නිහතමානතාව යනු මානයට විරුද්ධ ස්වභාවයකි. සමහර විට මානය ම නිහතමානතා වේශයෙන් පහළ වන්නේ ය. මෙය බොහෝ සෙයින් දක්නා ලැබෙනුයේ පැවිද්දන් කෙරෙහි ය. ශික්ෂාවට හා ධර්මයට ද ආචාර්‍ය්‍යාපාධ්‍යායන්ට හා වැඩිමහල්ලටන්ට ද ගරු කරන්නා වූ, යටහත් පැවතුම් ඇත්තා වූ, සන්සුන් පැවතුම් ඇත්තා වූ, තෘෂ්ණාමානයන් වැඩීමට හේතු නො වන වස්තූන් සේ සලකනු ලබන, වටිනාකම මඳ වූ ද, දුර්වර්ණ වූ ද චීවරාදි පරිෂ්කාරයන් පරිභෝග කරන්නා වූ, මානය තුනී කරගෙන වෙසෙන්නා වූ භික්ෂුවගේ සිත්හි සමහර විට නිහතමානතාවේ ආකාරයෙන් මානය පහළ වේ. එයට රැවටෙන භික්ෂු තෙමේ තමා සේ නිහතමානයෝ නො වෙතැයි අන්‍යයන් පහත් කොට ද නිහතමානත්වයෙන් තමා උසස් කොට ද සිතන්නේ ය. අන් වෙසක් නො ගත් ස්වාභාවික මානයෙන් මත් වූ තැනැත්තේ යම් සේ පහත් යැ යි සලකන පුද්ගලයන් පිළිකුල් කෙරේ ද, අශෝභන වූ ද වටිනාකම මඳ වූ ද ඇඳුම් පැළඳුම් ආදිය පිළිකුල් කෙරේ ද එ පරිද්දෙන් ම නිහතමානතා වේශය ගත් මානය ඇති භික්ෂු තෙමේ වර්ණවත් චීවරාදිය පරිභෝග කරන භික්ෂුව ද වර්ණවත් චීවරාදි පරිෂ්කාරයන් ද වටිනාකම් ඇති චීවරාදී පරිෂ්කාරයන් ද පහත් කොට සිතන්නේ ය. පිළිකුල් කරන්නේ ය.