ආත්මාධිපත්‍යයේ ආකාරයෙන් ගුරුන්ගේ අනුශාසනාව නොපිළිගන්නා ස්වභාව වඤ්චා කෙරේ.
අනුන් කියන සැම දෙයක් ම නො විමසා පිළිගැනීමත්, නො විමසා අනුන් කියන දෙයට අනුකූලවීමත්, ඒ අනුව ක්‍රියා කිරීමත් පරිහානියට කරුණුය. අනුන් කී පමණින් ම යමක් නොපිළිගෙන තමාගේ නුවණින් විමසා ගත යුත්ත ගන්නාවූ ද, නොගත යුත්ත බැහැර කරන්නවූද, අනුකූල විය යුත්තාට අනුකූල වන්නා වූ ද, අනුකූල නොවිය යුත්තට අනුකූල නොවන්නා වූ ද ස්වභාවය ආත්මාධිපතිතා නමි. එය කෙනකුගේ දෙලෝ දියුණුවට කරුණක් වන උතුම් ගුණයකි. තමා නොදත් දේ බොහෝ ඇතත් සියල්ලම තමා දන්නේ යැයි සිතා, අනුන් කියන සියල්ල ම නොවිමසා ප්‍රතික්ෂේප කරන, උතුමන්ට ගරු නොකරන අවනත නොවන ස්වභාවයක් සමහරුන්ට තිබේ. පරිහානියට කරුණක් වූ ඒ ගුරුන්ගේ වැඩිමහල්ලන්ගේ අනුශාසනාව නොපිළිගන්නා ස්වභාවය වූ ද, නොනැමෙන ස්වභාවය වූ ද, අතිමානය හා ථම්භය, සමහර විට ආත්මාධිපතිතා වේශය ගන්නේ ය. එයින් වඤ්චිත තැනැත්තේ මා පිය ගුරුවරාදි හිතවතුන්ගේ අනුශාසනාවන්ට පිටිපා ක්‍රියා කරන්නෙක් වන්නේය.