ධම්මපදය ගැන
ධම්මපද අටුවා කතා උපුටා ගත් සිංහල අටුවා පරිවර්තන පොත් දෙකෙහි හැඳින්වීම් පහතින් දක්වා ඇත. අටුවා කතා වල වැරදි ඇතොත් pathnirvana-at-gmail.com වෙත දන්වා එවන්න.

ප්‍රස්තාවනාව පළමු පොත

වැලමිටියාවේ සිරි ධම්මරක්ඛිත නායකස්ථවිර

මේ පාළි ධම්මපදට්ඨකථාවේ සිංහල අනුවාදයයි. අට්ඨකථා නමින් ප්‍රකටව තිබෙන්නේ ශ්‍රීමුඛදේශනා නමින් තිබෙන මූලික ග්‍රන්ථ උදෙසා කරන ලද විස්තර කිරීම් හෙවත් අර්ථකථන සමූහයකි. ශ්‍රීමුඛදේශනාවල පවතින අවබෝධකරගැනීමට අපහසු තැන් මේ අර්ථකථන හෙවත් අටුවා තුළ අවශ්‍ය පැහැදිලි කිරීම්, නිදර්ශන සඳහා කථාන්තරද වෙනත් විස්තරද ඇතුළත්කොට රචනාකර තිබේ. සංඛ්‍යා වශයෙන් ගත්කල මූලික ත්‍රිපිටක ග්‍රන්ථ සඳහා ලියවී ඇති අට්ඨකථා සුවිස්සකි. ධම්මපදට්ඨකථාව, ධම්මපදපාළියට හෙවත් ධම්මපදයට සපයා ඇති අර්ථකථනයයි. ‘ධම්මපදය’ සූත්‍රපිටකයේ බුද්ධකනිකායට අයත් කුඩා ග්‍රන්ථ පසළොසත් එක් ග්‍රන්ථයකි. එය බෞද්ධයන් අතර ඉතාමත් ප්‍රකට හස්තසාර ග්‍රන්ථයක් මෙන්ම අත්පොතක්ද, වන්නේය. පොදු පාඨකයන් අතරද අතිශයින් ප්‍රශස්ත ජනප්‍රියම ග්‍රන්ථයක් ලෙස එය හැඳින්වීමෙහි වරදක් නැත. හින්දුන් අතර ‘භගවත්ගීතා’ මෙන් බෞද්ධයන් අතර ‘ධම්මපදය’ නිරන්තර පඨන පාඨනයටත් පරිශීලනයටත් උපයුක්තව පවතී.

ත්‍රිපිටකයට අයත් බොහෝ මූලික ග්‍රන්ථවලට ලියා ඇති අට්ඨකථා, පපංවසුදනි, මනෝරථපූරණී, අත්ථසාලිනී, සාරත්ථප්පකායිනී වැනි විශේෂ නාමවලින් හඳුන්වා තිබේ. එහෙත් ධම්මපදයට ලියනලද අටුවාව එබඳු අපර නාමයකින් තොරව ‘ධම්මපදට්ඨකථා’ නමින්ම හඳුන්වා තිබේ. ජාතකපාළිය සඳහා ලියනලද අටුවාවද ‘ජාතකට්ඨකථා’ යන නමින් හැඳින්වෙයි. පාළිධම්මපදට්ඨකථාවේ කතුවරයා අනුබුද්ධ බුද්ධඝෝෂාචාර්‍යපාදයන් වහන්සේයි. ග්‍රන්ථාවසානයේ දැක්වෙන උපසංහාර වාක්‍යයෙහි එන පරමවිසුද්ධසද්ධාබුද්ධිවිරියපතිමණ්ඩිතෙන….. මහාකවිනා… මහාවිහාරවාසීනං වංසාලංකාරභූතෙන විපුලවිසුද්ධිබුද්ධිනා බුද්ධඝොසොති ගරූහි……කතායං ධම්මපදස්ස අත්ථවණ්ණනා’ති පාඨයෙන් ඒ බව සනාථ වෙයි.

මෙකල භාවිතයේ පවත්නා පාළිධම්මපදට්ඨකථාව, මුලින් ‘දීපහාසා’ හෙවත් හෙළබසින් පැවති බවත්, පසුව සෙසු දේශවාසීන්ගෙත් ප්‍රයෝජනය සඳහා පාළියට නගන්නැයි කුමාරකස්සප නම් තෙරුන්ගේ ආරාධනයෙන් පාළියට නැගූ බවත් ග්‍රන්ථාරම්භයේ දැක්වෙන ගාථාවලින් (‘කුමාරකස්සපෙනාහං ථෙරෙන ථිර චෙතසා…. සක්කච්චං අභියාචිතො’) ප්‍රකටවෙයි. එසේ අනුවාද කරද්දී හෙළාටුවාවල පැවති අතිවිස්තර හැකිතරම් සංක්ෂිප්ත කළබවත් ප්‍රකාශවෙයි.

