ගිහි සැපය හා පැවිදි සැපය

ද්වේමානි භික්ඛවෙ, සුඛානි. කතමානි ද්වෙ? ගිහීසුඛඤ්ච පබ්බජ්ජා සුඛඤ්ච, ඉමානි ඛො භික්ඛවෙ, ද්වෙසුඛානි. එතදග්ගං භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං සුඛානං යදිදං පබ්බජ්ජා සුඛං.

යනුවෙන් තථාගතයන් වහන්සේ ගිහි සැපය හා පැවිදි සැපය කියා සැප දෙකක් ඇති බවත් එයින් පැවිදි සැපය අග්‍ර‍ බවත් වදාළ සේක.

බොහෝ මිල මුදල් ඇති ව, ලොකු වතු කුඹුරු ඇති ව, ඉඩකඩ ඇති ලස්සන ගෙවල් ඇති ව, හොඳ ඇඳ පුටු මේස ආදි ගෘහ භාණ්ඩයන් ඇති ව, පහසුවෙන් හා වේගයෙන් යා හැකි හොඳ මොටෝරිය ඇති ව, ශෝභන තරුණ භාර්‍ය්‍යාවන් ඇති ව, ප්‍රියංකර දූ දරුවන් ඇති ව, පොහොසත් නෑ මිතුරන් ඇති ව, හොඳ ඇඳුම් පැළඳුම් කෑම් බීම් ඇති ව, උසස් තනතුරු උසස් රස්සාවල් ඇති ව වාසය කරන්නවුන්ට ඒවායින් ලැබෙන සැපය ගිහි සැපය ය. කාම සැපය කියන්නේ ද එයටම ය. ඒ ගිහි සැපය උසස් ලෙස නො ලැබුවත් එක්තරා ප්‍ර‍මාණයකින් හැම දෙනා ම ලබති. මිනිසුන් පමණක් නොව තිරිසන්නු ද ඒ කාම සැපය ලබති. ඔවුහු ද එක් වී මිනිසුන් සේම ඔවුන් ගේ කාම පරිළාභය සන්සිඳවා ගනිති. දූ දරුවන් පෝෂණය කරති. ගෙවල් සාදා ගනිති. කෙසේ හෝ ආහාරපාන සපයා ගෙන ජීවත් වෙති. ධර්මය නො දත් අඥ ජනයා විසින් ඒ කාම සැපය උසස් කොට සැලකුවත් එහි උසස් බවක් නැත. එය හීන සැපයෙකි. ඒ කාම සැපය බොහෝ දුක් සහිත වූ ද බොහෝ අන්තරාය සහිත වූ ද සැපයෙකි. භාර්‍ය්‍යාවක් ඇති පුරුෂයකු හට ඇය පෝෂණය කිරීම සඳහා ඇය සතුටු කිරීම සඳහා රෑ දාවල් දෙක්හි වැඩ කොට බොහෝ වෙහෙසෙන්නට සිදු වන්නේ ය. කොතෙක් වෙහෙසී ධන සැපයීම කළත් ඇගේ වුවමනා සියල්ල සම්පූර්ණ කරන්නට නො හැකි වන්නේය. අඩු පාඩු පිළිබඳ කන් දොස්කිරියාව ඒ පුරුෂයාට සෑමදාම ඇත්තේ ය. කොතෙක් ධනය සපයා දුන්නත් භාර්‍ය්‍යාවන් සතුටු කිරීම දුෂ්කර ය. මුල් කාලයේ දී භාර්‍ය්‍යාව හිමියාට බොහෝ ප්‍රේම කරන්නී ය. සැමියාට ජීවිතය වුවත් දෙන්නට කථා කරන්නීය. බොහෝ පුරුෂයෝ එයට රැවටෙති. ප්‍රේමය ස්ථිර දෙයක් නො වේ. පරණ වත් වත් ම ඇගේ ප්‍රේමය ලිහිල් වන්නේ ය. එයින් හිමියා ගැන බිරියගේ සැලකිල්ල ද කෙමෙන් අඩු වන්නේ ය. ඇගේ සිතට අල්ලන අන් පුරුෂයකු මුණ ගැසුණ හොත් පරණ සැමියා ගැන පැවති ඇගේ ප්‍රේමය ඉක්මනින්න ම කෙළවර වන්නේ ය. ඉන් පසු ඈ නොයෙක් අයුරින් සැමියාට කරදර කරන්නට පටන් ගන්නීය. සමහර විට හිමියා මරන්නට පවා උපක්‍ර‍ම යොදන්නීය. සමහර පුරුෂයන්ට භාර්‍ය්‍යාවන් ගේ උපක්‍ර‍මවලින් මැරෙන්නට ද සිදු වන්නේ ය. මේ භාර්‍ය්‍යාව නැමති කාම වස්තුව සම්බන්ධයෙන් ඇති වන දුඃඛස්කන්ධය ය. සෑම කාම වස්තුවක් සම්බන්ධයෙන්ම මෙ බඳු දුඃඛස්කන්ධයක් ඇත්තේ ය. කාම වස්තූන් සඳහා ජනයා අතර මහ පොරයක් ඇත්තේ ය. එක් වස්තුවක් තමතමන්ට අයත් කර ගැනීමට දහසක් දෙනා බලාපොරොත්තු වෙති. එක් අයකු අයිති කර ගෙන සිටිය ගෙන වත්ත කුඹුර මුදල් ටික බඩු ටික ඉඩක් ලැබෙතොත් පැහැර ගන්නට බලාපොරොත්තු වන අය දහස් ගණනින් ඇත්තේය. එබැවින් වෙහෙසී මිල මුදල් ආදිය සපයා ගත් තැනැත්තාට ඒවා පරෙස්සම් කර ගැනීමට ද බොහෝ වෙහෙසෙන්නට සිදු වන්නේ ය. එපමණක් නොව බොහෝ පව්කම් කිරීමට ද සිදු වන්නේ ය. කාම වස්තූන් අයත් කර ගෙන පවත්වන ගිහි ජීවිතය පවින් තොර ව පැවැත්වීමට දුෂ්කර ය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත්තේ ය.

