6.1. උත්තරෝලිය කථාව

star_outline

1. සිංහලද්වීපයෙහි බුද්ධාගම පිහිටි කල්හි ඒ ඒ තැන පැතිර ගිය ධර්මය හා විනය ඇති රජරට උතුරාලු නම් එක් විශාල ගමක් විය. ඒ ගම අසළ ගොපලු ගමෙහි එක් ගොපලු සේවකයෙක් දහඩිය වැකුණු සිරුර ඇතිව කඩමාල්ලක් ඇඳ කැඳ බී පාදාමයක් හා කෙවිටක් ගෙන උදෑසනම ගවයන් බැලීමට වනයට යයි. ඉක්බිති ඔහුගේ මහළු මවු තොමෝ දරුව, නුඹ සමීපයට එන්නට කෙනෙක් නැත. මෙය කන්න යයි පිළුණු කටු අලයක් දුන්නේය. හේ එයත් රැගෙන යන්නේ අතරමග එක පිණ්ඩපාතික තෙර නමක් දැක වැඳ කටු අලය පාත්‍ර‍යට බෙදුවේය. තෙරුන් වහන්සේ එය පිළිගෙන මෙසේ සැලකූහ. මේ ළමයා ඉතාම දුප්පති, ඔහුගේ මේ දාන වස්තුව සඵල කරන්නෙමියි එහිම සිටගෙන විදසුන් වඩා රහත් බවට පැමිණ වැළඳූහ. බුද්ධපුත්‍ර‍යන්ගේ කරුණා මහත්ත්‍වය පුදුමයි.

2. සත්පුරුෂයන්ගේ කරුණා මහිමය මෙබඳු තන්හි පවතී. මේ බුද්ධපුත්‍ර‍යන් වහන්සේ ඉතාම දුප්පත් ළමයා පිළිගැන්වූ පිට පොත්ත හරිහැටි ඉවත් නොකළ පිළුණුවූ ලුණු නොදැමූ පිසූ කටු අලය අනුභව කොට බාලයා සැපවත් කළසේක.

3. ඉක්බිති ඒ දරුවා ආයු කෙළවර කලුරිය කොට එම ගම එක්තරා ස්ත්‍රියකගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ය. එකල්හි ඔහු පිදූ කටු අලයේ ආනුභාවයෙන් එක් නිධානයක් හට ගත්තේය. ඒ නිධානය උතුරා ලූ වැවෙහි ඔබිනොබ පෙරළෙමින් හැසිරේ. එකල්හි එක් ස්ත්‍රියක් පෙරළෙනු ලබන ඒ නිධානය දැක වේගයෙන් ගොස් එය ගත්තීය. ඉක්බිති එහි අධිගෘහිත දේවතාවා ඇගේ අත මිදවීය. ඉක්බිති ඇය එක අතක් මිදෙන කල එක අතකින් ගත්තීය. ඉක්බිති දේවතාවා ඇගේ එක් අතක් එහිම ඇලවීය. ඇය ඒ අත අදින්නට නොහැකි වන්නී හැඳි වස්ත්‍රාදිය හා පැළඳි අභරණද නිධානයටම දමා දෙවියන් ආරාධනා කොට මිදුණු අත් අත්තී නැවත ඒ නිධානය බැලීමට ද නොහැකි විය. ඉක්බිති ඇයගේ අතින් මිදුණු හැටියේම නිධානය ගොස් පොළොවෙහි පිහිටියේය. ඉක්බිති ඒ ස්ත්‍රිය ගොස් ඒ ප්‍ර‍වෘත්තිය මිනිසුන්ට සැළකළාය. ගම්වැසි බොහෝ මිනිස්සු නිධානය බැලීමට වැවට ගියාහුය.

4. ඉක්බිති කටු අලය පිදූ ළමයාගේ මවද ඔහු කුසින් දරමින් තවත් පුතෙකු ඇකයෙන් වඩා ගෙන වැවට ගියාය. එකල්හි මේ නිධානය පොළොවෙන් මතුවී දිය මත ඔබිනොබ හැසුරුණෝය. එකල්හි මිනිස්සු අප සමීපයට ඒවායි පතමින් සිටියහ. ඉක්බිති ඒ කුමාරයාගේ මව් තොමෝ එසේ කියා සිටියාය. නිධානය ටිකක් දුරට පැමිණ ඇයගේ ඉදිරියෙහි සිටියේය. නැවත ඇය මගේ ඇකයේ වස දරුවාගේ පිනට පැමිණේවායි කීවාය. නොපැමිණියේමය. ඉක්බිති ඈ මගේ කුසහොත් දරුවාගේ පින කරණකොට පැමිණේවා යි කීවාය. එය කියූ සැටියේම නිධානය වහාම පැමිණ ඇගේ ඉදිරියෙහි සිටියේය. ඉක්බිති ඇය නිධානයට ඔබට සුදුසු තැන ඔබම දැන ගන්නයි කී හැටියේම නිධානය පොළොවෙහි පෙරළෙමින් ගොස් ඇගේ ගෙයි සුදුසු තැන පිහිටියේය. කුමාරයාට වැය කරණය හැර අන් කිසිවක් නිධානය කරන්නට ඉඩ නොදේ. ඉක්බිති මෑත කාලයක කුමරා මව් කුසෙන් නික්මී ක්‍ර‍මයෙන් ශිල්ප ඉගෙන ගන්නා වයසට පැමිණියේය. එකල්හි දිවයිනෙහි මිනිස්සු පස්මැසි කුමාරයා සම්පත්තියට ගැලපෙන ආභරණයන්ගෙන් සරසා මංගල මොහොතින් ඉගැන්වීම් කරවති. එකල්හි ඔහුගේ මෑණියෝ අකුරු කියවීමේ මංගල උත්සවය දින පුතාට ආභරණ පළඳවන්නී, නිධානයෙන් එදා ස්ත්‍රිය විසින් අත්හරින ලද වස්ත්‍ර‍ය ගෙන හැන්දවූවාය. ඉක්බිති වස්තුව අයිතිකාරයෝ ඒ ගෙදරට ආවෝ වස්ත්‍ර‍ය හැඳින ගෙන මෙය මගේ වස්ත්‍ර‍ය යයි ගත්තෝ ය. කුමාරයාගේ මවු තොමෝ එය දැක වස්ත්‍ර‍ය ලැබුණු සැටි සියල්ල කීවාය. ඇය මේ නිධානය ලැබගෙන සඟවාගෙන වළඳන්නෙහි ය. නිධාන රජුට අයිති බව නොදන්නෙහි ද? කුමක් නිසා තී විෂයකටත් වඩා වැඩි නිධානයක් වළඳන්නෙහිදැයි කියා මෙසේ කීයේය.