බුද්ධඝෝෂ හිමියන් විසින් රචිත ‘සමන්තපාසාදිකා’ නම් විනය අටුවාව ඇතුළු අනික් බොහෝ අටුවාව ලද ත්‍රිපිටකයම අළලා කරනලද්දක් විය හැකිය. බුද්ධඝෝෂ අටුවා සියල්ලට මේ මහාඅටුවාව මූලාශ්‍රය වන්නට පුළුවන. ක්‍රි. ව. 10 වන සියවසයේදී v වන කාශ්‍යප නරේන්ද්‍රයන් විසින් කරනලද ‘ධම්පියා අටුවා ගැටපදයේ’ එම අටුවා පිළිබඳ සටහන් දක්නට ලැබෙයි. එයින් පෙනෙන්නේ ඒ වනවිටත් හෙළටුවා කීපයක් හෝ තිබුණු බවයි.

මේ අනුව සලකාබලනවිට අද අප අතට පත්වී ඇත්තේ ‘ධම්මපදට්ඨකථාවේ’ තුන්වන පරම්පරාවට අයත් කෘතියක් බව පැහැදිලි වෙයි. මිහිඳු මාහිමියන් පැමිණෙන විට රැගෙන එන්නට ඇත්තේ පාළි හෝ මගධ බසින් තිබුණු කෘති විය හැකිය. හෙළදිවදී ඒවා හෙළබසට නඟන ලදී. (යා තම්බපණ්ණි දීපම්හි දීපහාසාය සණ්ථිතා) ඒ වනාහි අටුවා ග්‍රන්ථවල දෙවෙනි පරපුර හෝ සංස්කරණයයි. අනතුරුව බුදුගොස් හිමියන් ප්‍රමුඛ අටුවාචාරීහු ඒ හෙළටුවා රාශිය පෙළ (පාළි) බසට නඟාලූහ.

ධම්මපදට්ඨකථාවේ මූලග්‍රන්ථයවූ ධම්මපදයේ වර්ග 26කි. ගාථා 423කි. ඒ ගාථාවලට අර්ථකථන කරමින් ලියු කථා වස්තු 299කි. ඒ ඒ වර්ගවලට අයත් කථා සංඛ්‍යා මෙසේය :

  1. යමක වර්ගයෙහි කථා 14
  2. අප්පමාද වර්ගයෙහි කථා 09
  3. චිත්ත වර්ගයෙහි කථා 09
  4. පුප්ඵ වර්ගයෙහි කථා 11
  5. බාල වර්ගයෙහි කථා 14
  6. පණ්ඩිත වර්ගයෙහි කථා 11
  7. අරහන්ත වර්ගයෙහි කථා 10
  8. සහස්ස වර්ගයෙහි කථා 14
  9. පාප වර්ගයෙහි කථා 12
  10. දණ්ඩ වර්ගයෙහි කථා 10
  11. ජරා වර්ගයෙහි කථා 09
  12. අත්ත වර්ගයෙහි කථා 10
  13. ලෝක වර්ගයෙහි කථා 11
  14. බුද්ධ වර්ගයෙහි කථා 09
  15. සුඛ වර්ගයෙහි කථා 08
  16. පිය වර්ගයෙහි කථා 09
  17. ක්‍රෝධ වර්ගයෙහි කථා 08
  18. මල වර්ගයෙහි කථා 12
  19. ධම්මට්ඨ වර්ගයෙහි කථා 10
  20. මග්ග වර්ගයෙහි කථා 10
  21. පතිණ්ණක වර්ගයෙහි කථා 09
  22. නිරය වර්ගයෙහි කථා 09
  23. නාග වර්ගයෙහි කථා 08
  24. තණ්හා වර්ගයෙහි කථා 12
  25. භික්ඛු වර්ගයෙහි කථා 12
  26. බ්‍රාහ්මණ වර්ගයෙහි කථා 39

ධම්මපාළියේ සෑම ගාථාවක්ම නිධාන ගාථා හැටියට ගෙන, මේ කථායෙදී ඇතත්, ‘අප්පමාද’ වර්ගයෙහි ‘අප්පමාදො අමතපදං’ යන ගාථාවට නිදාන කථාව කියාගෙන යන අතර, ගාථාවලින් තොරව, අතුරු කථා හැටියට උදේන, ඝෝෂක, සාමාවතී, වාසුලදත්තා, මාගන්දියා යන අයගේ කථාද දක්නට ලැබෙයි.