“ඝරානා නීහමානස්ස ඝරානා භනතො මුසා,

ඝරානා දින්නදණ්ඩස්ස පරෙසං අනිකුබ්බතො.”

නො ලැබූ වස්තුව ලැබීම සඳහාත් ලැබූ වස්තුව පරෙස්සම් කර ගැනීම සඳහාත් උත්සාහ කිරීම් වශයෙන් දුක් නො ගන්නා වූ තැනැත්තාටත්, මිල මුදල් කෙත් වතු ආදිය සඳහා බොරු නො කියන තැනැත්තාටත් සොර සතුරු ආදීන්ට දඬුවම් නොකරන තැනැත්තාටත්, කපටි කමින් අනුන් රැවටීම නො කරන තැනැත්තාටත්, ගිහි ජීවිතය නොපැවැත්විය හැකි බව මේ ගාථාවෙන් දැක්වේ.

ගිහි ජීවිතය පවත්වන්නට යන තැනැත්තාට බොරු කීම් ආදි නොයෙක් පව්කම් කරන්නට සිදු වන්නේ ය. වස්තුව සැපයීම සඳහා පව් නො කරන පවින් වැළකී විසීමට උත්සාහ කරන තැනැත්තාගේ සිත ද තමාගේ දෙය අනුන් පැහැර ගන්නට තැත් කරන කල්හි කෝපය ඇති වී හදිසියේ ම පවට නැමෙන්නේ ය. ඇතමුන් අතර කොස්ගෙඩි පොල්ගෙඩි ආදි සුළු දේවලට මිනී මරා ගැනීම් පවා සිදු වන්නේ ඒ නිසා ය. කාම වස්තූන් අයත් කරගෙන ඉන්නා අයට නොයෙක් විට ඒවා පැහැර ගන්නට එන අය හා කෝලාහල කොට තුවාල ලැබීමෙන් දුකට පත්වන්නට සිදු වන්නේ ය. නඩුවලට හසු වී බොහෝ කරදර විඳින්නට සිදු වන්නේ ය. අනුන් ට පහරදීම් වශයෙන් පව්කම් කොට මරණින් මතු අපාගත වන්නට ද සිදු වන්නේ ය. කාම වස්තූන් සැපයීමත් දුකෙකි. ලැබූ පසු ඒවා පරෙස්සම් කිරීමත් දුකෙකි. අන්තරාය සහිත කරුණෙකි. බොහෝ දෙනා ඒවා නිසා පව්කම් කොට මරණින් මතු අපායට ද යෙති. එබැවින් කාමයන්හි ඇති නපුර තේරුම් ගත් නුවණැතියෝ ඒවා හැර ගිහි භූමියෙන් ඉවත් ව පැවිදි වන්නාහ. කාමයන් ගෙන් වන නපුර තේරුම් ගැනීමට තරම් නුවණ නැත්තා වූ කෙලෙසුන්ට වසඟ වන්නා වූ පුද්ගලයෝ කාමයන්හි ඇලී ගැලී සිට මෙලොව ද දුක් වී මරණින් මතු අපායට ද වැටෙන්නාහ.

