සතර බ්‍රහ්ම විහාරයනට අනතුරුවැ දක්වන ලද සතර අරූප ධ්‍යානයන් අතුරෙන් පළමුවන ආකාසානඤ්චායතන ධ්‍යානය වඩනු කැමැති යෝගාවචර තෙමේ
“දිස්සන්තෙ ඛොපන රූපාධිකරණං දණ්ඩාදාන සත්‍ථාදාන කලහ විග්ගහ විවාද, නත්‍ථි ඛො පනෙ තං සබ්බසො ආරුප්පෙති. සො ඉති පටිසංචික්ඛාය රූපානං යෙව නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති”[1]
“රූපය හේතුකොටගෙන මෙරමා පෙරළීම පිණිස දඬු-මුගුරු ගැනීම ද, කඩු-දුනු ආදි ආයුධ ගැනීම ද, ඔවුනොවුන් හා කරන කලහ විග්ගහ විවාදයෝ ද, පැනෙත්මය. ඒ සියල්ල සර්‍වප්‍රකාරයෙන් අරූපි භවයේ නැතැයි ද, මෙසේ නුවණින් සලකා ඉෂ්ටානිෂ්ට සියලු රූපයන්ගේ ම කලකිරීම පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ යැයි” වදාළ හෙයින් ඒ දඬු මුගුරු ගැනීම් ආදියේ ද, ඇස්-කන් ලෙඩ ඈ දහස් ගණන් රෝගයන්ගේ ද, වශයෙන් මේ කරජ රූපයෙහි දොස් දැක එය බැහැර කිරීම පිණිස පරිච්ඡින්න ආකාස කසිණය හැර පඨවි ආදි නවවිධ කසිණයන් අතුරෙන් එක්තරා කසිණයක් වඩා රූපාවචර චතුත්‍ථධ්‍යානය උපදවයි.
හුදෙක් ඒ යෝගියා විසින් රූපාවචර චතුත්‍ථ ධ්‍යානයාගේ වශයෙන් කරජරූපය ඉක්මවන ලද්දේ වෙයි. එතෙකුදු වුවත් කසිණ රූපය ද කරජ රූපය හා සදෘශවන බැවින් ඒ කසිණ රූපය වූ ප්‍රතිභාග නිමිත්ත ද ඉක්මවනු කැමැති වේ.
කෙසේද?
සර්‍පයන්ට බියවූවෙක් අරණ්‍යයෙහි දී සර්‍පයකු විසින් ලුහුබඳින ලදුවැ වේගයෙන් පලගොස් ඒ පලාගිය තන්හිදී බිම ඇඳි සර්‍පාකාර රේඛාවක් හෝ තල්පතක් හෝ වැලක් හෝ රැහැනක් හෝ පොළොව පැළි විවරයක් හෝ දුරදී දැක බියවේමැ යැ. තැතිගැනේමැ යැ. ඒ දැක්මට පවා නොකැමති වේ මැයි.
එසේ ම එක් ගමෙහි වසන විරෝධී අනත්‍ථකාරී පුරුෂයකු විසින් කළ වධ බන්‍ධන ගෙහජ්ඣාපනාදි උපද්‍රවයෙන් පෙළුණු පුඟුල් තෙමේ අන් ගමකට වාසය පිණිස ගොස් එහිදී ද එබඳු රූ සටහන් කටහඬ ගමන-බිමන ඇති පුරුෂයෙකු දැක හෙතෙමේ මැ යැයි බියවේමැ යැ. තැතිගැනේමැ යැ. ඔහු දකින කැමති නොවේ මැයි.
එහි මේ උපමාන උපමෙය සංසන්‍දනය යි.
ඒ පුරුෂයාහට සර්‍පයා හා විරෝධි පුරුෂයා විසින් පීඩා කළ කාලය මෙන් යෝගාවචර භික්‍ෂුවගේ අරමුණු කිරීම් වශයෙන් කරජ රූපය හා එක් වූ කාලය ද, ඔවුන් වේගයෙන් පලායාම හා අන් ගමකට යාම මෙන් භික්‍ෂුවගේ රූපාවචර චතුර්‍ථධ්‍යාන වශයෙන් කරජ රූපය ඉක්මවන කාලය ද, ඔවුන් පැන ගිය තැන බිම ඇඳි ඉරි තල්පත් ආදිය හා අන්ගමෙහි මේ සතුරා වැනි පුරුෂයා දැක බිය හා තැති ගැනුම් නොදක්නා කැමති බව මෙන් භික්‍ෂුවගේ කසිණ රූපය හා කරජ රූපය වැනියැ යි සලකා ඒ ප්‍රතිභාග නිමිත්ත ඉක්මවනු කැමැති බව ද ගළපා දත මැනැවි.
