මෙසේ කම්මවට්ට - විපාකවට්ට වශයෙන් නාම-රූපයන් ගේ ප්‍රත්‍යය පරිග්‍රහ කොට අතීතාදි කාලත්‍රයයෙහි විචිකිච්ඡාව ප්‍රහීණ කළ ඒ යෝගීනට සියලු අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්න ධර්‍මයෝ චුති පටිසන්ධි වශයෙන් ප්‍රකට වෙති. අනුපද කර්‍ම වශයෙන් නො වේ.
එ යොගීහු ගේ ඒ ප්‍රඥාව නාම-රූප පරිග්‍රහ කිරීම හා නාම-රූපයන් ගේ ප්‍රත්‍යය පරිග්‍රහ කිරීමදැ යි මෙසේ ක්‍රමයෙන් පරිච්ඡෙද වශයෙන් දත් හෙයින් ඤාතපරිඤ්ඤා නම.
ඒ යොගී මෙසේ දනී. ‘අතීත භවයෙහි කර්‍මප්‍රත්‍යයයෙන් උපන් ස්කන්‍ධයෝ ඒ භවයෙහි ම නිරුද්ධ වූහ. අතීත කර්‍මප්‍රත්‍යයයෙන් මේ (වර්‍තමාන) භවයෙහි අනික් ස්කන්ධයෝ පහළ වූහ. ඒ අතීත භවයෙන් මේ භවයට ආ එක ද ධර්‍මයකුදු නැත්තේ ය. මේ භවයෙහි ද කර්‍මප්‍රත්‍යයයෙන් නිපන් ස්කන්ධයෝ මේ භවයෙහි ම නිරුද්ධ වන්නාහ. පුනර්‍භවයෙහි අනික් ස්කන්ධයෝ පහළ වන්නාහ. මේ භවයෙන් පුනර්‍භවයෙහි අනික් ස්කන්ධයෝ පහළ වන්නාහ. මේ භවයෙන් පුනර්‍භවයට එක ද ධර්‍මයෙක් නොයන්නේ යැ. එහෙයින් ධර්‍මයන් ගේ භවාන්තර (අන්‍ය භවයකට) සංක්‍රමණයෙක් නම් නැත්තේ යැ’ කියා යි.
නිදර්‍ශන:- ගුරු මුඛයෙන් හැදෑරු මන්ත්‍රාදිය අතවැසියා ගේ මුඛයට නො පිවිසේ. එහෙත් ඒ නො පිවිසීමෙන් අතවැස්සා ගේ මුඛයෙහි හැදෑරීම නො පවත්නේ නො වේ. පවත්නේ මැයි. දූතයා බී මන්ත්‍රොදකය රෝගියා ගේ උදරයට නො වදී. ඒ නො වැදීමෙන් ඔහු ගේ රෝගය නො සන්සිඳෙන්නේ නො වේ. සන්සිඳේමැ යි. මුහුණෙහි වූ අලඞ්කාර විධානය කැටපත් තලාදියෙහි මුඛප්‍රතිබිම්බයට නො පැමිණේ. ඒ නො පැමිණීමෙන් කැටපත් අදියෙහි අලඞ්කාර විධානය නො පැනෙන්නේ නො වේ. පැනේ මැ යි. එක් පහන් වැටියක පහන් සිළුව අනික් පහන් වැටියකට සංක්‍රමණය නො වේ. එහෙත් ඒ හේතුවෙන් ඒ පහන් වැටියෙහි පහන් සිළුව නො දැල්වෙන්නේ නො වේ. දැල්වේමැ යි.
මෙසේ ම අතීත භවයෙන් මේ භවයට ද, මේ භවයෙන් පුනර්‍භවයට ද කිසිදු ධර්‍මයෙක් සංක්‍රමණය නො වේ. එහෙත් අතීත භවයෙහි ස්කන්ධ-ආයතන-ධාතු- ප්‍රත්‍යයයෙන් පුනර්‍භවයෙහි ද ස්කන්ධ-ආයතන-ධාතු නූපදින්නාහු නො වෙති. උපදින්නාහුමැය යි දනී.
“යථෙව චක්ඛුවිඤ්ඤාණං - මනොධාතු අනන්තරං
න චෙව ආගතං නාපි - න නිබ්බත්තං අනන්තරං
තථෙව පටිසන්ධිම්හි - වත්තතෙ චිත්තසන්තති
පුරිමං භිජ්ජති චිත්තං - පච්ඡිමං ජායතී තතො
තෙසං අන්තරිකා නත්‍ථි - වීචි තෙසං න විජ්ජති
න චිතො ගච්ඡති කිඤ්චි - පටිසන්‍ධි ච ජායති”
“මනදා*[1] අනතුර හි - සක්විනැණි‘න්+ නො ආයේ
එතෙකුදු එයට අනතුරු - නො නිපන්නේ ද නො ද වේ”
“එ මෙන් පිළිසඳෙහි ද - සිත් පරපුර පවත්නේ
පළමු සිත බුන් අනතුරු - පිළිසිඳ සිත උපද්දී”
“ඔවුනතුරැ කිසිවක් - නැති ඉන් අතුරු නැත්මැ යි
මින් කිසිවක් එහි නොයේ - පිළිසිඳ සිත ද උපදී”
මෙසේ චුති-පටිසන්ධි වශයෙන් දක්නාලද සියලු ධර්‍ම ඇති ඕහට සර්‍වාකාරයෙන් නාම-රූපයන් ගේ ප්‍රත්‍යය පරිග්‍රහ ඥානය ස්ථිර බවට පැමිණියේ වේ. සොළොස් වැදෑරුම් කඞ්ඛාව ප්‍රහීණ වේ. හුදෙක් ඒ මතු නො වේ. (සත්‍ථිරිකඞ්ඛති) යනාදි ක්‍රමයෙන් පැවැති අට වැදෑරුම් සැකය ද, ප්‍රහීණ වේ. දෙසැට (62) දෘෂ්ටීහු විෂ්කම්භනය වෙති.