5. සර්ප දෂ්ට විෂ විෂ නොවේ. රජුන් සන්තක ධනය ගැනීම නියම විෂ යයි, සර්ප විෂයෙන් කෑ එක තැනැත්තාම මැරේ. රජුන්ගේ ධන සංඛ්‍යාත විෂයයෙන් කුලයම නැසේ.

6. වනයෙහි ගස් ලැව් ගින්නෙන් දැවී ඉතිරිව ගිය ගස් තිබේ. රජ කෝප නමැති ගින්නෙන් දැවුණු කලැ මිනිස්සු ඉතුරු නොවෙති.

7. රජදරුවන්ට වඩා බලවත් මාරයා ද නැතහොත් මාරයාට වඩා රජතුමා බලවත් ද මෙසේ තොප සිතට සංශයක් වේද කල්ගත නොකර විපාක දෙන නිසා මාරයාට වඩා රජතුමා බලවත්ය.

මෙසේ කියමින් තර්ජන කළාය. ඉක්බිති කුමාරයාගේ මව මෙසේ කීවාය.

8. යමෙකු විසින් යම් ධනයක් අයුක්තියෙන් ලබන ලද්දේ නම් ඔහුට රාජාදි භය ලැබෙයි. යමෙකු විසින් පූර්වජන්මයෙහි වාසනාවෙන් ලබන ලද ධනයක් වේ නම් එය දෙවියන්ට ද විනාස කිරීමට නොහැකි වේ.

9. මෙසේ ඈලා අතර වස්ත්‍ර‍ය නිසා ඇති වූ කලහය මුල් කොට ඇති මෝ කථාව රජු ළඟට ගියේ ය. රජතුමා එය අසා ධනය ගෙන ඊමට මිනිසුන් යැවීය. මිනිස්සු ධන හිමියා ළඟට ගොස් නිධානය දැක නිධානය ඇල්ලූහ. ඉක්බිති ඒ නිධානය බියජනක ශබ්ද පවත්වමින් ඔබිනොබ පෙරලෙමින් දිගු කළ අත් එහිම ඇලෙමින් ගන්නට නොහැකි විය. රාජපුරුෂයෝ මේ ප්‍ර‍වෘත්තිය රජුට කියා යැවූහ. රජතුමා එය අසා පුදුමව එසේ නම් ධනය අයිතිකරු ධනයත් සමග ගෙන ඒවා යයි කියා යැවීය. ඔවුහු නිධානයත් සමග ධන හිමියා ගෙන ගොස් රජුට පෙන්නූහ. රජතුමා නිධානයෙහි පුදුමය දැක ධනහිමියාට මෙසේ කීය. පින්වත, ඔබගේ නිධානයෙන් අපට ද ධනය දෙව, ඉක්බිති දිය ගෙන නිධානයට වත් කෙළේය. එකෙණෙහිම නිධාන මුඛයෙන් උඩට ආ මහත් වූ ධන රාශියක් විය. රජතුමා එය දැක ඉතා පුදුමයට පැමිණි සිත් ඇත්තේ නිධානය සමග ඔහුට මහත් වූ භෝග සමූහයක් දී ඒ ජනපදය ඔහුටම දී මහත් පිරිවරින් යැවීය. හෙතෙම එතැන් පටන් දන්දීම ආදී පින්කොට ආයුෂ කෙළවර අඹුදරුවන් සහිතව ගොස් දෙව්ලොව උපන්නේය.

10. යමෙක් ඒකාන්තයෙන් ගුණයන්ට ආධාර වූ භික්‍ෂූන්ට ශ්‍ර‍ද්ධාවෙන් දාන වස්තුව දේද: හෙතෙම පරලොව සංසාර නමැති මහා දුර්ගයෙහි සම්පත් නමැති නැවෙහි පිහිටීමට පැමිණේ.

1. උත්තරොලිය කථා වස්තුව නිමි.