නාලක තෙරුන් වහන්සේ

බුදුසස්නෙහි මෝනෙය්‍ය වත නම් වූ උසස් ප්‍රතිපත්තියක් ඇත්තේ ය. ඉතා දුෂ්කර වූ ඒ ප්‍රතිපත්තිය පුරන්නේ එන් බුදුසසුනක එක් ශ්‍රාවකයකු විසින් පමණෙකි. ඒ ප්‍රතිපත්තිය උත්කෘෂ්ට ලෙස පුරන ශ්‍රාවකයකුට සත්මසකට වඩා ජීවත් විය නොහේ. මධ්‍යම ප්‍රමාණයෙන් පුරන්නකුට සත්වසකට වඩා ජීවත් විය නොහේ. ලිහිල් ලෙස පුරන්නකුට සොළොස්වසකට වඩා ජීවත් විය නොහේ. අප බුදුසස්නෙහි ඒ ප්‍රතිපත්ති පිරුවේ නාලක තෙරුන් වහන්සේ විසිනි.

නාලක තෙරුන් වහන්සේගේ කථාව මෙසේය:-

ශුඬෝදන රජතුමාගේ පියා වූ සීහහනු රජුට අසිත නම් පුරෝහිත බ්‍රහ්මණයෙක් විය. ශුඬෝදන රජුට ශාස්ත්‍ර උගැන් වූ ගුරුවරයා ඔහුය. සිහහනු රජුගේ ඇවෑමෙන් ශුද්ධෝදන කුමර තෙමේ රජ විය. අසිත එතුමාගේ පුරෝහිත විය. ඔහු දිනපතා උදය සවස රාජෝපස්ථානයට එන්නේය. රජතුමා ඔහුට පෙර සේ ගරු බුහුමන් නොකොට දෙ අත් එකතු කොට වැඳීම පමණක් කරයි. එයින් කළකිරුණු අසිත, පුරෝහිත බව හැර පැවිදි වන්නට සිතුවේය. හේ රජුට ඒ අදහස දැන්වීය. රජතුමා ඔහු නො වැළැකිවිය හැකි බව දැන “ආචාර්‍ය්‍යයෙනි, එසේ නම් පැවිදිව අපට නිතර දැකිය හැකි වීමට අපගේ උයනෙහි ම විසූව මැනය” යි කීය. හේ “එසේ වේවා‘යි රජුට ප්‍රතිඥා දී ඍෂිප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව රජුගෙන් උපස්ථාන ලබමින් රජඋයනෙහි වෙසෙමින් කිසුනු පිරියම් කොට අෂ්ට සමාපත්ති හා පඤ්චාභිඤා උපදවා ගත්තේය. ඔහුට සතළිස්කපක් අතීතයන් සතළිස්කපක් අනාගතයන් පෙනෙන්නේය. මහාබෝසතාණාන්ගේ උපත එතෙක් සිදු වී නො තිබිණ. මේ කාලයේ නාලක අසිත තවුසාගේ නැගෙණියගේ කුස ඉපිද තුරුණු වියට පැමිණ සිටියේ ය. ඔහු මෙයින් කල්පලක්ෂයකට ඔබ ලොව පහළ වූ පියුමතුරා බුදුරදුන්ගේ ශ්‍රාවකයකු මෝනෙය්‍ය ප්‍රතිපදාව පුරනු දැක පැහැදී තමාට ද අනාගත බුදුකෙනෙකුගේ සසුනෙහි ඒ උත්තම වත පිරිය හැකිවේවා’යි එතැන් පටන් කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ඇති පිනැති පුද්ගලයෙකි. අසිත තාපස තෙමේ සුදොවුන් රජුගේ මාළිගාවෙහි වළදා හිමවත හෝ දිව්‍යලෝකයෙහි හෝ දවල් කාලය ධ්‍යානසුඛයෙන් ගත