අඹු දරු කෙත් වතු මිල මුදල් ආදි කාම වස්තුව නිසා ද තණ්හාව නිසා ද තාඩන පීඩනවලට වධබන්ධන වලට හසුවීම් වශයෙන් වන්නා වූ දුඃඛස්කන්ධය තණ්හාව දුරු කොට කාම වස්තූන් කෙරෙන් බැහැර ව වාසය කරන පැවිද්දාට නැත. ඒ විවේක සුවය පැවිදි සැපය ය. මෛත්‍රී කරුණා සමාධ්‍යාදි ගුණධර්ම ඇති කර ගැනීමෙන් ලැබෙන්නා වූ චිත්තසුඛය ද පැවිදි සැපය ය.

මේ පැවිදි සැපය වනාහි තිරිසනුන්ටත් සාධාරණ ගිහි සැපය සේ සැමදෙනා විසින් ලැබිය හැකි සැපයක් නොවේ. එම කාමයන් ගේ ලාමක බව දුක් සහිත බව දැකීමට සමත් නුවණක් ඇත්තා වූ ද තණ්හා මානාදි කෙලෙසුන් තුනී කර ගත්තා වූ හෝ කෙලෙසුන් සම්පූර්ණයෙන් බැහැර කළා වූ හෝ උසස් අදහස් ඇති පුද්ගලයන් විසින් පමණක් ලබන සැපයෙකි. පැවිදි ව විසුවත් කෙලෙසුන්ට වසඟව නුවණ මඳ පැවිද්දන්ට මේ පැවිදි සැපය ලැබෙන්නේ නැත. ඔවුහු පැවිදිසැපය කුමක් ද කියා තේරුම් ගැනීමටවත් සමත් නො වෙති. කෙලෙසුන්ට වසඟ ව ඉන්නා නුවණ මඳ ගිහි පැවිදි කාටත් වැටහෙන්නේ පැවිදි සැපය නපුරක් ලෙසත් දුකක් ලෙසත් ය. පැවිද්ද සැප වන්නේ තණ්හා මානාදි කෙලෙසුන් තුනී කරගත් අයට පමණෙකි. යමෙක් යම් පමණකට කෙලෙස් අඩු කර ගත්තේ ද ඒ තරමට ඒ තැනැත්තාට පැවිද්ද සැප වන්නේ ය. මහාකප්පින රජතුමා පැවිදි වීමෙන් පසු ගිය ගිය තැන “අහෝ සුඛං අහෝ සුඛං” යි උදන් අනමින් විසූයේ ය. එසේ උදන් ඇනීම කෙළේ රජකම් කරද්දී තිබූ සුවයට වඩා උසස් සුවයක් පැවිදි වීමෙන් පසු ලැබූ නිසා ය.

එක් කලෙක අප මහ බෝසතාණන් වහන්සේ බරණැස් නුවර බ්‍ර‍හ්මදත්ත නමින් රජ ව පසේබුදුවරුන් ගෙන් දහම් අසා කාමයන් ගැන අපේක්ෂාව හැර කාමරයකට වී භාවනා කොට තමන් වහන්සේ ලද සතුටත් සැපයත් -

“ධීරත් ථු සුබහු කාමෙ දුග්ගන්ධෙ බහුකණ්ඨකෙ,

යෙ අහං පතිසෙවන්තො න ලභිං තාදිසං සුඛං.”

