කාමසුඛල්ලිකානු යෝගය අත්තකිලමථානු යෝගය යන වැරදි මාර්ග දෙක නො ගෙන කෙලින්ම නිවනට වැටෙන අෂ්ඨාංගික මාර්ග සංඛ්‍යාත සෘජුමාර්ගයෙහි පිළිපන් බැවින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ උජුපටින්න නම් වෙති. නිවනට වැටෙන ඍජුමාර්ගය ගෙන පිළිපැදීම උජුපටිපන්න ගුණය ය.
“ද්වේ මෙ භික්ඛවෙ, අන්තා පබ්බජිතේන න සෙවිතබ්බා, යො චායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථසංහිතො, යො චායං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනන්ථසංහිතො”
යනුවෙන් “කාමසුඛල්ලිකානුයෝගය, අත්තකිලමථානුයෝගය යන අන්ත, පැවිද්දන් විසින් නො ගත යුතුය”යි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේය. එබැවින් තථාගත ශ්‍රාවකයෝ ඒ ලාමක අන්ත දෙක ලාමක මාර්ග දෙක නො ගනිති. බුදුරදුන් ලොව පහළ වී දහම් දෙසීමට පෙර ලෝකයෙහි මිනිසුන් විසින් ගෙන සිටියේ ඒ මාර්ග දෙකය. බොහෝ දෙනෙකුන් ගෙන සිටියේ කාමසුඛල්ලිකානුයෝගය යි. කාමසුඛල්ලිකානුයෝගයෙහි ලාමක බව දැනගත් ටික දෙනෙක් ගතයුතු නියම මඟ නො දත් බැවින් අත්තකිලමථානුයෝගය ගෙන එයට බැස සිටියෝය.
කාමසුඛල්ලිකානු යෝගය යනු “ජීවිතයෙහි පරමාර්ථය පස්කම් සැප විඳීමය”යි සිතා අධර්මයෙන් වුව ද ධනය උපයා හැකිතාක් පස්කම් සැප විඳීමය. ප්‍රාණවධාදි නොයෙක් පව්කම් කරමින් එසේ කාමයන්හි ඇලී ගැලී සිට බොහෝ සත්ත්වයෝ මරණින් මතු අපාගත වන්නාහ.
අත්තකිලමථානුයෝගය යනු පරණ පව් ගෙවීමටය කියා නොයෙක් උපක්‍රමයෙන් ශරීරයට දුක්දීමය. එය නිඝණ්ඨප්‍රතිපත්තිය ය. ඔවුහු “සත්ත්වයනට යම් සැපක් හෝ දුකක් වේ නම් ඒ සියල්ල සිදුවන්නේ අතීත කර්මයෙනැයි වරදවා තේරුම් ගෙන කයට දුක් දී අතීත අකුශල කර්මවලට විපාක විඳ අවසන් කොට අලුත් අකුසලද නො කර සිටියහොත් දුකින් මිදිය හැකිය”යි සිතා අතීත පව් ගෙවාලීම පිණිස අව්වෙහි සිටීම, මධ්‍යාහ්නයෙහි සතරදිගින් ගිනි ගොඩවල් ගසා මැදට වී සිටීම, ශීත කාලයෙහි එළිමහනෙහි විසීම, දියට බැසීම, වැස්සට තෙමීම, ඇණ මත හිඳීම, වැතිර සිටීම යනාදිය කරති. ඒ අත්තකිලමථානුයෝගය ය. ශරීරයට පීඩාකර ගැනීමෙන් අතීත අකුසල් නැති නො කළ හැකිය. ශරීරයට කොතෙක් දුක් දුන ද සත්ත්වයා අපායෙහි උපදවන අකුශලය, එය කළ පුද්ගලයා අපායෙහි උපදවන්නේ ම ය. පව් යටපත් කළ හැක්කේ ද නැසිය හැක්කේ ද කුශලයෙනි. ලෞකික කුශලයෙන් පව් යටපත් කල හැකිය. පස් පනස් වසක් මිනිසුන් මැරූ චෝරඝාතකයාහට තව්තිසා දෙව්ලොව ඉපිද හැකි වූයේ ද, පනස් වසක් මසුන් මැරූ දමිලදෝවාරිකයාට දෙව්ලොව ඉපදිය හැකි වූයේ ද කුශලයෙන් අකුශලය යටපත් කිරීමෙනි. සෝවාන් මාර්ගය නමැති ලෝකෝත්තර කුශලයෙන් මතු අපායට පැමිණවිය හැකි අකුශලකර්ම සියල්ල ම නැසේ. අතීතයෙහි කළ කොතෙක් අකුශලකර්ම ඇත ද ඒවා සෝවාන් ඵලයට පැමිණි පුද්ගලයා අපායට යැවීමට සමත් නොවේ. කයට දුක් දීමෙන් දුකින් මිදිය හැකිය යනු මිත්‍යාදෘෂ්ටියකි. මිත්‍යාදෘෂ්ටිය අපායෝත්පත්තියට හේතුවකි.
