ප්‍ර‍ස්තාවනා

සසර දුකින් මිදී නිවන් සුවය ලබනු කැමති සැදැහැවත් නැණවත් කුලපුත්‍ර‍යනට ඒ සඳහා පිළිවෙත් පිරීමට ස්ථානයක් වශයෙන් හා දෙවියන් සහිත ලෝකයාහට පුණ්‍යක්ෂේත්‍ර‍යක් වශයෙන් ද මහාකාරුණික වූ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් පිහිටුවා ඇති මේ ශාසනයට අවතීර්ණ වන්නා වූ කුලපුත්‍ර‍යනට පළමු කොට ලැබෙන්නේ සාමණේර ප්‍ර‍ව්‍ර‍ජ්‍යාවය. සාමණේර පැවිද්ද ලබා සිටින බොහෝ දෙනකුන් ඔවුන් විසින් රැකිය යුතු ශීලය පිළිබඳව සෑහෙන දැනුමක් නැති ව, ඔවුන් විසින් පිරිය යුතු ප්‍ර‍තිපත්ති ගැන දැනුමක් නැතිව, නො මනා ලෙස හැසිරෙනු දැකීමෙන් සංවේගයට පත් වූ ද, සාමණේර ශීලය හා සාමණේරයන් විසින් පිරිය යුතු ප්‍ර‍තිපත්ති විස්තර කර ඇති ධර්ම ග්‍ර‍න්ථයක් නැති පාඩුව දුටුවා වූ ද, ශාසනෝදයකාමී මහාස්ථවිරයන් වහන්සේලා කීප නමක් ම සාමණේර ප්‍ර‍තිපදාව විස්තර කරන ධර්ම ග්‍ර‍න්ථයක් සම්පාදනය කරන ලෙස අපට ආරාධනා කළහ. බුදු සසුනට එවැනි ධර්මග්‍ර‍න්ථයක් නැති පාඩුව අපට පෙණුනු බැවින් ඒ ආරාධනාවත් සලකා “ශාසනාවතරණය” නමැති මේ ධර්ම ග්‍ර‍න්ථය අප විසින් සම්පාදනය කරන ලදි. සාමණේර ශීලය පිළිබඳ විස්තරයක් හා නවක - මධ්‍යම - ස්ථවිර සකල භික්ෂූන් විසින් හා සාමණේරයන් විසින් දැනගත යුතු වූ, සිතට කාවද්දා ගත යුතු වූ, තථාගතයන් වහන්සේ විසින් විශේෂයෙන් පැවිද්දන් සඳහා ම දේශනය කර ඇත්තා වූ, බොහෝ ධර්ම ද මේ ග්‍ර‍න්ථයට ඇතුළු කොට ඇත. එබැවින් මෙය සියලු ම පැවිද්දන් විසින් භාවිත කළ යුතු ධර්ම ග්‍ර‍න්ථයෙකි.

පැවිද්ද වනාහි ශාසනයට බැස ගත් තැනැත්තා ගේ සිත කය යන දෙකට ම තිබිය යුත්තකි. හිසකේ දැළි රැවුල් ඉවත් කොට ගිහි ඇඳුම් පැළඳුම් ඉවත් කොට සිවුරු හැඳ පොරවා ගැනීමෙන් සිදුවන්නේ කය පැවිදි කිරීම පමණෙකි. කෙස් රැවුල් ඇඳුම් පැළඳුම් සේ ගිහි සිත ඉවත් කළ හැකි නොවේ. සිවුර හැඳ පොරවා ගත් තැනැත්තාට ඔහුගේ ගිහි සිත එසේ ම පවත්නේ ය. කය පැවිදි කිරීම විනාඩි ගණනක දී කළ හැකිය. සිත පැවිදි කිරීම එසේ ඉක්මනින් ලෙහෙසියෙන් නො කළ හැකි ය. එය කිරීමට කලක් ගත වේ. කය පැවිදි කළත් ඇතමුන්ගේ සිත පැවිදි නො කළ හැකිය. එබඳු ඇතැම් පැවිද්දෝ ගිහි සිතින් ම ජීවිතය කෙළවර කරති.

