නාම-රූප ප්‍ර‍ත්‍ය සෙවීම

මේ නාම-රූපයන් ගේ ම ප්‍ර‍ත්‍යය පිරිසිඳීමෙන් තුන් කල්හි පැවැති සැක දුරු කර සිටි ඤාණය කඞ්ඛාවිතරණ විසුද්ධිය යි.”

එය ලබනු කැමැති භික්‍ෂු තෙමේ දක්‍ෂ වෛද්‍යවරයකු රෝගයක් දැක එහි නිදානය සොයන්නා සේ ද, අනුකම්පා ඇති පුරුෂයකු වීථියෙකැ වැටී හුන් ළදරුවකු දැක මේ කවරකු ගේ පුතෙක්දැ යි ඔහු ගේ මවුපියන් සොයන්නා සේ ද ඒ නාම රූපයන් ගේ හේතු-ප්‍ර‍ත්‍යය සෙවීමෙහි නියුක්ත වේ.

(1) හෙතෙමේ මුලදීම මෙසේ සලකයි:- ‘මේ නාම-රූප සියලු තන්හි සියලු කල්හි සියල්ලනට සමවැ නො පැමිණෙන හෙයින් අහේතුක නො වේ’ ‘නාම-රූප දෙකින් මත්තෙහි ඊශ්වරාදි මැවුම් කරුවකු නැති හෙයින් ඊශ්වරාදි හේතුවකිනුදු හට නො ගැනේ’ එහෙයින් ම මෙයට හේතු-ප්‍ර‍ත්‍යය ඇති මැනවැ. ඒ හේතු-ප්‍ර‍ත්‍යය කවරේදැ යි, කියා යි. හෙතෙමේ මෙසේ නාම-රූපයනට හේතු-ප්‍ර‍ත්‍යය සලකා පළමු කොට රූපකායයට මෙසේ හේතු-ප්‍ර‍ත්‍යය පරීක්‍ෂා කරයි.

මේ කය උපදනේ උපුල් පියුම්, හෙළපියුම්, හෙල්මැලි ආදීන් ගේ අභ්‍යන්තරයෙහි නූපදී. මුතු මැණික් ආකරයක හෝ නූපදී. වැලි ආමාශය (නො පැසුණු අහර බොක්ක) පක්‍වාශය (පැසුණු අහර බොක්ක) යන මොවුන් අතරෙහි උදර පටලයට පිටුවා පිට කටුව පෙරටු කොට අතුණු-අතුණුබහන් පිරිවරා තෙමේත් දුගඳ-ජුගුප්සා -පිළිකුල් වූයේ එසේ ම දුර්‍ගන්‍ධ-ජුගුප්සා-පිළිකුල් වූ අතිශයින් සම්බාධ වූ ස්ථානයෙහි කුණු මස් කුණු කුණප-කුණු කොමු - ගම්දොර ගවර වළ-අසුචි වළය යනාදි තැනෙකැ පණුවකු සේ උපදී.

