6.9. කිඤ්චිසඞ්ඝාවගේ කථාව

1. ලංකාවේ කාවන්තිස්ස රජතුමා රාජ්‍යය කරන කාලයෙහි අනුරාධපුරයෙහි සඞ්ඝනම් මහා අමාත්‍යයෙක් විය. රජතුමා ඔහුට රුහුණෙහි මහගම බත්ගම් කොට දුන්නේ ය. හෙතෙම වනාහි තමන්ගේ චුල්ලසඞ්ඝ නම් මල්ලී අමතා තෝ රජුගේ මෙහෙකරුවෙකු වී උවටැන් කරවයි රජු සමීපයෙහි නවතා තමා මහගමට ගොස් වසයි. එකල ඔහුට එක් දුවක් වූවාය. නමින් කිඤ්චිසඞ්ඝා නමි. රූපයෙන් යුත් දෙවඟනක් වැන්නී ය. මවු පියවරු ඇයට සූප ශාස්ත්‍ර‍ය උගන්වා පිසීම් ශාස්ත්‍ර‍ය උගැන්නුවාය. ඉක්බිති ඔවුහු ඇය විසින් මුලින් පිසූ කොටස භික්ෂු සංඝයාට දුන්හ. ඕ තොමෝ එතැන් පටන් බොහෝ සෙයින් සංඝයාට බත් හා ව්‍යඤ්ජන පිස උපස්ථාන කරන්නීය. ඔව්හු ඇයට සංඝ උපස්ථායිකාව යයි ව්‍යවහාර කරති.

2. මෑත කාලයෙහි සංඝාමාත්‍ය තෙම ජනපදය පෙළමින් කොල්ලකමින් කලබල කරති. ඒ ප්‍ර‍වෘත්තිය මිනිස්සු ගොස් රජුට කීවෝය.

රජතුමා එය අසා ඔහුගේ මළණුවන් කැඳවා සහෝදරයා ජනපදය සංග්‍ර‍හ කිරීමට යවන ලදි. දැන් ජනපදය පෙළා කලබල කරයි. මෙයට ඔබේ සහෝදරයාට ලිපියක් යවා වලක්වන්න යයි කීයේය. හෙතෙම එය අසා සහෝදරයාට ලියුමක් යවමින් මෙසේ කීයේ ය.

3. මගේ සහෝදරයාට වැඳ මෙහි පැතිරී ඇති ප්‍ර‍වෘත්තිය කියමි. සහෝදරය, වංචාව නැතිව රජවරු සේවනය කළ යුත්තෝය.

4. මේ පොළොවෙහි, යම, ආදිත්‍ය, චන්ද්‍ර‍, මාර, කුවේර, අග්නි යන සයදෙනා එක්කිරීම් විසින් රජවරු මවන ලදහ.

5. යම තෙම පින්පව් අනුව සත්වයන් ස්වර්ගයට හා අපයාට පමුණුවය. යම හා සමාන රජතුමා ද එසේ පවතී.

6. ප්‍ර‍බෝධ කළ යුත්තන් ප්‍රබෝධ කරයි. වියලවීමට සුදුස්සන් වියලවයි. මෙසේ සූර්යා ලෝකය ආලෝකය කෙරේ. සූර්යා සමාන රජතුමා ද එසේමය.

7. චන්ද්‍ර‍යා ග්‍ර‍හතාරකා සමූහයා විසින් පිරිවරණ ලද්දේ දස දික්හි අති සිසිල් රශ්මි කදම්බයන් පතුරුවමින් ලෝකයා සතුටු කරයි. ලොව රජු ද චන්ද්‍ර‍යා මෙනි.

8. මාරයා මැරිය යුතු අය දයාවෙන් තොරව මරා ද, රජවරු ද මාරයා මෙන් අසත්පුරුෂයන්ට නිග්‍ර‍හ කළහ.

9. ධනය දීමෙන් කුවේරයා සතුටු කරනාතර ධන නමැති දිය සිඳීමෙන්ද කුවේරයා කටයුතු කරයි. මෙසේ රජතුමා ද කුවේර වැනිය මිත්‍ර‍ - සතුරු අය ධන දීමෙන් හා ධනය ගැනීමෙන් කුවේර වැනිය.

10. ගින්න ලොවැ ඇති සියළු භූතයන් දවයි. රජතුමා ද ගින්න මෙන් අසතුටු පුද්ගලයන් දවයි.

11. ගින්න නරකට ඇසුරු කළොත් ඒ අයම ගින්න විනාශ කර දවයි. රජ නමැති ගින්න නෑයන් සහිත වූ චරාචර සියළු සතුන් සහිත කුලයම දවයි.

