රජගහනුවර අජාසත් රජතුමාට විශාල ශරීරයක් සහ මහත් කාය බලයඇති මහ ගස් පෙරළන බලකොටු බිඳින ගෙවල් පොඩි කර දමන මිනීමරන නාලාගිරි නම් නපුරු ඇතෙක් සිටියේය. දෙව්දත් තෙර රජුගේ අනුමැතිය ලබා ඇත්ගොව්වන් ලවා රාපොවා ඇතු මත් කරවා මහ හඬ නඟා කුලප්පු කරවා බුදුරදුන් පිඬු සිඟා වඩනා වීථියට උන්වහන්සේ මරවනු සඳහා ඇතු යැවී. කෝප වූ ඇත් රජ තෙමේ ඉදිරියට හමු වන සියල්ල සුණු විසුණු කරමින් ගුගුර ගුගුරා බුදුරදුන් වඩනා පෙරමගට ගියේය. කෝප වී එන ඇතුට තථාගතයන් වහන්සේ මෙත් වැඩූ සේක. එයින් ඇතුගේ කෝපයත් මතත් සන්සිඳිණ. සන්සුන් වූ ඇතු සොඬ පහළ හෙළා බුදුරදුන් වෙත එළඹ ඉදිරියේ නිශ්චලව සිටියේය. එකල්හි තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රී හස්තයෙන් ඇතුගේ හිස පිරිමදිමින්-
මා කුඤ්ජර නාගමාසදො
දුක්ඛං හි කුඤ්ජර නාගසමාදො
නහි නාගහතස්ස කුඤ්ජර
සුගති හොති ඉතො පරං ගතො.
යනාදිය වදාළ සේක. එකල්හි ඇත් රජ භාග්‍යවතුන් වහන්සේගේ පා මුලින් ධූලි ගෙන හිස ඉස ගෙන බුදුරදුන් පෙනෙන තෙක් පස්සට ගොස් ඇත්හලට ඇතුළුව නිශ්චලව සිටියේය.
අලින්ගෙන් ඇතුන්ගෙන් ආරක්ෂා වීම සඳහා අදත් මේ ගය භාවිතා කරති. නපුරු අලින් ඇතුන් එන විට සිහි කරති. කියති. තල්පත ලියා හේන් කුඹුරු ආරක්ෂා කරති. ගොවිපල ආරක්ෂා කරති. නුවණ ඇති ඇති සැටියට මේ ගාථාවෙන් ප්‍රයෝජන ලබති.