මහාකරුණාසමාපත්ති ඥානය.

කරුණාගුණය බුද්ධගුණ වලින් ඉතා මහත් වූ ද, උසස් වූ ද ගුණයෙකි. බුදුබැව්හි පදනම ද කරුණා ගුණය ය. එය පිළිබඳ සෑහෙන විස්තරයක් කළ හැක්කේ එය ගැන ම විශාල ග්‍රන්ථයක් සම්පාදනය කළ හොත් ය. රත්නත්‍රයේ සියලු ගුණ දැක්වීම සඳහා සපයන මේ ග්‍රන්ථයෙන් කළ හැක්කේ ඒ මහත් වූ ගුණය ඉතා කොටින් දැක්වීමකි.

දුඃඛිත සත්ත්වයන් ගැන කම්පාවන ඔවුන්ගේ දුක් නො ඉවසන ස්වාභාවය, දුඃඛිතයන් දුකින් මිදවීමේ කැමැත්ත කරුණා නම් වේ. තථාගතයන් වහන්සේගේ කරුණාව ඉතා මහත්ය. එබැවින් එයට මහා කරුණාව යයි කියනු ලැබේ. ඒ කරුණාව මහත් වන්නේ කෙසේ ද? යනු මෙහි ලා දත යුතු ප්‍රධාන කරුණ ය. කරුණාව සැම දෙනා තුළම ඒ ඒ ප්‍රමාණයෙන් ඇති වන චෛතසික ධර්මයෙකි. මා පියෝ කරුණාවත්හු ය යි ප්‍රසිද්ධයහ. ඔවුන්ගේ ඒ කරුණාව තමන්ගේ දරුවන්ට පමණක් සීමා වූවකි. තමන්ගේ දරුවන්ට මෙන් අන්‍යයන්ගේ දරුවන්ට මාපියන්ගේ කරුණාවක් නැත. මාපිය යුවලට දරුවන් ඇත්තේ ටික දෙනෙකි. ටිකදෙනෙකු සම්බන්ධයෙන් ඇති කරුණාව සුළු දෙයකි. තථාගතයන් වහන්සේගේ කරුණාව සකල සත්ත්වයන් ගැන මය. ලෝකයෙහි අනන්ත සත්ත්වයෝ ඇතහ. සත්ත්වයන් අනන්ත බැවින් ඒ අනන්ත සත්ත්වයන් අනුව තථාගතයන් වහන්සේගේ කරුණාව අනන්තය. තථාගතයන් වහන්සේගේ කරුණාව හා මවු කෙනකුගේ පිය කෙනෙකුගේ කරුණාව සංසන්දනය කරන්නට උපමාවකුදු නැති තරම් ය. තථාගතයන් වහන්සේගේ මහාකරුණාව සාගර ජලයටත් මවුකෙනෙකුගේ කරුණාව එක දිය බිඳකටත් උපමා කළ ද උපමාව යහපත් නොවේ. තථාගතයන් වහන්සේගේ කරුණාව මහ පොළොවට ද මවු කෙනෙකුගේ කරුණාව වැලි කැටයකට ද උපමා කළත් උපමාව සුදුසු නැත. සාගර ජලයෙහිත් පොළොවෙහිත් ප්‍රමාණයක් ඇත. අනන්ත කරුණාව ඒවාට උපමා කිරීම ඒ කරුණාව සුළු කොට දැක්වීමකි.

එක් එක් පුද්ගලයකු සම්බන්ධයෙන් ඇත්තා වූ කරුණාවෙහි කුඩා - මහත් බව ප්‍රමාණ කළ යුත්තේ කරුණාවට ලක්වන පුද්ගලයා සුවපත් කිරීම සඳහා කළ හැකි පරිත්‍යාගයන් අනුව ය. මැරෙන්නට යන දරුවකු බේරා ගැනීම සඳහා මවු කෙනකු විසින් තමාට ඇතිතාක් ධනය වුවද පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වනු ඇත. එහෙත් තමා වාසය කරන ගෙය හා ඉඩමත් ඒ සඳහා පරිත්‍යාග කරන්නට කියුව හොත් දරුවා මැරෙන්න හරිනවා මිස එය කිරීමට ඉදිරිපත් නො වනු ඇත. තථාගතයන් වහන්සේ සත්ත්ව කරුණාව නිසා නො කළ පරිත්‍යාගයක් නැත. ලොවුතුරා බුදුබව ලැබ අසරණ සත්ත්වයන්ට පිහිට වනු සඳහා බෝසත් කාලයේ දී උන් වහන්සේ විසින් කරණ ලද ධන පරිත්‍යාගයට උපමා නැත.

