යමක් කරන කල්හි පරීක්ෂා කොට කරන ස්වභාවය නුවණැතියන්ගේ සිරිතකි. එය දෙ ලොව වැඩ පිණිස ම පවත්නා කරුණකි. සමහරවිට සමහරුන් ගේ සිත්හි මාත්සර්‍ය්‍යය පරීක්ෂාකාරිතා වේශයෙන් පහළ වන්නේ ය. යම් කිසි පුණ්‍ය කර්මයකට හෝ ගමේ රටේ ජාතියේ දියුණුව පිණිස කරන දෙයකට හෝ සහභාගී වන්නට මසුරාට කථා කළහොත් එකල්හි ඔහු ගේ මාත්සර්‍ය්‍යය පරීක්ෂාකාරිතා වේශය ගන්නේය. එයින් මෙහෙයන ලද මසුරු තැනැත්තේ ම “මේවා කෙරෙන වැඩ ද, කළත් ප්‍රයෝජනයක් වන වැඩදැයි නො විමසා සහභාගී වීම නුසුදුසුය. පරීක්ෂා කර පසුව සුදුස්සක් කරමි” යි සිතා දීමනාව පසුවට තබන්නේ ය. ඔහු ගේ පරීක්ෂණයත් දීමනාවත් එයින් ම කෙළවර වන්නේ ය.