දේශනා භේදයෙන් මෙසේ යි:- වැල් අදනා පුරුෂයන් සිවු දෙනකු ගේ වැල් ඇදීම මෙන් බුදුහු ද, පටිච්චසමුප්පාදය සිවු ආකාරයෙකින් වදාරත්.
1. මුල සිට අග තෙක් ද,
2. මැද සිට අග තෙක් ද,
3. අග සිට මුල තෙක් ද,
4. මැද සිටට මුල තෙක් දැයි කියායි.
විස්තර:- (1) ඔවුනතුරින් වැලේ මුල පළමු දුටුයේ එහි මුල කපා සියල්ල ඇදගෙන කර්මාන්තයෙහි යොදවයි. එසේ ම බුදුහු කම්ම - විපාක - කිලෙස වට්ටයන්ගේ මූලකාරණය වූ හේ මුලම කී හෙයින් මූලය වූ අවිද්‍යාව පටන් පර්‍ය්‍යාවසානයෙහි වදාළ ජරා මරණ තෙක් දෙසත්.
ඒ මෙසේ යි:-
“ඉති ඛො භික්ඛවෙ අවිජ්ජා පච්චයා සඞ්ඛාරා - පෙ - ජාති පච්චය ජරා මරණං”[1] යි ‘මහණෙනි! මෙසේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ. -පෙ- ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වේ’ යයි මුල සිට අග තෙක් වදාරති.
(2) වැලේ මැද පළමු දුටු පුරුෂයා එය මැදින් සිඳ අග කොටස ගන්නා සේ “තස්ස තං වෙදනං අභිනන්‍දතො අභිවදතො අජ්ඣෙසාය තිථතො උප්පජ්ජති නන්‍දි. යා වෙදනාසු නන්‍දි තදුපාදානං. තස්සුපාදානපච්චයා භවො භව පච්චයා ජාති”[2] ‘ඒ වේදනාව කැමැති වන්නා වූ. මම ය මාගේ යැ යි ගන්නා වූ, බලවත් සේ තෘෂ්ණාවෙන් ගැල සිටින්නා වූ, ඒ පුද්ගලයාහට තෘෂ්ණාව උපදී. වෙදනාවෙහි යම් තෘෂ්ණාවෙක් වේ නම් ඒ දැඩි ආසාව ඒ පුද්ගලයා හට උපාදානය වේ. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ. භව ප්‍රත්‍යයෙන් ජාතිය වේ. මෙසේ මැද පටන් අවසානය තෙක් දේශනා කෙරෙති.
(3) වැලේ අග පළමු දුටුවෙකි ඒ අගින් ගෙන මුල තෙක් ක්‍රමයෙන් ගන්නා සේ බුදුහු ද “ජාතිපච්චයා ජරා මරණං”
“ඉතිඛො පනෙතං චුත්තං ජාති පච්චයානුඛො භික්ඛවෙ ජරා මරණං නො වා කථවා එත්‍ථ හොතීති. ජාති පච්චයා භන්තෙ ජරා මරණං එවං නො එත්‍ථ හොති ජාතිපච්චයා ජරා මරණන්ති. භව පච්චයා ජාති -පෙ- අවිජ්ජා පච්චයා සඞ්ඛාරරාති ඉති ඛො පනෙතං වුත්තං අවිජ්ජා පච්චයා නුඛො භික්ඛවෙ සඞ්ඛාරා නොවා කථංවා එඑත්‍ථ හොතීති. අවිජ්ජා පච්චයා භන්ත සඞ්ඛාරා එවං නා එත්‍ථ හොති අවිජ්ජා පච්චයා සඞ්ඛාරාති”[3] ජාතිප්‍රත්‍යයෙන් ජරා මරණ වේයැ යි මෙසේ මෙය කියන ලදි. ජාතිප්‍රත්‍යයෙන් ජරා මරණ වේද නොවේද, මෙහිලා තොපට කෙසේ හෝ වැටහේද, ස්වාමීනි! ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වේ. ජාතිප්‍රත්‍යයෙන් ජරා මරණ වේ යයි මෙහිලා අපට මෙසේ වැටහේ. භව ප්‍රත්‍යයෙන් ජාතිය වේ. පෙ - අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේද, නොවේ ද, මෙහිලා තොපට කෙසේ හෝ වැටහේද, ස්වාමීනි! අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ යයි මෙහිලා අපට මෙසේ වැටහේ. මෙසේ අග සිට මුල තෙක් පටිච්ච සමුප්පාදය වදාරති.
