මෛත්‍රී සූත්‍රයේ නිදාන කථාව

star_outline

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ දී වස් එළඹීමට ළං වන කල්හි බොහෝ භික්ෂුහු උන්වහන්සේ වෙත පැමිණ කමටහන් අසාගෙන ඒ ඒ පෙදෙස් වලට ගොස් වස් එළඹ කාලය තුළදී අර්හත්වයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් භාවනා කළහ.

තථාගතයන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන අවස්ථාවක වස් එළඹීමට සමීප කාලයේ භික්ෂූන් වහන්සේ පන්සිය නමක් උන්වහන්සේගෙන් කමටහන් ගෙන වස් එළඹීමට සුදුසු තැනක් සොයමින් දනව් සැරිසරා යන්නාහු. ප්‍රත්‍යන්ත ප්‍රදේශයෙහි හිමාලය හා සම්බන්ධ වූ වනගත සිසිල් සෙවන ඇති, අතුළ රිදී පටවල් මෙන් රමණීය සුදු වැලි තලා තැන තැන ඇති පිරිසිදු සිසිල් ජලයෙන් පිරුණු රමණීය ජලාශයක් ඇති එක් පර්වතයක් දුටහ. ඒ භික්ෂුහු එදින රාත්‍රියේ එහි වැස පසු දින සමීපයෙහි වූ ගමකට පිඬු පිණිස පිවිසියහ. එය ළඟින් ළඟින් පිහිටි ගෙවල් දහසක් ඇති ගමෙකි. එහි මනුෂ්‍යයෝ ද පින් කැමැත්තෝ ය. ඒ ප්‍රත්‍යන්තයට පැමිණීම මඳ බැවින් ගම් වැසියෝ භික්ෂූන් දැක ඉතා ප්‍රීතියට පැමිණ දන් පිළිගන්වා වස් විසීමට ආරාධනා කොට උන්වහන්සේලාට විසීම පිණිස වනයෙහි කුටි පන්සියයක් ද පිළියෙල කළහ. භික්ෂුහු දෙවෙනි දින අන් ගමකට පිඬු පිණිස පිවිසියහ. එගම වැසියෝද එසේ ම වස් විසීමට ආරාධනා කළහ. ඔවුන්ගේ ආරාධනාව පරිදි භික්ෂුහු එහි වස් එළඹ රුක්මුල්වල හිඳ කමටහන් මෙනෙහි කරන්නට වන්හ. සිල්වත් භික්ෂූන්ගේ තේජස නිසා ඒ ගස්වල දෙවියන්ට නො විසිය හැකි විය. භික්ෂූන් නැගී යන තුරු ඔවූහු තම තමන්ගේ විමන්වලින් ඉවත්ව දරුවන් ගෙන තැන තැන ඇවිදින්නට වූහ. දෙවියෝ “මේ භික්ෂුහු කවදා යෙත්දැ” යි බලා සිටියහ. වස් එළඹුණු එතන තෙමසක් ම වෙසෙන බව දැනගත් දෙවියෝ “එපමණ දික් කලක් අපට විමානවලින් බැහැරව නො විසිය හැකිය” යි සැමදෙනා එකතුව භික්ෂූන් බිය ගන්වා පළවා හැරීමට කථා කර ගත්හ. ඔවූහු රාත්‍රී කාලයේ රුක්මුල්වල හිඳ භාවනා කරන භික්ෂූන් වහන්සේ ඉදිරියෙහි භයානක යක් වෙස් ගෙන පෙනී සිටින්නටත් නපුරු හඬ නගන්නටත් පටන් ගත්හ. ඒ නපුරු රූප දක නපුරු හඬ අසා භික්ෂූන්ගේ හදවත් වෙව්ලන්නට විය. උන්වහන්සේලාට කමටහනෙහි සිත පිහිටුවා වාසය නො කළ හැකිවිය. නිතර බිය වන්නා වූ ඒ භික්ෂුන්ගේ සිහිය ද දුබල විය. නො සිහියෙන් වෙසෙන උන්වහන්සේලා වෙත රුක්දෙවියෝ ඉවසිය නොහෙන දුර්ගන්ධයන් ද එවන්නට වූහ. එයින් ඔවුනට හිසෙහි බලවත් වේදනා ද ඇති විය. භික්ෂූන්ගේ ශරීරද ක්‍රමයෙන් දුබල වී ගියේය. එහෙත් තමන් නිසා අනිකකුට කරදරයක් වීම නො කැමති වන්නා වූ ඒ ගුණවත් භික්ෂූන්ගෙන් එක් නමකුදු කීමෙන් අන්‍යයන්ට කරදරයක් වේදෝ යි සිතා තමාට ඇති කරදරය අන් කිසිවෙකුට නො කීහ.

