6.6 අරියගාල තිස්ස කථාව

star_outline

1. හෙතෙම අතීතයෙහි රුහුණු දනව්වෙහි ජගාම වාරයෙහි එක්තරා කුල ගෙයක ඉපදි වැඩිවිය පැමිණියේ වීය. හේ එක් දිනක් ජගාම බෝධියඞ්ගනයට ගොස් බෝධිය ද භික්‍ෂු සංඝයා ද වැඳ එතැන් පටන් නිතරම බෝමළුවෙහ වැලි විසුරුවමින් මලුවෙහි මැටිකම් කරමින් මල් පූජා කරමින් බෝධිය ගඳ පැනින් ඉසිමින් සුවඳ පසැඟිලි කරමින් දන් දෙමින් බොහෝ පින්කම් රැස් කොට එයින් චුතව එම රෝහණ ජනපදයෙහි මහාගාම මඟුල් වීථියෙහි මහාධන දේව නම් ප්‍ර‍ධානියෙකු නිසා ඔහුගේ භාර්යාවගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. හෙතෙම ගැබ මේරීමට පැමිණ මවු කුසින් නික්මිණ. ඔහුගේ මවු පියෝ ඔහුට තිස්ස යයි නමක් කළහ. ඉක්බිති ඊට මෑත භාගයෙහි ඔහුට අවුරුදු පහක් හයක් ගිය කල සෙල්ලම් කිරීම ඔහුගේ ස්වභාවය නිසා කේළිය තිස්ස යයි ව්‍යවහාර කළහ. ඉක්බිති හෙතෙම මෑත භාගයෙහි බුදු සස්නෙහි පැහැදුනේ භික්‍ෂූන් වහන්සේ සමීපයෙහි පැවිදිව පිළිවෙත් පුරන්නේ පස් වසක් විසී ය. ඉක්බිති හෙතෙම සාසන ප්‍ර‍තිපත්තිය පුරන්නට නොහැකි වූයේ සිවුරු හැරීමට කැමැත්තේ විය.

2. ශ්‍ර‍ද්ධාවන්ත කුලපුත්‍ර‍යා විසින් බුදු සසුන්හි පැවිදිව ඉතිරි තිස්ස නොකොට ප්‍රාතිමොක්ෂ සංවර ශීලය පාලනය කළ යුතුයි.

3. චක්ඛු සොත ආදී දොරටුවලට රූප ශබ්ද ආදිය ගොදුරු වන දේ වැළැක්විය යුතුයි. හැම කල්හි ඔහු විසින් ශ්‍ර‍ද්ධාවෙන් ඉන්ද්‍රිය සංවර ශීලය රැකිය යුතුයි.

4. කුලදූෂණාදිය නොපවත්වා හැමදා ශුද්ධ වූ ආජීවයෙන් තමන්ගේ දිවිය මෙන් ආජීව පාරිශුද්ධි ශීලය රැකිය යුතුයි.

5. සතර පසය නුවණින් නිතර මෙනෙහි කරන්නා විසින් ප්‍ර‍ත්‍යය සන්නිශ්‍රිත ශීලය හැමකල්හි ආදර සහිතව කිය යුතුයි.

6. මේ සතර ශීලය පුරණ යතිතෙම ස්වර්‍ගමොක්‍ෂ සම්පත්තිය අවශ්‍යයෙන්ම අනුභව කරන්නේය.

7. යමෙක් රාග ද්වේශ මෝහයන් කරණකොට සීලයන්හි ආදර රහිතව අලසව නිරයෙහි උපදින්නේ ය.

8. හෙතෙම දායකයන් සතුටු නොකරයි. හෙතෙම තමා ද සතුටු නො කෙරේ. සොහොන් ගිණිපෙනෙල්ලක් සමාන වේ. හෙතෙම ඥානවන්තයන් විසින් නින්දා කරන ලද්දෙක් වේ.

9. එනිසා එය පුරන්නට නොහැකි භික්‍ෂුව විසින් එහි නොඇලී ශාස්තෘ ශාසනයෙන් උපැවිදි බවට යා යුතුය.