එසේ උපදනහුට අවිද්‍යා යැ, තෘෂ්ණා යැ, උපාදාන යැ. කර්‍ම යැ, යන මොහු උපදවන හෙයින් හේතූහු වෙති. ආහාරය, උපස්තම්භක (උවටැන් කරන) හෙයින් ප්‍ර‍ත්‍යය වේ. මෙසේ මේ පඤ්ච ධර්‍ම හේතු-ප්‍ර‍ත්‍යය වේ. ඔවුනතුරිනුදු ‘අවිද්‍යා-තෘෂ්ණා-උපාදාන යන තුන ළදරුවකුට මව මෙන් මේ කයට උපනිශ්‍ර‍ය වේ. කර්‍මය පුතාට පියා මෙන් ජනක වේ. ආහාරය ළදරුවාට කිරිමව සේ සන්‍ධාරක (ධාරා සිටින්නේ) වේ’ ය යි මෙසේ රූපකායයට ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හ කොට නැවැත “චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං[1] චක්‍ෂුඃප්‍ර‍සාදය ද, රූපාලම්බනය ද, නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී” යනාදි ක්‍ර‍මයෙන් නාම කායයට ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හ කෙරේ. මෙසේ ප්‍ර‍ත්‍යය වශයෙන් නාම-රූපයන් ගේ ප්‍ර‍වෘත්තිය දැක මේ නාම-රූප දැන් සේ ම අතීතයෙහි ද හෙතු-ප්‍ර‍ත්‍යය නිසා පැවැත්තේ ය. මත්තෙහිදු හේතු-ප්‍ර‍ත්‍යය නිසා පැවැත්තේ ය. මත්තෙහිදු හේතු-ප්‍ර‍ත්‍යය නිසා පවත්නේය යි දකී. මෙසේ බලන්නා වූ ඒ යෝගාවචරයා ගේ පූර්‍වාන්ත සඞ්ඛාත අතීත ස්කන්ධ පඤ්චකය අරභයා “මම අතීත කාලයෙහි සිටියෙම්ද, නොසිටියෙම් ද, කවරෙක් වැ සිටියෙම් ද, කෙබන්දෙක් වැ සිටියෙම් ද, කවරෙක්වැ සිට කවරෙක් වූයෙම්දැ යි’ පස් ආකාරයෙකින් කියන ලද විචිකිච්ඡාව ද අපරාන්ත සඞ්ඛ්‍යාත අනාගතාධ්වය අරභවා අනාගත කාලයෙහි මම වන්නෙම් ද, නොවන්නෙම් ද, කවරෙක් වන්නෙම් ද කෙබන්දෙක් වන්නෙම් ද කවරෙක් වැ කවරෙක් වන්නෙම්දැ යි’ කියන ලද පස් ආකාර විචිකිච්ඡාව ද, දැන් වර්‍තමාන ස්කන්ධ පඤ්චකය අරභයා ‘මම වෙම් ද, මේ සත්ත්ව තෙමේ කොහි සිට මෙහි ආවේ ද, නැවැතැ කොහි යන්නේදැ යි’ මෙසේ සවැදෑරුම් විචිකිච්ඡාවදැ යි මේ කාලත්‍ර‍ය පිළිබඳ සොළොස් (16) ආකාර විචිකිච්ඡා ප්‍ර‍හීණ වේ.

(2) අනෙකෙක් නාමකායයට සාධාරණ - අසාධාරණ වශයෙන් දෙ ආකාර ප්‍ර‍ත්‍යය බලයි. රූපයට කර්‍මාදි වශයෙන් චතුර්විධ ප්‍ර‍ත්‍යය බලයි.

විස්තර :- නාමයට සාධාරණය, අසාධාරණයැ යි ප්‍ර‍ත්‍යය දෙකෙකි. චක්‍ෂුරාදි සදොර හා රූපාදි සාරමුණ ද නාමයට සාධාරණ ප්‍ර‍ත්‍ය යි.

‘කුශල-අකුශල - විපාක - ක්‍රියා භේදයෙන් සර්‍වප්‍ර‍කාර වූ නාමය චක්‍ෂුරාදි ද්වාරයෙන් රූපාදි සාරමුණෙහි පවත්නා හෙයිනි. මනසිකාරාදිය අසාධාරණ ප්‍ර‍ත්‍යය යි.

ඒ මෙසේ යි : යෝනිසො මනසිකාර - සද්ධර්‍මශ්‍ර‍වණාදිය කුශලයට ම අසාධාරණ ප්‍ර‍ත්‍යය යැ.

අයොනිසො මනසිකාර - අසද්ධර්‍මශ්‍ර‍වණාදිය එයට විපරීත වූයේ අකුශලයට අසාධාරණ ප්‍ර‍ත්‍යය යැ. කර්‍ම-අවිද්‍යා-ගති-කාලාදිය විපාකයට අසාධාරණ ප්‍ර‍ත්‍යය යැ. භවාඞ්ගාදිය ක්‍රියා චිත්තයට අසාධාරණ ප්‍ර‍ත්‍යය යි.

විශේෂ : කර්‍මය, කර්‍මනිමිත්තය, ගතිනිමිත්තය යන තුන චුති-ප්‍ර‍තිසන්ධි විපාකයට ප්‍ර‍ත්‍යය වේ. කාලාදිය යි කී ආදී ශබ්දයෙන් සත්පුරුෂ සේවනාදි චතුශ්චක්‍ර‍ක සම්පත්තීන් ගේ හෝ සංග්‍ර‍හය වේ. භවාඞ්ගය, පඤ්චද්‍වාරාවජ්ජන-මනොද්‍වාරාවජ්ජන දෙකට ද, සන්තීරණය වොත්‍ථපනයට ද, වොත්‍ථපනය ක්‍රියාවනට ද ප්‍ර‍ත්‍යය වේ. පරිත්ත ක්‍රියාවෝ යථායෝගයෙන් පරිත්ත මහද්ගත ක්‍රියාවනට ද ප්‍ර‍ත්‍යය වෙති. අර්‍හත්‍වය ආවර්‍ජන ද්‍වය වර්ජිත සියලු ක්‍රියාවනට ප්‍ර‍ත්‍යය වේ. (යනු ටීකා යි)