මෙහිලා හූරකු විසින් පහරන ලද බලුය, පිසාච භීරුක පුරුෂය යනාදි උපමා ද දත යුතුය. මෙසේ ඒ යෝගාවචර තෙමේ චතුර්‍ථ ධ්‍යානයට අරමුණු වූ ඒ පටිභාග නිමිත්ත වූ කසිණ රූපයෙන් කළකිරී ඒ රූපයෙන් පහවනු කැමැති වැ පස් ආකාරයෙකින් පුරුදු කළ වශග බැව් ඇතියේ පුහුණු වූ චතුර්‍ථ ධ්‍යානයෙන් නැගී මේ ධ්‍යානය මා කළකිරුණු රූපය අරමුණු කෙරේයැ යි ද, ළංවූ සොම්නස් නැමැති සතුරා ඇතැයි ද, අරූප ධ්‍යානයට වඩා ඖදාරිකයැ යි ද, ඒ චතුර්‍ථධ්‍යානයෙහි දොස් දකී.
“යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා”[2] යනු හෙයින් රූපය ඉක්මවා ලැබූ මේ අරූපධ්‍යානය සන්ත විමොක්ඛ නම් වේ. අඞ්ග වශයෙන් ඖදාරික බවෙක් නැති. රූපාවචර චතුර්‍ථධ්‍යානයෙහි මෙන් මෙහි ද උපෙක්ඛා - එකග්ගතා යන අඞ්ග දෙක ම යෙදෙන හෙයිනි. ඒ යෝගී තෙමේ මෙසේ චතුර්‍ථධ්‍යානයෙහි ආදීනව දැක ධ්‍යාන නිකාන්තිය දුරුකොට ආකාසානඤ්චායතන ධ්‍යානය ශාන්ත වශයෙන් ද, අනන්ත වශයෙන් ද, මෙනෙහි කොට සක්වළ අවසන්කොට හෝ තමා කැමැති තාක් පෙදෙසකැ හෝ කසිණාලෝකය පතුරුවා එයින් පැතිරි පෙදෙස “අහස-අහස” යැයි හෝ “අනන්තාකාස” යැයි හෝ මෙනෙහි කරමින් ඒ කසිණාලෝකය උගුළුවයි. උගුලුවන්නේ ද වනාහි හුදෙක් පැදුරක් මෙන් නොද හකුළුවයි. කබලකින් කැවුමක් මෙන් නොද උදුරයි.
හුදෙක් ඒ කසිණාලෝකය මෙනෙහි නොකොට එය පැතුරුණු අහස ගැන සිහිකරමින් “ආකාසය, ආකාසයැ”යි නැවත නැවත කියත් ම ඒ අවකාශ මාත්‍රය ම පැනේ. එසේ වන්නා හා මැ කසිණාලම්බනය පහව යේ. මේ යැ කිසුණු ඉගිළීම නම්.
කසිණුගඝාටිමාකාසය, කසිණඵුට්ඨාකාසය, කසිණවිවිත්තාකාසය යන මේ සියල්ල එක මැයි. ඒ යෝගාවචර තෙමේ කිසුණු ඉගුළු ආකාස නිමිත්ත ම “අහසය” “අහසයැ යි” නැවත නැවත ආවර්‍ජනා කෙරෙයි. තර්‍කාහත විතර්‍කාහත කෙරෙයි. මෙසේ කරන්නා වූ ඔහුගේ කාමච්ඡන්‍දාදි නීවණයෝ විෂ්කම්භනය වෙත්. ආකාස නිමිත්ත අරමුණු කළ සිහිය මනාව පිහිටයි. උපචාර ධ්‍යානයෙන් සිත එකඟ වේ. හෙතෙම ඒ ආකාස නිමිත්තම නැවත නැවත ආසේවනය කෙරෙයි. වැඩීම කෙරෙයි. බහුල වශයෙන් කෙරෙයි. මෙසේ කරන්නාවූ ඒ යෝගාවචරයාහට පඨවි කසිණාදියෙහි රූපාවචර ධ්‍යාන චිත්තය මෙන් කිසුණු ඉගුළු අහස්හි ආකාසානඤ්චායතන ධ්‍යාන චිත්තය පිහිටයි.