12. දැවුණු වනයෙහි ඇතැම් ගස් තිබේ. රජුගේ කෝප නැමැති ගින්නෙන් මනුෂ්‍ය නැමැති වනයෙහි අපරාධ කළ කිසිවෙක් ඉතිරි නොවෙත්.

13. දිග අත් ඇති රජවරු දූර යයි සලකා අවමන් නොකළ යුතුය. ලෝකය පෙළන්නාවූ සතුරා වහා දැඩි කොට අල්වා ගනිති.

14. ප්‍ර‍ත්‍යන්තය නොපෙළව්. ගැමියන් පැහැර නොගනිව්. අනුන්ගේ දේ පැහැර ගන්නෙක් නොවේවා. තමන්ගේ මුල් නොසිඳුව මැනවි.

15. රජවරු පක්ෂපාති උපකාරී හිත එළවන්නාවූ මිනිසාට කීර්ති දීම් ආදියෙන් මනාව වර්ධනය කරත්.

16. මෙසේ ද කියා අප නොබලව් ද, අප්‍ර‍මාද වී ජනයාට සංග්‍ර‍හ කරමින් වාසය කරව් යයි සන්දේශයක් යැවීය. හෙතෙම ඒ සන්දේශය අසා මගේ බාල මල්ලී රජුගේ අදහස දැන සන්දේශය එවීය. රජු කිපී කල සිට අපට මෙහි වාසය කරන්නට නොහැකැයි සිතා දුවත්බිරියත් හරුබස්නත් රැගෙන යන්නේ පිළිවෙලින් නිග්‍රොධසාලඛණ්ඩ යට පැමිණියේය. එහිදී මෙසේ සිතීය. මම රජුට බියෙන් පලායමි. නැවත ඔහු දකින්නට නොහැකිය. අනුරාධපුරයට නොගොස් මලය රටට ගොස් යම්කිසි තැනක වාසය කොට ජීවත් වෙමියි මේ කරුණ තමන්ගේ භාර්යාවට කියා ඇය පිළිගත් කල්හි තමන්ගේ දුවගේ රූසපුව සලකා ඉදින් අපට බිය උපදී ද, එය මෑ නිසා උපදී යයි සිතා සොඳුර, කිමෙක්ද? සංඝයා නිසා අපට බියක් හටගනී. ඉදින් ඔබට රුචි නම් ඇය අත්හැර යමු යි කීයේය. එය අසා ඕ තොමෝ ඔබට යමක් කැමැති නම්, එය කරවු. මම ඔබ සිත නොබිඳින්නෙමි යි කීවාය. ඉක්බිති හෙතෙම දුව අමතා, දුවණියෙනි, අපි ඇතුළු ගමට ගොස් ආහාර සොයා එනතුරු ටිකක් මෙතැන ඉන්න යයි දුව නවතා පලා ගියහ. පුදුමයි. බියට පත් සතුන්ට ලෝකයෙහි ප්‍රේමණීය අය කෙරෙහි ප්‍රේමය හෝ ලෝභ කටයුතු වස්තුවෙහි ලෝභය ගෙවීමට යේ. ඒ එසේමැයි.

17. මෙබඳු වූ දුක් ඇති වූ කල්හි මේ මිනිස්සු පුතුන්ට ඇති ප්‍රේමය අත්හරිති. තමන්ගේ දරුවන් කන කිඹුලන් හා කැස්බන් මෙනි.

18. ඉක්බිති එහි සිටි කුමාරිකාව යන එනවුන් දැක මේ කුමාරිකා තොමෝ අභිරූපය, සුකුමාරය කුමක් සඳහා මෙහි සිටින්නී දැයි පුදුමව ළඟට එළඹ අප සමග මෑණියෙනි, එන්න යයි කියති. ඕ තොමෝ ඔවුන්ගේ ක්‍රියාව අසා මාගේ මවුපියන් වචනය කඩ නොකෙරෙමියි සිතා නිශ්ශබ්දව එහි සිටියේය. මෙසේ එතැන කල් ගෙවන්නාවූ ඇයට දින හතක් ඉක්මිණි. මෙතෙක් කල් නිරාහාරව සිටියේය. එකල්හි ශක්‍රතෙම දෙව් මිනිස් ලොවෙහි සැරි සරන්නේ එසේ සිටි ඇය දැක මහ ගුණවත් කුමාරිකාවකැයි ඇය විමසමියි සිතා සිත් කළු තරුණ රූපයක් මවා ගෙන ඇගේ සමීපයට එළඹ ඇය සමග කතා කරමින් මෙසේ කීයේය.

