සෝපාක රහත් වීමට නිසි පින් ඇති දරුවෙකි. එහෙත් අන්තිම ජාතියේ උපන්නේ රජගහ නුවර පහත් කුලයක ය. ඉපද සාරමසකින් ඔහුගේ පියා මළේය. ඉන් පසු සුළු පියා ඔහු පෝෂණය කළේය. ඔහු සත් හවුරුදු වයසට පැමිණි පසු දිනක් සුළු පියා ඔහුගේ දරුවන් හා කෝලාහල කළේය යි කිපී සෝපාක අමුසොහොනකට ගෙන ගොස් දෙ අත් එක් කොට තදින් බැඳ “මූ හිවලුන් විසින් කා දමනු ලබේවා”යි ඒ රැහැනින් ම මළමිනියක බැන්ඳේ ය. පශ්චිමභවිකයන් නො මැරිය හැකි ය. එබැවින් සතුන්ගේ හෝ අමනුෂ්‍යයන්ගෙන් හෝ ඔහුට පීඩාවක් නො වීය. මධ්‍යම රාත්‍රියේ ඔහු විලාප කියමින් හැඬී ය. එවේලෙහි තථාගතයන් වහන්සේ ලොව බලා වදාරන සේක්, ඔහු දැක විහාරයෙහි සිට ම ආලෝකය යවා ඔහුට පෙනී සිට:-
“එහි සොපාක මා භායි - ඔලොකස්සු තථාගතං
අහං තං තාරයිස්සාමි - රාහුමුඛෙව චන්දිමං”
යන ගය වදාළ සේක. සෝපාක සෝවාන් ඵලයට පැමිණ එකෙණෙහි බුද්ධානුභාවයෙන් බන්ධනයෙන් මිදී තථාගතයන් වහන්සේ වැඩ වෙසෙන ගඳකිළිය ඉදිරියට පැමිණියේ ය. සෝපාකගේ මව පසු දින ඔහු නො දැක ඔහු ගැන කිසි තොරතුරක් සුළු පියාගෙන් ද දැන ගන්නට නො ලැබී දරුවා සොයා ඇවිදින්නී බුදුරදුන් වෙත පැමිණ උන් වහන්සේගෙන් දරුවා ගැන විමසුවා ය. තථාගතයන් වහන්සේ ඍද්ධිබලයෙන් දරුවා නො පෙනෙන පරිදි කොට ඇයට දහම් දෙසූහ. ඕ තොමෝ දහම් අසා සෝවාන් ඵලයට පැමිණියා ය. සෝපාක එය අසා අර්හත්වයට පැමිණියේය. ඉක්බිති තථාගතයන් වහන්සේ ඍද්ධිය ඉවත් කළ සේක. මව දරුවා දැක ඉමහත් සොම්නසට පැමිණ සෝපාක අර්හත්වයට පැමිණ සිටිනු අසා තථාගතයන් වහන්සේ සමීපයෙහි පැවිදි කරවා ගියා හ. භාග්‍යවතුන් වහන්සේ ඒ සත් හැවිරිදි සාමණේර නමගෙන් “එක නාම කිං” යනාදීන් ප්‍රශ්න දශයක් අසා වදාරා ඒවාට පිළිතුරු දීමෙන් පසු කුඩා සාමණේර නමට උපසම්පදාව දුන් සේක.