යනුවෙන් පැවසූහ. “දුගඳ ඇත්තා වූ බොහෝ සතුරන් ඇත්තා වූ මේ බොහෝ වූ කාම වස්තූන්ට නින්දා වේවා, ඒ කාමයන් සේවනය කළා වූ මම එයින් මෙබඳු සැපයක් නො ලදිමි ය” යනු එහි තේරුම ය. මිනිස් ලොව උසස් ම කම් සැප ඇත්තේ රජවරුන්ට ය. උසස් කම් සැප ලබා සිටි රජුන් ඒ කම් සැපයට වඩා උසස් කොට පැවිදි සැපය වර්ණනා කර තිබීමෙන් සලකා ගන්නට තිබෙන්නේ එය ලෝකයේ උසස් ම සැපය කියාය. නුවණැත්තෝ ඒ උසස් පැවිදි සැපය ලබන්නාහ.

නගරග්‍රාමවල ක්‍ර‍මානුකූල ව තැනූ ඉඩකඩම් ඇති ලස්සන ආවාස ගෘහවල වෙසෙන උසස් ඇඳ පුටු මේස ආදි භාණ්ඩ පරිභෝග කරන, ප්‍ර‍ණීත ආහාර පාන ලබන මහජනයාගෙන් ගරු බුහුමන් පැසසුම් ලබන, උසස් රථවලින් ගමන් කරන, උසස් තනතුරු දරන, සියල්ල ම කර දෙන සේවකයන් ඇති පැවිද්දෝ ද වෙති. ගරු බුහුමන් පැසසුම් මඳ වුව ද හොඳ වාසස්ථාන ඇති කෙත් වතු ඇති යාන වාහන ඇති බොහෝ මිල මුදල් ඇති පැවිද්දෝ ද වෙති. ඔවුහු ද එක්තරා සැපයක් ලබන්නෝ ය. එහෙත් ඔවුන් ලබන සැපය පැවිදි සැපය නොවන බව කිය යුතු ය. ඒ පැවිද්දන් දැක ඒ තත්ත්වය පතා පැවිදි වෙනවා නම් එය වැරදි මඟක් ගැනීම ය. එබඳු තත්ත්වයන් නැති පැවිද්දන් විසින් ඒ ගැන කණගාටු වී ඒ තත්ත්වය ලබන්නට උත්සාහ කිරීමත් වැරදි මගක් ගැනුම ය. උසස් වාසස්ථාන ප්‍ර‍ණීත භෝජනාදිය දැහැමින් ලැබේ නම් ඒවා පිළිගැනීමෙන් පරිභෝග කිරීමෙන් වන වරදක් ද නැත. වරද වන්නේ ඒවාට ගිජු වීම ය. අයත් කර ගෙන ඉන්නා වස්තූන් අඩු තරමට පැවිදි සැපය වඩ වඩා ලැබෙන්නේ ය. පරිභෝග කරන වස්තූන් වැඩි කර ගත් තරමට පැවිදි සැපය අඩු වන්නේ ය. පැවිදි සැපය ලබන්නට නම් ලද දෙයින් සතුටු වන්නට පුරුදු කර ගත යුතු ය. එය උසස් ශ්‍ර‍මණ ගුණයෙකි. පන්සල් කෙත් වතු මිල මුදල් තනතුරු ආදිය පැවිද්දකු ගේ උසස් කම මනින මිනුම් නො වේ. පැවිද්දන් මැනිය යුත්තේ අල්පේච්ඡතාදී ගුණධර්ම වලිනි. ප්‍ර‍ත්‍යය අඩු පැවිද්දා දුප්පතකු ලෙස නො සැලකිය යුතු ය. පැවිද්දා පොහොසත් වන්නේ ගුණ ධර්මවලිනි. අරින්දම නම් වූ බරණැස් රජතුමා ඔහුගේ උයනෙහි වැඩහුන් පසේ බුදුවරයකු වෙත ගොස් තමා කාමයන්ට වසඟ ව ඉන්නා බැවින් කාමයන්ගෙන් තොර ව වෙසෙන පසේ බුදුවරයා දුප්පතෙකැ යි සිතා, හිස මුඩු කර ගෙන කැබලි එක් කොට මැසූ වස්ත්‍ර‍යක් පොරවා ගෙන මවකු පියකු නැතිව ගස යට ඉන්නා මේ පැවිද්දා “අනේ දුප්පතෙකැ” යි කීය. එකල්හි පසේබුදුහු-

“න රාජ, කපණො හොති ධම්මං කායෙන ඵස්සයං

යො ධම්මං නිරං කත්වා අධම්මා අනුවත්තති.