මේ ධ්‍යානයෙහි ද පූර්‍වභාගයෙහි මන්‍ද පඤ්ඤයාගේ වශයෙන් පරිකර්‍මාදි කාමාවචර ජවන් සිත් සතරක් හෝ තික්ඛ පඤ්ඤයාගේ වශයෙන් උපචාරාදි තුනක් හෝ උපේක්‍ෂා වේදනා සම්ප්‍රයුක්තවැ ඉපිද පස්වනු වැ හෝ සිව්වනු වැ අරූපාවචර ධ්‍යාන චිත්තය වේ. සෙස්ස පඨවි කසිණයෙහි කීසේ යැ.
මේ විශේෂයැ:- මෙසේ අරූපාවචර ධ්‍යානය උපන් කල්හි මුදුනෙහි පටන් වැසූ සිවිකාදි යානයෙක හෝ කුඩා දොරටුවෙක හෝ කළයෙක හෝ මුඛයක් නිල්, රන්වන්, රතු, සුදු, ඈ පැහැ ඇති එක්තරා රෙදි කඩෙකින් බැඳ බලන පුරුෂයෙක් වාත වේගයෙන් හෝ වෙනයම් කිසිවකින් හෝ රෙදි කඩ පහව ගිය කලැ අහස මැ බලමින් යම්සේ සිටී ද? එසේ ඒ යෝගී තෙමේ පෙර නීල-පීතාදි යම්කිසි කසිණයකින් උපදවා ගත් කසිණ මණ්ඩලය උපචාර ධ්‍යාන නමැති ඇසින් බලමින් සිට “ආකාස කසිණ යැ” “ආකාස යැ” යන මේ පරිකර්‍ම මනස්කාරයෙන් වහා ඒ කසිණ නිමිත්ත පහව ගිය කල්හි අරූපාවචර ධ්‍යාන නමැති ඇසින් බලමින් වාසය කෙරේ.
මෙතෙකින් මේ ධ්‍යාන ලාභී තෙමේ “සබ්බසො රූප සඤ්ඤානං සමතික්කමා පටිඝ සඤ්ඤානං අත්‍ථඞ්ගමා නානත්ත සඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති”[3] යනු වදාළ හෙයින් “සර්‍වප්‍රකාරයෙන් රූප සංඥා අස්තඞ්ගමයෙන් නානත්‍වසංඥා මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයැ යි” මෙසේ ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වෙසේ යයි කියනු ලැබේ.
විස්තරාර්ථ
සබ්බසො = (රූප නිමිත්ත දණ්ඩාදානාදීන්ගේ වශයෙන් දොෂ දර්‍ශනයෙන්) සර්‍වාකාරයෙන් යන අර්‍ථ යි.
රූපසඤ්ඤානං = සංඥා ශීර්‍ෂයෙන් වදා රූපාවචර ධ්‍යානයන්ගේ ද, ඔවුනට අරමුණු වූ පඨවි කසිණාදි රූපාලම්බණයන්ගේ ද යනු අර්‍ථ යි. (රූප සංඥාවන්ගේ)
(1) රූපී රූපාති පස්සති”[4] (රූපාවචර ධ්‍යාන ලාභීතෙමේ) ධ්‍යාන චක්‍ෂුසින් කසිණ රූපය බලයි. යනාදි තන්හි මෙන් මෙහි රූපාවචර ධ්‍යානය රූපයැ යි ගැනේ. “රූපාවචරඣානාති” යි කිවමනා තැන පරපද ලෝපයෙන් “රූපානි”යි කීසේ ද
“රූපූපපතතියා මග්ගං භාවෙති”[5] යන්නෙහි “රූපභවො” යි කිවමනා තන්හි පරපද ලෝපයෙන් “රූප” යැයි කීසේ ද මෙහි ද රූපාවචර ධ්‍යානය “රූප” යැයි කියනලදි. එහෙයින් රූපෙසඤ්ඤා රූපසඤ්ඤා යි රූපාවචර ධ්‍යානයෙහි සංඥාව රූප සංඥා යැයි මෙහි අර්‍ථ පක්‍ෂයෙකි.
