6. අනුත්තර පුරිසදම්මසාරථී ගුණය

දමනය කළ යුතු පුද්ගලයන් ඉතාම ශීලාචාර වන පරිදි, ඉතා ගුණවත් වන පරිදි, ඉතා ශාන්ත වන පරිදි, නැවත වෙනස් වී රෞද්‍ර නොවන පරිදි දමනය කිරිමට සමත් වන බැවින් ද රජුන් විසින් හෝ ශක්‍රාදි දෙවියන් විසින් හෝ බ්‍රාහ්මණයන් විසින් හෝ දමනය කළ නොහෙන අතිචණ්ඩ අතිමානී අතිකෛරාටිකයන් වුවද දමනය කිරිමට සමත් බැවින් ද තථාගතයන් වහන්සේ ලෝකයෙහි දම්‍යයන් දමනය කරන්නවුන් අතුරෙන් අග්‍රවන සේක. එබැවින් උන්වහන්සේ “අනුත්තර පුරිසදම්මසාරථී” නම් වෙති.

ලෝකයෙහි කායබල ධනබල ඥානබල විද්‍යාබල ස්ථානබල ආදී යම්කිසි බලයකින් මත්ව ගරුකළ යුත්තන්ට ගරු නොකරමින් යටත් විය යුත්තන්ට යටත් නොවෙමින් අන්‍යන්ට කරදර කරමින් ගුණවතුන්ට අවමන් කරමින් හැසිරෙන උඬඟු පුද්ගලයෝ දමනය කළ යුත්තෝය. කායබල ධනබලාදි කිසි බලයක් නැත ද මෝඩකම නිසා අන්‍යයන් පහත් කොටත් තමන් උසස් කොටත් සිතාගෙන ගරු කළ යුත්තන් හට ගරු නොකරමින් යටත්විය යුත්තන්ට යටත් නොවෙමින් අන්‍යයයන්ට කරදර කරමින් ගුණවතුන්ට නින්දා කරමින් හැසිරෙන අවිනිත පුද්ගලයෝ ද ඇතහ. ඔවුහු ද දමනය කළ යුතු එක් පුද්ගල කොටසකි. මෝඩකම බලය කොට මෝඩකම පණ්ඩිතකම කොට ගෙන සිටින ඒ පිරිස දමනය කිරිමට ඉතා දුෂ්කර පිරිසය. එවැනි අය බුදුවරුන්ටද දමනය කිරිම ඉතා දුෂ්කරය. අවිද්‍යාවෙන් අන්ධව රාගාදි කෙලෙසුන්ට වසඟව පස්කම් සැප විඳිම ම මිනිසකුට කරන්නට ඇති උසස් දෙය සලකා ගෙන කාමයන් හි ගැලි සිටින විශාල ජනකායන් ද ලොව ඇත්තාහ. ඔවුහු ද දමනය කළ යුත්තේය.

කායබල ධනබලාදිය නිසා ප්‍රචණ්ඩව හැසිරෙන පුද්ගලයන් කෙරෙහි කායබලාදින් ම මෙහෙයවා පහර දිම ධනය පැහැර ගැනිම ධනය විනාශ කිරිම ආදියෙන් ඔවුන්ගෙන් බල බිඳ දුබල කොට නො නැඟී සිටිය හැකි තැනට පැමිණ වීමද ලෝකයෙහි අදන්තයන් දමනය කිරිමක් ලෙස සලකති. රාජාදීහූ ඒ ක්‍රමයෙන් අදන්තයන් දමනය කරති. එයින් පක්ෂයට යහපතක් වතුදු දමනය කරනු ලැබු පුද්ගලයාට වන්නේ ඉමහත් නපුරකි, දුකෙකි. පක්ෂයකට යහපත වී පක්ෂයට නපුරක් වන ඒ ක්‍රමය යහපත් නොවේ. එයින් වන්නේ වෛරයක් ඇති විමකි. එසේ දමනය කරනු ලැබු පුද්ගලයා බලය ලත් විට නැවතත් පෙර තත්වයට ම පැමිණෙන නිසා එය නියම දමනයක් ද නොවේ. තථාගතයන් වහන්සේ විසින් පුද්ගලයන් දමනය කරන්නේ කාහටවත් නපුරක් නොවන පරිදිය. කායබලයෙන් හෝ ධන බලයෙන් උඬඟුව සෙස්සන්ට කරදර කරමින් හැසිරෙන්නෙක් තථාගතයන් වහන්සේ විසින් දමනය කරනු ලැබුව හොත් එයින් ඔහුට ද ඉමහත් යහපතක් සිදු වේ. සමහර විට ඔහු තමන්ගේ කාය බලයෙන් ධනබලයෙන් සෙස්සන්ට යහපත සිදු කරන්නෙක්ද වේ. එබැවින් තථාගතයන් වහන්සේගේ දමනය කිරිමේ ක්‍රමය ඉතා යහපත් වේ. තථාගතයන් වහන්සේ විසින් කොතරම් රෞද්‍ර පුද්ගලයකු වුවද දමනය කරන්නේ දඬු - මුඟුරු - අවි එසවීමක් නො කොට ය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් දමනය කළ ඉතා ප්‍රචණ්ඩ පුද්ගලයකු වන අංගුලිමාල තෙරණුවෝ :-

‘දණ්ඩේනෙකෙ දමයන්ති - අංකුසෙහි කසාහි ච,
අදණ්ඩේන අසත්ථෙන - අහං දන්තොම්හි තාදිනා’

(ථෙරගාථා)

යනුවෙන් ‘ඇතමෙක් දමනය කළයුත්තන් පොලූ වලින් අකුස්වලින් කසවලින් දමනය කෙරෙති. මම වනාහි බුදුරදුන් විසින් අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් දමනය කරන ලද්දේ වෙමි.’යි වදාළහ.

තථාගතයන් වහන්සේ විසින් කිසිදු පිඩාවක් නො කොට අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් දමනය කරනු ලබන පුද්ගලයෝ අතිශයින් ම ශාන්ත වෙති. තථාගතයන් වහන්සේ චම්පානුවරගග්ගරා නම් පොකුණුතෙරෙ මහත් වු භික්ෂුන් පිරිස සමග වැඩ වෙසෙන අවස්ථාවෙහි පෙස්ස නම් වු හස්ත්‍යාචාර්‍ය්‍ය පුත්‍රයා හා කන්දරක නම් පිරිවැජියා ද උන්වහන්සේ වෙත පැමිණියා හ. ඔවුහු තථාගතයන් වහන්සේ සමිපයේ වැඩ සිටි භික්ෂුන් වහන්සේ ශාන්තභාවය දැක ඉමහත් පුදුමයටත් සතුටටත් පත් වුහ. බුදුරදුන් හා පිළිසඳර කථා කොට එකත් පසෙක හිඳගත්තා වු කන්දරක පිරිවැජියා කියනුයේ පින්වත් ගෞතමයන් වහන්ස නුඹ වහන්සේ භික්ෂු සංඝයා හික්මවා ඇති සැටි ඉතා පුදුමය. අතීත බුදුවරයන් භික්ෂු සංඝයා හික්මවන්නට ඇත්තේ ද අනාගත බුදුවරයන් භික්ෂු සංඝයා හික්මවන්නේ ද, දැන් පින්වත් ගෞතම වහන්සේ විසින් භික්ෂු සංඝයා හික්මවා ඇති පරිද්දෙන්ම යයි සිතමි’යි කීය. තථාගතයන් වහන්සේ එසේය කන්දරක, අතීත බුදුවරයන් භික්ෂු සංඝයා හික්මවන ලද්දේ ද, අනාගත බුදුවරයන් භික්ෂු සංඝයා හික්මවන්නේ ද, දැන් මා මේ භික්ෂු සංඝයා, හික්මවා ඇති පරිදිම ය’ යි වදාරා, එහි රැස්ව උන් භික්ෂුන්ගේ තත්වය ද පහදා වදාළ සේක.