“එතෙ තෙ භික්ඛවේ, උභො අන්තෙ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති.”
යනුවෙන් දැක්වෙන ඒ ලාමක අන්ත දෙකට නො බැස තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කළ ප්‍රඥාචක්ෂුස ඇති කරන්නා වූ කෙලෙස් සන්සිඳවන්නා වූ චතුස්සත්‍යාවබෝධයට හේතුවන නිවන් ලැබීමට හේතුවන මජ්ඣිම පටිපදා නම් වූ ප්‍රතිපත්තික්‍රමයක් ඇත්තේය. එය නිවනට පමුණුවන ඍජුමාර්ගය ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ ඒ ඍජුමාර්ගය ගෙන පිළිපදින්නෝ ය. ඒ ඍජුමාර්ගය නම්:-
“කතමා ච සා භික්ඛවෙ, මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්‍යථීදං? සම්මාදිට්ඨි සම්මාසංකප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි”
යනුවෙන් දක්වා වදාරා ඇති අෂ්ටාංගිකමාර්ගය ය.
“කින්නු ඛො භො ගොතම, සො කරොති සො පටිසංවෙදියතීති? සො කරොති සො පටිසංවෙදියතීති ඛො බ්‍රාහ්මණ අයමෙකො අන්තො, කිම්පන භො ගොතම අඤ්ඤා කරොති අඤ්ඤා පටිසංවෙදියතීති? අඤ්ඤා කරොති අඤ්ඤා පටිසංවෙදියතීති ඛො බ්‍රාහ්මණ අයං දුතියො අන්තො.
එතෙ තෙ බ්‍රාහ්මණ උභො අන්තෙ අනුපගම්ම මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති, අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චය ඵස්සො, ඵස්ස පච්චයා වෙදනා, වෙදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවො, භව පච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙව දුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අවිජ්ජායත්වෙව අසෙස විරාගනිරොධා සංඛාර නිරොධො, සංඛාරනිරොධා විඤ්ඤාණ නිරොධො, විඤ්ඤාණ නිරොධා නාමරූපනිරොධො, නාමරූප නිරොධා සළායතන නිරොධො, සළායතන නිරොධා ඵස්සනිරොධො, ඵස්ස නිරොධා වෙදනා නිරොධො, වෙදනා නිරොධා තණ්හා නිරොධො, තණ්හා නිරෝධා උපදාන නිරොධො, උපාදාන නිරොධා භව නිරොධො, භව නිරොධා ජාති නිරොධො, ජාතිනිරොධා ජරාමරණ සෝක පරිදේව දුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී තී”
(සංයුත්ත නිකාය)
