පෙර බරණැස්නුවර කිතවාස නම් රජෙක් විය. ඔහුට පුත්‍රයකු උපන් කල්හි මේ කුමාරයා පැන් නො ලැබ නැසෙන්නේ යයි ලක්ෂණ පාඨක බ්‍රාහ්මණයෝ කීහ. ඒ කුමාරයා අතිශයින් දුෂ්ටය. එබැවින් ඔහුගේ නම ද දුෂ්ට කුමාරයා ම විය. වැඩිවිය පැමිණි කල්හි කිතවාස රජ තෙමේ ඒ කුමාරයාට යුව රජ තනතුර දින. පැන් නො ලබා කුමාරයා මැරේය යන බියෙන් රජතුමා නගරද්වාර සතරෙහි ද නගරයෙහි තැන් තැන්වල ද මහ පොකුණු කැණවීය. මංසන්දිවල පැනසැල් පිහිට වීය. දිනක් දුෂ්ට කුමාරයෝ අත්‍යාලංකාරයෙන් සැරසී ඇතු පිට නැගී ජනයා පිරිවරා උයනට යනුයේ මඟ පසේ බුදුකෙනකුන් දුටුවේ ය. ඔහු හා ගිය ජනයෝ පසේ බුදුනට වැන්දෝය. ඒ දැක කුමාරයා “මා හා යන්නාවූ ජනයෝ මා සිටියදී මා ඉදිරියේ ම මේ මුණ්ඩකයාහට වඳින්නාහ. ප්‍රශංසා කරන්නාහ” යි තමනට කිසිම වරදක් නො කළාවූ පසේ බුදුනට කිපී ඇතුපිටින් බැස පසේ බුදුන් කරා ගොස්, “මහණ තට බත් ලැබුණේදැ”යි අසා “එසේය, කුමාරයෙනි” යි කී කල්හි උන්වහන්සේ ගේ පාත්‍රය ගෙන බිම ගසා පාගා සුණු විසුණු කෙළේ ය. පසේ බුදුන්වහන්සේ “අහෝ! මේ අඥයා නැසුණේ නොවේදැ”යි අනුකම්පා සහගත සිතින් ඔහුගේ මුහුණ බැලූ සේක. “ශ්‍රමණය, මම කිතවාස රජුගේ පුත්‍ර වූ දුෂ්ට කුමාර වෙමි. නුඹ මා දෙස බලා මට කුමක් කරන්නෙහිදැ”යි කීය. පසේ බුදුන් වහන්සේ සුන්බත් ඇත්තෝ අහසින් ම හිමාලය වනයට වැඩි සේක. දුෂ්ට කුමාරයාට පසේ බුදුනට කළ අපරාධය එකෙණෙහි ම විපාක දෙන්නට විය. ඔහුගේ ශරීරය ගින්නට ලූ කලෙක මෙන් දැවෙන්නට විය. ඔහු “දන්නේය, දන්නේ ය”යි කෑ ගසමින් එතැනම ඇද වැටිණ. ඒ සමීපයෙහි තිබූ පැන්සැළි ද වියළී ගියේ ය. ඔහුට පෙවීමට පැන් බිඳකුදු සොයා ගත නො හැකි විය. ඔහු එතැන ම මිය අවීචි මහා නරකයෙහි උපන්නේ ය. දුෂ්ට කුමාරයා තමා කෙරෙහි හටගත්තා වූ ක්‍රෝධය නිසා පසේ බුදුනට ද අපරාධ කොට තමා ද නැසුණේ ය.
මෝඩයෝ අස්ථානයෙහි කිපෙන්නාහු තමහට අව්ව නුවමනා කල්හි අව්වට ද, වැසි නුවමනා කල්හි වැස්සට ද, සුළඟ නුවමනා කල්හි සුළඟට ද, ගල්මුල්වල පය සැපුණු කල්හි ගල්මුල් වලට ද කිපෙති.