ඇතුන් අසුන් ගවයන් සිංහයන් ව්‍යාඝ්‍රයන් නයින් පොළොඟුන් දමනය කිරිම පහසු ය. මනුෂ්‍යයන් දමනය කිරිම දුෂ්කර ය. තිරිසනුන් කපටිකම් නැත්තෝය. මායම් නො දක්වන්නෝ ය. සෑම කල්හි තමන්ගේ ඇතිසැටිය දක්වන්නෝ ය. ඔවුන්ගේ නපුරුකම සඟවා ගෙන හීලෑකම් දැක්වීමක් නැත. හීලෑකම සඟවාගෙන නපුරුකම් දැක්වීමක් නැත. වැඩකල හැකි ව තිබියදී බොරු බැරිකම් දැක්වීමක්, හොර ලෙඩ ගැනීමක් නැත. සඟවන කිසිවක් ඔවුන්ගේ නැත. ඔවුහු කරන සියල්ලම එලිපිට ම කරති. එබැවින් ඔවුන් හික්මවීම පහසු ය. මනුෂ්‍යයෝ ඉතා කෛරාටිකයෝ ය. මායම්කාරයෝ ය. කුහකයෝ ය. ඔවුන් එකක් කරමින් අනිකක් කියති. එකක් කියමින් අනිකක් කරති. අනිකක් සිතති. පරම පාපියකු ව සිට මහා උවසුවකුගේ-තවුසකුගේ ආකාරය දක්වති. සොරකුව සිට පරෙස්සම් කර දෙන්නෙකුගේ ආකාරය දක්වති. සතුරුකම් කරමින් මිතුරු ආකාරයක් දක්වති. දුප්පත්ව සිට පොහොසතකුගේ ආකාරය දක්වති. පොහොසත්ව සිට දුප්පත්කම් දක්වති. උගත්කම් නැතිව උගත්කම් දක්වති. ඇතුන් දමනය කරන්නෙකු වූ ද බොහෝ සේවකයන් ඇතියකු වුද පෙස්ස මිනිසුන් හා තිරිසනුන් අතර ඇති වෙනස හොදින් දනී. දමනයට දුෂ්කර මිනිසුන් රැසක් ඉතා ශාන්ත වන පරිදි දමනය කර ඇති බව දුටු පෙස්ස ඉතා පුදුමයට පැමිණ “ගහණං හෙතං භන්තෙ යදිදං මනුස්සා උත්තානකං හෙතං භන්තෙ යදිදං පසවො” යනුවෙන් “ස්වාමීනි, මේ මනුෂ්‍යයෝ කෛරාටිකයෝ ය. සිවුපාවෝ නොගැඹුරු වූවෝ ය”යි මනුෂ්‍යයෝ හා තිරිසනුන්ගේ වෙනස දක්වා “නුඹ වහන්සේ මේ මනුෂ්‍යයන්ගේ හිතාහිතය දන්නාහ’යි තථාගතයන් වහන්සේට පැවසුවේ ය.

(කන්දරක සු - ම. නි.)

මෙසේ ලෝතතු දන්නවුන් පුදුම වන අන්දමට ඉතාම ශාන්ත භාවයට පැමිණෙන ලෙස අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් පුද්ගලයන් දමනය කිරිමට සමත් වන බැවින් තථාගතයන් වහන්සේ අනුත්තර පුරිසදම්ම සාරථී වන සේක.

තථාගතයන් වහන්සේ විසින් පුද්ගලයන් දමනය කරන අයුරු අංගුත්තර චතුෂ්ක නිපාතයේ කේශී සූත්‍රය අනුව කිව යුතුය. දිනක් කේශී නම් අශ්ව දමකයා බුදුරදුන් වෙත එළඹ වැඳ එකත් පසෙක හිඳ ගත්තේ ය. එකල්හි තථාගතයන් වහන්සේ වාදාරන සේක්, කේශී නුඹ අශ්වයන් පුරුදු කිරිමෙහි ප්‍රසිද්ධ ය. නුඹ අශ්වයන් දමනය කරන්නේ කෙසේ දැ’යි වදාළ සේක. “ස්වාමීනි, මම මෙලෙකින්ද රළුයෙන් ද ඒ දෙකින්ම ද අශ්වයන් දමනය කරමි’යි ඔහු කීය. “කේශී, ඉදින් අශ්වයන් මෙළෙකින්ද රළුයෙන් ද ඒ දෙකින්ම ද කීකරු නොකළ හැකි වී නම් එකල්හි නුඹ කුමක් කරන්නෙහිදැ’යි තථාගතයන් වහන්සේ වදාළහ. ‘ඒ තුන් ආකාරයෙන් නොදැමිය හැකි අශ්වයන් අපගේ ඇදුරු පරපුරට අවමානයක් ඇති නොවනු පිණිස මරා දමමි’යි කේශී කීය.

“ස්වාමීනි, භග්‍යවතුන් වහන්සේ අනුත්තර පුරිසදම්මසාරථී වන සේක. නුඹ වහන්සේ දමනය කළ යුතු පුද්ගලයන් කෙසේ හික්මවන සේක් දැ’යි කේශී විචාළේ ය. “කේශී, මම ද දමනය කළ යුතු පුද්ගලයන් මෙළෙකින් ද හික්මවමි. රළුයෙන් ද හික්මවමි. ඒ දෙකින්ම ද හික්මවමි. මේ කායසුචරිතය ය, මේ කායසුචරිතයේ විපාකය, මේ වාක් සුචරිතය ය, මේ වාක් සුචරිතයේ විපාකය ය, මේ මනෝ සුචරිතය ය, මේ මනෝසුචරිතයේ විපාක ය, සුචරිතයේ විපාක වශයෙන් මිනිස් ලොව උපදනාහ. දෙව්ලොව උපදනාහ. මෙසේ අනුශාසනා කොට පුද්ගලයන් හික්මවීම මාගේ මෙළෙකින් හික්මවීම ය. මේ කාය දුශ්චරිතය ය. මේ කාය දුශ්චරිතයේ විපාකය ය. මේ වාක් දුශ්චරිතය ය. මේ වාක් දුෂ්චරිතයේ විපාකය ය. මේ මනෝදුශ්චරිතය ය. මේ මනෝදුශ්චරිතයේ විපාකය ය. දුශ්චරිතයෙන් නරකයෙහි උපදනාහ, තිරිසන් වන්නාහ. ප්‍රේත වන්නාහ. මෙසේ අනුශාසනය කොට හික්මවිම මාගේ රළුයෙන් හික්මවිම ය. ඒ දෙයාකාරයෙන්ම අනුශාසනය කොට හික්මවිම මාගේ මෙළෙකින් හා රළුයෙන් හික්මවීම ය’යි තථාගතයන් වහන්සේ වදාළහ. එකල්හි කේශී “ස්වාමීනි, “දමනය කළ යුත්තෙක් ඒ තුන් ආකාරයෙන් ම නොහික්මේ නම් ඔහුට නුඹ වහන්සේ කුමක් කරන සේක් දැ”යි කීය. තථාගතයන් වහන්සේ වදාරන සේක් “කේශී, දමනය කළ යුතු පුද්ගලයා ඒ තුන් ක්‍රමයන් ම නොහික්මෙන්නේ නම් මම ද ඔහු මරමි යි’යි වදාළ සේක. එකල්හි කේශී, “ස්වාමීනි, නුඹ වහන්සේට ප්‍රණඝාතය ඇකැප ය. එහෙත් නුඔ වහන්සේ මරමියි කියන සේකැ”යි කීය. සැබැව කේශී, තථාගතයන් වහන්සේට ප්‍රාණඝාතනය කැප නැත. යමෙක් මෙළෙකින් අනුශාසනා කිරිමෙන් ද තදින් අනුශාසනා කිරිමෙන් ද, ඒ දෙයාකාරයෙන් ම අනුශාසනා කිරිමෙන් ද නො හික්මේ නම් තථාගතයන් වහන්සේ ඔහු අනුශාසනා නො කළ යුත්තකු ලෙස සලකන්නා හ. මගේ නුවණැති ශ්‍රවකයෝ ද ඔහු අනුශාසනා නො කළ යුත්තකු ලෙස සලකන්නා හ. කේශී, එසේ අනුශාසනා නොකළ යුත්තකු ලෙස සැලකිම මේ ආර්‍ය්‍යවිනයෙහි මරණයට පැමිණවීමය’යි වදාළ සේක. කේශී තථාගතයන් වහන්සේට ස්තුති කොට තෙරුවන් සරණ ගොස් උපාසකයෙක් වූයේ ය.