බුදුසස්නෙන් ලැබිය යුතු - පැවිද්දෙන් ලැබිය යුතු නියම ප්‍රයෝජනය ලැබීමට නම්, සිත කය දෙක ම පැවිදි කර ගත යුතු ය. කයෙහි පමණක් පැවිද්ද ඇති, ගිහි සිත් ඇති තැනැත්තාහට පැවිද්ද අමිහිරි ය. ඔහුට පැවිද්දෙහි ආස්වාදයක් - සතුටක් නැත. ඔහුට වැටහෙන්නේ සිල් රැකීම මහත් කරදරයක් ලෙස ය. දිනකට දෙතුන් වරක් තුනුරුවන් වැඳීම - වත් පිළිවෙත් කිරීම - ධර්මය උගෙනීම - භාවනා කිරීම යනාදි ශ්‍ර‍මණ කෘත්‍යයන් පලක් නැති කරදර වැඩ ලෙස ය. එබැවින් ඔහු හැකිතාක් ඒවායින් ඈත්වීමට බලයි. කරන්නේ ද යම්තරමකට කරයි. ඔහුට ප්‍රිය වන්නේ පැවිද්දෙහි සිට කළ හැකි, ගිහියන්ට ද සාධාරණ යම්කිසි වැඩ කොටසක් වේ නම් ඒවාය. අශ්‍ර‍ද්ධාවත් ගිහියන් සමගත්, තමා වැනි පැවිද්දන් සමගත් තිරශ්චීන කථාවෙන් කල් යැවීම ඔහුට මිහිරි ය. විනෝද ගමන් යෑම මිහිරි ය. හොඳ ආහාරපාන - හොඳ භාණ්ඩ සැපයීම, මිල මුදල් සැපයීම ඔහුට මිහිරි ය. ඒවායේ ඔහු ඉතා කැමැත්තෙන් යෙදෙන්නේ ය . කය පැවිදි බවට පත්කරගෙන වෙසෙන අයට ගිහි සිත ද රිසි සේ ගිහි සැප විඳීමට අවකාශ නො ලැබෙන බැවින් ඔවුහු ගිහි සැපයෙන් ද පිරිහෙති. පැවිද්දෙන් ලැබිය යුතු ඵලයෙන් ද පිරිහෙති. ඔවුන් දෙලොවින් ම පිරිහෙන බව කිව යුතු ය.

“සිත පැවිදි කිරීමය” කියනුයේ සත්ත්වයන්ගේ සිත්වල ප්‍ර‍කෘතියෙන් පිහිටා ඇති තෘෂ්ණා - මාන - දෘෂ්ටි - ද්වේෂ - ඊර්‍ෂ්‍යා - මාත්සර්‍ය්‍යාදි පාපධර්මයන් සිතින් බැහැර කොට ඒවාට සිතෙහි රජකම් කරන්නට නො හැකි වන පරිදි, මෛත්‍රී - කරුණා - ශ්‍ර‍ද්ධා - ප්‍ර‍ඥා - අල්පේච්ඡතා - සන්තුෂ්ටිතා - භාවනාරාමතාදි ශ්‍ර‍මණ ගුණවලින් සිත පොහොසත් කර ගැනීම ය. සිත සකස් කර ගැනීම ය. පැවිදි සිත යයි කියනුයේ එසේ සකස් කළ සිත ය. පැවිදි සිත ඇති තැනැත්තාහට පැවිද්ද මිහිරි ය. සැප ය. සිල් රැකීම ඔහුට මිහිරි ය. තුනුරුවන් වැඳීම - වත් පිළිවෙත් කිරීම - භාවනා කිරීම ධර්මය උගෙනීම ඔහුට මිහිරි ය. එබැවින් ඔහු ඉතා කැමැත්තෙන් සිල් රකී. අන්‍ය ශ්‍ර‍මණ කෘත්‍යයන්හි ද කැමැත්තෙන් ම යෙදෙයි. ඔහු ඒවායේ යෙදවීමට නීති වුවමනා නැත. කංකානම්වරු වුවමනා නැත. ඔහුට කරදරයක් වශයෙන් වැටහෙන්නේ ඒවාට බාධා පැමිණීම ය.

