෙල, නස්‍යය කරණ ලද්දේ ඉඳ ගෙණ ද? නැතහොත් වැද හොවී ද?” යි විචාළේ ය. එයට ස්ථවිර තෙමේ නිහඬ වූයේ ය. නැවත දෙතුන් විටක් අසන ලද්දේ ද කිසිවක් නො කීයේ ය. එවිට වෙදමහතා විහාරයට ගොස් “තෙරුන් වසන තැන බලන්නෙමි” යි සිතා තෙරුන් විහාරට පිටත් කොට, තෙමේ පසුව ගොස් තෙරුන් වසන තැන බලන්නේ, සක්මන් කරණ තැනත්, ඉඳින තැනත් දැක නිදන්නට පිළියෙල කරගත් තැනක් නො දැක “ඔබවහන්සේ විසින් තෙල නස්‍යය කරණ ලද්දේ ඉඳ ගෙණ ද? නැතහොත් වැද හොවී දැ?” යි එහි දීත් තෙරුන් විචාළේය. ස්ථවිර තෙමේ එහිදීත් කිසිවක් නොකී ය. “ස්වාමීනි! මෙසේ නො කළ මැනැව, තෙමේ නිරෝගී වේ නම්, මහණකම කරණු හැකිය, එහෙයින් කරුණා කොට වැද හොවී තෙල නස්‍යය කරණු මැනැවැ” යි නැවත නැවතත් යාච්ඤා කෙළේය. “හොදයි උපාසකය! තමුසේ යන්න! මම කතා කොට බලා ඒ කරන්නෙමි” යි ස්ථවිර තෙමේ වෙදාට කියා සිටියේ ය.

ඉක්බිති උන්වහන්සේ ගෙට වැද තමන් හා ම කතා කරන්නෝ, “පාලිතය! කොහොම ද? නුඹ ඇස් ගැණ බලාපොරොත්තු වෙහි ද? නැතහොත් බුද්ධසාසනය ගැණ බලාපොරොත්තු වෙහි ද? කියන්න, පාලිතය! එතෙර මෙතෙර නැති සසර සැරි සරන නුඹ ඇස් නැති ව උපන් ආත්මභාවයන්හි ගණන් නැත, පාලිතය! නුඹ සසර ඇවිදිද්දී සියගණන් දහස් ගණන් බුදුවරයෝ ඉපිද ලෝවැඩ කොට පිරිනිවී ගියහ, නුමුත් නුඹට ඒ එක් නමක් වත් නිසි සේ ආශ්‍රය කරණු බැරි විය, එ හෙයින් මේ තුන් මස නො නිදා භාවනායෙහි ම යෙදී විසිය යුතු ය, එහෙයින් පාලිතය! තාගේ ඇස් නැසී වැනසී ගියත් බුද්ධසාසනය ම දරව” යි මේ ආදී වශයෙන් තමන් හා කතා කොට, නස්‍යයත් කර ගෙණ, පිඬු පිණීස ගමට ගියහ. එහි දී වෙදමහතා තෙරුන් දැක “ස්වාමීණි! නස්‍ය‍ය කරණ ලද්දේ දැ” යි විචාලේ ය. “උපාසකය! එසේ ය” යි උන්වහන්සේ පිළිතුරු දුන්හ. “එසේ නම් ස්වාමීණි! ලෙඩේ තතු දැන් කෙසේ දැ” යි වෙදා ඇසී ය. “උපාසකය! එහි වෙනසක් නැත, දැනුත් එසේ ම රිදේ ය” යි කීහ. “මොකද මේ? ස්වාමිනි! ඔබවහන්සේ විසින් ඉඳ ගෙන නස්‍ය‍ය කරණ ලද්දේ ද? නැතහොත් වැද හොවී කරන ලද්දේ දැ” යි එවරත් ඇසී ය. ස්ථවිර තෙමේ කිසිවක් නො කී ය. වෙදා විසින් නැවැත නැවැත විචාරණු ලබන්නේ ද නිශ්ශබ්ද ම වී ය. එකල්හි වෙදා “ස්වාමිනි! කොතෙක් කීවත්, ඔබවහන්සේ පිළියමට සුදුසු සේ ක්‍රියා නො කරන්න හු ය, ඒ නිසා අද පටන් අසුවල් වෙදා විසින් මට තෙලක් සිඳ දෙන ලද්දේ ය යි කිසිවක්හටත් නො කියනු මැනැව, මමත් මා විසින් ඔබ වහන්සේට තෙලක් සිඳ දෙන ලද්දේ ය යි කිසිවක් හටත් නො කියන්නෙමි” යි කීයේ ය.

මෙසේ පිළියමෙන් බැහැර කළ ඒ මහාපාල ස්ථවිර තෙමේ විහාරයට ගොස් “පාලිතය! දැන් තෝ වෙදහු විසින් දුරු කරණ ලද්දේ වෙහි, මරුවාට නියම වූ යෙහි, පාලිතය! දැන් කරුණු මෙසේ බැවින් තව තවත් කුමට ප්‍රමත්ත වෙහි දැ” යි මෙසේ තමාට අවවාද කොට, වැඩියක් මහණදම් කරන්නට පටන් ගත්තේ ය. මෙසේ රාත්‍රියෙහි මධ්‍යමයාමය ඉකුත් වත් ම එකවිට ම ඇස් හා කෙලෙස් බිඳී ගියේ ය. කෙලෙස් බිඳී ගිය පසු ඒ ස්ථවිර තෙමේ ශුෂ්ක විදර්‍ශක රහතන් වහන්සේ නමක් ව කාමරයට වැද හුන්නේ ය. භික්‍ෂූන් පිඬු පිණිස හැසිරෙන වේලෙහි උන්වහන්සේ ලඟට පැමිණ “ස්වාමීනි! පිඬු පිණිස හැසිරෙන වේලාව පැමිණියා” යි පිළිතුරු දුන්හ. “එසේ නම් තෙපි යවු” යි කී ය. භික්‍ෂූහු “කිමෙක් ද? ඔබ වහන්සේ පිඬු පිණීස නො වඩින්නහු දැ” යි! ඇසූහ. “ඇවැත්නි! කො තැන යන්නට? මාගේ ඇස් පිරිහී නොපෙණී ගියේ” යි කී ය. එහි පැමිණි භික්‍ෂූන් වහන්සේලා උන්වහන්සේගේ පිරිහී ගිය ඇස් බලා, කඳුළු පිරුණු ඇස් ඇත්තෝ ව, හඩා වැලප “ස්වාමීන් වහන්ස! අමුත්තක් නො සිතනු මැනැව, අපි ඔබ වහන්සේට උපස්ථාන කරන්නෙමු” යි තෙරුන් සනසා, කළයුතු කුදු මහත් වත් ද කොට, පිඬු පිණිස ගමට වැඩියහ. එහි ගම්වැස්සෝ තෙරුන් නො දැක “ස්වාමීනි! අපගේ පින්වතුන් වහන්සේ කොහි දැ” යි ඔවුන් විචාරා, සියලු පුවත් දැන පළමු කොට කැඳ අවුළු පත් පන්සලට යවා, තුමූ පිණ්ඩපාතය ගෙණ, විහාරයට ගොස්, තෙරුන් වැඳ පාමුල පෙරළෙමින් අඩා “ස්වාමිනි! අපි ඔබ වහන්සේට උපස්ථාන කරන්නෙමු, ඔබ වහන්සේ අමුත්තක් නො සිතනු මැනැවැ” යි අස්වසා ගියහ. එතැන් පටන්, ඔවුහු උන්වහන්සේට කැඳ බත් නිතර විහාරයට යවත්. එහි වැසි අනික් භික්‍ෂූන් වහන්සේලා ද උන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා කළ භාවනා බලයෙන් පවාරණ දිනය ලංවත් ම පිළිසිඹියාවන් සමග රහත් බවට පැමිණියෝ ය.

ඉන් පසු උන්වහන්සේලා වස් පවාරණය කොට, බුදුරජුන් දකිනු කැමැත්තෝ ව, “ස්වාමිනි! අපි බුදුරජුන් දකිනු කැමැත්තෙම්හ” යි තෙරුන්ට දැන් වූහ. ස්ථවිර තෙමේ ඒ අසා “මම දැන් දුර්‍වල වෙමි, අතරමග අමනුෂ්‍ය‍යන් විසින් අරක් ගත් මහාවනයක් ඇත්තේ ය, මා මොවුන් සමග යන කල්හි සියල්ලෝ ක්ලාන්ත වන්නාහු ය, කෑම් පීම් ලැබීමෙහි ද, අපොහොසත් වන්නාහු ය, ඒ නිසා මොවුන් පළමු කොට බුදුරජුන් වෙත යවමි” යි සිතා “ඇවැත්නි! මම දුර්‍වල වෙමි, අතර මගත් අමනුෂ්‍ය‍යන් විසින් අරක් ගත් මහාවනයක් ඇත්තේ ය, මා සමග යන කල්හි සියල්ලෝ ම ක්ලාන්ත වන්නාහු ය, ඒ නිසා තමුන්නාන්සේලා පළමු යනු මැනැවැ” යි කී හ. එවිට උන්වහන්සේලා “ස්වාමීනි! එසේ නො කළ මැනැව, අපි ඔබ වහන්සේ සමග ම යන්නෙමු” යි කියා සිටියහ. “ඇවැත්නි! තමුන්නාන්සේලාට එය රුචි නො වේවා, එසේ වී නම්, මට අපහසු වන්නේ ය, මාගේ මලනු තෙමේ නුඹ වහන්සේලා දැක මාගේ සහෝදරයා මම කොහි වෙම් දැ? යි විචාරන්නේ ය, එවිට ඕහට මාගේ ඇස් අන්ධ වූ බව දන්වා ලවු, එකල මාගේ මලනු තෙමේ මා සමීපයට කිසිවකු එවනවා ඇත. ඔහු සමග මම එන්නෙමි, අමුත්තක් නො සිතනු මැනැව, තමුන්නාන්සේලා මාගේ වචනයෙන් ද බුදුන් ද, අසූ මහතෙරුන් ද වඳිනු මැනැවැ” යි ස්ථවිර තෙමේ භික්‍ෂූන් වහන්සේලා පිටත් කර යැවුයේ ය. ඔවුහු තෙරුන් කමා කරවා ගෙණ, ඇතුල් ගමට වන්හ. මිනිස්සු උන්වහන්සේලා වඩා හිඳුවා දන් දී “ස්වාමීනි! කිමෙක් ද, නුඹ වහන්සේලා මේ කොහි වඩින්නහු දැ” යි ඇසූහ. “උපාසකවරුනි! අපි බුදුරජුන් දකිනු කැමැත්තම්හ, ඒ පිණිස සැවැත්නුවරට යමු” යි දැන්වූහ. “ස්වාමීනි! තව ටික කලක් අපට අනුග්‍රහ පිණිස අප විහාරයෙහි වැඩ හිඳිනු මැනැව” යි ආරාධනා කළ විට ද, උන්වහන්සේලා ඒ ආරාධනාව නො පිළි ගත්හ. ගම්වැස්සෝ උන්වහන්සේලා සමග ටික දුරක් ගොස්, මහත් සේ හඬා නැවතුනාහු ය.

