7. ඉස්සා චිත්තස්ස උපක්කිලේසෝ

අනුන්ට සම්පත් තිබෙනවාට හා ලැබෙනවාට නොකැමති බව විරුද්ධ බව ඊර්‍ෂ්‍යා නමි. එය අනුන්ගේ ධනය, ගරු බුහුමන් ලැබීම, පූජාසත්කාර ලැබීම, පිරිවර, ශිල්පශාස්ත්‍ර‍ දත් බව, කථිකත්වය, පණ්ඩිත බව, සූරත්වය, රූපය, ත්‍යාගවත් බව, පරවැඩ කරන බව, සිල්වත් බව, ශරීර ශක්තිය, ආරෝග්‍ය යනාදි කරුණු සම්බන්ධයෙන් හටගන්නේ ය. එය හටගත් කල්හි සිතට බබලන්නට නො දෙන බැවින් සිත අඳුරු කරන බැවින් චිත්තෝපක්ලේශයෙකි.

එය අනුන්ගේ ධනය සම්බන්ධයෙන් හටගත් කල්හි ධනය හෝ ධනහිමියා නසනු කැමති වෙයි. නැසෙනු දැක්මට කැමති වෙයි. ධනයට හෝ ධනවතාට කිසි හානියක් නො කළ හැකි කල්හි මොහු දැන් පොහොසත්ව සිටින මුත් පෙර නම් සිටියේ මෙසේ ය. මොහුගේ මව්පියන් සිටියේ මෙසේය යනාදීන් ධනවතා පහත් කොට හෝ සිතයි. කියයි. මොවුන්ට මෙපමණ හොඳ ඇඳුම් පැළඳුම් කෑම් බීම් යාන වාහන කුමට ද, මොවුන්ගේ තත්ත්වයට මේවා සුදුසු නො වේ ය කියා ද සිතයි. කියයි. එසේ සිතමින් කියමින් අනුන්ගේ ධනය නිසා ඊර්‍ෂ්‍යාකාරයා තැවෙයි. වෙහෙසෙයි. අනුන්ට ලැබෙන ගරු බුහුමන් පූජාසත්කාර ගැන හා අනුන්හට ඇත්තා වූ ඥාති මිත්‍රාදී පිරිවර ගැන හටගන්නා වූ ඊර්‍ෂ්‍යාව ද ධනය සම්බන්ධයෙන් හටගන්නා ඊර්‍ෂ්‍යාව මෙන්ම පවතී.

අනුන්ගේ ශිල්ප ශාස්ත්‍ර‍ සම්බන්ධයෙන් ඊර්‍ෂ්‍යාව හටගත් කල්හි ඒවා සැහැල්ලු කොට දක්වයි. කථික බව පණ්ඩිත බව පිළිබඳව ඊර්‍ෂ්‍යාව හටගත් කල්හි ඔබඳු කථිකයෝ ඔබඳු පණ්ඩිතයෝ තවත් නැද්ද යනාදීන් ඒ ඒ තැනැත්තාට ගර්හා කරයි. අනුන්ගේ රූපය පිළිබඳ ඊර්‍ෂ්‍යාව හටගත් කල්හි එය පහත් කොට කථා කරයි. අනුන්ගේ ත්‍යාගවත් බව පරවැඩ කිරීම පිළිබඳ ඊර්‍ෂ්‍යාව හටගත් කල්හි ඒවා වළක්වන්නට උත්සාහ කරයි. නො හැකි කල්හි පහත් කොට කථා කරයි. සිල්වත් බව පිළිබඳව ඊර්‍ෂ්‍යාව හටගත් කල්හි සිල්වතා ලවා වරද කරවන්නට උත්සාහ කරයි. සිල්වතා අතින් වරද කරනු දක්නට රිසි වෙයි. සිල්වතා කිලිටි කොට කථා කරයි.

ඊර්‍ෂ්‍යාව සත්ත්වයන් කෙරෙහි බහුලව ඇති වන්නා වූ ක්ලේශයක් වූ නමුත් සත්ත්වයෝ ඒ බව නො දනිති. තමාහට අනුන් ඊර්‍ෂ්‍යා කරන බව නොයෙක් විට කියනු ඇසෙයි. තමා අනෙකකුට ඊර්‍ෂ්‍යා කරන බව තමාගේ සිත්හි ඊර්‍ෂ්‍යාව හට ගත් බව කිසිවකු විසින් කියනු නොඇසෙයි. ඊර්‍ෂ්‍යාව ඉතාමත් අධික පුද්ගලයා පවා කියනුයේ තමා කිසිවකුට ඊර්‍ෂ්‍යා නො කරන බවය. තමාගේ ශුද්ධත්වය දැක්වීමට මේ මනුෂ්‍යයන් විසින් නොයෙක් විට බොරු ද කියන නමුත් ඊර්‍ෂ්‍යා කරමින් ම ඊර්‍ෂ්‍යාව නැති බව කියනුයේ තමාගේ සිතේ හට ගන්නා ඊර්‍ෂ්‍යාව තමාට නො වැටහෙන හෙයිනි. තම තමා තුළ හට ගන්නා ඊර්‍ෂ්‍යාව තම තමාට ම නො වැටහීම මෙය නැවත නැවත හට ගැනීමට, වැඩීමට බලවත් හේතුවකි.

