(1) ප්‍රඥාව නම් කිම
(2) කවර අර්‍ථයෙන් ප්‍රඥා නම් වේ ද
(3) ඒ ප්‍රඥාව ගේ ලක්ෂණ, රස, ප්‍රත්‍යූපස්ථාන, පදස්ථානයෝ කවරහු ද
(4) ප්‍රඥාව කී වැදෑරුම් ද
(5) කෙසේ ප්‍රඥා භාවනා වැඩිය යුතු ද
(6) ප්‍රඥා භාවනානිශංස කවරේ ද යනු යි.
විශේෂ:-i. මෙහි සංකිලෙස - වොදානයෝ කවර හෙයින් නො දැක්වූහු ද යත්. ලෝකෝත්තර ප්‍රඥාවේ කෙලෙසීමක් නැති හෙයින් හා ඒ නැති කල පිරිසිදු වීමක් කැලැ මැ නැති හෙයිනි. එය ලෞකික අවස්ථාවෙහි “මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි” වශයෙන් භාවනාවෙහි මැ ඇතුළත් වේ. ‘ඒ සමාධි භාවනාවෙහි ඇතුළත් වූ හෙයින් හෝ මෙහි නො ගැනිණැ’යි ද යෙති.
ii. ප්‍රතිපත්තිය ද ආනිසංස දැක් වූ හෙයින් ‘එහි මැ ඇතුළත් වේ ය’ යි නො දැක් වී.
මේ ප්‍රශ්නයක් පාසා පිළිතුරු ය.
i. ප්‍රඥාව නානා විධ ය. ඒ සියල්ල විස්තර කිරීමට ඇරැඹි නම් විදර්‍ශනාමාර්‍ගප්‍රඥාව වශයෙන් අදහස් කළ අර්‍ථය සිදු නොවේ. හුදෙක් නොසන්සුන් බව පිණිස පවති. එහෙයින් කුසල් සිතෙහි යෙදුණු විදර්‍ශනා ඥානය මෙහිලා ප්‍රඥායැ යි අභිප්‍රෙත යැ.
2. ‘ප්‍රභේද වශයෙන් දැනගැනීම් අර්ථයෙන් ප්‍රඥා නම් වේ. අරමුණු හැඳින ගැනීම් ය, විශෙෂ දැනගැනීම ය, නානාප්‍රකාරයෙන් ප්‍රභේද වශයෙන් දැනගැනීම ය, යන මේ ලක්‍ෂණ වශයෙන් සංඥා - විඥාන - ප්‍රඥාවන් ගේ දැනීම සමාන වුව ද, මෙහිලා විශේෂය නම්, සංඥාව නීල-පීතාදි වශයෙන් අරමුණ හැඳිනීම් මාත්‍රය මුත් අනිත්‍යාදි වශයෙන් ලක්‍ෂණ දැනීම නො කෙරේ. විඥානය නීලාදි වශයෙන් අරමුණු හැඳිනීම හා අනිත්‍යාදි වශයෙන් ලක්‍ෂණ ප්‍රතිවේධය ද කෙරේ. එහෙත් උත්සාහ කොට මාර්‍ග ඉපදවීමට සමර්‍ථ නො වේ.
ප්‍රඥාව වනාහි නීල-පීතාදි වශයෙන් අරමුණු හැඳිනීමෙහි ද, අනිත්‍යාදි වශයෙන් ලක්‍ෂණ දැනීමෙහි ද, උදයව්‍යයඥානාදි පිළිවෙළින් ව්‍යායාම කොට මාර්‍ග පහළ කිරීමෙහි ද සමර්‍ථ වේ.
නිදර්‍ශනයෙකි:- රන්කරුවා ගේ රන්පෝරුව මත තැබූ කහවණු රැසක් දැක (ගනුදෙනු කිරීම ආදිය පිළිබඳ) හටගත් නුවණ නැති බාල දරුවෙක් ද, පිටිසර ගම් වැසි පුරුෂයෙක් ද, රන්කරුවෙක් ද යන තුන් දෙනා අතුරෙන් බාල දරුවා ඒ කහවණුයෙහි වර්‍ණ ය, සලකුණු ය, යන මේ වශයෙන් දැන ගනී. එහෙත් ගනු දෙනු ආදිය පිණිස පාවිච්චි කරන මෙතෙක් අගනා වස්තුවෙකැ යි නො දනී.
පිටිසර වැසියා එහි වර්‍ණ - සටහන් ආදිය ද දැන ගනී. ‘මනුෂ්‍යයන් ගේ ගනු දෙනු පිණිස උපයෝගී වස්තුවකැ’යි ද දැන ගනී. එහෙත් මේ කහවණුව දඹරන් ආදි ඒ ඒ රනින්න කළ මා ඇඟි කහවණුවකැ’යි හෝ ‘මෙය තඹ ආදියෙන් කළ බාල කහවණුවකැ’යි හෝ යනාදි විසින් විශේෂ විභාග නො දනී.
රන්කරු තෙමේ මේ සියලු ආකාරයෙන් හෙවත් ළදරුවාගේ හැඳිනීම් ආකාරය ද, පිටිසර වැසියා ගේ හැඳිනීම් ආකාරය ද දන්නේ වෙයි. එසේ දන්නේ ද කහවණු ඇසින් බැලීමෙන් ද, ගටා කනින් හඬ ඇසීමෙන් ද, සිඹ නැහැයෙන් ගඳ දැනීමෙන් ද, දිව ගා රස බැලීමෙන් ද, අතින්න කිරා බරින ද දැනගනී. ‘අසුවල් ගම හෝ නියම්ගම හෝ නුවර හෝ කරන ලදැ’යි හෝ ‘අසුවල් පර්‍වතයෙහි උපනැ’යි හෝ ‘අසුවල් ශිල්පියා විසින් කරන ලදැ’යි හෝ දැන ගනී.