(2) “බහිද්ධා රූපානි පස්සති සුවණ්ණ දුබ්බණ්ණානි”[6] යනාදි තන්හි කසිණ රූපානි යි කිවමනා තන්හි “කසිණ” යන්න ලොප්කොට “රූපානි” යි කියයි “දෙවදත්තො” යි කිවමනා තන්හි පූර්‍වපද ලෝපයෙන් “දත්තො” යි දෙවදත්තයාම කීවා සේ කසිණ රූපානි යි කිවමනා තන්හි රූපානි යි කසිණ රූපම කියන ලදී. මෙසේ වන්නා පෙර කී “සබ්බසො” යන්න රූපසඤ්ඤානං යන්නට තුල්‍යාධිකරණ විශේෂණ කොට සබ්බාසං රූපසඤ්ඤානං යි ගෙන නිරවශේෂ වූ රූපාවචර ධ්‍යානය හා එයට ආලම්බන පඨවි ආදි කසිණාලම්බනය ද කීවා වේ.
සමතික්කමා = නොඇලීමෙන් හා වැනසීමෙන් යනු අර්‍ථයි. (ඉක්මවීමෙන්) ; කුසල-විපාක-ක්‍රියා-වශයෙන් පසළොස් වැදෑරුම් වූ රූපාවචර ධ්‍යාන සංඛ්‍යාත වූ ද, ආකාශ වර්ජිත නවවිධ කසිණාලම්බන සංඛ්‍යාත වූ ද, රූපසංඥාවන්ගෙ සර්‍වප්‍රකාරයෙන් නිරවශේෂයෙන් නිරුද්ධ කිරීම කියන ලද්දේ වේ.
ඒ එසේ මැයි:- සර්‍වප්‍රකාරයෙන් රූපාවචර ධ්‍යානය නො ඉක්මවා ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණිය නො හැකි හෙයිනි.
ආකාසනඤ්චායතන ධ්‍යානය ආලම්බන සමතික්‍රමණයෙන්ම වන හෙයින් ආලම්බන සමතික්‍රමණය නොවූවහට සංඥා සමතික්‍රමණය නොවේ. හුදෙක් සංඥා සමතික්‍රමණය වූවහුට ම ආලම්බන සමතික්‍රමණය වන හෙයිනි.
විභඞ්ගයෙහි :- තත්‍ථ කතමා රූපසඤ්ඤා, රූපාවචර සමාපත්තිං සමාපනනස්සවා, උප්පනනස්සවා දිට්ඨධම්ම සුඛවිහාරිස්සවා, සඤ්ඤා සඤ්ජානනාසඤ්ජානිතතතං ඉමාවුච්චන්ති රූපසඤ්ඤායො. ඉමාරූප සඤ්ඤායො අතික්කන්තෙහොති විතික්කන්තො සමතික්කන්තො තෙන වුච්චති සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමාති”[7]යි සංඥා සමතික්‍රමණය වදාළහ.
එහි රූප සංඥා නම් කවරී ද?
“රූපාවචර ධ්‍යාන ලාභියාගේ ධ්‍යානයට සමවැදීමෙන් කුශල සංඥා වශයෙන් ද, කාලක්‍රියා කොට බ්‍රහ්මලෝකයෙහි උපන්නහුගේ විපාක සංඥා වශයෙන්ද, රහතුන්ගේ දිට්ඨ ධම්ම සුඛවිහරණයෙන් ක්‍රියා සංඥා වශයෙන්ද, හැඳිනීම රූප සංඥා නමු. එකී ත්‍රිවිධ සංඥාවන්ම ඉක්මවූයේ රූප සංඥා මනාකොට ඉක්මවූයේ ය යි කියනු ලැබේ” මෙසේ විභඞ්ගයෙහි ආරම්මණ සමතික්‍රමණය නො කියා සංඥා සමතික්‍රමණයම කියන ලදි.
එකම අරමුණෙහි ප්‍රථම ධ්‍යානාදිය මෙන් නොපැමිණිය යුතු හෙයින් ද ආරම්මණ සමතික්‍රමණයෙන් මේ සමාපත්ති ලැබිය යුතු හෙයින් ද, මෙහි ආරම්මණ සමතික්‍රමණ වශයෙන් ද විස්තර කරන ලද බව දත යුතු.
