සංසාරය

පැවිදි වන්නේ සංසාරය දුක බැවින් එයින් එතෙර වීම, මිදීම පිණිස ය. භික්ෂු යන වචනයේ තේරුමත් සංසාර දුඃඛය තේරුම් ගෙන සිටින තැනැත්තාය යනුයි. සංසාර භය අමතක වීම ද පැවිද්දන්ට බාධාවෙකි. සංසාර දුඃඛය සිතන්න සිතන්න මහණදම් පිරීමේ උනන්දුව වැඩි වේ. එබැවින් පැවිද්දන් විසින් සංසාර තත්ත්වය වරින් වර සිහි කළ යුතු ය.

කොතෙක් වර මළත් නැවත නැවත ඉපදීම් වශයෙන් නො සිඳී පවත්නා වූ ස්කන්ධ පරම්පරාව සංසාර නම් වේ. නැවත නැවත මැරෙමින් උපදිමින් නො සිඳී පවත්නා වූ භව පරම්පරාව සංසාරය යි ද කිය හැකි ය. මේ සංසාරය ඉතා දීර්ඝ එකකි. අසවල් කාලයෙන් ඔබ මේ සත්ත්වයෝ නො විසූහ. මේ සත්ත්වයන් ඇති වූයේ අසවල් කාලයේ පටන් ය කියා දැක්වීමට කාලයක් නැත. එබැවින් තථාගතයන් වහන්සේ මේ සංසාරය පටන් ගැනීම් වශයෙන් මුලක් ඇතියක් නො වන බව වදාළ සේක. ඉතා දීර්ඝ වූ මේ සංසාරයෙහි සත්ත්වයකුට නිත්‍ය වශයෙන් ජීවත් විය හැකි භවයක් නැත. කොතැනක උපනත් මරණයෙන් ඒ භවයෙන් පහවන්නට සිදු වන්නේ ය. මරණයට පැමිණෙන සත්ත්වයකුට සුගතියක උපදින්නට ලැබෙන්නේ ද කලාතුරකිනි. මැරෙන සත්ත්වයන් බෙහෙවින් උපදින්නේ දුර්ගතිවලම ය.

දිනක් තථාගතයන් වහන්සේ නිය පිට පස් ස්වල්පයක් තබා භික්ෂූන් අමතා, “මහණෙනි, මේ පොළොවෙහි ඇති පස්වලිනුත් මගේ නිය පිට ඇති පස්වලිනුත් කවරක් වැඩිදැ” යි විචාළ සේක. භික්ෂූහු “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ ගේ නිය පිට ඇති පස ඉතා ස්වල්පයකි. මහ පොළොවේ පස් ඉතා බොහෝ ය” යි සැල කළහ. එකල්හි තථාගතයන් වහන්සේ “මහණෙනි, මගේ නිය පිට ඇති පස මඳ වන්නාක් මෙන් මිනිස් ලොවින් ච්‍යුත ව මිනිස් ලොව නැවත උපදනා සත්ත්වයෝ මඳ වන්නාහ. මිනිස් ලොවින් ච්‍යුත ව නැවත නරකයෙහි උපදනා සත්ත්වයෝ ම බොහෝ වන්නාහ” යි වදාළ සේක. සුගතියෙහි උපදනා සත්ත්වයන් මඳ බව ලෝකය දෙස බැලීමෙන් ද ප්‍ර‍ත්‍යක්ෂ කර ගත හැකි ය. මේ ලෝකයෙහි අපේ ඇස්වලට නො පෙනෙන සත්ත්වයෝ ද බොහෝ ය. අපේ ඇසට පෙනෙන සත්ත්වයන් ගැනම බැලුම ද මිනිසුන් කීප දෙනකුන් ජීවත් වන අක්කරයක් දෙකක් තරම ඉඩමක මුළු ලොව ම ඉන්නා මිනිසුන් තරමේ තිරිසන් සත්ත්ව සමූහයක් ඇති බව දැකිය හැකි ය. තිරිසන් සත්ත්වයෝ දුර්ගතියට අයත් සත්ත්වයෝ ය. තිරිසන් සත්ත්වයන් එතරම් බහුල වී ඇත්තේ දුර්ගතියෙහි උපදනා සත්ත්වයන් බහුල නිසා ය. සත්ත්වයනට බොහෝ සෙයින් දුර්ගතියෙහි ම උපදින්නට සිදු වන බැවින් එක් පුද්ගලයකුට අතීත සංසාරයේ දී තිරිසන් යෝනියෙහි උපදින්නට සිදුවූ වාර ගණන කිසි ලෙසකින් ප්‍ර‍මාණ කළ නොහැකි ය. ප්‍රේත ව උපදින්නට සිදු වූ වාරත් සඤ්ජීවාදි මහානරකයන්හි උපදින්නට සිදුවූ වාරත් මෙතෙකැයි කවරාකාරයකින්වත් ප්‍ර‍මාණ නො කළ හැකි ය. සංසාරයේ නපුර වැඩිදුරටත් අනමතග්ග සංයුත්තයෙහි වදාරා ඇති මතු දැක්වෙන දේශනා අනුව සලකා ගත යුතු ය.