උපමාන උපමෙය සංසන්දනය මෙසේ යි.
සංඥාව ව්‍යවහාරාදිය නො දත් ළදරුවාගේ කහවුණු හැඳිනීම මෙනි. නීලාදි වශයෙන් අරමුණ වැටහුණු ආකාර මාත්‍රයක් ගන්නා හෙයිනි.
විඥානය පිටිසර ගම් වැසියාගේ කහවණු හැඳිනීම මෙනි. නීලාදි වශයෙන් වණණ-ඝණ්ඨානාදිය හැඳිනීමට හා මත්තෙහි අනිත්‍යාදි වශයෙන් ලක්‍ෂණ ප්‍රතිවේධයට ද පමුණුවන හෙයිනි.
ප්‍රඥාව රන් කරුවා ගේ කහවණු හැඳිනීම මෙනි. නීලාදි වශයෙන් අරමුණු ආකාර දැනීමට ද, අනිත්‍යාදි වශයෙන් ලක්‍ෂණ ප්‍රතිවේධයට ද පමුණුවා මත්තෙහි ද සෝවාන් ආදි මාර්‍ගයන්ට පමුණුවන හෙයිනි. ‘පජානනට්ඨෙන පඤ්ඤා’යි විවිධාකාරයෙන් ප්‍රකට කොට දැනීම අර්‍ථයෙන් ප්‍රඥා යි.
එහෙයින් අරමුණ හැඳිනීම ය, විවිධාකාරයෙන් දැන ගැනීම ය යන මොවුන්ට වඩා විශිෂ්ට වූ විවිධාකාරයෙන් ප්‍රකට කොට දැනීම පජානනය යි. එයින් ම (මේ විවිධාකාරයෙන්) ‘ප්‍රකර්‍ෂයෙන් දැනීම් අර්‍ථයෙන් ප්‍රඥායැ’යි කීහ.
ඇතැම් චිත්තෝත්පාදයන්හි සංඥා - විඥාන ඇත ද (එහි දුහේතුක-අහේතුක සිත්හි) ප්‍රඥාව නො යෙදේ. සියලු චිත්තයක් පාසා සංඥා-විඥාන වේ. එහෙත් ප්‍රඥාව යෙදෙන සිත්හි සංඥා-විඥාන යන්ගෙන් වෙන්වැ නො යෙදේ. මෙසේ බෙදිය නොහැකි ධර්‍ම අතුරින් ඔවුනොවුන්ගේ වෙනස දැනීම ඉතා දුෂ්කර හෙයින් මොවුහු නො ලද හැකි වෙනස ඇති සියුම් වූ දැකීමට දුෂ්කර වූ ධර්‍මයෝ ය.
එහෙයින් මැ නාගසේන ස්ථවිරයන් වහන්සේ
මහරජ! භාග්‍යවතුන් වහන්සේ දුෂ්කරයක් කළ සේක.
මිලිඳු රජ - ස්වාමීනි! නාගසේන ස්ථවිරයන් වහන්ස! බුදුහු කවර දුෂ්කරයක් කළ සේක් ද
නාගසේක ස්ථවිර - මහරජ! එක් අරමුණෙක පවත්නා අරූපි වූ චිත්ත - චෛතසික ධර්‍මයන් අතුරින් ‘මේ ඵස්සය, මෝ වේදනාය, මෝ සංඥාය, මෝ චේතනාය, මේ චිත්තයැ යි මෙසේ වෙනස් ආකාර දේශනා කිරීමෙන් අනෙකකු විසින් නො කට හැකි දුෂ්කරයක් කළ සේකැ යි කී.[1]
3. එහි ලක්‍ෂණ, රස ප්‍රත්‍යුපස්ථාන, පදස්ථාන, කවරේ ද පෘථිවි ආදි රූප ධර්‍මයන් ගේ තද බැව් ආදිය හා, ස්පර්‍ශාදි අරූප ධර්‍මයන් ගේ අරමුණෙහි වැදගැනීම් ස්වභාවාදි එකිනෙකෙහි පවත්නා විශේෂ ස්වභාවය හෝ අනිත්‍යාදි සියල්ලට සාධාරණ ස්වභාවය හෝ අවිපරීත අවබෝධ කිරීම ප්‍රඥාවේ ලක්‍ෂණය යි.
ඒ නාම - රූප ධර්‍මයන් ගේ ස්වාභාවික ලක්‍ෂණය මුවහ කරන්නා වූ මොහාන්‍ධකාරය දුරලීම ප්‍රඥායෙහි කෘත්‍ය සඞ්ඛ්‍යාත රසය යි. (ප්‍රඥාව උපදනේ ම හෘදයෙහි පවත්නා මෝහාන්‍ධකාරය දුරු කෙරේ.)
ඒ ඒ නාම-රූප ධර්‍මයන්හි නොමුළාවීම් සඞ්ඛ්‍යාත ඵලය පච්චුපට්ඨානය යි. (මෝහය ප්‍රහාණය වත් මැ ධර්‍ම ස්වභාවයෙහි මුළා නොවේ.)
සමාධිය ප්‍රඥාවේ ආසන්නකාරණය යි. (විදර්‍ශනා ප්‍රඥාව මෙහිලා අභිප්‍රේත හෙයිනි.)
4. නාම-රූප ධර්‍මයන් ගේ පෙර කී සේ සාමාන්‍ය විශේෂ ස්වභාවය ප්‍රතිවේධ කිරීම් වශයෙන් ප්‍රඥාව ආවේණික ස්වභාවයෙන් හුදෙක් එකවිධ ය.
(2) ද්විභෙද:- i කාමාවචර - රූපාවචර - අරූපාවචර කුසල චිත්තයෙහි හෝ විශේෂයෙන් දිට්ඨි ආදි සතර විසුද්ධීන්හි හෝ යෙදෙන ප්‍රඥා වශයෙන් ලෞකික ද, සෝවාන් ආදි මාර්‍ග සිත්හි යෙදෙන ප්‍රඥා වශයෙන් ලෝකෝත්තරදැ යි දෙ වැදෑරුම් වේ.