බුදුරදුන් විසින් දමනය කරන්නේ පුරුෂයන් පමණක් නො වේ. උන් වහන්සේ ස්ත්‍රීන් ද දමනය කෙරෙති. සරණ ශීලාදියෙහි පිහිටවමින් හික්මවෙති. පුරිසදම්මසාරථී යන මෙහි පුරුෂයන් පමණක් ගෙන තිබෙන්නේ “දමනය කළ යුත්තන් අතර පුරුෂයන් ප්‍රධාන නිසාය’යි කියා තිබේ. එහි පුරිස යන වචනය ස්ත්‍රී පුරුෂ දෙපක්‍ෂය ම ගත හැකි පුද්ගලවාචී වචනයක් ද ලෙස සැලකිය හැකි ය. වචනය කෙසේ වුව ද තථාගතයන් වහන්සේ ස්ත්‍රී පුරුෂ සැමදෙන ම දමනය කරන බව කිය යුතු ය.

තථාගතයන් වහන්සේ ගේ පුද්ගල දමනය අංගුලිමාල, නාළාගිරි ආදි ප්‍රචණ්ඩයන් මෙල්ල කිරිම ම නො වේ. උන්වහන්සේ අතින් එවැන්නක් සිදුවන්නේ කළාතුරකිනි. උන්වහන්සේ විසින් බෙහෙවින් කරන, නිතර කරන දමනය නම්, කෙළෙසුන්ට වසඟව මෝහයෙන් මුළා ව මානයෙන් මත් ව සුසිරිතෙන් බැහැරව පව්කම්හි ද පඤ්චකාමයෙහි ද ඇලී අපාය මාර්ගයේ ගමන් ගෙන ඇති, නිවන් මඟට විරුද්ධ මාර්ගයෙහි ගමන් ගෙන ඇති සත්ත්වයන්සරණ ශීලාදීයෙහි පිහිටවා ස්වර්ගමෝක්ෂමාර්ගයන්හි ගමන් කරනවුන් කිරිම ය. අප තථාගතයන් වහන්සේ ලෝකානුකම්පාවෙන් පන්සාළිස් වසක් මුළුල්ලෙහි කළේ එය ය.

අනුන් දමනය කිරිමය, තමාගේ සිත දමනය කර ගැනීමය යන මේ දෙකින් වඩා වැදගත් වන්නේ තමාගේ සන්තානය තමාගේ සිත දමනය කර ගැනිමය. දුෂ්කර දෙයත් එය ය. එබැවින් “අත්තාහි කිර දුද්දමො” යනු වදාරන ලදි. අනුන් දමනය කිරිම සුදුසු වන්නේ තමාගේ සන්තානය - තමාගේ සිත දමනය කරගත් පුද්ගලයා ය. භාග්‍යවතුන් වහන්සේ වනාහි අතිදීර්ඝකාලයක් දානාදි පෙරුම් දහම් සපුරා ඒවායේ බලයෙන් බෝධිමූලයේ වැඩහිඳ සිත නොසන්සුන් කරන, කය වචන දෙක නො සන්සුන් කරන සකළක්ලේශයන් අර්හන්මාර්ගඥනනමැති ගින්නෙන් දවා පියා සර්වාකාරයෙන් පාරිශුද්ධත්වයට පැමිණ තමන් වහන්සේගේ සන්තානය දමනය කර ගත් සේක. ලෝකයේ කොපමණ බලවතකු සෘඬිමතකු වුව ද දමනයට සමත් වන ඥාණබල සෘඬිබල ලබා ගත් සේක. එබැවින් උන්වහන්සේ අන්‍යයන් දමනය කිරිමට අතිශයින් සුදුසු වු සේක. ඒ භාග්‍යයවතුන් වහන්සේ ලොවුතුරා බුදුබවට පැමිණ වැඩ විසු පන්සාළිස් වස් කාලය තුළ අපමණ සත්වයන් දමනය කළහ.

උන් වහන්සේ ලොව්තුරා බුදුබවට පැමිණ සත්සතියක් ඉක්මගිය පසු සහම්පති බ්‍රාහ්මරාජයා පැමිණ “දෙසෙතු භන්තෙ භගවා ධම්මං, දෙසෙතු සුගතෝ ධම්මං” යි දහම් දෙසුමට අරාධනා කළ පසු බරණැස ඉසිපතනයට වැඩ වඳාරා එහිදි කරන ලද ප්‍රථම ධර්ම දේශනයෙන් ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවන් ඇතුළු අටලොස් කෝටියක් බ්‍රහ්මයෝ ධර්මචක්ෂුස ලැබ දමිත වුහ. මේ ධර්මදේශනය කළේ ඇසළ මස පුර පසළොස්වක පොහෝ දිනයේ ය. ඉක්බිති තථාගතයන් වහන්සේ අවපෑළවිය දිනයේ ආයුෂ්මත් වප්ප ස්ථවීරයන් වහන්සේට අවවාද කොට ධර්මචක්ෂුස ලබා දී සෝවහන් ඵලයට පැමිණ වූ සේක. එසේම දෙවන දිනයෙහි භද්දිය තවුසන්ට ද තුන්වන දිනයෙහි මහානාම තවුසන්ට ද සතරවන දිනයෙහි අස්සජි තවුසන්ටද අවවාද කොට ධර්ම චක්ෂුස ලබා දී ඔවුන් දමනය කළ සේක. පුද්ගලයකුගේ දමනය අවසන් වන්නේ අර්හත්වයෙනි. කොණ්ඩඤ්ඤාදි පස්නම සෝවහන් ඵලයට පැමිණ ඒහි භික්ෂුභාවයෙන් පැවිද්ද හා උපදම්පාව ලබා ඇත ද ඉදිරියට ද හික්මවිය යුත්තෝ ය. එබැවින් තථාගතයන් වහන්සේ පක්ෂයේ පස්වන දිනයෙහි ඔවුන් පස්දෙනම එකතු කොට ඉදිරියට හික්මවනු සඳහා “රූපං හික්ඛවෙ අනත්තා රූපඤ්ච හිදං හික්ඛවෙ අත්තා අභවිස්ස නයිදං රූපං ආබාධාය සංවත්තෙය්‍ය ” යනාදි අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කළ සේක. ඒ දේශනය අසා පඤ්චවර්ගිය භික්ෂුහු සව්කෙළෙසුන් නසා අර්හත්වයට පැමිණියෝ ය. තථාගතයන් වහන්සේ ඒ දේශනයෙන් පඤ්චවර්ගිය භික්ෂුන් දමනය කිරිම අවසන් කළ සේක.

