6.4 චූලතිස්ස කථාව

1. එක් කලෙක ලඞ්කාවෙහි දුටුගැමුණු අබය නම් රජෙක් රජ කරවීය. එකල්හි ඔහුට තිස්ස නම් එක් සුළු සේවකයෙක් අභ්‍යන්තරව රජකම් කරයි. එකල්හි රජුගේ කණ්ඩුල නම් ඇතා යදම හා බැඳි කණුව බිඳ නැගෙනහිර බලා කැලයට වැදී සල් බෝ ගස් කොළ ආදිය සිඳ බිඳ කමීන් පිළිවෙලින් මහකඳුරු නම් විහාරයට ගොස් ඒ ඒ තැන්වල රුක්මුල්සුන්‍යාගාර ආදී තැන්වල ධ්‍යානඞ්ග දරණ භික්‍ෂූන් දැක පසන් සිත් ඇත්තේ ඔවුනට කුඩා ගෙඩි මහා ගෙඩි ගෙනවිත් උපස්ථාන කරන්නේ එහිම වාසය කෙළේය. රජතුමා ඒ ඇතා ගිය තැන් පරීක්‍ෂා කරන්නේ නොදැක අමාත්‍යයන් සතර දෙනෙක් සතර දිශාවට යවා සුළු සේවක තිස්ස ඇමතියා නැගෙනහිර දිශාවට යැවී ය. අන් දිශාවන්ට ගියෝ ඇතා නොදැක්කෝය. ඒ ඇමතියා ගම් නියම්ගම් පරම්පරාවෙන් හැසිරෙන්නේ පිළිවෙලින් එම විහාරයටම පැමිණියේය. එම විහාරයෙහි,

2. යම් යහපත් විහාර උපවනයෙක්හි රුක්ඛමූලිකාඞ්ග භාවනා වඩන්නෝ, ඒ ඒ රුක්මුල්හි හුන්නාහු ය.

3. ඒ ඒ විහාරයෙහි අභ්‍යවකාශයෙහි භාවනා කරති. යහපත් භාවනා ක්‍ර‍ම ගෙන සුන්‍යාගාරයෙහි ඇලෙති.

4. පාංශුකූලික අඞ්ග සමාදන්වූවෝ ද කසිණ භාවනා වඩන්නෝ ද මැණික් පොරෝනා පෙරවූ එකචාරී ඇතුන් මෙන් භාවනාවෙහි සිත් අලවා වෙසෙති.

5. යම් තැනක සොසානිකාඞ්ගය රකින නිතර මරණ සිහිය ඇති බුද්ධපුත්‍ර‍ භික්ෂූහු බුද්ධ ශාසනයෙහි මනාව ඇලෙති.

6. මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්‍ෂා (යන බ්‍ර‍හ්ම විහරණ) වඩන පිණ්ඩපාතික භික්ෂූහු මේ විහාරයෙහි වාසය කරති.

7. ඒ ඒ තැන්නවල නෙසජ්ජික ධුතාඞ්ගධාරීහුය. එකාසනිකාඞ්ග ධූතාඞ්ගධාරීහු ය. බුද්ධානුස්සති ආදි අනුස්සති භාවනා වඩන භික්‍ෂූහු විහාරයෙහි වාසය කෙරෙති.

8. සිල්වත් ගුණවත් බුද්ධශාසන මාමකයෝ යම් වෙහෙරක වසත් ද එතැනට චූලතිස්ස ඇමැති තෙමේ ද පැමිණියේය.

9. මේ අමාත්‍යයා විහාරයට ගොස් භික්‍ෂු සංඝයාට වැඳ එකත්පස්ව සිටියේය. ඉක්බිති කණ්ඩුල නම් ඇති එකල්හි මනාව පැසුණු කරගෙඩි සහිත කර අත්තක් කඩා, භික්ෂූන් වහන්සේලාට පිළිගැන්වීය. ඇමැතියා එය දැක මෙවැනි කැකුළු ඵරුෂ මිනිසුන් මරණ තිරිසන්නු ද ගුණවන්තයන්ගේ ගුණයෙහි පැහැදුනේ වතාවත් කරති. මේ භික්ෂූහු නොයෙක් වතාවත්වලින් මහණකම මුදුන් පමුණුවා ප්‍ර‍ත්‍යදායකයන්ට ද තමන්ටද ප්‍ර‍ත්‍යය වෙයි. බුදුරජාණන් වහන්සේගේ ගුණානුභාවය නොසිතිය හැකියයි පුදුම විය. ඒ එසේමැයි.

10. අපිස් සතොස් හා විවේකකාමීන්ට තපසම ධන කොටැති පිරිසිදු සිල් ඇති බව දැක මිහිරි බව දැනගෙන කාගේ නම් සිත ප්‍රීතියට පත් නොවන්නේද? වන්නේමැයි.