එසේ ම: ii කාමාදි ආශ්‍රවයනට හෝ තත් සම්ප්‍රයුක්තයනට අරමුණ වූ ප්‍රඥාව සාශ්‍රව ද කාමාදි ආශ්‍රවයන්ට අරමුණු නො වූ හෝ ආශ්‍රව සම්ප්‍රයුක්ත නොවූ ප්‍රඥාව අනාශ්‍රවදැ යි දෙ වැදෑරුම් වේ.
iii විදර්‍ශනා වඩන්නහු ගේ සතර නාම ධර්‍ම විභාග කිරීම් වශයෙන් පැවැත්තේ නාම ව්‍යවස්ථා ප්‍රඥා ය. රූප විභාග කිරීම් වශයෙන් පැවැත්තේ රූප ව්‍යවස්ථාපනප්‍රඥා ය.
iv සොමනස්ස සහගත ඤාණසම්පයුත්ත කුසල් දෙ සිතෙහි හා රූපාවචර ප්‍රථම ද්විතීය - තෘතීය - චතුර්‍ථ ධ්‍යානයන් සම්බන්ධ වූ සොළොස් (16) මාර්‍ග චිත්තයෙහි යෙදුණු ප්‍රඥාව සොමනස්ස සහගත ය. උපෙක්ඛා සහගත ඤාණසම්පයුක්ත කාමාවචර කුසල දෙ සිතෙහි හා පඤ්චමධ්‍යානික සතර මාර්‍ග චිත්තයෙහි ද යෙදුණු ප්‍රඥාව උපේක්ඛා සහගත ය.
v සෝවාන් මාර්‍ගය හා යෙදුණු ප්‍රඥාව ප්‍රථම කොට නිර්‍වාණය දක්නා හෙයින් දර්‍ශනභූමික ය. අවශේෂ මාර්‍ගත්‍රය ය හා යෙදුණු ප්‍රඥාව භාවනා භූමික ය. මේ ද්වි ප්‍රකාර ප්‍රඥා භේදයෝ ය.
(3) ත්‍රිභෙද (1) ශ්‍රැතාදින් තොරව තමා සිතා උපදවන ලද්දේ චිත්තාමය ය. අනුන් ගේ උපදෙසින් උපදවන ලද්දේ ශ්‍රැතමය ය.
අසා හෝ නො අසනා හෝ භාවනාවෙන් උපදවන ලද (අර්පණා) ප්‍රඥාව භාවනාවමය යැ.
විස්තර:- එහි චින්තාමය ප්‍රඥාව කවර ද, ප්‍රඥායෙන් යොදන ලද ජීවනොපාය වූ කර්‍මාන්තයෙහි ද, එබඳු වූ ම හීන-උත්කෘෂ්ට ශිල්පයන්හි ද, තමා ස්වභාවයෙන් සිතා පණ්ඩිතයන් විසින් නිපදවන ලද විද්‍යාවන්හි ද, ‘කර්‍මය ස්වකීය කොට ඇති බව දැනීමෙහි ද, චතුස්සත්‍ය ප්‍රතිවේධයට නැඟීගත් විදර්‍ශනා ඥානයෙහි හෝ රූපය අනිත්‍යය, දුඃඛය, අනාත්මය, කියා ද වේදනා-සංඥා-සංස්කාර-විඥාන-අනිත්‍යය, දුඃඛය, අනාත්මය කියා හෝ මෙසේ හිත පිණිස නැමුණු මේ සියල්ල දැකිය හැකි හෙයින් ද, දක්නා හෙයින් ද, රුචිකරන හෙයින් ද, නුවණින් සලකන හෙයින් ද, “තෙමේ ම ස්වභාවයෙන් වැටහේ. මෙරමා ගෙන් නො අසා ප්‍රතිවේධ වේ, නුයි මේ චින්තාමය ප්‍රඥා නම. (මේ බෝසතුන්ටම උපදනා ප්‍රඥා විශේෂයෙකි.)
එයින් වදාළහ.
“තත්‍ථ කතමා චින්තාමයා පඤ්ඤා, යොග විහිතෙසුවා කම්මායතනෙසු, යොග විහිතෙසුවා සිප්පායතනෙසු, යොග විහිතෙසුවා විජ්ජාට්ඨානෙසු කම්මස්සකතංවා, සච්චානුලොමි කංචා, රූපං අනිච්චාන්තිවා, වෙදනා - සඤ්ඤා - සංඛාරා - විඤ්ඤාණං අනිච්චන්තිවා, යං එවරූපිං අනුලොමිකං ඛන්තිං - දිඨිං-රුචිං - මුති - පෙක්ඛා - ධම්මනිජ්ඣනක්ඛන්තිං පරතො අසුත්‍වා පටිලභති අයං වුච්චති චින්තාමයා පඤ්ඤා”[2] යි.
මෙරමාගෙන් අසා ප්‍රතිලබ්ධ වූයේ ශ්‍රැතමය ප්‍රඥා යැ. එයින් වදාළහ. “පරතො සුත්‍වා පටිල භති. අයං වුච්චති සුතමයා පඤ්ඤා”1 යි.
විදර්‍ශනාමාර්‍ග සම්ප්‍රයුක්ත ප්‍රඥාව භාවනාමය ප්‍රඥා යි එයින් වදාළහ. “සබ්බාපි සමාපන්තස්ස පඤ්ඤා භාවනාමයා පඤ්ඤා” යි මෙසේ චින්තා - ශ්‍රැත - භාවනාමය වශයෙන් ත්‍රිවිධ යැ.