සැවැත්නුවර ජේතවනමහාවිහාරයට පාගමනින් ගිය ඒ භික්‍ෂූන් වහන්සේලා බුදුරජුන් ද, අසූ මහතෙරුන් ද සක්පල් තෙරුන්ගේ වචනයෙන් වැඳ, පසුදා තෙරුන්ගේ මලනුවන් වසන කඩපලට පිඬු සිඟා ගියහ. කෙළෙඹි තෙමේ උන්වහන්සේලා දැන, හැඳින, වඩා හිඳුවා, කළ පිළිසඳර කතාවෙන් පසු, “මාගේ සහෝදර තෙමේ කොහි දැ” යි විචාලේ ය. එවිට භික්‍ෂූන් වහන්සේලා තෙරුන් පිළිබඳ සියලු තොරතුරු ඔහුට දැන් වූහ. හෙතෙමේ උන්වහන්සේලාගේ පාමුල පෙරළෙමින් හඬා “ස්වාමීනි! දැන් ඉතින් කුමක් කටයුතු දැ” යි ඇසී ය. ස්ථවිර තෙමේ මෙහෙන් කිසිවකුගේ පැමිණීම බලාපොරොත්තු වෙයි, කිසිවකු එහි ගිය කල්හි ඔහු සමග මෙහි වඩින්නේ ය” යි කීවාහු ය. “ස්වාමීනි! එසේ නම් මේ පාලිත තෙමේ මාගේ බෑනා ය, මොහු මෙසේ යවන්නට නො හැකි ය, මගැ උවදුරු බොහෝ ය, එබැවින් පැවිදි කොට යැවිය යුතු ය” යි ඔහු පැවිදි කොට පසළොස් දවසක් පමණ සිවුරු පෙරවීම් ආදිය උගන්වා, පාරද කියා දී තෙරුන් සමීපයට යැව්වාහු ය. සාමණේර තෙමේ පිළිවෙළින් ගොස්, ඒ ගමට පැමිණ, ගම් දොරකඩ සිටි එක් මහලු මිනිසෙකු දැක “මේ ගම නිසා කිසි ආරණ්‍ය විහාරයක් ඇත්තේ දැ” යි විචාරා දැන ඒ මහලු මිනිසා සමග ම තෙරුන් වහන්සේ වසන විහාරයට ගියේ ය. සාමණේර තෙමේ තෙරුන් වැඳ, පසළොස් දවසක් වත් පිළිවෙත් කිරීමෙන්, තෙරුන්ට උපස්ථාන කොට “ස්වාමීනි! මාගේ මාමා නුඹ වහන්සේ එහි පැමිණීම බලාපොරොත්තු වේ, එබැවින් එහි වඩිමු” යි කීයේ ය.

“හා! හොඳයි, එසේ නම් මාගේ මේ සැරයටි කොණ ගණුව” යි කීහ. සාමණේර තෙමේ සැරයටි කොණ ගෙණ තෙරුන් සමග ඇතුල් ගමට ගියේ ය. මිනිස්සු උන්වහන්සේ වඩා හිඳුවා “මොකද, ස්වාමීනි! මේ කොහි වඩින්නහු?” යි ඇසූහ. “උපාසකවරුනි! අපි බුදුරජුන් දැක, වඳිනු පිණිස සැවැත්නුවරට යමු” යි කීහ. “ස්වාමීනි! නො වැඩිය මැනැව, මෙහි වැඩ වාසය කරණු මැනැවැ” යි නෙයෙක් ලෙසින් ගමන් වැළැක්වීමට උත්සාහ කළ ඔහුවුම ඒ නො හැකි ව උන්වහන්සේලා සමග අඩ මගක් ගොස් හඬා වැලප නැවතුනාහු ය. සාමණේර තෙමේ තෙරුන්ගේ සැරයටි කොණ ගෙණ යන්නේ, අතර මග වනයෙහි තෙරුන් කලින් වාසය කොට පළපුරුදු කම් ඇති කාෂ්ටනගරයට පැමිණියේ ය. එහි දී සාමණේර තෙමේ වනයෙහි ගී සින්දු කියමින් දර කඩන ස්ත්‍රියක ගේ හඬෙහි නිමිති ගෙණ “මේ ශබ්දය තෙමේ ස්ත්‍රියකගේ ය” යි නිශ්චයට බැස, කාමදාහයෙන් දැවෙන්නට පටන්ගත්තේ ය. සත්‍ය‍යෙකි. “ස්ත්‍රියකගේ ශබ්දය වැනි පුරුෂයන්ගේ සිරුර පැතිර සිත බැහැ ගැණීමෙහි සමර්‍ත්‍ථ වූ අන් ශබ්දයක් මුළු ලොව නැත්තේ ම ය” මේ බව බුදුරජානන් වහන්සේ මෙසේ වදාළ සේක.

“නාහං භික්ඛවෙ! අඤ්ඤං එකයද්දම්පි සමනුපස්සාමි. යො එවං පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති. යථයිදං භික්ඛවෙ! ඉත්ථිසද්දො ති”

ඒ ස්ත්‍රීශබ්දමාත්‍රයෙහි බැඳී කාමදාහයෙන් දැවී ගිය සාමණේර තෙමේ මූඪ වූයේ යුක්තානුයුක්ති විචාරණයෙහි අපොහොසත් වූයේ, තෙරුන් අත තුබූ සැරයටියෙහි තමන් ගත් කොණ බිමැ දමා “ස්වාමීනි! පොඩ්ඩක් සිටිනු මැනැව, මට වැඩෙක් තිබේ” යි ස්ත්‍රියගේ ගී හඬ ඔස්සේ වනයෙහි ගමන් කොට, ඈ වෙතැ ගියේ ය. ඕ තොමෝ හතිලමින් සිහිවිකල වූවකු සේ එහි පැමිණි මේ පුදුම මිහිහා දැක නිහඬ වූවා ය. සාමණේරයා ඇය සමග තමන් කැමති සේ කාම සේවනය කොට සීලවිපත්තියට පැමිණියේ ය. මේ අතර ස්ථවිරයන් වහන්සේ “දැන් වනයෙහි එක් ගී හඬෙක් ඇසුනේ ය, ඒ හඬ ස්ත්‍රියකගේ හඬෙකි, සාමණේරයාත් තව ම නො පැමිණියේ ය, ඒකාන්තයෙන් මේ තෙමේ සීලවිපත්තියට පැමිණියේ වනැ” යි සිතූහ. සාමණේරයා ද තමන්ගේ කටයුතු අවසන් කොට පැමිණ, “ස්වාමිනි! දැන් ඉතින් යමු” යි කීයේ ය. එවිට ස්ථවිර තෙමේ “සාමණේරය! තෝ පවිටෙක් වූ යෙහි දැ” යි විචාළේ ය. හෙ තෙමේ නිශ්ශබ්ද විය දෙතුන් විටක් අසන ලද්දේ ද කිසිවක් නො කීයේ ය. එහෙයින් ස්ථවිර තෙමේ කාරණය මැනැවින් දත්තේ “බොල! පවිට! තා වැනි කමකට නැති පවිටෙකු ලවා මම මාගේ සැරයටි කොණ ගන්වම් ද, බොල! හෙරණ! තා වැනි නින්දිතයෙකු ලවා මාගේ සැරයටි කොණ ගැන්වීමෙක් නැත්තේ ය” කියා සාමණේරයා පන්නා හැරියේ ය. සාමණේර බලවත් දුකට පැමිණ, “ස්වාමීනි! මම මීට කලින් සාමණේරයෙක් ව සිටියෙමි, දැන් වනාහි ගිහියෙක්මි, මහණවූයේත් ශ්‍රද්ධායෙන් නො වෙමි, මග උවදුරු නිසා ය පැවිදි වූයේ, එබැවින් වහා වඩිනු මැනැවැ” යි නැවැතත් කියා සිටියේ ය . “බොල! පවිට! ගිහියා වුවත් පව්කම් කෙරේ නම් ඔහු පාපියෙකි, මහණ වුනත් පව්කම් කෙරේ නම් ඔහු පාපියෙකි, ගිහි පාපයාත් පාපයා ම ය, මහණ පාපයාත් පාපයා ම ය, ශ්‍රමණභාවයෙහි සිටත් තට ශීලමාත්‍රයක් පුරණු නො හැකි විය, ගිහි ව සිට කරණ යහපත කුමක් ද, තා වැනි පාපයෙකුට මාගේ සැරයටි කොණ ගැණීමට ඉඩ නො දෙමි” යි තෙරුන් කීවිට “ස්වාමීනි! මේ මග අමනුෂ්‍ය උපද්‍රව බොහෝ ය, නුඹ වහන්සේගේත් ඇස් අන්ධ ය, ඉතින් මෙහි කොහො ම වසන්නටදැ” යි ඔහු කීයේ ය. ස්ථවිර තෙමේ “නුඹ එහෙ ම සිතන්නට එපා, මා මේ වනයෙහි මැරුණ ද තා වැනි පවිටෙකු සමග නම් නො යමි” යි කියා,

“එකැතින් නැසුනු ඇස් - ඇත්තෙම් කතර ආයෙම්,

හෝනේ නො යමි යහළූ - බැව් නැත අඳබලුන් හා.