“සො සාගරෙ ජලධිකං රුධිරං අදාසි
භූමිං පරාජිය සමංසමදාසි දානං
මෙරුප්පමාණමධිකඤ්ච සමොලිසීසං
ඛෙ තාරකාධිකතරං නයනං අදාසිං”

යනුවෙන් අප මහා බෝසතාණන් වහන්සේ අසරණ සත්ත්වයන්ට පිහිට වනු පිණිස දානපාරමිතාව පිරීම් වශයෙන් සාගරජලය පරදවා තමන්ගේ සිරුරෙන් ලේ දුන් බව ද, මහපොළව පරදවා ඇඟමස් දුන් බව ද, මහමෙර පරදවා ඔටුණු පලන් හිස් දුන් බව ද, අහසේ තරු පරදවා නෙත් දුන් බව ද, කියා තිබේ. අන්‍යයන් සඳහා තථාගතයන් වහන්සේට මෙබඳු මහා පරිත්‍යාගයක් කළ හැකි වූයේ කරුණාවෙහි මහත්වය නිසා ය. මේ කාරණය අනුව සලකා බැලුව ද මාපියාදි සෙස්සන්ගේ කරුණාව ඉතා සුළු ය. බුද්ධකරුණාව ම ඉතා මහත් ය.

කරුණාව දුඃඛිත සත්ත්වයන් අරමුණු කොට ඇති වන ධර්මයෙකි. සත්ත්වයන්ගේ දුක් දත හැකි වීමට නුවණ තිබිය යුතු ය. නුවණ මඳ අයට දැනෙන්නේ සත්ත්වයන්ගේ දුක් වලින් ඉතා සුළු කොටසකි. සුගති වශයෙන් සලකන මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ලෝකත්‍රයෙහි වෙසෙන සකල සත්ත්වයෝ ම දුඃඛිතයෝ ය. සර්වාකාරයෙන් සුඛිත සත්ත්වයෙක් භවත්‍රයෙහි කොතැනකවත් නැත්තේ ය. තථාගතයන් වහන්සේගේ කරුණාව සකල සත්ත්වයන් සම්බන්ධයෙන් පවත්නේ ඒ නිසා ය. ධනය ඇතිව අඹුදරුවන් ඇතිව නෑ මිතුරන් ඇතිව සේවකයන් ඇතිව වුවමනා තරම් ආහාරපාන වස්ත්‍රයානවාහනාදිය ඇතිව ගරු බුහුමන් ඇතිව නිරෝගීව ජීවත් වන අය සාමාන්‍ය ලෝකයාට පෙනෙන්නේ සුඛිතයන් ලෙස ය. සාමාන්‍ය ජනයා විසින් දේව බ්‍රහ්මයන් සලකන්නේ පරම සුඛිතයන් ලෙස ය. ඔවුන්ට ඇත්තා වූ මහාදුඃඛස්කන්ධය දැකිය හැකි තරමේ නුවණක් සාමාන්‍ය ජනයාට නැත. සුඛිතයන් වශයෙන් සලකන ඒ පුද්ගලයන් සම්බන්ධයෙන් සාමාන්‍ය ජනයාට කරුණාවක් ඇති නොවේ. ඔවුන් සම්බන්ධයෙන් ඇති වෙතොත් ඇති වන්නේ ඊර්ෂ්‍යාව හෝ මුදිතාව ය. තථාගතයන් වහන්සේගේ නුවණට ඔවුන්ට ඇත්තා වූ මහාදුඃඛස්කන්ධය පෙනෙන බැවින් සකල සත්ත්වයන් ගැන ම උන් වහන්සේට කරුණාව ඇති වේ. එක් එක් සත්ත්වයකුට ඇති මහත් වූ දුක්ඛස්කන්ධයක් පෙනෙන බැවින් එක් එක් සත්ත්වයකු සම්බන්ධයෙන් ම මහත් වූ කරුණාවක් තථාගතයන් වහන්සේට ඇති වේ. ඒ කරුණාව දුක් දන්නා නුවණ අනුව ඇති වන බැවින් නුවණ පමණට ම තථාගතයන් වහන්සේගේ කරුණාවද මහත් වන්නේ ය. තථාගතයන් වහන්සේ විසින් සත්ත්වයන්ගේ දුක් එකුන්අනූ අයුරකින් දක්නා බව පටිසම්භිදාමග්ගයේ දක්වා තිබේ. ඒ ඒ ආකාරයෙන් සත්ත්වයන්ගේ දුක් බලා උන් වහන්සේ මහා කරුණාසමාපත්තියට සමවදිති. මහාකරුණාසමාපත්තිය යනු දුඃඛිත සත්ත්වයන් අරමුණු කරන කරුණාධ්‍යානය ය. අනේකාකාරයෙන් දුක් දන්නා වූ කරුණාධ්‍යානයට හේතු වන ඥානයන් කරුණාධ්‍යාන චිත්තසම්ප්‍රයුත්ත ඥානයත් මහාකරුණාසමාපත්තිඥානය ය.