පණ්ඩිතකම යයි සිතාගෙන සිටින මෝඩකම කවදාවත් දුරු නො වන්නාක් මෙන් ද, රෝගියාට තමා කෙරෙහි ඇති බව නොදැනෙන රෝගය දිනෙන් දිනම වර්ධනය වන්නාක් මෙන් ද, තමා කෙරෙහි ඇති බව ඒ ඒ පුද්ගලයාට නොදැනෙන ඊර්‍ෂ්‍යාව වර්ධනය ම වනු මිස සිතින් දුරු නොවේ. එබැවින් ඊර්‍ෂ්‍යාව දුරු කරනු පිණිස තමා තුළ ඊර්‍ෂ්‍යාව ඇති බව නොයෙක් විට හටගන්නා බව නුවණින් නැවත නැවත විමසා තේරුම් ගත යුතු. “ඊර්‍ෂ්‍යාව තමාගේ සිත්හි නැත්තේය. නූපදින්නේය”යි කිසි කලෙක නොසිතිය යුතුයි. මට නම් ඊර්‍ෂ්‍යාවක් නැතය යි සැම දෙනාට ම සිතෙන්නේ, එය නො වැටහෙන හෙයින්ම ය.

ඊර්‍ෂ්‍යාව සත්ත්වයන් කෙරෙහි කොතරම් බහුලව හටගන්නේ ද යතහොත්: දරුවාට මව පමණ හිතවත් කෙනෙක් නැත. මවට දරුවා පමණ හිතවත් කෙනෙක් නැත. එහෙත් සමහර විටෙක සමහර මව්වරුන්ගේ සිත්හි ස්වකීය දරුවා ගැන ද ඊර්‍ෂ්‍යාව හට ගනී. දරුවාගේ සිත්හි ද මව ගැන ඊර්‍ෂ්‍යාව සමහරවිට හටගනී. පුත්‍ර‍යන් කෙරෙහි පවා අන්‍යොන්‍ය ඊර්‍ෂ්‍යාව හටගන්නා කල්හි සෙස්සන් ගැන කියනුම කිම? තමා කරන කාර්‍ය්‍යය ම කරන්නන් සම්බන්ධයෙන් මෙය බොහෝ සෙයින් හටගනී.

ඊර්‍ෂ්‍යාව නිසා ලොවට සිදු වී තිබෙන විපත ඉතා මහත්ය. මුළුලොව ම ඊර්‍ෂ්‍යාවෙන් පෙළනු ලබයි. මෙය ලෝකයෙහි නොවී නම් මේ සත්ත්වයෝ ඔවුනොවුන් හා සමගියෙන් ප්‍රිය චක්ෂුසින් ඔවුනොවුන් දෙස බලමින් මිත්‍ර‍ ලීලාවෙන් කල් යවන්නාහ. එසේ නොව ඔවුනොවුන් ගැන සැකයෙන් බියෙන් මිරිකෙමින් ප්‍රීතියක් නැති ව මේ සත්ත්වයන්ට වාසය කරන්නට සිදුවී තිබීමට එක් හේතුවක් මේ ඊර්‍ෂ්‍යාව ය.

ලෝකයෙහි ඊර්‍ෂ්‍යාව නිසා කරන්නා වූ අපරාධ බොහෝය. සැඟවී සිට මිනී මැරීම, රාත්‍රීකාලයේ අවුත් පහර දී පලා යාම, වස කැවීම, සූනියම් කිරීම, වස්තු සොරා ගැනීම, විනාශ කර දැමීම, කේලාම් කියා ඔවුනොවුන් භේද කිරීම, බොරු නඩු කීම, බොරු සාක්කි දීම, ඔවුනොවුන් බැණ ගැනීම, කෝලාහල කර ගැනීම යන ආදී බොහෝ පව්කම් ඊර්‍ෂ්‍යාව නිසා සිදුවන්නේ ය. එබැවින් ඊර්‍ෂ්‍යාව නිසා ඊර්‍ෂ්‍යා කරන පුද්ගලයා ඇතුළු එයට ලක් වන්නෝ ද මෙලොව මහත් පරිහාණියට, දුකට පැමිණෙත්. මරණින් මතු මේ ඊර්‍ෂ්‍යාව සත්ත්වයා අපයාට ගෙන යන්නේ ය. එබැවින් මෙය සත්ත්වයා දෙලොවින් ම පිරිහෙන්නා වූ දෙලොව ම දුක් උපදවන්නා වූ පාපයක් බව දත යුතු.