.

එකැතින් නැසුනු ඇස් - ඇත්තෙමි කතර ආයෙම්,

මැරෙන්නෙමි නො ද යන්නෙමි - යහළු නැත අඳබලු හා”

යි මෙසේත් කීයේ ය. තෙරුන්ගේ මේ කතාව අසා හෙරණ තෙමේ මහත් සංවේගයට පැමිණ “අහෝ! මා විසින් ඉතා බැරෑරුම් ක්‍රියාවක් කරණ ලද්දේ ය, මා විසින් කරණ ලද ඒ කර්‍මය ඉතා සැහැසි ය, දරුණු ය, නො සුදුසු ය” යි හිසැ දෙඅත් බැඳ අඬමින් වනයට ම රිංගා ගත්තේ ය. එයින් තෙරුන් වහන්සේ වනයෙහි තනි වූහ. ඇසුත් අන්ධ ය. මෙසේ විපතට වැටුනු තෙරුන්ගේ ඒ මහත් වූ ගුණශීලතේජසින් ශක්‍රදේවේන්ද්‍රයාගේ පඬු ඇඹුල් ගල් අසුන උණු වී ගියේ ය. එවිට ශ්‍රක්‍ර තෙමේ කවරෙක් මා මේ තැනින් පහකරණු කැමැත්තේ දැ” යි දිවැස් යොමා බලන්නේ, ඇස් අන්ධ ව වනයෙහි තනි වී ගිය චක්කුපාල මහ තෙරුන් දුටුයේ ය. දැක, “ඉදින් මම මෙබඳු පවට බිය වූ දහම් ගරු කොට ගත් පින්වතුන් වහන්සේගේ සමීපයට නො යන්නෙම් නම්, මාගේ හිස සත් කඩකට පැළී යන්නේ ය” යි සිතා වහා තෙරුන් ලඟට ගොස්, තමන් පැමිණී බව දැන්වීමට පයින් ශබ්ද කළේ ය. ඉක්බිති ස්ථවිර තෙමේ “මේ කවරෙක් දැ” යි විචාළේ ය. “ස්වාමීනි! මම මගැ යන්නෙක්මි” යි හේ පිළිතුරු දින. “උපාසකය! කොතැන යෙහි දැ” යි තෙරුන් විචාළ විට, “ස්වාමීනි! මම සැවැත්නුවරට යමි” යි කීයේ ය. “උපාසකය! එසේ නම් යව” යි කී විට, “ස්වාමීනි! පින්වතුන් වහන්සේ කොතැන වඩින්නාහු දැ” යි ඇසුයේ ය. “මමත් එහි යමි” යි ස්ථවිර තෙමේ කීයේ ය. “එසේ නම් ස්වාමීනි! අපි දෙදෙනා එකතු ව යමු” යි මගියා කී විට, “මම දුර්‍වල වෙමි, මා සමග යන්නා වූ තමුසේට ප්‍රමාද වන්නේ ය” යි කී ය. “ස්වාමීනි! මට හදිසි කටයුත්තෙක් නැත, පින්වතුන් වහන්සේ සමග යෑමෙන් මට දශ විධපුණ්‍යක්‍රියාවස්තුන් අතුරෙහි එකක් ලැබිය හැකි ය” යි කීයේ ය.

ස්ථවිර තෙමේ “මේ තෙමේ සත්පුරුෂයෙක් වන්නේ ය” යි සිතා “උපාසකය! එසේ නම් මාගේ මේ සැරයටියෙහි කොණ අල්ලා ගණුව” යි කීයේ ය. ශක්‍රදේවේන්ද්‍ර තෙමේ ද සැරයටි කොණ ගෙණ, තමන්ගේ දේවානුභාවයෙන් පොළොව හකුළුවමින් ගොස් සවස් කාලයෙහි තෙරුන් ජෙතවනාරාමයට පමුණුවාලූයේ ය. ස්ථවිර තෙමේ සැවැත්නුවර ඒ ඒ තැන ගයනු ලබන මිහිරි වූ කන්කලු වූ තූර්‍ය්‍යනාදයන් අසා “මේ මිහිරි ශබ්ද කො තැන පවතින්නෙක් දැ” යි ඇසුයේ ය. “ස්වාමීනි! සැවැත්නුවරැ ය” යි ඔහු කීයේ ය. “උපාසකය! පෙර දවසැ මේ ගමනට අපට බොහෝ කාලයක් ගත විය, අද නම් ඉතා ඉක්මනින් ගමන් කරණු හැකි වී ය” යි තෙරුන් කී කල්හි “ස්වාමීනි! මම සැවැත්නුවරට යෑමට කොට මගක් දනිමි, අද ඒ මගින් ආමි” යි කී කල්හි ස්ථවිර තෙමේ “මෙ තෙමේ මිනිසෙක් නො වේ, දෙවියෙකු විය යුතු ය” යි සැලකූයේ ය. සක්දෙවි තෙමේ තෙරුන් සඳහා උන්වහන්සේගේ මලනු කෙළෙඹියා විසින් කරවන ලද පන්සලට තෙරුන් පමුණුවා, එහි අසුනක වඩා හිඳුවා, නැවත පිය යහළුවෙකුගේ වෙසින් තෙරුන්ගේ මලනුවන් ලඟට ගොස් “යහළු පාල!” යි කැඳවා “කිම, තෙරුන් ආබව නො දන්නෙහි ද? තෙරුන් වහන්සේ පැමිණියහ, මම දැන් පන්සලට ගියෙමි, නුඹ විසින් කරවන ලද පන්සලෙහි තෙරුන් දැක ආයෙමි” යි කියා ගියේ ය. කෙළෙඹි තෙමේ විහාරයට ගොස් තෙරුන් දැක, පා මුල පෙරළෙමින් අඬා “ස්වාමීනි! ඔබ වහන්සේට සිදුවන මේ විපත දැක, මම මුල දී ඔබ වහන්සේගේ පැවිදි වීමට විරුද්ධ වීමි” යි කියා දාස දරුවන් දෙ දෙනකුත් දාසකමින් මුදා තෙරුන් ලඟ පැවිදි කරවා ඇතුල් ගමින් කැඳබත් ආදිය ගෙණවුත් තෙරුන්ට උපස්ථාන කරවු” යි නියම කළේ ය. සාමණේරයෝ ද තෙරුන්ට උපස්ථාන කළෝ ය.

මේ කාලයෙහි දවසක් දිසා වැසි බොහෝ භික්‍ෂූහු “බුදුරජුන් දකිමු” යි ජේතවනයට අවුත් බුදුරජුන් දැක වැඳ, අසූ මහතෙරුන් හමු ව වෙහෙරතුළ හැසිරෙන්නාහු “චක්ඛුපාල තෙරුන් වසන තැනත් බලමු” යි සවස එහි යන්නට පිටත් වූහ. එ කෙණෙහි සතර දිගින් මහවලාකුළෙක් නැංගේ ය. භික්‍ෂූන් වහන්සේලා “දැන් සවස් විය, වලාකුළෙක් ද පෙණේ, දැන් ගමනට සුදුසු නැත, එ බැවින් හෙට උදෑසන ම ගොස් බලන්නෙමු” යි නැවතුනාහ. වලාකුළ ද පෙරයම වැස, මැදියම පහ ව ගියේ ය. පටන් ගත් වීර්‍ය්‍ය ඇති පුරුදු කළ සක්මන් ඇති සැදැලෙන් බැදි චක්ඛුපාල ස්ථවිර තෙමේ වැස්සෙන් පසු සක්මන් කිරීමට සක්මන්මලුවට ගියේ ය. එ වේලෙහි වැසිදියෙන් තෙමී ගියා වූ පොළොවෙන් බොහෝ ඉඳුගොව්වෝ උඩට මතු වූහ. තෙරුන් සක්මන් කරද්දී පයට පෑගී බොහෝ ඉඳුගොව්වෝ මැරුණාහ. අතැවැස්සනට ද එදා සක්මන් මලුව හැමදීම අමතක විය. මේ අතර දිසාවැසි භික්‍ෂූහු “තෙරුන් වසන තැන බලමු” යි උදෑසන ම තෙරුන් වසන තැනට ගොස් ඔබිනෙබ හැසිරෙන්නාහු, සක්මන් මලුවෙහි මළ සතුන් දැක “කවරෙක් මෙ තැන සක්මන් කළේ දැ” යි විචාළෝ ය. තෙරුන් ගේ අතැවැස්සෝ “ස්වාමීනි! අපගේ උපාධ්‍යා‍යයන් වහන්සේ” යි කීවාහු ය. එවිට එහි ගිය ඒ භික්‍ෂූහු “බලව, ශ්‍රමණයාගේ වැඩක හැටි, ඇස් පෙණීම ඇති කල කිසිවක් නො කොට නිදා හිඳ, දැන් ඇස් නටකල සක්මන් කරමි” යි මෙතෙක් සතුන් පාගා මැරූයේ ය. යහපතක් කරමි යි අයහපතක් ම කළේ ය” යි ගරහා බුදුරජුන් ලඟට ගොස් “ස්වාමීනි! චක්ඛුපාල ස්ථවිර තෙමේ සක්මණට බැස බොහෝ සතුන් මැරුයේ ය” යි දන්වා සිටියාහ. “කිම? චක්ඛුපාල තෙමේ සතුන් මරන්නේ, තමුසේලා විසින් දක්නා ලද්දේ දැ” යි උන්වහන්සේ ඇසූ සේක. “ස්වාමීනි! නො දක්නා ලද්දේ ය” යි ඔවුහු කීහ. “යම් ලෙසකින් ඔහු සතුන් මරණු තෙපි නො දකිහු ද, එසේ චක්ඛුපාල තෙමේත් ඒ සතුන් නො දකියි, මහණෙනි! රහතුන්ට මරණචේතනා නැතැ” යි බුදුරජානන් වහන්සේ වදාළ සේක. “ස්වාමීනි! මෙසේ රහත්වීමට වාසනාව ඇති කල කවර හෙයකින් හෙ තෙමේ අන්ධ වූයේ දැ” යි විචාළාහු ය. “මහණෙනි! තමන් විසින් කළ කර්‍මයාගේ විපාක වසයෙනැ” යි වදාළ කල්හි “ස්වාමීනි! ඔහු කළ කර්‍මය කිමැ” යි විචාළාහු ය. “මහණෙනි! එසේ නම් ඔහු කළ කර්‍මය දැන ගණුව” යි චක්ඛුපාල තෙරුන් කළ ඒ කර්‍මය මෙසේ වදාළ සේක;