19. නිල් වූ අග්බඹුරු වූ කෙස් කලාපයෙන් යුත්, පිපී ගිය නෙළුම් වනයක් වැනි මුහුණක් ඇති නිල් පළල් ඇස් ඇති ඇසට උත්සවයක් වැනිය තී.

20. සොඳුර, ලීලාවෙන් රන් ලීයක් බඳු නඳුන් උයනෙහි දිව්‍ය කන්‍යාවක් බඳු අහසෙහි චන්ද්‍රලේඛාවක් බඳු තී, මෙහි සිටින්නෙහිය.

21. සිත්කළු තැනැත්තිය, තී කවුද? කාගේ දුවක්ද? කොහිසිට මෙහි පැමිණියෙහිද? කුමක් සඳහා මෙහි සිටින්නෙහිද තිගේ ස්වාමියා කව්ද?

22. තරුණයෝ තරුණියක්ම කැමැති වෙති. යෞවනියද එසේම තරුණයන් කැමැති වේ. සොඳුර! මෙහි දැන් තීද මමද සමාන වයසෙහි සිටියෝ වෙමු.

23. තී අද පටන් හැම කල්හි භාර්යාභාවයෙන් පෝෂණය කරමි. මම තීගේ හිමියා වන්නෙමි. තී මගේ බිරිය වෙහි.

එය අසා කුමාරිකාව මෙසේ කීවාය.

24. මිත්‍ර‍ය, නුඹ යමක් සඳහා මා සමග කථා කරන්නෙහිද එය කරුණක් මෙන් පෙනේ. ලෝකයෙහි ස්ත්‍රීහු පුරුෂ නමැති ආභරණ යෙන් තොරව නොබලත්.

25. යම් හෙයකින් ඈලාට ස්වාමිවරුන් නැත්නම් විධවා (වැන්දඹු) යයි කියති. හැමදාම වැන්දඹුව සියළු දුකට කොටස් කාරයෙක් වේ.

26. මට මවු හා පියා ඇත. ඔවුහු මට මෙසෙ අනුශාසනා කළහ. දුවණිය අප එනතුරු මෙහිම නවතින්න.

27. මවුපියන්ගේ වචනය යමෙක් මේ මනුලොව නොකරත්ද හේ මේ ලෝකයෙහි විනාශයට ද පරලොව දුගතියටද පැමිණෙත්.

28. තරුණය, යම් හෙයකින් මගේ දෙමව්පියෝ ඔබ සමග එක්වීම අනුමත කරත් නම් එක්වීම සිදුවේ. එසේ නොවුවහොත් එක්වීමක් නොමැත.

29. ඉක්බිති ශක්‍ර‍යා ඇගේ කථාව අසා එසේ නම් පින්වතිය, තී අධික බඩගිනි ඇත්තෙහිය. මේ බත් වළඳවයි කියා එක බත් මුලක් ඇයට දී ගියේය. ඕ තොමෝ බත් ගෙන කාලය බලා තවම පෙරවරු යයි දැන දන් දී වළඳිමියි කාල ඝොෂා කළා ය. තුන්වැනි ශබ්දය කෙළවර සිතුල්පව් වෙහෙර වැසි එක් රහත් නමක් එය අසා අහසින් අවුත් ඇගේ ඉදිරියෙහි පහළ විය. ඕ තෙරුන් දැක සතුටු සිතැතිය පසඟ පිහිටුවා වැඳ පාත්‍ර‍ය බතින් පුරවා තෙරුන්ට දී ටිකක් සිටින්න ස්වාමීනි යි කියා වහ වහා ලැහැබකට පිවිස ගස් අතු කඩා ඇඳගෙන වැලකින් බැඳගෙන හැඳිවත් සෝදා සුඹුලක් දරණක් කොට තෙරුන්ට දුන්නේය. තෙරුන් වහන්සේ ඒ පාත්‍ර‍ය සුමුලෙහි (දරණෙහි) තබා මෝ මා දකීවායි අධිෂ්ඨාන කොට ඈ දකිද්දීම අහසට නැග විහාරයට ගියෝය. ඕ තොමෝ එය දැක සතුටු සිතින් දන් දී ඉතිරි වූ දෙය අනුභව කොට තමන්ගේ දානය ගැන සලකා ලැහැබක සැඟවී සිටියාය. එකල්හි රජුගේ සේසතෙහි අධිගෘහිත දෙව්දුව ඇයගේ දානයෙන් සතුටුව සේසත් පිඬු චීවරයෙන් නික්ම සාධුකාර දෙමින් මෙසේ කීවාය.

