සිවුරු හැඳීම හා පෙරවීම

හැඳීම පෙරවීම දෙක මේ බුදුසස්නෙහි සැලකිය යුතු කරුණු දෙකකි. එය විනයානුකූල ව කරන්නට නොපුරුදු කර ගත් පැවිද්දා දිවි හිමියෙන් නිතර වරදට හසුවන්නෙක් වේ. ඒ ගැන සැලකිල්ලක් කරන්නකුට වුව ද හරියට හැඳීම පෙරවීම පුරුදු වන්නට දින බොහෝ ගණනක් ගත වේ.

පරිමණ්ඩලං නිවාසෙස්සාමීති සික්ඛා කරණියා.

පරිමණ්ඩලං පාරුපිස්සාමීති සික්ඛා කරණියා.

සුපටිච්ඡන්නෝ අන්තරඝරෙ ගමිස්සාමීති සික්ඛා කරණියා.

සුපටිච්ඡන්නෝ අන්තරඝරෙ නිසීදිස්සාමීති සික්ඛා කරණියා.

මෙසේ හැඳීම පෙරවීම පිළිබඳ සේඛියා සික පද සතරෙක් ඇත්තේ ය. “පරිමණ්ඩලං නිවාසෙස්සාමීති සික්ඛා කරණීයා” මෙහි තේරුම, තැන් තැන් වලින් උස් පහත් වී නොසිටින ලෙස එක මට්ටමකට හැඳීම් පුරුදු කර ගත යුතු ය යනු යි.

“උද්ධං නාභිමණ්ඩලං අධො ජාණුමණ්ඩලං පටිච්ඡා දෙන්තෙන ජාණුමණ්ඩලස්ස හෙට්ඨා ජංඝට්ඨිකතො පට්ඨාය අට්ඨංගුලමත්තං නිවාසනං ඔතාරෙත්වා නිවාසෙතබ්බං”

යනුවෙන් විනය අටුවාවෙහි දක්වා ඇති පරිදි උඩින් නාභියත් යටින් දෙ දණමඩලත් වැසෙන සේ දණමඩලට යට කෙණ්ඩා ඇටයෙහි මුල පටන් අටඟුලක් පහළ බස්වා එක මට්ටමට සිටින සේ අඳනය හැඳිය යුතු ය. යමකු ගේ කෙණ්ඩා ඉතා දික් හෝ වේ නම්, ඒවායේ අශෝභන වණකැලැල් හෝ වේ නම්, කෙණ්ඩා මස ඉතා මහත් හෝ වේ නම් අටඟුලට වඩා පහත් කොට හැඳීමට ද වටනේ ය. අඳනය කෙටි නම් නැබ මඬල සිවුරෙන් ද වැසෙන බැවින් එය නොවසා හැඳීම ද සුදුසු බව කියා තිබේ.

“එවං නිවාසෙන්තස්ස පන නිවාසනං පමාණිකං වට්ටති. තත්‍රිදං පමාණං, දීඝතො මුට්ඨිපඤ්චකං, තිරියං අඩ්ඪතෙය්‍ය හත්ථං. තාදිසස්ස අලාභෙ තිරියං ද්විහත්ථප්පමාණම්පි වට්ටති.”

(සමන්තපාසාදිකා)

එසේ හඳින්නහුට ප්‍ර‍මාණවත් අඳනයක් තිබිය යුතු ය. එහි ප්‍ර‍මාණය දිගින් සතර රියනක් හා මිටි රියනක් ද සරසින් දෙරියන් හමාරක් ද විය යුතු ය. එබඳු අඳනයක් නැති කල්හි සරසින් දෙරියන් අඳනයත් වටනේ ය යනු එහි තේරුම ය.

බුදුන් වහන්සේ අනුදැන වදරා ඇත්තේ එක් අඳනයක් පමණක් ඇඳීමට ය. යටින් එකක් ඇඳ උඩින් තවත් එකක් ඇඳීම නුසුදුසු ය. දෙකක් අඳිත හොත් දෙක ම එක් කොට එක් අඳනයක් ලෙස හැඳිය යුතු ය. යම් කිසි ආබාධයක් නිසා දෙකක් හැඳීමෙන් වරදක් නැත.

“අන්තො වා එකං කාසාවං තථා නිවාසෙත්වා බහි අපරං නිවාසෙන්ති. සබ්බං න වට්ටති. ගිලානෙන පන අන්තො කාසාවං ඔවට්ටිකං දස්සෙත්වා අපරං උපරිනිවාසෙතුං ලභති. අගිලානෙන ද්වේ නිවාසෙන්තෙන සගුණං කත්වා නිවාසෙතබ්බානි.

(ඛුද්දකවත්ථු ඛන්ධක අට්ඨකථා)