කරයි. හේ එක් දිනක දවල් කාලයේ විසීම සඳහා තව්තිසා දෙව්ලොවට ගොස් දෙව්විමනකට පිවිස දිව්‍යමය වූ රුවන්පළඟක සාමාධි සුවය විදිමින් හිඳ, සවස් කාලයේ සමාපත්තියෙන් නැගී විමන් දොර සිට ඔබ මොබ බලන්නේ ඉමහත් ප්‍රීතියකින් බෝසත් ගුණ කථනය කරමින් ක්‍රීඩා කරන දේවසමුහයා දුටුයේ ය. තපසතුමා “දෙවියනි, අද තෙපි කිනම් කරුණක් නිසා මෙසේ ප්‍රීති වන්නහු දැ’යි ඇසීය. එකල්හි දෙවියෝ “සුදොවුන් රජතුමාට මතු බුදුවන මහ පිනැති පුත් කුමරෙක් උපන්නේය. ඔහු මතු බුදු වී අපමණ ලෝසතුන් නිවන් දක්වන්නේ ය. ඒ නිසා අපි මෙසේ සතුටු වන්නෙමුය‘යි කීහ. ඔවුන්ගේ බස් ඇසූ අසිත තාපස තෙමේ වහා දෙව් ලොවින් බැස රජ ගෙදරට ගොස් පනවන ලද අසුනෙහි හිඳ රජතුමා පැමිණ වැඳ සිටි කල්හි “මහරජ ඔබට පුත් කුමරෙක් උපන්නේය’යි ඇසීමු. ඔහු දක්නට කැමැත්තෙමි‘යි කීය. එකල්හි රජතුමා පුතු සරසවා ගෙන්වා ඔහු ලවා තාපසයන් වැන්දවීමට තැත් කෙළේය. බුදුවන ජාතියේ මහබොසත් කෙනෙකුගෙන් වැඳුම් ලැබිමට සුදුස්සකු ලොව නැත්තේය. එබැවින් එකෙණෙහි බෝසත්තුමාගේ පායුවල ඉබේ ම තාපස තුමා දෙසට හැරී ඔහුගේ ජටාවෙහි සැපී සිටියේ ය. තාපස තෙමේ ද වහා අසුනෙන් නැඟී තමාට වැන්දවීමට ගෙන ආ සිඟිති දරුවාට දෙ අත් එක් කොට වැන්දේය. ඒ ආශ්චර්‍ය්‍යය දුටු රජතුමා ද පුත්කුමරාට වැන්දේය, අතීතානාගත දෙකින් අසූ කපක් දක්නට සමත් නුවණ ඇති තාපස තෙමේ දෙවියන් කී පරිදි “මේ කුමරා ඒකාන්තයෙන් අනාගතයේ බුදුවන්නේදැ’යි බලනුයේ බුදුවන බව දැක, මොහු ආශ්චර්‍ය්‍ය පුරුෂයෙකැයි සිනාසුණේය. ඉක්බිති “තමාට කුමරු බුදු වී සිටිනු දක්නට ලැබේදෝ’යි බලනුයේ එතුමාගේ බුදුසිරි දක්නට එතෙක් කල් ජීවත් වීමට තමාට ආයු නැති බව දැක, “මේ අසිරිමත් පුරුෂයාගේ බුද්ධශ්‍රීය දැකිමේ භාග්‍යය මට නැත්තේය‘යි ශෝකයෙන් කඳුළු සැළිය. ඉක්බිති තාපස තෙමේ තමාගේ නෑයන් අතරවත් බුදුසිරි දැකිමේ වාසනාව ඇතියෙක් ඇත්තේ දැයි බලනුයේ නැගෙණියගේ පුත් නාලක කුමරු දැක, වහා නැඟණියගේ නිවසට ගොස්, නාලක කුමරු කොහිදැයි අසා ඔහු ගෙන්වා “දරුව, ශුඬෝදන රජුගේ ගෙයි දරුවෙක් උපන්නේය. ඔහු පන්තිස් වසකින් ලොව්තුරා