දැන් කිය යුත්තේ සස්නෙහි පැවිදි වන කුල පුත්‍ර‍යන් ගේ සිත් පැවිද්දට යෝග්‍ය වන ලෙස සකස් කිරීමේ ක්‍ර‍මය ගැන ය. එය කළ යුත්තේ ඔවුන් ගේ සිත්වලට බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය ඇතුළු කිරීමෙනි. ධර්මය ඔවුන්ගේ සිත්වලට කා වැද්දීමෙනි. එය හැර සිත් සකස් කළ හැකි අන් ක්‍ර‍මයක් නැත්තේ ය. නීතියෙන් බල කිරීමෙන් හෝ පාලන ක්‍ර‍ම ඇති කිරීමෙන් හෝ එය කිසි කලෙක නො කළ හැකි ය. සිත් සකස් කිරීම හැර ගුණවත් පැවිද්දන් ඇති කිරීමට අන් ක්‍ර‍මයක් නැත. තථාගතයන් වහන්සේ විසින් පැවිද්දන් සඳහා ම දේශනය කර ඇති, පැවිද්දන් විසින් අවශ්‍යයෙන් ම දැන සිටිය යුතු, සිතෙහි පිහිටුවා ගත යුතු බොහෝ ධර්ම ඇත්තේ ය. පැවිදි වූවකුට ක්‍ර‍මයෙන් ඒ ධර්ම එකිනෙක උගන්වා, ඒ ධර්මයන් ගේ අදහස් හොඳින් තේරුම් කර දී, ඒ ධර්ම ඔහුගේ සිතෙහි පිහිටුව හොත්, ක්‍ර‍මයෙන් ඔහුගේ සිත පැවිද්දට යෝග්‍ය පරිදි සකස් වන්නේ ය. එයින් ඒ තැනැත්තා ශික්ෂාකාමී ගුණවත් සැදැහැවත් පැවිද්දෙක් වන්නේ ය. පැවිද්දන් විසින් විශේෂයෙන් දත යුතු ඒ ධර්ම සමූහය එක් පොතකට සංග්‍ර‍හ කර නැත. පිටකත්‍ර‍යට අයත් නොයෙක් පොත්වල විසිර පවත්නා වූ ඒ ධර්ම යම්කිසි ආචාර්යවරයකුගෙන් නූගත් කෙනකු විසින් සොයා ගැනීම දුෂ්කර ය. ගෝලයන් තනන ආචාර්යවරයන්හට ඒ ධර්ම පහසුවෙන් සොයා ගත හැකි වනු පිණිසත්, ඒ දනු කැමති අන් පැවිද්දන් ගේ යහපත පිණිසත්, ශාසනාවතරණය නමැති මේ ග්‍ර‍න්ථයට ඒ ධර්මවලින් සෑහෙන ප්‍ර‍මාණයක් ඇතුළු කර ඇත්තේ ය.

අප විසින් මේ ග්‍ර‍න්ථය සම්පාදනය කරන ලද්දේ අමුතු පර්යේෂණයක් කොට කරුණු සැපයීමෙන් නොව, බාලකාලයේ දී අප ඇසුරු කළ ගුරුවරුන් ගෙන් ලත් අවවාදානුශාසනයන් ග්‍ර‍න්ථාරූඪ කිරීමක් වශයෙනි. එහෙත් පිරිසිදු ලෙස ඒ ධර්ම මේ ග්‍ර‍න්ථයට ඇතුළු කිරීම සඳහා ඒවා ඇති තැන් සෙවීමට මහන්සියක් දරන්නට සිදුවිය. ඇතැම් කරුණු ඇති තැන් සෙවීමට බොහෝ වෙහෙසෙන්නට සිදුවිය. පාරාජිකා පාළි, පාචිත්තිය පාළි, මහා වග්ග පාළි, චුල්ලවග්ග පාළි, දීඝ නිකාය, මජ්ඣිම නිකාය, අංගුත්තරනිකාය, සංයුක්තනිකාය, ධම්මපදය, උදානය, ඉතිවුත්තකය, සුත්තනිපාතය, ථෙරගාථාව, ජාතකපාළිය යන ත්‍රිපිටකය අයත් ග්‍ර‍න්ථවලින් හා අටුවා පොත්වලින් උපුටා ගත් කරුණු මේ ග්‍ර‍න්ථයට ඇතුළු කර ඇත්තේ ය.