තමන් වහන්සේගේ විමුක්තිය සඳහා කළ යුතු සියල්ල නිමවා සිටින්නා වූ අනේක සමාපත්තිලාභී වූ භාග්‍යවතුන් වහන්සේට ලෝකය ගැන සෙවීමක් නො කොට ධ්‍යානසමාපත්ති ඵලසමාපත්ති නිරෝධසමාපත්ති සුඛයන් රිසි සේ වළඳමින් එක් තැනකට වී බ්‍රහ්මරාජයකු සේ කල් යැවිය හැකි ය. තමන් වහන්සේ කෙරෙහි පැවති මහා කරුණාව නිසා තථාගතයන් වහන්සේ ආත්මාර්ථය පමණක් සලකා ගෙන නො සිට පරහිත කරණයෙහි නිරත වූහ. උන් වහන්සේ ජනයාට සෙත සලසනු පිණිස වර්ෂයකට සාරමස පස්මස සමස සත්මස අටමස බැගින් දනව් සැරිසරා වැඩම කළහ. ඇතැම් වර්ෂවල නව මසක් ම දනව් සැරිසරා වැඩම කළහ. මහාමණ්ඩලය මධ්‍යමණ්ඩලය අන්තෝමණ්ඩලයයි තථාගතයන් වහන්සේ දනව් සැරිසරා වඩනා මාර්ග තුනක් ඇත්තේ ය. ඉන් මහාමණ්ඩලය යොදුන් නවසියයකි. මධ්‍යමණ්ඩලය යොදුන් සසියයකි. අන්තෝමණ්ඩලය යොදුන් තුන්සියයකි. තථාගතයන් වහන්සේ ජනයාට අනුග්‍රහ කරමින් ඒ මාර්ගවල දිනකට යොදුන අඩ යොදුන බැගින් ගමන් කළ සේක.

ජනානුග්‍රහයේ දී තථාගතයන් වහන්සේට සතුරු මිතුරු වෙනසක් නැත. උන් වහන්සේ සතුරන්ට ද අනුකම්පා කරන්නාහ. බුදුරජාණන් වහන්සේ ගිජුකුළු පව්වෙහි වැඩ වෙසෙන අවස්ථාවක උන් වහන්සේ මැරීම සඳහා දෙව්දත් දුනුවායකු යැවීය. ඔහු බුදුරදුන් විඳිනු පිණිස ඊය දුන්නෙහි තබා දුනුදිය ඇද්දේ ය. බුදුරදුන්ගේ ජීවිතය කවරකුටත් උපක්‍රමයකින් නැසිය නො හැකි ය. බුද්ධශරීරය උන් වහන්සේ නො කැමැත්තෙන් තුවාල කළ නො හැකිය. දුනුදිය ඇද්දා මිස දුනුවායාට එය නො හළ හැකි විය. ඔවුන්ගේ ශරීරය ගල් ගැසුණේ ය. යන්ත්‍රයක් ලා අඹරන කලෙක මෙන් ඔහුගේ ශරීරයෙහි දුඃඛවේදනා හටගති. ඔහුට මහා භයක් ඇති විය. තථාගතයන් වහන්සේ ඔහු දැක කාරුණික මවක් දරුවකු අමතන්නාක් මෙන් “බිය නො වෙව, මෙහි එව”යි මෘදු ලෙස අමතා වදාළහ.

එකල්හි ධනුර්ධරයා ආයුධ ඉවත දමා භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් වැඳ වැටී “ස්වාමීනි, නො දැනීම නිසා මා අතින් වරදක් සිදුවිය. මෝඩ වූ මම නුඹ වහන්සේගේ ගුණ නො දැන දෙව්දත්ගේ කීමට නුඹ වහන්සේ මරන්නට ආමි. ස්වාමීනි, මට ක්ෂමා වුව මැනව”යි කියා සමීපයෙහි වාඩි විය. සතුරාට ද නො වෙනස්ව අනුකම්පා කරන්නා වූ මහාකාරුණිකයන් වහන්සේ ධර්මදේශනයෙන් ඔහු සෝවාන් ඵලයෙහි පිහිටවා “දේවදත්ත කී මඟින් නො ගොස් අන් මඟකින් යව”යි කියා ඔහු පිටත් කළහ. තථාගතයන් වහන්සේ මැරීම සැඟවීම පිණිස, බුදුනට විද එන ධනුර්ධරයා විද මැරීම සඳහා දෙව්දත් විසින් නවත්වන ලද ධනුර්ධරයන් දෙදෙනෙක් ඔහු එනු බලා මඟරැක සිටියෝ ය. බුදුන් වහන්සේ ඔහුට අන් මඟකින් යන්නය යි වදාළේ ඒ නිසා ය. මහාකාරුණිකයන් වහන්සේ තමන් මරන්නට ආ සතුරාගේ ජීවිතය රැක දුන්හ. බෝසත් කාලයේදී ද උන්වහන්සේ නොයෙක් වර සතුරන්ට යහපත සිදු කර ඇත්තේ ය.

මහාකාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ දිනකට දෙවරක් මහා කරුණාසමාප්තියෙන් නැඟී ලොව බලා වදාරන්නාහ. අලුයම චක්‍රවාටාන්තයේ පටන් ගඳකිලි දොරකඩ දක්වා නුවණ පතුරවා ලොව බලන සේක. සවස් කාලයේ ගඳකිළි දොරකඩ පටන් චක්‍රවාටාන්තය දක්වා ලොව බලා වදාරන්නාහ. එසේ බලා වදාරා ඒ ඒ දිනයෙහි උපකාර කළ හැකි පුද්ගලයන්ට කොතෙක් දුර වුව ද ගොස් උන් වහන්සේ උපකාර කරන සේක.