පටිඝසඤ්ඤාණං අත්‍ථඞ්ගමා = ප්‍රතිඝ සංඥාවන්ගේ අසතඞ්ගමයෙන් චක්‍ෂුරාදි ප්‍රාසද රූප හා රූපාදි පඤ්චාලම්බනයන් ගැටීමෙන් උපන් සංඥා ප්‍රතිඝ සංඥා නමු. රූප සංඥාදියට මේ නමෙකි. එහෙයින්ම:- තත්‍ථ කතමා පටිඝසඤ්ඤා, රූපසඤ්ඤා, සද්දසඤ්ඤා, ගන්‍ධසඤ්ඤා, රසසඤ්ඤා, ඵොට්ඨබ්බසඤ්ඤා, ඉමා වුච්චන්ති පටිඝසඤ්ඤායො[8]
රූප සංඥාය, ශබ්ද සංඥාය, ගන්‍ධ සංඥාය, රසසංඥාය, ස්ප්‍රෂ්ටව්‍ය සංඥා යැයි මොහු ප්‍රතිඝ සංඥා යැයි කියන ලදහ. චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය යන පඤ්ච ප්‍රසාද වස්තූන් හා රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්ප්‍රෂ්ටව්‍ය යන පඤ්චාලම්බනයන් පිළිවෙළින් ගැටීමෙන් උපදනා පඤ්චවිධ කුසලවිපාක, අකුසලවිපාක, චක්ඛුවිඤ්ඤාණාදීන්ගේ වශයෙන් දස වැදෑරුම් විපාක චිත්තයන්ට හා ඒ සමග උපදනා චෛතසිකයන්ට ප්‍රතිඝ සංඥා යයි කියනු ලැබේ. ද්‍වාරයන්ට ආලම්බනවීම් වශයෙන් ගැටීමෙන් උපදනා හෙයිනි.
අරූපාවචර ධ්‍යානයෙහි හා එයින් උපදනා අරූප භවයෙහි ප්‍රතිඝ සංඥාවන් නො පවත්නා හෙයින් ප්‍රහාණයෙන් - නො ඉපදවීමෙන් ඔවුන්ගේ අභාවය කියන ලදී.
යටකී ද්‍විපඤ්ච විඤ්ඤාණ සංඛ්‍යාත ප්‍රතිඝ සංඥාවෝ ප්‍රථම ධ්‍යානාදියට සමවන්නහුට ද කැලම නැත්තාහ. එකල්හි පඤ්ච ද්වාරික වශයෙන් සිත නොපවත්නා හෙයිනි. එසේ ඇති කල්හිදු ප්‍රථම ධ්‍යානාදියට සමවන්නහු විසින් ප්‍රහීණ කළ සුඛ දුක්ඛයන් “සුබස්සව පහාණා” යනාදීන් චතුර්‍ථධ්‍යානයෙහි ද සෝවාන් මගින් ප්‍රහීණ කළ “සක්කාය දිට්ඨි” ආදි සංයොජනත්‍රය ද “පඤ්චන්තං ඔරම්භාගියානං සඤ්ඤොජනානං”යි අනාගාමි මාර්‍ගයෙහි ද ප්‍රශංසා වශයෙන් හා උත්සාහ දනවීම පිණිස කීවා සේ අරූපාවචර ධ්‍යානයෙහි ප්‍රතිඝ සංඥාවන්ගේ කීම එයට ප්‍රශංසා වශයේ හා එහි උත්සාහ දැනවීම පිණිස යැ.
අන්‍යවූ ද අර්‍ථයෙකි :- ඒ ප්‍රතිඝ සංඥාවෝ රූපාවචර ධ්‍යානයට සමවැදුනහුට ද නැත්මැයි. ඒ නැත්තේ ප්‍රහීණ කිරීමෙන් නොවේ. ඒ එසේ මැ යි :- රූපාවචර ධ්‍යානය රූප විරාගය පිණිස නො පවතී. මේ ප්‍රතිඝ සංඥාවන් අරූපධර්‍ම වුවද ඔවුන්ගේ පැවැත්ම රූපායතනමය. රූපාවචරධ්‍යානය රූප නොවුවත් රූපය අයත් කොටම පවතී. එහෙත් මේ අරූපාවචර ධ්‍යානය රූප විරාගම පිණිස පවතී. එහෙයින් මෙහි ඒ රූප සංඥා ප්‍රහීණ යයි කීමට වටනේය. කීමට පමණක් නොව ඒකාන්තයෙන් මැ ධාරණය කිරීමට ද වටනේයි.