රූපයට කර්‍ම ය, චිත්ත යැ, සෘතු යැ, ආහාරයැ යි චතුර්විධ ප්‍ර‍ත්‍යය වේ. ඔවුනතුරින් ‘කර්‍මය අතීත වූයේ ම කර්‍මසමුත්‍ථාන රූපයට ප්‍ර‍ත්‍යය වේ. භෙද උත්පත්ති ක්‍ෂණයෙහි මැයි ‘සෘතු-ආහාර දෙදෙන සෘතුජ-ආහාරජ රූපයනට ස්ථිති ක්‍ෂණයෙහි ප්‍ර‍ත්‍යය වේ.’ ය යි මෙසේ ඇතැම් යෝගියෙක් නාම-රූපයනට ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හ කෙරේ. හෙතෙමේ මෙසේ ප්‍ර‍ත්‍යය වශයෙන් නාම-රූපයන් ගේ පැවැත්ම බලා ‘මේ නාම-රූප වර්‍තමානයෙහි පවත්නා සේ අතීතයෙහි ද ප්‍ර‍ත්‍යය වශයෙන් පැවැත්තේ ය. අනාගතයෙහි ද ප්‍ර‍ත්‍යය වශයෙන් පවත්නේය’ යි නුවණින් බල යි. මෙසේ බලන ඒ යෝගීහට ත්‍රිකාලයෙහි ම කී පරිද්දෙන් විචිකිච්ඡාව ප්‍ර‍හීණ වේ.

(3) අනෙක් යෝගියෙක් මෙසේ නාම-රූප සඞ්ඛ්‍යාත සංස්කාරයන් ගේ ජරාවට පැමිණිම ද, ජරාවට පැමිණියවුන්ගේ භඞ්ගය ද දැක ‘මේ සංස්කාරයන් ගේ ජරා-මරණය උත්පත්තිය ඇති කල්හි වේ. ජාතිය කර්‍මභවය ඇති කල්හි ද, භවය උපාදානය ඇති කල්හි ද, උපාදානය තෘෂ්ණාව ඇති කල්හි ද, තෘෂ්ණාව වේදනාව ඇති කල්හි ද, වේදනාව ස්පර්‍ශය ඇති කල්හි ද, ස්පර්‍ශය ෂඩායතනය ඇති කල්හි ද, ෂඩායතනය නාම-රූප ඇති කල්හි ද, නාම-රූප විඥානය ඇති කල්හි ද, විඥානය සංස්කාර ඇති කල්හි ද, සංස්කාර අවිද්‍යාව ඇති කල්හි ද, වේය යි මෙසේ ප්‍ර‍තිලෝම පටිච්චසමුප්පාද වහයෙන් නාම-රූපයන් ගේ ප්‍ර‍ත්‍යය නිශ්චය කෙරේ. එකල ඔහු ගේ විචිකිච්ඡාව කියන ලද පරිදි ප්‍ර‍හීණ වේ.

(4) අනෙක් යෝගියෙක් - මෙසේ “අවිද්‍යා ප්‍ර‍ත්‍යයේන සංස්කාර වේය” යි පෙර පටිච්චසමුප්පාද නිර්‍දෙශයෙහි විස්තර කළ සේ අනුලොම පටිච්චසමුප්පාද වශයෙන් නාම-රූපයන් ගේ ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හ කෙරේ. එකල ඔහු ගේ කාංක්‍ෂාව ප්‍ර‍හීණ වේ.