“යටගිය දවස බරණැස්නුවර බරණැස් රජු රාජ්‍ය‍ය කරවන කල්හි එක් වෙදෙක් ගම් නියම්ගම්හි හැසිර වෙදකම් කරයි, වෙදා එ නුවරැ එක් ඇස් දුර්‍වල වූ ස්ත්‍රියක දැක ‘තිට ඇති අපහසුව කිමැ’ යි ඇසීය, ඕ තොමෝ ඇස් පෙණීම අඩු ය’ යි කීවා ය, වෙදා, ‘හා! හොඳ යි, මම ඊට තිට බෙහෙත් දෙමි, ඊට මට කුමක් දෙන්නෙහි දැ’ යි විචාළ විට ‘මහත්මයානෙනි! යම් කිසි ලෙසකින් මාගේ ඇස් මුළුමනින් මුලින් පැවති තැනට පත් කෙළෙහි නම්, මම දූ පුතුන් සමග ඔබතුමන්ගේ දාසියක් වන්නෙමි’ යි. යටහත් ව කියා සිටියා ය, වෙදා එයට සතුටු ව, ඇස්වල ගෑමට බෙහෙතක් නියම කළේ ය, ඒ බෙහෙතින් ම ඇගේ ඇස් මුලින් පැවති තැනට පත් වී ය, එකල ඕ තොමෝ ‘මම දූ පුතුන් සමග වෙදාගේ දාසියක් වන්නෙමි’ යි පොරොන්දු වීමි. එසේ වූ විට මෙයා මට හැඩිදැඩිකම් පෙන්වනු ඇත, මොළොක් බසින් කතා නො කරන්නේ ය, ඒ හෙයින් මොහු රවටන්නෙමි’ යි සිතා වෙදා එහි අවුත් අසනීපය කෙසේ දැ යි විචාලවිට ‘මහත්මයානෙනි! මීට කලින් මගේ ඇස්වල තිබුනේ ටික රිදුමකි, දැන් එය ඉතා බලවත් ය’ යි කිවූ ය, වෙදා ‘මෑ මා රවටා කිසිවක් නො දෙනු කැමැත්තී මෙසේ කිය යි, මෑ දෙන කුලියෙන් මට වැඩෙක් නැත’ වහා ගෙදරට ගොස්, අඹුවටත් මේ කාරණය කියා සිටියේ ය, අඹුව ද නිශ්ශබ්ද වූවා ය, එවිට වෙදා එක් බෙහෙතක් පිළියෙල කොට, තමන් රැවටූ ඒ ගැමි ගැහැණිය ලඟට ගොස් ‘මෙන්න ඉතා වටිනා හොඳ බෙහෙතක්, මේ බෙහෙත ඇස ගෑවිට ඔය හැම රිදුමෙක් ම මෙයින් ම නැති ව යන්නේ ය’ යි කියා බෙහෙත දී ඈ ලවා ම එය ඇස ගෑවී ය, එ කෙණෙහි ඇගේ දෙඇස් පහන්සිළු දෙකක් නිවී ගියා සේ නැසී ගියේ ය, චක්ඛුපාල වූයේ ඒ මේ වෙද තෙමේ ය,

‘මහණෙනි! එදා මේ මාගේ පුත්‍රයා විසින් කළ ඒ කර්‍මය ඔහු පසු පස්සේ ලුහුබැඳ ආයේ ය, කළ පාපකර්‍මය වනාහි ගැල උසුලන ගොනුන්ගේ පිය අනු ව යන රියසක මෙන් පාපකාරී පුද්ගලයා අනුව යේ ය” යි වදාළ සේක. ඒ වදාළෝ මෙසේ ය.

මනො පුබ්බංගමා ධම්මා මනොසෙට්ඨා මනොමයා,

මනසා චෙ පදුට්ඨෙන භාසති වා කරෝති වා,

තතො නං දුක්ඛමන්වෙති චක්කං ව වහතො පදන්ති.

අරූපීධර්‍මයෝ සිත පෙරටු කොට ඇත්තාහ. සිත අධිපති කොට ඇත්තාහ. සිතින් කරණ ලද්දාහ. ඉදින් කිලිටි වූ සිතින් යමක් කියා ද, යමක් කෙරේ ද, ඒ හේතුවෙන් විපාකදුක, ඒ පව්කම් කළ තැනැත්තා අනු ව යයි. (කුමක් මෙන්දයත්,) ගැල උසුලන ගොනුගේ පිය අනු ව යන ගැල්සක සේ ය.

මනො පුබ්බංගමා ධම්මා = අරූපීධර්‍මයෝ සිත පෙරටු කොට ඇත්තා හ.

මෙහි මුල සිටි මනො, යන්න අවිශේෂයෙන් කාම - රූප - අරූප - ලෝකෝත්තර භූමි සතරට අයත් කුශලාකුශලාදී වූ සියලු සිත් කියූ ද, මෙහිලා කීයේ, මෙය දෙසීමට කරුණු වූ කථා වස්තුව අනු ව ‘දොමනස්සසහගතපටිඝසම්පයුත්තචිත්තය’ යි.

“මනොති කාමාවචරකුසලාදිභෙදං සබ්බම්පි චුතුභූමික චිත්තං, ඉමස්මිං පන පදෙ තදා තස්ස වෙජ්ජස්ස උප්පන්නචිත්ත වසෙන නියම්යමානං වවත්ථාපියමානං පරිච්ඡිජ්ජියමානං දොමනස්සසහගතං පටිඝසම්මයුත්තචිත්තමෙව ලබහති” යනු අටුවා ය. යම් නාමධර්‍මයෙක් අරමුණු දනී ද, අරමුණු දැන ගැනීමට උපකාර වේ ද ඒ නාමධර්‍මය මනසැ, යි කියනු ලැබේ, “යො නාමධම්මො ආරම්මණං මනති, සො නාමධම්මො මනො නාම” යන්නෙන් ඒ පැහැදිලි ය. නැළියකින්, තරාදියකින් මනින්නා සේ අරමුණ මැන, කිරා, පිරිසිඳ බලා ද, ඒ මනසැ, යි එය තවත් ලෙසකින් තේරුම් කළහ. “එකාය නාළියා එකාය ච තුලාය මිනමානො විය ආරම්මණං මිනාති පරිච්ඡින්දතීති = මනො” යනු පාළි යි. අරමුණු දැන ගන්නේ විඤ්ඤාණය යි. මනසැ යි කියනු ලබන්නේ ද ඒ ය.

ධම්මා යනු, ගුණ-දේසනා-පරියත්ති-නිස්සත්ජීව යන සතර තැනෙක හෙන බව අටුවාව කියයි. එහි “න හි ධම්මො අධම්මො ච උභො සමවිපාකිනො” යනාදි තන්හි ආයේ ගුණ යෙහි ය. “ධම්මං වො භික්ඛවෙ! දෙසිස්සාමි ආදිකල්‍යාණං” යනාදී තන්හි දේසනායෙහි වැටුනේ ය. “ඉධ පන භික්ඛවෙ! එකච්චෙ කුලපුත්තා ධම්මං පරියාපුණන්ති සුත්තං ගෙය්‍යං” යනාදියෙහි වූයේ පරියත්තියෙහි ය. “තස්මිං ඛො පන සමයෙ ධම්මා හොන්ති ඛන්ධා හොන්ති” යනාදී තන්හි නිස්සත්ත නිජ්ජීවධර්‍මයෙහි වැටේ. මෙහි ද ආයේ, නිස්සත්තනිජ්ජීවධර්‍මයන් කෙරෙහි ය.

අටුවාව මෙසේ කියතත්, කෝෂග්‍රන්ථයෝ මෙයින් අන් තන්හි ද මේ හෙනබව කියත්.

“ධම්මො සභාවෙ පරියත්ති පඤ්ඤා

ඤායෙසු සච්චප්පකතීසු පුඤ්ඤ,

ඤ‍ය්‍යෙ ගුණචාරසමාධිපූපි

නිස්සත්තතාපත්තිසු කාරණදො”

යනු කෝෂවචන යි. “කුසලා ධම්මා අකුසලා ධම්මා අබ්‍යාකතා ධම්මා” යනාදී තන්හි ස්වභාවයෙහි, “යස්සෙතෙ චතුරො ධම්මා සද්ධස්ස ඝරමෙසිනො” යනාදි තන්හි න්‍යායයෙහි , “දිට්ඨධම්මො පත්තධම්මො” යනාදි තන්හි ප්‍රතියෙහි, “ධම්මො හවේ රක්ඛති ධම්මචාරිං” යනාදි තන්හි පුණ්‍ය‍යෙහි, “කුසලා ධම්මා” යනාදි තන්හි ඥෙයමණ්ඩලයෙහි, “එවං ධම්මා තෙ භගවන්තො අහෙසුං” යනාදි තන්හි සමාධියෙහි, “පාරාජිකා ධම්මා සංඝාදි සෙසා ධම්මා” යනාදි තන්හි ආපත්තියෙහි, “හෙතුම්හි ඤණං ධම්මපටිසම්භිදා” යනාදි තන්හි හේතුයෙහි ආයේ ය. ආදී ශබ්දයෙන් මින් පිටත් තන්හි ද මේ වැටෙන බව කියත්. කෙනෙක් ධර්‍මශබ්දයාගේ ප්‍රවෘත්තිවිෂයෙහි නිශ්චිත විසින් දස වැදෑරුම් කොට කියත්.

“ඤෙය්‍යෙ මග්ගේ ච නිබ්බාණෙ සභාවෙ අථ ජාතියං,

මනෙ විසයපුඤ්ඤෙසු භාවෙ පාවචනෙ පි ච,

ඉමෙසු දස්සවත්ථෙසු ධම්මසද්දො පවත්තති” යි

මෙහිලා සාධකපාඨ පොතපතෙහි සුලභ ය.