ධම්මපදට්ඨකථාව පෙර පටන්ම අපේ භික්ෂු අධ්‍යාපන පටිපාටියේ අනිවාර්‍ය වශයෙන් යොදා ගත් පාඨ්‍ය ග්‍රන්ථයකි. එහි උපයුක්ත භාෂා ස්වරූපයත්, සරල සුගම්‍යභාවයත්, කථාවස්තු තුළ දක්නට ලැබෙන රසවත් බවත් ඊට හේතුවන්නට ඇත. ඒනිසාම මෙම අට්ඨකථාව අනුසාරයෙන් ගැටපද අනුවාද හා තවත් පරිවාරග්‍රන්ථ ගණනාවක්ම රචනා වී තිබේ. ඒ පරිවාර ග්‍රන්ථ අතර, සිංහලයේ පැරණිම ග්‍රන්ථය ලෙස සම්භාවනා ලබන, ක්‍රි. ව. 10 වන සියවසයේදී v වන කාශ්‍යප නරේන්ද්‍රයන් විසින් රචිත ‘ධම්පියා අටුවා ගැටපදය’ ප්‍රමුඛත්වයක් ලබයි. දඹදෙණි යුගයේදී ධර්මසේන නම් ප්‍රතිභාපුර්ණ යතිවරයෙකු විසින් රචිත, අග්‍රගණ්‍ය සාහිත්‍ය කෘතියක්වු සද්ධර්මරත්නාවලියද මෙම අට්ඨකථාවේ අපූරු අනුවාදයකි. මෙසේ මේ අටුවාව ඇසුරෙන් පරිවාරග්‍රන්ථ බිහිවීම හේතුවෙන් මෙය මහජනතාව අතර ජනප්‍රියත්වයට පත්වීයයි නිගමනය කළ හැකියි.

ත්‍රිපිටක අටුවාග්‍රන්ථ සරල සිංහලයට නැඟීමෙහිලා රාජකීය ආසියාතික (ලංකා) සමිතියේ අනුග්‍රහය ලැබීම මහත් වාසනාවක් බව කෘතඥතා පූර්වකව සඳහන් කළ යුතුය. මෙම කාර්‍යයෙහිලා මහාචාර්‍ය ඇම්.බී.ආරියපාල මහතාණන්ගේ මාර්ගදේශකත්වයත්, මහත්වු ඇපකැපවීමත් අවංකවම අගය කරමු.

පෑලියගොඩ

විද්‍යාලංකාර පිරිවෙන

කැළණිය.

1999 ජනවාරි 25.

෴෴

සංඥාපනය දෙවැනි පොත

“අත්තානං ධාරෙන්ත චතුඝු අපායෙඝ්‍ර වට්ටදුක්ඛෙඝුව අපතෙ මානෙ කත්වා ධාරෙතීති ධම්මො” සෝවාන් ආදී සතරමග සතරඵල, තෙමේ සතර අපායෙහි හා සසරෙහි උපැත්මට හේතුවන කෙළෙසුන් මුදා සත්ත්වයා සසරින් මුදාලන්නේය යන අර්ථයෙන් “ධම්ම” නම් වේ. සුදේශිත ත්‍රිපිටක බුද්ධ වචනය ධාරණර්ථයෙන් “ධම්ම” නම් වේ. පද යන්නෙන් වචන - පද එකතුව ගැනේ. මේ අනුව සකස් වැ ඇති ධම්මපදපාලිය ධම්මපදට්ඨකථාව අර්ථත්පත්ති දේශනා ගණයට එකතු වේ.

ත්‍රිපිටක බුද්ධ වචනය නවාංග ශාස්තෲ ශාසනය වශයෙන් බෙදා දැක්වීමේ දී “ගාථා” නමින් එක් අංගයක් වෙයි. සූත්‍ර පිටකයේ සමහර තැන්වල “ධර්ම පද” නාමය පැහැදිලිව සඳහන්ව ඇත. මෙහි මේ ධම්මපද නාමයෙන් අදහස් කරන්නට ඇත්තේ, අද අප හමුවේ පවත්නා “ධම්මපද පාලි” නම් පොත නොව. ශාන්ති නායකයන් වහන්සේ විසින් යම් යම් අවස්ථාවල දී දේශනා කරන ලද පාලි ගාථාය. ත්‍රිපිටකයේ එක් එක් සූත්‍රවල තැනින් තැන සඳහන් ඒ ගාථා එක තැනකට රැස්කොට ක්‍රමානුකූලව වර්ග බෙදා පසුකාලයක දී විකසිත කරන ලද සකස් කරන ලද ග්‍රන්ථය “ධම්මපද” නම් විය. සූත්‍ර පිටකයේ එන ඇතැම් ධර්ම කොටස් ගාථාවට නංවා ඒ ඒ සූත්‍රවලට ඇතුළත් කර ඇති අයුරු ත්‍රිපිටක පරිශීලනයේ දී අපට දැකිය හැකිය. අංගුත්තර නිකාය. සංයුක්ත නිකාය කියවන විට මෙය මැනවින් පැහැදිලි වේ. මේ අනුව ත්‍රිපිටකයේ එන සුහද ඉගැන්වීම් ගාථාවට නගා ධම්මපදයට ඇතුළත් කරන්නට ඇත. එකල සඬ්ඝ සමාජයට විවිධ පළාත්වලින්, විවිධ කුලවලින් පැමිණ පැවිදි වූ අය වූහ. ඒ ඒ භික්ෂූන්ට තම තමන්ගේ භාෂාවලින් රචිත හා කුල ප්‍රවේණිවලින් එන සුභාෂිත පද මතක තිබී, සමාජ සුභසිද්ධියට ඉවහල් වන ඒවා ද ගාථා වශයෙන් ඇතුළත් වන්නට ඇත. ගිහි ජීවිතයේ විවිධ කම්කටොළුවලින් දුක් පීඩා විඳි අය පැවිදිවීමෙන් පසුව සැනසිල්ල ලබා, අධ්‍යාත්මික සුවය පිළිබඳව ප්‍රකාශ කරන ගාථා ද ඇත. ජෛනයන්ට, බමුණන්ට කෙළින්ම පිළිතුරු දුන් හා ඔවුන් උපහාසයට ලක්කල ගාථා ධම්මපදයේ තිබේ. මේ අන්දමට විකසිත වූ ගාථාවලින් යුත් ධම්මපදයෙන් සැබෑ වූ තාත්වික වූ ජීවිත විවරණයක් එළි දක්වයි.