(ii) කාමාවචර ධර්‍මයන් අරභයා පැවති ප්‍රඥාව, පරිත්තාරම්මණ යැ.
රූපාවචර - අරූපාවචර ධර්‍මයන් අරභයා පැවති ප්‍රඥාව මහග්ගතාරම්මණ යැ. ඕ වූ කලී ලෞකික විදර්‍ශනා ය.
නිර්‍වාණය අරභයා පැවැති ප්‍රඥාව අප්පමාණාලම්බන යැ. ඕ ලෝකෝත්තර විදර්‍ශනා යි.
මෙසේ පරිත්ත-මහග්ගත - අප්පමාණාලම්බන වශයෙන් ත්‍රිවිධ යැ.
(iii) ආය නම් වැඩීම ය. එය අනර්‍ථ නැසීම ය, අර්‍ථය ඉපදවීම ය, යන මේ වශයෙන් දෙ වැදෑරුම් වේ. එහි කුසල භාවය ආයකොසල්ල නම.
එයින් වදාළහ.
“තත්‍ථ කතමං ආයකොසල්ලං, ඉමෙ ධම්මෙ මනසි කරොතො අනුප්පන්නාචෙව අකුසලාධම්මා න උප්පජ්ජනති. උප්පන්නාච අකුසලාධම්මා පහීයන්ති. ඉමෙ වා පන ධම්මෙ මනසි කරොතො අනුප්පන්නා චෙ ව කුසලාධම්මා උප්පජ්ජන්ති. උප්පන්නාච කුසලා ධම්මා භීයොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තන්ති. යා තත්‍ථ පඤ්ඤා පජානනා අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ඉදං වුච්චති ආයකොසල්ලන්ති.”[3]
‘එහි ආයකෝසල්ල නම් කිම’ මේ ධර්‍මයන් මෙනෙහි කරන්නහුට නූපන් අකුසල් නූපදී නම්, උපන් අකුසල් ප්‍රහීන වේ නම්, නූපන් කුසල් උපදී නම්, උපන් කුසල් වැඩීමට - මහත් බවට - භාවනාවෙන් සම්පූර්‍ණ බවට යේ නම්, එහි ලා යම් දැනීමෙක් ප්‍රකට කොට දැනීමේක - නුමුළා බවෙක් - ඒ ධර්‍ම විනිශ්චය කිරීමෙහි දක්‍ෂ බවෙක් - සම්‍යක් දෘෂ්ටියෙක් වේ නම්’ ඒ ආයකෝසල්ල නම.
අපාය නම් පිරිහීම ය, හෙද ද්විවිධ ය. අර්‍ථය පිරිහීම ය. අනර්‍ථය ඉපදීම ය, යන මොවුන් ගේ වශයෙනි.
එයින් වදාළහ.
“තත්‍ථ කතමං අපාය කොසල්ලං ඉමෙ ධම්මෙ මනසි කරොතො අනුප්පන්නාචෙව කුසලා ධමමා නූප්පජ්ජන්ති”[4] මේ ධර්‍මයන් මෙනෙහි කරන්නහුට නූපන් කුසල් නූපදී නම් - යනාදිය යි. මේ අපායකොසල්ල නමි.
සියලු හිතසුව නිපදවීමට හේතු වූ ඒ ඒ ධර්‍මයන් ගේ ඉපදවීමට හේතු කාරණයෙහි එකෙණෙහි පැවැති ස්ථානොචිත සේ නිපැත්මෙහි දක්‍ෂ නිපුණ බව උපාය කෞශල්‍යාය යි.
එයින් වදාළහ.
“සබ්බාපි තත්‍රැපායාපඤ්ඤා උපායකොසල්ලන්ති”[5] ඒ ඒ කටයුත්තෙහි උපාය කෞශල්‍ය වූ යම් ප්‍රඥාවක් වේ නම්, ඒ සියලු ප්‍රඥාව උපාය කෞශල්‍යය නම.
මෙසේ ආය-අපාය-උපාය කොසල්ල වශයෙන් ත්‍රිවිධ ය. මේ තෘතීය ත්‍රිකය යැ.
(iv) තමා ගේ රූපාදි ස්කන්‍ධයන් නුවණින් ගෙන පටන් ගන්නා ලද විදර්‍ශනාප්‍රඥාව - අජ්ඣත්තාභිනිවෙසය (තමා සතන්හි පිළිපැදීම කරන්නා වූ) ප්‍රඥා ය.
මෙරමා ගේ රූපාදි පඤ්චස්කන්ධයෙහි හෝ බැහැර අනින්‍ද්‍රිය බද්ධ රූප හෝ නුවනින් මෙනෙහි කොට පටන් ගත් විදර්‍ශනා ප්‍රඥාව බහිද්‍ධාභිනිවෙශ (බාහිර සන්තානයෙහි නුවණ පිහිටුවීමෙන් පිළිපදනා) ප්‍රඥා නම් වේ.
අධ්‍යාත්ම බාහිර දෙපක්‍ෂයම නුවණින් ගෙන පිහිටුවන ලද්දේ අධ්‍යාත්ම - බාහිරාභිනිවේශප්‍රඥාය යි. මෙසේ අධ්‍යාත්මාභිනිවෙශාදි වශයෙන් ප්‍රඥාව ත්‍රිවිධ වේ. මේ ත්‍රිවිධ ප්‍රඥා භේදය යි.
(5) චතුෂ්කයන් අතුරින් ප්‍රථම චතුෂ්කයෙහි:
(i) දුක්ඛ සත්‍යය අරමුණු කොට පවත්නා ප්‍රඥාව දුඃඛ සත්‍යය දැනගන්නා ප්‍රඥාව ය.
දුඃඛසමුදය අරභයා පවත්නා ප්‍රඥාව දුඃඛසමුදය සත්‍යය දැනගන්නා ප්‍රඥාව ය.
