අප්පමත්තක විස්සජ්ජක සම්මුතිය.

සියලු භික්ෂූන්ට බෙදා දිය හැකි තරමට සඞ්ඝයාගේ භාණ්ඩාගාරයට ප්‍රත්‍යය නො ලැබෙන කාලවලදී, ඒ ඒ භික්ෂූන්ට වුවමනා සුළු සුළු දේවල් දීමට භික්ෂුවක්හට ‘අප්පමත්තතක විස්සජ්ජක සම්මුතිය’ දීමට තථාගතයන් වහන්සේ අනුදැන වදාළ සේක. සම්මුතිය ලත් භික්ෂුවට සඞ්ඝයාගෙන් නො විමසා භාණ්ඩාගාරයෙන් සුළු සුළු දේවල් දීමට බලය තිබේ. ඒ භික්ෂුව විසින් සිවුරු මසා ගැනීමට ඉදිකටු ඉල්ලන භික්ෂුවකට ඉදිකටුවක් දිය යුතු ය. පිහියක් ඉල්ලන්නකුට කුඩා පිහියක් දිය යුතු ය. දුර ගමනක් යන භික්ෂුවකට සෙරෙප්පු ජෝඩුවක් දිය යුතු ය. ඉණ බඳනා පටියක් ඉල්ලන භික්ෂුවකට එය දිය යුතු ය. අංසයෙහි එල්ලන පටියක් වුවමනා වූ භික්ෂුවකට එය දිය යුතු ය. පෙරහන වුවමනා භික්‍ෂුවකට එය දිය යුතු ය. ඩබරාවක් වුවමනා භික්ෂුවකට එය දිය යුතු ය. දික් ගැබ පිණිස ද, සරස් ගැබ පිණිස ද, මඬුලු අඩමඬුලු පිණිස ද, නුවාව පිණිස ද රෙදි ඉල්ලන්නා වූ භික්ෂූන්ට එය දිය යුතු ය. ගිතෙල්-මී පැණි ආදිය එක් වරකට වැළඳීමට සෑහෙන පමණ දිය යුතු ය.

කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (තිස්සං) භික්ඛුං අප්පමත්තකවිස්සජ්ජකං සම්මන්නෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, සඞ්ඝො (තිස්සං) භික්ඛුං අප්පමත්තකවිස්සජ්ජකං සම්මන්නති. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) භික්ඛුනො අප්පමත්තකවිස්සජ්ජකස්ස සම්මුති. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

සම්මතො සඞ්ඝෙන (තිස්සො) භික්ඛු අප්පමත්තකවිස්සජ්ජකො, ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.