1. සත්තාහං මෙවාහං පසන්න චිත්තො
පුඤ්ඤත්ථිකො අචරිං බ්‍රහ්මචරියං,
අථාපරං යං චරිතං මමෙදං
වස්සානි පඤ්ඤාස සමාධිකානි,
අකාමකොවා’පි අහං චරාමි
එතෙන සච්චෙන සුවත්ථි හොතු
හතං විසං ජීවතු යඤ්ඤදත්තො.
-
2. යස්මා දානං නාභිනන්දිං කදාචි
දිස්වාන’හං අතිථිං වාසකාලෙ
න චාපී මෙ අප්පියතං අවෙදුං
බහුස්සතා සමණබ්‍රාහ්මණා ච,
අකාමකොවාපි අහං දදාමි
එතෙන සච්චෙන සුවත්ථි හොතු,
හතං විසං ජීවතු යඤ්ඤදත්තො.
-
3. ආසිවිසො තාත පහූත තෙජො
යො තං අඩසිං බිලසා උදිච්ච
තස්මිං ච මෙ අප්පියතාය අජ්ජ
පිතරීච තෙ නත්ථි කොචි විසෙසො,
එතෙන සච්චෙන සුවත්ථි හොතු
හතං විසං ජීවතු යඤ්ඤදත්තො
එක් කලෙක මහා බෝසතාණන් වහන්සේ බමුණු කුලයෙක ඉපිද අසූ කෝටියක් ධනය හැර පැවිදිව හිමවතට ගොස් එහි පනස් වසරක් පමණ කල් වාසය කොට ලුණු ඇඹුල් සේවනය කරනු පිණිස කසී රට එක් ගමෙක වෙසෙන මණ්ඩව්‍ය නම් තැනැත්තකු වෙත ගියහ. මණ්ඩව්‍ය පන්සලක් කොට උන්වහන්සේ එහි වාසය කරවා ගෙන සිවුපසයෙන් උපස්ථාන කළේය. එක් දවසක් මණ්ඩව්‍ය සිය බිරිඳ හා යඤ්ඤදත්ත නමැති ඔහුගේ දරුවා ද සමඟ බෝසතාණන් වහන්සේ දක්නට ඔහුගේ අසපුවට ගියේය. ඔහු තාපසයන් හා කතා කරමින් ඉන්නා අතර යඤ්ඤදත්ත පන්දුවක් ගෙන තාපසයන් වහන්සේගේ සක්මන කෙළවර ක්‍රීඩා කරමින් හුන්නේ ය. ඔහුගේ පන්දුව ඒ සමීපයෙහි තුබූ තුඹසක සිදුරට වැටිණ. එහි සර්පයෙක් වෙසෙයි. යඤ්ඤදත්ත පන්දුව ගැනීම සඳහා තුණස් කටෙහි අත යැවීය. පන්දුව වැටීමෙන් කෝප වී උන් සර්පයා යඤ්ඤදත්තගේ අත දෂ්ඨ කළේය. ඔහු විෂයෙන් මුර්ඡා වී එතැනම වැටිණ. ඔහුගේ මාපියෝ ඔහු දැක සර්පයෙකු දෂ්ඨ කර ඇති බව දැන වහා දරුවා ඔසවා ගෙන ගොස් තාපසයන්ගේ පාමුල තබා දරුවා සනීප කර දෙන ලෙස ඉල්ලා සිටියහ. තාපසයාණෝ “මම වෙදකම් නො දනිමි” යි කීහ. “එසේ නම් ස්වාමිනි! මෛත්‍රීය පෙරදැරි කොට මේ දරුවාට සත්‍ය ක්‍රියාවක් මුත් කළ මැනව” යි කීහ.
තාපසයන් වහන්සේ මැනවැ යි කියා යඤ්ඤදත්තගේ හිස මත අත තබා “සත්තාහමෙවාහං පසන්න චිත්තො” යනාදී ගය කියා සත්‍යක්‍රියා කළහ. එකෙණෙහි යඤ්ඤදත්තගේ සිරුරෙහි හිස පටන් තන දක්වා පැවති විෂ බැස ගියේය. දරුවා ඇස් ඇර බලා “අම්මේ” යි කථා කොට හැරී නිදා ගත්තේය. බෝසතාණෝ “මා විසින් කළ හැකි දෙය කරන ලද්දේය. ඔබද කළ හැකි දෙයක් කරන්න” යයි දරුවාගේ පියාට කීහ. එකල්හි පියා ද “යස්මා දානං නභිනන්දිං කදාචි” යනාදි ගය කියා සත්‍යක්‍රියා කළේය. එයින් තුනටිය දක්වා විෂ බැස ගියේය. දරුවා වාඩි විය. නැගිටිය නො හැකි විය. එකල්හි පියා බිරිඳට කථා කොට “අපි අපට කළ හැකි හරිය කළෙමු. තී ද තිට කළ හැකි සත්‍යක්‍රියාවක් කරව” යි කීය. බිරිඳ කියන්නී “හිමියනි! මගේ ද එක් සත්‍යයක් ඇත. එය ඔබ ඉදිරියේ නො කිය හැකිය” යි කීවාය. “සොඳුර, කුමක් කීව ද වරදක් නැත. කෙසේ හෝ මේ දරුවා සුවපත් කරන්න” යි පියා කීය. එකල්හි ඕ “ආසිවිසො තාත බහුත්තතෙජො” යනාදී ගය කියා සත්‍යක්‍රියා කළාය. එකෙණෙහි ඉතිරිව තුබූ විෂ ද බැස ගොස් යඤ්ඤදත්තට සම්පූර්ණ සුවය ලැබිණ. ඔහු නැවත ද ක්‍රීඩා කරන්නට විය.
මේ ගාථා හා කථා පුවත ජාතක අටුවාවේ දසක නිපාතයෙන් ගන්නා ලදී. කථාව දික් එකකි. දනු කැමතියන් ජාතක පොතින් බලා ගත යුතුය. මෙය කණ්හදීපායන ජාතක නමින් ජාතක අටුවාවේ සඳහන් වේ. මේ ගාථාවලින් යම් කිසිවකු විෂ බැස්වීමක් කරනු අප විසින් දැක නැත. බෝසතාණන් වහන්සේගේ අන් සත්‍යක්‍රියාවල ආනුභාවය අදත් තිබෙන්නාක් මෙන් මෙහි බලය ද අදත් තිබිය යුතුය. මෙය විමසා බලත්වා. මෙය විමසනු කැමති නම් පළමුවෙන් ගාථා තුන හොඳින් පාඩම් කර කලක් සජ්ඣායනා කරමින් හොඳින් ප්‍රගුණ කර ගෙන සිට සර්පයෙකු දෂ්ඨ කරන ලද කෙනෙකු මුණගැසුණු විටක අනෙක් මන්ත්‍ර කරන්නාක් මෙන් දෙහි අත්තක් ගෙන් එයින් විෂ ඇති තැන පිරිමදිමින් මේ ගාථා කියනු. අඩුම ගණන සත්වරක් කියනු. එයින් ගුණ පෙනුන හොත් සම්පූර්ණයෙන් විෂ බසින තුරු මතුරනු.