10. හේ මෙසේ සිතා සෙනසුන පිළියෙල කොට තබා සිවුරු සෝධා පාත්‍ර‍ය සමග පිළියෙල කොට තබා නිවැරදි සලුවක් නොමැති කමින් නග්නව ජලයෙහි සැඟවී ගඞ්ගාවෙහි වැටී යන්නේ ජලයෙන් පාවෙන ඒ දරකඩ පපුවට තබාගෙන එතෙරව යටි ගං බලා යයි. එකල වනිතාවන් දෙදෙනෙක් යටි ගංතොට නහන්නෝ ගඟ දියෙන් ගසාගෙන එන දරකඩ දුරින්ම එනු දැක ඔවුන්ගෙන් එකියක් මේ දරකඩ මගේ යයි කීවාය. අනික් තැනැත්තිය යමක් එහි වේ නම් එය මගේ යයි කීවාය. ඊට පසු ඒ දරකඩ ළංවෙත්ම දෙදෙනාම පීනා ගොස් අල්ලාගෙන ඒ දර කඩ සමග ඉවුරට පැමිණ වූවාහුය. ඉක්බිති ඈලාගෙන් යම් තැනැත්තියක් එහි විද්‍යාමාන දේ මගේ යයි කියූ තැනැත්තිය වස්ත්‍ර‍ නැති ඔහු දැක ඔහුට සළුවන් ගෙන එන්නෙමියි කියා තමන්ගේ ගෙදරට ගියාය. ඇය ගියාට පසු ඉතිරි තැනැත්තී තමන් ඇඳි වත මැදින් ඉරා එහ හඳවා මවුපියන්ගේ ගෙදරට ගෙන ගියා ය. ඇගේ මවුපියෝ ඔහුගේ කුලවංශය විචාරා ඇයටම භාර කළහ. ඕ තොමෝ නමින් සුමනා නම් වූවාය. ගම්වැස්සෝ ඔහු ගඟෙන් පැමිණි නිසා ගඞ්ගාතිස්ස යයි නම් කළහ. මේ ගඞ්ගාතිස්ස ගෙදර වසන්නේ කෘෂි වණික් ආදී කිසි කර්මාන්තයක් නොකරන්නේ ඒ ඒ තැන හැසිරේ. ඒ නිසා ඔහුගේ අකර්මන්‍ය ශීලතාවයෙන් යුක්ත නිසා නිකම් තිස්ස යයි ව්‍යවහාර කරති. ඉක්බිති සුමනාවගේ සහේදර සහෝදරියෝ එක් රැස්ව මවුපියන්ට මෙසේ කීහ. සුමනාවගේ හිමියා අලසකමින් යුක්තව වසයි. අපි ඔහුට කුමක් කරමුදැයි ඉක්බිති ඔව්හු දරුවන්ට දැන්වීමට තිස්ස පිට ගිය වේලෙහි සුමනා කැඳවා මෙසේ කීවාහුය.

11. තිගේ හිමියා කෘෂිකර්මය හෝ වෙළෙඳාමක් හෝ නොකොට අලස ස්වභාවයෙන් යුක්තව කෙසේ නම් කුලය ගෙන යන්නේද?

12. අඹුදරුවන් නෑයන් සමග කුලය දියුණු කරගනු කැමති අය විසින් සියළු කටයුතුවල හැමදාම අලසයෙකු නොවී පැවතිය යුතුයි.

13. කෙසේවත් දැසි දස් මීමුන් ආදීන් කෙරෙහි අලස නොවූයේ නම් හේ පිදිය යුත්තෙක් වේ. සිය නෑයන් අතර ද පිරිවර ජනයා අතර ද පිදිය යුත්තෙක් වේ.

14. මේ සීත කාලය, මේ උෂ්ණ කාලය යයි නොසිතමින් කායික දුක් ඉවසන්නේ කාලය - අකාල යයි දැන සෑම කල්හි වීර්ය කටයුතුයි.

15. වෙළෙඳාම් වලින් ද ශිල්ප උද්ග්‍ර‍හණ ධාරණ අවස්ථාවෙහිද අනලස්ව හැමදාම නොමියන කෙනෙක් මෙන් උත්සාහ කළ යුතුයි.