ඒ ඒ ආචාර්‍ය්‍යවරයෝ, ධම්මශබ්දය “අත්තානං ධාරෙන්තො අපායෙ වට්ටදුක්ඛෙ ච අපතමානෙ කත්වා ධාරෙතීති, = අපායෙ ස්වපතමානෙ අධිගතමග්ගාදිකෙ සත්තෙ ධාරෙති ධරති තෙනෙති වා, = සලක්ඛණං ධාරෙති පච්චයෙහි ධරීයතීති වා, = ධම්මොති, අනෙකවිධෙසු ධම්මෙසු ලොකුත්තරො උප්පාදිතො සච්ඡිකතො ච චතුසු අපායෙසු සංසාරෙ වා සත්තෙ අපතමානෙ ධාරෙතීති, = සොතාපන්නාදීහි අරියෙහි ධරීයති න පුථුජ්ජනෙහිති, = සලක්ඛණං ධාරෙතීති කක්ඛලත්තාදිනා ඵුසනාදිනා සන්තිආදිනා සකසකභාවෙන පණ්ඩිතෙහි ධරියති සල්ලක්ඛීයතීති, = සකත්ථාදිභෙදෙ අත්ථෙ ධාරෙතීති, = පාපකෙ අකුසලෙ ධම්මෙ ධුනාති කමෙපති විධංසෙතීති = ධම්මො” යි තදර්‍ත්‍ථානුකූල ව ප්‍රකෘත්තිප්‍රත්‍ය‍යාදීන්ගේ විභාගයෙන් විග්‍රහ කළහ.

එහි අරූපීධර්‍මැ යි ගැණෙන චෛතසිකයන් කෙරෙහි කෙළින් ම නැගී සිටියේ “සලක්ඛණං ධාරෙතීති = ධම්මො” යන මේ ය. තම තමන් පිළිබඳ ලක්‍ෂණ දරණුයේ, ධර්‍ම නැමැ’ යි යනු එහි තේරුම ය. වේදනාව වේදයිතලක්‍ෂණය, සංඥාව විජානනලක්‍ෂණය, ස්පර්‍ශය ඵුසනලක්‍ෂණය, චේතනාව චේතනා භාවලක්‍ෂණය දරයි යන ඈ ලෙසින් වේදනා - සංඥා - සංස්කාර - යන ස්කන්ධත්‍රයයෙහි ගැණෙන දෙපණස් චෛතසිකය තම තමන් පිළිබඳ ලක්‍ෂණ දරණ බැව්න්, ධර්‍මව්‍යවහාරය ඔවුන් කෙරෙහි නැගී සිටියේ ය. ස්වලක්‍ෂණධාරණයෙන් ධර්‍ම නම් වෙති යනු අර්‍ත්‍ථවත් ය. වේදනා - සංඥා - සංස්කාර යන ස්කන්ධත්‍ර ම මින් කිය වේ. සත්වපුද්ගල රහිත බැවින් මේ ස්කන්ධ තුණ නිස්සත්ව නිජ්ජීව ධර්‍මැ යි කියත්. එහෙයින් මෙහි ප්‍රධාන විසින් ගැණෙන්නෝ අකුශලචෛතසිකයෝ ය. චෛතසිකයෝ නම්, සිතෙහි ඇතිවන ගතිවිශේෂයෝ ය.

එහි වේදනාස්කන්ධයෙහි සුඛ - දුක්ඛ - අදුක්ඛමසුඛ යි වේදනා තුනෙකි. ඒ ම නැවැත සුඛ - දුක්ඛ - සොමනස්ස - දොමනස්ස - උපෙක්ඛා යි පසක් කොට බෙදූහ. ආහාරරස අනුභව කරන්නෙකු සේ සියලු අරමුණුවල රස උරා බොන්නී වෙදනා ය. මෝ සිත හා අනික් චෛතසිකයන් ලවා අරමුණුවල රසය විඳවයි. එහෙත් ප්‍රධාන විසින් අරමුණු රස උරා බොන්නී වේදනාව ම ය. එහි අරමුණු පිළිබඳ මිහිරිබව, ඉටු අරමුණුරසය විඳින්නා වූ ස්වභාවය සුඛ - සෝමනස්ස වේදනා යි ද, අරමුණු පිළිබඳ අමිහිරිබව අනිටු අරමුණු රසය විඳ ගන්නා වූ ස්වභාවයෙහි දුක්ඛදෝමනස්සවේදනා යි ද, අරමුණු පිළිබද මිහිරිත් නොවූ අමිහිරිත් නොවූ මැදහත්බව විඳ ගන්නාවූ ස්වභාවය, උපෙක්ඛාවේදනා යි ද ගණු ලැබේ. වේදනා යන්න හා එක්ව සිටි ස්කන්ධශබ්දයෙන් රාශිය යන අර්‍ත්‍ථය දෙයි. සෙසු තන්හි ද එසේ ය.

සංඥා නම් සිතට නැගුනු නීලාදිභේදයෙන් වෙන් ව ගිය අරමුණු සලකුණු කොට දැන ගන්නා චෛතසිකධර්‍මය යි. මෙයින් සියලු අරමුණු හඳුන්වා දෙනු ලැබේ. වඩුවන්ගේ දැවදඩු ලකුණු කිරීමක් සේ රෑපාදී වූ අරමුණු ලකුණු කිරීම් ආකාරයෙන් පවත්නේ මේ චෛතසිකය යි. සමහරවිට මෙය පඔ හා පරඩලායෙන් කළ රෑපය පණැතිරූපයකැ යි වරදවා ගන්නා සේ අරමුණු වරදවාත් ගණියි. සමහර විට ඇතිසැටියෙනුත් ගණියි.

මොනවට රැස්කිරීම හෝ එකට පිඩුකිරීම් ලකුණු කොට ඇති යම් ඒ ධර්‍මසමූහයෙක් වේ ද, ඒ සියල්ල එක් රැස් කොට සංස්කාරස්කන්ධැ යි කියනු ලැබේ. ප්‍රධාන විසින් මෙහි චේතනාව සංස්කාරැ යි ගණිත්. අනික් ස්පර්‍ශාදීධර්‍ම චේතනාව ප්‍රධාන කොට පවත්නා බැවින්, ප්‍රධානයාගේ වශයෙන් නොවෙනස් ව ගෙණ සංස්කාරැ යි කියනු ලැබේ. එහි සමපණසක් ධර්‍ම ඇතුලත් ය. චෙතනා, ඵස්ස, මනසිකාර, ජීවිතින්ද්‍රිය, එකග්ගතා, විතක්ක, විචාර‍, විරිය, පීති, ඡන්ද, අධිමොක්ඛ, ශ්‍රද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලොභ, අදොස, අමොහ, තත්‍රමජඣත්තතා, කායපස්සධි, චිත්තපස්සධි, කායලහුතා, චිත්තලහුතා, කායමුදුතා, චිත්තමුදුතා, කායකම්මඤ්ඤතා, චිත්තකම්මඤ්ඤතා, කායපාගුඤ්ඤතා, චිත්තපාගුඤ්ඤතා, කායුජ්ජුකතා, චිත්තුජ්ජුකතා, කරුණා, මුදිතා, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, ලොභ, දොස, මොහ, දිට්ඨි, උද්දච්ච, අහිරිකිත, අනොත්තප්ප, විචිකිච්ඡා, මාන, ඉස්සා, මච්ඡරිය, කුක්කුච්ච, ථින, මිද්ධ, යන මේ ය ඒ සම පණස.

එහි චේතනා නම්, තමාත් පිළියෙලවීම් වශයෙන් අරමුණෙහි යෙදෙමින් තමන් හා එක් ව සිටි අනෙක් ස්පර්‍ශාදිචෛතසිකයන් උනුන් පිළිබඳ කෘත්‍යයන්හි යොදා ලන්නා ය.

ඵස්ස නම්, ඇස් කන් නාස් ආදීවූ සදොරින් වැද ගන්නා වූ රෑපාදී වූ අරමුණුවල සිතත් ඒ හා යෙදුනු අනෙක් චෛතසිකයනුත් හපන්නා සේ හටගන්නා සේ පවත්නේ ය.

මනසිකාර නම්, ඉදිරියට පැමිණි රෑපාදී වූ අරමුණුවල චිත්තචෛතසිකයන් මෙහයන ශක්තිමාත්‍රය යි. එය ආරම්මණ සම්පාදකමනසිකාරනාමයෙන් ආගමෙහි ආයේ ය.

ජීවිතින්ද්‍රිය නම්, දියෙහි හට ගන්නා පියුම් උපුල් ආදීන්ගේ කලක් නො නැසී පැවැත්මට දිය ම ප්‍රධාන වන්නා සේ, තමන් හා එකට උපන් අනෙක් අරෑපධර්‍මයන්ගේ නො නැසී පැවැත්මට ප්‍රධාන විසින් උපකාර වූ ධර්‍මය යි. ජීවිතේන්ද්‍රිය වූ කලී චිත්ත චෛතසිකයන් රකිමින් ස්කන්ධපරිනිර්‍වාණය දක්වා පවතී.

එකග්ගතා නම්, චිත්ත-චෛතසිකයන්ට නන් අරමුණෙහි විසිර යා නො දී, ගත් අරමුණෙහි ම බහා එකඟ කොට තබන්නේ ය.

විතක්ක නම්, සිතත් සිත සමගම යෙදී සිටි චෛතසිකත් යම් බලයකින් අරමුණට නැගේ ද ඒ ය.

විචාර නම්, විතර්‍කය විසින් අරමුණට නැගූ සිත හා සම්පයුක්ත ධර්‍මයන් අරමුණෙහි හසුරු වන්නා ය.

පීති නම්, තමන් හා එකට උපදනා චිත්ත - චෛතසිකධර්‍මයන් පිණ වන්නේ ය.

අධිමොක්ඛ නම්, සිතෙහි පවත්නා අරමුණු කෙරෙහි නිශ්චය යි. අධිමෝක්‍ෂචෛතසිකය පවත්නා කාලයෙහි සිතෙහි උපදනා චෛතසික, නිශ්චලව සිටියි.