(5) අනෙක් යෝගියෙක් පූර්‍ව කර්‍ම භවයෙහි මෝහය අවිද්‍යා යැ. කුශලා‘කුශල කර්‍ම රැස් කිරීම සංස්කාර යැ. පඤ්චකාමයෙහි ඇලීම් සඞ්ඛ්‍යාත නිකන්තිය තෘෂ්ණා යැ. දැඩිවැ ගැනීම උපාදාන යැ. අභිසංස්කරණ චේතනාව කර්‍මභවයැ යි, ‘මෙසේ පූර්‍ව කර්‍ම භවයෙහි මේ පඤ්ච ධර්‍මයෝ වර්‍තමාන ප්‍ර‍තිසන්ධියට ප්‍ර‍ත්‍යය වෙති. මේ (වර්‍තමාන) පතිසන්ධිය විඥානය, මවුකුසට වැදගැන් ම නැම-රූප ය, පඤ්චප්‍ර‍සාදය ආයතන ය. ආලම්බන ස්පර්‍ශය ඵස්ස යැ. විඳීම වේදනා යැ. මේ පඤ්චධර්‍මයෝ මේ වර්‍තමාන උත්පත්ති භවයෙහි පූර්‍වයෙහි කළ කර්‍මයාගේ ප්‍ර‍ත්‍යයයෙන් වෙති. මේ භවයෙහි චක්‍ෂුරාදි ආයතනයන් මිහිකිරීමට ගිය හෙයින් මොහය අවිද්‍යා යැ. පෙ - චේතනා කර්‍මභවයැ යි මේ පඤ්ච ධර්‍මයන් මේ කර්‍ම භවයෙහි මතු ප්‍රතිසන්ධි භවයට ප්‍ර‍ත්‍යය වෙති යි, මෙසේ කම්මවට්ට - විපාක - වට්ට වශයෙන් නාම-රූපයන් ගේ ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හ කෙරේ. එහි කම්මවට්ට ය. දිඨධම්මවෙදනීය යැ, උපපජ්ජවෙදනීය යැ, අපරාපරිය වේදනීය යැ, අහොසි කර්‍මයැ විපාක දෙන කාල වශයෙන් සතර ආකාර යි.

විස්තර:- ඒ කර්‍ම අතුරින් එක් ජවන වීථියෙකැ ජවන් සිත් සතින් කුසල් හෝ අකුසල් හෝ ප්‍ර‍ථම ජවන චෙතනාව දිඨධම්ම වෙදනීය කර්‍මය යැ. එය මේ අත්බව්හි ම විපාක දේ. එසේ විපාකයට නො පැමිනියේ අහෝසි කර්‍ම වේ.

ඒ මෙසේ යි:- අහෝසි කම්මං නාහොසි කම්මවිපාකො. න භවිස්සති කම්ම විපාකො. නත්‍ථි කම්ම විපාකො”[2] කර්‍ම වී, කර්‍ම විපාක නො වී, මතු කර්‍ම විපාක නොවේ. දැන් කර්‍ම විපාක නැතැ යී’ මේ ත්‍රික වශයෙනි.

‘කුශලා‘කුශල වශයෙන් අර්ථ සිද්ධි කරන, සත් වැනි ජවන චේතනාව උපපජ්ජවෙදනීය කර්‍ම නමි. ඒ කර්‍ම අනතුරු (දෙවෙනි) අත් බව්හි පතිසන්ධි විපාකය දේ. එසේ නො පොහොනේ යට කී සේ අහොසි කර්‍ම වේ. මෙ දැතුරෙහි වූ ජවන චේතනා පස අපරාපරිය වෙදනීය කර්‍ම වේ. ඒ කර්‍ම අනාගතයෙහි අවකාශ ලද යම් තැනෙකැ විපාක දේ. සංසාර ප්‍ර‍වෘත්තිය ඇති තාක් ඒ අහොසි කර්‍ම නම් නො වේ.

තවද විපාක දෙන ක්‍ර‍ම වශයෙන් සිව්වැදෑරුම් කර්‍මයෙහි ඒ යග්ගරුක-යබ්බහුල-යදාසන්ත-කටත්තාකර්‍ම වශයෙන් එහි ගරුක-අගරුකයන් අතුරින් අකුශල පක්‍ෂයෙහි මාතෘඝාතකාදි ආනන්තර්‍ය්‍ය කර්‍මයක් හෝ කුශල පක්‍ෂයෙහි ප්‍ර‍ථම ධ්‍යානාදි මහද්ගත කර්‍මයක් හෝ වේ නම් ඒ ගරු කර්‍ම නමි. එය ප්‍ර‍ථම කොට විපාක දේ.

එසේ ම බහුල-අබහුල කර්‍මයන් අතුරින් යමක් බහුල වේ නම් එය පළමු කොට විපාක දේ.

මරණාසන්න කාලයෙහි කළ කර්‍මය ආසන්න කර්‍ම යි. (මරණාසන්නයෙහි සිහි කළ කර්‍මය හෝ යදාසන්ත ය.) ඒ මතු භවයෙහි පළමු කොට විපාක දේ.