(4) වැලෙහි මැද දුටුයේ එතැන සිට මුල තෙක් ගොස් සිඳගන්නා සේ බුදුහු “ඉමෙ ච භික්ඛවෙ චත්තාරා ආහාරා කිං නිදානා කි සමුදයා කිං ජාතිකා කිං පභවා. ඉමෙච චත්තාරො ආහාර තණ්හා නිදානා තණ්හා සමුදයා තණ්හා ජාතිකා තණ්හා පභවා. තණ්හා කිං නිදානා -පෙ- වෙදනා- ඵස්සො -සළායතනං - නාමරූපං - විඤ්ඤාණං-සංඛාරා කිං නිදානා -පෙ- සංඛාරා අවිජ්ජා නිදානා - අවිජ්ජා පහවා”[4]
“මහණෙනි! මේ චතුර්විධ ආහාර කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් හේතු කොට ඇත්තේ ද, කුමක් ජාති කොට කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, මේ චතුර්විධ ආහාර තෘෂ්ණා නිදාන කොට ඇත්තේ ය. -පෙ- තෘෂ්ණාව කුමක් ප්‍රභව කොට ඇත්තේ ද -පෙ- වේදනා - ස්පර්‍ශ - ෂඩායතන - නාමරූප - විඥාන-සංස්කාර-අවිද්‍යා ප්‍රභව කොට ඇත්තේයි. මෙසේ මැද සිට මුල තෙක් ද වදාරති. කවර හෙයින් මෙසේ වදාරති යත්!
ප්‍රතීත්‍ය සමුත්පාදය සමන්තභද්‍රක හෙයින් හා තමා ද දේශනා විලාසයට පැමිණි හෙයිනි.
ප්‍රතීත්‍ය සමුත්පාදය සමන්තභද්‍ර යැ. පෙරකී ඒ සතර ආකාර දේශනාවන් අතුරින් ඒ ඒ සූත්‍ර දේශනා මාර්‍ග ප්‍රතිවේධය පිණිස නොහොත් ප්‍රතීත්‍ය සමුත්පාදය පිණිස පවතී මැයි.
එසේ ම චතුවෛශාරද්‍යයෙන් හා සතර ප්‍රතිසම්භිදා ඥානයෙන් ද යුක්ත වූ හෙයින් ද (1) ධර්‍ම (2) අර්‍ථ (3) ප්‍රතිවෙධ (4) දේශනා යන චතුර්විධ ගම්භීරභාවයට පැමිණීමෙන් දේශනා විලාසයෙන් යුක්ත හෙයින් ද, ඒ භාග්‍යවතුන් වහන්සේ නා නා නයින් ධර්‍මදේශනා කරන සේක.
විශේෂ:- ඒ සිවු වැදෑරුම් දේශනා අතුරින් මුල සිට පිළිවෙලින් අගතෙක් පටිච්චසමුප්පාද දේශනය සංස්කාරාදීන් ගේ පැවැත්මට කාරණ වූ අවිද්‍යාදියෙහි නොහොත් සංසාර ප්‍රවෘත්තියට ආකරණ වූ ප්‍රකෘති ආදිය කාරණයයි. වදරවා (මුළාවෙන්) ගත් වෛනය ජනයන් නුවණින් බලන්නා වූ භාග්‍යවතුන් වහන්සේ විසින් තම තමාගේ ඵලානුරූප ප්‍රත්‍යයෙන් සංස්කාරාදීන් ගේ පැවැත්ම දක්වනු සඳහා ද, උත්පත්තික්‍රම දක්වනු සඳහා ද වදාරණ ලදැ යි දත යුතුය.
අග සිට මුල තෙක් (ප්‍රතිලොම) දේශනාව :- මේ සත්ත්ව ලෝකය ඒකාන්තයෙන් දුකට පැමිණියේ යැ. උපදනේ යැ. දිරන්නේ යැ, මැරෙන්නේ යැ, යනාදීන් දුකට පැමිණි ලෝකයා බලන්නා වූ බොධිසත්ත්‍වයන් සම්බෝධියෙන් පූර්‍වභාගයෙහි ඒ ඒ ජරාමරණාදි ප්‍රත්‍යය සමුත්පන්න ධර්‍මයන් අවබෝධ කරන විදර්‍ශනා ඥානය අනුගමයෙන් අවබෝධ කළ ජාත්‍යාදී ප්‍රත්‍යය ධර්‍මයන් ඵලානුසාරයෙන් සංසන්‍දනය කොට දැක්වීම සඳහා පවත්වන ලද්දීයැ යි දතයුතු.