දුඃඛ නිරොධය අරමුණු කොට පවත්නා ප්‍රඥාව දුඃඛ නිරොධ සත්‍යය දැනගන්නා ප්‍රඥාව ය.
දුඃඛ නිරොධ ගාමිනී ප්‍රතිපදාව අරමුණු කොට පවත්නා ප්‍රඥාව දුඃඛ නිරොධ ගාමිනී ප්‍රතිපදා සත්‍යය දැනගන්නා ප්‍රඥාව යැයි මෙසේ චතුස්සත්‍ය විෂයෙහි පැවති ප්‍රඥාවගේ වශයෙන් ප්‍රඥාව චතුර්විධ වේ.
(ii) අර්‍ථ-ධර්‍ම-නිරුක්ති-ප්‍රතිභාන යන සතරෙහි ප්‍රභෙදගත ප්‍රඥාව සතරප්‍රතිසම්භිදා ප්‍රඥා නමි.
එයින් වදාළහ.
“අත්‍ථෙ ඤාණං අත්‍ථ පටිසම්භිදා, ධම්මෙඤාණං ධම්මපටිසම්භිදා, ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්ති පටිසම්භිදා, ඤාණෙසු ඤාණං පටිභාන පටිසම්භිදා”[6]
අර්‍ථයෙහි ඥානය අර්‍ථප්‍රතිසම්භිදා යැ.
ධර්‍මයෙහි ඥානය ධර්‍මප්‍රතිසම්භිදා යැ.
(අර්‍ථ ධර්‍ම දෙක්හි වූ) නිරුක්තියෙහි ඤාණය නිරුක්ති ප්‍රතිසම්භිදා යැ.
ඒ ත්‍රිවිධ ඥානයෙහි ඥානය ප්‍රතිභාන ප්‍රතිසම්භිදා යි.
මෙහි අර්‍ථ නම් සැකෙවින් හේතුඵලයට නමි. ඒ එසේ මැයි හේතුඵලය ‘හේතු අනුසාරයෙන් පමුණුවන ලැබේනුයි’ හෝ ‘අධිගමය කරනු ලැබේනුයි’ හෝ අර්‍ථය යි කියනු ලැබේ.
ප්‍රභේද වශයෙන්න වනාහි ප්‍රත්‍යයෙන් නිපන් ඵල ධර්‍ම ය. නිර්‍වාණය, භාෂිත සඞ්ඛ්‍යාත වචනයා ගේ අර්‍ථය, විපාකය ක්‍රියාය යන මේ පස අර්‍ථ යැ. ඒ අර්‍ථ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නහු ගේ එහි ප්‍රභේද ගත ඥානය අර්‍ථප්‍රතිසම්භිදා නම් වේ.
ධර්‍ම යනු සඞ්ක්‍ෂේපයෙන් ප්‍රත්‍යයට නමි. යම් හෙයකින් ප්‍රත්‍යය ඒ ඒ දැය විධාන කෙරේ ද, පවත්වා ද, පමුණුවා ද, එහෙයින් ධර්‍මය යි කියනු ලැබේ. ප්‍රභේද වශයෙන් වනාහි ඵල නිපදවන්නා වූ හේතුය. ආර්‍ය්‍යමාර්‍ගය, භාෂිතය, කුශලය, අකුශලය යන පඤ්ච ධර්‍මය හේතු නම් වේ.
විශේෂ :- මාර්‍ගය සම්ප්‍රාපක හේතුත්‍වයෙන් ද
භාෂිතය ඥාපක හේතුත්‍වයෙන් ද
ඵලනිර්වර්කහේතුය, කුශලය, අකුශලය,
යන මොහු නිර්වර්කහේතුත්‍වයෙන් ද ගනු ලැබෙති.
ඒ හේතු සඞ්ඛ්‍යාත ධර්‍මය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නහු ගේ එහි ප්‍රභෙද ගත ඥානය ධර්‍මප්‍රතිසම්භිදා නම.
මේ අර්‍ථ - ධර්‍ම දෙක අභිධර්‍මයෙහි ද මෙසේ විභාග කොට වදාළහ. “දුක්ඛ සඞ්ඛ්‍යාත ඵලයෙහි ඤාණය ධර්‍මප්‍රතිසම්භිදා ය. දුක්ඛ නිරොධයට කාරණ වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත ඵලයෙහි ඤාණය අර්‍ථ ප්‍රතිසම්භිදා නම. දුක්ඛ නිරොධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයට හේතු වූ මාර්‍ගයෙහි ඤාණය ධර්‍ම ප්‍රතිසම්භිදා නම. හේතුයෙහි ඤාණය ධර්‍ම ප්‍රතිසම්භිදා නම. හේතුහු ගේ ඵලයෙහි ඤාණය අර්‍ථප්‍රතිසම්භිදා නම. යම් ධර්‍ම කෙනෙක් හටගත්තාහු වූ, වූනහු ද, හේතුසමවායයෙන් හටගත්තාහු ද, උපන්නාහු ද, විශේෂයෙන් උපන්නාහු ද, පහළ වූවාහු ද, මේ ඵලධර්‍මයෙහි ඥානය අර්‍ථප්‍රතිසම්භිදා ය. යම් හේතුධර්‍මයකින් ඒ ඵල ධර්‍මයෝ හටගත්තාහු නම්, නිපන්නාහු නම්, විශේෂයෙන් නිපන්නාහු නම්, පහළ වූවාහු නම් ඒ හේතු ධර්‍මයෙහි ඥානය ධර්‍මප්‍රතිසම්භිදා නම. ජරා - මරණ දෙක්හි ඤාණය අර්‍ථප්‍රතිසම්භිදා නම. ජාතියෙහි ඤාණය ධර්‍මප්‍රතිසම්භිදා නම. කර්‍ම භවයෙන් නිපන් ජාතියෙහි ඤාණය අර්‍ථප්‍රතිසම්භිදා නම. ජාතියට හේතු වූ කර්‍ම භවයෙහි ඤාණය ධර්‍මප්‍රතිසම්භිදා නම.”