ධම්මපදය සංග්‍රහ කිරීමේ දී විශේෂයෙන් යොමු වී ඇත්තේ ගිහි සමාජය පිළිබඳවයි. එහෙත් ඒ සිංහල බෞද්ධ ගිහි සමාජය නම් නොවේ. ජාති ආගම් කුල පළාත්, රට, සුදු කළු, පන්ති, ආදී කිසිදු භේදයකින් තොර සමස්ත ලෝක ගිහි සමාජයයි. මේ අනුව ධම්මපදයේ මුඛ්‍ය උද්දේසය මුළු ලෝකයටම සාධාරණ විශ්වානු කම්පිත අදහස් ප්‍රචාරය කිරීමයි. ආගම් හෙළා දැකීමක් හෝ අනවශ්‍ය පරිදි තම ආගම හුවා දැක්වීමක් හෝ එහි නැත. ඉන්ද්‍රිය දමනය, ආත්ම සංයමය, පරෝපකාරය, කරුණාව, වැනි අලෞකික දහම් ධම්මපදයේ ආදර්ශයයි. මේ අනුව විමසන විට ධම්මපදය සමාජවාදය පිළිබඳ ප්‍රතිනිධි ග්‍රන්ථයකි.

එවැනි සම්භාවනීය ධම්මපද පාලියේ එන සෑම ගාථාවකම නිධානය, එම ගාථාව දේශනා කිරීමට ප්‍රස්තුත වූ කාරණය ගාථාවේ පද වර්ණනාත්මකව විස්තර කිරීම. ඒ ගාථාව හා අදාළ ධර්මය දේශනා කිරීමෙන් ලද ප්‍රතිඵලය ආදී මේ සියල්ලක්ම විස්තර කරමින් ලියන ලද ග්‍රන්ථය ධම්මපදට්ඨ කථාව නම් වේ.

මේ ධම්මපදට්ඨ කථාව ඇසුරෙන් විශාල ග්‍රන්ථ සංඛ්‍යාවක් පරිවාර ග්‍රන්ථ වශයෙන් සිංහල සාහිත්‍ය පෝෂණය කරමින් එදත් බිහිවී ඇත. අදත් බිහිවෙමින් පවතී. මේවා අතුරෙන් සද්ධර්ම රත්නාවලිය, (ධර්මසේන හිමි) සලමෙවන් අබා කසුප් මහරජුගේ දම්පියා අටුවා ගැටපදය, අර්ථ කථාව අනුගමනය කරමින් ලියන ලද ධර්මපද පුරාණ සන්නය සද්ධර්ම කෞමුදී නම් ධම්මපද සන්නය ආදිය සම්භාවනීයය.

ධම්මපදය ඒ ඒ ගාථාවලින් දැක්වෙන දර්ශනයට අනුව වර්ග 26 කට බෙදා ඇත.