මේ සූත්‍රයෙහි වදාරා ඇති පරිදි ද අන්ත දෙකක් ඇත්තේ ය. පින්පව් කරන්නා ම ඒවායේ විපාක විඳීය යන ශාශ්වතදෘෂ්ටිය එක් අන්තයෙකි. අනිකෙක් පින්පව් කෙරේය, අනිකෙක් ඒවායේ විපාක විඳීය යන උච්ඡේද දෘෂ්ටිය එක් අන්තයෙකි. ලෝකයෙහි වෙසෙන සාමාන්‍ය ජනයා මේ අන්ත දෙකින් එක් අන්තයක් ගෙන සිටිති. ඒ අන්ත දෙකම වැරදි බැවින් ඉන් කිනම් අන්තයක් හෝ ගෙන සිටින්නහුට දුකින් නොමිදිය හැකිය. නිවන් නො ලැබිය හැකිය. “පින්පව් කරන්නේ ම ඒවායේ විපාක විඳීය” යන ශාශ්වත දෘෂ්ටිය නිවනට පැමිණීමට මිස ස්වර්ගසම්පත්තිය ලැබීමට බාධාවක් නොවේ. ඒ දෘෂ්ටියෙහි පිහිටා පින් කොට දෙව්මිනිස් සැප ලැබිය හැකිය. තථාගතයන් වහන්සේ ඒ අන්ත දෙකට ම නො පැමිණ අවිද්‍යාදි හේතුන් නිසා සංස්කාරාදී ඵල ධර්ම ඇති වීමෙන් ස්කන්ධපරම්පාව නො සිඳී පවත්නා සැටිත්, අවිද්‍යාදීන්ගේ නිරෝධයෙන් ස්කන්ධපරම්පරාවේ නිරෝධය වන බවත්, සත්ත්වයනට දුකින් මිදීමට ඇත්තා වූ එකම මාර්ගය අවිද්‍යාදීන්ගේ නිරෝධය පිණිස පිළිපැදීම බවත් දැන වදාරා එය පිණිස ශ්‍රාවකයන්ට දහම් දෙසූ සේක. ඒ ධර්මමාර්ගය ඒ ප්‍රතිපත්තික්‍රමය නිවනට පැමිණෙන සෘජු මාර්ගය ය. ඒ මාර්ගය ගෙන පිළිපදින බැවින් ද තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකසංඝයා වහන්සේ උජුපටිපන්න නම් වෙති.
තවද කායවංක - වචීවංක - මනෝවංකයන් ප්‍රහාණය කිරීම සඳහා පිළිපන් බැවින් ද ශ්‍රාවකසංඝයා වහන්සේ උජුපටිපන්න නම් වෙති. කායවංක නම් කායදුශ්චරිතයෝය. වචීවංක නම් වාක්දුශ්චරිතයෝ ය. මනෝවංක නම් මනෝදුශ්චරිතයෝය. තථාගතයන් වහන්සේ කායවංකාදිය ප්‍රහාණය සඳහා ශ්‍රාවකයනට දහම් දෙසති.
බෝසතාණන් වහන්සේ අතීතයේ රියකරුවකු වී පචේත නම් රජකුට රිය සක් දෙකක් තැනූහ. ඉන් එක් රෝදයක් තැනුයේ සදිනකින් අඩු සමසකිනි, එක් රෝදයක් තැනූයේ සදිනකිනි. සාමාන්‍ය පෙනීමට ඒ රෝද දෙක්හි වෙනසක් නො තිබිණ. රජතුමා රෝද දෙක බලා වෙනසක් නො දැක “මේ රෝද දෙක්හි ඇති වෙනස කිම දැ”යි බෝසතාණන්ගෙන් ඇසීය. එකල්හි බෝසතාණෝ සදිනකින් තැනූ රෝදය ගෙන වේගයෙන් බිම පෙරළා යැවූහ. එය වේගය ඇතිතාක් ඉදිරියට ගොස් වේගය සන්සිඳීමෙන් පසු බිම අද වැටිණි. ඉක්බිති සමසකින් කළ රෝදය පෙරළා යැවූහ. එය වේගය ඇතිතාක් ඉදිරියට ගොස් එසේ ම නැවතිණ. බිම ඇද නො වැටිණ. එසේ වීමට හේතුව රජු විචාළ කල්හි සදිනකින් කළ රෝදයෙහි නොයෙක් තැන් වල ඇද ඇති බැවින් එය ඇද වැටුණ බවත් සමසකින් කළ රෝදයෙහි දොස් නැති බැවින් නො වැටී සිටි බවත් බෝසතාණෝ පැවසූහ. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය ගෙන හැර දක්වා ශ්‍රාවකයනට මෙසේ අනුශාසනය කළ සේක.