“යං භික්ඛවේ, පස්ස්‍යොථ දුග්ගතං දුරූපේතං නිට්ඨමෙත්ථ ගන්තබ්බං. අම්හේපි ඒවරූපං පච්චනුභූතං ඉමිනා දීඝෙන අද්ධුනාති.”

“මහණෙනි, තෙපි විකාර අත්පා ආදිය ඇති බැවින් විරූප වූ දිළිඳු වූ යම් අයකු දක්නහු ද, එකල්හි තොප විසින් මේ දීර්ඝ වූ සංසාරයෙහි අපිත් මෙසේ ම සිටියෙමුය” යි විනිශ්චයට පැමිණිය යුතු ය.

“එතදේව භික්ඛවේ, බහුතරං යං වෝ ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං අමනාප සම්පයෝගා මනාප විප්පයෝගා කන්දන්තානං රුදන්තානං අස්සු පස්සන්දං පග්ඝරිතං නත්වේව චතුසු මහාසමුද්දේසු උදකං.”

“මහ‍ණෙනි, මේ දීර්ඝ වූ කාලය මුළුල්ලෙහි සසර සැරි සරන්නා වූ තොප අමනාප සම්ප්‍රයෝගයෙන් හා මනාප විප්‍රයෝගයෙන් වගුළ කඳුළු ඉතා බොහෝ ය. සතර මහා සාගරයේ ජලය ඒ කඳුළට අඩු ය.

“දීඝරත්තං වෝ භික්ඛවේ, මාතු මරණං පච්චනුභූතං තේසං වෝ මාතුමරණං පච්චනුභොන්තානං අමනාප සම්පයෝගා මනාපවිප්පයෝගා කන්දන්තානං රුදන්තානං අස්සු පස්සන්දං පග්ඝරිතං, නත්වේව චතුසු මහා සමුද්දේසු උදකං.”

“මහණෙනි, තොප විසින් දීර්ඝ කාලයක් මාතෘමරණයෙන් වන දුක විඳින ලද්දේ ය. මාතෘමරණ දුඃඛය විඳින්නා වූ ඒ තොප අමනාප සම්ප්‍රයෝගයෙන් මනාප විප්‍රයෝගයෙන් හඬා වගුළ කඳුළු බොහෝ ය. සතර මහා සාගරයේ ජලය ඒ කඳුළට මඳ ය.”

“දීඝරත්තං වෝ භික්ඛවේ, පිතුමරණං පච්චනුභූතං - පෙ - භාතු මරණං පච්චනුභූතං -පෙ- භගිනි මරණං පච්චනුභූතං -පෙ- පුත්තමරණං පච්චනුභූතං -පෙ- ධීතුමරණං පච්චනුභූතං -පෙ- ඤාතිව්‍යසනං පච්චනුභූතං -පෙ- රෝගව්‍යසනං පච්චනුභූතං, තේසං වෝ රෝගව්‍යසනං පච්චනුභොන්තානං අමනාප සම්පයෝගා මනාපවිප්පයෝගා කන්දන්තානං රුදන්තානං අස්සු පස්සන්දං පග්ඝරිතං නත්වේව චතුසු මහාසමුද්දේසු උදකං.”

“මහණෙනි, තොප විසින් දීර්ඝ කාලයක් පිතෘ මරණයෙන් වන දුක අනුභව කරන ලද්දේ ය, භාතෘ මරණයෙන් වන දුක අනුභව කරන ලද්දේ ය, භගිනි මරණයෙන් වන දුක අනුභව කරන ලද්දේ ය, පුත්‍ර‍ මරණයෙන් වන දුක අනුභව කරන ලද්දේ ය, දුහිතෘ මරණයෙන් වන දුක අනුභව කරන ලද්දේ ය, ඥාති ව්‍යසනයෙන් වන දුක අනුභව කරන ලද්දේ ය, රෝග ව්‍යසනයෙන් වන දුක අනුභව කරන ලද්දේ ය, ඒ තොප විසින් රෝගව්‍යසනයෙන් වන දුක අනුභව කරන ලද්දේ, අමනාප සම්ප්‍රයෝගයෙන් මනාප විප්‍රයෝගයෙන් හැඬීමෙන් වගුළ කඳුළු බොහෝ ය. සතර මහා සාගරයේ ජලය මඳය.”