පරිමණ්ඩලං පාරුපිස්සාමිති සික්ඛා කරණියා මේ සික පදයේ තේරුම: තැන් තැන්වලින් උස් පහත් වී සිටින පරිදි හෝ සාරිය ඇන්දාක් මෙන් එක පැත්තක් පහත් වී සිටින පරිදි හෝ නො හැඳ, සෑම පැත්ත ම එක මට්ටමකට සිටිනා පරිදි සිවුරු පෙරවීම පුරුදු කර ගත යුතු ය යනු යි. අඳනය හැඳීමට ප්‍ර‍මාණයක් ඇතිවාක් මෙන් සිවුර පෙරවීමට ද ප්‍ර‍මාණයක් තිබිය යුතු ය. ඒ ප්‍ර‍මාණය විනය පෙළ අටුවාවල දක්වා නැත. “ජාණු මණ්ඩලතො හෙට්ඨා චතුරංගුලමත්තං ඔතාරෙත්වා අනොලම්බෙත්වා පරිමණ්ඩලමෙව පාරුපිතබ්බං” යි විමති විනෝදනී ටීකාවෙහි දණ මඬලින් යටට සතරඟුලක් බස්වා පරිමණ්ඩල කොට සිවුර පෙරවිය යුතු බව දක්වා තිබේ. එසේ සිවුර පෙර වූ කල්හි එය සිටින්නේ අඳනයට සතරඟුලක් ඉහළිනි. සිවුර පෙර වූ කල්හි එහි යටි කොන් දෙක එකිනෙකට උස් පහත් නොවී එක මට්ටමකට සිටින පරිදි ද සිවුරේ යට පැත්තේ වාටිය සැම තැනකින් ම ඒ කොන්වල මට්ටමට සිටින පරිදි ද පෙරවීම පරිමණ්ඩල පාරුපනය ය. මැදින් පහත් වී කොන් උස් වී සිටින ලෙස පෙරවීම වරදවා පෙරවීම ය. සිවුර හොඳින් පොරවා ගත් පසු කොන් පහළ බැස පරිමණ්ඩලය නැති වූවාට වරදක් නැත. එහෙත් එය දැන ගත් කල්හි සකස් කොට පොරවා ගත යුතු ය.

“සුපටිච්ඡන්නො අන්තරඝරෙ ගමිස්සාමිති සික්ඛාකරණියා” මේ සික පදයේ තේරුම, මනා කොට සිවුරෙන් කය වසා ගෙන ගමෙහි යා යුතු ය යනු යි. සුපටිච්ඡන්න ව යා යුතු සැටි අටුවාවෙහි විස්තර කරන්නේ මෙසේ ය. “ගණ්ඨිකං පටිමුඤ්චිත්වා අනුවාතන්තෙන ගීවං පටිච්ඡාදෙත්වා උභො කණ්ණෙ සමං කත්වා පටිසංහරිත්වා යාව මණිබන්ධං පටිච්ඡාදෙත්වා අන්තරඝරෙ ගන්තබ්බං” එහි තේරුම: ගණ්ඨිය අවුණා නුවා කෙළවරින් ගෙළ වසා සිවුරු කොන් දෙස සම කොට (එකට තබා) ආපසු හකුළා (වම් අතෙහි) වළලු කර දක්වා ශරීරය වසා ඇතුළු ගම්හි යා යුතු ය යනු යි. මේ අටුවා පාඨයෙහි ගණ්ඨිය දැමීම මුලට ම කියා ඇත. එය සිවුර පෙරවීමට කලින් කිරීම සඳහා නොව සුප්‍ර‍තිච්ඡන්න ලක්ෂණය දැක්වීමට ය. ගණ්ඨිය දමා ගැනීම සිවුර පෙරවීමෙන් පසු කළ යුත්තෙකි. මෙය බොහෝ දෙනා වරදවා තේරුම් ගන්නා කරුණෙකි. චුල්ලවග්ග පාළියේ වත්තක්ඛන්ධකයේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනය කර ඇත්තේ ගණ්ඨිය ඇමිණීම පසු ව කළ යුත්තක් ලෙස ය.

“තිමණ්ඩලං පටිච්ඡාදෙන්තෙන පරිමණ්ඩලං නිවාසෙත්වා කායබන්ධනං බන්ධිත්වා සගුණං කත්වා සංඝාටියො පාරුපිත්වා ගණ්ඨිකං පටිමුඤ්චිත්වා ධොවිත්වා පත්තං ගහෙත්වා සාධුකං අතරමාණෙන ගාමො පවිසිතබ්බො.”

මේ තථාගතයන් වහන්සේ වත්තක්ඛන්ධකයේ වදාරා ඇති පාඨයෙකි. මෙහි සඳහන් වන්නේ ගණ්ඨිය ඇමිණීම සිවුරු පෙරවීමෙන් පසු ව කළ යුත්තක් ලෙස ය. කලින් කළත් එයින් වරදක් නම් නැත. පහසු පසුව කිරීම ය.

මේ සුප්‍ර‍තිච්ඡන්න ශික්ඛා පදය ගමට පමණක් පන වන ලද්දකි. පරිමණ්ඩල සිකපද දෙක ගමටත් විහාරයටත් සාධාරණ ය. එ බැවින් සුපටිච්ඡන්න පාරුපනය කිරීමේ දී පරිමණ්ඩල ලක්ෂණය ඇති වන පරිදි කළ යුතු ය.

සුපටිච්ඡන්නෝ අන්තරඝරෙ නිසීදිස්සාමීති සික්ඛාකරණියා. මේ සික පදයේ තේරුම, මනා කොට සිවුරෙන් කය වසා ගෙන ගමෙහි හිඳිය යුතු ය යනු යි. “ගලවාටකතො පට්ඨාය සීසං මණිඛන්ධතො පට්ඨාය හත්ථෙ පිණ්ඩිකමංසතො පට්ඨාය පාදෙ විවරිත්වා නිසීදිතබ්බං” යනුවෙන් බෙල්ලෙහි පටන් හිසත් වළලුකරයේ පටන් අතුත් කෙණ්ඩා මසෙහි පටන් පාදයනුත් විවෘත කොට හිඳිය යුතු බව විනය අටුවාවෙහි දක්වා තිබේ. කියන ලද ප්‍ර‍මාණයට අධික ව උරහිස් අත් ආදිය විවෘත කර ගෙන ගමෙහි නො හිඳිය යුතු ය. ගමෙහි වාසය කිරීම සඳහා ගිය පැවිද්දාට විහාරයෙහි මෙන් එහි ද රිසිසේ විසීමෙන් වරද නො වේ.