මෙයින් අන්‍ය වූ නැවැතැ-නැවැතැ ලබන ලද ආසේවන ඇති කර්‍මය කටත්තා කර්‍මය යි. පෙර කී කර්‍මයන් නැති කල මේ විපාක දේ.

අනිකුදු ජනක යැ, උපස්තම්භක යැ, උපපීඩක යැ, උපඝාතකයැ යි කෘත්‍ය වශයෙන් චතුර්විධ කර්‍මයෙන් වේ. ඔවුනතුරින් ජනක කර්‍මය කුසල් ද වේ. අකුසල් ද වේ. එය ප්‍ර‍තිසන්ධියෙහි ද, ප්‍ර‍වෘත්තියෙහි ද රූප-අරූප විපාක උපදවයි.

උපස්තම්භක කර්‍මය විපාක ඉපදවිය නොහේ. අන්‍යකර්‍මයෙකින් උපන් සුව-දුක් විපාකයනට රුකුල් දීම් වශයෙන් උපස්තම්භක වේ. උපපීඩක කර්‍මය ද අන්‍ය කර්‍මයකින් උපන් විපාකය (සුව-දුක්) වැළැක්වීම් වශයෙන් පෙළයි. උපඝාතක කර්‍මය ද කුසල් ද අකුසල් ද වේ. එය අනිත් දුර්‍වල කර්‍මය නසා තමා ගේ විපාකයට අවකාශ කෙරේ. මසේ කර්‍මයෙන් අවකාශ කළ කල්හි එහි විපාක උපදනේ නම් වේ. මෙසේ මේ දොළොස් වැදෑරුම් කර්‍මයන් ගේ කර්‍ම භේදය හා විපාක භේදය ද බුදුවරයන්ගේ කර්‍මවිපාකඥානයට තතු සේ ප්‍ර‍කට වේ. එය ශ්‍රාවකයන් හා අසාධාරණ වේ.

(විදර්‍ශකයා විසින් කර්‍මාන්තරය ද, විපාකාන්තරය ද, ලේශ මාත්‍ර‍යකින්වත් දත යුතු ය. එහෙයින් මුඛමාත්‍ර‍යක් දැක්වීමෙන් මේ කර්‍ම-විපාක ප්‍ර‍කාශ කරන ලදී.)

මෙසේ මේ ද්‍වාදශවිධ කර්‍මය කර්‍ම වෘත්තතයෙහි බහා නාම-රූපයනට ප්‍ර‍ත්‍යය පරිග්‍ර‍හ කෙරේ. හෙතෙමේ මෙසේ කම්මවට්ට විපාකවට්ට වශයෙන් ප්‍ර‍ත්‍යය හෙයින් නාම-රූපයන් ගේ පැවැත්ම බලා මේ දැන් පවත්නා සේ අතීතයෙහි කම්මවට්ට විපාකවට්ට පැවැත්තේ ය. අනාගතයෙහිදු කම්මවට්ට-විපාකවට්ට වශයෙන් ප්‍ර‍ත්‍යය විසින් පවත්නේ යි මෙසේ කර්‍මය ද, කර්‍මවිපාකය ද, කම්මට්ටය ද, විපාකවට්ටය ද, කර්‍ම ප්‍ර‍වෘත්තිය ද, විපාකප්‍ර‍වෘත්තිය ද, කර්මසන්තතිය ද, විපාක සන්තතිය ද, ක්‍රියා ද, ක්‍රියාඵල ද, වශයෙන්

“කම්මා විපාකා වත්තන්ති - විපාකො කම්මසම්භවො

තස්මා පුනබ්භවො හොති - එවං ලොකො පවත්තති”

“කැමින් විවා පවතී - විවා කැමින් උපදනේ

එයින් පුන බව වේ - මෙසේ සත් ලො පවතී”

යැයි දකී. මෙසේ නුවණින් දක්නා ඒ යෝගී හට පූර්‍වාන්තාදිය නිසා පෙර කී සේ ‘මව් වීම්දැ’ යි යනාදි නයින් කියන ලද සොළොස් (16) වැදෑරුම් විචිකිච්ඡා ප්‍ර‍හීණ වේ.

  1. සං:නි: සළායතනවග්ග 652

  2. ප:ම: කම්මකථා 271 (බුරුම)