පළමු සීවථිකය

පාලි

පුන ච පරං භික්ඛවෙ භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං එකාහමතං වා ද්වීහමතං වා තීහමතං වා උද්ධුමාතකං විනීලකං විපුබ්බක ජාතං, සො ඉමමෙව කායං උපසංහරති, “අයම්පි ඛො කායො එවං ධම්මො, එවං භාවී, එවං අනතීතො” ති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරතී - පෙ - න ච කිඤ්චි ලොකෙ උපායදියති. එවම්පි ඛො භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති.

කෙටි අදහස

මහණෙනි! නැවත ද සම්පජඤ්ඤපබ්බයට අනතුරුව අනික් භාවනා ක්‍රමයක් කියනු ලැබේ. කෙසේද ය? යෝගී තෙමේ අමු සොහොනෙහි දමන ලද්දා වූ මැරී එක් දවසක් ගියා වූ හෝ මැරී දෙ දවසක් ගියා වූ හෝ මැරී තුන් දවසක් ගියා වූ හෝ මරණයෙන් පසු ශරීරය කුණුවීම නිසා වාත වේගයෙන් පුම්බවා රබර් කොට්ටයක් මෙන් පිළිකුල් ආකාරයෙන් ඉදිමුනා වූ ජීවත් ව සිටියදී පැවති ප්‍රකෘති වර්ණය වෙනස් ව බොහෝ සෙයින් නිල් වූ වැගිරෙන සැරව ඇති කුණු සැරවයෙන් යුක්ත වූ පිළිකුල් මළ සිරුරක් දකින්නාක් මෙන්, ඒ යෝගි තෙමේ තමාගේ කය ද එය හා සසඳා සලකා බලන්නේ ය. මෙසේ ම මාගේ මේ කය ද මෙබඳු ස්වභාව ඇත්තේ ය. මෙසේ ඉදිමීම් ආදී ස්වභාවයට පැමිණෙන සුලුය. මේ මළ සිරුර මෙන් මාගේ මේ කය ද ඒකාන්තයෙන් ඉදිමීම් කුණු වීම් ස්වභාවය නො ඉක්ම සිටියේ ය යි කියා මේ කය ද ඒ මෘත ශරීරයාගේ ස්වභාවයෙහි ලා සසඳා බලන්නේ ය.

“ඉති අජ්ඣත්තං වා කාය” යන ආදී කොටස ඉරියාපථපබ්බයෙහි කී සේ යි.

එහි විස්තරය

මේ සීවථික කාණ්ඩයෙහි ද සමුදයධම්මානුපස්සී යන ආදි වශයෙන් විදර්ශනාව ඇති වන ආකාරය දැක්වූහ. මහාසිව ස්වාමීන් වහන්සේ විසින් ද මෙය විදර්ශනාව පිළිබඳ ආදීනවානුපස්සනාව ය යි කියන ලදී. ඒ නිසා සීවථික භාවනාවෙන් විදර්ශනාව ඇති වන සැටි මෙසේ මතු දැක්වෙන ආකාරයෙන් සැලකිය යුතු යි.