  1. යමක වර්ගයෙන්, හොඳ නරක සංකල්පය ප්‍රස්තුත කර ගනිමින් සනාතනදහමක් ඉදිරිපත් කෙරේ. මෙහි එන උපදේශයන් යුගල වශයෙන් දැක්වේ.
  2. අප්‍රමාද වර්ගයෙන්, අප්‍රමාදයට ප්‍රශංසා හා ප්‍රමාදයට නින්දා කර ඇත.
  3. චිත්ත වර්ගයෙන්, සිතේ දමනය සංවරය ගැන විස්තර වේ.
  4. ප්‍රප්ඵ වර්ගයෙන්, මල අරමුණ සේ තබාගෙන නෛතික උපදෙස් ඉදිරිපත් කෙරේ.
  5. බාලවර්ගයේ, මෝඩයන්ගේ ලක්ෂණ දක්වමින්. මෝඩයාට සසර දිග බව දක්වයි. මෙහි සංසාරික උන්නතිය හා පරමාර්ථ මාර්ගයේ වෙනස දක්වමින් ලාභය අනිකකි, නිවන්මග අනිකකි යන්න දක්වා ඇත.
  6. පණ්ඩිත වර්ගයේ, වාස්තවික පණ්ඩිතයන්ගේ ලක්ෂණ දක්වා ඇත.
  7. අරහන්ත වර්ගයේ, ඉතාමත් සුන්දර වූ කාව්‍ය භාෂාවෙන් රහතුන්ගේ ලක්ෂණ දක්වයි.
  8. සහස්ස වර්ගයේ, මූල භාවනාව වන්නේ අනර්ථ පදයෙන් දහසක් දේ අසනවාට වඩා යමක් අසා වූපසමයක්, නිවීමක් වෙයි නම් ඒ ගාථා පදය උතුම්බවයි.
  9. පාප වර්ගය, පින් කිරීමෙහි යුහුසුළු විය යුතු බව.
  10. දණ්ඩ වර්ගය, හැම දෙනෙකුම දඬුවමට බිය බව. අනුන් ද තමා මෙන් සලකා අනුන් නොපෙළිය යුතු බව උගන්වයි.
  11. ජරා වර්ගය, වෘද්ධ අවස්ථාවේ ඇතිවන දුක්වල දර්ශනය දක්වා. තරුණ වියේ දී ධනය ඉපදවිය යුතු බව.
  12. අත්ත වර්ගය, අනුන්ට අවවාද දෙන්නට පෙර තමන් යහපත් විය යුතු බව දක්වයි.
  13. ලෝක වර්ගය, ලෝකය පිළිබඳ උපදෙස් ඇතුළත් වේ.
  14. බුද්ධ වර්ගය, බුදුවරුන්ගේ ශ්‍රේෂ්ඨත්වය දක්වයි.
  15. සුඛ වර්ගය, වෛර නො කරන අය සුවසේ ජීවත්වන බව, හා බඩගින්න ප්‍රධානතම රෝගය බව ද දක්වා ඇත.
  16. ප්‍රිය වර්ගය, යමෙක් ප්‍රිය වී නම් ඒ ප්‍රමාණයටම දුක් සහිත වන බව දක්වයි.
  17. ක්‍රෝධ වර්ගය, ක්‍රෝධ නො කිරීමෙන්ම ක්‍රෝධය ජයගතහැකි බව දක්වයි.
  18. මල වර්ගය, අවිද්‍යාව සියල්ලන්ටම වඩා කිළුට බව දක්වයි.
  19. ධර්මස්ථ වර්ගය, ධර්මිෂ්ඨ ජීවිතයක ස්වරූපය දක්වයි.
  20. මග්ග වර්ගය, නිර්වාණගාමී ප්‍රතිපදාව දක්වා නිවණම උතුම් බව දැක්වෙයි.
  21. ප්‍රකීර්ණක වර්ගය, අනුන්ට දුක් දීමෙන් තමන්ට සුවයක් නොලැබෙන බව හා පැවිද්ද දුෂ්කර බව.
  22. නිරය වර්ගය, වරදවා ගන්නා ලද කුසතණ පත් තමාගේ අතම කපන්නා සේ දුසිල් මහණුන් ද නිරයටම යන බව දක්වයි.
  23. නාග වර්ගය, යුදට වන් ඇතෙකු සේ ඉවසිය යුතු බව අනුවණයාගේ සහයෙන් තොර හුදෙකලා වාසය සුදුසු බව දක්වයි.
  24. තණ්හා වර්ගය, තෘෂ්ණාවේ ආදීනව, අපේක්ෂාවෙන් දුරුකළයුතු බව උගන්වයි.
  25. භික්ෂු වර්ගය, සංවර වීම, මෛත්‍රී වැඩීම ආදී වශයෙන් භික්ෂූන්ගේ දිවි පෙවෙතට අදාළ කරුණු දක්වයි.
  26. බ්‍රාහ්මණ වර්ගය, නියම බමුණා කවරෙක් ද, ජාතියෙන් ගෝත්‍රයෙන් බමුණෙකු නොවන බව ද දැක්වේ.

මේ විස්තර අනුව ධම්මපදයේ වර්ග බෙදීමේ යම්කිසි ක්‍රමානුකූල බවක් දක්නට ලැබෙන අතර දහම් කරුණු ඉදිරිපත් කිරීමේ දී, විෂය කරුණු අනුව වර්ගයක් වෙන්කර ඇති අතර මූලික තේමාවන්ට අනුව වර්ගයන්ට නම් යොදා තිබේ.

