තමා විසින් රාග වශයෙන් ඇලුම් කිරීම නුසුදුසු කෙනෙකු යන හැඟීම ඇති කෙනකු සම්බන්ධයෙන් යම් කිසිවකුට රාගය ඇති වුවහොත් ඒ තැනැත්තා ඒ රාගය දුරු කිරීමට උත්සාහ කරයි. දුරු නොවේ නම් වැඩෙනු නො දෙන්නට උත්සාහ කරයි. වැඩුණේ වී නම් ක්‍රියාකාරී වීමට නොදෙන්නට උත්සාහ කරයි. තමාහට නුසුදුසු පරිදි ඇති වූ ඒ රාගයට බියෙන් එය දුරු කර ගැනීමට උත්සාහ කරන්නා වූ තැනැත්තා කෙරෙහි වැඩෙන්නටත් ක්‍රියාකාරීත්වයට පැමිණෙන්නටත් ඉඩ නො ලබන්නා වූ ඒ රාගය පසුව ඒ තැනැත්තා ගේ අදහසට සුදුසු වන සැටියට පුද්ගල තත්ත්වයට සුදුසු වන සැටියට මෛත්‍රී වේශය ගන්නේ ය. මෛත්‍රී වේශයෙන් හෙවත් මිත්‍රත්වයේ ආකාරයෙන් ඒ තැනැත්තා කෙරෙහි ඒ රාගය පහළ වන්නේ ය. එසේ පහළ වූ කල්හි ඔහුට එය රාගය ම බව නො දැනෙන්නේ ය. එයට රැවටුණු වූ හෙතෙමේ “මෛත්‍රිය හෙවත් මිත්‍රත්වය සැම දෙනා සමග ම පැවැත්වීමට සුදුසු දෙයකැ” යි මෛත්‍රී වේශයෙන් පැමිණි රාගය පිළිගන්නේ ය. එයට වැඩෙන්නට අවකාශ දෙන්නේ ය. එසේ අවකාශ ලැබූ රාගය මෛත්‍රී වේශයෙන් ක්‍රමයෙන් වැඩී පසුව රාගයේ සැටියට ම සිට ක්‍රියාකාරිත්වයට ද පැමිණෙන්නේ ය. මෙබඳු කරුණු වලින් පරෙස්සම් වීම ඉතා දුෂ්කර ය. නුවණැතියෝ ද මේවාට මුළා වී අන්තයේ දී වරදට පැමිණෙති. මෛත්‍රී රූපය ගන්නා රාගය බොහෝ සෙයින් පැවිද්දන් කෙරෙහි ඇති වේ. එයට වසඟ වී අන්තිමේ දී ඔවුහු ශ්‍රමණ ධර්මයෙන් ද පිරිහෙති.