ශ්‍රද්ධා නම්, තමන් සමග උපදනා චිත්ත - චෛතසිකධර්‍මයන් පහද වන්නී ය. එය උදකප්‍රසාදකමාණික්‍යය සේ ය.

සති නම්, චිත්ත - චෛතසිකධර්‍මයන්ට ඇතිතාක් අරමුණු සිහිකර දෙන්නී ය.

හිරි නම්, කායදුශ්චරිතාදී වූ පාපධර්‍මයන්ට කරණ කොට සිතෙහි උපදින පිළිකුල ය.

ඔත්තප්ප නම්, සතුන් මැරීම හොරකම් කිරීම ඈ පව්කම් කිරීමේදී ඒ හේතුවෙන් සිතෙහි ඇතිවන බිය ය.

අලොභ නම්, සිතෙහි ගැටෙන රූපාදී වූ අරමුණුවල නො ලැගීම ය. අලෝභය තෙමේ නෙලුම්කොළයෙහි වැටුනු දිය නො ඇලී පවත්නා සේ, එකද අරමුණෙක වත් නො ඇලී සිටියේ ය.

අදොස නම්, සිතෙහි නැගෙන අරමුණුවල අදූෂිතබව ය. අනුකූල මිත්‍රයකු සේ සිටියේ ය.

අමොහ නම්, අරමුණුවල ඇති තතු දැන ගන්නා වූ ඒ ඒ අරමුණුවල යථාස්වභාවය දැනගැණීමට උපකාර වන්නා ය.

තත්‍රමජ්ඣත්තතා නම්, චිත්ත - චෛතසිකයන් සමබවට පමුණුවන්නේ ය. චිත්තචෛතසිකයන් සමබවෙහි තබන්නේ ය.

කායපස්සධි නම්, වේදනා - සංඥා - සංස්කාර යන ස්කන්ධයන්ගේ සංසිඳුම ය.

චිත්තපස්සධි නම්, සිතෙහි සංසිඳීම ය.

කායලහුතා නම්, වේදනා - සංඥා - සංස්කාර යන ස්කන්ධයන්ගේ බරබව සංසිඳුමය.

චිත්තලහුතා නම්, සිතෙහි බරබව සංසිඳුවන්නී ය.

කායමුදුතා නම්, වේදනාදී වූ චිත්තසම්ප්‍රයුක්තධර්‍මයන්ගේ මොළොක්බව ය.

චිත්තමුදුතා නම්, සිතෙහි මොළොක්බව ය.

කායකම්මඤ්ඤතා නම්, ඒ ඒ කටයුතු කෙරෙහි කයෙහි ඇති සුදුසුකම ය.

චිත්තකම්මඤ්ඤතා නම්, ඒ ඒ කටයුතු කෙරෙහි සිතෙහි ඇති සුදුසුකම ය.

කායපාගුඤ්ඤතා නම්, චිත්තසම්ප්‍රයුක්තධර්‍මයන්ගේ නො ගිලන් බව ය.

චිත්තපාගුඤ්ඤතා නම්, සිතෙහි නො ගිලන්බව ය.

කායුජ්ජුකතා නම්, චිත්තසම්ප්‍රයුක්තධර්‍මයන්ගේ නො ඇදබව ය.

චිත්තුජ්ජුකතා නම්, සිතෙහි නො ඇදබව ය.

කරුණා නම්, අනුන්ගේ දුකෙහි දී සිතෙහි උපදනා අනුකම්පා ය. පරදුක් නො ඉවසන කම්පිතගති ය.

මුදිතා නම්, පරසම්පත්තිය දක්නහුගේ සිතෙහි උපදනා ඒ පිළිබඳ අනුකූලභාවය ය.

සම්මාවාචා නම්, චතුර්විධවාක්දුශ්චරිතයෙන් වළකින්නහුගේ සිතෙහි උපදින විරතිය ය.

සම්මාකම්මන්ත නම්, ත්‍රිවිධකායදුශ්චරිතයෙන් වළකින්නහුගේ සිතෙහි උපදින විරතිය ය.

සම්මාආජීව නම්, දිවි පැවැත්වීම උදෙසා කරණ ප්‍රාණඝාතාදියෙන් වැළකීම ය.

ලොභ නම්, ඇස් කන් නාස් ආදියෙන් වැදගන්නා රූපාදී වූ අරමුණුවල ඇලීම ය.

දොස නම්, තමාගේ සිත් නො ගත් තමා නො කැමැති අරමුණු නිසා සිතෙහි උපදනා සැඩබව ය.

මොහ නම්, සිතෙහි වැදුනු අරමුණු තතු වසාලීම ය. අරමුණු මුවහකිරීම ය. අරමුණු තතු නො දැනීම ය.

දිට්ඨි නම්, අරමුණු වරදවා දැකීම ය.

උද්ධච්ච නම්, සිතෙහි නො සංසුන්බව ය.

අහිරිකිත නම්, පව්කිරීමෙහි ලජ්ජා නැතිකම ය. පව්කිරීමෙහි නො පිළිකුල ය.

අනොත්තප්ප නම්, පව්කිරීමෙහි බිය නො වීම ය.

විචිකිච්ඡා නම්, නම්, අරමුණු පිළිබඳ සැක ය. අරමුණු කෙරෙහි නො විස්වාස ය.

මාන නම්, තමා උසස් කොට ගැණීම ය. උඩගුකම ය.

ඉස්සා නම්, පරසම්පත් නො ඉවසීම ය.

මච්ඡරිය නම්, තමා අයත් සැපත සැඟවීම ය.

කුක්කුච්ච නම්, කළ දුසිරිත් හා නො කළ සුසිරිත් ගැණ පසුතැවිල්ල ය.

ථින නම්, සිතෙහි පසු බැස්ම ය. ක්‍රියා සිදු කිරීමෙහි අසමත් බව ය.

මිද්ධ නම්, චිත්තසම්ප්‍රයුක්තධර්‍මයන්ගේ පසුබැස්ම ය. ක්‍රියා සිදුකිරීමෙහි නො සමත්බව ය.

මුළුමනින් චෛතසික දෙපණසෙකි. එයින් සංස්කාරස්කන්ධයෙහි ලා දැක්වුනේ සම පණසෙකි. වේදනා - සංඥා දෙක චෛතසික වුව ද එ දෙක ස්කන්ධ දෙකක් කොට වෙන ම ගත් බැවිනි එසේ දැක්වුනේ.

ඒ දෙපණස් චෛතසිකයන් අතුරෙහි ඵස්ස, වෙදනා, සඤ්ඤා, චෙතනා, එකග්ගතා, ජීවිතින්ද්‍රිය, මනසිකාර, යන මෙවුහු සියලු සිත්වල උපදනා බැවින් ‘සර්‍වචිත්තසාධාරණ’ නම් වෙති.

විතක්ත, විචාර, අධිමොක්ඛ, වීරිය, පීති, ඡන්ද යන මොවුහු ශෝභනචිත්තයන්හි මෙන් ම අශෝභනචිත්තයන්හි ද යෙදෙන බැවින්, ‘ප්‍රකීර්‍ණක’ යි, කියනු ලැබෙත්.

මොහ, අහිරිකිත, අනොත්තප්ප, උද්ධච්ච, ලොභ, දිට්ඨි, මාන, දොස, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච, ථින, මිද්ධ, විචිකිච්චා, යන මොවුහු අකුසල් සිත්හිම උපදනා බැවින් අකුසල් නම් වෙත්.

ශ්‍රද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලොභ, අදොස, තත්‍රමජ්ඣත්තතා, කායපස්සධි, කායලහුතා, චිත්තලහුතා, කායමුදුතා, චිත්තමුදුතා, කායකම්මඤ්ඤතා, චිත්තකම්මඤ්ඤතා, කායපාගුඤ්ඤතා, චිත්තුජ්ජුකතා යන මොවුහු කුසල් සිත්හි ම යෙදෙන බැවින් ‘ශෝභනචිත්තසාධාරණ’ නම් වෙති.

සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව යන මෙවුහු චතුර්විධ වාක්දුශ්තරිතයෙන්, ත්‍රිවිධ කායදුශ්චරිතයෙන්, මිත්‍යාආජීවයෙන් වැලැක්ම නු යි ‘විරති’ නම් වෙති.

කරුණා, මුදිතාවෝ අප්‍රමාණසත්වයන් අරමුණු කොට පවත්නා බැවින් ‘අප්පමඤ්ඤ’ යි කියනු ලැබෙත්. සංස්කාරයන් පළිබද අනිත්‍යාදීලක්‍ෂණප්‍රකාරයෙන් දන්නී ‘පඤ්ඤා’ ය.

සර්‍වචිත්තසාධාරණ චෛතසික

7

ප්‍රකීර්‍ණක චෛතසික

6

අකුශල චෛතසික

14

ශෝභනසාධාරණ චෛතසික

19

විරති චෛතසික

3

අප්පමඤ්ඤ චෛතසික

2

පඤ්ඤා චෛතසික

1

52

මේ කියන ලද්දේ චෛතසිකයන් පිළිබද නම් අරුත් පමණෙකි. [1]

මෙහි මෙසේ කොටින් කියූ චෛතසිකයෝ ය සිත පෙරටු කොට ඇත්තෝ. “මනො පුබ්බංගමො එතෙසන්ති = මනො පුබ්බංගමා” යි අටුවාව “මනො පුබ්බංගමා ධම්මා” යන්න විදහා දැක් වූ සැටි යි. සිත සමග එකට ඉපදීම, සිත සමග එකට නිරුද්ධවීම, සිත ගන්නා අරමුණ ගැණීම, සිත හා එක් වස්තුවෙහි ම පැවැත්ම යන මේ සතර, චෛතසිකයන් පිළිබද ලක්‍ෂණ සතරෙකි. එහෙයින් චෛතසික, සිත ඇතිවිට ම උපදනා බව ප්‍රකට ව පෙණේත “මනො පුබ්බං පඨමතරං ගච්ඡති එතෙසන්ති = මනො පුබ්බංගමා” යි එය වඩාත් පැහැදිලි කළ සැටි ය. චෛතසිකයන්ගේ ඉදිරියෙහි යන්නේ, චෛතසිකයන්ගේ පෙරටුවෙහි යන්නේ සිතැ යි මින් කියනලදී.