අද රට හැඩ ගැසී ඇති සැටියට කුලදරුවකු පැවිදි කළ හොත් විද්‍යාලයකට - පිරිවෙණකට යවා ඔහුට අධ්‍යාපනය ලබා දිය යුතු ව ඇත්තේ ය. ඒ විද්‍යාස්ථාන වලින් සාමණේර නමකට සාමණේර ශීලය පිළිබඳ වූ, සාමණේර නමක් විසින් පිරිය යුතු ප්‍ර‍තිපත්ති පිළිබඳ වූ සම්පූර්ණ අධ්‍යාපනයක් නො ලැබේ. නවක පැවිද්දකුගේ සිත පැවිද්දට යෝග්‍ය වන පරිදි සකස් වන, ශ්‍ර‍මණ ගුණ වඩන අධ්‍යාපනයක් නො ලැබේ. ඒවායින් බොහෝ විට නවක පැවිද්දාට ලැබෙන්නේ මානය වැඩෙන, තණ්හාව වැඩෙන, ශ්‍ර‍ද්ධාව හීන කරන “බුද්ධෙ කංඛති, ධම්මේ කංඛති, සංඝෙ කංඛති, සික්ඛායකංඛති, පුබ්බන්තේකංඛති, අපරන්තේකංඛති, පුබ්බාපරන්තේ කංඛති, ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නේසු ධම්මේසු කංඛති විචිකිච්ඡති” යනුවෙන් දැක්වෙන අෂ්ටප්‍ර‍කාර විචිකිත්සාව ඇති කොට නවක පැවිද්දා ගේ සිත අවුලෙන් අවුලට පත්කරන අධ්‍යාපනයෙකි. පැවිදි ගෝලයන් තනන මහතෙරවරු තම තමන්ගේ ගෝලයන් සුවච ශික්ෂාකාමීන් කරනු කැමැත්තහු නම්; විද්‍යාස්ථානවලට ගෝලයන් යවා ලබා දෙන අධ්‍යාපනයෙන් ම සෑහීමට පත් නො වී, “ශාසනාවතරණය” නමැති මේ ග්‍ර‍න්ථයෙහි ඇතුළත් ධර්ම ටික පමණවත් තමන් ගේ ගෝලයන් ගේ සිත්වල පිහිටවත්වා!!

හදිසියේ ඇති වන සසර කලකිරීම් නිසා ද, එසේ ම හදිසියේ ඇති වන ශ්‍ර‍ද්ධාව නිසා ද, අනුන්ගේ මෙහෙයීම් නිසා ද, මෙකල බුදුසසුනට බැස ගන්නා බොහෝ දෙනා කායප්‍ර‍ව්‍ර‍ජ්‍යාව පමණක් ලබා කල් යෑමෙන් පැවිද්ද අමිහිරි වී, “මෝඩකමක් කරගතිමි” යි තැවෙමින් ගිහියන් දෙස බල බලා ඔවුන් ගේ සම්පත්වලට කෙළ ගිලිමින් කලක් සිට සිවුරු හැර යති. ඇතැම්හු සිවුරේ මුවාවෙන් රස්සාවක් කිරීමට සෑහෙන දෙයක් උගෙන සිවුරු හැර යති. සමහරු ශ්‍ර‍ද්ධාව නැති බැවින් ශ්‍ර‍මණ ප්‍ර‍තිපත්ති වල ද නො යෙදී, පැවිද්දෙහි ම නිකම් කල් ගත කොට දිවි කෙළවර කෙරෙති. මේවා ගැන කලකිරුණු ඇතැම් බෞද්ධයෝ නොයෙක් විධියේ ශාසනපාලන ක්‍ර‍ම යෝජනා කරති. ඇතැම්හු සැම දෙනාට ම පැවිදි වන්නට ඉඩ නො දී හොඳ අය තෝරා පැවිදි කරන්නට යෝජනා කරති. එහෙත් එය කළ හැකි වැඩක් නො වේ. අද අශාන්ත ව හැසිරෙන තැනැත්තා සමහර විට හෙට ශාන්ත පුද්ගලයෙක් වෙයි. අද ශාන්ත තැනැත්තා සමහර විට හෙට අශාන්තයෙක් වෙයි. අද දුශ්ශීල පුද්ගලයා සමහර විට දුසිල් කම් හැර හෙට සිල්වත් වෙයි. අද සිල්වත් පුද්ගලයා ද සමහරවිට හෙට දුශ්ශීල වෙයි. එය පෘථග්ජන ලෝකයේ ස්වභාවය ය. එබඳු ලෝකයේ පුද්ගලයන් තේරීමක් නො කළ හැකි ය. හොඳ පුද්ගලයන් තෝරා පැවිදි කරන්නට කථා කරන්නේ ද ශාසනය නො හඳුනන නිසා ය.