ඒ කාලයෙහි බරණැස බොහෝ සම්පත් ඇති යස නම් සිටු පුත්‍රයෙක් වාසය කරයි. ඔහුට ඒ ඒ සෘතුවෙහි වාසයට යෝග්‍ය ලෙස කරන ලද ප්‍රාසාද තුනක් විය. ඔහු ඒ ඒ සෘතුවෙහි ඒ ඒ ප්‍රාසාදයට වී වාසය කරයි. බුදුරදුන් ඉසිපතනයෙහි වැඩ හුන් වස්සාන කාලයේ ඔහු ද වර්ෂා කාලයට යෝග්‍ය ලෙස කරවා තුබු පහයට වී ස්ත්‍රීන් විසින් පවත්වන නෘත්‍ය ගීත වාදිතයෙන් සිත් පිනවමින් වාසය කළේ ය. එක් රාත්‍රීයක ඔහුට කලින් ම නින්ද ගියේ ය. පහය තුළ පහන් දැල්වෙද්දී ම නටමින් ගයමින් වයමින් ඔහු පිනවමින් උන් නාටිකාවෝ ද ඒ ඒ තැන වැටී නිදා ගත්හ. සිටු පුත්‍රයා කලින් නින්දෙන් අවදි විය. කලින් එහි පැවති ගැයුම් වැයුම් හඬ නො ඇසින, නැටුම් නො තිබිණ. එකල්හි ඔහුට පෙනුනේ කට හැරගෙන ද, කුණු කෙළ පෙරමින් ද, ගොරවමින් ද, කෙඳිරිගාමින් ද, තැන තැන වැටී නිදන නාටිකාවක් ඇති පහය අමුසොහොනක් සේ ය. දෙව් විමනක් සේ කලින් තිබු පහය සොහොනක් මෙන් වී තිබෙනු දුටු සිටු පුත්‍රයාගේ සිත සැලෙන්නට විය. “ලෝකයේ නො තිර තැනක, තැවී තැවී සිටින්නට වන තැනක” යන අදහස ඔහුට ඇති විය. සිදු වූ විපර්‍ය්‍යාසයෙන් කළකිරුණු සිටුපුත්‍රායාට සියනිවස බලාගෙන එහි නො සිටිය හැකි විය. ඔහුට පහයෙන් පිටවී යන්නට සිත් විය. එතෙක් කල් පස්කම් සැප විදිමින් එහිම ඇලී ගැලී සිටි සිටුපුත් නිවනක් ගැන හෝ නිවන් මඟක් ගැන නො දනි. යන්නට සිතෙන නමුත් යා යුතු තැනක් නො දනි. එහෙත් ඔහු පහයෙන් බැස, මඟට බැස නුවරින් ද පිටවී රාත්‍රීයේ තනිවම ඉසිපතනය දෙසට ගමන් කළේ ය. භාග්‍යයවතුන් වහන්සේ රාත්‍රීයේ පශ්චිම යාමයේ සක්මන් කරන සේක්, යස පුත්‍රයා දුරදි ම එනු දැක, සක්මනින් ඉවත්ව පනවා තුබු අසුනෙහි වැඩ සිටි සේක. සිටු පුත්‍රයා තථාගතයන් වහන්සේට නුදුරින් ගමන් කරමින් “උපද්දුතං වත භො උපසට්ඨං වත භො”යි උදන් ඇණී. තථාගතයන් වහන්සේ “යස, මෙහි එව, මෙහි උපද්‍රව නැත, හිඳ ගනුව, ඔබට දහම් දෙසමි’යි වදාළහ. සිටු පුත් ඉතා සතුටුව පාවහන් ගලවා තබා තථාගතයන් වහන්සේ වෙත එළඹ වැඳ එකත් පසෙක වාඩි විය. භාග්‍යවතුන් වහන්සේ දානකථාදියෙන් ඔහුට දහම් දෙසා ඔහුගේ සිත මෘදු වී පහන් වී චතුරාර්‍ය්‍යසත්‍යධර්මය තේරුම් ගත හැකි තත්වයට පැමිණි කල්හි ලොවුතුරා බුදුවරුන්ගේ සාමුක්කංසික චතුරාර්‍ය්‍යසත්‍ය දේශනාව ඔහුට ප්‍රකාශ කළ සේක. එය අසා යස සිටුපුත්හට ධර්මචක්ෂුස උපණ. සෝවහන් මාර්ගයට පැමිණියේ ය. ධර්මචක්ෂුඃ ප්‍රතිලාභයෙන් සතුටු වු සිත් ඇති යස සිටු පුත් තථාගතයන් වහන්සේ සමිපයේ ම සිටියේ ය.

පහන් වු පසු ඔහුගේ මෑණියෝ යස සිටුපුත්‍රයා වෙසෙන පහයට ගොස් ඔහු නො දැක ඉමහත් ශෝකයෙන් මහසිටු වෙත වහා ගොස් ඒ බව ඔහුට දැන්වූහ. සිටුවරයා පුත්‍රයා සොයනු පිණිස සතර දිශාවට ම අසරුවන් යවා එපමණින් සතුටුවිය නොහී තෙමේ ද පුත්‍රයාගේ පාවහන් සටහන් බල බලා පා ගමනින් ඔහු සොයා ඉසිපතනාරාමය දෙසට ගමන් කෙළේ ය. තථාගතයන් වහන්සේ දුරදීම ඔහු එනු දැක පුත්‍රයා මෙන් පියා ද දමනය කරනු පිණිස සමිපයෙහි හිදිනා යස සිටු පුත්‍රයා ඔහුට නොපෙනෙන පරිදි සෘද්ධි ප්‍රතිභාර්‍ය්‍යයක් කළ සේක. සිටුවරයා බුදුරදුන් වෙත ගොස් “ස්වාමීනි, ඔබ වහන්සේ අපගේ පුත්‍රයා දුටු සේක්දැ”යි කීය. සිටාණෙනි, මෙහි වාඩි වෙන්න, මෙහි වාඩි වී සිටියදීම ඔබට පුත්‍රයා දැකිය හැකි විය හැකිය”යි තථාගතයන් වහන්සේ වදාලහ. සිටුවරයා එහිදි ම තමාගේ පුත්‍රයා දැකිය හැකි වන බව අසීමෙන් ඉතා සතුටුව තථාගතයන් වහන්සේ වැඳ එකත් පසෙක වාඩි විය. තථාගතයන් වහන්සේ ඔහුට, යස කුලපුත්‍රයාට දෙසු පරිදි ම දහම් දෙසු සේක. ධර්මදේශනා ඇසිමෙන් සිටුවරයා සෝවාන් ඵලයට පැමිණියේ ය. සිටුපුත්‍ර තෙමේ පියාට දේශනා කළ ධර්මයට කන්දි සිට සව් කෙළෙසුන් නසා අර්හත්ඵලයට පැමිණියේ ය. ඉක්බිති ඔහු ඒහිභික්ෂු භාවයෙන් පැවිද්ද ලබා බුදු සස්නෙහි එක්තර රහත් භික්ෂුවක් විය.

ඉක්බිති තථාගතයන් වහන්සේ සිටුවරයාගේ ආරාධනාවෙන් අළුත පැවිදි වූ යස කුලපුත්‍රයා දෙවෙනි කොට ඔහුගේ නිවසට වැඩම කළ සේක. එහිදි යස පුත්‍රයාගේ මෑණියන් හා භාර්‍ය්‍යව ද බුදුරදුන් වැඳ එකත් පසෙක හිඳගත්හ. තථාගතයන් වහන්සේ ධර්ම දේශනයෙන් ඔවුන් ද දමනය කළහ. ඔවුහු දහම් අසා සෝවහන් ඵලයට පැමිණ තෙරුවන් සරණ ගොස් උපාසිකාවෝ වූහ.

ආයුෂ්මත් යස තෙරුන් වහන්සේගේ ගිහි යහළුවන් වන බරණැස් සිටු, අනුසිටුවරයන්ගේ පුත්‍රයන් වන විමල, සුබාහු, පුණ්ණජි, ගවම්පති යන කුලපුත්‍රයෝ සතර දෙන යස කුලපුත්‍රයාගේ පැවිද්ද අසා උන්වහන්සේ දක්නට ගියහ. යස තෙරණුවෝ ඔවුන් බුදුරදුන් වෙත කැදවාගෙන ගොස් හදුන්වා දී ඔවුන්ට අවවාදානුශාසනා කරන ලෙස අයැද සිටිය හ. තථාගතයන් වහන්සේ දහම් දෙසුමෙන් ඔවුන් ද දමනය කළහ. ඔවුහු ද තථාගතයන් වහන්සේ වෙතින් පැවිද්ද ලබා වැඩි දුරටත් අවවාදානුශාසනා ලබා සව් කෙලෙසුන් නසා රහත් වූහ.