ස රාජ, කපණො හොති පාපො පාපපරායණො.”

යනුවෙන් “මහරජ, ආර්‍ය්‍ය මාර්ග සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මය ලබා ගත් තැනැත්තා දුප්පතෙක් නො වේ ය, යමෙක් ධර්මය බැහැර කොට අධර්මය අනුව පවත්නේ ද පව්කාරයකු වන පව්කාරයන්ටම උපකාර වන ඒ තැනැත්තා ම දුප්පතාය” යි වදාළහ. ඉක්බිති රජතුමා පසේබුදුන් වහන්සේගෙන් සුවදුක් විචාළේ ය. පසේ බුදුහු පැවිදි සැපය මෙසේ වදාළහ.

“සදා පි භද්‍ර‍මධනස්ස අනාගාරස්ස භික්ඛුනො,

න තෙසං කොට්ඨෙ ඔපෙන්ති න කුම්භිං න කලොපියං,

පරනිට්ඨිත මෙසානා තෙන යාපෙන්ති සුබ්බතා.”

“මහරජ, ගෙවල් නැත්තා වූ ධනය නැත්තා වූ පැවිද්දෝ ධන ධාන්‍යයන් කොටුවල සැළිවල කූඩාවල රැස් නො කරන්නාහ. මනා පැවතුම් ඇත්තා වූ ඒ පැවිද්දෝ ගෙපිළිවෙළින් පිඬු සිඟා අනුන්ගේ ගෙවල ඉදුණු ආහාරයෙන් යැපෙන්නාහ. ඒ නිසා ඒ පැවිද්දන්ට හැමදාම හොඳය. හැමදාම සැප ය.

“දුතියම්පි භද්‍ර‍මධනස්ස අනාගාරස්ස භික්ඛුනො

අනවජ්ජපිණ්ඩො භොත්තබ්බො න ච කොචු පරොධති.”

පැවිද්දා විසින් වෙදකම් කිරීම, කේන්ද්‍ර‍ බැලීම්, යන්ත්‍ර‍ මන්ත්‍ර‍ කිරීම්, කුහකකම් කිරීම් ආදී නො දැහැමි ක්‍ර‍මවලින් ප්‍ර‍ත්‍යය නො සොයා දැහැමින් ලද ආහාරය වැළඳිය යුතු ය. එසේ නිවැරදි ආහාරයක් වළඳන්නා වූ පැවිද්දා හට ලෝභාදි ක්ලේශයන්ගෙන් කවරක් හෝ ඉපද පීඩා නොකරන්නේය. එබැවින් ගෙයක් නැත්තා වූ ධනය නැත්තා වූ පැවිද්දාට දෙවෙනුවත් හොඳ ය. සැප ය.

“තතියම්පි භද්‍ර‍මධනස්ස අනාගාරස්ස භික්ඛුනො

නිබ්බුතො පිණ්ඩො භොත්තබ්බො න ච කොචූ පරොධති”

පැවිද්දා විසින් දැහැමින් ලද ආහාරය ද කෙලෙස් නූපදනා පරිදි ප්‍ර‍ත්‍යවේක්ෂාවෙන් යුක්තව වැළඳිය යුතු ය. කෙලෙස් ඉපදීමට හේතු නොවන බැවින් නිවුණු ආහාරයක් වළඳන්නා වූ ගෙයක් නැත්තා වූ ධනය නැත්තා වූ පැවිද්දාහට තුන්වෙනුවත් හොඳය. සැප ය.

“චතුත්ථම්පි භද්‍ර‍මධනස්ස අනාගාරස්ස භික්ඛුනො,

මුත්තස්ස රට්ඨෙ චරතො සංගො යස්ස න විජ්ජති.”