“යෙ කෙචි භික්ඛවෙ! ධම්මා අකුසලා - සබ්බේ තෙ මනො පුබ්බංගමා මනො තෙසං පඨමං උප්පජ්ජති අන්වදෙව අකුසලා ධම්මාති, යෙ කෙචි භික්ඛවෙ ධම්මා කුසලා - සබ්බේ තෙ මනො පුබ්බංගමා මනො තෙසං ධම්මානං පඨමං අන්වදෙව කුසලා ධම්මාති” යනු එහි සාධක සූත්‍රයෝ ය.

‘රජු නිකමිනැ’ යි කී කල්හි රජු සමග රාජසෙනාව නික්මුනා ද? නො නිකමුනා දැ? යි අමුතුවෙන් ඇසිය යුතු නොවේ. සියලු සෙනාව නික්මුනා මැයි පිළිගණු ලැබේ.එමෙන් සිත උපනැ යි කී තැන් පටන්, සිත හා හැනී සිටි සහජාතධර්‍මත් උපන්නේ ද නො උපන්නේ දැ යි ඇසිය යුතු කරැණක් නො වේ. ඔවුහු සියල්ලෝ ද උපන්නා හ යි පිළිගැණෙන බැවිනි. මේ නිසා සිත ඒ සම්ප්‍රයුක්තධර්‍මයන් හා එක් ව ඉපදීම් ඇත්තේ ද, එක් ව නාරුද්ධවීම් ඇත්තේ ද, එ හෙයින් ඔවුනට පළමු උපදී ය යි වදාළ සේක. පූර්‍වොක්තසාධකසූත්‍ර දෙකෙහි වූ ‘අන්වදෙව’ යන මෙයින් වදාළෝ ද, ඒ මේ චිත්තචෛතසිකධර්‍ම එක් ව ම උපදනා බව ය. එහි වූ ව්‍යඤ්ජනයන් හි එල්බ ගෙණ “පළමු ව සිත උපදී ය, පසුව චෛතසික උපදී ය” යි නො ගත යුතු ය.

“චෙතසි භවං තදායත්තවුත්තිතායාති = චෙතසිකං” යන ටීකාපාඨය කියනුයේ ද, ස්පර්‍ශාදිනාමධර්‍මසමූහය, සිතට අයත් සිතට අනුකූල වූ පැවතුම් ඇතිබව හා සිත නිසා පවත්නාබව ය. “න හි තං චිත්තෙන විනා ආරම්මණගහණසමත්ථං, අයති චිත්තෙ සබ්බෙන සබ්බං අනුප්පජ්ජන්තො, චිත්තං පන කෙ චි චෙතසිකෙන විනාපි ආරම්මණෙ පවත්තතීති තං චෙතසිකමෙව චිත්තායන්තිවුත්තිකං නාම” සිත නැති විට, සිත නො උපදනා විට කොයි අතකිනිදු සමහර චෛතසික නො උපදනා බැවින්, ඒ චෛතසික සිතින් වෙන් ව අරමුණු ගැණීමෙහි පොහොසත් නොවේ. සිත වනාහි, සමහර චෛතසිකයන්ගෙන් වෙන් ව අරමුණෙහි පවතී. එ හෙයින් චෛතසිකයෝ සිතට අයත් පැවැතුම් ඇත්තෝ ය. සිතට අනුකූල වූ පැවැතුම් ඇතියෝ ය. සිත පෙරටු කොට සිටියෝ ය. සිත හා ම උපදින්නෝ ය. සිත ගන්නා අරමුණම ගන්නෝ ය. සිත හා එක් වස්තුවෙක සිටින්නෝ ය.

සිත චෛතසිකයන් හා එක් වස්තුවක් ඇති ව, පෙර පසු නො ව, එකෙණෙහි උපදි නම්, සිත චෛතසිකයන්ට කෙසේ පෙරටු වේ ද? යන ප්‍රශ්නයට චෛතසිකයන්ගේ ඉපැත්මට හේතු වන අර්‍ත්‍ථයෙන් ය, යනු දිය යුතු පිළිතුර ය. පෙර පසු නො ව චෛතසික හා එක් ව උපදින්නා, චෛතසික උපදවන්නා සිත ය. “යස්මා පන තෙසං මනො උප්පාදාකො කාරකො ජනකො සමුට්ඨාපකො නිබ්බිත්තකො, තස්මා මනො පුබ්බංගමා නාම හොන්ති” යනු අටුවා ය.

මනොසෙට්ඨා = (අරූපීධර්‍මයෝ) සිත අධිපති කොට ඇත්තාහ.

“යථා හි චොරාදීනං චොරජෙට්ඨකාදයෝ අධිපතිනො සෙට්ඨා, තථා තෙසම්පි මනොති මනොසෙට්ඨා” සොරුන්ට සොරදෙටුවන් අධිපති වන්නා සේ, චෛතසිකයන්ට සිත අධිපති වේ, යනු ඒ පාළියෙන් කියන ලද්දේ ය.

මනොමයා = (අරෑපීධර්‍මයෝ) සිතින් කරණ ලද්දාහ.

“යථා පන දාරු ආදීහි නිප්ඵන්නාති තානි තානි භණ්ඩාති දාරුමයාදිනි හොන්ති, තථා එතෙපි මනතො නිප්ඵන්නත්තා මනොමයා නාම” දැවදඩු ආදියෙන් කළ ඒ ඒ භාණ්ඩ එ නමින් හඳුන් වන්නා සේ, චෛතසි‍කයෝ සිතින් නිපන් බැවින් මනෝමය නමැ යි හඳුන්වන ලදහ. රනින් කළේ රන්මුවා යි ද, රිදියෙන් කළේ රිදීමුවා යි ද, දඬුයෙන් කළේ දඬුමුවා යි ද කියන්නා සේ චෛතසික සිතින් නිපන් බැවින් මනෝමය යි කීම යුක්තියුක්ත ය.

මනසා චෙ පදු‍ට්ඨෙන = ඉදින් කිලිටි වූ සිතින්.

භවාංගචිත්ත යි නම් කරණ භවයාගේ නො සිඳ පැවැත්මට හේතු වන පියවි සිත පිරිසිදු ය. මඩ බොර නැති පහන් දියක් සේ නිර්‍මල ය. ඒ මේ පිරිසිදු සිත ඇස් - කන් - නාස් ආදී වූ දොර‍ටු මගින් ඇද වැද ගන්නා අරමුණු නිසා උපදනා ලෝභ - ද්වේෂාදී වූ කෙලෙසුන්ගෙන් අපිරිසිදු වේ. කෙලෙස් මල සහිත වේ. පහන් දිය පිටතින් එන නීලාදිය කරණ කොට අපිරිසිදු වන්නා සේ ය. ඒ වනුයේ “පභස්සරමිදං භික්ඛවෙ! චිත්තං, තං ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං” යනු එහිලා දේශනා ය. එහෙයින් “ආගන්තුක වූ අභිද්ධ්‍යාදෝමනස්‍යාදි දෝෂයකින් කැළඹුනා වූ මලසහිත වූ කිලිටි වූ සිතින්” යන අරුත ‘මනසා චෙ පදුට්ඨෙන’ යන්නෙන් ගතයුතු ය.

මනසා යනු, තෘතියාවිභක්ත්‍යන්ත පදයෙකි. මනෝගණයෙහි බැවින් ‘මනසා’ යි සිටියේ ය. සංස්කෘතභාෂායෙහි අස්භාගාන්ත ශබ්ද මනෝගණයෙහි ඇතුළත් ය. නා - ස - ස්මා - සමිං යන විභක්තිවිෂයෙහි සකාරාගම ව ‘මනසා’ යනාදී වූ විශේෂරූප ලැබෙනුයේ එහෙයිනි. මනෝගණශබ්ද පුල්ලිංගික ය, යනු බුද්ධ ප්‍රියාචායර්‍ය්‍යයන්ගේ පිළිගැනීම ය. එහෙත් මනශබ්දය පුංනපුංසක දෙක්හි ම වන බව “චිත්තං චෙතො මනො නිත්ථි” යන අභිධානප්පදීපිකා පාඨයෙන් පෙණේ. පුල්ලිංගික අකාරන්තයන්ගේ මෙන් නපුංසකලිංගයෙහි ද ‘මනො’ යි ඔකාරන්තවිකලපරූපයෙක් දක්නට ඇත. “සන්තං තස්ස මනං හොති, පතිතා අසුභෙසු මුනිස්ස මනො පලිතං සිරො” යනාදී යෙදුම් ‘මනො’ යන්න නපුංසක බැව් ද ස්ඵුට කෙරේ.

චෙ යනු, නිපාත යි. එය ”මං චෙත් වං නික්ඛණං වනෙ” යනාදි තන්හි අනියමාර්‍ත්‍ථයෙහි ආයේය. “නිට්ඨිතචීවරස්මිං පන භික්ඛුනා උබ්භතස්මිං කඨිනෙ එකරතතිම්පි චෙ විප්පවසෙය්‍ය නිස්සග්ගියං පාචිත්තියං” යනු ‘මනසා’ යන්නට විශේෂණ ව සිටියේ ය.

භාසති වා කරොති වා = බෙණේ නම් හෝ කෙරේ නම් හෝ.

බොරුබස් - කේලාම්බස් - කැකුළුබස් - අරුත්නැතිබස් කියා නම් හෝ, සතුන්මැරීම - හොරකම්කිරීම - කාමයෙහි වරදවා හැසිරීම කෙරේ නම් හෝ යි මෙහි අරුත් ගතයුතු ය. මෙහි කියන්නෙකු, කරන්නෙකු දැක්වෙන කතෘපදයෙක් විශේෂයෙන් නො යෙදුනේ ක්‍රියා පදයන්ගේ ශක්තියෙන් ඒ ඇදී එන බැවිනි. ගාථායෙහි පස්වන පාදයෙහි සිටි ‘ත’ ශබ්දරූපය සිටියේ, ‘ය’ ශබ්දරූපයක් ගැණ බලාපොරොත්තුවෙනි. එහෙයින් යශබ්දය පිළිබඳ ඒකවචන ප්‍රථමාවිභක්ත්‍යන්ත පදයෙක් ‘භාසති’ ‘කරොති’ යන ක්‍රියාපද දෙක හා සමානාධිකරණත්වයෙන් බැ‍‍දේ. බැදෙන්නේ ද අනියමිතව ය. අසුවලා ය යි එහි නියමයෙක් නැත. පැවිද්දෙක් හෝ වේවා, ගිහියෙකු හෝ වේවා, පුරුෂයෙක් හෝ වේවා, ස්ත්‍රියක් හෝ වේවා දශඅකුශලකර්‍මපථය පුරා නම්, පව්කම් කෙරේ නම්, ඔහු ය මෙහි කතෘවශයෙන් බැ‍‍දෙන්නේ.