එක් දවසක් සංඝස්ථවිරයන් වෙත සියළු භික්ෂූන් රැස් වූ කල්හි භික්ෂූන් පෙරට වඩා දුබලව සිටින බව උන්වහන්සේට පෙනී “ඇවැත්නි මෙහි පැමිණි මුල් කාලයේ ඔබවහන්සේලා පැහැපත් ශරීර ඇතිව පිණා ගිය ඉඳුර ඇතිව විසුවාහු ය. දැන් ඔබ වහන්සේලා වැහැරී ගිය සිරුරු ඇතිව නො පහන් ඉඳුරන් ඇතිව වෙසෙන්නාහු ය. ඔබ වහන්සේලාට මෙහි යම්කිසි කරදරයක් ඇතිදැ” යි කීහ. එකල්හි එක් භිෂුවක් තමාට ඇති කරදරය පැවසීය. සෙසු භික්ෂුහු ද තම තමන්ටත් ඒ කරදර ඇති බව කීහ. එකල්හි මහ තෙරුන් වහන්සේ “ඇවැත්නි, බුදුරදුන් විසින් පෙරවසය පසුවසය යයි වස් විසීම් දෙකක් අනුදැන ඇත්තේ ය. මේ සෙනසුන අපට අසත්ප්‍රාය ය. අපි බුදුරදුන් වෙත ගොස් මේ කරුණ සැල කොට සුදුසු සෙනසුනක් උන්වහන්සේගෙන් දැන ගනිමු ය.” යි කීහ. සැමදෙනා වහන්සේ ම එය පිළිගෙන සෙනසුන් තැන්පත් කොට පාසිවුරු ගෙන සැවැත්නුවර ජේතවනාරාමයට ගොස් තථාගතයන් වහන්සේ වෙත ගියහ. එකල්හි තථාගතයන් වහන්සේ “මහණෙනි වස් කාලයේ චාරිකාවෙහි නො හැසිරෙන පරිදි ම විසින් සික පද පනවා තිබියදී තෙපි කුමක් පිණිස මෙසේ ඇවිදින්නාහුදැ” යි වදාළ සේක. භික්ෂුහු කාරණය සැල කළහ. තථාගතයන් වහන්සේ ලොව බලා වදාරා මුළු දඹදිව ඔවුනට සත්ප්‍රාය අන් එක ද තැනක් නො දැක “මහණෙනි තොපට සුදුසු අන් එක ද තැනක් නැත. තෙපි එහි ම වෙසෙමින් අර්හත්වයට පැමිණෙන්නාහුය. මහණෙනි තෙපි ගොස් එහි ම වෙසෙව් තෙපි රුක්දෙවියන්ගේ අභය කැමැත්තහු නම් මේ පිරිත උගනිව්. මෙය තොපට ආරක්ෂාව ද කමටහන ද වන්නේයැ” යි මෛත්‍රී සූත්‍රය (කරණීය මෙත්ත සූත්‍රය) වදාළ සේක. ඉක්බිති තථාගතයන් වහන්සේ “මහණෙනි, තෙපි ගොස් ඒ වනයෙහි ම වෙසෙව්. මේ සූත්‍රය මාසයේ ධර්මශ්‍රවණය කරන අට දිනයෙහි ගෙඩිය ගසා රැස් වී සජ්ඣායනා කරව්. මේ සූත්‍රයෙන් ම ධර්ම කථා පවත්වව්. මේ සූත්‍රය ගැන ම ධර්ම සාකච්ඡා පවත්වව්. මේ සූත්‍රයෙන් ම අනුමෝදනා බණ කියව්. මේ මෛත්‍රී කර්මස්ථානය ම වඩව්. තොපට ඉන්පසු දෙවියන් භයානක අරමුණු නො දක්වනු ඇත. ඔවුහු තොපගේ හිතවත්හු වන්නාහ.” යි වදාළ සේක. භික්ෂුහු තථාගතයන් වහන්සේ වැඳ එහි ගොස් වෙසෙමින් බුදුරදුන් වදාළ පරිදි කළහ. එතැන් පටන් අමනුෂ්‍යයෝ භික්ෂූන්ට හිතවත් වී අනේකාකාරයෙන් උපකාර කරන්නට වන්හ. දෙවියන්ගෙන් උපකාර ලබා ඒ භික්ෂුහු වස් කාලය ඇතුළත අර්හත් ඵලයට පැමිණ ශ්‍රමණ කෘත්‍යය අවසන් කළෝය.