16. මෙසේ ද කියා ඇයට නැළියක් පමණ සහල් ද එක භාජනයක් දී දී අද සිට තෙපි වෙනම වසව්. අපගේ ගෙයි නොවසව් යයි කියා යැවූහ. ඒ එසේමැයි.

17. මව, පියා, සහෝදරයා, සහෝදරී, අඹු, නෑයන් යනාදී සියල්ලෝ දිළින්දන් කැමැති නොවෙති. මෙය ලෝක ස්වභාවයයි.

18. ධනවතා කුලවතෙක් නොවූවත් ඒ ප්‍ර‍භූවරයා ධනවත් වේ නම් ලෝ වැස්සා ඔහුට සැලකිලි කරයි. මෙය ලෝක ස්වභාවයයි.

19. ඉක්බිති සුමනා ඒවා රැගෙන පාලු ගෙදරක කඳුලු සල සලා හඬමින් හුන්නීය. තිස්ස තමා ගිය තැනින් අවුත් හඬන භාර්යාව දැක සොඳුර, කුමක් නිසා හඬන්නේ දැයි විචාළේ ය. ඕ තොමෝ මවුපියන් කියූ හැම දෙයක්ම කියා වෙන් කළ බව කීවේ ය. එය අසා අප වෙන් කරන්නෝ කුමක් දී එසේ කළාහු ද? එක සහල් නැළියක් හා පිසන බඳුනක් දුන්නාහු යයි කී කල්හි හෙතෙම එය අසා සොඳුර තී අමත්තක් නොසිතව, අපි කිසියම් උපායකින් ජීවත් වෙමු. සොඳුර, අපි වෙන් කළ දින සිට භික්‍ෂු සංඝයාට කිසිවක් නොදී නොවළඳමුයි කියා තෙමේ මහා විහාරයට ගොස් සලාකයක් නියමකොට ගෙන අවුත් බිරිය අමතා සොඳුර මම එන තුරු ණයක් ගෙන හෝ කිසියම් උපායකින් නොපමා වී ආර්යයන්ට දන් දෙන්නෙහි යයි කියා තෙමේ කම්කරු වැඩක් සොයමින් ගියේය.

එකල්හි ඔහුගේ පියා වූ මහාධන දේවයන්ගේ මිත්‍ර‍ චන්දසූරිය නම් රාෂ්ටික පුත්‍රයෙක් චිත්තසර කෙතෙන් පන්සිය කිරියක් ලැබ ශශ්‍ය කරවීය. එකල්හි පැසුනේ විය.

එකල්හි තිස්ස බැළ මෙහෙයක් සොයමින් රාෂ්ටිකගේ ගෙදරට ගොස් ඔහු දුටුවේය. රාෂ්ටික ඔහු දැක කුමක් සඳහා පැමිණියෙහිදැයි විචාළේය. බැළමෙහෙයට ගොයම් කැපීමේ වැඩක් සොයාගෙන ආමි යි කී කල්හි රාෂ්ටික ඔහු දෙස බලා දරුව, ඔබ සිය අතින් කර්මාන්ත මීට පෙර නොකළ විරූය. ඔබට වී කපන්නට හැකි දැයි ඇසීය. මම ගොයම් කපමි යයි කී කල්හි පිළි නොගත්තේ ය. ඉක්බිති තිස්ස එහෙනම් මගේ වීර්ය බලව් යයි දෑකැත්ත ගෙන කෙතට බැස පෙරවරු කාලයෙහි ම ඒ කිරිය පන්සියයම කැපී ය.

රාෂ්ටික මේ දැක පුදුමට පත්ව ඔහුට සතුටු වී තමන් සඳහා ගෙනත් තුබූ බත් භාජන ද දැසි දස්සන් ද දුන්නේය. ඊට පසු තිස්ස ඒ සියළු කෙත තමාම එක් කොට මැඩ පිදුරු ඉවත්කොට තමාම පොළා වී මහ ගොඩක් කෙළේය. මහාරාෂ්ටික මේ මිනිසාගේ වීර්ය දැක ඉතාම පැහැදී ඒ කෙතෙහි සියළුම ධාන්‍ය ඔහුට දුන්නේය.

