ස්වසන්තානයට පමුණුවා ගැනීමට, සිය සිතින් පැමිණීමට සුදුසු දෙය ඕපනයික නමි. හිස ගිනි ගත්තකු විසින් එය නිවීමට ව්‍යාවෘත නොවී වුව ද හැඳි වතට ගිනි ගත්තකු විසින් එය නිවීමට ව්‍යාවෘත නො වී වුව ද, උපදවා ගැනීම් වශයෙන් ස්වසන්තානයට පමුණුවා ගැනීමට සුදුසු බැවින් ආර්‍ය්‍යමාර්ග සතරය, ආර්‍ය්‍යඵල සතරය යන මේ ලෝකෝත්තර ධර්මයෝ අට දෙන ඕපනයික නම් වෙති. නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මය අරමුණු කිරීම් වශයෙන් සිය සිතින් පැමිණීමට සුදුසු බැවින් ඕපනයික නම් වේ. කිනම් පරිත්‍යාගයක් කොට වුවද, කොතරම් වෙහෙසක් ගෙන වුව ද, කොතරම් මහත් දුකක් විඳ වුව ද, මේ ධර්මය ස්වසන්තානයට පමුණුවා ගැනීම ස්වසන්තානයෙහි ඇති කර ගැනීම සුදුසු බැවින් මහ කාරුණිකයන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත්තේ ය.
“අප්පටිවානි සුදාහං භික්ඛවෙ, පදහාමි කාමං තචො ච නහරූ ච අට්ඨී ච අවසිස්සතු උපසුස්සතුං සරීරෙ මංසලොහිතං යං තං පුරිසථාමෙන පුරිසවිරියෙන පුරිසපරක්කමෙන පත්තබ්බං න තං අපාපුණිත්වා විරියස්ස සන්ථානං භවිස්සතී ති. තස්ස මය්හං භික්ඛවෙ, අප්පමාදාධිගතා බොධි, අප්පමාදාධිගතො අනුත්තරො යොගක්ඛෙමො.
තුම්හෙ චෙ පි භික්ඛවෙ, අප්පටිවානං පදහෙය්‍යාථ කාමං තචො ච නහරූ ච අට්ඨි ච අවසිස්සතු උපසුස්සතු සරීරෙ මංසලොහිතං, යං තං පුරිසථාමෙන පුරිසවිරියෙන පුරිසපරක්කමෙන පත්තබ්බං, න තං අපාපුණිත්වා විරියස්ස සන්ථානං භවිස්සතී ති. තුම්හෙ පි භික්ඛවෙ, න චිරස්සෙ ව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථ.
තස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං, “අප්පටිවානං පදහිස්සාම කාමං තචො ච නහරූ ච අට්ඨී ච අවසිස්සතු උපසුස්සතු සරීරෙ මංසලොහිතං, යං තං පුරිසථාමෙන පුරිසවිරියෙන පුරිසපරක්කමෙන පත්තබ්බං, න තං අපාපුණිත්වා විරියස්ස සන්ථානං භවිස්සතී’ති. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං”
(අංගුත්තර දුක නි.)
තේරුම:-
“මහණෙනි, මම සමත් - නහරත් - ඇටත් ඉතිරි වෙතොත් වේ වා. ශරීරයේ ලේ මස් වියළී යතොත් යේවා. පුරුෂබලයෙන් පුරුෂවීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් යම් සතරමාර්ගඥානයකට හා සර්වඥතාඥානයකට පැමිණිය යුතු ද එයට නො පැමිණ වීර්‍ය්‍යය නො හරිමි යි පසු බැසීමක් නැවතීමක් නො කොට වීර්‍ය්‍ය කෙළෙමි. මහණෙනි, එසේ කළා වූ මා විසින් අප්‍රමාදයෙන් චතුර්මාර්ගඥානය හා සර්වඥතාඥානය අධිගමනය කරන ලද්දේය. අනුත්තර වූ අර්හත් ඵලය හා නිවන අධිගමනය කරන ලද්දේ ය.
මහණෙනි, තෙපි ද ශරීරයේ සමත් නහරත් ඇටත් ඉතිරි වෙතොත් වේවා. ලේ මස් වියළී යතොත් යේවා, පුරුෂබලයෙන් පුරුෂවීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් යමකට පැමිණිය යුතු ද, එයට නො පැමිණ වීර්‍ය්‍යයාගේ හැරීමක් නො වන්නේ යි නො නවත්වා නොපසු බැස වීර්‍ය්‍ය කරන්නහු නම්, මහණෙනි, තෙපිද යමක් සඳහා කුලපුත්‍රයෝ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිද වෙත් ද ඒ අනුත්තර බ්‍රහ්මචර්‍ය්‍යපර්යවසාන සංඛ්‍යාත අර්හත්ඵලය ඉහාත්මයෙහි ම විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරන්නාහුය.
මහණෙනි, එහෙයින් තොප මෙයින් හික්මිය යුතුය. ශරීරයේ සමත් නහරත් ඇටත් ඉතිරි වෙතොත් වේවා, ලේමස් වියළී යතොත් යේවා, යමකට පුරුෂ බලයෙන් පුරුෂ වීර්‍ය්‍යයෙන් පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුතු ද, එයට නො පැමිණ වීර්‍ය්‍යය ලිහිල් කිරීමක් නො වන්නේ ය, නො නවත්වා ම වීර්‍ය්‍ය කරන්නෙමුය. මෙසේ තොප විසින් හික්මිය යුතුය” යනු ඉහත දැක්වුණු පාඨයේ තේරුමය. කොතරම් දුකක් විඳ වුව ද ලෝකෝත්තර ධර්මයන් ස්වසන්තානයට පමුණුවා ගැනීම යහපත් බැවින් අතීතයේ ඇතැම් භික්ෂූහු ජීවිතපරිත්‍යාගයෙන් ක්‍රියා කොට ඒ ධර්මයන් ලබා ගත්හ.