කායදුශ්චරිතයක් හෝ වාක්දුශ්චරිතයක් කරන්නේ,කියන්නේ අභිඞ්‍යාදි ක්ලේශධර්‍මයන්ගෙන් සිත දූෂිත බැවිනි. මෙසේ ඇති කල්හි, මොහුට දශඅකුශලකර්‍මපථය ම පිරී සිටියි.

වා යනු , නිපාත යි. එය සමුච්චය-උපමා-ස‍න්දේහ-පදපූරණ-ව්‍යවස්ථිතවිභාෂා-නිශ්චය-විකල්ප යන අරුත්හි වැටේ. “පාටලිපුත්තස්ස ඛො ආනන්ද තයො අන්තරායා භවිස්සන්ති අග්ගි තො වා උදකතො වා මිථුභෙදතො වා” යනාදි තන්හි ආයේ සමුච්චයෙහි ය.උපමායෙහි ආයේ “මධුවා මඤ්ඤති බාලො” යනාදියෙහි ය. “කො වාත්වං කස්ස වා පුත්තො” යනාදියෙහි සන්දේහයෙහි ය. “ඉමස්ස වචනං සච්චං වා යදි වා මුසා”යනාදියෙහි වූයේ පදපූරණයෙහි ය. “අමාපතොස්මිං සමානංවා” යන මෙහි ව්‍යවස්ථිතවිභාෂා ය. “වා වස්සග්ගෙ නිපාතො” යනාදියෙහි දක්නේ නිශ්චයෙහි ය. “වග්ගන්තං වා වග්ගෙ” යනාදියෙහි විකල්ප යි. මෙහි වූයේ සමුච්චයෙහි ය.

තතො නං දුක්ඛංඅන්වෙති = ඒ හේතුවෙන් දුක ඔහු අනුව යයි.

ඒ හේතුවෙනැ යි වදාළෝ, කළා වූ ත්‍රිවිධදුශ්චරිතයන්ගේ බලය අපායයෙහි හා මිනිස්ලොව පහත් තැන ඉපැත්මට කරුණු වන බැවිනි අපායයෙහි හා මිනිසුන් අතර ඉතා පහත් තැන ප්‍රතිසන්ධි දෙන්නා වූ දශඅකුශලකර්‍ම හේතුයෙන් විපාකදුක කළ අකුසල් ඇති ඒ පුද්ගලයා අනුව යයි. පසු පස්සේ ලුහු බැඳ යයි.

කායවත්ථුක - ඉතරවත්ථූක යි දුක දෙ පරිදි ය. ඇස් - කන් - නාස් ආදිය ඒ ඒ දොරටුයෙහි උපදනා චිත්ත - චෛතසිකයන් හැසිරෙන තැන් බැවින් ඔවුනට වස්තු නම් වේ. “වසන්ති එතෙසු චිත්තචෙතසිකා තං නිස්සයත්තා වත්ථුනි” යනු විවරණය යි.

කයට අප්‍රිය වූ කැකැළු පහසක් ලත්විට ඒ අරමුණු කොට උපදනා කායවිඤ්ඤාණ චිත්තයෙහි හා, ඒ චිත්තවීථිය පළිබඳ ජවන් සිත්හි පහළ වන දුක්ඛවේදනාව ‘කායවත්ථුකදුක්ඛ’ නම් වේ. චක්ඛු - සෝත - ඝාණ - ජිව්හා - හදය යන මොවුහු ඉතරවත්ථුකයහ. ඇස් - කන් - නාස් ආදිය නො ඇද ගන්නා, නො පිණවන අරමුණු වල දී පහළ වන චක්ඛුවිඤ්ඤාණාදිය මැදහත් ව සිටිය ද, ඒ ඒ චිත්තවීථිවල උපදනා ජවනයන් දුක් හා හැනී සටි බැවින් ඒ දුක්ඛවේදනාව ‘ඉතරවත්ථුකදුක්ඛ’ නම් වේ. “තතෝ තිවිධ දුච්ච්චරිතගතෝ තං පුග්ගලං දුක්ඛමන්වෙති දුච්චරිතානුභාවෙන චතුසු අපායෙසු මනුස්සෙසු වා තමතාවං ගච්චන්තං කාය වත්ථුකම්පි ඉතරම්පීති ඉමිනා පරියායෙන කායික, චෙතසික, විපාකදුක්ඛං අනුගච්ඡති” යනු අටුවා ය.

අන්වෙති යන පද වෙන්කිරීම ‘අනුඑති’ කියා වේ. එහි අනු’ යන්න පච්ඡා - අතිස්ස - සාදිස්ස - අනුපච්ඡින්න - අනුවත්තති - හීන - තතියා - අනුගත - දෙස - ලක්ඛණ - වීච්ඡා - ඉත්ථමභූත - හාග යනා දී අර්‍ත්‍ථයන්හි එන උපසර්‍ගයෙකි. “අනුරථා - අනුරත්තො - අනුරුපං - අනුසයො - අනුසාරිපුත්තං පඤ්ඤවා නදිමත්වසිතා සෙනා අන්වෙති - රුක්ඛමනුවිජ්ජොත්තේ චන්දො - රුක්ඛංරුක්ඛමනු විජ්ජොත්තෙ විජ්ජු - සාධුදෙවදත්තො මාතරමහු - යදෙත්ථ මා අනුසියා තං දියතු” යනු පිළිවෙළින් නිදසුන් ය. මෙහි අනු ගතාන්වයෙහි ය.

චක්කං ඉව වහතෝ පදං = ගැල උසුලන ගොනුගේ පිය අනු ව යන ගැල්සක සේ ය.

ගැලෙහි යෙදූ, ගැල ඇද ගෙණ යන ගැල් බර උසුලන ගොන් තෙමේ දවසක් දෙකක් නැත, අඞ්මසක්, මසක් ගැල ඇද්දේ නමුත්, ගැල නවතා ලන්නට වත් හැර දමන්නට වත් පොහොසත් නො වේ. ඉස්සරහට ගියවිට, වියදඬුව බෙල්ලේ හැපීමෙන් ද පස්සට ගියවිට, ගැල්සක කලවා මසවල හැපීමෙන් ද පීඩාවට පත් වේ. මෙසේ මේ ගැල්සක, දෙපසින් පෙළමින් ඌ ලුහුබැඳ පසු පස්සේ යයි. එ මෙන් කිලිටි සිතින් තුන් දුසිරිත් පුරා සිටි පුගුලා නිරයාදී වූ කොතැනක උපනත්, ඒ උපනුපන් හැම තැන දී ම දුසිරිත් මුල් කොට ඇති දුසිරිත් මුල් කොට සිටි කායික - චෛතසිකදුක්ඛය ලුහුබැඳ යේ ය යි වදාළ සේක.

චක්ක ශබ්දය, නොයෙක් අරුත්හි එන්නෙකි. රථංග - ලක්ඛණ - ධම්මචක්ක - උරචක්ක - ඉරියාපථ - සම්පත්ති - චක්කරතන - මණ්ඩලබල - කුලාලභණ්ඩ - ආණා - ආයුධ - දාන - සමූහය යන අරුත්හි එන්නේ ය. මෙහි රථාවයවයෙහි ආයේ ය. “කරොති ගමනං අනෙනානි = චක්කං, චක්කෙති බ්‍යථති හිංසති භූමිත්ති = චක්කං” යනු තදර්‍ත්‍ථකථන ය යි.

ඉව යනු, නිපාත යි. එය සමානභාව-උත්ප්‍රේක්‍ෂා-අල්පාත්ථ-වාක්‍යයාලංකාර යනාදී වූ අර්‍ත්‍ථයන් හි එන්නේ ය. මෙහි සමාන භාවයෙහි ආයේ ය. ඉව ශබ්දය එව ශබ්දාර්‍ත්‍ථයෙන් ඇත්තේ ය යි මහා හාස්‍යෙයෙහි කියන ලදී.

චෛතසිකයන්ට සිත පෙරටු වේ. අධිපති වේ. චෛතසික ඉපැදෙන්නේ සිතින් ය. සිතින් වෙන් ව චෛතසිකයන්ගේ ඉපැත්මෙක් හටගැන්මෙක් නො වන්නේ ය. අභිධ්‍යාදි ක්ලේශයන්ගෙන් කිලිටි වූ කැළඹුනා වූ සිතින් යමක් කියා ද, යමක් කෙරේ ද, යමක් සිතා ද, ඒ හැම එකෙක් ම අකුසල් ය. ඒ අකුසල් හේතුයෙන් දුක ඔහු පසුපස ලුහු බැඳ යන්නේ ය. ගැල අදින ගොනුන් ගේ පිය පසුපස නො නැවතී යන ගැල් සක සේ ය, යනු ගාථාවේ ඉතා කෙටි අදහස ය.

මේ ධර්‍මදේශනාව අසා සිටි තිස් දහසක් භික්‍ෂූන් වහන්සේලා ඒ අවසන්හි අර්‍ත්‍ථ-ධර්‍ම-නිරුක්ති-ප්‍රතිභාන යන සිව් පිළිසිඹියාවන්ගෙන් යුත් රහත්බවට පැමිණියෝ ය. අසා සිටි සෙස්සනට ද දේශනා තොමෝ ඵලසහිතවූ ය.

චක්ඛුපාලස්ථවිර වස්තුව නිමි.

  1. පුෂ්පවර්‍ගයෙහි ‘කො ඉමං පඨවිං විජෙස්සති’ යන්නට කල පරිකථාව බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.