ක්ෂාන්ති යනු ඉවසීම ය. තවත් ක්‍රමයකින් කියතහොත් අනුනට ද්වේෂ නො කිරීම ය. එය ද්වේෂයට ප්‍රතිපක්ෂ ස්වභාවයකි. එහෙත් සමහර විට ද්වේෂය ම ක්ෂාන්තියේ ආකාරයෙන් සිත්හි පහළ වන්නේ ය. එය බොහෝ සෙයින් සිදු වන්නේ ගරු කළ යුතු කෙනකු විසින් තමා කරන දෙයක් වළක්වන්නට උත්සාහ කරන අවස්ථාවලදී ය. මා පිය ගුරුවරු ආදී ගරු කළ යුත්තන් විසින් තමා කරන වරදක් නවත්වන්නට තැත් කරන කල්හි, ඔවුනට කීකරු නො වී කරන වරද නො නවත්වා ම කර ගෙන යන්නා වූ තැනැත්තාහට මා පිය ආදීන්ගෙන් ගැරහුම් ලැබෙන කල්හි දඬුවම් ලැබෙන කල්හි මා පිය ආදීන් සම්බන්ධයෙන් පහළ වන්නා වූ ද්වේෂය ක්ෂාන්තියේ ආකාරය ගන්නේ ය. එයින් වඤ්චිත වූ තැනැත්තේ “මා පිය ආදීන් කුමක් කීවත් කුමක් කළත් සියල්ල ඉවසමින්, මා කරන දෙය කරමි” යි ඒ වරද නො නවත්වා ම කරන්නේ ය.