ඉක්බිති යස තෙරුන් වහන්සේගේ යහළුවන් වන ජනපදවැසි කුලපුත්‍රයෝ පනස් දෙනෙක් උන්වහන්සේ දක්නට පැමිණියහ. තෙරුන් වහන්සේ ඔවුන් ද තථාගතයන් වහන්සේ වෙත පමුණුවා දහම් දෙසන ලෙස අයැද සිටියහ. තථාගතයන් වහන්සේ ඔවුන්ද ධර්ම දේශනයෙන් දමනය කළහ. ඔවුහු ද පැවිදිව වැඩි දුරටත් අවවාදානුශාසනා ලබා සව් කෙළෙසුන් නසා රහත් වූහ.

තථාගතයන් වහන්සේ විසින් මෙසේ දමනය කොට රහතුන් සැට දෙනෙකුන් ලෝකයෙහි ඇති කිරිමෙන් පසු ඒ භික්ෂුන් ධර්මප්‍රචාරය සඳහා යවා උන්වහන්සේ උරුවෙල් දනව්ව බලා වැඩම කරන සේක්, අතරමඟදී ස්ත්‍රීන් ද කැටුව විනෝදය පිණිස වනයෙහි හැසිරුණ භද්‍රවර්ගීය කුමාරයන් තිස්දෙනා මුණ ගැසී ඔවුන් ද දමනය කොට පැවිදි කරවා අර්හත්වයෙහි පිහිට වූ සේක. ඔවුන්ගේ විස්තර කලින් දක්වා ඇත. තථාගතයන් වහන්සේ විසින් යස පුත්‍රායාගේ පටන් භද්‍රවර්ගිය කුමාරවරුන් දක්වා දහම් දෙසිමෙන් දමනය කොට ගිහි ගෙයින් බැහැර කරවා තමන් වහන්සේගේ සසුනට ඇතුළු කළ පුද්ගල ගණන අනූ දෙනෙක් වූහ. ඔවුන් සැම දෙනම කිසිදු අඩුවක් නැතිව රිසි සේ පස්කම් සැප විඳිමින් එහි ඇලි ගැලී සිටි ධනවත්හූ ය. තමතමන් ලබා සිටින උසස් කාමසම්පත්තිය හැර ගිහිගෙයින් නික්ම පැවිදි වන පරිදි එබදු පුද්ගලයන් දමනය කිරිම තථාගතයන් වහන්සේට මිස අනිකකුට කළ හැක්කක් නොවේ. එබැවින් තථාගතයන් වහන්සේ අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක.

භද්දවග්ගිය කුමාරවරුන් දමනය කොට තථාගතයන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කළ සේක. එසමයෙහි එහි උරුවෙල්කාශ්‍යපය, නදීකාශ්‍යපය, ගයාකාශ්‍යපය යි තවුසෝ තිදෙනෙක් වෙසෙති. ඔවුන්ගෙන් උරුවෙල් කාශ්‍යප තවුසන් පන්සියයකට නායකය. නදීකාශ්‍යප තවුසන් තුන්සියයකට නායකය. ගයාකාශ්‍යප තවුසන් දෙසියයකට නායකය. සවස් කාලයෙහි තථාගතයන් වහන්සේ උරුවෙල්කාශ්‍යප තවුසා වෙත එළඹ “කාශ්‍යපය, ඔබට බරක් නොවේ නම් එක් රාත්‍රීයක් මේ ගිනිහල් ගෙයි වාසය කරමි’ යි වදාළහ.“ මහමහණ, මට නම් බරක් නැත, එහි ඝෝරවිෂ ඇති නපුරු නාගරාජයෙක් වෙසෙයි. උගෙන් ඔබට නපුරක් විය හැකිය’යි උරුවෙල්කාශ්‍යප කීය. තථාගතයන් වහන්සේ දෙවනුව ද, තුන්වනුව ද, එසේ වදාළ කල්හි, උරුවෙල්කාශ්‍යප ද එසේම කීය. ඉක්බිති තථාගතයන් වහන්සේ, “කාශ්‍යපය, නාගරාජයා මට හිංසා නො කරනු ඇත. ඔබ මාහට එහි විසිමට අවකාශ දෙනු මැනව’යි වදාළහ. එකල්හි උරුවෙල් කාශ්‍යප “මහණ රිසිසේ වාසය කරනු මැනව’යි කීය. තථාගතයන් වහන්සේ ගිනිහලට පිවිස තණ අතුරා එහි වැඩහුන් සේක. කිසිවකු ඇතුළු නො වන ඔහුගේ භවනට කිසි ගරු සරුවක් නැතිව කෙනෙකු ඇතුළු වී හිදීම ගැන නාරජු කිපුණේ ය. කිපුණු නාරජු බුදුරදුන් පලවා හැරිමට විෂදුම් පිට කළේ ය. තථාගතයන් වහන්සේ ද ඔහු දමනය කරනු පිණිස දුම් හළහ. නාගයාගේ දුමෙන් බුදුනට පීඩාවක් නොවිණ. තථාගතයන් වහන්සේගේ දුමින් නාගරාජයා පෙළිණ. එයින් ඔහු තවත් කිපී ගිනි පිට කරන්නට විය. තථාගතයන් වහන්සේ ද එසේ කළහ. නාගයාගේ ගින්නෙන් තථාගතයන් වහන්සේට අපහසුවක් නැත. තථාගතයන් වහන්සේ ගේ ගින්නෙන් නාගරාජයා පෙළෙයි. දෙදෙනා ම ගිනි පිට කරන්නට වන කල්හි ගිනිහල ගිනිදළුයෙන් වැසී ගියේ ය. ගින්න දැක තවුසෝ එහි පැමිණ ගිනිගහ වටා බලා සිටිමින් “අනේ ලස්සන මහණ නාගරාජයා විසින් නසනු ලැබේය’යි ඔවුනොවුන් කථා කළෝ ය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ඍද්ධිබලයෙන් නාරජුගේ තේජස යට කොට ඔහු දමනය කොට පාත්‍රයෙහි ලා පසු දින, “මේ ඔබේ ආනුභාව සම්පන්න නාගයාය’යි උරුවෙල් කාශ්‍යපට දැක්වූහ. උරුවෙල් කාශ්‍යප නාගයා බලා “මහමහණ නයින් දමනයට සමත් වුව ද ඔහුට අපට මෙන් රහත් බවක් නම් නැතය’යි සිතී ය.

නාගදමනයෙන් පසු තථාගතයන් වහන්සේ උරුවේලකාශ්‍යපගේ අසපුව සමීපයේ වන ලැහැබක විසූ සේක. රාත්‍රියෙහි සතර දිගට අධිපති දෙවිවරු සතර දෙන එහි පැමිණ මහා ගිනිකඳන් සතරක් මෙන් දිළිසෙමින් සතර දිගින් භග්‍යවතුන් වහන්සේ සමීපයෙහි සිටගත්තෝ ය. උරුවේලකාශ්‍යප දෙවියන් පැමිණ සිටිනු දුටුවේ ය. ඔහු පසු දින භග්‍යවතුන් වහන්සේ වෙත ගොස් “මහමහණ, ඉකුත් රාත්‍රීයේ වනය ආලෝකමත් කරමින් ඔබ වෙත පැමිණ සිටියෝ කවරහු දැ’යි කී ය. “කාශ්‍යප, සතරවරම් දෙවිරජවරු දහම් ඇසිමට පැමිණියෝ ය’ යි තථාගතයන් වහන්සේ වදාළහ. එය අසා, “මහමහණ කරා සතරවරම් දෙවි රජුහුත් දහම් ඇසිමට පැමිණෙති. එහෙත් ඔහු අප සේ රහත් නො වෙති’ යි උරුවේල් කාශ්‍යප සිතා ගත්තේ ය.