බුදු වන්නේ ය. ඒ බුදුන් දක්නට මට ආයු නැත්තේය. නුඹට ඔහුගේ බුදුසිරි දක්නට, ඔහු විසින් බෙදා දෙන දහම් අමාරසය වළඳන්නට ආයු ඇත්තේය. ගිහිව විසුවහොත් ඒ බුදුන් වෙත යාමට ඉඩ නො ලැබී යන්නටත් පිළිවන. එබැවින් ඒ බුදුන් උදෙසා නුඹ අද ම “පැවිදිවන්නය”යි කීය. තවුස් තුමාගේ කීම ඇසූ නාලක දරුවා තමාට අනාගතයෙහි හිමිවන්නට මාපිය සතු සත් අසූකෙළක් ධනය ඇත ද, “මාගේ මාමා වන මේ තාපසතුමා අනථියක නම් මා යොදවන්නේ නැත. මුන් වහන්සේගේ කීම පිළිගැනිමෙන් මට යහපතක් ම වනු ඇතැයි’සිතා එයට කැමති විය. ඉක්බිති වෙළඳ සැලකින් කසාවත් හා මැටිපාත්‍රයක් ගෙන්වා තාපස ප්‍රවෘජ්‍යාවෙන් ඔහු පැවිදි කරවා, “බුද්ධ යන ඝෝෂාව යම් කලෙක ඇසුණේ නම්, යම් කළෙක ඒ සුදෝවුන් රජුගේ දරුවා ලොවුතුරු බුදුව දහම් අමා වැසී වස්සන්නට වී නම්, එකල්හි එතුමා වෙත ගොස් එතුමා යටතේ මහනදම් පුරවා’යි ඔහුට අනුශාසනා කෙළේය. නාලක පැවිදි ලෝකයෙහි යම් උත්තම පුද්ගලයෙක් වේ නම් මාගේ පැවිද්ද ඔහු උදෙසා ය’යි සිතමින් මහබෝසතාණන් වෙසෙන දිශාවට පසඟ පිහිටුවා වැඳ, පාත්‍රය-ථවිකයෙහි ළා උරයෙහි එල්වා ගෙන හිමාල වනයට ගොස් බෝසතුන් බුදුවන තුරු එහි විසුයේ ය. සිදුහත් කුමරු පස්මරුන් පරදවා ලොව්තුරා බුදුබවට පැමිණ දම්සක් පැවැත් වූ දිනයෙහි නාලක තවුසාගේ යහපත කැමති දෙවියෝ ඔහු වෙත ගොස් ඒ බව කීහ. නාලක තාපස, තමා කලක් තිස්සේ බලාපොරොත්තු විසු ආරංචිය අසනු ලැබිමෙන් ඉමහත් ප්‍රීතියට පැමිණ මෝනෙය්‍ය ප්‍රතිපත්තිය බුදුරජුන්ගෙන් විචාරනු පිණිස උන් වහන්සේ දක්නට පිටත් විය “බුදුරජාණන් වෙත මෝනෙය්‍ය ප්‍රතිපත්ති ඇසිමට පැවිද්දෙක් එන්නේ ය” යන ඝෝෂාව දෙවියන් අතර පැතිර ගියේ ය. නාලක තාපස ක්‍රමයෙන් මඟ ගෙවා අවුත් දම්සක් පැවැත්වීමෙන් සත්වන දිනයෙහි බුදුරදුන් හමුවට පැමිණියේ ය. තථාගතයන් වහන්සේ කලින් ම නාලක තවුස් තමන් වහන්සේ වෙත එමින් සිටිනු දැක ඔහු පිළිගැනීමට ඉසිපතනයෙහි පනවන ලද බුඬාසනයෙහි වැඩ සිටි සේක. නාලක තවුස් එහි පැමිණ බුදුරදුන් දැක දර්‍ශනයෙන් ම සියලූ සැක දුරුකර ගෙන ප්‍රසන්න වූ සිතින් තථාගතයන් වහන්සේ වැඳ