මැද සිට මුල තෙක් පැවැති දේශනාව - ආහාරයට නිධානය පිරිසිඳ දැනීම අනුව යෑමෙන් අතීත අධ්වය හිම් කොට ඉදිරියෙහි එළවා නැවැත අතීත අධ්වයෙහි පටන් ගෙන හේතු - ඵල ධර්‍මයන්ගේ පටිපාටිය මනා දැක්වීම සඳහා පැවැත්විණැ යි දත යුතුය.
(උපාදානසංඛ්‍යාත තෘෂ්ණාව නිදාන කොටපවත්නා) මනොසඤ්චේතනාභාරය ද, ඒ අනුසාරයෙන් (වර්‍තමාන) විඥාන (ආහාර) ය තෙක් පවත්නා ධර්‍මයෝ ද, වර්‍තමානිකාධ්වය හ. සංස්කාර අවිද්‍යාවෝ අතීත අධ්යවයහ.
තවද තෘෂ්ණ නිමිත්තේන උපදනා ජාති සංඛ්‍යාත විඤ්ඤාණය අනාගතනාධ්ව යැ. තෘෂ්ණාදිය වර්‍තමාන අධ්ව යැ. සංස්කාර - අවිද්‍යා දෙක අතීතාධ්ව යැ. පූර්‍ව තෘෂ්ණාවෙන් උපදවන ලද (මනො සඤ්චෙතනා) ආහාරය වර්‍තමානය අධ්ව යැ. තෘෂ්ණාදිය අතීතධ්ව යැ. සංස්කාර - අවිද්‍යා අතීත තාරාධාවයැයි මෙසේ අතීත අධ්වය තෙක් පැමිණවීම වේ.
(නැවත ඒ අතීත අධ්වයෙහි පටන් අනාගත අධ්වය තෙක් හේතු-ඵල පටිපාටිය ද සුදුසු පරිදි ආහාරයන්ට නිදානය දැක්වීම ද මෙයින් අභිප්‍රේත යි.)
මැද සිට අගතෙක් පැවැති දේශනාව වර්‍තමාන අධ්වය යෙහි අනාගත ධර්‍මයන් හටගැනීමට හේතු වූ ධර්‍මයන් දක්වා හේතු-ඵල පරම්පරාව ප්‍රකාශ කරනු පිණිස යැ.
මේ සිවු වැදෑරුම් දේශනාවන් අතුරින් අනුලෝම දේශනාව, පැවැත්වෙහි මූළාවූවන්ට තමා පිළිබඳ ඵලයන්ට අනුරූප හේතු දක්වනු සඳහා ද, වට්ට දුක්ඛය උපදනා පරිදි දැක්වීම සඳහා ද, වදාළහ. මේ විශුද්ධිමාර්‍ගයෙහි ද එය අභිප්‍රේතයි.
ප්‍රශ්නයෙකි:- මෙහි අවිද්‍යාව පළමුව වදාළේ කවර හෙයින් ද, කපිලාදී ප්‍රකෘතිවාදීන් ගේ ප්‍රකෘතිය මෙන් අවිද්‍යාව ද අකාරණ ද ලෝකයට මුල කාරණය ද,
පිළිතුර:- අකාරණ හෝ මූලකාරණ නො වේ.
නිදර්ශන - “ආසව සමුදයා අවිජ්ජා සමුදයො”[5] ‘ආශ්‍රව හේතුවෙන් අවිද්‍යාව හටගනීය’ යි කී හෙයිනි.
එහෙත් මෙහි අවිද්‍යාව මූල කාරණ කොට දැක්වීමේ හේතුවක් ඇති.
ප්‍රශ්නය:- ඒ කවරෙක් ද
පිළිතුර:- වෘත්ත කථාවට ශීර්‍ෂ (මූලකාරණ) වශයෙන් අවිද්‍යාව වදාළහ.
ඒ මෙසේ යි:- වෘත්ත (සංසාර ප්‍රවෘත්ති) කථාව වදාරන බුදුහු ධර්‍ම දෙකක් ශීර්‍ෂ කොට දක්වති.
එනම්:- (1) අවිද්‍යාව හෝ ශීර්‍ෂ කෙරෙති.
ඒ මෙසේයි:- “පුරිමා භික්ඛවෙ කොටින පඤ්ඤායති අවිජ්ජාය ඉතො පුබ්බෙ අවිජ්ජා නොහොසි අථ පච්ඡා සම්භවිති. එවඤ්චෙතං භික්ඛවෙ වුච්චති. අථ ච පන පඤ්ඤායති ඉදප්පකච්චයා අවිජ්ජාති”[6] මහණෙනි! මින් පෙරැ අවිද්‍යාව නොවී ය. ඉන් පසුව වීය යි අවිද්‍යාවේ පූර්‍ව කෙළවර නො පැනේ ය යි මෙසේ මා විසින් කියනු ලැබේ. එතෙකුදු වුවත් ආශ්‍රව සමුදයෙන් අවිද්‍යාව වේ යන මේ කාරණය පැනේය යි’ අවිද්‍යාව භව ශීර්‍ෂ වශයෙන් වදාළ සේ යැ.