ඒ ප්‍රතිඝ සංඥාවන් මේ අරූප ධ්‍යානයෙන් පෙර ප්‍රහීණ නො කළ හෙයින් ම බුදුහු ප්‍රථම ධ්‍යානයට සමවැදුනහුට ශබ්දය කන හුණු කටුවක් මෙනැයි වදාළහ.
ඒ එසේමැයි :- පරතොඝෝෂ ප්‍රත්‍යයයෙන් ලැබිය යුතු සෝවාන් මාර්‍ගයට අනන්තර ප්‍රත්‍යය වූ ගෝත්‍රභූ ඥානයට හේතු වූ ශබ්දය ප්‍රථම ධ්‍යානයට කණ්ටකයෙකි. එහෙයින් බලවත් ශබ්දයාගේ ගැටීමෙන් ප්‍රථම ධ්‍යානයෙන් නැගිටීම වේ. අරූපධ්‍යානයෙහි ප්‍රතිඝ සංඥාව ප්‍රහීණ කළ හෙයින් අරූප සමාපත්තීහු ‘ආනෙඤ්ජාභි සංස්කාරයහ’යි ද, ‘ශාන්ත විමොක්‍ෂයහ’යි ද කියන ලදු. අරූප ධ්‍යානයට සමවන් ආළාරකාලාව තෙමේ මහත් වූ චක්‍ර නාදයෙන් යුක්ත වැ ළඟන්ම පෙළට ගිය පන්සියයක් ගැල් නොදිටී. ශබ්දය ද නො ඇසී. ශබ්දය අසා අරූපධ්‍යානයෙන් නො නැගිටින බවට මේ සාධකයි.
නානත්ත සඤ්ඤානං අමනසිකාරා = නානාවිධ අරමුණෙහි පැවැති සංඥා හෝ නානාවිධ සංඥා මෙනෙහි නොකිරීමෙන් ය’යි කී සාමාන්‍ය විස්තර කරනුවෝ
තත්‍ථ කතමා නානත්ත සඤ්ඤා අසමාපනතස්ස මනොධාතු සමඞ්ගිස්සවා මනොවිඤ්ඤාණ ධාතු සමඞ්ගීස්සවා සඤ්ඤා සඤ්ජානනා සඤ්ජානිතත්තං ඉමා වුච්චන්ති නානත්ත සඤ්ඤායො[9] යනු වදාළහ.
එහි නානාත්‍ව සංඥා නම් ධ්‍යානයට සම නොවැදුනහු ගේ මනෝධාතු සංඛ්‍යාත පඤ්චද්වාරාවර්‍ජන සිතින් හෝ, මනෝ විඤ්ඤාණධාතු සංඛ්‍යාත මනෝද්වාරාවර්‍ජන සිතින් හෝ, යුක්ත වූවහුගේ යම් සංඥාවක් හැඳිනීමක් හඳුනන බවෙක් වේ නම් ඒ නානාත්‍ව සංඥා යැ.
විභඞ්ගයෙහි මෙසේ දක්වන ලද සංඥාවෝ රූප ශබ්දාදි ප්‍රභේද ගත නොයෙක් ස්වභාව ඇති ආලම්බනයෙහි පවත්නාහුය. ඒ සංඥාවෝ නම් කාමාවචර කුසල සංඥා අට යැ (8) අකුසල සංඥා දොළොසයැ (12) කාමාවචර කුසල විපාක සංඥා එකොළොස යැ (11) අකුසල විපාක සංඥා දෙක යැ (2) (ද්විපඤ්චවිඤ්ඤාණය (10) ප්‍රතිඝ සංඥා නාමයෙන් පෙර කී හෙයිනි.) කාමාවචර ක්‍රියා සංඥා එකොළොස යැ (11) යන සුසාලිස සංඥා වශයෙන් නොයෙක් ප්‍රභේද ඇත්තාහුය. ඔවුනොවුන්ට විසදෘශ හෙයින් ඔහු නානාත්‍ව සංඥා යයි කියන ලදහ.