තවත් දිනක රාත්‍රීයෙහි ඒ වනලැහැබෙහි කලින් දුටු ගිනිකඳන් වලට මහත් වූ ද, පැහැපත් වූ ද ගිනි කඳන් වැනි පුද්ගලයකු උරුවේල් කාශ්‍යප දුටුවේ ය. පසුදින ඔහු ඒ ඇවිත් සිටියේ කවරේදැ?” යි තථාගතයන් වහන්සේගෙන් විචාළේ ය. ශක්‍රදේවේන්ද්‍රයා බව වදාළ කල්හි ඔහු පෙර සේම “මහාශ්‍රමණයා කරා ශක්‍රයා පැමිණෙතත් ඔහු අප සේ රහත් නො වෙති”යි සිතා ගත්තේ ය.

තවත් දිනක රාත්‍රීයේ සහම්පති බ්‍රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ සිටියේ ය. උරුවේලකාශ්‍යප ඔහු දැක පසුදින තථාගතයන් වහන්සේගෙන් රාත්‍රීයේ පැමිණ සිටි අමුත්තා කවරේ දැ? යි අසා තථාගතයන් වහන්සේ විසින් ඒ සහම්පති බ්‍රහ්මරාජයාය යි වදාළ කල්හි පෙරසේ ම “මහමහණ කරා බ්‍රහ්මයා පැමිණෙන නුමුත් ඔහු අප සේ රහත් නො වේ ය”යි සිතා ගත්තේ ය.

භග්‍යවතුන් වහන්සේ උරුවේල් දනව්වෙහි වැඩ වෙසෙන කාලයේ උරුවේලකාශ්‍යපයන් වෙත අඟු මගද දෙරට වැසියන් බොහෝ දෙනකුන් බොහෝ දේ ගෙන පැමිණෙන උත්සව දිනයක් ලං විය. ඒ උත්සවයට පෙර දින උරුවේලකාශ්‍යප සිතනුයේ, “සෙට මෙහි අඟු මගද දෙරට වැසි බොහෝ දෙනා පැමිණෙන්නාහ. ඉදින් සෙට මහමහණ ප්‍රාතිහාර්‍ය්‍යයක් කෙළේ නම් ඔහුට ලාභසත්කාර බොහෝ වන්නේ ය, මම ලාභයෙන් පිරිහෙන්නෙමි, සෙට දවස මහමහණ මෙහි නො ආවොත් හොඳය” යි සිතුවේ ය. තථාගතයන් වහන්සේ ඔහුගේ සිත දැන උතුරුකුරු දිවයිනට වැඩම කොට පිඬු සිඟා ගෙන අනවතප්ත විල සමීපයේ දී වළදා දහවල් කාලයෙහි එහි ම විසු සේක. උරුවේල්කාශ්‍යප පසු දින භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස්, “මහමහණ, ඇයි ඊයේ ඔබ නොපැමිණියේ? ඊයේ අපට බොහෝ ඛාද්‍යබෝද්‍ය ලැබිණ, අපි ඔබ සිහි කළෙමු, ඔබගේ පංගුවද තැබුවෙමු ”යි කී ය. “ඇයි කාශ්‍යප, ඔබට ඊයේ මහමහණ නො පැමිණෙතොත් හොඳය’යි සිතුනේ නොවේ දැ?”යි තථාගතයන් වහන්සේ වදාළහ. කාශ්‍යප ලැජ්ජා වී, මේ මහණ මහත් වූ ඍඬි ඇතියෙක, පර සිත් දන්නෙක, එහෙත් ඔහුට අපට මෙන් රහත් කමක් නම් නැතය’යි සිතුවේ ය. භග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපයන් පිරිනැමු අහර වළදා ඒ වන ලැහැබෙහි ම විසු සේක.

එක් දවසක් තථාගතයන් වහන්සේට පාංසුකූලයක් ලැබුණේ ය. එය සෝදා ගැනීමට තැනක් නොවී ය. එකල්හි සක්දෙව් රජු තථාගතයන් වහන්සේගේ අදහස දැන එය සේදීම සඳහා පොකුණක් කැණ, ගලක් ද ගෙනවුත් තැබී ය. වස්ත්‍රය සෝදා වැනීමට මහ කළුගලක් ද ගෙනවුත් තැබීය. තථාගතයන් වහන්සේ හට අල්ලා ගෙන පොකුණෙන් ගොඩ වීම සඳහා සමීපයෙහි කුඹුක්ගසෙහි දෙවියා ඒ ගසේ අත්තක් පොකුණට නමාලී ය. පසු දින කාශ්‍යප තවුසා බුදුරදුන් වෙත එළඹ වැළඳීමේ කාලය දන්වා, “මහමහණ , කලින් මෙහි පොකුණක් නො තිබිණ, මේ ගල ද නො තිබිණ. මේ කුඹුක් අත්ත ද මෙසේ නැමී නො තිබිණ. මේ කිමෙක් දැ’යි කී ය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේට ලැබුණු පාංසුකූලය සෝදන්නට ශක්‍රයා විසින් මේ පොකුණ කණින් ලඳ බවත්, ගල ගෙනැවිත් තබන ලද බවත්, කුඹුක් ගස දෙවියා අත්ත නමාලූ බවත් වදාළහ. එකල්හි උරුවේල්කාශ්‍යප ශක්‍රදේවේන්ද්‍රයාත් වැඩ කර දෙන මේ මහණ මහානුභාව ඇතියෙක, එහෙත් අපට මෙන් රහත් කමක් ඔහුට නැතය, යි සිතා ගත්තේ ය. තථාගතයන් වහන්සේ උරුවේලකාශ්‍යපගේ භෝජනය වළඳා ඒ වන ලැහැබෙහි විසු සේක.

පසු දින උරුවේලකාශ්‍යප තථාගතයන් වහන්සේ කරා ගොස් උන්වහන්සේට වැළඳීමේ කාලය යි දැන්වූ කල්හි “කාශ්‍යප, තෙපි යව, මම එමි”යි කියා ඔහු පිටත් කර භාග්‍යවතුන් වහන්සේ දඹදිව මහ දඹගස වෙත ගොස් ඒ ගසින් ගෙඩියක් ගෙන උරුවේලකාශ්‍යපට කලින්ම ගිනිහලට පැමිණ එහි වැඩ හුන් සේක. උරුවෙලකාශ්‍යප බුදුරදුන් වැඩ සිටි වන ලැහැබෙහි සිට පාගමනින් අවුත් ගිනිහල වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ දැක පුදුම වී “මහණ, ඔබ කිනම් මඟකින් මට පළමුව මෙහි ආයෙහි දැ?”යි කී ය. “කාශ්‍යප, මම ඔබ පිටත් කොට, යම් දඹගසක් නිසා මේ දිවයිනට දඹදිවය”යි කියත් ද? ඒ දඹගසින් ඵලයක් ද ගෙන මෙහි පැමිණ හිඳ ගතිමි. කාශ්‍යපය, මේ දඹ ඵලය මනා වර්ණයෙන් හා සුවදින් ද රසයෙන් ද යුක්ත ය. ඔබ කැමති නම් මෙය වළඳව’යි තථාගතයන් වහන්සේ වදාළහ. එකල්හි කාශ්‍යප “මහමහණ, ඔබ ගෙනා දඹඵලය ඔබ ම වළඳන්න” යයි කියා “මහමහණ මහත් ඍඬි ඇතියෙක, එහෙත් අපට මෙන් අර්හත්වයක් නම් මොහුට නැතය’යි සිතුවේ ය.