“අඤ්ඤාතමෙතං වචනං - අසිතස්ස යථා තථං,
තං තං ගොතම පුච්ඡාමි – සබ්බධම්මානපාරගුං,

-

අනගාරියුපෙතස්ස - භික්ඛාචරියං ජිගිංසතො,
මුනි පබ්‍රෑහි පුට්ඨො - මොනෙය්‍යං උත්තමං පදං”

යනුවෙන් උත්තම වූ මෝනෙය්‍ය වත විචාළේය. එකල්හි තථාගතයන් වහන්සේ:

“මොනෙය්‍යං තෙ උපඤ්ඤිස්සං - දුක්කරං දුරභිසම්භවං
භන්ද තෙ නං පවක්ඛාමි - සන්ථම්භස්සු දළ්හො භව”

යනාදීන් මෝනෙය්‍ය වත ඔහුට වදාළ සේක. දැනගැනීමට වුවමනා අය එය සුත්තනිපාතයේ නාලක සුත්‍රයෙන් බලාගත යුතුය. ග්‍රන්ථය මහත් වන බැවින් මෙහි නො දක්වනු ලැබේ. මෝනෙය්‍ය වත රහත් වීමෙන් කෙළවර වන ප්‍රතිපත්ති ක්‍රමයෙකි. එය පුරන්නා විසින් පෘථග්ජන කාලයේ දී ම කිසි ම ක්ලේශයකට තමා කෙරෙහි උපදින්නට ඉඩ නො දිය යුතුය. එබැවින් එය පිරිම ඉතා දුෂ්කරය. නාලක තාපස ඒ ප්‍රතිපත්තිය අකුරට ම පිළිපැද්දේ ය. නාලක තාපස මෝනෙය්‍ය සූත්‍ර දේශනාවසානයෙහි පහන් සිතින් භාග්‍යවතුන් වහන්සේ වැඳ වනයට පිවිසියේ ය. ඉන් පසු ඔහු නැවත බුදුරදුන් දැකිමේ ආශාවක් ද නො කළේ ය. නැවතත් බුදුරදුන්ගෙන් දහම් අසන්නට ද ආසා නො කෙළේය. නැවත මෝනෙය්‍ය වන අසන්නට ද ආසා නො කෙළේ ය. නැවත ඔහු බුදුරදුන් දක්නට නො පැමිණියේ ය. වනයට පිවිසි හෙතෙමේ එක් වන ලැහැබක රාත්‍රි දෙකක් ගත නො කළේ ය. එක් ගසක් මුල දෙදිනක් නො සිටියේ ය. එක් ගමකට දෙදිනක් පිඬු පිණිස නො පිවිසියේ ය. එසේ වනයෙන් වනයට, ගසින් ගසට, ගමින් ගමට යෙමින් එතුමා සව් කෙළෙසුන් නසා අර්හත්වයට පැමිණියේ ය. මෝනෙය්‍ය වත උත්කෘෂ්ට වශයෙන් ම පිරූ බැවින් එතුමාට ජිවත් විය හැකි වූයේ සත් මසකි. සත්මසක් ඇවෑමෙන් තමන්ගේ ආයුසංස්කාරය පිරිහි ඇති බැව් දුටු තෙරණුවෝ ජලස්නානය කොට හැඳ පොරවා තථාගතයන් වහන්සේ වැඩ වෙසෙන දිශාවට පසඟ පිහිටුවා වැඳ පර්වතයකට හේත්තු වි දොහොත් නඟා තථාගතයන් වහන්සේට වැඳගෙන සිටගෙනම පිරිනිවන් පා වදාළහ. තථාගතයන් වහන්සේ ඒ බව දැක භික්ෂුන් හා එහි වැඩම කොට තෙරණුවන්ගේ සිරුර ආදාහනය කරවා ධාතු ගෙන චෛත්‍යයක් ද කරවූහ. (රහත්ව පිරිනිවියා වූ ප්‍රථම බුද්ධශ්‍රාවකයා නාලක තෙරුණුවන් විය හැකිය.)

(සුත්තනිපාතට්ඨකථා)