20. තිස්ස එතැන් පටන් භික්‍ෂූන්ට සලාක දාන අටක් දෙයි. දෙන්නේ වතුර ලුණු පමණක් කොට සප්පාය නොවන සේ දෙයි. එනිසා ඔහුට උදකලොණ තිස්ස යයි ව්‍යවහාර කෙරේ. මේ භික්‍ෂූන් අතර වෘද්ධි ප්‍ර‍ව්‍ර‍ජ්ජිතයෝ මහළු භික්‍ෂූහු ඒ බත් ගෙන බල්ලන්ට බත්ලන පෝරුවෙහිම බහාලති. භික්‍ෂූන්ගේ ඒ ක්‍රියාව දැනගෙන එතැන් පටන් දහසය කිරියක කිරි හා සලාක බත් එළවීය. එනිසා ඔහුට භික්ෂූන් වහන්සේ ඛීරභත්ත තිස්ස යයි නම් කළහ.

මෙසේ බොහෝ කලක් කිරිබත්ම වැළඳීමෙන් ඒ භික්ෂූන් වහන්සේට අරුචියක් හට ගති. ඒ කිරිබත් සිත නොපැහැදේ. ඉක්බිති ඛීරභත්තතිස්ස ඒ කාරණය දැනගෙන දෙනුන් සීයක් ලැබ තමන්ගේ ශ්‍ර‍ද්ධාව ගැන සිහිකොට තනය ගති. සුවඳ ගිතෙල්ම වැගිරිණ. හේ එතැන් පටන් භික්ෂූන් වහන්සේලා දහසය නමකට ගිතෙල් මිශ්‍රකොට සෑදූ බතක් දෙයි. ඉක්බිති ඔහුට කල්‍යාණ භත්ත තිස්ස යයි නම් විය. හෙතෙම පිළිවෙලින් දානය දියුණු කරමින් පන්සියයක් භික්ෂූන් වහන්සේට ගිතෙල් මිශ්‍ර‍ බත් දෙයි. හෙතෙම එක් දිනක් භික්ෂු සංඝයාට අල වර්ග දානයක් මා විසින් දිය යුතුය සිතා බොහෝ මිනිසුන් සමග කුම්බූල පර්වතයට නැග අල ජාති සොයන්නේ නිධන් සැටක් දැක තමන්ගේ ගෙදර නිධන් ගෙන ගොස් එයින් පසු වැඩිපුර දන් දෙමින් වාසය කරයි.

එසමයෙහි අනුරාධපුරයෙන් පන්සියයක් භික්ෂූහු ඒ ඒ තැන බෝ පිළිම ආදිය වඳිමින් පිළිවෙලින් මහගමට ගියාහු ය. ඒ කල්‍යාණභත්ත තිස්සයෝ ඔවුන් දැක සතුටට පත්ව ආරාධනා කොට මහදන් දී අනුමෙවෙනි බණ කෙළෙවර ආර්යයන් වහන්සේ කොහි සිටි පැමිණියේ දැයි ඇසීය.

උන්වහන්සේලා උපාසකවරුනි, අනුරාධපුරයේ සිට ආවෙමුයි කීහ. හෙතෙම ස්වාමීනි, දැන් කොතැනක බොහෝ භික්ෂූන් වසත් දැයි ප්‍ර‍ශ්න කෙළේය. ඉක්බිති ඒ භික්ෂූහු නිදුකාණෙනි, දැන් ලඞ්කාද්වීපයෙහි චෙතියම්බ විහාරයෙහිද අනුරාධපුරයෙහි හා නාගද්වීපය යන තුන් තැන නොයෙක් සිය ගණන් භික්ෂූහු වාසය කරතියි කීවාහුය. ඔවුන්ගේ මේ කථාව අසා සතුටුව එහි ගොස් මා විසින් දන් දිය යුතුය යයි සිතා මුලින්ම චෙතියම්බ විහාරයට ගොස් එහි භික්ෂූන්ට දන් දී ඊට පසු අනුරාධපුරයෙහි පඤ්චමහා ආවාසයෙහි නොයෙක් දහස් ගණන් භික්ෂූන්ට දන් දී රජතුමාටද පඬුරු දී ඔහු විසින් අනුග්‍ර‍හ කරන ලදුව නාගදීපයට ගොස් එහි භික්ෂූන් වහන්සේට මහ දන් දී එයිනුදු නික්ම අරියගාල තිත්ථියෙහි වාසය කරයි.