මෝඩකම ම රහත්බව ලෙස සලකා ගෙන සිටින උරුවේලකාශ්‍යප තවුසාට මෙතෙක් ප්‍රාතිහාර්‍ය්‍යය දැක්වීමෙන් ද තමා නො රහත් බව නො වැටහිණ. ඔහු දමනය කරනු වස් තථාගතයන් වහන්සේ පසු දින ඒ දඹගස සමීපයේ තිබෙන නෙල්ලී ගසින් නෙල්ලී ගෙඩි ද, ඊට පසු දින අරළු ගසින් අරළු ගෙඩි ද, ඊට පසු දින තව්තිසා දෙව්ලොව පරසතු ගසින් මල් ද ගෙනවුත් උරුවේලකාශ්‍යපට දැක්වූහ. කාශ්‍යප ඒ සෑම අවස්ථාවෙහිම “ඍඬියක් මිස තමාට මෙන් රහත් බවක් මහමහණට නැතය”යි සිතුවේ ය.

එක් දිනක් තවුසෝ පන්සිය දෙනා ගිනි පුදනු පිණිස දර පලන්නට තැත් කළහ. එක දර කැබෙල්ලකුදු නො පැලෙන්නේ ය. “මෙයත් මහමහණහුගේ ප්‍රාතිහාර්‍ය්‍යයකැ”යි තවුසෝ සිතූහ. එකල්හි තථාගතයන් වහන්සේ කාශ්‍යප දර පලන්න දැයි අසා වදාළහ. “පලන්න මහමහණ ය”යි ඔහු කී ය. එකෙනෙහිම දර කොටා පන්සියය පැලී ගියේ ය. ඉක්බිති තවුසෝ ගිනි දල්වන්නට තැත් කළහ. කොතෙක් වීර්‍ය්‍ය කළ ද එක දර කැබැල්ලකට ද ගිනි නො ඇවිලෙයි. ඔවුහු “මෙයත් මහමහණහුගේ ඍඬියකැ”යි සිතුහ. තථාගතයන් වහන්සේ “ගිනි අවුලවන්න ද කාශ්‍යපය”යි වදාළහ. “එසේය මහමහණ ය”යි කාශ්‍යප කී ය. එකෙනෙහි පන්සිය තැනක ගිනි දැල්විණ. තවුසෝ ගිනි පුදා ගිනි නිවන්නට උත්සහ කළහ. කොතෙක් ජලය වත්කළ ද ගිනි නො නිවෙයි. “මෙය ද මහමහණහුගේ ප්‍රාතිහාර්‍ය්‍යයකැ”යි තවුසෝ සිතූහ. තථාගතයන් වහන්සේ “කාශ්‍යප, ගිනි නිවන්න දැ”යි වදාළහ. “එසේය’යි කී කල්හි සැමතැන ගිනි නිවිණ. කාශ්‍යප පෙරසේ ම සිතුවේ ය.

ශීතඍතුවේ හිම වැටෙන කාලයේ එක් රාත්‍රීයක තවුසෝ නේරංජනා ගංගාවට බැස දියෙහි ගැලීම මතුවීම කරන්නට පටන් ගත්හ. ඔවුනට ගඟින් නැඟී ගිනි තැපීම සඳහා තථාගතයන් වහන්සේ ගිනිකබල් පන්සියයක් නිරිමාණය කළහ. තවුසෝ “මෙයත් මහමහණහුගේ ප්‍රාතිහාර්‍ය්‍යයක්ම ය”යි සිතුහ. උරුවේල කාශ්‍යප සිරිත් පරිදි “මහමහණ ඍඬිමතකු වුව ද අපට මෙන් ඔහුට රහත් බවක් නැතැ’යි සිතුවේ ය.

තථාගතයන් වහන්සේ එහි වෙසෙන සමයේ එක් දිනක් අකල් වැස්සක් වැස උන්වහන්සේ විසු පෙදෙස ජලයෙන් යට වී ගියේ ය. තථාගතයන් වහන්සේ එක් තැනක ජලය ඉවත් කොට වියළි දූලි නඟින්නා වූ බිම සක්මන් කරමින් උන්සේක. උරුවේලකාශ්‍යප “මහමහණ බේරා ගනිමුය’යි තවත් තවුසන් ද සමඟ ඔරුවකට නැඟී එහි ගියේ ය. ඔහු ජල මැඳ වියළි පොළොවෙහි සක්මන් කරන තථාගතයන් වහන්සේ දැක විශ්මිත වූයේ “මේ මහ මහණදැ”යි කීය. “කාශ්‍යප ඒ මම ය’ යි වදාරා තථාගතයන් වහන්සේ අහසට නැඟී ඔහුගේ යාත්‍රාවෙහි සිටි සේක. එකල්හි උරුවේල කාශ්‍යප පෙර පරිදිම “සිටිනා තැනට ජලය පවා ගලා නො එන මේ මහමහණ මහත් ඍඬි ඇතියෙක, එහෙත් ඔහු අප මෙන් රහත් නො වෙති”යි සිතුවේ ය.

එකල්හි තථාගතයන් වහන්සේ “මේ මෝඝ පුරුෂයාට සංවේගය ඇති කිරිමට මේ සුදුසු කාලය” යි සිතා “කාශ්‍යප, නුඹට ඇති රහත් කමකුත් නැත, නුඹ රහත් වීමේ මඟට පැමිණියෙක් ද නො වෙහිය. රහත් විමේ ප්‍රතිපදාවක් නුඹට නැතය”යි වදාළහ. එකල්හි උරුවේල කාශ්‍යපගේ මානය බිඳි ගොස් දමනය වී ඔහු තථාගතයන් වහන්සේගේ පාමුල වැඳ වැටී “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා හට ප්‍රව්‍රජ්‍යාව හා උපසම්පදාව ලැබේවා”යි ඇයැද සිටියේ ය. “කාශ්‍යප, නුඹ පන්සියයක් තවුසන්ට නායකයෙක, ඔබ අදහස ඔවුන්ට ද දන්වව, ඔවුහු ද කැමැත්තක් කරන්නාහ”යි තථාගතයන් වහන්සේ වදාළහ. එකල්හි කාශ්‍යප තම ශිෂ්‍යන් වෙත ගොස් “පින්වත්නි, මම මහමහණ වෙත පැවිදි වන්නට කැමැත්තෙමි, නුඹලා ද කැමැත්තක් කරව්” යයි කීය. “ආචාර්‍ය්‍යයෙනි, අපි කලක පටන් ම මහාශ්‍රමණයා කෙරෙහි පැහැදී සිටිමු. ඔබ මහාශ්‍රමණයා වෙත පැවිදිවන්නාහු නම් අපිත් එසේ කරමු ”යි ඔවුහු කීහ. ඉක්බිති ඔවුහු හිසකේ ද ජටා ද පිරිකර කත් ද ගිනි පුදන උපකරණ ද ගඟදියෙහි පා කර හැර භාග්‍යවතුන් වහන්සේගේ පැවිද්ද ලබා ගත්හ.

ගඟ පහළ අසපුවක තුන්සියයක් තවුසන්ට නායකව වෙසෙන උරුවේල කාශ්‍යපගේ සහෝදර තවුසා ගඟෙහි පාවී යන ද්‍රව්‍ය දැක “මාගේ සහෝදරයාට උවදුරක් පැමිණියේදෝ ”යි සිතා ඔහුගේ තතු විමසනු පිණිස ගෝලපිරිස ද සමඟ වහා එහි ගියේ ය. ගෝල පිරිසත් සමඟ උරුවෙල් කාශ්‍යප බුදුරදුන් යටතේ පැවිදිවි සිටිනු දැක “කාශ්‍යපය, කිමෙක් ද මෙය උතුම් දැ’යි ඇසීය. “ඇවැත්නි, මෙය උතුම්ය’යි උරුවේල කාශ්‍යප කීය. එකල්හි නදී කාශ්‍යප ද ඔහුගේ පිරිසක් සමඟ හිසකේ ද, ජටා ද, තවුස්පිරිකර කත් ද ගිනි පුදන උපකරන ද ගඟ දියෙහි පාකර හැර තථාගතයන් වහන්සේ වෙත එළඹ පැවිදි විය.