11. ඉක්බිති ඇමැතියා භික්‍ෂු සංඝයා වහන්සේට වැඳ රජු සමීපයට ගොස් රජතුමනි, කණ්ඩුල ඇතා මහ කඳුරු වෙහෙරට ගොස් මහා සංඝයා වහන්සේට වතාවත් කරනු මා විසින් දක්නා ලදැයි කීයේය. ඒ අසා කොල, තෝම ඇතා අල්ලා ගෙන එන්න යයි රජතුමා කීයේය. ඉක්බිති හේ යහපතැයි පිළිගෙන සංඝයා වහන්සේට බොහෝ උක් සකුරු ආදිය ගෙන්වාගෙන වෙහෙරට ගොස් මනාව ඉදුණු කරගෙඩි ගෙන්වා සකුරුත් සමග මිරිකා පැන් කොට භික්ෂූන්ට වළඳවා පැහැදුණු සිත් ඇත්තේ ඇතා ගෙන නගරයට ගියේය.

හෙතෙම මෙපමණක් පින් කොට එයින් චුතව මේ ලංකාද්වීපයෙහිම උතුරෙහි අඹවිටි නම් ගමෙහි එක් ගෙදරක උපන්නේය. ඔහුගේ මවුපියෝ ඔහුට තිස්ස යයි නම් තැබූහ. හේ වැඩි වයසට පැමිණ සුදුසු කුමාරිකාවක් සමග වාසය කරන්නේ ගිහිගෙයි කළකිරී පැවිදිව තිස්ස තෙරණුවෝ යයි ප්‍ර‍කටව ප්‍ර‍තිපත්තියට ගරු කරන්නෙක්ව වාසය කරයි.

ඉක්බිති හේ මෑත භාගයෙහි ජයමහ බෝධිය වඳිනු සඳහා යන්නාවූ භික්ෂූන් හා උපාසක උපාසිකාවන් සමග නැවට නැංගේය. මෙසේ නැවෙහි ගමන් කරන ඔවුනට ජලය නිමාවට පත්විණ. එකල්හි ඒ තෙරණුවෝ පවස ඇත්තේ පැන් සොයා නොලැබ පවස ඉවසන්නට නොහැක්කේ පාත්‍ර‍ය බහා මුහුදු දිය ගෙන බීමට පටන් ගත්තෝය. එකෙණෙහිම ඒ ලුණු දිය උන්වහන්සේගේ ආනුභාවයෙන් වෙනස්ව මිහිරි රස ඇති සකුරු පැනක් සේ විය. කියන ලද මැයි.

12. සුළු පින්කමක ආනුභාව මහත් බව අහෝ පුදුමයි. අද්භූතයි. ලොම් කෙලින් සිටුවයි. අතීතයෙහිදී භික්ෂූන් වහන්සේට සකුරු පැන් දී හේ මහසයුරේ වතුර මිහිරි බවට පෙරළිණ.

13. ඉක්බිති ඒ තෙරණුවෝ පැන් බී නැවේ සියළු දෙනාට ද දුන්නෝය. එය රසවත්, ඔජවත්, ක්‍ෂය නොවන දිව ආමවතුර සේ විය. ඒ සියළුම මහාජනයා මහ බෝ වැඳීමට යන එන කල්හි එම පැන්ම බීවාහුය. ඉක්බිති ආයුෂ ඇතිතාක් පින් කොට කළුරිය කොට දෙව්ලොව දොළොස් යොදුන් රන් විමනක ඉපිද අප්සරාවන් දහසක් දෙනා විසින් පිරිවරා මහත් වූ දිව්‍ය සම්පත් අනුභව කෙළේය. ඔහුට ඒ සකුරු පැන් දිව්‍ය මනුෂ්‍ය ලෝකවලද නිතරම ඇතිවේ. ඒ ඒ තැන දිව්‍යමය පැන් සැළි පුරා සිටිති. පැමිණි පැමිණි දෙවියෝ ඒවායින් පැන් බී නටමින් ගයමින් කෙළිමින් තම තමන්ගේ ගෙවලට ද පැන් ගෙන යති. මෙබඳු ආනුභාව සම්පන්න පැනක් විය.

14. ලෝකයෙහි සමහර කෙනෙක් පැන් ටිකකින් මෙසේ මහත් වූ සම්පත් ලබති. බොහෝ දානවස්තු දුන් මිනිසාට මේ ලෝකයෙහි ලැබෙන විපාකය කවරෙක් වර්ණනා කෙරෙත්ද?

4. චූලතිස්ස කථා වස්තුව නිමි.