එකල්හි හෙතෙම තමන්ගේ භාර්යාව කැඳවා සොඳුර, භික්ෂු සඞ්ඝයාට දන් වැට නොකඩා දන් දෙව. මම ගංගාවෙහි ඔබිනොබ මිනිසුන් එගොඩ මෙගොඩ කරවමින් පින් රැස් කරවමියි අවවාද කොට තෙමේ මිනිසුන් නැවෙන් ඉවුරට පමුණුවමින් දවස ගෙවීය. ඒ අරියතිත්ථයෙහි නියුක්ත බැවින් ඔහුට අරියගාල තිස්ස යයි නම් කළහ.

මෙසේ ඒ පින්කමින් ඔහු කල් ගත කරන කල්හි ශක්‍ර‍යා ඔහුගේ ශ්‍ර‍ද්ධාබලය දන්නේ නමුදු ඔහු විමසනු කැමැත්තේ බමුණු වෙසකින් පැමිණ නැවෙහි හුන්නේය. අරියගාල තිස්ස තෙම ඔහු ගෙන පදින්නේ පරතෙර සමීපයට පැමිණියේය. ඉක්බිති බමුණුතෙම පින්වත, සැරමිටිය අමතක වීමියි කීයේය. හෙතෙම නැවත පදිමින් එය ගෙන ගියේය. නැවත පයෙහි ගාන තෙල් නැලිය අමතක වී යයි කී කල්හි නැවත ගොස් එයද ගෙනාවේය. මෙසේ හේ යමක් කමක් කියයි ද ඒ ඒ දේ ගෙන එමින් සිත දූෂණය නොකොට ඔබිනොබ සැරිසරන්නේ ශක්‍ර‍ තෙම මෙසේ එය විමසා ඔහුගේ ශ්‍ර‍ද්ධාව නිශ්චල යයි දැනගෙන සතුටුව තමා අතහැර අහසෙහි තමාගේ ශක්‍ර‍ විලාසයෙන් සිට අවවාද කොට අරියගාල සමීපයෙහි එක් විලක බොහෝ ස්වයංජාත වී මවා සත් රුවනින් ඔහුගේ ගෙය පුරවා අප්‍ර‍මාදයන් අවවාද කොට දෙව් ලොව ගියේය ය.

ඉක්බිති අරියගාල තිස්ස රන් අමුරන් ආදිය ගෙදර පමුණුවා නොයෙක් දානාදි පින්කම් කොට එහිම වසයි. ඉක්බිති මෑත කාලයක පියඟු දිවයිනෙහි භික්ෂූ සඞ්ඝයා වහන්සේ එක් කලක එක් තැනක රැස්කොට හුන්නාහු මෙසේ කථාවක් නැංගුවාහුය. දැන් දස දහසක් යොදුන් දඹදිවෙහි ශ්‍ර‍ද්ධාවන්තයෝ කොහි වාසය කරන්නෝ ද ඉක්බිති මේ භික්ෂූන් අතර සම්බෝධි ස්ථවිරතෙම දැන් සිංහලද්වීපවාසීහු ශ්‍ර‍ද්ධා සම්පන්නයෝ යයි කීහ. යොන් රට රජපුත් බුද්ධරක්ඛිත ස්ථවිරයන් වහන්සේ යොන් රට වැස්සෝ ශ්‍ර‍ද්ධාවන්තයෝ යයි කීහ. ඒ අසා භික්ෂූහු අදම එය විමසමුයි ඒ ඒ රටට යැවූහ. ඔවුන් අතුරෙන් බුද්ධරක්ඛිත තෙරුන් වහන්සේ වේලාව සමීප වූ කල්හි යොනක රටට ගියේ ය. සති සම්බෝධී ස්ථවිර තෙම ලංකාවේ අරියගාල තිස්සගේ ගෙදොරට පැමිණියේය. එදා අරියාගල තිස්ස භාර්‍ය්‍යාව සුමනා දොළොස් දහසක් භික්ෂූන් වහන්සේට දසවරක් දන් දී තමන්ගේ දානය ගැන මෙනෙහි කරන්නී කුඩා යහනක හුන්නී ය.