(2) භවතෘෂ්ණාවද ශීර්‍ෂ කෙරෙති.
ඒ මෙසේයි:- “පුරිමා භික්ඛවෙ කොටින නඤ්ඤායති, භව තණ්හා ඉතො පුබ්බෙ භව තණ්හා නොහොසි අථ පච්ඡා සම්භවීති. එවඤ්චෙතං භික්ඛවෙ වුච්චති අථ ච පන පඤ්ඤායති. ඉදප්පච්චයා භවතණ්හාති”[7] ‘මහණෙනි! මින් පෙරැ භව තෘෂ්ණාව නො වීය, ඉන්පසු හටගත්තේ යයි භව තෘෂ්ණාවේ පූර්‍ව කෙළවර නො පැනේය යි මා විසින් කියනු ලැබේ. එතෙකුදු වුවත් භව තෘෂ්ණාවට මේ වේදනාව සංඛ්‍යාත මුල කාරණය වේ. වේදනා සමුදයයෙන් තෘෂ්ණා සමුදය වේ යන මේ කාරණය පැනේ යැ යි භවතෘෂ්ණා ව ශීර්‍ෂ වශයෙන් වදාළ සේ යැ.
ප්‍රශ්නයෙකි:- වට්ට කථාව වදාරන බුදුහු මේ ධර්‍ම දෙක මුල්කොට කවරහෙයින් වදාරත් ද,
පිළිතුර:- සුගති- දුර්‍ගතිගාමි කර්‍මයනට විශේෂ හේතු බැවිනි. දුර්‍ගතිගාමි කර්මයට විශේෂ හේතුව අවිද්‍යාවයි.
ඒ මෙසේ යි:- අවිද්‍යාවෙන් මඩනා ලද පෘථග්ජනයා ගින්නෙන් තැවීමෙන් හා මුගුරින් තැළීමෙන් පීඩාවට පැමිණි මරණයට පමුණුවන ගවදෙන ඒ පීඩාතුර බැවින් ආස්වාදයක් (සැනසීමක්) නැතද තමහට අවැඩ දායක වූ ද; උණුදිය බොන්නා සේ කෙලෙස් ගින්නෙන් තැවීමෙන් ආස්වාදයක් නැත්තේ දුගතියෙත් හෙළීමෙන් තමහට පීඩා එළවන්නා වූ ද, ප්‍රාණඝාතාදි වූ අනේක විධ දුර්‍ගතිගාමි කර්‍මය අරඹයි.
සුගතිගාමි කර්‍මයට විශේෂ හේතු භවතෘෂ්ණාවයි.
භවතෘෂ්ණාවෙන් පෙළන ලද පුහුදනා යථෝක්ත ගවදෙන තම පීඩාව දුරු කරන ආස්වාද සහිත මිහිරි සිහිල් ජලය ආශාවෙන් බොන්නා සේ කෙලෙස් පීඩා විහරයෙන් ආස්වාදවත් වූ සුගතියට පමුණුවන තමාගේ දුක් පීඩා දුරුකරන, ප්‍රාණඝාතයෙන් වෙන්වීමාදී අනේකාර වූ සුගතිගාමි කර්‍ම කෙරේ දුක්ඛයෙහි අවිද්‍යාවට තෘෂ්ණාව අනුවර්‍තක වේ. සැපයෙහි තෘෂ්ණාවට අවිද්‍යාව අනුවර්‍තක වේ.
විශේෂ:- වට්ටකථාවට ශීර්‍ෂ වූ මේ ධර්‍ම අතුරින් බුදුහු එක් ධර්‍මයක් මුල්කොට ද දේශනා කරති.
ඒ මෙසේ යි:- “ඉති ඛො භික්ඛවෙ අවිජ්ජුපනිසා සංඛාරා සංඛාරූපනිසං විඤ්ඤාණං”[8] ‘මහණෙනි! මෙසේ අවිද්‍යාව කාරණ කොට සඞ්ඛාර වේ. සඞ්ඛාර කාරණා කොට විඤ්ඤාණ වේ’ යනාදිය යි.