“එතදෙව භික්ඛවේ බහුතරං යං වෝ ඉමිනා දීඝෙන අද්ධුනා සන්ධාවතං සංසරතං සච්ඡින්නානං ලෝහිතං පස්සන්දං පග්ඝරිතං නත්වේව චතුසු මහා සමුද්දේසු උදකං.”

“මහණෙනි, මේ සා දීර්ඝ කාලයක් සසර සැරිසැරූ තොප ගේ ශරීරවලින් හිස සුන් කරනු ලැබූ ජාතිවල දී ගලාගිය යම් ලෙයක් වේ ද එය ම බොහෝ වන්නේ ය. සතර මහා සාගරයේ ජලය එ පමණ නො වන්නේ ය. ”

“දීඝරත්තං වෝ භික්ඛවේ. ගුණ්ණං සතං ගෝ භූතානං සීසච්ඡින්නානං ලෝහිතං පස්සන්දං පග්ඝරිතං නත්වේව චතුසු මහා සමුද්දේසු උදකං. දීඝරත්තං වෝ භික්ඛවේ මහිසානං සතර මහිසභූතානං -පෙ- අජානං සතං අජභූතානං -පෙ- උරබ්භානං සතං උරබ්භභූතානං -පෙ- මිගානං සතං මිගභූතානං -පෙ- සූකරානං සතර සූකරභූතානං -පෙ- කුක්කුටානං සතං කුක්කුටභූතානං -පෙ- දීඝරත්තං වෝ චෝරා ගාමඝාතකාති ගහෙත්වා සීසච්ඡින්නානං ලෝහිතං පස්සන්දං පග්ඝරිතං. දීඝරත්තං වෝ භික්ඛවේ චෝරා පාරිපන්ථිකාති ගහෙත්වා -පෙ- චෝරා පාරිදාරිකාති ගහෙත්වා සීසච්ඡින්නානං ලෝහිතං පස්සන්දං පග්ඝරිතං නත්වේව චතුසු මහාසමුද්දේසු උදකං.”

“මහණෙනි, මේ දීර්ඝ කාලයේ තොප ගව ව ඉපද ගෙළ සිඳිණු ලැබූ අවස්ථාවල දී තොප ගේ ශරීරවලින් ගලා ගිය ලෙය ඉතා බොහෝ ය, සතර මහා සාරයේ ජලය මඳය. මීමුන් ව උපන් අවස්ථාවලදී, එළු ව උපන් අවස්ථාවල දී, මුව ව උපන් අවස්ථාවලදී, හූරු ව උපන් අවස්ථාවල දී, කුකුළු ව උපන් අවස්ථාවල දී, හිස සිඳිණු ලැබීමෙන් ගලා ගිය ලෙය බොහෝ ය. සතර මහා සාගර යේ ජලය මඳය. ගම් පහරන සොරුය කියා අල්ලා හිස සිඳිණු ලැබූ අවස්ථාවල දී, මං පහරන සොරුය කියා අල්ලා හිස සිඳිණු ලැබූ අවස්ථාවල දී, පාරදාරිකයෝ යයි අල්ලා හිස සිඳිණු ලැබූ අවස්ථාවල දී තොප ගේ ශරීරවලින් ගලා ිය ලෙය බොහෝ ය. සතර මහා සාගරයේ ජලය මඳය” යනු එහි අදහස ය.

හොඳින් මහණ දම් පුරා අර්හත්මාර්ග ඥානය උපදවා සසර නැවත නැවත ඉපදීමට හේතු වන තෘෂ්ණාව නො නැසුව හොත් මේ දුක්ඛස්කන්ධ ඉදිරියටත් මෙසේ ම පවත්නේ ය. මේ භයානක දුක්ඛයෙන් මිදෙනු කැමැත්තෝ මැනවින් මහණදම් පුරා සංසාර දුක්ඛයාගේ නිවීම වූ නිවනට පැමිණෙත්වා!