මේ මාගේ නෑයා ය. මේ මාගේ දායකයා ය කියා ගිහියන් කෙරෙහි ඇලීමක් නැති ව රටෙහි හැසිරෙන්නා වූ පැවිද්දාහට කිසිබන්ධනයක් නැත්තේ ය. එයින් ධනය නැත්තා වූ ගෙයක් නැත්තා වූ පැවිද්දා හට සතර වෙනුවත් හොඳ ය. සැප ය.

“පඤ්චමම්පි භද්‍ර‍මධනස්ස අනාගාරස්ස භික්ඛුනො,

නගරම්හි දය්හමානම්පි නාස්ස කිඤ්චි අදය්හථ”

නගරයක් ගිනි ගත්තත් ධනය නැති ගෙයක් නැති පැවිද්දාගේ කිසිවක් නො දැවෙන්නේ ය. එයින් පස් වෙනුවත් ධනය නැති ගෙයක් නැති පැවිද්දාට හොඳ ය. සැප ය.

“ඡට්ඨම්පි භද්‍ර‍මධනස්ස අනාගාරස්ස භික්ඛුනො,

රට්ඨෙ විලුම්පමානම්හි නාස්ස කිඤ්චි අහාරථ.”

සොර සතුරන් පැමිණ රටක් කොල්ල කන්නට පටන් ගත්තත් ධනය නැති ගෙයක් නැති පැවිද්දාගේ කිසිවක් නො ගෙන යන්නේ ය. එයින් සවනුවත් පැවිද්දාහට හොඳ ය. සැප ය.

“සත්තම්පි භද්‍ර‍මධනස්ස අනාගාරස්ස භික්ඛුනො,

චොරෙහි රක්ඛිතං මග්ගං යෙ වඤ්ඤේ පරිපත්ථිකා

පත්තචීවරමාදාය සොත්ථිං ගච්ඡති සුබ්බතො.”

කොල්ලකෑමට සොරුන් රැක සිටින්නා වූ ද, බදු අය කරන්නන් රැක සිටින්නා වූ ද මඟ, සොරුන්ට ද වුවමනා නැත්තා වූ ද, බදු අය කළ යුතු දෙයක් නො වන්නා වූ ද, පා සිවුරු ගෙන, ධනය නැති ගෙයක් නැති පැවිද්දා සැපසේ යන්නේ ය. එසේ යන්නට ලැබීමෙන් සත් වෙනුවත් පැවිද්දාට හොඳ ය. සැප ය.

“අට්ඨමම්පි භද්‍ර‍මධනස්ස අනාගාරස්ස භික්ඛුනො,

යං යං දිසං පක්කමති අනපෙක්ඛොව ගච්ඡති.”

අල්මාරි පෙට්ටි ආදියෙහි පරිස්සමට තබන ලද කිසි වස්තුවක් නැති පැවිද්දා යම් යම් තැනකට යන්නේ නම් තමාගේ පා සිවුරු ගෙන, උන් තැන ගැන අපේක්ෂාවක් නැති ව නිදහස් ව යන්නේ ය. එසේ යා හැකි බව නිසා ධනය නැති ගෙයක් නැති පැවිද්දා හට අට වෙනුවත් හොඳ ය. සැප ය.

මේ ගාථාවලින් අරින්දම රජතුමාට පසේ බුදුන් වහන්සේ විසින් දක්වා වදාරා ඇත්තේ පැවිදි සැපයෙන් සුළු කොටසකි. පසේ බුදුරජුන්ගෙන් බණ අසා සත්‍යය තේරුම් ගත් අරින්දම රජතුමා ද රජය හැර පැවිදි ව ධ්‍යානාභිඥා උපදවා ආයු කෙළවර බ්‍ර‍හ්ම ලෝකයෙහි උපන. “පබ්බජිතභවො දුල්ලභො” යි වදාළ පරිදි පැවිදි සැපය දුලබ සැපයෙකි. තිරිසනුන් පවා ලබන ගිහි සැපය සැම තැන ම ඇතියකි. නුවණැත්තෝ දුලබ වූ පැවිද්ද ලබා ජරා මරණ සහිත වූ මේ සංසාරය කෙළවර කොට නිවන් සුවය ලබන්නා හ.