ඉෂ්ටානිෂ්ටයන් සම ව සැලකීමේ වේශයෙන් සම්මෝහය වඤ්චා කෙරේ.
ධර්මය ඉගෙනීම භාවනාවෙහි යෙදීම යන ආදියෙන් සකස් නො කළා වූ ප්‍රකෘති චිත්තය ඇති සාමාන්‍ය පුද්ගලයා ගේ සිත, ලාභ පරිවාර ප්‍රශංසා සුඛ සංඛ්‍යාත ඉෂ්ටයන් කරණකොට ගෙන ඇලීම් උඩඟුවීම් වශයෙන් සැලෙන්නේ ය. විපර්‍ය්‍යාසයට පැමිණෙන්නේ ය. එසේම අලාභ හානි නින්දා දුඃඛ සංඛ්‍යාත අනිෂ්ටයන් කරණකොට ගෙන කිපීම් බියවීම් ශෝක කිරීම් ලජ්ජාවීම් ආදියෙන් විපර්‍ය්‍යාසයට පැමිණෙන්නේ ය. තෘෂ්ණාමානාදි ක්ලේශයන් බැහැර කොට සිත දියුණු කර ගත් පිරිසිදු කරගත් පුද්ගලයන්ගේ සිත ඉෂ්ටානිෂ්ට දෙකෙහි ම විපර්‍ය්‍යාසයක් නැති ව සම ව පවත්නේ ය. ඒ ඉෂ්ටානිෂ්ට දෙක්හි සම ව පැවතිය හැකි බව වනාහි ආර්‍ය්‍ය ගුණයකි. එය සර්ව සම්පූර්ණ තත්ත්වයෙන් ඇත්තේ රහතුන් කෙරෙහි පමණ ය. ධර්මය පුහුණු කිරීම භාවනා කිරීම යන ආදියෙන් සිත තරමක් දුරට ශුද්ධ කරගත් පෘථග්ජනයන් තුළ ද ඒ ගුණය තරමක් දුරට ඇති වේ. මෙහි ඉෂ්ටානිෂ්ටයන් සම ව සැලකීම යැ යි කියන ලදුයේ ඒ ගුණයට ය. ඉෂ්ටානිෂ්ටයන්ගේ තත්ත්වය තේරුම් ගැනීමට අසමත් බව වූ සම්මෝහය නිසා ද සමහරු සමහරවිට ඉෂ්ටානිෂ්ටයන් හි නො සැලී වෙනසකට නොපැමිණ වෙසෙති. සම්මෝහය නිසා වන ඒ ඉෂ්ටානිෂ්ටයන් සම කොට සැලකීම ගුණයක් නොවේ. එහෙත් සමහර විට එයත් තමාගේ ගුණයකැයි මුලා විය හැකිය. “ඉෂ්ටානිෂ්ටයන් සම සේ සැලකීමේ ආකාරයෙන් සම්මෝහය වඤ්චා කෙරේ යැ යි” කියන ලදුයේ එහෙයිනි.