ඒ නානාත්‍ව සංඥාවන් යම්තාක් කල් මෙනෙහි නොකෙරේ නම් ඒ තාක් සර්‍වප්‍රකාරයෙන් මෙනෙහි නොකිරීම හේතුකොටගෙන මෙනෙහි නොකෙරේ යයි ද ආවර්‍ජනා නොකිරීම හේතුකොටගෙන ආවර්‍ජනා නො කෙරේ යයි ද කියන ලදි. පෙර කී සේ රූප සංඥා ප්‍රතිඝ සංඥා අරූපාවචර ධ්‍යානයෙන් උපදනා අරූප භවයෙහි කැලම නැත්. එහෙයින් මේ ධ්‍යානයට සමවැදී ඒ ආරුප්ප භවයෙහි වසනකල ඒ සංඥා නැතැයි කියනුම කවරේ ද? එහෙයින් ඔවුන්ගේ ඉක්මවීමෙන් ද, අසතඞ්ගමයෙන් දැයි දෙයාකාරයෙන් ම අභාවයම කීයේ වෙයි. එහෙත් නානාත්‍ව සංඡාවන් අතුරෙන් කාමාවර කුසල සංඥා අට (8) ද මනොද්වාරාවර්‍ජන එක හා මහා ක්‍රියා අට දැයි යන මේ ක්‍රියා සංඥා නවය (9) ද ප්‍රතිඝද්වය හැර අකුසල සංඥා දසය (10) දැයි මේ සත්විසි (27) සංඥාවෝ අරූපාවචර ධ්‍යානයෙන් උපදනා හෙයින් විද්‍යාමානයහ. එහෙත් මේ ධ්‍යානයට සමවැද වසන කල ඔවුන්ගේ මෙනෙහි කිරීමක් නැති හෙයින් ම “නානත්ත සඤ්ඤානං අමනසිකාරා”යි කී නියා දත යුතු. ඔවුන් මෙනෙහි කෙරේ නම් ධ්‍යානයට සම නො වදනේ මැයි.
මේ “රූපසඤ්ඤානං සමතික්කමා” යන්නෙන් සියලු රූපාවචර ධර්‍මයන්ගේ ද, “පටිඝසඤ්ඤානං අත්‍ථඞ්ගමා නානත්ත සඤ්ඤානං අමනසිකාරා” යන්නෙන් කාමාවචර චිත්ත චෛතසික ධර්‍මයන්ගේ ප්‍රහාණය ද, මෙනෙහි නොකිරීම ද සැකෙවින් කියන ලදී.
නිගමනය :- අරූපාවචර ධ්‍යානය නැති කල්හි චුතියෙන් මත්තෙහි ඉපදීමට සුදුසු රූපාවචර ධ්‍යානයන්ගේ හා ද්‍විපඤ්ච විඤ්ඤාණයන්ගේ ද, විපාක ප්‍රවෘත්තිය ඇතිතාක් විපාක දීමට සමර්‍ථ වෙතත් මේ අරූපාවචර ධ්‍යාන ඉපදවීමෙන් එය පවතිනතාක් ඔවුන්ගේ විපාක නොලැබෙන ස්වභාවයට පැමිණවීමෙන් ද, රූප සංඥා ප්‍රතිඝ සංඥාවන්ගේ සමතික්‍රමණය හා අස්තංගමය ද කියන ලදී. (නානාත්‍ව සංඥාවන් අතුරින් රූපනිශ්‍රිතවැ ම පවත්නා සංඥාවෝ අනවකාශ හෙයින් නො උපදිති. අරූප ධ්‍යානයෙන් වළකන ලද හෙයින් නොවේ.) අරූප්පභාවනාවෙන් නොවළකන ලද හෙයින් සමහර සංඥා උපදිති. එහෙයින් ඔවුන් මෙනෙහි කිරීම ජවනයන්ට හෝ භවාඞ්ග සිතට ඇතුළත් නොකරන බව කියන ලදී.
මෙසේ “රූපසඤ්ඤානං සමතික්කමා - පටිඝ සඤ්ඤානං අත්‍ථඞ්ගමා - නානත්ත සඤ්ඤානං අමනසිකාරා” යන මේ පද තුනෙන් අකාසානඤ්චායතන සමාපත්ති වර්‍ණනය කියන ලදී.