මේ ශාසනය පිහිටුවා ඇත්තේ ශාන්තවූවන් ගේ සැප විහරණයට ස්වර්ගයක් වශයෙන් නො ව, අශාන්තයන් ශාන්ත බවට පත් කරන බිමක් වශයෙනි. පළමු වෙන් ශාසනයට ඇතුළුවීම කිනම් අදහසකින් කළත් ශාසනයට ඇතුළු වූ පුද්ගලයා ගේ සිතට බුදුදහම ඇතුළු කරනු ලැබුව හොත්, ඒ තැනැත්තා ක්‍ර‍මයෙන් ශාන්ත පුද්ගලයෙක් වන්නේ ය. මේ සස්නෙහි පැවිදි ව රහත් වූ සැම දෙනා ම සසර කලකිරී සැදැහැයෙන් පැවිදි වූවෝ නො වෙති. රාධබ්‍රාහ්මණ පැවිදි වූයේ ජීවත් වීමේ පහසුව සලකා ගෙන ය. වංගීස බ්‍රාහ්මණ පැවිදි වූයේ මන්ත්‍ර‍යක් උගෙනීම සඳහා ය. චන්දාභ බ්‍රාහ්මණ පැවිදි වූයේ ද මන්ත්‍ර‍යක් උගෙනීම සඳහා ය. රාහුල කුමාරයන් හා නන්ද කුමාරයන් පැවිදි වූයේ ද සැදැහැයෙන් නොව බල කිරීම නිසා ය. ශාක්‍ය කෝලිය යුඬය සාමදාන කරවීම ගැන සතුටට පත් ඒ දෙනුවර වැසියෝ තථාගතයන් වහන්සේට තෑග්ගක් වශයෙන් පැවිදි කර ගැනීමට කුමාරයන් පන්සිය දෙනකුන් දුන්හ. ඔවුන් අතර ශ්‍ර‍ද්ධාවෙන් පැවිදි වූ එකෙකුදු නො වීය. එහෙත් ඔවුන් ගේ සිත්වල ධර්මය පිහිටුවා හික්මවනු ලැබීම නිසා ඒ සැම දෙන ම රහත් වූහ. මෙසේ මේ සස්නෙහි සසර කලකිරීමක් නැති ව ශ්‍ර‍ද්ධාවක් නැති ව පැවිදි වූ තවත් බොහෝ අය ශාසන ධර්මය අනුව හික්මවීමෙන් රහත් වූ බව බෞද්ධ පොතපතින් පෙනේ. පළමුවෙන් සසර කලකිරී ඉමහත් ශ්‍ර‍ද්ධාවෙන් පැවිදි ව පසුව නො මඟට හැරෙන අය ද බොහෝ ය. කරුණු මෙසේ හෙයින් පැවිදි වන අයගේ සිතට ධර්මය ඇතුළු කිරීමෙන් ම මිස පුද්ගලයන් තෝරා පැවිදි කිරීමෙන් ශාසනයෙහි හොඳ පැවිද්දන් ඇති කළ නො හෙන බව කිව යුතු ය.

