ධජග්ග පිරිත

star_outline
  1. ඉතිපිසො භගවා අරහං සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිසධම්ම සාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවාති.
  2. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති.
  3. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, ඤායටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨපුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙය්‍යෝ, පාහුනෙය්‍යෝ, දක්ඛිණෙය්‍යෝ, අඤ්ජලිකරණී‍යෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති.

ධජග්ග පරිත්ත නම් වූ මේ පිරිත අර්ථ සහිතව පුහුණු කර ගෙන භාවිත කිරීමෙන් රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් නපුරු සතුන්ගෙන් ගින්නෙන් දියෙන් සුළඟින් අකුණුවලින් හා තවත් නොයෙක් දෙයින් පැමිණිය හැකි සියළු උවදුරුවලින් මිදී සුවසේ දිවි පැවැත්විය හැකි වන්නේ ය. මේ පාඨ තුනෙන් ඉතිපිසෝ භගවා ආදී පළමුවන පාඨය ම ද සියළු උපද්‍රව දුරු කර ගැනීමට ප්‍රමාණවත් ය. නොයෙක් දේ සිදු කිරීමට එය මන්ත්‍රයක් වශයෙන් ද භාවිත කළ හැකිය. එයින් ඒ ඒ අය කරන ගුරුකම් බොහෝ ඇත්තේ ය. නවගුණ යන්ත්‍රය කියා යන්ත්‍රයක් ද ඇත්තේ ය. එයත් බොහෝ ගුණ දෙන යන්ත්‍රයකි. යම් පමණකට එය භාවිත කර ඇතිනම් ඒ ඒ පමණට පිරිතෙහි ගුණ ද ඇත්තේ ය. තමාගේ මුවින් ඒ බුදුගුණ පාඨය ලක්ෂ වාර ගණන් වාර කියා ඇතියෙකු විසින් එය කියතහොත් එහි බල බොහෝ ඇත්තේ ය. එවැනි පුද්ගලයාට සිහි කළ පමණින් ම ද එයින් බොහෝ ගුණ ලැබෙන්නේ ය. ධජග්ග සූත්‍ර අටුවාවෙහි සඳහන් වන පුවතක් මෙසේ ය.

දීඝවාපී චෛත්‍යයෙහි සුණු පිරියම් කරන කාලයේ යම්කිසි කටයුත්තක් සඳහා චෛත්‍යට නැගුණු තරුණ භික්ෂුවක් ගර්භය දිගේ පහළට ලිස්සා අයේය. එය දුටු බිම සිටි භික්ෂුහු “ඇවැත්නි ධජග්ග පරිත්තය සිහි කරව” යි කීහ. මරණ බියෙන් බස්නා ඒ භික්ෂුව ධජග්ග පරිත්තය සිහි කළේය. ඒ කෙණෙහිම චෛත්‍ය ගර්භයෙන් ගඩොල් කැට දෙකක් නික්මී ඒ භික්ෂුවගේ පා පිළිගත්තේ ය. සෑය මත සිටියෝ වැල්හිණිමඟක් බස්වා භික්ෂුව ගත්හ. එකල්හි ගඩොල් කැට දෙක චෛත්‍යයට නැවත ඇතුල් විය. මේ ප්‍රවෘත්තිය සඳහන් කොට,

යස්සානුස්සරණේනාපි අන්තලික්ඛේපි පාණිනෝ

පතිට්ඨමධිගච්ඡන්ති භූමියා විය සබ්බථ

යන ගය පැරණියන් ධජග්ග සූත්‍රයේ මුලට යොදා තිබේ.

අසුරයන් හා යුද්ධ කිරීමට දෙවියන් රැස් වූ අවස්ථාවක සක්දෙවිඳු දෙවියන් අමතා “පින්වත්නි! යුදයෙහිදී තොපට බියක් තැතිගැන්මක් ඇති වුවහොත් එවිට මාගේ කොඩිය බලව්, එකල්හි තොපගේ බිය සන්සිඳෙනු ඇත. මාගේ කොඩිය නුදුට හොත් ප්‍රජාපතී දෙව් රජුගේ කොඩිය බලව්, එය නුදුට හොත් වරුණ දෙව් රජුගේ කොඩිය බලව්. එය නුදුට හොත් ඊසාන දෙව් රජුගේ කොඩිය බලව්ය ” යි අනුශාසනා කළේය. එය අනුව තථාගතයන් වහන්සේ ද තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට බියක් තැතිගැන්මක් ඇති වුවහොත් ඒ අවස්ථාවේ එය දුරුවනු සඳහා මෙනෙහි කිරීමට මේ තුණුරුවන් ගුණ පාඨ තුන වදාළ සේක. මෙයට ධජග්ග පරිත්ත යන නම දී ඇත්තේ සක්දෙවිඳුගේ කොඩි බැලීමේ කථාව නිමිත්ත කොට මෙය වදාළ බැවිනි.