ගඟ අසල අසපුවක දෙසියයක් තවුසන්ට නායක ව වෙසෙන උරුවෙල් කාශ්‍යපගේ සහෝදරයකු වන ගයාකාශ්‍යප පාවී පන තවුස් පිරිකර දැක “කිමෙක් ද මෙතෙක් තවුස් පිරිකර ගඟේ පාවී යන්නේ මාගේ සොහොයුරන්ට අන්තරායක් විමෙන් දෝ’යි සිතා සිය පිරිස ද සමඟ උරුවේල කාශ්‍යප වෙත ගියේ ය. සිය පිරිස ද සමඟ උරුවෙල් කාශ්‍යප බුදුරදුන් වෙත පැවිදි වී සිටිනු දැක “එය උතුම්ද’යි අසා උරුවේල කාශ්‍යප විසින් “එසේ ය”යි කී කල්හි ඔහු ද සිය පිරිස සමඟ තථාගතයන් වහන්සේගෙන් පැවිද්ද ලබා ගත්තේ ය.

ඉක්බිති තථාගතයන් වහන්සේ පුරාණ තාපසයන් වූ අලූත පැවිදි වු දහසකට අධික ඒ භික්ෂු පිරිස හා ගයාශීර්ෂයට වැඩම කළ සේක. දැනට එක්තරා ප්‍රමාණයකින් දමනය වී ඇති ඒ භික්ෂුන් හික්මවා අවසන් කරනු පිණිස එහි දි ඒ භික්ෂුන් අමතා “සබ්බං හික්ඛවෙ ආදිත්තං” යනාදි ආදිත්තපරියාය සූත්‍රධර්‍මය දේශනය කළේ ය. ඒ දේශනය ඇසිමෙන් සැම දෙනා වහන්සේම සව් කෙළෙසුන් නසා අර්හත් ඵලයට පැමිණියෝ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂු පිරිස විසින් පිරිවරන ලදුව රජගහනුවරට වැඩම කොට බිම්සර රජු ප්‍රධාන කොට තමන් වහන්සේ වෙත පැමිණි මගධරට වැසි දොළොස් නහුතයක් බ්‍රාහ්මණ ගෘහපතීන් දමනය කළ සේක.

මෙසේ තථාගතයන් වහන්සේ විසින් උන්වහන්සේගේ ජිවිත කාලයේ දී දමනය කරන ලද සත්වයෝ ඉතා බොහෝ වූහ. සැවැත්නුවර ම උන්වහන්සේ විසින් දමනය කර ලදුව ආර්‍ය්‍යශ්‍රාවකයන් වී සිටියෝ පන් කෝටියකි. ඔවුන්ගේ තුන්ලක්ෂ පස්පනස් දහසක් දෙනා අනාගාමීහු ය. නැවත එහිම ගණ්ඩබ්බ වෘක්ෂමූලයේ දී යමකප්‍රතිහාර්‍ය්‍ය දැකිවීමේ දී දමිතවුවෝ විසිකෝටියක් වූහ. මංගලසුත්‍රය, මහාරාහුලෝවාද සුත්‍රය, සමචිත්තපරියාය සූත්‍රය, පරාභව සුත්‍රය, පුරාභේද සුත්‍රය, කලහවිවාද සුත්‍රය, චූලබ්‍යුහ සූත්‍රය, මහාබ්‍යුහ සුත්‍රය, තුවටක සුත්‍රය, සාරිපුත්ත සුත්‍රය යන සුත්‍ර එක එකක් දේශනය කිරිමේ දී අප්‍රමාණ දේවතාවෝ දමිත වූහ.

රජගහනුවර තථාගතයන් වහන්සේ විසින් දමිත උපාසකෝපාසිකාවෝ තුන්ලක්ෂ පනස්දහසක් වූහ. ධනපාල සමාගමයේදි අනූකෝටියක් සත්ත්වයෝ දමිත වූහ. පාරායන සමාගමයේදී තුදුස් කෝටියක් සත්ත්වයෝ දමිත වූහ. ඉන්දසාල ගුහාවෙහි සක්කපඤ්හ සූත්‍ර දේශනයේදී අසූ දහසක් දේවතාවෝ දමිත වූහ. ඉසිපතනයේ ප්‍රථම ධර්මදේශනය කිරීමේදී අටළොස් කෝටියක් බ්‍රහ්මයන් හා ගණන් නැති තරම් දෙවියෝ ද දමිත වූහ. තව්තිසා දෙව්ලොව අභිධර්මදේශනයේදී අසූකෝටියක් දෙවියෝ දමත වූහ. දෙව්ලොවින් බට කල්හි සංකස්ස නගරද්වාරයේදී තිස්කෝටියක් සත්ත්වයෝ දමිත වූහ.

ශාක්‍යරට කපිලවත්තුපුරයේ නිග්‍රොධාරාමයේ බුද්ධවංශ දේශනයේ දී ද මහාසමය සූත්‍ර දේශනයේදී ද අප්‍රමාණ දේවතාවෝ දමිත වුහ. සුමනමාලාකාර සමාගමය, ගරහදින්න සමාගමය, අනන්දසෙට්ඨි සමාගමය, ජම්බුකාජීවක සමාගමය, මණ්ඩුකදේවපුත්‍ර සමාගමය, මට්ටකුණ්ඩලීදේවපුත්‍ර සමාගමය, සුලසා නගර සෝභනී සමාගමය, සිරිමා නගර සෝභනී සමාගමය, පේසකාර ධීතු සමාගමය, චූලසුභද්දා සමාගමය, සාකේතබ්‍රාහ්මණ සමාගමය, ආලාහන දස්සන සමාගමය, සුනපරන්තක සමාගමය යන සමාගම් හි සූවාසු දහස බැගින් සත්වයෝ දමිත වූහ.

(මේ ගණන මිලින්දපඤ්භයෙනි.)

මෙසේ බෙහෝ සත්ත්වයන් දමනය කළ බැවින් තථාගතයන් වහන්සේ අනුත්තර පුරිසදම්මසාරථී නම් වෙති.

අනුත්තර පුරිසදම්මසාරථී ගුණය විස්තර කිරිමේ දී පණ්ඩිතමානයෙන් මත්ව සිටි සච්චකාදීන් දමනය කළ සැටි ද, කුලමානයෙන් මත්ව සිටි ශාක්‍යාදීන් දමනය කළ දැටි ද, ජාතිමානයෙන් මත්ව සිටි ඇතැම් බ්‍රාහ්මණයන් දමනය කළ සැටි ද, මුළාව මිසදිටු ගෙන සිටි ඇතැම් තීර්ථකයන් හා ඔවුන්ගේ ශ්‍රාවකයන් දමනය කළ සැටි ද, අංගුලිමාල - නාලාගිරි - ආලවක අති චණ්ඩයන් දමනය කළ සැටි ද, අතිසම්මූළ්හව සිටි බකබ්‍රහ්මාදීන් දමනය කළ සැටි ද, අදින්නපුබ්බක මච්ඡරියකෝසියාදී මහ මසුරන් දමනය කළ සැටි ද, තවත් දමනයට දුෂ්කර පුද්ගලයන් දමනය කළ සැටි ද විස්තර කළ යුතුය. මේ කුඩා ග්‍රන්ථයෙන් ඒවා විස්තර කළ නොහෙන බැවින් සච්චක දමනය පමණක් මෙහි දක්වනු ලැබේ.

අනු මාතෘකා
keyboard_arrow_rightසච්චක දමනය