මෙසේ උපාදාන, තෘෂ්ණා, වේදනා, ඵස්ස, ෂඩායතන, නාම, රූප, විඥාන, සඞ්ඛාර යන මෙහි පැවැති ඤාණය අර්‍ථප්‍රතිසම්භිදා නම. සඞ්ඛාර සමුදයයෙහි ඤාණය ධර්‍මප්‍රතිසම්භිදා නම.
එසේම ජරාමරණ නිරෝධයෙහි ඤාණය අර්‍ථප්‍රතිසම්භිදා නම. ජරා මරණ නිරොධගාමිනී ප්‍රතිපදායෙහි ඤාණය ධර්‍මප්‍රතිසම්භිදා යි.
මේ අනුවැ සංස්කාර නිරෝධයෙහි ඤාණය අර්‍ථප්‍රතිසම්භිදා නම. සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදායෙහි ඤාණය ධර්‍ම ප්‍රතිසම්භිදා නම.
එමැ වදාළහ. “දුක්ඛෙ ඤාණං අත්‍ථපටිසම්භිදා, දුක්ඛ සමුදයෙ ඤාණං ධම්මපටිසම්භිදා, -හෙතුම්හි ඤාණං ධම්මපටිසම්භිදා, හෙතුඵලෙ ඤාණං අත්‍ථපටිසම්භිදා, යෙ ධම්මා ජාතා භූතා සඤ්ජාති නිබ්බත්තා අභිනිබ්බත්තා පාතුභූතා ඉමෙසු ධම්මෙසු ඤාණං අත්‍ථපටිසම්භිදා, යම්හා ධම්මා තෙ ධම්මා ජාතා භූතා සඤ්ජාතා නිබ්බත්තා අභිනිබ්බත්තා පාතුභූතා තෙසු ධම්මෙසු ඤාණං ධම්මපටිසම්භිදා -පෙ- සඞ්ඛාර නිරොධෙ ඤාණං අත්‍ථ පටිසම්භිදා, සඞ්ඛාර නිරොධගාමිනියා පටිපදාය ඤාණං ධම්ම පටිසම්භිදා”[7] යි.
තවද “ඉධභික්ඛු ධම්මං පරියාපුණාති සුත්තං ගෙය්‍යං -පෙ- වේදල්ලං අයං වුච්චති ධම්මපටිසම්භිදා, සො තස්සෙච භාසිතස්ස අත්‍ථං ජානාති අයං ඉමස්ස භාසිතස්ස අත්‍ථො අයං ඉමස්ස භාසිතස්ස අත්‍ථොති. අයං වුච්චති අත්‍ථපටිසම්භිදා, කතමෙ ධම්මා කුසලා. යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්තං හොති. -පෙ- ඉමෙ ධම්මා කුසලා. ඉමෙසු ධම්මෙසු ඤාණං ධම්මපටිසම්භිදා, තෙසං විපාකෙ ඤාණං අත්‍ථ පටිසම්භිදා”[8]
‘මේ ශාසනයෙහි යම් භික්‍ෂුවක් සුත්ත-ගෙය්‍ය-පෙ- වේදල්ල යන ධර්‍මය දනී ද, ඒ දැනීම ධර්‍මප්‍රතිසම්භිදා නම. හෙතෙමේ මේ භාසිතා ගේ අර්‍ථය මේ ය, මේ භාසිතයාගේ අර්‍ථය මේ යැයි ඒ ඒ භාසිතයාගේ අර්‍ථය දන්නේ වේ නම් ඒ අර්‍ථප්‍රතිසම්භිදා යි.
“එහි කුසල ධර්‍මයෝ කවරහු ද, යම් කලෙක කාමාවචර කුසල් සිතක් උපන්නේ වී නම් මේ ධර්‍ම කුසල් ය. ඒ කුශල ධර්‍මයන්හි ප්‍රභේද ගත ඤාණය ධර්‍මප්‍රතිසම්භිදා යැ. ඒ කුසල විපාකයන් ගේ ඤාණය අර්‍ථ ප්‍රතිසම්භිදායැ”යි මේ ආදි ක්‍රමයෙන් බෙදා දැක් වී.
ඒ අර්‍ථයෙහි ද, ධර්‍මයෙහි ද, අවිපරීත ස්වභාවය වූ මාගධික භාෂා සඞ්ඛ්‍යාත ස්වභාව නිරුක්තිය යැ. ඒ ව්‍යවහාරාභිලාපනයෙහි ද, උදීරණයෙහි ද, ඒ ව්‍යවහාරය අසා ‘මේ ස්වභාව නිරුක්තිය යැ.
ඒ ස්වභාව නිරුක්තිය නොවේ ය’ යි මෙසේ ඒ ස්වභාව නිරුක්තිය වූ මාගධ භාෂායෙහි ප්‍රභේද ගත ඤාණය නිරුක්ති ප්‍රතිසම්භිදා යැ.
නිරුක්තිප්‍රතිසම්භිදාවට පැමිණියේ “ඵස්සො, වේදනා” යනාදි ශබ්ද අසා මේ අවිපරිත ව්‍යවහාරය යි ද, “ඵස්සා, වෙදනො” යනාදිය අසා ‘මේ ස්වභාව නිරුක්තිය නොවේය යි ද දැනගනී.
අර්‍ථ-ධර්‍ම-නිරුක්ති යන මේ ඥානයන්හි ඥානය ප්‍රතිභාන-ප්‍රතිසම්භිදා යැ. නොහොත් ඒ තුන් ආකාර ඥාන විෂයෙහි මේ ඤාණයට මෙ නම් ගෝචර කෘත්‍යාදියක් ඇතැ යි, මෙසේ විස්තර වශයෙන් දැනීම ප්‍රතිභානප්‍රතිසම්භිදා යි.