22. මා විසින් සිවුරු ආදී මේ මේ දේ දෙන ලදි. එසේම සියුම් සැප ස්පර්ශය ගෙන දෙන ඇඳ පුටු ආදිය ද දෙන ලදි.

23. මිහිරි ආහාරපාන කෑයුතු පිය යුතු දෙයන්ද බුලත් මුව සුවඳ දෙයින්ද බෙහෙත් ආදියෙන් මනා කොට, සන්තර්පණය කරන ලදි.

24. මෙම හෙට මීට අධිකව එය මනා කොට සපයා දෙන්නෙම් දැයි දාසි ගණයා විසින් පිරිවරා විචාරමින් උන්නීය.

25. මෙසේ හුන්නේ පැමිණි තෙරුන් දැක කාලය බලා දැන් බත් කිස දීමට නොහැකි යයි වහ වහා තෙල් කපාලයක් ගෙන උදුනට නගා සුවඳ ගිතෙල් බහා කැඳ බත් භාජනයෙහි බත් උළු පෙරා සෝදා ගිතෙලින් බැද එහි චතුමධුර බහා දිව්‍ය භෝජනයක් මෙන් පාත්‍ර‍ය පුරවා වස්ත්‍ර‍ සුඹුලුවක් තබා තෙරුන්ට එලවීය. තෙරුන් වහන්සේ ඇගේ ප්‍ර‍සාදය වැඩීම සඳහා සොහොයුරිය, පාත්‍ර‍ය අහසෙහි හරින්න යයි කීහ. ඕ තොමෝ බියෙන් අත නොහැරියේය. තෙරුන් වහන්සේ විසින් ඔබගේ ශ්‍ර‍ද්ධා ගුණය ගැන කල්පනා කොට අත්හරින්නැයි කී කල්හි එසේ කොට අහසෙහි අත්හැරියේය. තෙරුන් වහන්සේ මේ බත වළඳන භික්ෂූන් වහන්සේ මෝ තොමෝ දකීවායි අධිෂ්ඨාන කොට බුද්ධරක්ඛිත තෙරුන් නොපැමිණෙන්නට පෙර ගොස් භික්ෂූන් වහන්සේලාගේ පාත්‍ර‍වලට පිණ්ඩපාතය දී වැළඳ වූහ. ඕතොමෝ දානය වළඳන භික්ෂූන් වහන්සේලා දැක හටගත් ප්‍රීතිය ඇත්තී සාධුකාර දෙමින් ගෙදරට ගොස් සැමියා පැමිණි කල්හි ඔහුට තමා විසින් හා තෙරුන් වහන්සේ විසින් කරන ලද සියල්ල කීයේය. හෙතෙම එය අසා ඉතාමත්ම පැහැදුනේය. මෙසේ පුදුම එළවන පින්කම් රැස් කරමින් මෑත භාගයෙහි මරණපරායණ විය. එය එසේමැයි. පින්වතුන්ට මරණ වේදනාවක් නොමැත. නිදා පිබිදියෙකු සේ කැමැති ස්ථානයක උපදී. ඒ නිසා පැරණියෝ කීහ.

26. පින් කළ අය යම් කලෙක මරුගේ වේගයෙන් අදිනු ලබන කල්හි මරණ මඤ්චකයෙහි ගැහෙමින් හොත්තේ වේද,

27. එසමයෙහි ඔහු විසින් කරන ලද යම් කුශලකර්ම කෙනෙක් වෙත්නම් ඒවා ඒ වේලාවෙහි ඔහුගේ මනසෙහි එල්බ ගනිත්.

28. එකල්හි ස්වර්ගයට යන සත්ත්වයාට උසස් වාහන විමන් ආදියද ඉටුවූ අනුකූල නිමිතිද දකිත්.