තවද කිසි ආස්වාදයක් නැති අහසෙහි පැවති සංඥායෙහි කවර ආනිසංසයෙක් දැයි වරදවා ගත්තවුන්ගේ ඒ ගැනීම වළකාලීම සඳහා මේ ආනිසංස අසා මේ සමාපත්තිය ශාන්තය ප්‍රණීත යැයි, එය ඉපදවීමට උත්සාහ කෙරෙමුය යි, මෙසේ උත්සාහ ඉපදවීම සඳහා ද මෙය කියන ලදී)
“අන්තා ආකාසො”ති = අනන්ත අවකාශ යැයි ‘අවකාශය නම් පරිච්ඡේදයයි’ එහි ස්වාභාවික ධර්‍මයන්ගේ මෙන් උත්පාදයාගේ හෝ අභාවයා ගේ අන්තයක් නො පැනෙන හෙයින් අනන්තය. විශේෂයෙන් මෙහි අභිප්‍රේත වූයේ කසිණුග්ඝාටිම අවකාශය යැ. එය අජටාකාශය හා පරිච්ඡින්නාකාශයයැ යි ද්විප්‍රකාර වූ අවකාශයෙන් අන්‍ය ය. ඒ හා අමිශ්‍ර ය. ඉපදීමේ හෝ නැතිවීමේ හෝ අන්තයක් නො පැනෙන හෙයින් අනන්ත ය.
විස්තර :- ස්වාභාවික දෙය පෙර නො පැවැති උපදනා හෙයින් හා ඉපිද වැනසෙන හෙයින් ද, උදය - ව්‍යය දෙකින් පිරිසිඳේ. අවකාශය වනාහි අස්වාභාවික දෙයක් හෙයින් ඒ දෙකින් නො පිරිසිඳිනා ලදින් අනන්ත ය. මෙය පෙර කී සේ කසිණය (ආලෝකය) මෙනෙහි නො කොට උගුළුවා ඒ ආලෝකය පැවැති ආකාශ මාත්‍රය විනා පරිච්ඡේදය නො ගැනීමෙන් ද, පරිකර්‍මභාවනා වශයෙන් අනන්තව ද පවත්නා හෙයින් අනන්තාකාස නම වී.
එහෙයින් කීහ :- තස්මිං ආකාසෙ චිත්තං ඨපෙති සණ්ඨාපෙති අනන්තං එරති තෙන වුච්චති අනන්තො ආකාසොති[10] යී “ඒ කසිණුගඝාටික ආකාශයෙහි උපචාරධ්‍යාන චිත්තය (මෙනෙහි කිරීම් වශයෙන්) පිහිටුවයි. අනන්ත වශයෙන් පතුරුවයි. එහෙයින් අනන්ත ආකාශය’යි කියන ලදි”
“ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති” ආකාසානඤ්චායතන ධ්‍යානය උපදවා වාසය කෙරේ මෙහි වනාහි පෙර කී සේ ආකාශය ගේ උත්පාදාන්තය හෝ ව්‍යයාන්තය නැති හෙයින් ආකාසානන්ත නම් වේ. (ඒ ආකාසානන්තයම ස්වාර්‍ථයෙහි “ණ්‍ය” ප්‍රත්‍යය වැ යවත් වූ “ත්‍ය” යන්නට වකාරය හා නකාරයට “ඤ” කාරව ආකාසානඤ්ච නම් වේ.) (“භෙසජ මෙව හෙසජ්ජං” යි කීවා සේ)
තව ද දෙවියන්ට වාසස්ථානය වූ දෙවොළ දේවායතනය වන්නා සේ අපරිච්ඡේදාකාශයම මේ ධ්‍යානය පිහිට කොට ඇති හෙයින් හෝ සම්ප්‍රයුක්ත ධර්‍මයන්ට ආධාර වූ හෙයින් මේ ධ්‍යාන චිත්තය ම ආකාසානඤ්ච නම් වේ.
මේ ධ්‍යානය උපදවා එයට සමවැද එයට සුදුසු ඉරියව්වෙන් වාසය කරන්නේ ය, යනු මේ අදහස යි.
මේ ආකාසානඤ්චායතන කර්‍මස්ථානයෙහි විස්තර කථාව යැ.