තමා කරන වරදවල් සඟවන්නා වූ ස්වභාවය මායා නමි. මෙය ද සිත්හි හටගත් කල්හි සිත අඳුරු කරවන බැවින් චිත්තෝපක්ලේශයකි. මෙයින් සිත අඳුරු වූ කල්හි පව් කිරීමේ මහාදීනව රාසිය ඔහුට නො පෙනේ. රහසිගත ව කළ හැකි නම් ඕනෑම පවක් කළ යුතු සේ ඔහුට වැටහෙයි. ප්‍රකාශයට නො පැමිණෙන සේ පාපය වසා ගත හැකි වුවහොත් එය ම පාපයෙන් නිදහසට ප්‍රමාණ වේය යි ඒ අවස්ථාවට ඔහුට වැටහෙයි. ඒ මුළාව හේතු කොට ගෙන ඔහු අපමණ පව් කොට අපාගත වෙයි.
සැඟවී පව් කරන්නා වූ මායාකාරයා නිතර ම ශුද්ධ පුද්ගලයකු සේ පෙනී සිටින බැවින් අන්‍යයෝ ඔහුට අනුශාසනා නො කරති. පවින් මුදවා ගැනීමට වෑයම් නො කරති. කරන්නා වූ පව් ගැන සැකයක් ඉපදීමෙන්වත් අනෙකකු ඔහුට අනුශාසනා කළහොත් එබන්දක් නොකළ බව ඔහු තරයේ කියයි. එබඳු පාපයක් කිරීම වරදක් බවත් නො කළයුතු බවත් ඔහු පවසයි. එයින් අන්‍යයාට ඔහුට අවවාද අනුශාසනා කරන්නට කරුණක් නැති වෙයි. එබැවින් නො කළයුතු බව නො කරන බව කිය කියා රහසිගත ව පව් කරන්නා එයින් මිදවීමට ඉතා දුෂ්කර ය. එබැවින් මේ මායාව සත්ත්වයන්ට මහානර්ථකරය.
මායාවෙන් දූෂිත වූ සිත් ඇති ව රහසින් පව් කරන්නෝ ගිහි පැවිදි දෙපක්ෂයෙහි ම බොහෝය. ඔවුහු ඇතැම් විට තමා කරන පව් වසා ගැනීමට උපායක් වශයෙන් තමා රහසින් කරන පව් අනුන් කරන සේ කියමින් රටට අනුශාසනා කරති. ඇතැමෙක් පුවත්පත් මගින් ද අනුන් කෙරෙහි ආරූඪ කොට තමාගේ තත්ත්වය ම ප්‍රකාශ කරති. මායාකාරයන් රහසින් කරමි යි සිතා පව් කරනමුත් පව් කරන්නට රහසක් තැනක් ලොව නැති බව තථාගතයන් වහන්සේ වදාළ සේක.
රහසින් කරමි යි සිතා කරන්නා වූ පව් වරක් දෙවරක් කිරීමෙන් ප්‍රකාශයට නො පැමිණියත්, කලක් කරන කල්හි ඒකාන්තයෙන් ප්‍රකට වන්නේය. ජනයා අතර ප්‍රකට වීම හෝ නො වීම පව් කරන්නාහට ඒ හේතුවෙන් ලැබෙන දඬුවම ලැබීමට හෝ නො ලැබීමට කරුණක් නොවේ. යමකු කොපමණ සඟවා ගෙන පව් කළත් ඒවා ගැන දඬුවම් ලබාදීමට සාක්ෂ්‍ය කාරයෙක් ද සිටී. ඔහුට දැන නොගන්නට කිසිම පාපයක් කිසිවකු විසින් නො කළ හැකිය. පව් කරන සෑම තැනකම ඔහු සිටී. ඒ කවරෙක් ද? දෙවියෙක් ද? බ්‍රහ්මයෙක් ද? ඊශ්වරයා ද? නොවේ. ඒ සාක්ෂ්‍යකාරයා නම් තමා ම ය. පාප කර්මයට හෝ පුණ්‍යකර්මයට හෝ විපාක දීමට වුවමනා වනුයේ ඒ තමාගේ දැනීම පමණය. තමා දැන නොගන්නා පාපයක් නම් නැත. පව් කළා වූ පුද්ගලයා හට තමා කළ ඒ පව් තමා දන්නා බැවින් මරණාසන්නයෙහිදී සිහි වන්නේය. කර්මය සිහි නුවූයේ ද, තමාගේ දැනීම හේතු කොට ගෙන කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත හෝ මරණ සමයෙහිදී ඔහුට වැටහෙන්නේය. එයින් ඔහු කළ පාපයට දඬුවම් ලැබීම් වශයෙන් අපායට පැමිණෙන්නේය. මෙය ස්වභාව ධර්මය යි. මෙසේ ඇති කල්හි පව් සැඟවීමෙන් කවර පිහිටක් ද? පිහිටක් නැත්තේ ම ය. එබැවින් නුවණැත්තෝ රහසින් වුව ද පව් නො කරන්නාහ.