බුදුන් වහන්සේ හා සම කාලයෙහි ශාස්තෲවරුන් හය දෙනෙක් ඉන්දියාවේ විසූ බවත්, ඒ ෂට් ශාස්තෲවරුන්ගේ ෂට් දර්ශන පිළිබඳ විස්තර විවේචනත් බ්‍රහ්මජාල සූත්‍ර වැනි සූත්‍රවල දැක්වේ. එහෙත් ධම්මපදය බලනවිට පැහැදිලි වන්නේ නිඝණ්ඨනාථ පුත්තගේ ජෛන ශාසනය පිළිබඳව - (දණ්ඩවග්ග) මක්ඛලී ගෝසාල නිසා ප්‍රකට වූ ආජීවක ශාසනය පිළිබඳව - (බාලවග්ගය) ධම්මපදයේ සඳහන් ව ඇති බවයි. .............. සාංඛ්‍ය, දර්ශනය ගැන කිසිත් නැති තරම්ය. ධම්මපදයේ වර්ග අතුරෙන් දිගම වර්ගය “බ්‍රාහ්මණ” වර්ගයයි. බ්‍රාහ්මණ වර්ගයෙන් බ්‍රාහ්මණ යන්නට පවත්නා ප්‍රකට අර්ථය නොව, වෙනත් අර්ථයක් ධම්මපදය මගින් ලැබේ. බ්‍රාහ්මණයෝ ඉන්දියාවේත්, ලංකාවේත්, මහත් කරදරකාරී පිරිසක් වශයෙන් සිටියහ. ඒ බමුණන් දේශනා කළ බමුණු මත තවමත් ලංකා සමාජයේ ද, ව්‍යවහාරික බුදු දහමේ ද පවතී. ධම්මපදය තුළින් නියම භික්ෂූන් වහන්සේ ලෝකයාට හඳුන්වා දෙයි. “අඤ්ඤාභිලාභූපනිසා අඤ්ඤා නිබ්බාණ ගාමිනී” යන්න ධම්මපදයේ සඳහන් අටුවාව හා පෙළ මැනවින් සංසන්දනය කරමින් කරන ධර්ම දේශනාව භික්ෂුවගේ සුදුසුකම් මනින උසස් ලක්ෂණයක් හැටියට භික්ඛු වර්ගයේ සඳහන් කර ඇත.

මානව සමාජයේ මිනිසුන් තුළ පවත්නා කාමය ගුණමකු කම, කුහක කම, ඊර්ෂ්‍යාව, ආදී දුර්ගුණයන්ට අහිංසක ලෙස පහර දෙමින් ඉදිරිපත් කරන වස්තූන් නූතන කෙටිකථා වස්තුන්ට වඩා රසවත්ය. ඒ අතින් ධම්මපදට්ඨ කථාව උදාරතර සාහිත්‍ය කෘතියකි. බුදුරදුන් සමාජය දෙස බැලු සාමාජික දෘෂ්ටිය කෙබඳු වන්නේදැයි මෙම කථාවලින් මැනවින් පිළිඹිඹු වේ. භාරතීය සමාජයේ බමුණු ආධිපත්‍ය තුළින් හෙම්බත්ව සිටි ජනතාවට ඒ සීමා පවුරු බිඳ දමමින් ජීවිතය නගා සිටුවීමට ගත් ප්‍රයන්තය ද මේ කථා තුළින් දියවැළක් මෙන් ගලා යයි. බුදුන් දවස සමාජ පන්ති අරගලයන් නිසා අසරණ තත්ත්වයට පත්වූවන්ට කාමයෙන් රාගයෙන්, ද්වේෂයෙන් මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, මුසපත් වූ රජුන්, ඇමතියන්, විනිසකරුවන්, බමුණන්, වැනි පුද්ගලයින්ට නිසි මග දක්වා තිබීම මෙහි වැදගත්ය.

සමස්ත ලෝක බෞද්ධයින්ගේ අත් පොතක් වන ධම්මපදය ලෝකයේ සෙසු භාෂාවන්ට පරිවර්තනය වූ ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීම සුදුසුය.

ක්‍රි.ව. 2 වන ශතකයේ දී ක්‍රිස්තියානි සාහිත්‍යයේ ශාන්ත ලුක්ගේ ශුභාරංචිය පොතේ ධම්මපදයේ එන ගාථා කීපයක ඡායානුවාද තිබේ. ක්‍රිස්තු දර්ශනයක් වූ බැසලයිඩ්ස් දර්ශනයේ ජීවිතයක ප්‍රධාන ලක්ෂණය දුක බවත්, පෞද්ගලිකත්වය හා පුනරුප්පත්තිය. පංච ස්කන්ධය තුළ පවත්නා බවත් සඳහන් කරයි.

