5. අහිගුණ්ඨික කථාව

කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසා බුද්ධ කෘත්‍යය කොට සෙතව්‍ය නුවරදී පිරිනිවන් පෑ සේක. මිනිස්සු උන්වහන්සේගේ ධාතු නිදන් කොට කෝටි ගණනක් වියදම් කොට චෛත්‍යයක් බැඳවූහ. මේ අතර එක් අහිගුණ්ඨිකයෙක් ගම් නියම්ගම් දනව්වල හැසිර නයි නටවා ජීවත් විය. සෙතව්‍යා නුවර මිනිස්සු බෞද්ධයෝය. රාත්‍රියට නින්දට යන්නේ “නමෝ බුද්ධාය” යන්න සිහි කොටය. අහිගුණ්ඨිකයා බුදු ගුණ නොදනී. මේ නමෝ බුද්ධාය යන්න උපහාසයක් කොට කියන්නේය.

මෙසේ එක් දිනක් ක්‍රීඩා කරවීමට සුදුසු නයකු සොයමින් හේ ඇවිදී. එක් නාගරාජයෙක් කාශ්‍යප බුදුරජුන්ගේ චෛත්‍යයට වැඳ හුඹසකට යන අතර මොහු දැක මන්ත්‍ර‍ ජපකර අල්ලා ගැනීමට සූදානම් විය. නාගයා ඔහුගේ මන්ත්‍ර‍ ජප කිරීම අසා කිපී ඔහු පසු එළවීය. හැකිතාක් වේගයෙන් දිව බණ බේරා ගන්නට සූදානම් වූ නමුත් ගලක පය වැදී ඇදවැටුණි. ඔහුට පුරුදුව තුබූ “නමො බුද්ධාය” යන්න එහිදී කියවිණ. නාගයා එයින් තෘප්තියට පැමිණ දෂ්ට නොකොට, පැහැදී රන් මල් තුනක් තෑගි වශයෙන් දුන්නේය. මෙයින් එක මලක් මට පින් පිණිසත්, එකක් ඔබට පින් පිණිසත් පූජා කරවයි කීය. තුන්වැන්න වැයකොට අඹුදරුවන් පෝෂණය කරන්න යයි කීයේය.

මේ කී අයුරු චෛත්‍යයට රන්මල් දෙකක් පුදා එකක් විකුණා කහවනු දහසක් ලැබ දන් පින් කරමින් කාලය ගත කොට කම් වූ පරිදි මිය පරලොව ගියේය.