30. කුමරිය, මැනවි, මැනවි, ධර්මයෙන් ජීවත්වන තැනැත්තිය ශ්‍ර‍ද්ධා ඇත්තී වෙහි. තී යහපත් කොට දන් දුන්නෙහි. හැම කල්හි යහපත් පූජා ඇත්තියක් වෙව.

31. රජතුමා එය අසා කවරෙකුට පිනැත්තිය සාධුකාර දුන්නෙහිද? යි විචාළේය. ඕ තොමෝ මහරජතුමාණෙනි, මහාගමෙහි සංඝාමාත්‍යයාගේ කිංචිසංඝා තොමෝ නුගගල්කඩ දොරදී දනක් දුන්නීය. ඇයට මම සාධුකාර දුනිමි යි කීවාය. රජතුමා එය අසා ඇමැතියන් ඇණවීය. පින්වත්නි, තෙපි වහා එහි ගොස් ඇය යෝග්‍ය වූ රථයක් වඩා හිඳුවා සරසා ගෙන එව් යයි කීයේය. ඔවුහු ගොස් ලැහැබ අතර හුන් කුමරිය දැක මෑණියෙනි, අපේ රජතුමා තී ගෙන ඊම පිණිස අප එවී ය. එන්න යන්න යයි ඉල්ලූහ. ඉක්බිති ඕ තොමෝ මගේ මවුපියන් නොපැමිණ දින සතකි. දැන් මා අතහැර එක්කෝ ගියාහු ය. නැතහොත් මළාහු විය යුතු යයි සිතා ඔවුන්ගේ වචන මැනවයි පිළිගත්තාය.

ඉක්බති ඇමතියන් විසින් උනන්දු කරන ලද (ඇය) ජලය බී නහා කොළ අතු දියෙහි දමා ඇඳීමට වස්ත්‍ර‍ ගෙන එන්න යයි අත දික් කළාය. ඇමතියෝ රජතුමා විසින් එවන ලද සළුව බැහැර කොට ඇගේ අතෙහි තැබූහ. ඕ තොමෝ එය දැක පින්වත්නි, මේ වස්ත්‍ර‍ රළුය. සිත්කළු නොවේ. වෙන එකක් ගෙන එන්න යයි කීවා ය. ඉක්බිති ඇතැම් කෙනෙක් එය අසා අතු ඇඳ සිටි තැනැත්තියට මේ සළු ප්‍රිය නොවේ යයි කියා මිනිස් ලොවට මීට වඩා සියුම් වස්ත්‍ර‍යක් නැතැයි කීවාහු ය.

32. එකෙණෙහි ශක්‍ර‍යා ඇයගේ පින් බලෙන් දිව්‍යමය කිසිම දිනක විනාශයට නොයන සළු පසක් යැවීය.

ඕ තොමෝ එක් සළුවක් ගෙන ඇඳ වාහනයට නැග මහියංගන විහාරයට ගොස් එහි බොහෝ භික්ෂූන්ට සිවුරු පිණිස වස්ත්‍ර‍ දී තමන්ගේ පිරිවර ජනයාටද දිව්‍ය වස්ත්‍ර‍ම දුන්නීය. පැසින් වස්ත්‍ර‍ ගත් ගත් තැන අඩුව පිරිණ. ඉක්බිති ඕ තොමෝ පිළිවෙලින් අනුරාධපුරයට ගොස් රජතුමා දැක්කාය. රජතුමා ද ඇය දැක සතුටුව ඇයට මහත් සැපත් දුන්නේ ය. ඕ තොමෝ එහි සියළු භික්ෂු භික්ෂුණී සංඝයාටද රජතුමා ප්‍ර‍ධාන සියළු රජ පිරිසටද නුවර වැස්සන්ටද දිව්‍ය වස්ත්‍ර‍ දුන්නීය. රජතුමා ඇය එක පුතෙකුට පාවාදී ඇයට මුළු රුහුණු ප්‍රදේශයම බත්කම් කොට දුන්නේය. ඕ තොමෝ එතැන් පටන් එහිවසමින් දන්දීම ආදී බොහෝ පින්කම් කොට ආයු කෙළවර පිරිස් සහිතව දෙව්ලොව උපන්නී ය.

35. දානය කරණකොට ගෙන සත්වයෝ දෙව් ලොව යති. දානය කරණකොට ගෙන මිනිසුන් අතර සම්පත් විඳිති. දානය කරණකොට ගෙන නිර්වාණයද ලබති. එනිසා නිතර දන් දෙව්.

9. කිඤ්චි සංඝාවගේ කථා වස්තුව නිමි.