කවර අයුරකින් වුවද හට ගන්නා වූ ක්‍රෝධය පළමු කොට ස්වල්ප වශයෙන් හටගෙන පසු ව ක්‍රමයෙන් වැඩෙන්නේ ය. පළමු හටගන්නා වූ ක්‍රෝධය සිත රෞද්‍ර බවට පමුණුවයි. එය නො සන්සිඳුණේ නම් තවත් වැඩී පරුෂ වචන කියවන තැනට පැමිණේ. ඒ අවස්ථාවෙහි නො සන්සිඳුනහොත් පරහට අත් පා වලින් පහර දෙන අවස්ථාවට ද අන්සතු වස්තුව විනාශ කරන අවස්ථාවට ද පැමිණේ. ඒ අවස්ථාවෙහි නො සන්සිඳුනහොත් පිහියා කඩු තුවක්කු ආදී මාරක ආයුධ පාවිච්චි කරන තැනට පැමිණේ. එයින් ද නොසන්සිඳුනහොත් සිය ජීවිතය නසා ගන්නා අවස්ථාවට පැමිණ සිය ජීවිතය ද නසා ගනී. එබැවින් මහ බෝසත් කෘෂ්ණ තාපසයෝ සක්දෙව් රජුට ධර්ම දේශනා කරන්නාහු.
“අප්පෝ හුත්වා බහු හෝති
වඩ්ඪතේ සෝ අඛන්තිජෝ,
ආසඞ්ගි බහු පායාසෝ
තස්මා කොධං නරොචයේ”
යනු වදාළෝ ය.
“නො ඉවසීමෙන් හටගන්නා වූ ක්‍රෝධය පළමු කුඩා වී පසුව මහත් වන්නේ ය. විරුද්ධකාරයා කෙරෙහි නැවත නැවත එල්ලෙන ස්වභාව ඇත්තේ ය. බොහෝ දුක් ඇත්තේ ය. එබැවින් ඒ ක්‍රෝධය මට රුචි නො වන්නේ ය” යනු එහි අදහසයි.
මෙසේ ඉපද වැඩෙන්නා වූ ක්‍රෝධය සැම අවස්ථාවේදී ම සත්ත්වයාගේ සිත කිලිටි කරන්නේ ය. සිතට බබලන්නට නො දෙන්නේ ය. එහෙයින්,
“අනත්ථජනනෝ දෝසෝ - දෝසෝ චිත්තපකෝපනෝ
භයමන්තරතෝ ජාතං - තං ජනෝ නාවබුජ්ඣති
-
දුට්ඨෝ අත්ථං න ජානාති - දුට්ඨො ධම්මං න පස්සති
අන්ධන්තමං තදා හොති - යං දොසො සහතෙ නරං.”
යනු වදාරන ලදි.
ද්වේෂය තමාට හා අනුන්ට නොයෙක් අනර්ථ උපදවන්නේ ය. ද්වේෂය සත්ත්වයාගේ සිත බොර කරන්නේය. එය සත්ත්වයා තුළ ම හට ගන්නා වූ භයෙක. ඒ බව අඥජනයන්ට නො දැනෙන්නේ ය. කිපුණු තැනැත්තා හට ආත්මාර්ථ පරාර්ථ දෙක නො දැනෙන්නේ ය. කිපුණු තැනැත්තා හට දශකුශල කර්ම පථ සංඛ්‍යාත ධර්මය නො පෙනෙන්නේ ය. යම් කලෙක සත්ත්වයාගේ සිත ද්වේෂයෙන් පෙළනු ලබන්නේ ද එකල්හි ඕහට මහඳුරක් වන්නේය.” යනු එහි අදහසයි.