ධම්මපදය පිළිබඳව කතෝලික පූජකවරයෙකු විසින් ලියන ලද ශාස්ත්‍රීය ලිපියක් 1840 දී “දප්‍රෙන්ඩ්” සඟරාවේ පළ වී ඇත. ඒ පූජකවරයා ජෝන් ශොගර්ලි නම් විය.

1855 දී ධම්මපදය ලතින් භාෂාවට පරිවර්තනය කර ඇත. එය කරන ලද්දේ මීතායෙල් මීගෝ පවුස් බෝල් නම් ඩෙනිස් ජාතිකයෙකු විසිනි. මේ සිදුවීම නිසා ධම්මපදය පිළිබඳව ජර්මනියේ උනන්දුවක් ඇතිවිය. ඇල්බට් චේබර් මහාචාර්ය තුමා 1860 දී ධම්මපදයේ අනුවාදයක් ජර්මන් බසින් ලියා ඇත. 1871 දී රොබට් සීසර් වයිල්ඩ්ස් නම් පඬිවරයා ධම්මපදය පිළිබඳව ශාස්ත්‍රීය සංග්‍රහයක් කර ඇත. 1871, 1882 කාලයේ දී ධම්මපදය ඇමරිකාවේ දී ප්‍රකාශයට පත්විය. 1872 දී මැක්ස් මුලර් පඬිවරයා අතින් ධම්මපදයේ වටිනා අනුවාදයක් ඉංග්‍රීසියෙන් පළවිය. 1878 දී සැමුවෙල් බිල් නමැති ක්‍රිස්තියානි පූජකතුමා අතින් චීන ධම්මපදය ආශ්‍රයෙන් ඉංග්‍රීසි බසින් අනුවාදයක් ලියැවිණි මේ අනුව ජර්මනිය, ඇමරිකාව එංගලන්තය ආදී රටවල ධම්මපදය ප්‍රචාරය වීමෙන් පසුව 1878 ධම්මපදය පිළිබඳ වැදගත් අධ්‍යයනයක් ප්‍රංශ බසින් සිදුවිය. පෙර්නොන්ද හියූ ශූරීන් විසින් හැඳින්වීමක් හා විස්තර සහිත ධම්මපදයක් ප්‍රංශ භාෂාවෙන් 1878 දී නිකුත් විය. ප්‍රංශය හැරුණු විට බෙල්ජියම. ස්විට්සර්ලන්තය කැනඩාව ආදී රටවල මෙය ප්‍රචාරය විය. 1881 දී ධම්මපදය ඉංග්‍රීසි භාෂාවට නැවත පරිවර්තනය විය. මේ අනුවාදය ජේමිස් ග්‍රේ නමැති භාරතීය විද්‍යාඥයා විසින් පරිවර්තනය කර ඇත. 1898 දී, එන්. අයි. හෙරසමොස් ශූරීන් විසින් ධම්මපදය රුසියන් බසට පරිවර්තනය කරන ලදී. 1902 දී ඇමරිකානු විද්වතෙකු වූ ඒ. ජේ එම්. මන්ම්ජ්‍ විසින් ධම්මපද අනුවාදයක් ඉංග්‍රීසි බසින් පළකරන ලදී. ඉතාලි ජාතක භාරතීය විද්‍යාඥයන් ධම්මපදය පිළිබඳව අවධාරණය යොමු කරන ලදුව ධම්මපද අනුවාදයත් නැවත ඉතාලි බසින් 1908 දී නිකුත් වී ඇත. වී.ඊ. පවුලෝනි නමැති ඉතාලි ජාතික පඬිවරයා ධම්මපදය ඉංග්‍රීසි කවියෙන් ඉදිරිපත් කර තිබේ. බෞද්ධ ගීතිකා නමින් එය ප්‍රචාරය විය. 1920 දී හාන්ස් මූෂ් නමැති වියතා පස්වන වතාවටත් ධම්මපදය ජර්මන් බසට පරිවර්තනය කර ඇත. මේ වනවිට ධම්මපදය හින්දි, බෙන්ගාලි මරාට්, දෙමළ ආදී භාෂාවන්ට පරිවර්තනය කර තිබේ. චීන ධම්මපදය අපේ පාලි ධම්මපදයට වඩා වර්ග කීපයක වැඩියෙන් ඇත. එහි වර්ග 39 ක් වෙති. ගාථා 752 කි. වර්ගවල නම් බොහෝසෙයින් පාලි ධම්මපදය හා සමානය. මේ අතර ප්‍රාකෘත ධම්මපදයක් ද තිබී ඇත.

මේ අන්දමට ලෝකයේ විවිධ භාෂාවන්ට ධම්මපදයේ අනුවාද ඇති වී හැම ජාතියකගේම වර්ගයකගේම, ගෞරවාදරයට පාත්‍ර වී ඇත්තේ ධම්මපදයේ පවත්නා සබ්බසත්ත හිතවාදය නිසාම බව පැහැදිලිය.