“එතරහි ඛො පනාහං භික්ඛවෙ අරහං සම්මාසම්බුද්ධො කුසලො කායවංකානං කායදොසානං කායකසාවානං, කුසලො වචීවංකානං වචීදොසානං වචීකසාවානං, කුසලො මනොවංකානං මනොදොසානං මනොකසාවානං, යස්ස කස්සචි භික්ඛවෙ, භික්ඛුස්ස වා භික්ඛුනියා වා කායවංකො අප්පහීනො කායදොසො කායකසාවො, වචීවංකො අප්පහීනො වචීදොසො වචීකසාවො, මනොවංකො අප්පහීනො මනො දොසො මනොකසාවො, එවං පපතිතා තෙ භික්ඛවෙ, ඉමස්මා ධම්මවිනයා, සෙය්‍යථාපි තං චක්කං ඡහි දිවසෙහි නිට්ඨිතං, යස්ස කස්සචි භික්ඛවෙ, භික්ඛුස්ස වා භික්ඛුනියා වා කායවංකො පහීනො කායදොසො කායකසාවො, වචීවංකො පහීනො මනොදෙසො මනොකසාවො, එවං පතිට්ඨිතා තෙ භික්ඛවෙ ඉමස්මිං ධම්මවිනයෙ, සෙය්‍යථාපි තං චක්කං ඡහි මාසෙහි නිට්ඨිතං ඡාරත්තුනෙහි, තස්මා තිහ භික්ඛවෙ එවං සික්ඛිතබ්බං, කායවංකං පජහිස්සාම කායදොසං කායකසාවං, වචීවංකං පජහිස්සාම වචීදොසං වචීකසාවං, මනොවංකං පජහිස්සාම මනොදොසං මනොකසාවන්ති, එවං භි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.”
(අංගුත්තරනිකාය 67)
තේරුම:-
මහණෙනි, දැන් මම අර්හත් සම්‍යක් සම්බුද්ධ වෙමි. කායවංක කායදෝස කායකසාවයන් මැනවින් දන්නේ වෙමි. වචීවංක වචීදෝස වචීකසාවයන් මැනවින් දන්නේ වෙමි. මනෝවංක මනෝදෝස මනෝකසාවයන් මැනවින් දන්නේ වෙමි. මහණෙනි, යම් භික්ෂුවක් විසින් හෝ භික්ෂුණියක විසින් හෝ කායවංක කායදෝස කායකසාවයන් අප්‍රහීණ ද, වචීවංක වචීදෝස වචීකසාවයන් අප්‍රහීණ ද, මනෝවංක මනෝදෝස මනෝකසාවයන් අප්‍රහීණ ද, මහණෙනි, ඔවුහු සදිනකින් කළ රියසක ඇද වැටුණාක් මෙන් මේ ධර්ම විනයෙහි වැටුණාහු වෙති. මහණෙනි, යම් භික්ෂුවක් විසින් හෝ භික්ෂුණියක විසින් හෝ කායවංක කායදෝස කායකසාවයන් ප්‍රහීණ ද, වචීවංක වචීදෝස වචීකසාවයන් ප්‍රහීණ ද , මනෝවංක මනෝදෝස මනෝකසාවයන් ප්‍රහීණ ද, ඔවුහු සදිනකින් අඩු සමසකින් කළ රියසක මෙන් මේ ධර්ම විනයෙහි පිහිටියාහු වෙති. මහණෙනි, එබැවින් තොප විසින් මෙසේ හික්මිය යුතුය. කායවංක කායදෝස කායකසාවයන් දුරු කරන්නෙමුය. වචීවංක වචීදෝස වචීකසාවයන් දුරු කරන්නෙමු ය. මනෝවංක මනෝදෝස මනෝකසාවයන් දුරු කරන්නෙමුය කියා මෙසේ තොප විසින් හික්මිය යුතුය.
තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් පුරන අධිශීල අධිචිත්ත අධිප්‍රඥා සංඛ්‍යාත ශික්ෂාත්‍රය කායවංකාදීන් දුරු කොට කාය වාචා චිත්තයන් පිරිසිදු කරන ඍජු කරන ප්‍රතිපත්තියකි.