“තවද “උපාදානියෙසු භික්ඛවෙ ධම්මෙසු අස්සාදානුපස්සි විහරතො තණ්හා පච්චයා උපාදානං”[9] ‘උපාදානයන්ට අරමුණු වූ ධර්‍මයන්හි ආස්වාද කිරීම් වශයෙන් සැප සොම්නසින් යුතුවැ බලමින් වසන්නහුට තෘෂ්ණාව වැඩේ. ඒ තෘෂ්ණාව හේතුකොට උපාදාන සඞ්ඛ්‍යාත දැඩි තෘෂ්ණාව වේ.’ යනාදියයි.
ඇතැම් සූත්‍රයෙකැ උභයමූලකව ද දේශනා කෙරෙති.
“අවිජ්ජා නීචරණස්ස හි භික්ඛවෙ බාලස්ස තණ්හාය සම්පයුත්තස්ස එමවයං කායො සමුදාගතො. ඉති අයංචෙව කායො බහිද්ධා ච නාමරූපං ඉත්‍ථෙතං ද්‍වයං, ද්‍වයං පටිච්ච ඵස්සො ඡළෙවායතනානි ච යෙහි ඵුඨො බාලො සුඛ-දුක්ඛං පටිසංවෙදෙතී[10] කි” ‘මහණෙනි! අවිද්‍යාවෙන් මූවහ වූ තෘෂ්ණාවෙන් යුක්ත බාලයාට ඒ අවිද්‍යා තෘෂ්ණා යුක්ත බැවින් මේ කායය උපදනේ වෙයි. මෙසේ මේ කායය ද, වාහ්‍ය ස්කන්‍ද හෝ ෂඛායතනය ද, ඒ නිසා උපදනා ද්වාර-ආලම්බන දෙක ද, ඒ ෂඩායතනයෙන් උපදනා ස්පර්‍ශය ද උපදී. එයින් ම ඒ බාලයා සාප - දුක් වේදනා විඳී.’ යනාදියයි.
විශේෂ:- අවිද්‍යාවෙන් වැසුණු හෙයින් ද, තෘෂ්ණාවෙන් යුක්ත වූයේ වෙයි. මෙයින් අවිද්‍යා තෘෂ්ණා නිශ්‍රිත සංස්කාරය ද, කායග්‍රහණයෙන් විඤ්ඤාණ - නාම - රූප-සළායතනයන් ද, වාහ්‍ය වූ ෂඩායතන හෝ අධ්‍යාත්මික වාහ්‍ය ආයතන ද, එයින් ස්පර්‍ශය ද, ස්පර්‍ශයෙන් වේදනාව ද වේ යැයි කීමෙන් ස්පර්‍ශය වේදනාවට විශේෂ ප්‍රත්‍යය බව දක්වා අවිද්‍යා-තෘෂ්ණා මුල්කොට ඇති වේදනා අවසන් කොට ඇති ප්‍රතීත්‍ය සමුත්පාදය වදාළයහ.
මෙහි දැක් වූ ඒ දේශනා අතුරින් “අවිජ්ජාපච්චයා සංඛාරා” යන මේ දේශනාව මෙහි අවිද්‍යාව ගේ වශයෙන් ඒකධර්‍ම මූලකදේශනාව යයි දතයුතු.
මෙහි මුල පටන් අග තෙක් ද, අග පටන් මුල තෙක් ද පැවැති දේශනය ද්වාදශාඞ්ගික ය. එහෙයින් තිසන්‍ධිචතුසඞ්ඛේපයැ. මැද පටන් මුල තෙක් පැවැති දේශනය අෂ්ටාඞ්ගික ය, ද්විසන්‍දි තිසඞ්කෙප යැ. මැද පටන් අග තෙක් පැවැති දේශනය ඡළඞ්ගික ය. ද්විසන්‍ධි තිසඞ්කෙප යැ.
“සංයොජනියෙසු භික්ඛවෙ ධම්මෙසු අස්සාදානුපස්සිනො විහරතො තණ්හා පවඩ්ඪති තණ්හාපච්චයා උපාදානං”[11] යනාදීන් මධ්‍යයෙහි පටන් අගතෙක් පැවැති දේශනය පඤ්චාඞ්ගි කය එකසන්‍ධි ද්විසඞ්ඛේප යැ. මෙසේ මේ නොයෙක් අඞ්ග වශයෙන් පටිච්චසමුප්පාද දේශනය වේ.
“සුඛවෙදනියං භික්ඛවෙ ඵස්සං පටිච්ච උපපජ්ජති සුඛා වෙදනා”[12] යි මෙහි ඒකාඞ්ගිකව ද වේ. (මේ ටීකාහි ආ විස්තරයෙකි.)
මේ දේශනා භේදයෙන් විනිශ්චය යි.