මේ සිවුපිළිසිඹියාවෝ ශෛක්‍ෂභුමිය යි කියන ලද සෝවාන් ආදි මාර්‍ග සතරෙහි හා ඵල තුනෙහි ද අශෛක්‍ෂභුමිය යි කියන ලද අර්‍හත් ඵලයෙහි ද, යන ස්ථාන දෙකෙහි ප්‍රභේදගත වේ. ඔවුනතුරින් අග්‍රශ්‍රාවක මහාශ්‍රාවකයන් ගේ සිවුපිළිසිඹියාවෝ අශෛක්‍ෂභුමියෙහි ම ප්‍රභේදගත වෙති. ආනන්‍ද ස්ථවිර, චිත්තගහපති, ධම්මිකඋපාසක, ඛුජ්ජුත්තරාඋපාසිකා ආදීන් ගේ සිවුපිළිසිඹියාවෝ ශෛක්‍ෂභුමියෙහි ප්‍රභේදගත වූහ.
මෙසේ මේ ද්වි භූමියෙහි ප්‍රභෙදගත වන්නාහු ද
1. අධිගමය,
2. පර්‍ය්‍යාප්තිය,
3. ශ්‍රවණය,
4. පරිපුච්ඡාය,
5. පූර්‍වයෝගය,
යන පස් ආකාරයෙන් මේ සිවුපිළිසිඹියාවෝ විසද වෙති.
1. මෙහි අධිගම නම් අර්‍හත්‍වයට පැමිණීම ය.
2. බුද්ධ වචනය ප්‍රගුණ කිරීම පර්‍ය්‍යාප්තිය ය.
3. මනාව අර්‍ථවත් කොට සද්ධර්‍ම ශ්‍රවණය ශ්‍රවණ නමි.
4. පෙළ අටුවාදීන්හි ගැටපද, අර්‍ථපද ආදිය පිළිබඳ විනිශ්චය කථාව විචාරීම පරිපුච්ඡා ය.
5. පෙර බුදුවරයන් ගේ ශාසනයන්හි ගත - පච්චාගතාදි වශයෙන් භාවනා වඩා අනුලෝම - ගෝත්‍රභු ඤාණයන් සමීපයෙහි වූ මුඤ්චිතුකම්‍යතා - පටිසඞ්ඛාණ - සඞ්ඛාරුපෙක්ඛා ඤාණය තෙක් විදර්‍ශනාවෙහි උත්සාහවත් වීම පූර්‍වයෝග නමි.
තවද ආචාර්‍ය්‍ය මතයෙහි
“පුබ්බයොගො බාහුසච්චං - දෙස භාසාව ආගමො
පරිපුච්ඡා අධිගමො - ගරුසන්තිස්සයො තථා
මිත්ත සම්පත්ති මෙවාති - පටිසම්භිදා පච්චයා”[9]
(1) පූර්‍වයොගය,
(2) බහුශ්‍රැත භාවය,
(3) දේශභාෂා දැනීමය,
(4) ත්‍රිපිටකය දැනීමය,
(5) ත්‍රිපිටකාර්‍ථ විචාරීමය,
(6) සතර ඵලය,
(7) බහුශ්‍රැත ගුරුවරුන් සෙවීමය,
(8) තියුණු ප්‍රතිභාග ඇති කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමය යන මේ කරුණු අට ප්‍රතිසම්භිදාවට උපකාර ධර්‍මයෝ යි.
මෙහි පූර්‍වයෝගය යට කී සේයැ.
හිත වැඩ පිණිස පවත්නා නිවරද ශාස්ත්‍රන්හි හා ශිල්පයන්හි දක්‍ෂ බව බහුශ්‍රැතත්‍වය යි.
සාමාන්‍යයෙන් එකල දඹදිව පැවති එක්සිය එකක් රාජ්‍යයන්හි ව්‍යවහාර වූ එපමණ දේශභාෂා දැනීම ද, විශේෂයෙන් මාගධි භාෂාවෙහි දක්‍ෂ බව ද, දේශභාෂා නම.
යටත් පිරිසෙයින් මැඳුම් සඟිය මූලපණ්ණාසකයෙහි ඔපම්මවග්ගය[10] පමණවත් ධර්‍මය පිරවීම ආගම යැ.
එක් ගාථාවකුදු අර්‍ථ විනිශ්චය පිළිවිසීම පරිපුච්ඡා නම,
සෝවාන් - ශකෘදාගාමි - අනාගාමි - අර්‍හත් බව අධිගම යැ.
බහුශ්‍රැත ප්‍රතිභාන සම්පන්න ආචාර්‍ය්‍යයන් වෙතින් දුෂ්කර තැන් විචාරමින් ඇසුරු කිරීම ගුරුසන්නිඃශ්‍රය නමි,
එබඳු වූ කළණ මිතුරන් ඇසුරු කිරීම මිත්‍රසම්පත්තිය යි.
විශේෂ:- පෙරකී පස් ආකාරයෙන් හෝ මේ අට ආකාරයන් අතුරින් බුදුවරයෝ ද, පසේබුදුවරයෝ ද පුබ්බයොග අධිගමයන් නිසා සිවුපිළිසිඹියාවන්ට පැමිණෙති. බුද්ධ ශ්‍රාවකයෝ මේ සියලු කාරණයන් නිසාම පැමිණෙත්. සිවුපිළිසිඹියාවන්ට පැමිණීම සඳහා වෙනම කමටහන් වැඩීමෙක් නම් නැති ශෛක්‍ෂයන්ගේ ශෛක්‍ෂඵල (සෝවාන් - සකෘදාගාමි - අනාගාමි ඵල) අවසානයෙහි ද, අශෛක්‍ෂයන් ගේ අර්‍හත් ඵල අවසානයෙහි පිළිසිඹියා පැමිණීම වේ.