සැමදෙනාගේ ම සිත්වලට ධර්මය කාවැද්දිය හැක්කේ ද නො වේ. නෙළුම් කොළයෙහි වතුර නො තැවරෙන්නාක් මෙන් කොතෙක් අවවාදානුශාසනා කළත් ධර්මය නො තැවරිය හැකි සිත් ඇත්තෝ ද ඇත්තාහ. ඔවුහු මේ සස්නෙහි අභව්‍ය පුද්ගලයෝ ය. ඔවුන් ගැන කළ හැකි දෙයක් නැත. “එවං ඔවදියමානා එවං අනුසාසියමානා අප්පෙකච්චේ අච්චන්ත නිට්ඨං නිබ්බානං ආරාධෙන්ති, ඒකච්චෙ නාරාධෙන්ති, එත්ථ ක්‍යාහං බ්‍රාහ්මණ, කරොමි” යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ද අවවාදයෙන් අනුශාසනයෙන් නො හික්මවිය හැකි අය ගැන කළ හැකි දෙයක් නැති බව ය. තථාගතයන් වහන්සේ විසින් එසේ වදාරා ඇතත් ඇතැම් බෞද්ධයෝ පාලන ක්‍ර‍ම ඇති කොට නීතියේ බලයෙන් පැවිද්දන් ලවා සිල් රක්වා ශාසනය ශුද්ධ කරන්නට කථා කරති. එහෙත් ශ්‍ර‍ද්ධාව නැති ශීලයට නො කැමති පුද්ගලයන් ලවා නීතිවලින් සිල් නො රැක්විය හැකි ය. නීතියට බියෙන් යම්කිසිවක් නො කිරීම ද සිල් රැකීමක් නොවේ. අනුන් ලවා සිල් රක්ෂා කරවීමට - ප්‍ර‍තිපත්ති පිරවීමට ඇති එක ම ක්‍ර‍මය සිත් සකස් කිරීම ය. අප විසින් ශාසනාවතරණය නමැති මේ ග්‍ර‍න්ථය සපයන ලදුයේ සිත සකස් කරගනු කැමතියන්ට උපකාරයක් වශයෙනි.

ලෝකය නිරතුරු ව පෙරළෙමින් පවතින්නකි. පෙරළෙන ලෝකයෙහි බුදුසසුනට පමණක් නො පෙරළී සිටිය හැකි බවක් කොයින් ද? ලෝක පරිවර්තනය අනුව පෙරළී ගොස් බුදුසසුන ද කෙළවර වීම ස්වභාව ධර්මය ය. එය කාහටවත් කිනම් බලයකින්වත් නො නැවැත්විය හැකි ය. බුදුරදුන් පිරිනිවී දැනට වර්ෂ දෙදහස් පන්සියයක් ඉක්ම ඇත්තේ ය. ඒ දීර්ඝ කාලයෙහි භික්ෂු පරපුර එදා බුදුරදුන් සමඟ විසූ භික්ෂූන්ගෙන් බොහෝ දුරට පෙරළී ඇත්තේ ය. වර්තමාන භික්ෂු පිරිස මෙයින් වර්ෂ දෙදහසකින් පෙර විසූ භික්ෂූන් ගේ තත්ත්වයට ආපසු පෙරළීම නම්, මොනම බලයකින් වත් නොකළ හැකි වැඩකි. එබැවින් එදා සිටි භික්ෂූන්ගේ තත්ත්වයෙහි සිටින භික්ෂූන් අද බලාපොරොත්තු නො විය හැකි ය. අද බලාපොරොත්තු විය යුත්තේ වර්තමාන ලෝක තත්ත්වය අනුව ගුණවත් පැවිද්දන් ය.

“ශාසනාවතරණය” නමැති මේ ග්‍ර‍න්ථය පරිශීලනය කිරීම වර්තමාන පැවිද්දන්ට පුරුදු වුවහොත් වර්තමාන ලෝක තත්ත්වය අනුව ගුණවතුන් වශයෙන් සැලකිය හැකි බොහෝ පැවිද්දන් ඇති වනු නො අනුමාන ය. අප විසින් ද මේ ග්‍ර‍න්ථය සපයන ලදුයේ “සැම පැවිද්දන්ම මෙය පිළිගනිතිය” යන අදහසින් නො ව, “ටික දෙනකු විසින්වත් මෙය පිළිගතහොත් අපේ මහන්සියට එයත් ඇත” ය යන අදහසිනි. තමන් දත් ධර්මය අන්‍යයන්ට ද දත හැකි වන පරිදි මෙසේ ග්‍ර‍න්ථාරූඪ කොට තැබීමෙන් අපගේ යුතුකම අපි ඉටු කෙළෙමු. මෙය පිළිගැනීම හෝ නො ගැනීම ඔබ සතු ය.

චිරං තිට්ඨතු සද්ධම්මෝ,

මීට, ශාසනස්ථිතිකාමි

රේරුකානේ චන්දවිමල

2504 (1960) ඔක්තෝබර් 21, පොකුණුවිට, ශ්‍රී විනයාලංකාරාරාමය.