විශේෂ:- බුද්ධ - ධම්ම - සංඝ - සික්ඛා - පුබ්බන්ත - අපරන්ත - පුබ්බන්තාපරන්ත - පටිච්ච සමුප්පාද ධම්ම යන මේ අට තැන යි.
‘මෙසේ නානා නයින් නාම-රූපයනට ප්‍රත්‍යය පරිග්‍රහයෙන් තුන් කල්හි කාංක්‍ෂාව ඉක්ම සිටි ඤාණය කඞ්ඛාවිතරණ විසුද්ධිය’යි දත යුතු යථාභූතඤාණය යි ද එයට ම නමි.
විස්තර:- යට කී සොළොස් විචිකිච්ඡාව ද, බුදුන් කෙරෙහි සැක කරයි, යනාදී අට තැන්හි විචිකිච්ඡාව ද දෙ සැට දෘෂ්ටිය ද ඉක්ම සිටි හෙයින් කඞ්ඛාවිතනරණ විසුදධි යැයි ද, ධර්‍ම නම් ඵලයැ, එයට ප්‍රත්‍යය වූයේ ධර්‍මස්ථිති යැයි (ප්‍රත්‍යය ධර්‍මයයි) ඒ ප්‍රත්‍යය ධර්‍මයන් පිරිසිඳ දන්නා හෙයින් ධම්මට්ඨිතිඤාණ යැයි ද, සංස්කාර ධර්‍මයන් ගේ යථාස්වභාවය වූ අනිත්‍යාදිය දන්නා හෙයින් යථාභූතඤාණ යැයි ද සම්‍යක් දර්‍ශන යැයි ද මෙයට ම නමි, එයින් වදාළහ.
“අවිජ්ජා පච්චයො, සංඛාරා, පච්චයසමුප්පන්නා, අභොපෙතෙ ධම්මා පච්චයසමුප්පන්තාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මඨිති ඤාණන්ති”[2] ‘අවිද්‍යාව හෙත්‍වාදී වශයෙන් සංස්කාරයනට ප්‍රත්‍යය වේ. සංස්කාර දෙකම ප්‍රත්‍යය සමුත්පන්න යයි ප්‍රත්‍යය පිරිසිඳ දැනීම් වශයෙන් පැවැති ඥානය ධර්‍මස්තිති ඥානය නම් වේ.
ප්‍රශ්නය : අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නේ කවර ධර්‍ම කෙනෙකුන් තතු සේ දනී ද, දකී ද
උත්තරය : අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නේ නිමිත්ත සඞ්ඛ්‍යාත පඤ්චස්කන්ධය තතු සේ දනී, දකී. ඝන සංඥා ප්‍රවෘත්තියට වස්තු හෙයින් නිමිත්ත නම් වේ. එහෙයින් සම්‍යක් දර්‍ශනය යි කියති.
ප්‍රශ්නය : ඕහට සම්‍යක් දර්‍ශනය කෙසේ වේ ද?
උත්තර : සංස්කාර විෂයෙහි නිත්‍යනා ලේශයකුදු නැති හෙයින් අනිත්‍ය වශයෙන් බලන්නාහට තතු සේ වැටහේ. එහෙයින් සම්‍යක් දර්‍ශනය වේ.
ප්‍රශ්නය : කෙසේ ප්‍රත්‍යක්‍ෂයෙන් දත් දේ අනු වැ යාමෙන් සර්‍ව ධර්‍මයෝ අනිත්‍ය වශයෙන් දක්නා ලද්දෝ වෙත් ද
උත්තරය : වර්‍තමාන ස්කන්ධයෙහි මෙන් අතීත - අනාගත ස්කන්ධයෙහි ද න්‍යාය වශයෙන් එළවා සියලු සංස්කාර අනිත්‍යය යි මනාව දර්‍ශනය වේ.
ප්‍රශ්නය : සැකය කොතැන්හි ප්‍රහීණ වේ ද
උත්තරය : බුද්ධාදි අට තන්හි ද, ෂෝටශ (16) විචිකිච්ඡාස්ථාන යෙහි ද - (ද්වාෂෂ්ටි (62) දෘෂ්ටියෙහි ද, පිහිටි කාංක්‍ෂාව ප්‍රහීන වේ. (විස්තර ටීකාහි වේ.)
ප්‍රශ්නය:- දුඃඛ වශයෙන් මෙනෙහි කරන්නේ කවර ධර්‍ම කෙනෙක් තතු සේ දනී ද, දකී ද
උත්තරය : දුක් වශයෙන් මෙනෙහි කරනුයේ උපාදින්න නම් වූ ස්කන්ධ ප්‍රවෘත්තිය ක්ලෙශාභිසංස්කාරයන් විසින් පවත්වන හෙයින් අතිශයින් දුක්යැ යි දැනීම-දැකීම (වැටහීම) වේ. සෙස්ස ද මෙසේ යි.
ප්‍රශ්නය:- අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ කවර ධර්‍මයන් තතු සේ දනී, ද දකී ද
උත්තරය:- අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ නිම්ත්ත ප්‍රවෘත්තිය යි කියන ලද අධ්‍යාත්ම වූ ද, බාහිර වූ ද, සියලු සප්‍රත්‍යය නාම-රූප ධර්‍මයන් තතු සේ දනී, දකී, සෙස්ස ද මෙසේ මැ යි. මෙහි කාංක්‍ෂා ප්‍රහීණ වේ.