ක්‍රෝධයෙන් සිත කිලිටි වූ කල්හි අඳුරු වූ කල්හි සත්ත්වයාහට තමා කරන්නට යන දෙයින් තමාටත් අනුන්ටත් වන්නා වූ හානිය නො පෙනෙන්නේ ය. අනුන්ට පීඩා කිරීම අනුන් නැසීම නමැති අනර්ථකර දෙය ඔහුට ඒ අවස්ථාවට කළ යුතුම දෙයක් සැටියට පෙනෙන්නේ ය. නොකර හැරීම ම නපුරක් සේ පෙනෙන්නේ ය. එබැවින් කිපුණාහු ක්‍රෝධය කරණකොට ගෙන අනුන් අයත් වූ ද තමා අයත් වූ ද මැටි බඳුන් ඇඳ පුටු ආදී ගෘහ භාණ්ඩ විනාශ කරති. ඇඳුම් පැළඳුම් විනාශ කරති. කෙත්වතු පාලු කරති. ගෙවල් ගිනි ලති. අනුන්ට ආක්‍රෝශ කරති ගසති. අනුන් මරති. සමහර විට ඉතා හිතවත් සහෝදර සහෝදරියන් ද මරති. මව්පියන් ද මරති. අඹුදරුවන් ද මරති. ශ්‍රමණයන් බ්‍රාහ්මණයන් නසති, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට අපරාධ කරති, යුද කොට සිය ගණන් දහස් ගණන් මිනිසුන් මරති. සමහර විට තමාගේ ජීවිතය ද නසා ගනිති. මේවායින් තමාට හා අනුන්ට ද වන්නා වූ අනර්ථය ඉතා විශාලය. දුක ඉතා විශාලය.
ක්‍රෝධය විෂ මිශ්‍ර මිහිරි බොජුනක් වැන්නකි. විෂ මිශ්‍ර වුවද මිහිරි බොජුන් අනුභව කිරීමට මිහිරිය. නමුත් පසුව එයින් කටුක ඵල හටගනී. එමෙන් ක්‍රෝධය ද පරහට අනර්ථ කිරීමේ දී මිහිරිය. පසුව එය ඒ පුද්ගලයාට කටුක ඵල මෙලොව පරලොව දෙක්හිම ගෙන දෙන්නේ ය. ක්‍රෝධයෙන් තමාගේ වස්තුවට හානි කරගත් තැනැත්තාට එය සන්සිඳුනු කල්හි තමාගේ භාණ්ඩ නැති කමින් දුක්වන්නට සිදුවේ. පරභාණ්ඩයන් විනාශ කළා වූ ද පර පුද්ගලයන්ට හිංසා කළා වූ ද තැනැත්තන්ට මෙලොව දණ්ඩනයට පැමිණීමෙන් නෑයන් මිත්‍රයන් ද සමග දුක්වන්නට සිදුවේ. මරණින් මතු නරකාදි සතර අපායෙහි ඉපිද බොහෝ දීර්ඝ කාලයක් දුක් වන්නට සිදුවේ. එබැවින් ක්‍රෝධය අනර්ථකර යයි ද දුක් උපදවන්නේ යයි ද කියන ලදි.
මේ මහානර්ථකර වූ ක්‍රෝධයෙන් සිත රැක ගැනීමට ඉවසීම පුරුදු කළ යුතුය. කොතෙක් ඉවසීම පුරුදු කළත් මාර්ගඥානයෙන් සර්වාකාරයෙන් ද්වේෂය දුරු කරන තෙක් කෝපය සර්වාකාරයෙන් නොහටගන්නා තැනට නොපැමිණේ. එබැවින් මහත් පරිශ්‍රමයෙන් ඉවසීම පුරුදු කරන්නා වූ සත්පුරුෂයන්ට ද සමහර කරුණුවලදී කෝපය හටගනී. එසේ කෝපය හටගත් කල්හි ඒ කෝප නමැති සර්පයාට පිටවන්නට නොදී අභ්‍යන්තරයෙහිදී ම නැති කළ යුතුය. ඉවසීම පුරුදු කරන්නවුන් විසින් පුණ්ණ තෙරුන් වහන්සේ ආදර්ශයට ගත යුතු.