9. බුද්ධවම්ම වෙළෙන්දාගේ කථාව

දඹදිව පාටලී පුත්‍ර‍ නගරයෙහි බුද්ධවම්ම නම් වෙළෙන්දෙක් විය. ගැල්සාත්තුවක් සමඟ වෙළෙඳාම් කරමින් ඇවිදී. මේ සමයෙහි බුදුරජාණන් වහන්සේ චාරිකාවෙහි වඩිමින් සිටියහ. මේ වෙළෙන්දාට මුන්වහන්සේ සවස් කාලයක හමුවිය. උන්වහන්සේට වැඳ සවස් කාලයෙහි දානය සඳහා ආරාධනා කළේය. මේ නොකල් බව කියා සිටි විට සුදුසු අටවැදෑරුම් පාන වර්ග ගැන දැන්වූයෙන් මිදි යුෂ ගිලන් පසක් සේ පිළියෙල කොට පිළිගැන්වීය. උන්වහන්සේ භික්‍ෂූන් සමග මේ මිදි පැන් වළඳා අනුමෝදනා කොට චාරිකාවෙහි ගියහ. වෙළෙන්දා ද පිරිස සමඟ වෙළෙඳාමෙහි ගියෝය. ඔහු මහාවත්තනිය නම් දිය නැති කාන්තාරයට පිවිසියේය. මොහුගේ ගැල්වල තිබූ පැන් නිමාවට ගොස් තිබිණ. අර වෙළෙන්දා හැම ගැලක පැන් සොයා නොලැබී වෙහෙසට පත්විය. පසුව එක් ගැලෙක කම්කරුවෙක් පැන් ඉතා ටිකක් ඇතැයි කීයෙන් ඔහුම එය විවෘත කොට පානය කළේය. එම පැන් මිදි රසයෙන් යුක්තය. සියලු දෙනාම මිදි පැන් බීවෝය. බුදුරජුන්ට දුන් දානයේ ආනිසංසය ලැබී යයි අතිශයින් සියල්ලෝම තුටු වූහ. ආපසු නගරයට පැමිණ බුද්ධවම්ම වෙළෙන්දා විහාරයට ගොස් සිදුවුණු ප්‍රාතිහාර්‍ය්‍ය විස්තර කළේය. ඊට පසු දින මහදන් පිළියෙල කොට බුදුපාමොක් මහසඟනට පූජා කළේය. මෙසේ නිතර නිතර දන් දුන් මේ වෙළෙන්දා මියගොස් දෙව්ලොව දොළොස් යොදුන් රන්විමනක ඉපදුණේය. ඔහුගේ පින්කම ප්‍ර‍කාශ වෙන පිරුණු මිදි පැන් රන් බඳුන්වල තිබිණි. දෙවියෝ මේ පැන් බී නටති, ගයති, වයති.