අනෙකකු විසින් තමාට කළ උපකාරය අමතක නො කරන්නා වූ ද, උසස් කොට සලකන්නා වූ ද, තමා විසින් ඔහුට නැවත උපකාර කරන්නා වූ ද, ස්වභාවය කෘතඥතාව යි. මෙහි බුද්ධාදීන් විසින් වර්ණනා කරන ලද උතුම් ගුණයෙකි. කෘතඥතාව ඇතියවුන්ට උපකාර කළ අය විශේෂයෙන් ඔවුන්ට පහදිති. නැවත නැවතත් උපකාර කිරීමට සිතති. ඒ බව දත් පුත්‍ර ශිෂ්‍යාදීන් කෙරෙහි, මා පිය ගුරුවර ආදීන්ගෙන් ලාභ ප්‍රයෝජන ලැබීමේ ආශාව වූ ලෝභය කෘතඥතා වේශයෙන් පහළ වේ. ඔවුහු එය තමන්ගේ කෘතඥතා ගුණය යි සිතාගෙන ලෝභ සහගත සිතින් ම මා පිය ගුරුවර ආදීන්ට සත්කාර කෙරෙති. ඔවුන් පමණක් නොව එයට මා පි ගුරුවර ආදීහු ද ඔවුන් ගේ ක්‍රියා දක්නා අන්‍යයෝ ද රැවටෙති. සමහර පුත්‍ර ශිෂ්‍යාදීහු මා පිය ආදීන් රැවටීමටත් එසේ කරති. මෙය ඔවුන් සඳහා කියන ලද්දක් නො වේ. මෙය පමණක් නොව මෙම පොතෙහි දක්වන වඤ්චක ධර්ම සියල්ල ම අනුන් රැවටීමට කරන කපටිකම් නොව ඒ ඒ පුද්ගලයා ම රැවටෙන කරුණු බව සැලකිය යුතුය.