5.3. කුඩ්ඩ රාජවාසී තෙරුන්ගේ කථාව.

1. සිංහල ද්වීපයෙහි මහගම නොයෙක් සිය ගණන් භික්‍ෂූන් වහන්සේ වාසය කරන මහවැව නම් විහාරයක් විය. එකල ඒ විහාරයෙහි වසරක් පාසා අරියවංස ධර්‍ම දේශනාව පවත්වන්නේය. දුර සිටත් බොහෝ දෙනා පැමිණෙති. මහත් වූ ජනසමාගමය වේ. මේ දනව්වෙහි වාසය කරන එක් මහ තෙර නමක් මම ද අරියවංශ ධර්‍මදේශනාව අසමි. එහි ගොස් ඉඩක් නොලැබ මහ පිරිස් කෙළවර මලුවෙන් පිටත තණ පඳුරෙන් යුත් තැනෙක්හි අවසරයක් ලැබීය. හේ එතැන සිට මුළු රැයම බණ අසමින් අධික සන්තෝෂයට පැමිණියේ ලොමු ඩැහැගත් සිරුර ඇත්තේ විය. ඒ තණ පඳුරෙහි පොළඟෙක් වසයි. ඉක්බිති ඒ පොළඟා තමා වසන තැනින් නික්මී තෙරුන්ගේ කකුල් අතර වැද සතර දළ ඔබා තට්ටමට දෂ්ට කෙළේය. මෙ කරුණ දුටු තෙරුන් වහන්සේ ඉදින් මම මෙතැනින් පහව ගියෙම් නම් බණ ඇසීමට කරදර වේ යයි අත පාත බහා පොළඟාගේ හිස දැඩිකොට අල්වාගෙන වහන් පසුම්බියෙහි බහා කට බැඳ එක් පසක තබා ධර්මය ඇසීය. බණ ඇසීමේ ආනුභාවයෙන් ඔහුගේ ශරීරයෙහි විෂ නො පැතිරිණ. ඉක්බිති අරුණ උදාවූ විට මිනිසුන් (විහාරයෙන්) ගිය කල ස්ථවිරයන් වහන්සේ මා විසින් සර්පයෙක් ගත්තේ යයි සර්පයා දැක්වීය. කවර වේලාවක සර්පයා ගත්තේ දැයි භික්‍ෂූන් විසින් විචාරණ ලද්දේ නිධාන කථාව ආරම්භ කළ කාලයේම යයි කීයේය. පුදුමයි ස්වාමීනි පුදුමයි. තමනුන්නාන්සේ විසින් සිදු කොට ඇත්තේ මහා පුදුම දෙයකි. මෙබඳු ඝෝරවූ සර්පයකු විසින් දෂ්ට කරන ලද්දේ නමුදු විෂ වේගයෙන් විපිළිසර නොවී බණ අසන ඔබ විසින් කරන ලද්දේ යයි කීවාහුය. ඉක්බිති තෙරුන් වහන්සේ, එම්බා ඇවැත්නි, මාගේ ශරීරයෙහි විෂ ඉතිරි විය. එය සත්‍යක්‍රියාවෙන් අත හරින්නෙමියි සත්‍යක්‍රියා කරන සේක් මෙසේ කීහ.

බුදුරජාණන් වහන්සේ විසින් ලෝ වැස්සනට හිත පිණිස මොනවට වදාරණ ලද නව ලොව්තුරා සදහම් අද මා විසින් ඉඳුරා අසන ලද්දේ වී නම් ඒ සත්‍ය වචනය හේතුකොට ගෙන පොකුරු පත නො ඇලි පහව යන පැන් ටිකක් මෙන් මාගේ ශරීරගත විෂය විනාශයට පැමිණේවා.

3. ඒ අසන්නා වූ ධර්‍මයෙහි එක අකුරක් පදයක් නොනසමින් පදගත අර්ථය ද ධර්මයද මෙනෙහි කරමින් ඉඳුරා බණ ඇසීමි. මෙ සත්‍ය වචනය හේතුකොට ගෙන පොකුරු පත නො ඇලී පහව යන දිය සේ ශරීරයෙහි ද විෂ විනාශයට යේවා.

4. බුදුරජාණන් වහන්සේගේ ගුණානුභාවයෙන් ද එම බුදුරජාණන් වහන්සේ විසින් දෙසන ලද ධම්මානුභාවයෙන් ද සංඝයා වහන්සේගේද තේජස කරණකොට වහාම මේ විෂ වේගය විනාශයට පැමිණේවා.

5. මේ සත්‍යක්‍රියාවගේ කෙළවර පියුම් පත්හි දිය බින්දු සේ විෂ පෙරලී පොළොවට පිවිසියේය. ඉක්බිති හෙතෙම විෂයෙන් තොරවූයේ භික්‍ෂූන්ට ධර්‍මානුභාව විශේෂය දක්වමින් ස්තුති කරමින් මෙසේ වදාළහ.

6. මේ ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් පසස්නා ලදි. සංසාර නමැති සාගරයෙන් එතරවීමට මහ නැවක් වැන්න. බ්‍ර‍හ්ම සුරාසුරයන් විසින් වැන්ද යුතුය. තුන් ලොවෙහිම ඇති එකම රසය ධර්‍ම රසයයි.

7. ධර්‍මය ජරාමරණ නමැති රෝග පහ කිරීමට දිව ඔසුවක් වැන්න. සියළු උපද්‍ර‍ව නැමැති විෂ නැසීමට දිව්‍ය මන්ත්‍ර‍යක් වැන්න. කැමැති කැමැති දෑ දෙන බැවින් කප්රුකක් වැන්න. එසේම සිතුමිණි රුවනක් වැන්න. බදුරු කළයක් වැන්න.

8. දහමින් තොර මවුපිය කෙනෙක් නොමැත. ධර්‍මයම රක්‍ෂස්ථානය වේ. පිහිට වේ: එසේ හෙයින් පින්වත්නි, සෙසු කාර්ය තබා ධර්‍මය අසව්: සිතිනුත් ධර්‍මයෙහි ම හැසිරෙව්: දරව්.

9. මෙසේ හේ ධර්‍මස්තුතියෙන් මහණුන්ට අවවාද කොට සිය තැනටම ගොස් බොහෝ කලක් එහි වාසය කොට ආයු කෙළවර ස්වර්ගයෙහි උපන් සේක.

10. මෙසේ ඒ තෙරුන් වහන්සේ සතුටු සිතින් බණ අසා ඒ දහම් ආනුභාවයෙන් විෂඝෝර සර්පයා දෂ්ට කළ එවැනි විෂ වේදනා ඉවසා නිදුක් වූ සේක. එබැවින් පින්වතුනි, තොපි හැමදෙනාම ද සෙසු දෑ නැතත් බණ පමණක් අසව්. ඒ බණ තොපට අනාගතයෙහි දිව්‍ය මනුෂ්‍ය සම්පත් හා නිර්‍වාණ සම්පත්තිය සාදා දෙන්නේය.

3. කුඩ්ඩරජ්ජවාසී තෙරුන්ගේ කථාවස්තුව නිමි.