ධම්මපදය ළයාන්විතව ගයනා කළ හැකි ගාථා සමූහයකින් සංයුක්ත වේ. තථාගතයන් ධර්මාණ කාලයේදීත් තෙරවරුන් ගාථා කටපාඩම් කර සජ්ඣායනා කළ අයුරු සූත්‍ර පිටකයෙන් පැහැදිලි වෙයි. සංයුක්ත නිකායේ පියඬ්කර සූත්‍රයේ මෙයට කදිම උදාහරණයක් එයි. සැවැත්නුවර ජේතවනාරාමයේ එක් උදෑසනක අනුරුද්ධ හිමියන් ධර්මපද ගාථා සජ්ඣායනා කරද්දී, යකින්නක් ඒ ගාථා ගායනය අසා සිටි බවත්, යකින්නගේ දරුවා හඬන විට යකින්න විසින් එය නැවැත්වූ බවත්, දහම් පදයක් දැන එය පිළිපදිමු නම් එය තමන්ට හිත පිණිස පවතින බව ඇය කියූ බවත් ඒ විස්තරයේ සඳහන් වේ. සුත්ත නිපාතයේ අට්ඨක වර්ගයේ සඳහන් වන්නේ තථාගතයන්ගේ ශිෂ්‍යයෙකු විසින් උන්වහන්සේ ඉදිරිපිටදීම ගාථා සජ්ඣායනා කළ බවයි. සංයුක්ත නිකායේ සජ්ඣාය සූත්‍රයේ ද එක්තරා භික්ෂුවක් ධර්මපද ගාථා කටපාඩම් කරමින් සිටි බව දැක්වේ. අංගුත්තර නිකායෙන් හෙළි වන්නේ සප්පීන නැතහොත් සප්පීතිකා ගංතෙර පිහිටි පරිබ්‍රාජිකාරාමයක දී පරිබ්‍රාජිකාවන් පිරිසකට තථාගතයන් ධර්මපද ගාථා දේශනා කළ බවයි. මේ තත්ත්වය අද ද පවතී. ධම්මපදය වනපොත් කිරීම ශ්‍රී ලංකාව, කාම්බෝජ, සියම, බුරුමය ආදී රටවල අද ද පවතී. කුල දරුවෙකු පැවිදි කිරීමේදී ඔහුට ධම්මපදය පාඩම් කරවීම සිරිතකි. පොළොන්නරු දඹදෙණි කතිකාවත්වල මෙය කතිකාවකි. නීතියකි.

මෙසේ ගායනා කරමින් උගත් ධර්මපද ගාථාවලට ක්‍රි.ව. 5 වැනි සියවසේ දී මහානාම රජු දවස බුද්ධඝෝෂ තෙරණුවෝ පාලි ධම්මපදට්ඨ කථා නම් අටුවා ග්‍රන්ථ කළහ. මේ බුද්ධඝෝෂ සාමීන් කළ ධම්මපදට්ඨ කථාවේ කථා 299 කි. ඒ කථාවල අංග අටක් ඇත. ගාථා නිද්දේස පුද්ගල නිද්දේස, පච්චුප්පන්න වත්ථු ගාථා අටුවාව, සංඛේපය අතීත වත්ථු හා සමෝධානය ඒ අටයි. මහාකාව්‍ය ලක්ෂණ අනුව ධම්මපදට්ඨ කථාව චම්පු කාව්‍යයකි. ආඛ්‍යායිකා ගද්‍යමය කෘතියක් ලෙසද දැක්වේ.

නොයෙක් ශත වර්ෂවල විසූ පැරණි කවීන් කියන ලද ගයන ලද කාව්‍ය බටහිර විචාරකයන් හඳුන්වන්නේ විකසිත මහා කාව්‍ය නමිනි. අපේ ධම්මපදය ද ඒ අනුව විකසිත මහා කාව්‍යකි.

පාලි ධම්මපදට්ඨ කථාව පාලියෙන් ලිවීමෙන් පසුව සිංහලයට පරිවර්තනය වන්නේ පාලි අට්ඨකථා සිංහලයට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය යටතේය. අටුවාව සිංහලෙන් කියවන්නට ලැබෙන ප්‍රථම අවස්ථාව මෙය වේ. ඒ අනුව පාලි ධම්මපදට්ඨ කථාවේ සිංහල පරිවර්තනය පරිශීලනය කරමින් මෙලොව යහපත් සාධු සමාජයක් බිහි කිරීමට ද, පරලොව සුගතිගාමී වීමටද අවස්ථාව උදා වනු ඇත.

ලක්ෂපතියේ සමාධි මෙහෙණිය

බී.ඒ. ගෞරව - පේරාදෙණිය.

෴෴

Privacy Policy

Our apps are all free educational applications. None of our apps needs you to login to use them.

We do not collect or store any user data. Our apps do not need access to any personal data in the users' devices.