ඒ එසේමැ යි:- බුදුවරයන්ට දශබල ඥානය අර්‍හත්ඵලය නිසා සමෘද්ධවන්නා සේ සිව්පිළිසිඹියාවෝ ද සමෘද්‍ධ වෙති. ආර්‍ය්‍යයන්ගේ ආර්‍ය්‍යඵලයන් මෙන් ම පිළිසිඹියාවෝ ද සමෘද්ධ වෙත් යයි ‘මේ සිවුපිළිසිඹියා වශයෙන් සතරාකාරවේ ය’යි කියන ලදී.
5. විදර්‍ශනා ප්‍රඥාව වැඩිය යුතු පරිදි, මෙහි ලා මේ විදර්‍ශනා ප්‍රඥාවට ස්කන්‍ධ-ආයතන-ධාතු-ඉන්‍ද්‍රිය-සත්‍ය-ප්‍රතීත්‍ය සමුත්පාදා දි භේද ඇති ධර්‍ම උපකාර හෙයින් භූමි වේ.
ප්‍රශ්නයෙකි :- මේ එක භූමිය සඳහා බොහෝ ධර්‍මයන් දැක්වූයේ කවර හෙයින් ද
පිළිතුර :- අරූපයෙහි මුළා වූ සත්ත්‍වයන් සඳහා අරූප ධර්‍මයන් සතර කොටසක් ඇති ස්කන්‍ධ දෙශනයෙන් ද,
රූපයෙහි මුළාවූවන් සඳහා අඩ එකොළොසක් රූප කොටස් ඇති ආයතන දේශනයෙන් ද
උභය මුළාවූවන් සඳහා නාමය සප්ත විඥාන ධාතුවෙන් හා රූපය එකොළොස් ආකාරයක් වූ ධාතු දේශනයෙන් ද බෙදා දැක්වූහ.
එසේ ම තික්ඛින්‍ද්‍රිය, මජ්ඣිමින්‍ද්‍රිය, මුදින්‍ද්‍රිය වශයෙන් ද, සංක්‍ෂේපරුචික, මධ්‍යමරුචික, විස්තාර රුචිකයන්ගේ වශයෙන් ද, පිළිවෙලින් ස්කන්‍ධ, ආයතන, ධාතු බෙදා දැක්වූහ.
ඉන්‍ද්‍රිය දේශනාව ද ඊශ්වර නිර්‍මාණ වාදයෙන් ආත්ම දෘෂ්ටියෙහි මුළා වූවන් සඳහා ය. මේ ඉන්‍ද්‍රිය ධර්‍මයේ සහජාත ධර්‍මයන් කෙරෙහි ඒ ඒ ධර්‍මයන් ගේ ස්වභාව වශයෙන් සිද්ධවන බව හා කිසිවකුගේ ඊශ්වර (අධිපති) බවක් හෝ වශී භාවයක් හෝ නැති හෙයින් ඊශ්වරත්‍වයෙන් ශුන්‍යයහ යි අනාත්ම ලක්‍ෂණය සුවසේ ගැන්වීම සඳහා වදාරන ලද්දේ ය.
මේ ස්කන්‍ධ-ආයතන-ධාතු-ඉන්‍ද්‍රිය යන සතර ධර්‍මයන් ගේ පැවැත්ම ය, වැළැක්ම ය, පැවැත්මේ හේතුව ය, වැළැක්මේ හේතුව ය යන සතර ධර්‍මයන් ගේ වශයෙන් වදාරන ලද හෙයින් මෙහිලා උපකාර වේනු යි, ඒ සඳහා අවසානයෙහි සත්‍ය-ප්‍රතීත්‍ය-සමුත්පාද ද්වය වදාරන ලදී. මේ ටිකාගත විස්තරය යි.
සීල විසුද්ධි-චිත්ත විසුද්ධි දෙක මූලයෝ ය. සෙසු පඤ්ච විසුද්ධීන් ගේ පිහිටීමට උපකාර (හෙතු) වන හෙයිනි.
දිට්ඨිවිසුද්ධි, කඞ්ඛාවිතරණවිසුද්ධි, මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධි, පටිපදා ඤාණදස්සනවිසුද්ධි, ඤාණදස්සනවිසුද්ධි යන පස ශරීරය යැ. (භාවනා වශයෙන් වඩන ලද මේ පස ප්‍රඥා පරම්පරාවෙන් පවත්වන කල හස්ත-පාද-ශීර්‍ෂස්ථාන වශයෙන් උපමා කොට අවයවයෙන් යුත් ශරීරයැ යි හඳුන්වනු ලැබෙන හෙයිනි.)
එහෙයින් ‘භූමි වූ’ ස්කන්‍ධාදි ධර්‍මයන් ගේ අර්‍ථ හා පාළිය ඉගෙන නුවණින් පුරුදු කොට ‘මූල වූ’ ධර්‍ම සම්පූර්‍ණ කොට ‘ශරීර වූ’ පඤ්ච විශුද්ධීන් වඩා ප්‍රඥා භාවනාව සිද්ධ කළ යුතු වේ.
මේ වැඩිය යුත්තේ කෙසේ ද යන්නෙහි සංක්‍ෂේප කථාව යැ.
මේ විස්තරය :- ‘යට ස්කන්‍ධ, ධාතු, ආයතන, ඉන්‍ද්‍රිය, සත්‍ය, ප්‍රතීත්‍යසමුත්පාදාදි ධර්‍ම භුමිය’යි කී තන්හි
ස්කන්‍ධ නම් :-
(1) රූපක්ඛන්‍ධය
(2) වෙදනාක්ඛන්‍ධය
(3) සඤ්ඤාක්ඛන්‍ධය
(4) සඞ්ඛාරාක්ඛන්‍ධය
(5) විඤ්ඤාණක්ඛන්‍ධය යන මේ පසයි.