විතර්ක සූත්‍ර‍ය

“මා භික්ඛවේ, පාපකේ අකුසලේ විතක්කේ විතක්කෙය්‍යාථ. සෙය්‍යථිදං? කාමවිතක්කං ව්‍යාපාද විතක්කං විහිංසාවිතක්කං. තං කිස්ස හේතු? නේතේ භික්ඛවේ, විතක්කා අත්ථසංහිතා නාදිබ්‍ර‍හ්මචාරියකා, න නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති.

විතක්කෙන්තා ච තුම්හේ භික්ඛවේ, “ඉදං දුක්ඛ” න්ති විතක්කෙය්‍යාථ. “අයං දුක්ඛසමුදයෝ” ති විතක්කෙය්‍යාථ. “අයං දුක්ඛනිරෝධෝ” ති විතක්කෙය්‍යාථ. “අයං දුක්ඛනිරෝධගාමිනීපටිපදා” ති විතක්කෙය්‍යාථ. තං කිස්ස හේතු? ඒතේ භික්ඛවේ. විතක්කා අත්ථසංහිතා, ඒතේ ආදිබ්‍ර‍හ්මචරියකා, එතේ නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති.

තස්මාතිහ භික්ඛවේ, “ඉදං දුක්ඛ” න්ති යෝගෝ කරණීයෝ. “අයං දුක්ඛසමුදයෝ” ති යෝගෝ කරණීයෝ. “අයං දුක්ඛ නිරෝධෝ” ති යෝගෝ කරණීයෝ අයං දුක්ඛනිරෝධගාමිනී පටිපදා” ති යෝගෝ කරණීයෝ.”

(සච්චසංයුත්ත සමාධිවග්ග)

තේරුම :-

මහණෙනි, තෙපි ලාමක වූ අකුසල කල්පනාවන් කල්පනා නො කරවු. ඒවා කවරහු ද? කාමවිතර්කය - ව්‍යාපාද විතර්කය - විහිංසා විතර්කය යන මේවාය. ඒවා කල්පනා නො කළ යුත්තේ කුමක් හෙයින් ද? මහණෙනි, ඒ විතර්කයෝ අර්ථය පිණිස නො වන්නාහු ය, මාර්ග බ්‍ර‍හ්මචර්‍ය්‍යාවෙහි ආදිය වූ ප්‍ර‍තිපදාව නො වන්නාහ. සසර කලකිරීම පිණිස ද, රාගය දුරු වීම පිණිස ද, රාගාදීන්ගේ නිරෝධය පිණිස ද, රාගාදීන් ගේ සන්සිඳීම පිණිස ද, ආර්‍ය්‍යසත්‍යයන් දැන ගැනුම පිණිස ද, සතර මාර්ග ඥානයන් පිණිස ද, නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස ද නොපවත්නා හ. (හේතු නො වන්නා හ.)

මහණෙනි, කල්පනා කරන්නා වූ තෙපි “මේ දුක්ඛ ය” යි කල්පනා කරවු. “මේ දුක්වලට හේතුය” යි කල්පනා කරවු. “මේ දුක්වල නිවීමය” යි කල්පනා කරවු. “මේ නිවනට පැමිණීමේ ප්‍ර‍තිපදාවය” යි කල්පනා කරවු. එසේ කළ යුත්තේ කුමක් හෙයින් ද? මහණෙනි, ඒ කල්පනාවෝ අර්ථය පිණිස පවත්නෝ ය, මාර්ගබ්‍ර‍හ්මචර්‍ය්‍යාවේ ආදිය වූ ප්‍ර‍තිපදාව පිණිස ද පවත්නෝ ය. ඒ කල්පනාවෝ සසර කලකිරීම පිණිස රාගය දුරුවීම පිණිස, රාගාදීන් සන්සිඳීම පිණිස, ආර්‍ය්‍යසත්‍යයන් දැන ගැනීම පිණිස, සතර මාර්ග ඥානයන් පිණිස ද නිර්වාණය ප්‍ර‍ත්‍යක්ෂ කරණය පිණිස ද පවත්නා හ.

මහණෙනි, එබැවින් මේ දුකය කියා දැන ගැනීමට උත්සාහ කරවු. මේ දුක් ඇති වීමේ හේතුවය කියා දැන ගැනීමට උත්සාහ කරවු. මේ දුක් නිවීමය කියා දැන ගැනීමට උත්සාහ කරවු. මේ දුක් නිවීමට පැමිණීමේ ප්‍ර‍තිපදාවය කියා දැන ගැනීමට උත්සාහ කරවු.