29. සිය ගණන් අප්සරාවන්ගේ නෘත්‍යගීතාදියෙන් ද විමාන යානාවක් ද දැක ඔහුගේ (සිත) සතුටු වේ.

30. එකල්හි ඒ දායක මිනිසා පරම ආස්වාදය ලබයි. පරණ මඩුවක් අතහැර ප්‍රාසාදයකට නගින්නා මෙනි.

31. සසර බියෙන් එතෙරවනු සඳහා මා විසින් යහපත් දෙය කරන ලදී. කුශලානුභාවයෙන් හටගත් උදාර පුණ්‍ය විපාකය අනුභව කරමි.

32. මෙසේ හෙතෙම සතුටට පත්ව අභීතව අතිශයින් සතුටුව තමන්ගේ පින්කමින් අතිශයින් නැලවී

33. පණ්ඩිත තෙම පින්කළ අයට ආවාසයක් වූ ස්වර්ගයාට පමුණුවයි. ඔහුට නුමුළා මරණය සිදුවේ. පින්කම් කරන්නන්ට එය නියතයි.

34. මෙසේ හොත්තා වූ ඔහුට දෙවියෝ දෙව් ලොවින් රථ සයක් ගෙනවිත් තම තමන්ගේ දෙව්ලොව වර්ණනා කළාහුය.

හේ එය අසා සදහම් අසා පුරුදු නිසා තුසිත දෙව් ලොවින් ගෙන ආ රථය හැර ඉතිරි ඒවා ගෙන යන්න යයි කීයේය. ඒ අසා ඒ අසල සිටි සුමනා තොමෝ කිමෙක්ද ස්වාමීනි, මෙතෙක් කුසල් කොට මෙසේ මරණාසන්න කාලයෙහි විලාප කරන්නෙහිද, තිස්ස, එය අසා සොඳුරු, මම විලාප නොකියමි. දෙව්ලොව දෙවියෝ රිය සයක් ගෙනාවාහුය. මම ඔවුන් සමග කථා කෙළෙමි යි කීයේය. එය අසා සුමනා තොමෝ මම ඒවා නොදකිමි කොහි දැයි විචාරන ලද්දී මල්දාමයන් ගෙන්වා ගෙන අහසට දැම්මවීය. එය ගොස් රිය හිසෙහි එල්බුණේය. ඒ දැක සුමනා තොමෝ ගැබට පිවිස ඇඳට ගොස් නාසිකාවාතය හිරකොට කළුරිය කොට සැමියාට මුලින් ගොස් රථයෙහි පහළ වූවා ය. ඕ තොමෝ එහි සිටිමින් සැමියාට හසුනක් එවමින් මෙසේ කීවා ය.

35. සාරයක් නොමැති ඒ මිනිසත් බවෙහි කුමක් නිසා බොහෝ කල් පමා වන්නෙහිද? අශුචියෙන් අපිරිසිදු පණුවන්ට නිවසක් වූ මේ මිනිස් සිරුර අතහැර වහා එන්න. මේ දිව්‍යශ්‍රීය බලන් මම පළමු කොටම ආවෙමි. හිමියනි, දැන් තුසිත දිව්‍යලෝකයට යමු.

36. මෙය අසා සිටි හෙතෙමේද කළුරිය කොට එම රියෙහිම උපන්නේය. ඔවුහු දෙදෙනාම සමගියෙන් සතුටුව දෙව් පිරිස පිරිවරා මහජනයා බලාසිටිද්දීම තුසිත පුරයට ගියාහු ය.

37. බුද්ධිමතුන්ගේ මේ චරිත දැනගෙන දිව්‍ය මනුෂ්‍ය සම්පත් හා නිවන් සැපත් පතමින් කල්ප වෘක්‍ෂය හා සමාන සංසාරයෙහි වසනා තෙක් කැමැති දෑ ලැබෙන නිර්මල ශීල ඇති බුද්ධ පුත්‍ර‍යන්ට දන් දෙව්.

6. අරියගාල තිස්ස කථා වස්තුව නිමි.